ඉදිරිදර්ශන

ඊශ්‍රායලයේ විරෝධතා සහ මහා වැඩ වර්ජනය සියොන්වාදයෙන් බිඳී වෙන්වීමේ අවශ්‍යතාවය මතු කරයි

[මෙය Protests and general strike in Israel pose the need to break with Zionism යන මැයෙන් 2024 සැප්තැම්බර් 02 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

2024 සැප්තැම්බර් 2 වැනි දා සඳුදා, පලස්තීන භූමියේ ජෙරුසලමේ දී ප්‍රාන ඇපකරුවන් හය දෙනෙකු මිය යාමෙන් පසු, සටන් විරාම ගිවිසුමක් සහ ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාන ඇපකරුවන් වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා රැලියකට සහභාගී වන ජනතාව [AP Photo/Leo Correa]

ඊශ්‍රායලයේ පසුගිය දින දෙක තුල පැවති මහජන විරෝධතා, අන්ත දක්ෂිනාංශික නෙතන්‍යාහු ආන්ඩුවට එරෙහි පුලුල් මහජන විරෝධය එලිදරව් කර ඇත; එසේම, සියොන්වාදී ඉදිරිදර්ශනයක් තුල සිරවී සිටින ඕනෑම විරුද්ධවාදී ව්‍යාපාරයක් විසින් මුහුන දෙන දේශපාලන අර්බුදය ද හෙලිදරව් කර ඇත.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධය ආරම්භ වූ දා සිට පැවති විශාලතම විරෝධතා දිනය වූ ඉරිදා (01), කම්කරුවන්ගේ සැලකිය යුතු කොටස් ද ඇතුලුව දහස් ගනනක් වීදි බැස සිටියහ. ඊට පෙර දින ගාසා තීරයේදී මියගිය ඊශ්‍රායල ජාතිකයින් හය දෙනෙකු බේරා ගැනීම වෙනුවෙන්, ප්‍රාන ඇපකරුවන් හුවමාරු කර ගැනීමේ ගනුදෙනුවකට ආන්ඩුව අසමත් වීම විරෝධතාකරුවෝ හෙලා දුටහ. හිස්ටඩ්‍රට් වෘත්තීය සමිති සම්මේලනය ඊට ප්‍රතිචාර දැක්වූයේ සඳුදා මහා වැඩ වර්ජනයක් කැඳවමිනි.

අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු සහ ඔහුගේ කැබිනට් මන්ඩලය ගාසා තීරය සහ ඊජිප්තුව අතර ෆිලඩෙල්පි කොරිඩෝව (එය ගාසා තීරය සහ ඊජිප්තුව අතර මායිම දිගේ පිහිටා ඇති, කිලෝමීටර් 14 ක් දිග පටු බිම් තීරුවක් සඳහා වන ඊශ්‍රායල සංකේත නාමයයි) තව දුරටත් අත්පත් කර ගැනීම අවධාරනය කරමින්, දින කිහිපයකට පෙර, බ්‍රහස්පතින්දා (අගෝස්තු 29) ප්‍රාන ඇපකරුවන් හුවමාරු කිරීමේ ගනුදෙනුවක් කඩාකප්පල් කර ඇති බවට වූ ප්‍රවෘත්තියෙන් කෝපය ඇවිලී ගියේ ය. ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශයේ පශ්චාත් මරන පරීක්ෂනයකට අනුව, ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර ඇති වූ සටන් මධ්‍යයේ ප්‍රාන ඇපකරුවන් හය දෙනා බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා වැනි දිනක දී මිය ගොස් ඇත.

ගාසා තීරයේ පලස්තීනුවන්ගේ පමනක් නොව, ප්‍රාන ඇපකරුවන්ගේ ජීවිත කෙරෙහි ද ඊශ්‍රායල ආන්ඩුව දක්වන අවඥාව මෙම සිදුවීම් විසින් පැහැදිලිවම හෙලිදරව් කරන ලදී—ඔවුන් එය, නරුම ලෙස සමූලඝාතන යුද්ධයක් දියත් කිරීමටත් ගාසාවේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් හැකිතාක් ප්‍රමානයක් මරා දැමීමට හෝ පලවා හැරීමටත් කඩතුරාවක් ලෙස යොදා ගනී. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව මෙන්ම සිරියාවට සහ ඉරානයට එරෙහි ව ඊශ්‍රායල හමුදා ප්‍රහාර උත්සන්න කිරීම, කලාපය පුරා ගැටුම් ව්‍යසනකාරී ලෙස උත්සන්න වීමට තර්ජනය කරයි.

