ප්‍රසන්න විතානගේ රචනා කොට අධ්‍යක්ෂනය කල පැරඩයිස්: පොලිස් කෲරත්වය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීම මධ්‍යයේ විවාහය පුපුරායාමක්

[මෙය Prasanna Vithanage’s Paradise: Police brutality and a marriage implosion amidst Sri Lanka’s economic collapse යන මැයෙන් 2024 සැප්තැම්බර් 05 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

කෘතහස්ත ස්වාධීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රසන්න විතානගේ විසින් රචනා කොට අධ්‍යක්ෂනය කරන ලද පැරඩයිස්, ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටින තරුන ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකවරයෙකුගේ සහ ඔහුගේ බිරිඳගේ විවාහයේ පුලුල්වන ඉරිතැලීම් පිලිබඳ බලගතු දෘශ්‍ය කාව්‍යයකි. මුල්කාලීන යුරෝපීය වෙලඳුන් විසින් දිවයින හඳුන්වනු ලැබූ සහ අද දින සංචාරක කර්මාන්තය විසින් නිරන්තරව වහරන්නා වූ පදයක් වන ‘පැරඩයිස්’ (පාරාදීසය) යන්න, චිත්‍රපටයේ නම ලෙස යොදා ගැනීම පැහැදිලිවම උත්ප්‍රාසාත්මක ය.

වමේ සිට දකුනට, ශ්‍රී (සුමිත් ඉලංගෝ), කේසව් (රොෂාන් මැතිව්), අම්රිතා (දර්ශනා රාජේන්ද්‍රන්) සහ මිස්ටර් ඇන්ඩෘ (ශ්‍යාම් ප්‍රනාන්දු) [ඡායාරූපය: පැරඩයිස්] [Photo: Paradise ]

මිනිත්තු 93 ක බහුභාෂා චිත්‍රපටය නිර්මානය වී ඇත්තේ, 2022 ජූනි මාසයේදී, ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රට බංකොලොත් බවත්, එහි විදේශ නයවලින් වැඩි ප්‍රමානයක් ආපසු ගෙවීමට නොහැකි බවත් ප්‍රකාශ කිරීමෙන් මාස කීපයකට පසු ව ය. ඩීසල්, ගෑස්, ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වහා සීමා කිරීමෙන් ආන්ඩුව එයට ප්‍රතිචාර දැක්වූයේ, කොලඹ සහ රට පුරා මහජන විරෝධතා අවුලවමිනි.

කේසව් (රොෂාන් මැතිව්) සහ ඔහුගේ බිරිඳ අම්රිතා (දර්ශනා රාජේන්ද්‍රන්), දිවයිනේ ආර්ථිකයේ පවත්නා අන්තරායකාරී තත්වය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ තේ වතු බංගලාවකදී ඔවුන්ගේ පස්වන විවාහ සංවත්සරය සැමරීමට තීරනය කරයි. ඔවුන්ගේ විචිත්‍රවත් සහ මනාව පිලියෙල කරන ලද නවාතැන අසල කොතැනක හෝ, ප්‍රධාන නගරවල මෙන් දැවැන්ත විරෝධතා උද්ඝෝෂන නොමැත; එය පිහිටා තිබුනේ, දරිද්‍රතාවයෙන් පෙලෙන දෙමල වතු කම්කරුවන්ගේ පැරනි සහ තදබදයෙන් යුත් නිවාස ආසන්නයේ ය.

හින්දු ආගමේ ප්‍රධාන දෙවි කෙනෙකු වන විෂ්නුගේ අවතාරය ලෙස සැලකෙන රාම දෙවියන් පිලිබඳ පුරාන සංස්කෘත වීර කාව්‍යය වන රාමායනයේ සඳහන් ඓතිහාසික ස්ථාන කිහිපයකට, හිටපු බැංකු සේවකයෙකු වූ, නමුත් දැන් දේශීය මගපෙන්වන්නෙකු සහ රියදුරෙකු ලෙස කටයුතු කරන ඇන්ඩෘ (ශ්‍යාම් ප්‍රනාන්දු) සමග කරන ලද සංචාරයන් ද මෙම චාරිකාවට ඇතුලත් ය.

පුරාවෘත්තයට අනුව, ශ්‍රී ලංකාවේ රජු රාවනා විසින්, රාමගේ භාර්යාව වන සීතා පැහැරගෙන දිවයිනට ගෙන යනු ලබයි. යුද්ධයක් ඇති වන අතර අවසානයේ ඇය රාමා විසින් බේරා ගැනේ.

