මංකොල්ලකෑමක් සම්බන්ධව පමුනුගම පොලිසිය විසින්, ඔක්තෝබර් 24 දා, අත්අඩංගුවට ගත් තරුනයන් දෙදෙනෙකු, පොලීසිය තුල දී අමානුෂික අන්දමින් පහර දීමට ලක්ව ඇත. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, මීගමුව, ජා-ඇල වෙරල මාර්ගයේ පිහිටි දුන්ගල්පිටිය ග්‍රාමයේ වෙසෙන, නිරාෂ් මදුසංඛ හා ඇන්ටන් දිල්ෂාන් නම් තරුනයන් දෙදෙනෙකි. පිලිවෙලින් වයස අවුරුදු 24 ක් සහ 20 ක් වන ඔවුන් දෙදෙනා සීදුවේ මත්ස්‍ය සකසුම් කර්මාන්ත ශාලාවක රැකියාවේ නිරත කම්කරුවෝ වෙති. දුන්ගල්පිටිය ඇතුලු එම වෙරල තීරය දිලිඳු ධීවර ජනයා බහුතරව වෙසෙන ප්රදේශයකි.
පොලීසියේ චෝදනා මුලුමනින් ම ප්‍රතික්ෂේප කරන තරුනයන්ගේ දෙමාපියන්, ඥාතීන් ඇතුලු ගම්වාසීන් කිහිප සියයක් පමුනුගම පොලීසිය ඉදිරිපිට එදින රාත්‍රීය දක්වා විරුද්ධත්වය ප්‍රකාශ කලහ. මහජන විරුද්ධත්වය යට ගැසීම සඳහා මේ වන විට තරුනයන් ඇප මත මුදාහැර, පහරදීම සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික් පොලිස් අධිකාරී (ඩීඅයිජී) යටතේ “පරීක්ෂන” ආරම්භ කර තිබේ. පහරදීමට එරෙහිව තරුනයන්ගේ දෙමාපියන් මේ වන විට මානව හිමිකම් නඩුවක් ගොනු කර ඇත.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ එම තරුනයන් දෙදෙනා, ඔවුන්ගේ දෙමාපියන් හා ගම්වාසීන් පෙන්වා දුන්නේ වගවිභාගයකින් තොරව සිදු කල පහරදීම අපරාධයක් බවයි. මෙවැනි අපරාධ මින් ඉදිරියට සිදු නොවිය යුතු බවත්, දරුවන්ට සිදු වූ හානිය සම්බන්ධයෙන් පොලිසියේ හෝ ආන්ඩුවේ බලධාරීන් වන්දි ගෙවිය යුතු බවත් ඔවුහු අවධාරනය කර සිටිති.
පමුනුගම පොලීසිය තරුනයන් දෙදෙනා ලුහු බැඳීම සිදු කර ඇත්තේ පසුගිය 20 ඉරිදා උදෑසන ප්‍රදේශයේ නිවසක සිදු වූවා යයි කියන මාලයක් පැහැර ගැනීමේ සිද්ධියකට අදාලව සිදු කර ඇති පැමිනිල්ලක් මත කල “පරීක්ෂනවලට” අදාලවයි. මංකොල්ලකෑම සිදු වූ අදාල නිවස ඉදිරිපස මාර්ගයේ මෙම තරුනයන් දෙදෙනා යතුරු පැදියෙන් ගමන් කරන දර්ශන සීසීටීවී කැමරාවක සටහන්ව තිබීම පොලිසිය හා පැමිනිලිකාර පාර්ශ්වය විසින් තරුනයන් සැක කිරීමට ඇති එකම හේතුවයි. වෙනත් කිසිදු සාක්ෂියක් පොලිසිය ඉදිරිපත් කර නැත.
ඔක්තෝබර් 24 දා නිරාෂ් මදුසංඛගේ නිවසට පැමිනි පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු රිය අනතුරක් සම්බන්ධව පරීක්ෂන සඳහා මදුසංඛ හමුවිය යුතු බව ප්‍රකාශ කර තිබේ. ඉන්පසු ඔහු රැකියාව සිදු කරන සීදූව කර්මාන්ත ශාලාවේ ලිපිනය ලබා ගත් පොලිසිය එහි ගොස් තරුනයන් දෙදෙනා ත්‍රී රෝද රථයක දමා ගෙන පමුනුගම පොලිසීයට රැගෙන ගොස් තිබේ.
අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් නිලධාරියෙකු ද පහරදීමට සම්බන්ධ බව ගම්වාසීහු පැවසූහ. පොලීසිය තරුනයන්ට පහරදී තිබෙන්නේ, මංකොල්ලකෑම සිදුකල බවට ඔවුන් ලවා බලහත්කාරයෙන් පිලිගැන්නවීමේ එල්ලයෙනි.
