නොවැම්බර් 30 වැනි දා පැවැත් වීමට නියමිත ව තිබූ රැස්වීම දිවයින පුරා පවතින අයහපත් කාලගුනික තත්ත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දමා ඇත. නව දිනය පසු ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කෙරෙනු ඇති බව කරුනාවෙන් සලකන්න.
***
මේ මාසයේ පලමු වන සතිය තුල, වතුකරයේ කම්කරුවන් දෙදෙනෙකු බිහිසුනු කාර්මික අනතුරුවලින් මරනයට පත්වීම සම්බන්ධයෙන්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා වතු කම්කරු ක්‍රියාකාරී කමිටු (වකක්‍රික), සියලුම කම්කරුවන්ට වැදගත් වන රැස්වීමක් නොවැම්බර් 30 වැනි දා පවත්වයි. ධනපති ලාභ උදෙසා කම්හල්, වැඩබිම් හා කාර්යාල තුල, ජීවිතාරක්ෂන පහසුකම් ද නොතකා දහදිය හෙලීමට සිදුව ඇති, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කරන මෙම රැස්වීමට එක්වන ලෙස කම්කරුවන්, තරුනයින්, බුද්ධිමතුන් ඇතුලු ජනයාගෙන් අපි ඉල්ලා සිටිමු.
නොවැම්බර් 3 වැනි දා යටියන්තොට කිරිපෝරුව වත්ත රබර් සැකසුම් කම්හලේ දී, 25 හැවිරිදි අවිවාහක තරුනයෙකු වූ රජිනිකාන්ත තමන් ක්‍රියාත්මක කරමින් සිටි යන්ත්‍රයක් පුපුරා යාමෙන් මරනයට පත් විය. නොවැම්බර් 5 වැනි දා මස්කෙලියේ පිහිටි මාවුස්සාකැලේ තේ කම්හලේ දී, 49-හැවිරිදි කම්කරුවෙකු වූ ක්‍රිශ්නන් විජයකුමාර් මරනයට පත් වූයේ, තේ ඇඹරුම් යන්ත්‍රයක වැඩ කරමින් සිටිය දී ඊට හිස හසු වී යාමෙනි.
ලංකාවේ සිදු වූ මෙම ද්විත්ව මරන ද ඇතුලු ලොව පුරා කම්හල් හා වැඩපලවල දැන් සීග්‍රයෙන් ඉහල යන කම්කරු මරනවල නිශ්චිත රටාවක් පවතී. රැකියා ස්ථානවල දී සිදුවන තුවාල සහ මරන යනු හුදකලා ඒවා නොව, ජීවිතයට වඩා ඉහලින් ලාභය තබන සමාජ ක්රමයක නිසැකවම පෙර දැකිය හැකි ඛේදජනක සිදුවීම් ය.
ලංකාවේ මෙම මරන සිදුවීම් වල සිට, එක්සත් ජනපදයේ තැපල් සේවා ස්ථාන, වානේ කර්මාන්තශාලා ඇතුලු අනෙකුත් වැඩපලවල මෑතක දී සිදු වූ බිහිසුනු කම්කරු මරන වල දී දැකිය හැකි වන්නේ, එක පැත්තකින් සමාගම් වියදම් කප්පාදුව සහ වැඩ වේගවත් කිරීම් කරගෙන යයි; අනෙක් අතට, ආන්ඩු, වැඩපල ආරක්ෂක ආයතන හා වෘත්තීය සමිති නිලධරය මෙම ප්‍රහාර වසන් කරමින්, කම්කරු පන්තියේ ප්‍රතිරෝධය යටපත් කර දමයි. මේ අනුව, මෙම මරන ස්වාභාවික ඛේදවාචකවලට වඩා වෙනස් ලෙස, මෙම සිදුවීම් දේශපාලනික වේ - එනම්, මෙම මරන හා අනතුරු සිදුවන්නේ, කම්කරුවන් හප කොට ඉවත විසිකල හැකිවන ධනේශ්වර සමාජ සබඳතාවල ප්‍රතිපලයක් ලෙස ය.
මාවුස්සාකැලේ තේ කම්හලේ සහ කිරිපෝරුව රබර් සැකසුම් කම්හලේ මරන නිශ්චිතවම මෙම කරුන ඛේදනීය ලෙස සනාථ කර තිබේ. එම කම්හල්වල සේවකයන්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅයේ) වාර්තාකරුවන් සමග කල සාකච්ඡාවල දී පැහැදිලි වූයේ, වැඩවල දී දශක ගනනාවක් පැරනි, ආරක්ෂන උපාංගයන්ගෙන් තොර හෝ එම උපාංග අබලන් වූ යන්ත්‍ර සූත්‍ර සමග කම්කරුවන්ට පොර බැදීමට සිදු වී තිබෙන බව ය. එමෙන්ම, එම යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය හා ඒවා ක්රියාකරවන්නන්ගේ ආරක්ෂක විධිවිධාන නිසි ලෙස පවතී ද යන්න සොයාබලන අධීක්ෂක නිලධාරීන් නැති කොන්දේසි යටතේ ය.