සංචාරක යුවල අන්ධ භක්තිකයන් නොවන අතර සාමාන්‍යයෙන් ආගමික මිථ්‍යා කථා කෙරෙහි උනන්දුවක් නොදක්වති. චිත්‍රපටිය අවසානයේ අම්රිතා ඇන්ඩෘ මහතාට පෙන්වා දෙන්නේ පැරනි කතාවේ විවිධ අනුවාද 300 ක් පමන පවතින බවයි. ඔහුට තමාගේම සංචාරක අර්ථකථනයක් ඇති බව ඔහු ලැජ්ජාවෙන් පිලිගනී.

කෙසේ වෙතත්, දිවයිනේ මනස්කාන්ත ස්වභාවික සෞන්දර්යය සහ විශේෂයෙන්ම, ඔවුන් නවාතැන් ගෙන සිටින බංගලාව අසලට ඉඳහිට පැමිනෙන කැලෑ ගෝනෙකු විසින් අම්රිතා ආකර්ෂනය කර ගනිමින් ඇය භාවමය කම්පනයකට ලක්කරයි. කෙසේ වෙතත්, ඔවුන්ට ඉඳහිට මුනගැසෙන සමහර ආන්ඩු-විරෝධී උද්ඝෝෂන නිසා ඇය නොසන්සුන් වන අතර ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය වේ.

ඔහුගේ වෘත්තීය ජීවිතය කෙරෙහි දැඩි ලෙස චින්තාපර කේසව්, විරෝධතා ගැන එතරම් උනන්දුවක් නොදක්වන අතර අම්රිතා මෙන් නොව, ගෝනා කෙරෙහි ඔහු දක්වන එකම සැලකිල්ල නම්, බංගලාවේ කලමනාකරු වන ශ්‍රී (සුමිත් ඉලංගෝ) විසින් ඌට වෙඩි තබා රාත්‍රී ආහාරයට ගත හැකිද යන්න පමනි.

මෙම යුවල ශ්‍රී ලංකාවට පැමිනි විගස, ජනප්‍රිය කොරියානු වීර කතා (survival drama) මාලාවක් වන ස්ක්විඩ් ගේම් (Squid Game) හි හින්දි අනුවාදයක නෙට්ෆ්ලික්ස් (Netflix) කථාංග නවයක් නිෂ්පාදනය කිරීමට තම සමාගම තෝරාගෙන ඇති බව කේසව් දැනගනී.

එහි ධනේශ්වර විරෝධී විවේචනයෙන් ආකර්ෂනය වී, ලොව පුරා මිලියන ගනනක් ස්ක්විඩ් ගේම් නරඹා ඇති අතර, කේසව් උද්‍යෝගිමත් වන්නේ පවතින සමාජ ක්‍රමයේ ම්ලේච්ඡත්වය තවදුරටත් හෙලිදරව් කිරීමේ කලාත්මක අභියෝගයෙන් නොව, හුදෙක් එය ගෙන එන පුද්ගලික ආර්ථික ප්‍රතිලාභ මගිනි. “අපි ධන කුවේරයින් වේවි,” ඔහු ආරංචිය ලැබීමෙන් පසු අම්රිතාට පවසයි; “විඳවපු කාලෙ ඉවරයි, දැන් අපට ජීවිතය විඳින්න පුලුවන්,” ඔහු පසුව කියයි.

නමුත් එදින රාත්‍රියේ මෙම යුවල අවදි වන්නේ, ඔවුන්ගේ නිදන කාමරයට ඇතුලු වී ඔවුන්ගේ ජංගම දුරකථන සහ කේසව්ගේ අයිපෑඩය (iPad) සොරකම් කරන සොරුන්ගෙනි. අයිපෑඩය තුල ස්ක්විඩ් ගේම් කථාංග සඳහා සියලු සූදානම් කිරීමේ කටයුතු අඩංගු ව තිබූ බැවින් සොරකම මහත් ව්‍යසනයක් බවට පත්වේ.

පසුදින, කේසව් ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙකු වන සැරයන් බන්ඩාර (මහේන්ද්‍ර පෙරේරා) ට අපරාධකරුවන් ඉක්මනින් සොයා දෙන ලෙස නියෝග කරයි. වහාම අයිපෑඩය සහ දුරකථන නැවත ලබා නොදුනහොත් ඉන්දීය මහ කොමසාරිස්වරයා සම්බන්ධ කර ගන්නා බවට ඔහු සැරයන්වරයාට තර්ජනය කරයි.

