ශ්‍රී ලංකාවේ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න!

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) යුද්ධයට, කප්පාදුවට සහ ඒකාධිපති පාලන ක්‍රම වෙත හැරීමට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයට මැදිහත් වේ. සසප මැතිවරන දිස්ත්‍රික්ක තුනක—කොලඹ අගනුවර, උතුරේ යාපනයේ සහ මධ්‍යම වතුකරයේ නුවරඑලියේ—අපේක්ෂකයින් 41 ක් ඉදිරිපත් කර ඇත.

සසප නායක අපේක්ෂකයෝ, වමේ සිට දකුනට, මයිල්වාහනම් දේවරාජා, තිරුඥාන සම්බන්ධර්, විලානි පීරිස්

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර දේශපාලන වර්ධනයන්, සසප දේශපාලන මැදිහත්වීම තරයේ තහවුරු කර ඇත. අපගේ සමාජවාදී ඉදිරිදර්ශනයට ඔබගේ සහයෝගය ප්‍රකාශ කිරීමටත්, එම පදනම මත අධිරාජ්‍ය ගැති සහ ව්‍යාපාරික ගැති ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුවට එරෙහිව ඉදිරි පන්ති අරගල සඳහා සූදානම් වීමටත් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස කම්කරුවන්, සිසුන්, තරුනයින් සහ ගම්බද දුගී ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.

න්‍යෂ්ටික විනාශයේ ගෝලීය තර්ජනය අද තරම් අන් කිසිදාක නොතිබුනි. එක්සත් ජනපදය සහ එහි සහචරයින් ගාසා තීරය තුල ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයට සහ ලෙබනනය තුල එහි ආක්‍රමනයට පිටුබලය දෙන අතර, එය සියල්ලටත් වඩා, ඉරානයට එරෙහිව යොමු කෙරෙන මැද පෙරදිග පුලුල් යුද්ධයක් දක්වා ප්‍රසාරනය කිරීමට තර්ජනය කරයි. න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් සම්බන්ධ ගෝලීය යුද්ධයකට මානව වර්ගයා ඇද දැමීමට තර්ජනය කරමින්, චීනයට එරෙහි යුද සූදානම උත්සන්න වීමත් සමඟ යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය තීව්‍ර වෙමින් තිබේ.

සසප, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ එහි ශාඛා විසින් ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, යුද්ධයේ මූල හේතුව වන ධනේශ්වර ක්‍රමයට තිත තැබීමට, සමාජවාදී පිලිවෙත් මත පදනම්ව කම්කරු පන්තියේ ඒකාබද්ධ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සහය වීම සඳහා මැතිවරනයට මැදිහත් වෙමින් සිටී.

ෆැසිස්ට් වාචාලයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත්වීම, ලෝක යුද්ධයේ ගාමක බලවේගය වන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආර්ථික හා දේශපාලන අර්බුදය වඩාත් නරක අතට හරවනු ඇත. ඔහු විශේෂයෙන්ම, එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමේ ප්‍රධාන තර්ජනය ලෙස පාලක කවයන් තුල සලකනු ලබන චීනය ඉලක්ක කරනු ඇත.

සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජවිපෙ/ජාජබ නායක අනුර කුමාර දිසානායක ට්‍රම්ප්ගේ මැතිවරන ජයග්‍රහනය වෙනුවෙන් වහාම සුබපැතුම් පිරිනමා තිබේ. ඔහුගේ පනිවිඩය, ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව ට්‍රම්ප් පරිපාලනය සමඟ සමීපව කටයුතු කරන බවට සහතිකයක් වන අතර චීනයට එරෙහි එක්සත් ජනපද-ඉන්දියා යුද මෙහෙයුමට ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරයි.

මැතිවරන උද්ඝෝෂනය පුරාවටම, ජවිපෙ/ජාජබ සහ දේශපාලන සංස්ථාපිතයේ සියලුම පක්ෂ, ගෝලීය යුද්ධයේ වැඩෙන අන්තරාය ගැන මුලුමනින්ම නිහඬව සිටිමින්, එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට ඔවුන්ගේ සහයෝගය සංඥා කරමින්, කම්කරු පන්තිය අඳුරේ තබා තිබේ.

