පොලිසිය ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධ වූ තරුනයෙකු ත්‍රස්ත පනත යටතේ රඳවා ගනී

සියොන්වාදී ඊස්‍රායල හමුදා විසින් ගාසා තීරයේ ගෙනයන ජනසංහාරය හෙලා දකින සටන් පාඨයක් සහිත ස්ටිකරයක් ඇලවීමෙන් පසු, පොලිසිය එහි ත්‍රස්ත විමර්ශන ඒකකය (ටීඅයිඩී) සමඟ එක්ව, 22 හැවිරිදි මුස්ලිම් තරුනයෙකු වන මොහොමඩ් රුෂ්ඩි, කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ මාර්තු 22දා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටී.

ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන මුහීඩ් ජීරාන් මාර්තු 25දා පලකල ෆේස්බුස් සටහනකට අනුව, කලම්බු සිටි සෙන්ටර් සුපිරි සාප්පු සංකීර්නයේ ප්‍රවේශ ශාලාවේ කසල බඳුනක කිසිවෙකු විසින් --“ගාසා තීරයේ අහිංසක පලස්තීන සිවිල් වැසියන්ට ඊස්‍රායල කල ම්ලේච්ඡ ක්‍රියාවන්ට එරෙහිව; වින්දිතයින්ගෙන් බහුතරය කාන්තාවන් සහ ලමුන් ය” යයි සටහන් කෙරුනු ස්ටිකර් දෙකක් අලවා තිබුනි.

යම් පුද්ගලයෙකු විසින් මෙම ස්ටිකර්වල ඡායාරූපයක් කොම්පඤ්ඤ වීදිය පොලිසියට යවා ඇත. මාර්තු 22දා ටීඅයිඩිය සමග එහි පැමිනි පොලිසිය, සීසීටීවී දර්ශන පරීක්ෂා කොට, මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සාප්පු සංකීර්නයේ විකුනුම්කරුවෙකු ලෙස සේවය කරන රුෂ්ඩි අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර “විමර්ශන” සඳහා යයි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ටීඅයිඩිය ඔහු සිරභාරයේ තබා ඇත.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90 රැඳවුම් නියෝගයක් නිකුත් කල හැක්කේ, ආරක්ෂක ඇමතිවරයා වන අනුර කුමාර දිසානායකට හෝ ආරක්ෂක ලේකම් වැනි ඔහුගෙන් බලය ලත් පුද්ගලයෙකුට පමනි. මෙම මුස්ලිම් තරුනයා රඳවා තබා ගැනීම ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ මැදිහත්වීම මත සිදු කෙරුනු බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි.

මාර්තු 30දා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කලේ, “ශ්‍රී ලංකාවේ ඊස්‍රායල පුරවැසියන්ට තර්ජනයක් වන සහ වාර්ගික අසමගිය ඇති කරන” ක්‍රියාකාරකම්වල නියැලීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලක්වීමේ පනතේ 7.1 වගන්තිය යටතේ තරුනයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කල බවයි. සැකකරුවෙකු පැය 72කට වඩා රඳවා ගැනීමට මෙම වගන්තිය මගින් පොලිසියට අවසර ලැබේ.

මෙම මුස්ලිම් තරුනයාට එරෙහි පොලිස් දඩයම, සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩි ලෙස හෙලා දකී. එය ඔහුගේ කතා කිරීමේ නිදහස ඇතුලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කල ප්‍රහාරයකි. තවද, මෙම තරුනයා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලෙස සසප කම්කරු පන්තියට කියා සිටී. පොලිසිය දක්වා ඇති පරිදි ඊස්‍රායල් මිලිටරිය සිදු කරන ජන සංහාරක අපරාධවලට විරෝධය පල කිරීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීම, එවැනි අයිතියක් ලංකාවේ මහජනයාට නැතිබව ප්‍රකාශ කිරීමට සමාන ය

එනිසා, රිෂ්ඩි අත්අඩංගුවට ගැනීම හුදෙක් ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාගා දැමීමක් පමනක් නොවේ. එම ප්‍රහාරය, දැනට අවුරුදු එක හමාරකට වැඩි කාලයක් තිස්සේ ඊස්‍රායල විසින් ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන තිරිසන් ප්‍රහාරයට එරෙහිවන සියලු දෙනාටම එරෙහිව එල්ල කල හැකිය.

