බලහත්කාරී ආදාහනයන් ගැන සමාව අයදිමින් ජනාධිපතිවරයා මුස්ලිම් ජනයාගෙන් ඡන්දය ඉල්ලයි

[මෙය Sri Lankan president appeals to Muslim voters with apology over forced cremation මැයෙන් 2024 සැප්තැම්බර් 6දා පල කල ලිපියේ පරිවර්තනය යි.]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විෂඝෝර කප්පාදු න්‍යාය පත්‍රය අනුකම්පා විරහිත ව ක්‍රියාවට දමන්නා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදියෙක්, වර්ගවාද-විරෝධියෙක් හා මහජනයාගේ ජීවන කොන්දේසි ඉහල දැමීමට ක්‍රියාකරන සත් පුරුෂයෙක් ලෙස මේ දිනවල රඟපෑමක යෙදී සිටී. සැප්තැම්බර් 21දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයට ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්නේ, තම එක්සත් ජාතික පක්ෂය (එජාප) පරඬල් වී ඇති නිසා ය.

2024 අගෝස්තු 15දා කොලඹ ජනාධිපතිවරන රැලියක් අමතන ජනාධිපති රනිල් වික්‍රමසිංහ (ඒපී ඡයාරූප/ එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

2020-2021 කෝවිඩ්-19 වසංගතය සමයේ මියගිය අයවලුන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීමට නියම කෙරුනු මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගමික ජනයාගේ හිතවතෙකු ලෙස දැන් ඔහු මවාපාමින් සිටී. මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යාමේ දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.

අත්‍යවශ්‍ය ආදාහන නියෝග හේතුවෙන් බලපෑමට ලක්වුනු සියලු ප්‍රජාවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන නිවේදනයක් නිකුත් කිරීමට ජූලි 23දා කැබිනට් මන්ඩලය ක්‍රියා කලේ, ජනාධිපති වික්‍රමසිංහගේ මූලිකත්වය මත ය. කැබිනට් ප්‍රකාශයේ මෙසේ සටහන් විය: “අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය හේතුවෙන් විවිධ ආගමික කන්ඩායම්වල සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ මෙන්ම විශේෂයෙන් මුස්ලිම් ආගම අදහන තැනැත්තන්ගේ කනස්සල්ලට හේතු විය.”

භූමදාන හා ආදාහන අයිතිවාසිකම් පිලිබඳ පනත් කෙටුම්පතක්, ආන්ඩුවේ ගැසට් පත්‍රයේ පලකොට පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට්ටුව සැප්තැම්බර් 3දා, අනුමැතිය දුන්නේ ය. මෙම පනත “පුද්ගලයෙකුගේ මරනයෙන් පසුව මෘත දේහය බැහර කිරීමේ ක්‍රමවේදය භූමදානය මගින් ද ආදාහනය මගින් ද යන්න තීරනය කිරීමේ අයිතිය එම පුද්ගලයාට පවරන ' බවට වගන්ති මෙම පනතට ඇතුලත් වනු ඇතැයි වාර්තාවල සඳහන් වේ.

කෝවිඩ්-19 වැලඳී මියගිය මුස්ලිම් ආගමිකයන් ආදාහනය කිරීමට බලකිරීමට රාජපක්ෂ ගත් වර්ගවාදී තීන්දුවට, අනෙකුත් විරුද්ධ පක්ෂ සමගින් එජාපය ලබා දුන් සහයෝගය ආවරනය කිරීමට වික්‍රමසිංහ ගන්නා උත්සාහය කුහක ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් ප්‍රතික්ෂේප කල රාජපක්ෂ ආන්ඩුව, කෝවිඩ් රෝගයට ගොදුරුව මියගිය අය භූමදානය කිරීමෙන් භූගත ජලය අපවිත්‍ර වේ යැයි තම “විශේෂඥයන්” උපදෙස් දුන් බව ප්‍රකාශ කරමින්, ඔවුන්ගේ මල සිරුරු භූමදානය කිරීම තහනම් කලේය.

අහිංසක පුද්ගලයින් 269ක් මරා දමමින් හා 500කට පමන තුවාල සිදු කරමින්, අයිඑස්අයිඑස් පිටුබලය ලබන ඉස්ලාමීය අන්තවාදී කන්ඩායමක් 2019 පාස්කු ඉරිදා දින පල්ලි හා සුඛෝපභෝගී හෝටල්වලට එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව, ලංකාව තුල ගෙන ගිය මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක කොටසක් ලෙසය, මෙම අවිද්‍යාත්මක තීරනය ද ගන්නා ලද්දේ.