ජවිපෙ/ජාජබ සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ කෙරෙහි ගැඹුරින් මුල් බැසගත් මහජන සතුරුකම නරුම ලෙස ගසාකමින් සිටින බවටත්, එහි ව්‍යාජ මැතිවරන පොරොන්දු ඉවත දමන බවටත් සසප අනතුරු ඇඟවීය. දිසානායකගේ තේරී පත්වීමෙන් සති හයකට පසුව, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ දක්ෂිනාංශික, කම්කරු පන්ති විරෝධී, වාර්ගික දේශපාලනය වේගයෙන් හෙලිදරව් වී ඇත.

මහා ව්‍යාපාරිකයන්ගේ අභිමතය පරිදි ගෝලීය ප්‍රාග්ධනය සමග වැඩ කරන දිසානායක ආන්ඩුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෙර ආන්ඩුව විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද ම්ලේච්ඡ කප්පාදු පියවර ඉදිරියට ගෙන යමින් සිටී.

දැනටමත් සිදු කර ඇති සමාජ තත්වයන් තුලට කා වැදීම අඟුටුමිටි කරමින්, පසුගිය වසරට සාපේක්ෂව ආන්ඩුවේ ප්‍රාථමික අයවැය අතිරික්තය ලබන වසරේ සිව් ගුනයකින් ඉහල දමන බව ට දිසානායක ජාමූඅ වෙත සහතික වී ඇත. ජවිපෙ/ජාජබ ආන්ඩුව 2028 වන විට විදේශ නය ගෙවීමට මාවත පාදා ගැනීම සඳහා බදු වැඩිකරමින්, පෞද්ගලීකරනය හරහා රාජ්‍ය රැකියා කප්පාදු කරන අතර අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුලු රාජ්‍ය සේවාවන්ට යොමු කෙරෙන සහනාධාර තවදුරටත් කපා හරිනු ඇත.

ජාමූඅ නියෝගවලට අනුකූලව දිසානායක ආන්ඩුව නැවත නැවතත් ප්‍රකාශ කර ඇත්තේ වැඩකරන ජනතාවගේ දැවෙන අවශ්‍යතා සපුරාලීමට 'මුදල් නැති' බව යි. පසුගිය ආන්ඩුව විසින් අනුමත කරන ලද රාජ්‍ය සේවකයින් මිලියන 1.4 ක සියයට 25 ක පමන වැටුප් වැඩිවීම් අත්හිටුවා ඇත.

මෙම ව්‍යාපාරික ගැති න්‍යාය පත්‍රය මහජන විරෝධයක් ඇති කරන බව හඳුනාගෙන ඇති ආන්ඩුව, විශේෂයෙන්ම කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) එලෙසම තබා ගනිමින්, පවතින මර්දන නීති රොත්ත අහෝසි කිරීමේ මැතිවරන පොරොන්දුව අතහැර දමා ඇත.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 23, සඳුදා, කොලඹ පිහිටි ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතද්දී ආරක්ෂක හමුදාපතිවරු පිටුපසින් සිටිති [ඒපී ඡායාරූප/ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය] [AP Photo/Sri Lankan President's Office]

දිසානායකගේ දකුනත බඳු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි, කම්කරු පන්තියේ සියලු කාර්මික ක්‍රියාවන් නීති විරෝධී කිරීමේ ආන්ඩුවේ සැලසුම් පිලිබඳව මෑතක දී පැහැදිලි ව ම ඇඟවුම් කලේ 'වැඩ වර්ජන අතීතයට අයත් දෙයක් බවට පත්වනු ඇති' බව පවසමිනි. මෙම ප්‍රකාශයන්, කිසිවිටෙක සමාජවාදය හා මාක්ස්වාදය මත පදනම් නොවූ, ඒ වෙනුවට මාඕවාදයේ (චීන ස්ටැලින්වාදය), කැස්ත්‍රෝවාදයේ සහ ප්‍රතිගාමී සිංහල දේශප්‍රේමයේ සුලු ධනේශ්වර රැඩිකල් මිශ්‍රනයක් මත පදනම් වූ ජවිපෙ හි කම්කරු පන්ති විරෝධී, ෆැසිස්ට් ස්වභාවය පිලිබඳ පැහැදිලි අනතුරු ඇඟවීමකි.

