[මෙය Leading SEP candidates contesting the Sri Lankan parliamentary elections යන මැයෙන් 2024 ඔක්තෝබර් 14 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
සමාජවාදී සමානතා පක්ෂය (සසප) ශ්‍රී ලංකාවේ නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරනයට තරඟ වැදීම සඳහා අප තෝරාගත් අපේක්ෂකයින් පිලිබඳව සාඩම්බරයෙන් නිවේදනය කරයි. සසප අපේක්ෂකයින් 41 ක් මැතිවරන දිස්ත්‍රික්ක තුනකින්—ප්‍රධාන නගරය වන කොලඹ 20 ක්, උතුරේ යාපනයේ 9 ක් සහ මධ්‍යම වතුකරයේ නුවරඑලියේ 11 ක්—මැතිවරනය සඳහා ඉදිරිපත් වනු ඇත.
ඉන්, මෙම සෑම දිස්ත්‍රික්කයකම ඡන්දදායකයින්ට සෘජුවම සසප ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන අතර, එහි මැතිවරන ව්‍යාපාරය රට පුරා කම්කරුවන්, ගම්බද ජනතාව සහ තරුනයින් වෙත ලඟා වනු ඇත.
සෙනසුරාදා පලකල අපගේ මැතිවරන නිවේදනය පැහැදිලි කලේ, “යුද්ධය, කප්පාදුව සහ ඒකාධිපති පාලන ක්‍රම වෙත හැරීමට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා” අප උද්ඝෝෂනය කරන බවයි.
පහත සසප අපේක්ෂකයින් මෙම සටනට නායකත්වය දෙනු ඇත:
කොලඹ
76 හැවිරිදි විලානි පීරිස්, දිගුකාලීන සසප දේශපාලන කමිටු (දේක) සාමාජිකාවක් වන අතර, කොලඹ දිස්ත්‍රික්කයේ සසප අපේක්ෂක ලැයිස්තුවේ ප්‍රධානියා වේ. ඇය 1969 දී, පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම, ශ්‍රී ලංකාවේ සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජිකාවක් වූවාය.
ඇය පක්ෂයේ වැඩ කටයුතුවල ප්‍රධාන ක්ෂේත්රවල ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. පීරිස්, පක්ෂය දියත් කරන ලද වැදගත් කම්කරු විමර්ශන කමිටු හතරක් මෙහෙයවූවා ය: කොරියා සිලෝන් සහ ඇන්සල් ලංකා වැනි නිදහස් වෙලඳ කලාප කර්මාන්තශාලාවල කම්කරුවන් මුහුන දෙන කොන්දේසි ගැන; රතුපස්වල-වැලිවේරිය ප්‍රදේශයේ ජල දූෂනය සම්බන්ධයෙන් සහ කොලඹ පිටත තදාසන්න ප්‍රදේශයක් වන මීතොටමුල්ල කුනු කන්දේ මාරාන්තික කඩා වැටීම ගැන.
ඇය පක්ෂයේ සිංහල පුවත්පත වූ කම්කරු මාවත ට සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට, දකුනු ආසියාව, ශ්‍රී ලංකාවේ නාගරික කම්කරුවන් මුහුන දෙන කොන්දේසි සහ ව්‍යාජ-වාම පක්ෂවල දේශපාලනය ගැන ලියා ඇත. පීරිස් පසුගිය මැතිවරනය තුන සඳහා කොලඹ දිස්ත්‍රික්කයේ සසප අපේක්ෂක ලැයිස්තුවේ ප්‍රධානියා වූවා ය.
26 හැවිරිදි සකුන්ත හිරිමුතුගොඩ දේශපාලන කමිටුවේ සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානියේ ප්රමුඛ සාමාජිකයෙකි. පාසල් ශිෂ්‍යයෙකු ලෙස, ගැඹුරු වන සමාජ ප්‍රශ්නවලට විසඳුම් සොයා යද්දී, සකුන්ත සසප සමාජවාදී වැඩපිලිවෙලට ආකර්ෂනය වූ අතර වයස අවුරුදු 18 දී පක්ෂ සාමාජිකයෙකු බවට පත් විය. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට, කොරෝනා වෛරස් වසංගතය ඇතුලුව, සමාජ හා තරුන ප්‍රශ්න සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් ලියයි. විද්‍යාවේදී උපාධිය සම්පූර්න කර ඇති ඔහු පරිසර විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් සඳහා සූදානම් වෙමින් සිටී.