2023 නොවැම්බර්-දෙසැම්බර් මාසවල පලමු හා එකම හුවමාරුවේ සිට—ඊශ්‍රායලයේ සිරගෙවල්වල සිරකර සිටින පලස්තීනුවන් සඳහා ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන් හුවමාරු කර ගැනීම—ඊට සමාන ගනුදෙනුවක් සිදුවිය හැකි බව පෙනෙන සෑම අවස්ථාවකම, නෙතන්‍යාහු ආන්ඩුව එය කඩාකප්පල් කිරීමට යමක් කර ඇත. ඊශ්‍රායල පාලන තන්ත්‍රය ජීවිත බේරා ගැනීමට උත්සාහ නොකරන අතර, එය පලස්තීනුවන් සමූල ඝාතනය කරමින්, එහි වාර්ගික අධිපතිවාදී අරමුනු සඳහා අරාබි සහ ඊශ්‍රායල ජනතාවගේ කලාපීය ලේ වැගිරීමකට තර්ජනය කරයි.

ප්‍රාන ඇපකරුවන් හය දෙනාගේ මරනය, ඊශ්‍රායල සමාජයේ පුලුල් කොටසකට මෙම යථාර්ථය මුනගැස්වීය. එහෙත්, විරෝධතාවල වර්තමාන දැක්ම පෙන්නුම් කරන පරිදි, නෙතන්‍යාහුට පීඩනය යෙදීමෙන් හෝ ඔහු වෙනුවට වෙනත් යුද අපරාධකරුවන් පත් කර ගැනීමෙන් එය වෙනස් කල නොහැක.

මේ වන විට අවම වශයෙන් පලස්තීනුවන් 40,000 ක්—බොහෝ විට 200,000 කට ආසන්න සංඛ්‍යාවක්—බිලිගත් ජන සංහාරයට විරුද්ධ නොවී, ඊශ්‍රායල ආන්ඩුවට එරෙහි කිසිදු ප්‍රගතිශීලී අරගලයක් දියත් කල නොහැක.

හිස්ටඩ්‍රට් සභාපති ආනන් බාර්-ඩේවිඩ් ගේ “අපි ජීවිත නොතකා හැරීමට ඉඩ නොදෙන්නෙමු” යන ප්‍රතිඥාව අවඥාවෙන් සැලකිය යුතු ය. ජාතිකවාදී හිස්ටඩ්‍රට් නිලධරය පසුගිය මාස 11 තුල හරියටම කර ඇත්තේ මෙයයි. ගාසා තීරයේ ජන සංහාරය නැවැත්වීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රියාමාර්ගයක් සඳහා පලස්තීන වෘත්තීය සමිති ගාසා සම්මේලනයේ දී කල කැඳවුම නොසලකා හරිමින්, එය යුදෙව්වන් අරාබි කම්කරුවන්ගෙන් බෙදීමටත්, අහිංසක පිරිමින්, කාන්තාවන් සහ ලමයින් සමූලඝාතනය කිරීමටත් ඉඩ දීමට කටයුතු කර ඇත.

2023 මුල් භාගයේදී ඊශ්‍රායලය පුරා පැතිර ගිය මහජන විරෝධතා ව්‍යාපාරය විසින් මතු කරන ලද ප්‍රශ්න, යුද්ධය විසින් නැවතත් අතිශය හදිසි මට්ටමකට ගෙනැවිත් තිබේ.

අන්ත දක්ෂිනාංශික අධිකරන කුමන්ත්‍රනයක් කිරීමට නෙතන්‍යාහු දැරූ උත්සාහයට ඊශ්‍රායල සමාජයේ සැලකිය යුතු ප්‍රතිශතයක් විරෝධය පල කල එම ව්‍යාපාරයේ දී, ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට්, හිටපු ආරක්ෂක අමාත්‍ය බෙනී ගැන්ට්ස් සහ හිටපු අගමැති යාර් ලැපිඩ් විපක්ෂ නායකයින් ලෙස ඉදිරිපත් විය. විරෝධතා සංවිධායකයෝ සියොන්වාදී ව්‍යාපෘතියට පූර්න සහයෝගය පකිරීම මත පදනම් වූ අතර, පීඩිත පලස්තීන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ ප්‍රශ්නය භාර ගැනීම ප්‍රතික්ෂේප කලහ.