සැරයන් බන්ඩාර (මහේන්ද්‍ර පෙරේරා) [ඡායාරූපය: පැරඩයිස්] [Photo: Paradise ]

කේසව්ගේ ඉල්ලීම්, ඔවුන්ගේ “පැරඩයිස්” නිවාඩුව තුල සමාජ සබඳතා හෙලිදරව් කරන සහ මධ්‍යම-පන්තික යුවල නොවැලැක්වියහැකි ලෙස වෙන් කරන සිදුවීම් මාලාවක් ඇති කරයි.

බන්ඩාර, අසල වතු කම්කරු නවාතැනේ සිටි දෙමල තරුනයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන, ප්‍රාදේශීය පොලිස් ස්ථානයේදී ඔවුන්ව “හඳුනා ගන්නා ලෙස” ඉන්දියානු යුවලගෙන් ඉල්ලා සිටී. මුලින් පැකිලීමකින් යුතු වූ මුත්, පසුව කේසව් අවධාරනය කරන්නේ, එක් අයෙකු මෙම සොරකම කර ඇති බවයි. අම්රිතාට එතරම් විශ්වාසයක් නොමැති අතර තම සැමියාගේ සෘජු ප්‍රතිචාරය ගැන කනස්සලු වේ.

චූදිත තරුනයා ඔහුගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් විරෝධය පල කරන නමුත් ශ්‍රී ලංකා පොලිසියේ 40 හැවිරිදි ප්‍රවීනයෙකු වන බන්ඩාර, වරද පිලිගැනීමට සලස්වන ආකාරය දනී. ඇත්ත වශයෙන්ම, මෙම ක්‍රියා පටිපාටිය කෙතරම් සාමාන්‍ය දෙයක් ද යත්, ඉන්දියානු යුවලට සිර මැදිරිය අසල සිටීමට ඉඩ දීම ගැන හෝ එය ඔවුන්ගේ කන වැකීමට ඉඩ ඇති බව ගැන දෙවරක් නොසිතන බන්ඩාර චූදිතයා නොමරා මරයි.

මෙම පහරදීම කෙතරම් ම්ලේච්ඡද යත්, පසුව පොලිසිය බරපතල ලෙස තුවාල ලැබූ තරුනයා ආසන්නතම රෝහල වෙත රැගෙන යාමට උත්සාහ කරන මුත්, ඩීසල් හිඟය නිසා ඔවුන්ගේ වාහනයේ ඉන්ධන අවසන් වේ.

අතරමං වූ පොලිස් මෝටර් රථය පසුකර යමින් සිටි කේසව්, අම්රිතා සහ මිස්ටර් ඇන්ඩෲ ට තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමට පවරනු ලැබේ. රෝහලේදී මිය යන ඔහුගේ ජීවිතය රැක ගැනීමට නොහැකි වන්නේ රෝහල තුල විදුලිය විසන්ධි වීමත්, එහි ජනක යන්ත්‍ර සඳහා ඩීසල් නොමැති වීමත් හේතුවෙනි.

තරුන සැකකරුගේ ඝාතනය සම්බන්ධයෙන් දෙමල වතු කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අය කෝපාවිෂ්ඨ ලෙස පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂනය කරමින්, ගොඩනැගිල්ලට පහර දී, බන්ඩාර ඇතුලු පොලිස් නිලධාරීන්ට ඉවත් ව යන ලෙස බල කරති.

කේසව්, අම්රිතා සහ මිස්ටර් ඇන්ඩෘ පසුව ඉන්දියානු යුවලගේ ආරක්ෂාව සඳහා නිල වශයෙන් පවරා ඇති බන්ඩාර සමඟ ඔවුන්ගේ බංගලාවට ආපසු පැමිනේ. මත්පැන් වඩි දෙක තුනකින් පසු, බංගලාව මංකොල්ලකෑමේ අපරාධය පිලිබඳ විමර්ශනය නැවත ආරම්භ කිරීමට බන්ඩාර තීරනය කරයි.

සුලු මොහොතකින් ඔහු බංගලාවේ මුස්ලිම් කෝකියා වන ඉක්බාල්ට (අෂර් සම්සුදීන්) අපහාස කරන අතර, මුල් අපරාධයට දෙමල කලමනාකරු වන ශ්‍රී සම්බන්ධ බවට චෝදනා කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා අතර කෝපාවිෂ්ඨ ආරවුලක් ඇති වේ; ශ්‍රී, බන්ඩාරට මරනීය තර්ජන කරයි. “උඹ අහිංසක කොල්ලො තුන්දෙනෙක් අල්ලගෙන චෝදනා කලා. අනික එකෙක් දැන් මැරිලා. දැන් උඹ මටත් ඒකම කරන්නයි යන්නේ” ඔහු පවසයි.

