“මිහිමත කිසිදු ජාතියකට” වඩා අඩුතම සංගත බදු රේට්ටු ප්‍රදානය කරන බවට ට්‍රම්ප් ඩාවෝස්හි දී කතිපයාධිකාරීන්ට පොරොන්දු වෙයි

(මෙය Trump promises Davos oligarchs lowest corporate tax rate “of any nation on Earth” මැයෙන් 2025 ජනවාරි 24දා පල කල ලිපියේ පරිවර්තනය යි.)

2025 ජනවාරි 23දා, ස්විට්සර්ලන්තයේ ඩාවෝස්හි පැවති ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සමුලුවේ දී, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැත්වූ ඔන්ලයින් කතාවකට සහභාගි වූවෝ සවන් දෙති. [AP Photo/Markus Schreiber]

බැංකුකරුවන්ගේ හා කතිපයාධිකාරීන්ගේ ගෝලීය වාර්ෂික සම්මේලනය වන ලෝක ආර්ථික සංසදය අන්තර්ජාලය හරහා අමතමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙලඳ යුද්ධයේ තර්ජනයට එක්සත් ජනපදයේ සංගත බදු අනුපාත කැපීම, පාරිසරික ආරක්ෂනය කපා හැරීම සහ සමාජීය වියදම් කප්පාදු කිරීමේ පොරොන්දු ඒකාබද්ධ කලේ ය.

යුරෝපීය හා උතුරු ඇමරිකානු සගයන්ට බදු හා වඩා ඉහල මිලිටරි වියදම්වලට විධානය කල තර්ජන ගර්ජන සමගින් ඔහු ඇමරිකාව බිලියනපතියන් සඳහා පාරාදීසයක් බවට පත් කිරීමට පොරොන්දු විය.

ට්‍රම්ප්ගේ සැඳහුම්වල යුදවාදී හා තර්ජනාත්මක ස්වභාවය නො තකා, අසුන් නොමැති ශ්‍රාවකය වෙතින් ශබ්ද නගින අත්පොලසන් ඒවාට ලැබුනු අතර, සම්මේලනයේ සභාපති ක්ලෝස් ශ්වැබ් මෙන් ම ලෝකයේ විශාලතම බැංකු හා බලශක්ති සංගතවල නියෝජිතයන් ඇතුලු මන්ඩපයේ සිටි අයගෙන් ද ඔහුට ව්‍යාජ ප්‍රශංසා ලැබුනි.

ජර්මනියේ ස්පීගල් පත්‍රය සම්මේලනය වාර්තා කලේ මෙලෙසිනි:

සුවිශාල වීඩියෝ තිරයකින් අධිරාජයෙකු ලෙස ශාලාව දෙස බලා සිටි ට්‍රම්ප්, යටහත් සුභ පැතුම් පිලිගත්තේ ය. මේ අවස්ථාව සිහිගැන්වූයේ සබකෝලයෙන් සුලු ව්‍යාපාරිකයන් අරමුදල් රැස් කිරීමට ආයෝජකයන් ඉදිරියේ තම ව්‍යාපාරික අදහස් ඉදිරිපත් කරන ශාක් ටෑන්ක් රියැලිටි වැඩහටහනයි. එක ම වෙනස වූයේ, මෙහි සිටි අපේක්ෂකයන් කුඩා ව්‍යාපාරි හිමිකරුවන් නො ව, බහු-මිලියනපති ව්‍යාපාරික නායකයන් වීම යි.

බැංකුකරුවන් “පැහැදිලි ව ම නව ජනාධිපති හා ඔහුගේ රැඩිකල් ආර්ථික න්‍යාය පත්‍රය දෙස බලා හිඳී” යි ස්පීගල් සටහන් කලේ ය.

“මගේ පරිපාලනය, මගේ පලමු ධූර කාලයේ වාර්තාගත ප්‍රයත්නයන් පවා ඉහලින් ම පරයා යන, ඉතිහාසයේ විශාලතම රෙගුලාසිහරන වැඩසටහන ආරම්භ කර තිබෙනවා” යි ට්‍රම්ප් කීවේ ය. ඇමරිකා එක්සත් ජනපදය තරම් “කම්හල් ගොඩනැගීම හෝ සමාගම් වර්ධනය කිරීමට” උචිත “වෙනස් ස්ථානයක් මිහිමත නො පවතිනු ඇත” යි ඔහු පොරොන්දු විය.

දැනට එක්සත් ජනපදය තුල සංගත බදු අනුපාතය සියයට 21ක් බවත්, “දැන් අපි එය සියයට 21 සිට 15 දක්වා අඩු කිරීමට යනවා” යි ට්‍රම්ප් සඳහන් කලේ ය. “සියයට 15 යනු එයට තිබිය හැකි අඩුතම අගයක්. විශාල රටක පහල ම අනුපාතය එයයි” යි ඔහු තව දුරටත් සඳහන් කලේ ය.