එතැන් පටන් දිග හැරුනු ව්‍යසනයට එම ඉදිරිදර්ශනය විශාල වශයෙන් වගකිව යුතුය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය එකල ලියූ පරිදි:

කෙසේ වෙතත්, එහි දැවැන්ත පරිමානය තිබියදීත්, මෙම මහජන ව්‍යාපාරයට, පරාජය නොකලහොත් මාරාන්තික බව ඔප්පු වන දුර්වලතාවයක් තිබේ: එය මෙතෙක් පලස්තීන ජනතාවගේ අරගල කිසිදු ආකාරයකින් වැලඳගෙන නොමැත...

සාර්ථකත්වයේ මොනයම් හෝ අවස්ථාවක් උදා කර ගැනීමට නම්, යුදෙව් කම්කරුවන් සහ තරුනයන්, සියොන්වාදී දෘෂ්ටිවාදයේ කප්පිත්තන් ඉවත් කර සමාජවාදී මූලෝපායක් අනුගමනය කල යුතු ය...

ඊශ්‍රායලයේ පලස්තීන ජනගහනය සහ වාඩිලාගෙන සිටින ප්‍රදේශ, ම්ලේච්ඡ මිලිටරි මර්දනය, වඩ වඩාත් නිර්ලජ්ජිත සුපරීක්ෂාකාරීත්වය සහ පදිංචිකරුවන්ගේ ප්‍රචන්ඩත්වය යටතේ පවතින කොන්දේසි යටතේ යුදෙව් කම්කරුවන්ට සහ තරුනයින්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත නොහැක. බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ මිලිටරි ආඥාදායකත්වයක් තිබියදී ඊශ්‍රායලය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැක.

අන්ත දක්ෂිනාංශික ආන්ඩුව යටතේ පලස්තීනුවන්ට එරෙහි තාඩන පීඩන දිගට ම පැවතිය ද, විරෝධතා බිඳ වැටුනි.

ඔක්තෝබර් 7 ආක්‍රමනයෙන් පසුව, ගැලන්ට් සහ ගැන්ට්ස් යන දෙදෙනා ම නෙතන්‍යාහුගේ යුද කැබිනට්ටුවට සහ එහි අපරාධවලට සහභාගී වීමට කැමති වූ අතර, ලැපිඩ් නොසැලෙන ලෙස පක්ෂපාතී “විපක්ෂයක” භූමිකාව භාර ගත්තේය. දැන් ඔවුන් නැවතත් නෙතන්‍යාහු, ස්මොට්‍රිච් සහ බෙන් ග්වීර්ගේ දොරකඩ තබා ඇති අර්බුදයට පිලිතුරක් ලෙස ඉදිරිපත් කර ඇත්තේ, ඊශ්‍රායෙල්වරුන්ට සිදු වූ හානිය අනුව පමනක් සකසා ගත් දෙයකි.

ෆිලඩෙල්ෆි කොරිඩෝව කොන්දේසියක් ලෙස ඇතුලත් කිරීම සඳහා නෙතන්‍යාහුගේ අවධාරනයට බ්‍රහස්පතින්දා කැබිනට් රැස්වීමේදී ඔහුගේ එකම විරුද්ධ ඡන්දය ලබා ගැනීමට ගැලන්ට්ගෙන් උදව් ඉල්ලා තිබේ. ගැන්ට්ස් ජුනි මාසයේදී ආන්ඩුවෙන් ඉවත් විය.

නමුත් මෙය යුද අපරාධකරුවන් අතර විරසකයකි. ගැලන්ට් සහ ගැන්ට්ස් යන දෙදෙනා ම ඊශ්‍රායලයේ ජන සංහාරයට සහභාගී වී ඇත්තේ ඉහල ම මට්ටමේ කැමැත්තකිනි—ගැලන්ට්, නෙතන්යාහු සමග, ජාත්‍යන්තර අපරාධ අධිකරනයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට යටත් වේ. එකම සියොන්වාදී ඉදිරිදර්ශනය මත පදනම් වූ ඔවුන් තුල ඇත්තේ, තනිකරම උපායාත්මක නොඑකඟතාවයකි; තවද, විශේෂයෙන්, ගාසා තීරය තුල ඊශ්‍රායල සොල්දාදුවන් අනවශ්‍ය ලෙස සිරකර තැබීම, ලෙබනනයට සහ ඉරානයට එරෙහිව ඊශ්‍රායලයේ යුද සැලසුම් තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අරමුනින් සිටින ගැලන්ට්ගේ බලාපොරොත්තු වලට වල කපයි.

