[මෙය IYSSE (Sri Lanka) condemns repression of Mahmoud Khalil and Momodou Taal යන මැයෙන් 2025 මාර්තු 30 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි) ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපදයේ මහමුද් ඛලීල් සහ මොමොඩූ තාල් ට එරෙහි ව අඛන්ඩ ව සිදු කෙරෙන දේශපාලන මර්දනය දැඩි ලෙස හෙලා දකී. අනෙකුත් එක්සත් ජනපද විශ්වවිද්‍යාලවල මෙ වැනි ම ම්ලේච්ඡ ක්‍රියාමාර්ගවලට ද අපි විරුද්ධ වෙමු.
ඛලීල් සහ තාල් යන දෙදෙනාම ඉලක්ක කර ඇත්තේ, ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට, විශේෂයෙන් ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් සමූල ඝාතනය කරනු ලැබීමට එරෙහි ව ඔවුන්ගේ විවෘත විරෝධය නිසා ය.
මාර්තු 8 වන දින, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (ඩීඑච්එස්) කොටසක් වන ආගමන හා රේගු බලාත්මක කිරීමේ නියෝජිතයින් විසින් මහමුද් ඛලීල් අත්අඩංගුවට ගන්නා ලද අතර, රහසිගත ව ගෙන ගොස්, ලුසියානා හි පෞද්ගලික රැඳවුම් මධ්‍යස්ථානයක සිරගත කරනු ලැබ තිබේ.
පලස්තීන ක්‍රියාකාරිකයෙකු සහ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු වන ඛලීල්, එක්සත් ජනපදයේ නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවෙකු මෙන්ම ග්‍රීන් කාඩ්පත් හිමියෙකි. ගාසා තීරය තුල ඊශ්‍රායලයේ මිලිටරි ක්‍රියාමාර්ගයට ප්‍රමුඛ විරුද්ධවාදියෙකු වූ ඔහු, ජන සංහාරයට විරෝධය පල කරනු සඳහා කඳවුරු බැඳගැනීමේ ව්‍යාපාරය අතරතුර, කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පරිපාලනය සමඟ පැවති සාකච්ඡාවේදී සිසුන් වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රධාන නියෝජිතයෙකු විය.
ඛලීල් අත්අඩංගුවට ගැනීම වනාහි, ඔහුගේ ක්‍රියාකාරකම්, විශේෂයෙන් ගාසා සහයෝගිතා කඳවුරු විරෝධතාවයේ දී සහ පලස්තීන හිතවාදී සිසුන් නෙරපා හැරීමට එරෙහිව මිල්ස්ටයින් පුස්තකාලය වාඩිලා ගැනීමේදී ඔහුගේ භූමිකාව මර්දනය කිරීමේ පැහැදිලි උත්සාහයකි. ඔහුට හිංසා කිරීම, විශේෂයෙන් අධ්‍යයන ආයතන තුල, එහි ප්‍රතිපත්තිවලට එරෙහි සියලු විරුද්ධත්වයන් නිහඬ කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් දියත් කරන ලද පුලුල් මූලෝපායක කොටසකි.
ඛලීල් අත්අඩංගුවට ගැනීමේ දී තම භූමිකාව සම්බන්ධයෙන් ට්‍රම්ප් විවෘත ව ම පුරසාරම් දොඩමින්, “ත්‍රස්තවාද-ගැති, යුදෙව්-විරෝධී සහ ඇමරිකානු-විරෝධී ක්‍රියාකාරකම්වලට” සම්බන්ධ බවට ඔහු කියා සිටින පුද්ගලයින්ට එරෙහි ව තව දුරටත් ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කර තිබේ.
දේශපාලන විසම්මුතිය මර්දනය කිරීමට සමගාමී ව, ට්‍රම්ප් පරිපාලනය, අප්‍රිකානා අධ්‍යයනය පිලිබඳ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු සහ කෝනෙල් විශ්ව විද්‍යාලයේ උපාධිධාරී උපදේශකයෙකු වන, බ්‍රිතාන්‍ය-ගැම්බියානු තාල් ද ඉලක්ක කර ගෙන ඇත. ඒ, ට්‍රම්ප්ගේ සංක්‍රමනිකයින්ට එරෙහි ෆැසිස්ට්වාදී මර්දනයට ඔහු දැක්වූ නිර්භීත හා අධිෂ්ඨානශීලී විරෝධය නිසා ය.