එක්සත් ජනපද මහ බැංකුව වන ෆෙඩරල් රිසර්ව් බැංකුවෙන් පොලී අනුපාත අඩු කිරීමක් ඔහු ඒ හා සමාන ව ඉල්ලා සිටි අතර, එය එක්සත් ජනපදයේ හා ගෝලීය ආර්ථිකය තුල දැනට පවතින සමපේක්ෂන බුබුල වැඩි දුර පුපුරුවා හරිනු ඇත. “ඉක්මනින් ම පොලී අනුපාත පහත දමන ලෙස මම විධානය කරනවා. ඒ හා සමාන ව, සමස්ත ලෝකය පුරා පොලී අනුපාත පහත වැටිය යුතු යි. (අනෙකුත් රටවල) පොලී අනුපාත අප අනුගමනය කල යුතු යි” යි ට්‍රම්ප් කීවේ ය.

ට්‍රම්ප් ගේ කතාවෙන් පසු ව, ශ්වැබ් ට්‍රම්ප්ගේ “බලගතු” කතාව උත්කර්ෂයට නැංවූයේ, “ඩාවෝස්හි අත්පොලසන් ධවල මන්දිරයට ඇසෙනු ඇති”යැයි කියමිනි.

“රෙගුලාසිහරනය හා නිලධාරී තන්ත්‍රය අඩු කිරීම පිලිබඳ ඔබේ කේන්ද්‍රගත වීම අපි ඉතා උනුසුම් ව පිලිගන්නවා. ඒ නිසා මගේ ප්‍රශ්නය වන්නේ, මේ පිලිබඳ ඔබේ ප්‍රමුඛතා මොනවා ද, කොතරම් ඉක්මනින් මෙය සිදුවෙනවා ද කියන එකයි” යි ප්‍රකාශ කරමින්, විශාලතම යුරෝපීය බැංකුවලින් එකක් වන බැංකෝ සැන්ටෑන්ඩර් බැංකුවේ විධායක සභාපති වන අනා බෝටින් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය උත්කර්ෂයට නැංවී ය.

“අපි ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. අපි ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වී තිබෙනවා. වසර ගනනක් තුල සිදු කිරීමට පහසු යයි කිසිවෙක් නො සිතූ දේවල් පහුගිය දවස් තුන තුල අපි කර තිබෙනවා” යි ට්‍රම්ප් එයට පිලිතුරු දුන්නේ ය.

“යුරෝපා සංගමය තුල පවතින රෙගුලාසිකරනය කෙරෙහි යුරෝපීය ව්‍යාපාරික ප්‍රජාවෙන් බොහොමයක් දෙනා කනස්සල්ල පලකර තිබෙනවා, මෙහි ගනන් නැති සාධක හා විශේෂයෙන් ම රෙගුලාසිවලට ඔවුන් වඩා පහල වර්ධන අනුපාත ආරෝපනය කරනවා, නමුත් ඔබ මේ සම්බන්ධයෙන් මුලුමනින් ම වෙනස් ප්‍රවිශ්ටයක් ගෙන තිබෙනවා” යි බ්ලැක්ස්ටෝන් ගෲප් නමැති එක්සත් ජනපද ආයෝජන සංගතයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් ශ්වාට්ස්මන් කීවේ ය.

පොලී අනුපාතවලට අමතර ව, කපා දමන ලෙස ට්‍රම්ප් විධානය කල පාරිසරික හා වැඩපොල සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසි සම්බන්ධයෙන් දුක්ගැනවිලි ගොන්නක් ඔහු ප්‍රකාශ කලේ, ශ්වාට්ස්මන්ගේ කනිපින්දම් ප්‍රතිරාවය කරමිනි.

එක්සත් ජනපදය තුල සංගත බදු යෝධ ලෙස අඩු කිරීම හා රෙගුලාසි කපා දැමීම යන පොරොන්දු දෙන අතරේ සිය පංගුව ගෙවීමට අසමත් වුනු ප්‍රවේනි දාසයන්ට පරිභව කරන්නාක් මෙන් ට්‍රම්ප් එක්සත් ජනපදයේ යුරෝපීය සගයන්ට බියවැද්දීමේ තර්ජන එල්ල කලේ ය.

“වසර ගනනාවකට පෙර පැවතිය යුතු ව තිබුනු අගය වන දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ක් දක්වා ආරක්ෂක වියදම් ඉහල දමන ලෙස මම සියලු නැටෝ ජාතීන්ගෙන් ඉල්ලා සිටිනවා. එය හුදෙක් සියයට 2ක් පමනක් වූ අතර බොහෝ ජාතීන් ගෙවුවේ නැහැ” යි ට්‍රම්ප් කීවේ ය.