එවන් තත්වයක් යටතේ, මාරක අනතුරු අනිවාර්යෙන් සිදුවිය හැකි වේ. ඒවා නොතකාම මෙම කම්හල්වල හිමිකරුවෝ හා කලමනාකරුවෝ, ශ්‍රම සූරා කෑමේ ක්‍රියාවලිය අඛන්ඩව පවත්වා ගෙන යති; එහි ප්‍රතිපලයක් ලෙස ඇතිවන අනතුරුවලින් කම්කරුවෙක් මරනයට හෝ සදාකාලික අබ්බගාත තත්වයට පත් වූ විට, ඔහුගෙන් යැපෙන්නන්ට සීමිත වන්දියක් හෝ වන්දි ලබා දෙන බවට වාචික පොරොන්දු ලැබුනත්, එවන් අනතුරකට හේතු ගැන මනා විමර්ශනයක් කෙරෙන්නේ ඇත, නැතහොත්, හේතු හිතාමතාම යටපත් කරනු ලැබේ. මෙයින් පෙන්නුම කෙරෙන්නේ, මේවා හුදු හදිසි අනතුරු නොව, වියදම් අඩු කරගනිමින් නිෂ්පාදනය උපරිම කිරීමට ගන්නා ආයතනික තීරනවල සෘජු ප්‍රතිවිපාක බවයි.
එක්සත් ජනපදයේ මෑතදී සිදු වූ නඩත්තු කම්කරු රොනල්ඩ් ඇඩම්ස් සහ තැපැල් භාන්ඩ බෙදාහැරීමේ සේවකයෙකු වූ නික් ඇකර්ගේ මරන පිලිබඳව ලෝසවෙඅ තුල මේ දිනවල පුලුල්ව විමර්ශනය කෙරේ. යන්ත්‍රෝපකරන අඛන්ඩව ක්රියාවේ තැබීමට අනවරතව යොදන පීඩනය සහ දැවැන්ත කාර්යමන්ඩලය හිඟයක් පවතින තත්වයක තුල, ලාභ මිරිකා ගැනීමේ ප්රමුඛ අරමුනෙන් සමාගම්, කම්කරුවන් අවදානම් සහගත ලෙස සේවයේ යෙදවීම ඔවුන්ගේ මරනවලට හේතු වී ඇති බව පැහැදිලි වී තිබේ. මෙම ලාභ හඹා යාමේ ක්‍රියාවලිය සිදුවෙමින් ඇත්තේ, වෘත්තීය සමිති නිලධරයන්ගේ පිටුබලය ඇතිව ය.
ලංකාවේ දී, රජිනිකාන්ත සහ විජයකුමාර්ගේ මරනවලට හේතුව, එක්සත් ජනපදයේ ඔවුන්ගේ සහෝදර කම්කරුවන්ගේ මරන පිටුපස පැවැති හේතුව ම ය. ආරක්ෂක අනතුරු ඇඟවීම් නැති, යල් පැන ගිය මැෂින් සමග ජීවිත පරදුවට තබා වැඩ කිරීමට ඔවුන් තල්ලු කලේ, කම්හල් හිමිකාර ලාභ පිපාසිත ධනපතියන් විසිනි.
වෘත්තීය සමිති නිලධරය මේවා නැවැත්වීමට අපොහොසත් වීම ද අහම්බයක් නොව, දේශපාලනික කාරනාවකි. දශක ගනනාවක් තිස්සේ වෘත්තීය සමිති ප්රජාතන්ත්රවාදී කම්කරු සංවිධානවල සිට කාර්මික කලමනාකරනයට දැඩිව ආබද්ධ වූ ස්ථරයක් හෙවත්, හාම්පුතුන්ගෙන් සහ රාජ්‍යයෙන් වරප්‍රසාද ලබන වෘත්තිකයන් බවට පත්ව ඇති දූෂිත නිලධරයක් සහිත සංවිධාන බවට පරිවර්තනය වී තිබේ.
මෙම නිලධරය වැටුප් කප්පාදු, වැඩ වේගවත් කිරීම් සහ සාමුහික ගිවිසුම් කම්කරුවන්ට හොරෙන් අධ්‍යක්ෂක මන්ඩල කාමරවල සාකච්ඡා කරයි; සේවා ස්ථානවල දුක්ගැනවිලි අවශේෂ කම්කරුවන්ගෙන් හුදකලා කරයි; එමෙන්ම විරුද්ධ මත නගන කම්කරුවන්ට දඬුවම් කරයි. වතු කම්කරුවන් හොඳින්ම දන්නා පරිදි, වෘත්තීය සමිති නායකයින් බොහෝ විට ඉහල වතු නිලධාරීන්ට වාර්තා කරයි, එමඟින් කම්කරුවන් ධනවත් හාම්පුතුන් හා රාජ්‍යයේ ප්‍රහාරවලට නිරාවරනය වේ.