මෙම තරුනයා වහාම නිදහස් කරන ලෙස ආන්ඩුවට බලකරමින්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරියෙකු වන අමීන් ඉසදීන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ කීවේ ය:

“ඊස්‍රායලයේ ජන සංහාරයට විරුද්ධ වූ තරුනයෙකු අත්අඩංගුවට ගැනීම රජයේ ප්‍රජාතන්ත්‍රවාදී සපථ කිරීම් පිලිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි. තම කතා කිරීමේ නිදහස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගොරතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම අමු ෆැසිස්ට්වාදයකි. ඊස්‍රායලයේ ජන සංහාරයට විරුද්ධ වීම ත්‍රස්තවාදයක් වන්නේ කෙසේද? ඕනෑම රටක බලධාරීන් කතා කිරීමේ නිදහස ත්‍රස්තවාදයක් යැයි විශ්වාස කරන්නේ නම්, එම රට ෆැසිස්ට් රාජ්‍යයකි. “F.... ඊස්‍රායලය” යන වචන සහිත ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් තරුනයෙකු අත්අඩංගුවට ගැනීම බියකරු ලෙස සමපාත වන්නේ, ඊස්‍රායල විරෝධී අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන (ඇමෙරිකාවේ) ට්‍රම්ප් පරිපාලනයට ය”.

දඩයම දිගටම සිදුවෙමින් පවතී. රඳවාගෙන සිටින තරුනයා නිදහස් කරන ලෙස ඉල්ලා මාර්තු 29දා කොම්පඤ්ඤවීදිය පොලිසිය ඉදිරිපිට පැවත්වූ විරෝධතා පැවත්වුවන් ද පොලීසියේ තාඩන පීඩනවලට ගොදුරුවී ඇත. පලස්තීනය සමග සහෝදරත්වය ප්‍රකාශයට පත්කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වන්නේ කෙසේද යන්න විරෝධතාකරුවෝ එහිදී හඬ නැගූහ.

2024 මැයි 31 වන දින ගාසා තීරයේ ජන සංහාරයට එරෙහිව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක්. IYSSE බැනරය අතැතිව සිටින පුද්ගලයින් (ඡායාරූපය: WSWS)

විරෝධතාවේ ප්‍රධාන සංවිධායක මිෆ්ලාල් මව්ලවි කොලඹ අපරාධ කොට්ඨාශයට කැඳවූ බවත්, පොලිසිය ඔහුගේ නිවසේ සෝදිසි මෙහෙයුමක් සිදු කල බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ හිජාස් හිස්බුල්ලා මාධ්‍යයට පැවසුවේ ය. මාර්තු 28දා බුද්ධි අංශ නිලධාරීන් 20 කට වැඩි පිරිසක් මාලිගාවත්තේ පිහිටි මව්ලවිගේ කාර්යාලයට පැමින ඔහුගේ තොරතුරු ලබාගෙන තිබේ.

සිද්ධිය ගැන තොරතුරු දැනගැනීමට ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෙකු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මන් විමසු විට ඔහු කීවේ, ටීඅයිඩිය විසින් මාර්තු 29දා උද්ඝෝෂනය සංවිධානය කල මව්ලවිගේ දුරකථනය ඔහුට යලි භාර නොදී ඔවුන් සන්තකයේ තබාගෙන සිටින බවයි. තවද, රුෂ්ඩි මෙන් පලස්තීනයට පක්ෂපාත ක්‍රියාකාරකම්වල නිරතවීම නිසා දඩයමට ලක්වූ තවත් තරුනයින් දෙදෙනෙක් පිලිබඳව ද මුජිබුර් සඳහන් කලේ ය.