33 හැවිරිදි දිනේෂ් හේමාල්, දේශපාලන කමිටු සාමාජිකයෙකු මෙන්ම ප්රමුඛ සසජාතශි සාමාජිකයෙකු ද වේ; ඔහු, දෙමල ජාතික ප්‍රශ්නයට විසඳුම ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ එහි ස්ථිර දේශපාලන ඉදිරිදර්ශනය මත 2016 දී සසප වෙත ආකර්ෂනය විය. ඔහු ඉන්දියානු දේශපාලනය, කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් සහ දෙමල ජාතිකවාදී දේශපාලනයේ ප්රතිගාමී ඉදිරිදර්ශනය පිලිබඳ ලෝසවෙඅ ලේඛකයෙකි.
72 හැවිරිදි ඩබ්ලිව්.ඒ. සුනිල් 1975 දී තුල්හිරිය පෙහෙ කම්හලෙන් රෙදිපිලි කම්කරුවෙකු ලෙස පක්ෂයට බැඳුනු අතර 1977 දී දේශපාලන කමිටුවේ සාමාජිකයෙක් බවට පත් විය. තම කම්හලේ වැඩ වර්ජන අරගලයකට සක්‍රීයව සම්බන්ධ වූ ඔහු 1976 දී පොලිස් අත්අඩංගුවට පත් විය. විකොස ඒ වෙනුවෙන් ගෙන ගිය උද්ඝෝෂනය හේතුවෙන්, සුනිල් මාසයකට පසු චෝදනා නොමැතිව නිදහස් කරන ලදී. ඔහු රෙදිපිලි, දුම්රිය හා වතු කම්කරුවන් අතර ක්‍රියාකාරී ව සිට ඇත.
ඔහු 1989 දී එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව යටතේ රාජ්‍ය ආරක්ෂක හමුදා විසින් යලි අත්අඩංගුවට ගනු ලැබූ නමුත්, විකොස සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) බලගතු මැදිහත්වීම හේතුවෙන් දින තුනකට පසු නිදහස් කරන ලදී. ඔහු ලෝසවෙඅ නිත්‍ය ලේඛකයෙකි.
යාපනය
සසප දේශපාලන කමිටු සාමාජිකයෙකු වන 54 හැවිරිදි තිරුඥාන සම්බන්ධන් යාපනය දිස්ත්‍රික්කයේ සසප අපේක්ෂක ලැයිස්තුවේ ප්‍රධානියා වේ. ඔහු 1992 දී කොලඹ ආන්ඩුවේ උතුරු නැගෙනහිර ප්රතිගාමී වර්ගවාදී යුද්ධය මධ්‍යයේ විකොසට බැඳුනි. වඩ්ඩුකොඩ්ඩෙයි ප්‍රදේශයේ සරනාගත කඳවුරක අවතැන්ව සිටියදී, ඔහු විකොස දෙමල භාෂා පුවත්පත වන තොලිලලර් පාතයි කියවූ අතර ජාතික ප්රශ්නය පිලිබඳ ට්‍රොට්ස්කිවාදයේ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයට ආකර්ෂනය විය.
සම්බන්ධන්, කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සිංහල ආධිපත්‍යවාදයට සහ දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ බෙදුම්වාදී ජාතිකවාදී දැක්ම යන දෙකටම එරෙහිව දෙමල හා සිංහල කම්කරුවන්ගේ එකමුතුව සඳහා නොසැලෙන සටන්කරුවෙකි. ඔහු 2013 සිට තුන් වතාවක් උතුරු කලාපයේ සසප අපේක්ෂක ලැයිස්තුවට නායකත්වය දී ඇත.
1998 දී, යුද්ධයට සහ එල්ටීටීඊයේ බෙදුම්වාදී වැඩපිලිවෙලට එරෙහිව සසප පෝස්ටර් ඇලවීම නිසා සම්බන්ධන්, රාජේන්ද්‍රන් සුදර්ෂන් ඇතුලු තවත් සහෝදරයින් තිදෙනෙකු සමග එල්ටීටීඊය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ලෝසවෙඅ හරහා හජාජාක ගෙන ගිය බලගතු ජාත්‍යන්තර ව්‍යාපාරයකින් පසු, දින 50 කට පසු සසප සහෝදරයින් නිදහස් කිරීමට එල්ටීටීඊයට බල කෙරුනි.