පැරනි පරිපාලනයන් ඔවුන්ගේ සමීපතම සගයන් ලෙස සලකා තිබුනු යුරෝපා සංගමය හා කැනඩාව සමග වන එක්සත් ජනපද වෙලඳ හිඟය කපා දැමීම තමන්ගේ ඉලක්කය බව ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය.

“අනෙකුත් ජාතීන්ගෙන් අපට ගරු කරන ලෙස ඉල්ලා සිටීම කරා අප ඉදිරියට යනවා. අපට කැනඩාව සමග විශාල වෙලඳ හිඟයක් තිබෙනවා. තව දුරටත් එය දරා සිටීමට අපි සූදානම් නැහැ... ඔබට සෑමවිට ම ප්‍රාන්තයක් විය හැකි බව මම කියනවා, ඔබ ප්‍රාන්තයක් නම්, අපට වෙලඳ හිඟයක් නැහැ” යි ට්‍රම්ප් කීවේ ය.

මේ නූගතාගේ පැත්තේ ඇඟ කිලිපොලා යන ආර්ථික අසාක්ෂරතාවක් පවතින අතර, ඔහුගේ ව්‍යාපාරික සංකල්පය දල වසයෙන් මාෆියාවේ සංකල්පය ම වේ. සෑම ප්‍රධාන රටක් සමග ම එක්සත් ජනපදය වෙලඳ අතිරික්තයක් පවත්වන ලෝකයක් ගැන ඔහු සංකල්පනය කරන්නේ, අන් සියලු රටවල් හිඟයක් පවත්වා ගනිද්දී, එවන් පදනමක් මත ලෝක වෙලඳාම සමස්තයක් ලෙස පවත්වාගන්නේ කෙසේදැයි ඇසීමට උත්සුක නො වෙමිනි.

“ලෝකයේ සෑම ව්‍යාපාරයකට ම මගේ පනිවුඩය ඉතා සරලයි: ඇමරිකාවට ඇවිත් ඔබේ නිෂ්පාදන කරන්න, මිහි මත කිසිදු ජාතියකට වඩා අඩුතම බදු අනුපාත අපි ඔබට ප්‍රදානය කරනවා. ට්‍රම්ප්ගේ මූලික බදු කැපීම්වලටත් වඩා අපි එම අනුපාත සැලකිය යුතු ලෙස අඩු කරනවා. එහෙත් ඔබේ වරප්‍රසාදය ලෙස ඔබ ඔබේ නිෂ්පාදනය කරන්නේ ඇමරිකාවේ නො වේ නම්, ඉතා සරල ව ඔබට තීරු බදු ගෙවීමට සිදු වෙනවා” යි ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය.

සමස්ත ලෝකය මත ආධිපත්‍යය දැරීම සඳහා, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරි හා ආර්ථික බලය යොදා ගැනීමට උත්සාහ කරමින් සිටින, පරපෝෂිත ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරයේ නියෝජිතයා ලෙස, සිය සැඳහුම්වල දී ට්‍රම්ප් කතා කලේ ය. මෙය යුරෝපීය බලයන් පැහැදිලි ව ම ගැඹුරු අර්බුදයකට ඇද දමා ඇත. යුරෝපය “පැවැත්ම පිලිබඳ අර්බුදයකට” මුහුන දෙමින් සිටින බව ප්‍රකාශ කිරීම “අසුභවාදී නො වන” බව, යුරෝපා මහ බැංකුවේ සභාපතිනි ක්‍රිස්ටීන් ලැගාඩ් ලෝක ආර්ථික සංසදයේ දී ප්‍රකාශ කලා ය.

එහෙත් ට්‍රම්ප් ඔහුගේ ආක්‍රමනශීලී ආක්‍රෝශ පරිභවයන් ප්‍රකාශ කරද්දී පවා, කතිපයාධිකාරය මත සාරභූත ලෙස බදු පනවන්නේ නැති, පරිසරයට විෂ එක් කිරීමට හා කිසිදු ආකාරයක නෛතික හා මධ්‍යම ආරක්ෂාවකින් තොර ව කම්කරුවන් සූරාකෑමට බඳුන් කිරීමට ඉඩ ලැබෙන රටක් ලෙස ඇමරිකාව පිලිබඳ ව ඔහුගේ දැක්ම ගැන යුරෝපීය බැංකුකරුවෝ කෙල හැලූ හ. ට්‍රම්ප් කතා කරද්දී, යුරෝපීය බැංකුකරුවන් සලකා බලමින් සිටියේ, ඔහු නිර්මානය කරමින් සිටින කතිපයාධිකාරයේ අබාධිත ආධිපත්‍යය තමන්ගේ රටවල් තුලට ගෙන එන්නේ කෙසේ ද යනුවෙනි.