නැගෙනහිර පලාතේ එරාවුර්හිදී, පලස්තීනයට සහාය දක්වමින් කවියක් ලියූ එක් තරුනයෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබෙන අතර, ජනවාරි මාසයේදී, පලස්තීනයේ ජනඝාතන පිලිබඳ වීඩියෝ පල කිරීමෙන් පසු දකුනු පලාතේ බේරුවල තරුනයෙකු ද ටීඅයිඩීයට කැඳවා ප්‍රශ්න කොට ඔහුගේ දුරකථනය ඔවුන් සන්තකයේ තබා ගෙන සිටී.

මාර්තු 30දා පොලිස් මාධ්‍ය කොට්ඨාසය, තරුනයා අත්අඩංගුවට ගැනීම සාධාරනීකරනය කිරීමටත්, මෙම ක්‍රියාවට එරෙහි විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල සංසරනය වන “ව්‍යාජ” තොරතුරු ප්‍රචාරනය වීම “වලක්වාලීම” සඳහාත් යැයි අමුතු වර්ගයක මාධ්‍ය නිවේදනයක් නිකුත් කලේය. එම ප්‍රකාශයට අනුව, අත්අඩංගුවට ගත් තරුනයා “අන්තර්ජාලය භාවිතා කිරීම සහ වෙනත් ක්‍රමවේද උපයෝගි කරගැනීම හේතුවෙන් යම් මානසික අභිප්‍රේරනයට ලක්වී ඇති... දැඩි මතධාරියෙකු” බව මේ පිලිබඳ පොලිස් විමර්ශනයකදී “අනාවරනය” කරගෙන ඇත. එබැවින්, මෙම තරුනයා “එම මානසික තත්වය මත ආගමික අන්තවාදී ක්‍රියාවක් සිදුකිරීමට ඔහුට ඇති ප්‍රවේදීතාවය පිලිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතියි.”

පොලිසියේ මෙම කතාන්තරයට වෙනස් ආකාරයෙන්, අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පලකිරීම් ගැන අනතුරු අඟවමින් නිවේදනය වැඩිදුරටත් සඳහන් කලේ, “දුර්මත ප්‍රචාරනයට නොරැවටී රටේ සාමය හා විවිධ ජන කොටස් අතර දැනට පවතින සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කල යුතුබව අවධාරනය” කරන බවයි.

මෙයාකාරයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට “දැඩිමතධාරී” ලේබල් ඇලවීම, ශ්‍රී ලංකා පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නඩු පැවරීමේ ක්‍රමයක් වන අතර, ආන්ඩුවට විරුද්ධ දේශපාලන මත දරන ඕනෑම කෙනෙකුට එරෙහිව මෙම සූත්‍රය භාවිතා කල හැකිය. දශක තුනකට ආසන්න කාලයක් පැවති දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය අතරතුර, මිලිටරි සංස්ථාපිතය, දෙමල තරුනයින් ත්‍රස්තවාදීන් ලෙස හෝ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ ආධාරකරුවන් ලෙස හංවඩු ගසා නඩු පැවරීමට මෙයාකාර උපායන් භාවිතා කලේය.

මෙම ක්‍රියා සමාන වන්නේ, ගාසා තීරයේ ඊස්‍රායල ජන සංහාරයට විරුද්ධව එක්සත් ජනපදයේ සිසුන් හා තරුනයින් ඉලක්ක කර ජනාධිපති ට්‍රම්ප් විසින් දියත් කර තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරවලට ය. පලස්තීනුවන්ට එරෙහි ප්‍රහාරයන්ට විරුද්ධ වූ සාමකාමී විරෝධතා, “යුදෙව් විරෝධී” ලෙස හැඳින්වූ ඔහුගේ පූර්වගාමියා වූ ජෝ බයිඩන්ගේ මර්දනකාරී ක්‍රියාමාර්ග ට්‍රම්ප් විසින් තීව්‍ර කරමින් සිටී.