මාරාන්තික විය හැකි ආරවුලට, බංගලාවට එක්රැස් වී එයට පහර දීමට පටන් ගන්නා දෙමල වතු කම්කරු විරෝධතාකරුවන්ගෙන් බාධා පැමිනේ. දරුනු ගැටුම අවසන් වන්නේ ඛේදජනක ලෙස ය.

දින කිහිපයකට පසු බන්ඩාර, ඉක්බාල්, ශ්‍රී, අම්රිතා සහ මිස්ටර් ඇන්ඩෘ කලින් නොදුටු පොලිස් නිලධාරියෙකුට ඔවුන්ගේ විනාශකාරී සිදුවීමේ අනුවාදයන් වෙන වෙනම පැහැදිලි කරති. ඊලඟ දිනයේ, ඔහු පොලිසියට කී දේ ඔහු ම විශ්වාස කරනවාදැයි අම්රිතා මිස්ටර් ඇන්ඩෘගෙන් විමසයි. ඔහු පිලිතුරු නොදෙයි; ඔහුගේ නිශ්ශබ්දතාවයෙන් ඇඟවෙන්නේ කිසිවක් වෙනස් නොවන බවයි. චිත්‍රපටිය අවසන් වන්නේ, රාමායන සංචාරක මංපෙත් අඩවියක අවසාන රූප රාමුවකිනි.

පැරඩයිස් යනු සමස්ත නලු නිලියන්ගේ විශිෂ්ට රංගනයන්ගෙන් යුතු, බහු ස්ථර සහිත, බලගතු කෘතියකි. මලයාලම්, ඉංග්‍රීසි, සිංහල සහ දෙමල භාෂා වල, විශේෂයෙන්ම ඉන්දියානු යුවල සහ ඔවුන්ගේ මගපෙන්වන්නා සහ සැරයන් බන්ඩාර අතර සූක්ෂම අන්තර් ක්‍රියා ප්‍රබල වන අතර පන්ති වෙනස්කම් සහ ආතතීන් තවදුරටත් විදහා දක්වයි.

අධ්‍යක්ෂක විතානගේ රාමායන සංචාරක කර්මාන්තයේ වානිජවාදය දෙදැරු කරන අතර, මෙම මිථ්‍යා කථාව ඉන්දියානු සහ ශ්‍රී ලංකා ආගමික ස්වෝත්තමවාදීන් විසින් ඔවුන්ගේ ජාතිකවාදී මතවාදයන් ශක්තිමත් කිරීම සඳහා නැවත අර්ථකථනය කර භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන සිනමා ප්‍රේක්ෂකයින් සිතා බැලිය යුතු බව ඇඟවුම් මගින් යෝජනා කරයි.

පැරඩයිස් තුල එකල කොලඹ මාස ගනනාවක් පුරා පැවති පෙලපාලි වල කිසිදු දර්ශනයක් අඩංගු නොවන අතර එය අත්‍යවශ්‍ය නොවේ. මහජනතාවගේ, විශේෂයෙන්ම දෙමල වතු කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය—එනම්, පසුගිය සහ වර්තමාන ආන්ඩුවේ ප්‍රහාරවල ප්‍රතිඵලය—සහ කාවැදී ඇති රාජ්‍ය අනුමැතිය ලත් අගතීන් චිත්‍රපටය පුරාවට ප්‍රකාශ වේ.

දෙමල වතු කම්කරු මව, ඇගේ ඝාතනයට ලක්වූ පුතා සමඟ [ඡායාරූපය: පැරඩයිස්] [Photo: Paradise ]

ශෝකයට පත් දෙමල මව තම ඝාතනය කල පුත්‍රයාගේ දේහය සමඟ ගමේ වීදියේ විලාප නඟන කෙටි දර්ශනය සහ තරුන මවක් තම දරුවාගේ මරනය ගැන ප්‍රාදේශීය රෝහලේදී කෑගසන තවත් දර්ශනයක් ගැඹුරු සහානුකම්පාව ඇති කරයි. ඔවුන්ගේ කෑගැසීම්, පොලිස් මර්දනයෙන් සහ ආන්ඩුව මහජන සෞඛ්‍ය කප්පාදු කිරීම හෝ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 1983-2009 සිවිල් යුද්ධයේ දී සෘජු මිලිටරි ප්‍රහාර හේතුවෙන් මරා දැමූ තවත් දහස් ගනනක් දරුවන් වෙනුවෙන් කල කෑගැසීම්වල දෝංකාරය යි.