මස්කෙලිය ඕල්ටන් වතුයායේ කම්කරුවන් 26 දෙනෙකුට එරෙහි ව්‍යාජ අපරාධ චෝදනා ගොනු කරමින් අටවා ඇති නඩුවේ දී පෙන්නුම් කර ඇති පරිදි, ලංකා කම්කරු කොන්ග්රසය (සීඩබ්ලියුසී) ඇතුලු අවශේෂ වතු සමිතිවල නායකයන් එම කම්කරුවන් ආරක්ෂා කිරීම අත්හැර දමමින් ඔවුන් මුලුමනින්ම රාජ්‍ය ප්‍රහාරවල නිරාවරනය කර තිබීමේ සිද්ධිය ඔවුන්ගේ ද්‍රෝහී ක්‍රියාකලාපය ගැන කටුක නිදර්ශනයකි.
විජයකුමාර් හා රජිනිකාන්තගේ මරන සම්බන්ධයෙන් මෙම සමිති පවත්වා ගෙන කපටි නිහැඬියාව පෙන්නුම් කරන්නේද මේ කාරනයම ය. මෙආකාරයෙන්, හාම්පුතුන්ගේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කරමින් හා ඒ සඳහා කම්කරු ජීවිත බිලිදෙන අතරේ, වෘත්තීය සමිති නායකයින් ලෙස තමන්ගේ ජීවිකාව ආරක්ෂා කර ගැනීමේ සමාජ ගිවිසුමක් සමිති නායකයින් හා හාම්පුතුන් අතර ක්‍රියාත්මක ය.
ලංකාව තුල කම්කරු ජීවිත නොතකා ලාභ හඹා යාමෙන් සිදුවන මරන හා ආපදා ගනනාවක් ම පසුගිය කාලය තුල වාර්තා වී තිබෙන අතර, පසුගිය සති කිහිපයේ වාර්තා වලින් පෙන්නුම් කෙරෙන්නේ එවැනි සිදුවීම් වේගවත් වී තිබීම යි. පසුගිය කාලයේ පැවැති ආන්ඩු මෙන්ම වත්මන් ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ද මේ සිද්ධීන් ගැන නිහඬ ය. කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධරය ද කිසිදු පියවරක් ගෙන නැත.
ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව, ලංකාවේ හා විදේශවල ආයෝජකයන්ට සූරා කෑමේ හොඳම කොන්දේසි සකසමින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) මුර්ග කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමමින් සිටියි. සූරා කෑමේ හොඳම කොන්දේසි සහිතව කර්මාන්තපුර දුසිම් ගනනක් විවෘත කරමින් සිටී. කම්කරුවන්ගේ හා දුගීන්ගේ හා සමාජයේ පහල ජීවත්වන පෑගෙන ජනයා හාමතට, අඩ හාමතට, ලෙඩ රෝගවලට හා නූගත්කමට ගොදුරු වීම නොතකා, දිසානායක ආන්ඩුව අයිඑම්එෆ් වැඩපිලිවෙල ක්‍රියාවට දමයි. කුමට ද? විදේශ නය හිමි මිනීමොරුන්ට නය ආපසු ගෙවීමට හා ධනපතියන්ගේ ලාභ මඩි තර කිරීමටයි.
මහජන ජීවිත නොතකා ක්‍රියාකරන ජාජබ ආන්ඩුව යටතේ, සියලු පුද්ගලික හා රජයේ වැඩපොලවල, ආයතනවල හා වතුකරයේ කම්කරුවන් මුහුන දෙනු ඇත්තේ අතිශය විනාශකාරී තත්වයකට ය. මෙම තත්වය නතර කිරීම සඳහා වැඩපිලිවෙලක් කම්කරු පන්තිය විසින් සකස් කර ගැනීම හදිසි හා වැදගත් කර්තව්‍යයකි.
කම්කරු පන්තියට තම ජීවිතය හා වෘත්තියමය ගරුත්වය රැක ගනිමින් සේවයේ යෙදීමේ සඳහා නම්, ඒ සඳහා කොන්දේසි සකස් කර ගැනීමේ අරගලයක් අරඹමින් එම අරගලවල පාලනය තමන් අතට ලබා ගත යුතු ය. එය ආරම්භ කල හැක්කේ, සෑම කම්හලකම, වැඩපලකම, වතුයායක ම සහ නිවහන් ප්‍රදේශයක ම, කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගන්නා තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙනි.