ගාසා තීරයේ ඊස්‍රායල ජන සංහාරයට එරෙහිව, පසුගිය වසරේ එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලවල පැවති විරෝධතාවලට සහභාගීවූ, කොලොම්බියා විශ්ව විද්‍යාල උපාධිධාරියෙකු සහ ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරිකයෙකු වන මහමුද් කලීල්, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මාර්තු 9දා පැහැරගෙන ගොස් රඳවා ගෙන සිටී. මේ අතර, පලස්තීන සහයෝගිතාකරුවන් “යුදෙව්විරෝධීන්” ලෙස හංවඩු ගසන ට්‍රම්ප්ගේ ව්‍යවස්ථා විරෝධී විධායක ආඥාවන්ට එරෙහිව, මාර්තු මැද නෛතික ක්‍රියාමාර්ගයට පිලිපන්, කෝනෙල් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකුවූ මොමොඩු තාල්ට රටඅත්හැර යාමට බලකෙරෙන තැනට ට්‍රම්ප් ත්‍රස්ත මර්දනය උසි ගැන්වූයේ ය. මේ, එවන් සිද්ධීන් සියගනනකින් උදාහරන දෙකක් පමනි.

එක්සත් ජනපද පාලක පන්තියේ පූර්න මිලිටරි සහ දේශපාලනික සහාය ඇතිව, ගාසා තීරයේ ඊස්‍රායලය ගෙනියන වාර්ගික ශුද්ධ කිරීමේ යුද්ධය අඛන්ඩව 19 වන මාසයට එලැඹෙද්දී, නිල මරන සංඛ්‍යාව 50,000 ක් වූ අතර, එය යුද්ධයට පෙර ජනගහනයෙන් සියයට 2.3 කි. මේ කාලය තුල පලස්තීනුවන් 11,300 ක් තුවාල ලබා ඇත. කෙසේ වෙතත්, ලැන්සෙට් වෛද්‍ය සඟරාව පවසන පරිදි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන සැබෑ මරන සියයට 40 කින් අවතක්සේරු කර ඇති බැවින්, තත්‍ය මරන සංඛ්‍යාව 70,000 ඉක්මවයි.

ඊස්‍රායල ජනසංහාරයෙන් කම්පනයට පත් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනයා, යුද්ධය නවතා සාමය උදාකරන ලෙස පසුගිය මාස 18 පුරාම උද්ඝෝෂන වල යෙදී සිටිති.

රට තුල පලස්තීන සහයෝගී විරෝධතාකරුවන්ට එරෙහිව පොලිස් සහ හමුදා මර්දනය දියත් කරමින් සහ ඔවුන් “දැඩි මතධාරීන්” හෝ “ත්‍රස්තවාදී සැකකරුවන්” ලෙස ලේබල් අලවමින්, දිසානායක සහ ඔහුගේ දක්ෂිනාංශික ජවිපෙ/ජාජබ ආන්ඩුව ඊස්‍රායලයේ ෆැසිස්ට් අපරාධවලට සහයෝගය දක්වා ඇත.

ගෝලීය අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයේ ආධාරකරුවෙකු ලෙස පෙනී සිටිමින්, ජවිපෙ අතීතයේ පලස්තීනයේ මිතුරෙකු ලෙස සිදුකල මවාපෑම්වල නිරුවත, ගාසා තීරයට එල්ල කරන ලද ඊස්‍රායල් ප්‍රහාරයට එය දක්වන ප්‍රතිචාරය මගින් හෙලිකර ඇත. බලයට පත්වීමට පෙර, කොලඹ විවිධ මානව හිමිකම් සංවිධාන විසින් පවත්වන ලද ජන සංහාර-විරෝධී උද්ඝෝෂන තුල ජවිපෙට අනුබද්ධ කන්ඩායම් සහභාගී වූහ. කෙසේ වෙතත්, දිසානායක සහ ජවිපෙ/ජාජබ, ගාසාව තුල සිදුවන සමූලඝාතන පිලිබඳව නිහඬ අනුමැතිය පල කරයි.