පලස්තීන-හිතවාදී කතිකාව මැඩපැවැත්වීම සඳහා ට්‍රම්ප් විසින් මෑතක දී නිකුත් කරන ලද විධායක නියෝගවල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් තාල් විසින් නඩුවක් ගොනු කර ඇත. එසැනින් ම වාගේ, තාල්ට අයිසීඊයට යටත් වන ලෙස විධිමත් ඉල්ලීමක් නිකුත් කරන ලද අතර දැන් පිටුවහල් කිරීමේ තර්ජනයකට මුහුන දී සිටී.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මහමුද් ඛලීල් සහ මොමොඩූ තාල්ගේ නිර්භීත මුලපිරීමට ශ්‍රී ලංකාවේ සසජාතශි ආචාර කරයි. ට්‍රම්ප් පරිපාලනය ඛලීල් සහ තාල් ඉලක්ක කර ගැනීම භයානක පූර්වාදර්ශයක් සපයන අතර එය එක්සත් ජනපදය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි පුලුල් මර්දනයක කොටසකි.
මෙම ක්‍රියාවන්හි ඇඟවුම් හඳුනා ගැනීම සිසුන්, ක්‍රියාකාරීන් සහ යුක්තිය සොයන සියලු දෙනාටම ඉතා වැදගත් වේ. මේවා හුදකලා සිදුවීම් නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදී ආක්‍රමනකාරී යුද්ධවලට එරෙහි සියලු දේශීය විරුද්ධත්වය නිහඬ කිරීම අරමුනු කරගත්, දේශපාලන විසම්මුතියට එරෙහි පුලුල් ප්‍රහාරයක කොටසකි.
ට්‍රම්ප් පරිපාලනයෙන් රැකියා මතට එල්ල කෙරෙන ම්ලේච්ඡ ප්‍රහාරයට මුහුන දෙන සිසුන්, තරුනයින් සහ සංක්‍රමනිකයින්ගේ සහ සියලුම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පෙරමුන ගෙන සිටින එක්සත් ජනපදයේ සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපගේ සහෝදරවරුන්ට අපි පූර්න සහාය පල කර සිටිමු.
මෙම ප්‍රහාර, සෑම තැනකම ධනේශ්වර ආන්ඩුවල, මහා විරැකියාව සහ දරිද්‍රතාවය වර්ධනය කරමින් නිර්මානය කර ඇති, උත්සන්න වන ගෝලීය ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට උත්සාහයෙන් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට අනුකූල වේ.
ලොව පුරා විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රහාරයට ලක්ව ඇත. ශ්‍රී ලංකාවේ අලුතින් පිහිටුවන ලද ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, විවෘත ව ම ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා සඳහා සේවය කරමින් සිටී.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ජවිපෙ-ජාජබ පරිපාලනය පසුගිය වසරේ බලය දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ධනපති පක්ෂ කෙරෙහි ඇති මහජන විරෝධය ගසාකමිනි. කෙසේ වෙතත්, දිසානායක ආන්ඩුව සිය ව්‍යාජ මැතිවරන පොරොන්දු ඉක්මනින් ම අතහැර දමා කම්කරු පන්තියට සහ ග්‍රාමීය ජනතාවට එරෙහිව අනුකම්පා විරහිතව කඩා පනිනු ඇති බවට ශ්‍රී ලංකාවේ සසප සහ සසජාතශි අනතුරු ඇඟවී ය.
ජවිපෙ-ජාජබ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමඟ සමීප ව කටයුතු කරමින් එහි කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් සිටින අතර, එය සියලු විරුද්ධත්වයන්, විශේෂයෙන් කම්කරුවන් සහ තරුනයින් අතර සියලු විරුද්ධත්වයන් පාගා දමන බව පැහැදිලි කර තිබේ.
ශ්‍රී ලංකාවේ ධනපති පක්ෂවලට මෙන්ම , ජාමූඅ ප්‍රතිපත්තිවලට සහාය දෙන ව්‍යාජ වාමාංශිකයින්ට සහ වෘත්තීය සමිතිවලට එරෙහිවත්, ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිවත් සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරුවන් සහ තරුනයින් බලමුලු ගැන්වීමට සටන් කරන එකම සංවිධාන වන්නේ සසප සහ සසජාතශි පමනි.