සියලු විරුද්ධ පක්ෂවල පිටුබලය ලැබූ පාලක පක්ෂය, මිනිස් සංහාරය අරබයා ඇති වූ කෝපය අපසරනය කලේ, මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදය අවුලුවමිනි. දුසිම් ගනනකට තුවාල සිදු කරමින්, සංවිධිත වර්ගවාදී කන්ඩායම් අහිංසක මුස්ලිම් වැසියන්ට හා ඔවුන්ගේ දේපොලවලට ප්‍රචන්ඩ ප්‍රහාර එල්ල කලහ. මෙම පහර දීම් වල දී අවම වසයෙන් එක් පුද්ගලයෙකු මරා දැමුනි.

මුස්ලිම් වැසියන් ආරක්ෂා කිරීමට පියවර නොගෙන ප්‍රචන්ඩ ප්‍රහාරයට ඉදිරියට යාමට ඉඩ ලබාදුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආන්ඩුවේ අගමැතිවරයා වූයේ වික්‍රමසිංහ ය. පාස්කු ප්‍රහාරකයන් “ත්‍රස්තවාදීන්” ලෙස ලේබල් කරන ලෙස මුස්ලිම් වැසියන්ට බලකරමින්, 2019 මැයි 7දා පාර්ලිමේන්තුවේ කතාවක් කල ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, මෙම වනචර පාලියට එක් විය. “මෙම විනාශකාරී කලලය වර්ධනය වන්නේ මුස්ලිම් ගර්භාෂය ඇතුලේ” යයි ඔහු ප්‍රකාශ කලේ ය.

“ජාතික ආරක්ෂාව” ස්ථාපිත කරමින් “ත්‍රස්තවාදය” පරාජය කිරීමට පොරොන්දු වුනු දුෂ්ට මුස්ලිම්-විරෝධී හා දෙමල-විරෝධී උද්ඝෝෂනයක් අවුස්සමින් ගෙනගිය උද්ඝෝෂනයකින් ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරනය ජයග්‍රහනය කලේ ය. කෝවිඩ්-19 වසංගතය මධ්‍යයේ, ජීවන කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට ඔහුගේ ආන්ඩුව එල්ල කල ප්‍රහාරවලට එරෙහි ව වැඩුනු මහජන විරුද්ධත්වය අපසරනය කිරීම සඳහා, බලයේ සිටිය දී විෂකුරු ප්‍රජාගනවාදය යොදා ගැනීමට ඔහු අඛන්ඩ ව ක්‍රියා කලේ ය. ලංකාව තුල මාරාන්තික වසංගතයේ මූලාශ්‍රය වූයේ මුස්ලිම් ප්‍රජාවය යන වනචර උද්ඝෝෂනයකට ඔවුන් ව යටත් කරන ලදි.

සමගි ජන බලවේගය (සජබ) හා ජවිපෙ ඇතුලු කිසිදු විරුද්ධ පක්ෂයක්, මෙම දුෂ්ට වර්ගවාදී උද්ඝෝෂනයට විරුද්ධ නොවීය. එජාපය හා එහි එක ම මන්ත්‍රීවරයා වූ වික්‍රමසිංහ ද ක්‍රියාකලේ එලෙසය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුලු මුස්ලිම් පක්ෂ මීට විරෝධය පල කල ද එම පක්ෂ විරුද්ධත්වය පල කලේ, විශේෂයෙන් ම බලහත්කාරයෙන් ආදාහනය කිරීම ගැන මුස්ලිම් ප්‍රජාව තුල පැවති කෝපය ගසාකෑම සඳහා ය.

රටෙහි ඉහල ම අධිකරනය වන ශ්‍රේෂ්ඨාධිකරනය ද 2020 දෙසැම්බර් 2දා මුස්ලම් සිවිල් සමාජ සාමාජිකයන් විසින් ගොනු කරන ලද පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ආන්ඩුවේ පිලිවෙතට අනුමැතිය දුන්නේ ය.

2021 ජනවාරි 25දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිකුත් කල විශේෂඥ වාර්තාවක්, රාජපක්ෂ ආන්ඩුව තියුනු ලෙස විවේචනය කරමින් මෙසේ සඳහන් කලේය: “රට තුල සිටින මුස්ලිම් වැසියන්ට හා අනෙකුත් සුලුතර ජනයාට හිංසා කිරීමකට සමාන වන වෙනස්කම් කිරීම, සැහැසි ජාතිකවාදය හා වර්ගකේන්ද්‍රවාදය මත පදනම් වන මෙබඳු මහජන සෞඛ්‍ය තීරනයන් ක්‍රියාවට දැමීම අපි හෙලා දකිමු.” එය මෙසේ ද සඳහන් කලේ ය: “එවන් තීරන මගින් වෙනස්කම්වලට බඳුන් වීමේ භීතියෙන් දුගීන් හා වඩාත් ම පීඩනයට පත්වන්නන් මහජන සෞඛ්‍යාරක්ෂනයට ප්‍රවේශ වීම වැලකේ.”