නොවැම්බර් 14 මැතිවරනයේදී 'ශක්තිමත් ආන්ඩුවක්' පිහිටුවීමට හැකිවන පරිදි පාර්ලිමේන්තුව සිය මන්ත්‍රීවරුන්ගෙන් පුරවන ලෙස ජවිපෙ/ජාජබ ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටී. එහි අරමුන පැහැදිලිය: එනම්, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාවට නැංවීම සහ පොලිස්-රාජ්‍ය මර්දනය හරහා කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන්ගේ නොවැලැක්විය හැකි විරුද්ධත්වය කුරිරු ලෙස මර්දනය කිරීම යි.

සමස්තයක් ලෙස පාලක පන්තිය තුල, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට බල කල, දරාගත නොහැකි සමාජ තත්වයන් මත 2022 සිදුවූ මහජන නැගිටීම හොල්මන් කරන අතර කප්පාදු න්‍යාය පත්‍රය දඩිව ක්‍රියාවට දමනු වස් ජවිපෙ/ජාජබ වෙත හැරෙමින් සිටී. ජනාධිපතිවරන ප්‍රචාරක ව්‍යාපාරයේදී දිසානායක විසින් එල්ල කරන ලද ආර්ථික තර්ජනය හෙලා දුටු වික්‍රමසිංහ ජනාධිපතිවරයා, පරාජයට පත් වූ පසු, නව ජනාධිපතිවරයා කෙරෙහි තම “විශ්වාසය” කඩිනමින් ප්‍රකාශ කිරීම සැලකිය යුතු කාරනාවකි.

පක්ෂපාතී විපක්ෂයක් ලෙස ජවිපෙ/ජාජබ ආන්ඩුව සමග එක්ව කටයුතු කිරීමට සෑම තරාතිරමකම ධනේශ්වර පක්ෂ කැමැත්ත පල කර තිබේ. මෙය ට, පූර්ව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය (සජබ), පෙර ආන්ඩු පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ), සහ ව්‍යාපාරික සහ මාධ්‍ය අධිපතියෙකු නායකත්වය දරන, සිංහල ජාතිවාදීන්ගේ සාරසංග්‍රහවාදී මිශ්‍රනයක් වන, අලුතින් පිහිටුවා ගත් මව්බිම ජනතා පක්ෂය/සර්වජන පක්ෂය ඇතුලත් වේ.

එසේම, දෙමල ධනේශ්වර පක්ෂ ද දිසානායකට තම සහයෝගය ප්‍රකාශ කර ඇත්තේ, දෙමල බහුතරයක් වන උතුරු නැගෙනහිර මෙන්ම, වැඩකරන ජනතාව ජවිපෙ ඉතිහාසය සහ උමතු දෙමල හා මුස්ලිම් විරෝධී ස්වෝත්තමවාදය හොඳින් දන්නා වතුකරයේ දිස්ත්‍රික්කවල ඔහුගේ ඡන්ද ප්‍රමානය සියයට 10 ක් හෝ ඊට අඩු ප්‍රමානයක් තිබියදීය.

ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), දිසානායක තේරී පත්වීම “ජනතාවගේ අපේක්ෂාවන්” පිලිබිඹු කිරීමක් ලෙස ප්‍රශංසා කර ඇති අතර, බලයට පත්වන ආන්ඩුව වමට තල්ලු කිරීමට බලපෑම් කල හැකිය යන ව්‍යාජ මතය ප්‍රවර්ධනය කලේය. පෙසප, මැතිවරනයේදී උද්ඝෝෂනය කරන්නේ, එහි පුලුල් පෙරමුන වන මහජන අරගල සන්ධානයේ (මඅස) කොටසක් ලෙස 'විපක්ෂය වෙනස් කරමු' යන සටන් පාඨය මත ය—වෙනත් වචන වලින් කිවහොත්, දිසානායක ආන්ඩුවට, වඩා හොඳින් පීඩනය යෙදීම සඳහා පෙසප/මඅස සාමාජිකයින් පාර්ලිමේන්තුවට දමන ලෙස ඉල්ලා සිටී.