මෙම සංඛ්‍යා මත පදනම් වන ආන්ඩු විරෝධී විපක්ෂයක දේශපාලන බංකොලොත් භාවය සඳුදා පෙන්නුම් කෙරුනේ, විරෝධතා ප්‍රමානයෙන් අඩු වීමේ සහ වැඩවර්ජනය දැඩි ලෙස සීමා වී තිබීමේ ආකාරයෙනි. බොහෝ විරෝධතා සහ වැඩ නැවැත්වීම් පැවැත්වුනේ, නෙතන්‍යාහුට එරෙහි අරගලයකට වඩා, මියගිය ප්‍රාන ඇපකරුවන් වෙනුවෙන් පැවැත්වුනු ශෝක දිනයක් ලෙසට ය. සැලසුම් කර තිබූ සවස 6 ට කලින්, 2:30 ට වැඩවර්ජනය අවසන් කරමින් අධිකරන නියෝගයකට අනුකූල වීම මගින්, හිස්ටඩ්‍රට් විරෝධතා ව්‍යාපාරය පරෙස්සම් සහගත ව සීමා කිරීම සාරාංශ ගත විය.

සියොන්වාදී පීඩනයෙන් පලස්තීන ජනතාව මුදාගැනීම සඳහා සමගියෙන් සටන් වදිමින්, ඊශ්‍රායල කම්කරු පන්තිය විසින් දේශපාලන අරගලයේ නව අක්ෂයක් නොගතහොත්, නෙතන්‍යාහු, ගැලන්ට් හෝ වෙනත් කෙනෙක් යටතේ ඊශ්‍රායල පාලන තන්ත්‍රය ජන සංහාරය, වාර්ගික ශෝධනය සහ වර්නභේදවාදයේ සිය පිලිවෙත ම ඉදිරියට ගෙන යනු ඇත.

වෙන කවරදාකටත් වඩා, පුද්ගලික දේශපාලන ආස්ථානයට එල්ල වන තර්ජනයට නෙතන්‍යාහුගේ ක්ෂනික ප්‍රතිචාරය වනුයේ, හැකි උපරිම දක්ෂිනාංශික වාතාවරනයක් නිර්මානය කිරීමේ උත්සාහයක් ලෙස, ඊශ්‍රායල ආක්‍රමනකාරීත්වය උත්සන්න කිරීම සහ ඔහුගේ ෆැසිස්ට් ආධාරකරුවන් ධෛර්යමත් කිරීම යි; විශේෂයෙන් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, “අපි පීඩනයට යටත් නොවන්නෙමු,” යි ඔහු පවසා තිබේ.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය ද ඇතුලුව, උත්සන්න වන ගෝලීය යුද්ධයක කොටසක් ලෙස ගාසාවේ ජන සංහාරයට සහාය දෙන නැටෝ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්න මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික පිටුබලය ඔහුට ඇති නිසා, ඔහුට එවැනි දන්ඩමුක්තියකින් ක්‍රියා කල හැකි බව නෙතන්‍යාහු දනී.

ඊශ්‍රායලයේ කම්කරුවෝ දැවැන්ත දේශපාලන ප්‍රශ්නවලට මුහුන දෙති. ඒවාට පිලිතුරු දිය හැක්කේ සියොන්වාදයෙන් බිඳී යාමෙන් පමනි. තම පාලක පන්තියට විරුද්ධ වීමේ දී, ඔවුන් ගාසා තීරයේ ජන සංහාරයට සහ ඊශ්‍රායල රාජ්‍යයේ පදනම වන වාර්ගික-ආගමික බැහැර කිරීම්වලට (වෙනස්කම් වලට) විරුද්ධත්වය එහි හරි මැද තැබිය යුතු ය.

වත්මන් ව්‍යසනයෙන් ගැලවීමට ඇති එකම මග වන්නේ, ඊශ්‍රායල දේශපාලනයේ වඩ වඩාත් මිනීමරු හා ඒකාධිපති වර්ධනය සමග වෙන් කල නොහැකි ලෙස බද්ධ වී ඇති පලස්තීනුවන්ට එල්ල කරන ඓතිහාසික හිංසා පීඩා සහ නෙරපා හැරීම අවසන් කිරීම සඳහා මැද පෙරදිග එක්සත් සමාජවාදී රාජ්‍යයක් සඳහා සටන් වදින යුදෙව් හා අරාබි කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකි.

Loading