පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සසජාතශි රැස්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් අවිශිබම මුනිවත රකියි

ජනවාරි 3 වැනි දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිත ව පැවති සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතාශි) සංවිධානයේ රැස්වීම එම ආයතනයේ බලධාරීන් විසින් අවසන් මොහොතේ දී තහනම් කරනු ලැබීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගයන බොහෝදෙනා කෝපයට පත් කර ඇත. විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රාලීය ස්වාධීනත්වය හා භාෂනයේ නිදහස සම්බන්ධයෙන් උත්සුකයක් දක්වන ශාස්ත්‍රාලිකයන්, සිසුන් හා කම්කරුවන් ගනනාවක් ම විශ්වවිද්‍යාල පරිපාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

සිසුන් සමග සසජාතශි සාමාජිකයෙක් සාකච්ඡා කරමින්

කෙසේවතුදු, එක් විශේෂත්වයක් දකින්නට ලැබේ. එනම්, විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් කරන බව පුනපුනා ප්‍රකාශ කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ නායකත්වය විසින් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පවත්වාගෙන යන පූර්න නිශ්ශබ්ධතාවයයි. අවිශිබමය නිශ්ශබ්ධතාවයෙන් පෙන්නුම් කර ඇත්තේ, විශ්ව විද්‍යාල බලධාරීන්ගේ එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව අනුමත කරන බවයි.

රැස්වීමේ මාතෘකාව වන “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද?” යන්න ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන්නක් බැවින් එය සංශෝධනයකොට රැස්වීම පැවැත්විය යුතු බවට උපකුලපති ලිපියකින් දන්වා ඇති බව දේශපාලන විද්‍යා සංගමයේ ජේෂ්ඨ භාන්ඩාගාරික,ජේෂ්ඨ කථිකාචාර්ය සුමුදු වලාකුලුාගේ සසජාතශි කැඳවුම්කරු වෙත දැනුම් දුන්නේය. එසේ නොමැති නම් වහාම ක්‍රියාත්මක වන පරිදි රැස්වීම අත්හිටුවා ඇති යැයි සැලකිය යුතු බවට උපකුලපතිගේ එම නියෝගය දක්වා තිබුනි.

එදින ම, මෙම නියෝගයේ අනතුරු ඇඟවුම් පිලිබඳව පැහැදිලි කරමින් ඊට එරෙහිව ජාත්‍යන්තර පරිමාන උද්ඝෝෂනයක් සසජාතශි දියත් කලේ ය. සසජාතාශි නිකුත්කල ප්‍රකාශයේ සඳහන් කල පරිදි, “දේශනය අවලංගු කිරීමේ ලා, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව ක්‍රියාකලාපයක් ඉටුකල බවට ප්‍රබල ඇඟවුම්” පැවතුනි. සසජාතශි වෙත ලැබුනු තොරතුරකට අනුව, අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ද කටයුතු කරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ කාර්යාලය, දේශනයේ අරමුන සහ ආකෘතිය පිලිබඳව විමසා තිබේ.

මෙහි බරපතල ඇඟවුම් පවතී. ජාමුඅ වැඩපිලිවෙල ගෙනයාමට මුලුමනින්ම කැපවූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දක්ෂිනාංශික, අධිරාජ්‍ය ගැති ආන්ඩුව තම වැඩපිලිවෙලට අභියෝග කිරීමට ඉඩ නොදෙන බවයි. වැඩකරන ජනතාව හා තරුනයන් මෙම තර්ජනය ප්‍රතික්ෂේප කලයුතුය.

මහාචාර්ය දීපිකා උඩුගම මෙම තහනමේ ඇඟවුම් ගැන සඳහන් කලේ මෙසේය: “විශ්වවිද්‍යාලය තුල වැඩසටහනක් කපාහැරීම ගැන වාර්තාවන කරුන පුදුම සහගත මෙන්ම ගැටලු සහගතය. එය භයංකර පූර්වාදර්ශයක් තහවුරු කරයි.”

එක් ශිෂ්‍යයෙකු රැස්වීම තහනම හෙලා දකිමින් නිකුත් කල ප්‍රකාශයක සඳහන් කර තිබූ පරිදි: “විශ්වවිද්‍යාලය තුල භාෂනයේ නිදහස රැකීමට අපි සියල්ලෝම එකමුතුවිය යුතුවෙමු. මේ සංවිධානයට එල්ලවී ඇති ප්‍රහාරය අප නොසලකා හරින්නේ නම් ඉදිරියේ අනෙකුත් සංවිධානවලට ද මේ තත්වයන්ට ම මුහුන දීමට සිදුවනු ඇත.”