චිත්‍රපටයෙන් පැහැදිලි වන පරිදි, පොලිසියේ බොරු චෝදනා සහ පහරදීම්, විකෘතිකරනයක් නොව සාමාන්‍ය දෙයකි. 2023 වසරේ පමනක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පොලිස් වධහිංසා පැමිනවීම් පිලිබඳ පැමිනිලි 200 කට අධික ප්‍රමානයක් ලැබී ඇත.

අත්සන් සහිත පාපොච්චාරනයක් ලබා ගැනීම ගැන පමනක් සැලකිල්ලක් දක්වන බන්ඩාරට ජීවිතය සුලු කාරනයකි. “පරීක්ෂනය” අතරතුරදී සැකකරුවෙකු මිය ගියහොත්, ඔහු හුදෙක් අන් අය අත්අඩංගුවට ගනු ඇත.

එක් කිලිපොලා යන දෙබසක දී අම්රිතා ඔහුගෙන් අසන්නේ පිරිමි ලමයාගේ මරනයට ඔවුන් වගකිව යුතුද යන්නයි. “නෑ මැඩම්” බන්ඩාර පිලිතුරු දෙයි. “ඔයගොල්ලන්ගෙ කරදරවලටත්, මගේ සියලු කරදරවලටත් ඔහු වගකිව යුතුයි.”

“නමුත් මෙය මිනිස් ජීවිතයක් නොවේද? එහි වටිනාකමක් නැද්ද?” ඇය අසයි.

“ඔව්. මැතිවරන කාලේදී ඒකට එක ඡන්දයක වටිනාකමක් තියෙනවා” බන්ඩාර පිලිතුරු දෙමින්, එකඟතාවයෙන් සිනාසෙන තවත් පොලිස් නිලධාරියෙකුට මෙය සිංහලෙන් පුනරුච්චාරනය කරයි.

ඇත්ත වශයෙන්ම බන්ඩාර යනු රාජ්‍ය යාන්ත්‍රනයේ කුඩා දැති රෝදයක් පමනි. 2010 වසරේ, සොරකම් කිරීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයෙකුට වධහිංසා පැමිනවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් වූ දේශබන්දු තෙන්නකෝන් සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වැරදිකරුවන් බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය පසුගිය දෙසැම්බර් මාසයේදී තීරනය කලේය. 2022 දී විරෝධතාකරුවන්ට පොලිස් පහරදීමට අවසර දුන් තෙන්නකෝන් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් කුප්‍රකටය.

පැරඩයිස් යනු සිත් කාවදිනසුලු හා ප්‍රශංසනීය සිනමා කෘතියක් වන අතර එය පසුගිය වසරේ අගභාගයේ දකුනු කොරියාවේ බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උලෙලේ මංගල දර්ශනයෙන් පසුව දිනාගත් සම්මාන සහ විවේචනාත්මක ප්‍රශංසාවන්ට සම්පූර්නයෙන්ම උචිත ය. මෙම චිත්‍රපටය මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වෙමින් පවතී; ජූලි මාසයේදී එය නිකුත් වූ දා සිට දහස් ගනනක් එය නරඹා ඇති අතර, දැන් එය ඉන්දියාවේ ඇමසෝන් ප්‍රයිම් (Amazon Prime) ඔස්සේ ලබා ගත හැකිය. බීබීසී හි දකුනු ආසියානු චිත්‍රපට උලෙලේ චැනල් 4 (Channel 4) හි තිරගත කෙරෙනු ඇති එය, මෙම මස අගදී එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ තිරගත වීමට නියමිත ය.

රාජපක්ෂ පාලන තන්ත්‍රය බිඳ දැමූ ආර්ථික අර්බුද සහ මහජන විරෝධතා සමයේ මුල්ම මෙන්ම එකම චිත්‍රපටය විතානගේ නිර්මානය කර ඇති අතර, පැරඩයිස් හි විදහා දැක්වෙන පන්ති පීඩනය සහ අසාධාරනයන් ශ්‍රී ලාංකීය ප්‍රශ්න නොව, ලොව පුරා මිලියන ගනනක් කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන සමාජ යථාර්ථයේ තවත් එක් පැතිකඩක් පමනි.

Loading