මෙම අරගලයේ කොටසක් ලෙස, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ, දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්, “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද” යන මාතෘකාව යටතේ සසජාතශි දේශනයක් සංවිධානය කර තිබුනි. ජවිපෙ/ජාජබ ආන්ඩුවේ බලපෑම යටතේ, අපගේ දේශනයට වර්ධනය වන සහයෝගයක් ලැබෙනු ඇතැයි බියෙන්, විශ්වවිද්‍යාල පරිපාලනය රැස්වීම තහනම් කලේ ය.
ශ්‍රී ලංකා ආන්ඩුව ඒකාධිපති පාලන ක්‍රම කරා ගමන් කිරීමේ වර්ධනයේ සලකුනු මධ්‍යයේ, රැස්වීම් තහනම, කතා කිරීමේ නිදහසට එල්ල වූ පැහැදිලි ප්‍රහාරයක් විය.
මාර්තු 27 වන දින, දිසානායක ආන්ඩුව කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ රැකියා විරහිත සම සෞඛ්‍ය උපාධිධාරීන් සිය ගනනකට ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයක් එල්ල කලේ ය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) සාමාජිකයින් ඇතුලු විරෝධතාකරුවන් විසි හත් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදහ.
අවිශිබම පාලනය කරනු ලබන්නේ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් වන අතර, ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, ජවිපෙ-ජාජබ ආන්ඩුව පිහිටුවීම “ජනතාවගේ අපේක්ෂාවන්” නියෝජනය කරන බව යි. පෙසප සහ අවිශිබමය සමඟ අපගේ නොබිඳිය හැකි දේශපාලන වෙනස්කම් තිබියදීත්, සසජාතශි මෙම කුරිරු පොලිස් ප්‍රහාරය හෙලා දකී.
දෙසැම්බර් 2 වන දින, පාසල් සංවර්ධන නිලධාරීහු කොලඹ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා දක්වමින්, තමන් ගුරු සේවයට ඇතුලත් කරන ලෙස ඉල්ලා සිටියහ. ආන්ඩුව එ වැනි ම පොලිස් ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වූ අතර, පසු ව දේශපාලන දඩයමක් ආරම්භ කලේ ගුරුවරුන් පොලිසියට තුවාල කල බවට බොරු චෝදනා නගමිනි.
ශ්‍රී ලංකා ආන්ඩුවේ වඩ වඩාත් මර්දනකාරී ක්‍රියාමාර්ග මගින් සසප සහ සසජාතශි හි අනතුරු ඇඟවීම් සනාථ වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කල හැක්කේ සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමෙන් පමනක් බව අපි අවධාරනය කරමු.
ශ්‍රී ලංකාවේ සසජාතශි, සිසුන්, තරුනයින්, කම්කරුවන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන්ගෙන්, ඛලීල් සහ තාල් ට සහයෝගය පල කරන ලෙස ඉල්ලා සිටී. ඔවුන්ට කරන හිංසනය ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන සියලු දෙනාටම එල්ල කරන ප්‍රහාරයකි. දේශපාලන මර්දනයට එරෙහි සටන සාමූහික උත්සාහයක් විය යුතු ය. ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ඒකාධිපතිවාදයට එරෙහි නිර්දය විරෝධය තුලින් පමනක් අපට නිදහස් භාෂනයේ මූලික අයිතිය ආරක්ෂා කල හැකිය.
වැඩිදුර කියවන්න
- මහමුද් ඛලීල් නිදහස් කරනු! ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වමු!
- පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානියා විශ්වවිද්‍යාලය තුල සසජාතශි රැස්වීම තහනම් කිරීම හෙලා දකියි
- “මානුෂීය” ලෙස කටයුතු කරමින් ගුවන්තනාමෝ වධක කඳවුර ප්රසාරනය කිරීම නතර කරන ලෙස ව්‍යාජ-වාම පෙසප ෆැසිස්ට්වාදී ට්‍රම්ප්ට ආයාචනා කරයි