රැස්වීම තහනම් කෙරුනු දින අවිශිබම කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් දුරකතනයෙන් ඇමතූ සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දැනුවත් කොට ඊට එරෙහි ව ආස්ථානයක් ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කලේය. එහෙත්, ඔහු ඇතුලු අවිශිබම නායකයන් නිශ්ශබ්ධව සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීමේ අවශ්‍යතාවය තුට්ටුවකට නොතකමිනි.

සසජාතශි සහ අවිශිබම අතර දේශපාලන ඉදිරිදර්ශනය අතින් ඇත්තේ සමහන් කල නොහැකි පරස්පරයකි. මෙම ප්‍රහාරය හෙලා දැකීම සසජාතශි වෙත කරන පෞද්ගලික අනුග්‍රහයක් ද නොවේ. පරදුවට තැබී ඇත්තේ සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ හා ශාස්ත්‍රාලිකයන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ය.

අවිශිබම නායකයන් සසජාතශි රැස්වීම තහනම හෙලාදකිම ප්‍රතික්ෂේප කර ඇත්තේ, ඔවුන්ගේ හා පෙසප ධනපති ගැති වැඩපිලිවෙලට අපගේ වැඩපිලිවෙල ඉඳුරාම විරුද්ධ නිසා ය. ධනපති පන්ති පාලනය පෙරලා දමා සමාජවාදය ගොඩනැගීම සඳහා අරගලයට එක්වන ලෙස සිසුන්ට අප කරන කැඳවුමට ඔවුන් විරුද්ධය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කර ඇති මෙම ප්‍රහාරයට එරෙහිව සිසුන් නැගී සිටීම තමන්ගේ දැවෙන සමාජ අයිතීන් සඳහා කලයුතු පලල් සටනේ කොටසකි. සසජාතශි රැස්වීමට පනවා ඇති තහනම වහා ඉවත් කරනු! යි අප ගෙනයන උද්ඝෝෂනයට සහා දෙන ලෙස සිසුන්ගෙන් හා ශාස්ත්‍රා ලිකයන්ගෙන් අපි උදක් ම ඉල්ලා සිටිමු.

කලක් වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කෙරුනු අවිශිබමය, දශකයකට අධික කාලයක සිට, ජවිපෙ අංකුරයක් ලෙස බිහිවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) පාලනය යටතේ ක්‍රියාත්මක වේ. ඉන්ද්‍රජිත් මධුෂාන් ඇතුලු අවිශිබම වත්මන් නායකයන්ගේ දේශපාලනය හසුරුවන්නේ ධනපති ගැති පෙසප විසිනි.

පෙසප, ජනාධිපති දිසානායක හා ඔහුගේ දක්ෂිනාංශික ආන්ඩුව හඳුන්වන්නේ “මහජන අපේක්ෂාවන්” නියෝජනය කරන ආන්ඩුවක් ලෙසයි. එයට බලපෑම් දමා සහන සහ ප්‍රතිසංස්කරන දිනාගත හැකිය යන මිත්‍යාව වගාදිගා කරන පෙසප ආන්ඩුවේ 2025 අයවැයට ඇතුලත් කරන ලෙස ඉල්ලා යෝජනා 22ක් ඉදිරිපත් කර ඒ සඳහා උද්ඝෝෂනයක් දියත්කර තිබේ.

මෙසේ විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින්, ඒ මත අවිශිබම හා වෘත්තීය සමිති මෙහෙයවාගෙන ඒවා ඉටුකරන ලෙසට වික්‍රමසිංහගේ ආන්ඩුව ද ඇතුලුව පසුගිය ආන්ඩුවලට බලකරමින් පෙසප උද්ඝෝෂනය කලේය. දැන් පටන්ගෙන ඇති උද්ඝෝෂනය එම ව්‍යාපාරයෙන් වෙනස් නැත.