මදුසංඛ මෙසේ විස්තර කලේ ය: “පොලිසියට ගෙනිහිල්ලා කාමරයට දාලා දොර වහගෙන තුන් දෙනෙක් මට වතුර දාන හෝස් බට කෑලිවලින්, අතින් පයින් පැය භාගයක් විතර ගැහුවා. මූන පෑගුවා. වරද පිලි ගත්තේ නැත්නං තොපේ බෑග්වලට කුඩු දානවා, වෙඩි බේත් දාලා බෝම්බ හැඳුවා කියලා හිරේ දානවා, ඊට කලින් පිලිගනියව් කිය කියා ගහුවා. රෑට එල්ලලා ගහනවා කිව්වා. එතන පොලිසියේ ඉහල නිලධාරීනුත් හිටියා”.
පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලත් මදුසංඛ දින තුනක් රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලැබීය. ඔහුගේ දකුනු කන් බෙරය තුවාල වී ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ. ස්නානය කිරීමේ දී කනට වතුර නොයෑමට වග බලා ගන්නා ලෙසත් යලි වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිනෙන ලෙසත් වෛද්‍යවරුන් ඔහුට නිර්දේශ කර ඇත. ඔහුගේ පාදවල, පිට ප්‍රදේශයේ හා මුහුනේ බරපතල තැලීම් හා ඉදිමුම් දක්නට ලැබේ.
පහරකෑමට ලක් වූ අනෙක් තරුනයා වන දිල්ෂාන්ගේ දකුනු ඇසට යටින් තැල්ම සිටින ලෙස අත් පහරක් වැදී තිබේ. ඒ වන විට ගම්වාසීන් පොලිසියට පිවිස තිබීම හේතුවෙන් ඔහුට පහරදීම සීමා වී ඇත.
පහරදීමෙන් පසු තරුනයන් දෙදෙනා පෞද්ගලික රෝහලකට ගෙනගොස්, රිය අනතුරකට ලක් වී ඔවුනට තුවාල සිදු වූ බවට වාර්තා සකස් කිරීමට පොලිසිය ගත් උත්සාහය වැලකුනේ පලල් මහජන විරුද්ධත්වය හේතුවෙනි. තරුනයන්ට පහරදීමට එරෙහිව කතා කල ගම්වාසීන්ට පමුනුගම පොලිසියේ අනෙක් නිලධාරීන් පහරදීමට උත්සාහ ගන්නා දර්ශන 24 දා සිදු වීමේ විඩියෝ දර්ශනවල දක්නට ලැබේ.
පමුනුගම පොලිසියේ මෙම අමානුෂික පහරදීම හුදකලා සිද්ධියක් නොවේ. ලංකාවේ සහ ජාත්‍යන්තරව ධනපති ආන්ඩු විසින් පන්ති අරගල තලා දැමීමේ කොටසක් ලෙස, පසුගිය කාලපරිච්ඡේදය තුල පොලිස් ප්රචන්ඩත්වයේ තියුනු වැඩිවීමක් දක්නට ලැබේ.
ලංකාවේ පොලිස් ප්රචන්ඩත්වයේ වර්ධනය සිදුව තිබෙන්නේ, පසුගිය රනිල් වික්‍රමසිංහ ආන්ඩුව හා වත්මන් අනුර කුමාර දිසානයකගේ ආන්ඩුව ක්‍රියාවට දමමින් තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තිය හා ගම්බද දුගීන්ගෙන් එල්ල වන ප්‍රතිරෝධය මැඩීම සඳහා ගොඩ නගන මර්දනීය පොලිස්-ආඥාදායක රාජ්‍ය සැලසුම්වල කොටසක් ලෙසයි.
“මත්ද්‍රව්‍ය හා අපරාධ” මැඩීමේ කඩතුරාව යටතේ වික්‍රමසිංහ ආන්ඩුව “යුක්තිය” නමින් මෙහෙයුමක් දියත් කලේ මෙම මර්දන යාන්ත්‍රනය සඳහා පෙරහුරුවක් ලෙසයි. එහිදි හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්, පොලීසියට “ඕනෑම දෙයක්” කිරීමට සහ අවශ්‍ය වූ විට වෙඩි තැබීමට පවා තමා විසින් බලය පවරා ඇති බවත්, එවන් පියවර වෙනුවෙන් තමා “පෙනී ඉන්නා” බවත් ප්‍රකාශ කලේ ය.
අලස් ගේ ප්‍රකාශය තුල අඩංගු වූයේ, සාධාරන පරීක්ෂනයකින් පසුව පමනක් යම් සැකකරුවෙකු වැරදිකරු බවට තීන්දු කෙරෙන, “නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය” ඇතුලු ප්රජාතන්ත්රවාදී අයිතීන් අතුගා දැමීමයි.