රට තුල හා ජාත්‍යන්තර ව වැඩෙන විරුද්ධත්වයට මුහුන දුන් රාජපක්ෂ, 2021 මාර්තුවේ දී බලහත්කාරයෙන් ආදාහනය කිරීම් අවසන් කලේ ය. එහෙත් භූමදානයන් සිදු කිරීමට අවසර ලැබුනේ, දිවයිනේ නැගෙනහිර පලාතේ ඔඩ්ඩමාවඩි නමැති ඉතා දුර බැහැර ප්‍රදේශය තුල, දැඩි මිලිටරි අධීක්ෂනය යටතේ හා විපතට පත්වූවන්ගේ පවුල්වල සහභාගිත්වයෙන් තොරව ය.

භූමදානය හෝ ආදාහනය පිලිබඳ අයිතිය තහවුරු කිරීම සඳහා වික්‍රමසිංහ ගෙන එන නීතිය, මුස්ලිම් ඡන්ද ගරාගැනීමේ නරුම උප්පරවැට්ටියකි. දිවයිනේ නැගෙනහිර පලාතේ පිහිටි මුස්ලිම් බහුතරයක් ජීවත් වන ප්‍රදේශයක් වන, කාත්තන්කුඩියේ පැවති මැතිවරන රැලියක දී, රට තුල “වර්ගවාදයට හා අගතීන්ට තැනක් නැති” බව ඔහු ප්‍රකාශ කලේ, “කෝවිඩ් වසංගතය සමයේ මුස්ලිම් සිරුරු ආදාහනය කිරීමට නිර්දේශ කල අය ගැන විමර්ශනය කරනු වස් කමිටුවක්” පිහිටුවන බව සඳහන් කරමිනි.

බලහත්කාරී ආදාහනයන් ක්‍රියාත්මක කල රාජපක්ෂ ආන්ඩුවේ “වර්ගවාදයට හා අගතීන්ට” විරුද්ධ වීමට තමන් ඉදිරිපත් නොවූයේ මන්දැයි පැහැදිලි කිරීමට වික්‍රමසිංහ කරදර වූයේ නැත. ප්‍රසිද්ධියේ සමාව අයැදීම්, ව්‍යාජ කමිටු හා භූමදානය පිලිබඳ නීති, මුස්ලිම් හා දෙමල ජනයාට එරෙහි දශක ගනනාවක වාර්ගික වෙනස්කම් විසඳීමට කිසිවක් නොකරනු ඇත.

කම්කරු පන්තිය බෙදමින් ධනේශ්වර පාලනයට මුක්කුව දෙනු වස් අවුලුවන හා යොදා ගන්නා වර්ගවාදී දේශපාලනය තුල සමස්ත කොලඹ දේශපාලන සංස්ථාපිතය ම කරවටක් ගිලී සිටී.

1948 දී බ්‍රිතාන්‍ය විජිත පාලනයෙන් නාමික නිදහස ලැබීමෙන් පසුව පලමු ආන්ඩුව තැනූ එජාපය, කම්කරු පන්තිය වාර්ගිකව බෙදීම ඉලක්ක කරමින්, දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය අහෝසි කලේය.

දේශපාලන අර්බුදය උග්‍රවන සෑම අවස්ථාවකදී ම ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු, දෙමල-විරෝධී වර්ගවාදය උත්සන්න කොට, දෙමල සුලුතරයට එරෙහි ප්‍රචන්ඩත්වය හා සංහාර දියත්කරමින් බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 26-අවුරුදු ලේවැකි සිවිල් යුද්ධය ඇවිල වූයේය. 2009 යුද්ධය අවසන් කෙරුනේ මිලිටරි ප්‍රහාර මගින් දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් ඝාතනය කරමිනි. තවත් දහස් ගනනක් “අතුරුදන්” කල අතර, මුලු රටම විනාශයන්ට ගොදුරු කෙරුනි.

එජාපය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) යන පාලක පන්තියේ ප්‍රධාන පක්ෂ දෙකම කුරිරු ලෙස දෙමල-විරෝධී වර්ගවාදී යුද්ධය ගෙන ගියහ. මෙම පක්ෂ දෙක ම එතැන් සිට කෑලිවලට කැඩී ගොස් ඇත. විපක්ෂයේ සජබය ඇතුලු එසේ බිඳී ගිය සියලු කන්ඩායම් වර්ගවාදී දේශපාලනය තුල කරවටක් ගිලී සිටිති. සිංහල ජනතාවාදයේ පදනම මත බිහි කෙරුනු ජවිපෙ, යුද්ධයේ උග්‍ර සහකරුවෙක් ලෙස ක්‍රියා කලේය.