අවිශිබම බදාදා (ජනවාරි 8දා) කොලඹ කොටුවේ දුම්රිය ස්ථානය අසල විරෝධතාවක් පැවැත් වූයේ පෙසප අරඹා ඇති මෙම උද්ඝෝෂන ව්‍යාපාරයේ කොටසක් ලෙසය. එය අමතා කතාකල ඉන්ද්‍රජිත් සෙසු ආන්ඩු මෙන් ම, මෙම ආන්ඩුව ද තම විරෝධතාවට එරෙහි ව පොලිස් බලය යොදවා එය අවහිර කිරීමට කටයුතු කල බව පවසා ජාමූ අරමුදලේ කොන්දේසි යලි සාකච්ඡා කරන බවට ආන්ඩුව ලබා දුන් ඡන්ද පොරොන්දුව සිහිපත් කර ඒ අනුව ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පටවා ධනපති ලාභ ගැරීමේ ක්‍රමය රැකගැනීමේ වැඩපිලිවෙලකි. විශේෂයෙන් ම, විදේශ මිනීමෝරු නය හිමියන්ට නය හා පොලී ආපසු ගෙවීම සඳහා කම්කරු පන්තිය මිරිකා ගැනීමට ජාමුඅ කප්පාදු වැඩපිලිවෙල එල්ල වී තිබේ.

ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින්නේ ජාමුඅ එම වැඩපිලිවෙලයි. එම වැඩපිලිවෙලට එල්ලවන ඕනෑම අභියෝගයක් මැඩීමට ආන්ඩුව සූදානම් ය. සසජාතශි පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල පැවැත්වීමට සූදානම් කල රැස්වීම තහනම් කොට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකට ප්‍රහාරයක් එල්ල කිරීමේ පෙර ඇඟවුම එයයි.

වැඩකරන ජනතාව හා සිසුන් ඇතුලු තරුන ජනයා මතට කඩාපාත්කර තිබෙන දරිද්‍රතාව, කුසගින්න, මන්දපෝෂනය, විරැකියාව, වැටුප් හා ජීවන තත්වයන්ට එල්ල කර ඇති ප්‍රහාර, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා අතුගා දැමීම ආදී දැවෙන ප්‍රශ්නවලට ධනපති ක්‍රමය තුල හෝ ජාතිකව විසඳුම් සොයාගත නොහැකි බව සසජාතාශි සහ සමාජවාදී සමානතා පක්ෂය කියා සිටී. මෙම දැවෙන ප්‍රශ්න වල මූලය ලෙස ඇත්තේ ලෝකය සිසාරා ගැඹුරුවන ධනපති අර්බුදයයි.

අප අවධාරනය කරන්නේ, කම්කරුවන් හා අනෙකුත් දුගී ජනයා හා සිසුන් හා තරුනයන් ධනපති අර්බුදයට, විදේශ නය ගෙවීම්වලට තමන්ගේ ජීවන තත්වයන් හා සමාජ අයිතීන් උදුරා ගැනීමට ඉඩ නොදිය යුතු බවයි. නිදහස් අධ්‍යාපනයට ඇති අයිතිය රැක ගැනීම මෙම අරගලයේ කොටසකි.

ආර්ථික අගහිඟකම් හා අඛන්ඩව අධ්‍යාපන කප්පාදු කිරීමේ කොන්දේසි තුල විශ්ව විද්‍යාල සිසුන් අතර කැකෑරෙන විරෝධය ධනපති ආන්ඩුවලින් විසඳුම් සෙවීමේ නිෂ්ඵල ක්‍රියාවන් තුල සිරකිරීමට අවිශිබම හා පෙසප නායකයන්ට ඉඩ නොදිය යුතුය.

පසුගිය සැප්තැම්බර් මාසයේ, ඉන්ද්‍රජිත් ඇතුලු සිසු සංගම් නායකයෝ අගමැති හා අධ්‍යාපන ඇමතිවරිය වන ආචාර්ය හරිනි අමරසූරිය සමග සාකච්චාවකට ගොස් අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 6ක මුදලක් වෙන්කිරීම හා විශ්වවිද්‍යාල සිසුන්ගේ දැවෙන ප්‍රශ්න පිලිබඳ ඉල්ලීම් ඉදිරිපත් කලහ. අගමැතිවරියගේ පිලිතුර වූයේ එම ප්‍රශ්නවලට වහා විසඳුම් ලබාදිය නොහැකි බව යයි ඉන්ද්‍රජිත් කියා සිටියේය.