එහි ප්‍රමුඛ උත්සුකය වන්නේ, මැද පෙරදිග තුල එක්සත් ජනපදය වෙනුවෙන් ප්‍රකෝපකාරී යුදගැටුම් අවුලුවන ඊස්‍රායලය සහ ඇමෙරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී රටවල අනුග්‍රහය ලබා ගැනීමයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊස්‍රායලයෙන් කෆීර් ජෙට් යානා මිලදී ගැනීම දිගටම කරගෙන යයි. විදේශ විනිමය උපයා ගැනීම සඳහා සංක්‍රමනික සේවකයින් එහි යැවීමට ද කොලඹ ආන්ඩුවට කිසිදු පැකිලීමක් නැත.

අධිරාජ්‍යවාදී යුද අවශ්‍යතාවලට ගැලතීමේ කොටසක් ලෙස යුද විරෝධී හැඟීම් මර්දනය කරන අතරම, දේශපාලන විසම්මුතිය තලා දැමීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි කුරිරු නීති භාවිතා කිරීමට එය පසුබට නොවන බව ජවිපෙ/ජාජබ ආන්ඩුව පෙන්නුම් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ම්ලේච්ඡ ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරුවන්, තරුනයින් සහ දුප්පතුන් අතර වර්ධනය වන විරෝධය තලා දැමීමට ආන්ඩුවට මෙම නීති අවශ්‍ය වේ.

මෙම අත්අඩංගුවට ගැනීම හරහා, මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් උසිගැන්වීමේ ආන්ඩුවේ වෑයමක සලකුනු ඇති බවට අපි අනතුරු අඟවමු. පසුගිය වසරේ දී, නැගෙනහිර පලාතේ ඊස්‍රායල සංචාරකයින්ට අයිඑස්අයිඑස් ප්‍රහාර එල්ල විය හැකි බවට, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත්විය. මේ කියන තර්ජන පිලිබඳව ආන්ඩුව කිසිවක් හෙලි කර නැත.

කොම්පඤ්ඤවීදියේ තරුනයා අත්අඩංගුවට ගැනීම ගැන කතා කරමින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවසුවේ, නැගෙනහිර “අන්තවාදී කන්ඩායම්” සහ රටේ අනෙකුත් ප්‍රදේශවල ඔවුන්ගේ සම්බන්ධතා පිලිබඳව ආන්ඩුවේ සැලකිල්ල යොමුවී තිබෙන බවයි. ආන්ඩුව “ජාතික ආරක්ෂාව” ගැන සැලකිලිමත් වන බව ද ඔහු පැවසීය.

2024 මැයි 31 වන දින කොළඹ නගර ශාලාවේදී ඊශ්‍රායල ජන සංහාරයට එරෙහිව පැවති පිකට් කිරීමකට සහභාගී වෙමින් ජවිපෙ වත්මන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය අමතමින් (ඡායාරූපය: WSWS)

මෙම ප්‍රකාශවල ඉලක්කය වන්නේ, බිය ගැන්වීමේ පරිසරයක් පවත්වා ගැනීම සහ කම්කරු පන්තිය වාර්ගිකව බෙදීම සඳහා කොන්දේසි නිර්මානය කරගැනීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද ම්ලේච්ඡ කප්පාදුවට එරෙහිව කම්කරුවන් සහ ග්‍රාමීය හා නාගරික දුප්පතුන් අතරින් නැගීඑන කෝපය ගැන ආන්ඩුව තැතිගැනී සිටී. මීට හරියටම වසර තුනකට පෙර, 2022 මෙම මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තන්ත්‍රයට එරෙහිව මහජන නැගිටීමක් පුපුරාගිය අතර, රටින් පලා යාමට එමගින් ඔහුට බල කෙරිනි.

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ආන්ඩුවේ කුරිරු කප්පාදු ප්‍රතිපත්තිවලට සහ ධනවාදයට එරෙහිව, සිංහල, දෙමල මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් අත්‍යවශ්‍ය බවයි.

පලාත් පාලන මැතිවරන ව්‍යාපාරයේ දී සසප මෙම අරගලය සඳහා බලගතු ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කර ඇත.