පෙසප යලිත් උත්සාහ කරන්නේ, කම්කරුවන් හා තරුනයන් ධනේශ්වර පාර්ලිමේන්තු දේශපාලනයේ රාමුවට යටත් කිරීමට ය. 2022 දී, මිලියන ගනනක් වැඩ කරන ජනතාව වැඩ වර්ජන හා විරෝධතා වලට සහභාගී වූ විට, පාර්ලිමේන්තු පක්ෂවල “අන්තර්කාලීන ආන්ඩුවක්”, දැවෙන සමාජ අවශ්‍යතා ආමන්ත්‍රනය කරනු ඇතැයි යන මිත්‍යාව ප්‍රවර්ධනය කිරීමට පෙසප වෘත්තීය සමිති සමග එක්ව කටයුතු කලේය. පාර්ලිමේන්තු උපාමාරුවල ප්‍රතිඵලය වූයේ වික්‍රමසිංහ බලයට පත් කිරීම සහ සමාජ විනාශයයි.

2022 ජූලි මාසයේදී, මහජන නැගිටීම මධ්‍යයේ, කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු ජාලය පුලුල් කිරීම මත පදනම්ව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප උද්ඝෝෂනයක් දියත් කලේය. එවන් සම්මේලනයක් සඳහා පදනම ලෙස වෘත්තීය සමිතිවලින් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීම අද වඩාත් හදිසි වේ.

ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ එය රඳා පවතින පාර්ලිමේන්තුව සහ විධායක ජනාධිපති ක්‍රමය ඇතුලු ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රනයට එරෙහිව කම්කරු පන්තියට හා පීඩිතයින්ට ඔවුන්ගේ අරගල එක්සත් කිරීමට, ඔවුන්ගේ ඉල්ලීම් සංගෘහිත කිරීමට සහ ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සම්මේලනය මාධ්‍යයන් සපයනු ඇත.

පහත සඳහන් ඉල්ලීම් සඳහා සටන් කිරීමට සෑම වැඩබිමකම, වතුකරයේ, තදාසන්න කම්කරු පන්තික ප්‍රදේශ සහ ග්‍රාමීය ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සසප කැඳවුම් කරයි:

*ජාමූඅ කප්පාදු වැඩ පිලිවෙල සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරනු!

* සියලු විදේශ නය ප්‍ර ගෙවීම තික්ෂේප කරනු!

* බැංකු, මහා සමාගම් සහ වතු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරනු!

* පුද්ගලීකරනය ඉලක්ක කරගත් සියලුම රජය සතු ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු!

* ග්‍රාමීය ගොවියන් සහ දුගීන් සඳහා සහනාධාර සහ සමාජ වැඩසටහන්!

* කම්කරු පන්තියේ එකමුතුව වෙනුවෙන්! සියලු ආකාරයේ වර්ගවාදය සහ ජාතිකවාදය ප්‍රතික්ෂේප කරනු!

* සියලු පීඩිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරනු!

* විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!

මෙම ඉල්ලීම් සහ කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුප්පතුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන උද්ඝෝෂනය, සමාජවාදී මාවත් ඔස්සේ සමාජය ප්‍රතිනිර්මානය කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ අරගලය දෙසට යොමු කල යුතුය. ශ්‍රී ලංකාවේ කම්කරුවන් එක්සත් කිරීම සඳහා, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා වන අරගලයේ අත්‍යන්ත කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමට සසප යෝජනා කරයි.

අපගේ සමාජවාදී වැඩපිලිවෙලට සවිඥානික ව දෙන ඡන්දයක් ලෙස, කොලඹ, යාපනය සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල සසපට ඡන්දය දෙන ලෙස අපි නැවත ඔබෙන් ඉල්ලා සිටිමු. සියල්ලටත් වඩා, ඉදිරි විප්ලවවාදී පන්ති සටන්වලදී කම්කරු පන්තියට නායකත්වය දීමට අවශ්‍ය බහුජන පක්ෂය ලෙස එය ගොඩනැගීමට සසප ට බැඳෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

සසප අමතන්න:

දුරකථන/WhatsApp: +94773562327

විද්‍යුත් තැපෑල: wswscmb@sltnet.lk

Loading