අමරසූරිය සමග එම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු අවිශිබම නායකයෝ දැන් උද්ඝෝෂනයේ දී මතුකර ඇත්තේ, 2025 අයවැයෙන් අධ්‍යාපනයට සියයට 3ක් වෙන්කර සියයට 6 වෙන්කිරීම ඉදිරියේදී සිදු කරන ලෙස ආන්ඩුවට අයාචනා කිරීම ඉල්ලීම දක්වා තම ඉල්ලීම කප්පාදු කර ගැනීමයි.

නිදහස් අධ්‍යාපනය හාත්පසින්ම ගුනාත්මකව වර්ධනය කිරීමට නම් බිලියන සංඛ්‍යාත මුදල් වෙන්කල යුතුය. ධනපති ආන්ඩු අධ්‍යාපනයට, සෞඛ්‍ය සඳහා, වැටුප් හා විශ්‍රාම වැටුප්, සමාජ සුබසාධනය සඳහා මුදල් නැතිබව ප්‍රකාශ කරති. විදේශ නයහිමියන්ට නය ගෙවීමට, ධනපතියන්ට බදු හා අනෙකුත් සහන පිදීමට මුදල් ආන්ඩුව සතුව ඇත; නැත්නම්, වැඩකරන ජනයා ඇටපොත්තටම මිරිකා මුදල් සොයා ගැනීමට ආන්ඩුව දනී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව තුල ගෙනයන මුර්ග වැඩපිලිවෙලට එරෙහිව, ධනපති පන්තිය අත හිරකරගෙන සිටින සම්පත් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටතට ගෙන මුදා හැරීමේ වැඩපිලිවෙලකට ප්‍රමුඛ වී අරගලය දියත් කල යුතුය.

සියලුම විදේශ නය සහ සමස්තයක් ලෙස ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කරනු! සියලුම ප්‍රධාන සංස්ථා සහ ආයතන කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගතයුතුවේ. සුපිරි ධනවතුන් ගොඩගසාගෙන ඇති ධනය අත්පත් කර ගත යුතු අතර වැඩ කරන ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සම්පත් සපයා ගනු වස් ප්‍රධාන බැංකු සහ සංස්ථා කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කල යුතුය. අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු අත්‍යවශ්‍ය සේවා වර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් මුදා හැරීමට හැකිවන්නේ එලෙසයි.

පෙසප හා ඉන් මෙහෙයවෙන අවිශිබම නායකයන් ගෙන යන්නේ සහන ඉල්ලා ධනපති ආන්ඩුවට හා ජාත්‍යන්තර ප්‍රාග්ධන හිමියන්ට හිඟන පාත්තරය දික්කර ආයාචනා කිරීමේ වැඩපිලිවෙලකි. “ශිෂ්‍ය බලයෙන්” ධනපති ආන්ඩු වලට බලපෑම් දමා දැවෙන සිසු ප්‍රශ්න විසඳා ගත හැකිය යන අවිශිබම නායකයන් චිරකාලයක් තිස්සේ ගෙනයන වැඩපිලිවෙල එහි කොටසකි.

මෙම දේශපාලන පිලිවෙත ප්‍රතික්ෂේපකර විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලට එක්වන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලමු. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය මේ සමග බැඳී තිබේ. ධනපති පන්තිය අත ඇති නිෂ්පාදන මාධ්‍ය කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පාලනය යටතට ගෙනැවිත්, බැංකුවල ගොඩගසා ඇති බිලියනපතියන්ගේ ධනය දැවෙන සමාජ අවශ්‍යතා සඳහා යොදාගැනීම, විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ඇතුලු පියවර ගැනීමට හැකිවන කම්කරවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සටනට නායකත්වය ගත හැක්කේ, දුගී ජනතාවගේ සහයෝගය ලබා ගන්නා කම්කරු පන්තියටයි.

ශිෂ්‍යයන් ඇතුලු තරුනයන්ට කම්කරු පන්තිය ඒ සඳහා බලමුලු ගැන්වීමේ අරගලයට එක්වෙමින් දැවැන්ත කාර්යභාරයක් ඉටුකල හැකි බව ද ඉටුකල යුතු බව ද අපි කියා සිටිමු.

සසජාතශි ශාඛා සෑම විශ්ව විද්‍යාලයකම ගොඩනැගීම මේ අරගලය ගෙනයාමට එක්වීමේ මුල් පියවරකි. එම පියවර ගැනීමට අප සමග සාකච්ඡා අරඹන ලෙස අප ඔබෙන් ඉල්ලමු.

Loading