පසුගිය වසරේ මුල සිට ගෙවුනු මාස 06 ක කාලය තුල යුක්තිය මෙහෙයුමෙන් තරුනයන් ලක්ෂයකට වැඩි ප්‍රමානයක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඩ්‍රෝන යානා හා පොලිස් සුනකයන් යොදා ගෙන සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීමේ එල්ලය වූයේ සමාජයම ත්‍රස්ත කිරීමයි. අධිකරන වරෙන්තුවකින් තොරව රිසිසේ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සහ සෝදිසි කිරීම සාමාන්‍යකරනය කෙරුනි.
2023 වසරේ දෙසැම්බර් 26 කුරුනෑගල දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, තරුනයෙකු මාර්ගයක් අසල බිම බාවා අමානුෂික ලෙස අත්අඩංගුවට ගන්නා ආකාරය සමාජ මාධ්‍ය තුල සංසරනය විය. මේ වසරේ ජනවාරි මස 18 දා වඩු කාර්මිකයෙකු වන රොෂාන් කුමාරසිරි ලොරියකින් ගමන් කරමින් සිටිය දී සිවිල් පොලිස් භටයෙකු නාරම්මල නගරයේ දී එල්ල කල වෙඩි පහරකින් මරනයට පත්විය.
ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව අප්‍රේල් මාසයේ ඉදිරිපත් කල කරුනු වලට අනුව පසුගිය වසරේදී පොලිස් අත් අඩංගුව තුලදී 24 දෙනෙකු මිය ගොස් ඇත. 'අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී' තවත් 11 දෙනෙකු මියගොස් තිබේ.
වත්මන් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) /ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුවේ නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සැප්තැම්බර් 28 දා මහනුවර දලදා මාලිගාවේ මහ නායක භික්ෂූන්ට ප්‍රකාශ කලේ යුක්තිය මෙහෙයුම් කටයුතු ඉදිරියේ දී නො නවත්වා සිදු කරන බවයි. වෙනත් රාජකාරීවල යොදවා ඇති නිලධාරීන් ද මෙම මෙහෙයුම් සඳහා යොදවා පෙරට වැඩි “ධාරිතාවකින්” මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.
වත්මන් මහජන ආරක්ෂක ඇමති මෑත දී පොලිසියෙන් ඉල්ලා සිටියේ “දේශපාලන මැදිහත්වීම්වලට” යටත් නොවී “නීතිය හා සාමය” ස්ථාපිත කරන ලෙසයි. ඔහු මෙම ප්‍රකාශය සිදු කරන්නේ, දශක ගනනක් ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, හදිසි නීතිය වැනි රුදුරු අන පනත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට මෙන්ම, රටපුරා කම්කරුවන්ගේ, තරුනයන්ගේ පන්ති සටන්වලට එරෙහිව බලයට පත් සෑම ආන්ඩුවක් විසින්ම යොදා ගනිමින් සිටි තත්වයක් තුලයි.
ජවිපෙ යනු, මෙම රුදුරු අන පනත් ක්රියාවේ යෙද වූ අනුප්‍රාප්තික ආන්ඩු බලයට ගෙන ඒමට සහ දෙමල ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධයට පූර්න සහයෝගය ලබා දුන් පක්ෂයකි.
එපමනක් නොව, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ මෑත රැස්වීමක දී, පොලිස් විශේෂ කාර්ය බලකායේ (එස්ටීඑෆ්) අනදෙන නිලධාරියා, පාතාලයේ අපරාධ මෙහෙයුම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහි සියලු මූලික අයිතිවාසිකම් නඩු සහ අත්අඩංගුවට ගැනීමේ නියෝග ඉවත් කරන ලෙස රැස්වීමේ මුලසුන දැරූ ජනාධිපති දිසානායකගෙන් ඉල්ලා සිටියේ ය.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට එරෙහිව මේ වන විට මූලික අයිතිවාසිකම් නඩු 17 ක් තිබේ. විශේෂ කාර්ය බලකා ප්‍රධානියා ඉල්ලා තිබෙන්නේ, “අපරාධකරුවන්” ලෙස සැලකෙන අයට එරෙහිව ඕනෑම මෙහෙයුමක දී ප්රචන්ඩත්වය භාවිතා කිරීමට පොලීසියට නිදහස ලබා දෙන ලෙසයි. ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාන අන දෙන නිලධාරියා වශයෙන් දිසානායක, එම චෝදනා විසඳීමට වහා මැදිහත් වන ලෙස නීතිපතිවරයාට උපදෙස් දී තිබේ.
පමුනුගම පොලිසිය තරුනයන් දෙදෙනාට එරෙහිව මුදාහැර ඇති ප්රචන්ඩත්වය පිටුපස ඇත්තේ පොලිස් නිලධාරීන්ට ලබා දෙමින් තිබෙන මෙම රාජ්‍ය අනුග්රහයයි.