දෙමල හා මුස්ලිම් පක්ෂ, තමන්ගේ පැත්තෙන් ජන කොටස්වල ආරක්ෂකයන් ලෙස මවා පාමින් සිටින්නේ “තමන්ගේ ම” කම්කරු පන්තිය සූරාකෑම සඳහා පුලුල් අයිතීන් ලබා ගනු වස්, කොලඹ ආන්ඩු සමග කේවල් කිරීම සඳහාය.

ලොව පුරා ආන්ඩු මෙන්, ජීවිතවලට ඉහලින් ලාභය තැබූ රාජපක්ෂ පාලන තන්ත්‍රය ගෙනගිය විනාශකාරී ලෙස වසංගතය “පැතිරීමට ඉඩ දීමේ” පිලිවෙත සමග මේ සියලු පක්ෂ ඒකාබද්ධ වූහ. අනාරක්ෂිත කොන්දේසි මධ්‍යයේ අගුලු දැමීම් අවසන් කරන ලද්දේ, රැකියා හා වැටුප් කපමින් අර්බුදයේ බර වැඩකරන ජනයා මත පටවා කම්කරුවන්ට ආපසු වැඩට යාමට බල කරමිනි.

සියලු ආකාරයන්ගේ ජාතිකවාදයන්ට හා ස්වෝත්තමවාදයන්ට විරුද්ධ වෙමින් කම්කරු පන්තිය දේශපාලනික ව එක්සත් කිරීමට සටන් කර ඇත්තේත්, මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට විරුද්ධ වී ඇත්තේත්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් සංවිධානය කරන ලද, 2020 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලිය ඇමතු සසප හිටපු ප්‍රධාන ලේකම් අභාවප්‍රාප්ත විජේ ඩයස්, “වසංගතය මතු කල අභියෝග ඉදිරියේ තම අසමර්ථ බව කම්කරු පන්තියට පෙනී යාම වැලැක්වීමට ඔවුන් මංමුලා කොට ව්‍යාකූල කිරීමට වර්ගවාදය අවුලුවමින්” සිටීම ගැන දකුනු ආසියාව පුරා ආන්ඩු හෙලාදුටුවේ ය.

“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙ රටේ ම පාලක ප්‍රභූව ඊනියා “වෛරස් පොකුරු” නිර්මානය කිරීමේ ලා මුස්ලිම් පවුල් වගකිව යුතු යැයි මුස්ලිම් විරෝධී භීතිකාවක් උත්සන්න කරමින් සිටී.”

ඔහු තවදුරටත් මෙසේ අදහස් දැක්වී ය: “ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පාදක වූ හජාජාකයේ සහ එහි ශාඛාවන්ගේ විශ්ලේෂන සනාථව ඇත. ශ්‍රී ලංකාවේ හෝ වෙන අන් තැනක හෝ ධනේශ්වර පන්ති පාලනය යටතේ අධිරාජ්‍යවාදයෙන් නිදහසවත්, ප්‍රජාගනවාදයට එරෙහිව කම්කරු පන්තියේ එක්සත් බවවත් සාධා ගත නොහැක්කේ, එය මූල්‍ය ප්‍රාග්ධනයේ කුනු වූ නියෝජිත ආයතනය මිස අන් කිසිවක් නොවන නිසා ම ය.”

වර්තමාන ජනාධිපතිවරනයේ සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධන, සියලු ආකාරවල වර්ගවාදයන්ට, ස්වෝත්තමවාදයන්ට හා ජාතිකවාදයන්ට විරුද්ධව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා දේශපාලනිකව සටන් කරයි .

ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි ව ලංකාව තුල වාර්ගික රේඛා කපාගෙන වර්ධනය වන පන්ති අරගල, කම්කරු පන්තියේ වෛෂයික එකමුතුව අවධාරනය කරන අතර ම වෘත්තීය සමිතිවල හා ව්‍යාජ-වමේ ජාතිකවාදය හා ස්වෝත්තමවාදය හෙලිදරවු කර ඇත.

සමාජවාදී පිලිවෙත් සඳහා ද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා ද කරන අරගලයක් තුලින්, සියලු ආකාරවල වෙනස්කම් කිරීම්වල මූලය වන ධනපති ක්‍රමය පෙරලා දැමීම මගින් පමනකි, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමත්, වෙනස්කම් කිරීම් අවසන් කිරීම සාක්ෂාත් කර ගත හැකි වන්නේ

Loading