53 හැවිරිදි රාජේන්ද්‍රන් සුදර්ෂන් 1992 සිට පක්ෂ සාමාජිකයෙකි. ඔහු විකොසට බැඳුනේ, සිවිල් යුද්ධය පැවති සමයේ, උතුරේ කයිට්ස් දූපතේ පිහිටි සිය නිවසින් අවතැන් වී කිලිනොච්චියේ ජීවත් වන විට ය. ප්‍රතිවාදී දෙමල ජාතිකවාදී සංවිධාන අතර කටුක අභ්‍යන්තර ආරවුල් මධ්‍යයේ, ඔහු විකොස ජාත්‍යන්තරවාදී දැක්මට සහ වර්ගවාදයට හා ජාතිභේදවාදයට එරෙහි වීමට ආකර්ෂනය විය. සුදර්ෂන් ධීවරයෙකු වන අතර කයිට්ස් සහ වේලනෙයි ප්‍රදේශයේ ධීවර ප්‍රජාව තුල සක්‍රීයව ප්රචාරක කටයුතු සිදු කරයි.
32 හැවිරිදි මහාලිංගම් දිලක්ෂන්, 2022 සිට සසපයේ දේශපාලන කමිටු සාමාජිකයෙකි. ඔහු යාපනයේ රඟහලක සේවය කරමින් සිටියදී, 2019 දී සසපට බැඳුනු අතර දෙමල ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් එහි ප්‍රතිපත්ති මගින් ඒත්තු ගැන්වී ඇත. ඔහු යාපනයේ උසස් තාක්ෂන ආයතනයේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරා ඇත. ඔහු සසජාතශි නායකයෙක් සහ යාපනය විශ්වවිද්‍යාල සිසුන් අතර නිත්‍ය උද්ඝෝෂකයෙකි. ඔහු දෙමල ධනේශ්වර දේශපාලනය සහ තරුන ප්‍රශ්න ගැන ලියයි.
නුවරඑලිය
71 හැවිරිදි මයිල්වාගනම් දේවරාජා, දේශපාලන කමිටු සාමාජිකයෙකු වන අතර වන අතර නුවරඑලිය දිස්ත්‍රික් සසප ලැයිස්තුවේ නායකත්වය දරයි. දෙමල ජාතිකවාදී දේශපාලනය පිලිකුල් කල ඔහු, 1979 දී, යාපනය දිස්ත්‍රික්කයේ පලාත් පාලන දෙපාර්තමේන්තුවේ තාක්ෂනික නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියදී විකොසට බැඳුනි. 1983 සිට පක්ෂයේ පූර්න කාලීන සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු, වාර්ගික යුද්ධයේදී උතුරු කලාපයේ පක්ෂ වැඩ කටයුතු මෙහෙයවීය.
ඊනියා ඉන්දීය සාම-සාධක හමුදා දිවයිනේ උතුරු හා නැගෙනහිරට ගෙන ආ 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව විකොස ව්‍යාපාරයේ දී දේවරාජා මූලික ක්රියාකලාපයක් ඉටු කලේ ය. යුද්ධයට හා එල්ටීටීඊයේ දෙමල බෙදුම්වාදයට මෙන්ම ගිවිසුමට එරෙහිව ද, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ගෙනගිය ප්රතිගාමී සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරයට ද එරෙහිව සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමට විකොස සටන් වැදුනි.
දේවරාජා 1990 දශකයේ මුල් භාගයේ සිට ශ්‍රී ලංකාවේ මධ්‍යම වතුකරයේ ප්රචාරක කටයුතුවල නියැලී ඇත. ලංකා කම්කරු කොංග්‍රසයට (සීඩබ්ලිව්සී) විරුද්ධව වතුකරය තුල ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ අරගලයට ඔහු නායකත්වය දුනි. මස්කෙලියේ ඕල්ටන් වතුයායේ කම්කරුවන්, සමාගම සහ ආන්ඩුව ඒකාබද්ධව දඩයම් කිරීමට එරෙහිව වතු කම්කරුවන් ආරක්ෂා කිරීමේ සසප ව්‍යාපාරය මෙහෙයවීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධය.
67 හැවිරිදි අයිරාංගනී සිල්වා, 1991 වසරේ සිට පක්ෂ සාමාජිකාවක වූවාය. පස්සර සහ වීරියබැද්ද තේ වතුවලටත්, බන්ඩාරවෙල සහ බදුල්ල රෙදිපිලි කර්මාන්ත ශාලාවල පැන නැගි කම්කරු අරගල රැසකටත් ඇය සම්බන්ධ වී ඇත. ඇය 1996 දී සහ 2022 දී පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරී පත් වූවාය.