මෙම කමිටු වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන විය යුතු අතර, කම්කරුවන්ට වගකිව යුතුවාක් මෙන්ම, සෘජු ක්‍රියාමාර්ග ගැනීමට ඒවාට බලය පැවරිය යුතුය: අනාරක්ෂිත නිෂ්පාදනය නැවැත්වීම, කාර්මික දෝෂ සහගත යන්ත්‍ර අලුත්වැඩියා කොට නවීකරනය කරන ලෙස ඉල්ලා සිටීම, ආරක්ෂක දත්ත ප්‍රකාශයට පත් කිරීම සහ මරනවලට හේතු වූ කලමනාකරන තීරන සඳහා සාපරාධී වගකීම භාරගන්නා ලෙස බලකිරීම යනාදිය මෙම ක්‍රියාකාරී කමිටුවල කාර්යන් විය යුතු ය.
මවුස්සාකැලේ හා කිරිපෝරුව කම්කරු ඝාතනවලට ප්‍රතිචාර වශයෙන්, ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා කැඳවුම් කරමින් සහයෝගය ගොනු කිරීම සඳහා, ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව, නොවැම්බර් 30 වැනි දා පැවැත්වීමට නියමිත ප්‍රසිද්ධ රැස්වීමේ අරමුන මෙබඳු වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමයි.
වෘත්තීය සමිති ධූරාවලීන්ගෙන් සහ ධනපති ක්‍රමයට ගැට ගැසුනු පක්ෂ හා කන්ඩායම්වලින් ස්වාධීනව ක්‍රියාත්මක වන මෙම කමිටු, කම්හල්, කර්මාන්ත වල පිහිටුවමින් ජාත්‍යන්තර සහයෝගීතාව දිනා ගැනීමට ආධාරය සපයයි. මෙම ජාත්‍යන්තර සම්බන්ධීකරනය සඳහා, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සංධානය (අයිඩබ්ලියුඒ-ආර්එෆ්සී) ගොඩනැගීමට ලංකාවේ කම්කරුවන් සම්බන්ධ වීම අපි යෝජනා කරමු.
දැන් කම්කරුවන් කල යුත්තේ කුමක්ද?
- ඉහත කී පරිදි, සෑම වැඩ පලකම සහ සෑම සේවා ස්ථාන ඒකකයකම, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ සාමාන්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනඟන්න.
- යන්ත්‍රවල, වැඩපොලවල පවතින ආරක්ෂක දෝශ ලේඛනගත කර ප්‍රකාශයට පත් කරන්න. ආරක්ෂක උපාංග අක්‍රීය කල, ව්‍යාජ පරීක්ෂන සහ වැඩ වේගවත් කිරීම් හා ගැටගැසුනු ක්‍රියාවලිය හෙලිදරව් කිරීම සඳහා කම්කරු පරීක්ෂන භාවිතා කරන්න.
- අයිඩබ්ලියුඒ-ආර්එෆ්සී හරහා කලාපීයව සහ ජාත්‍යන්තරව සම්බන්ධීකරනය වෙමින් අරගල ශක්තිමත් කරන්න.
- කම්හල්,වැඩපලවල් තුල විධිමත් ආරක්ෂක පියවර, මරනවලට වගකිවයුතු කලමනාකරුවන් සහ කාර්ය මන්ඩල පිලිබඳ අපරාධ විමර්ශන මෙන්ම, වින්දිතයින්ගේ පවුල් සඳහා සම්පූර්න වන්දි වහාම ලබා දෙන ලෙස ඉල්ලා සිටින්න.
ධනපති සුලුතරයකගේ ලාභය සඳහා නොව, සමාජයේ බහුතරයේ වුනමනාවන් සඳහා නිෂ්පාදනය ප්‍රතිසංවිධානය කරන, සමාජවාදී ක්‍රමයක් ස්ථාපිත කරගැනීමට-එනම්, සියලු බැංකු, විශාල වතු සමාගම්, මහා ව්‍යාපාර හා කර්මාන්ත කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනයට ගැනීම-- කරන අරගලය සමග කම්කරු අරගල සම්බන්ධ කරන්න. මෙහි දී, විදේශ නය ගෙවීම් අහෝසි කිරීම සටන් වැදිය යුතු මූලික පියවරකි.
වැඩිදුර කියවන්න
- මෝටර් රථ කම්කරු ජ්‍යෙෂ්ඨ රොනල්ඩ් ඇඩම්ස්ගේ මරනය සහ ධනේශ්වර ලාභයේ නීතිය
- “පුතාට මොකද වුනේ කියලා මට දැනගන්න ඕනෙ” කිරිපෝරුව කම්හලේ පිපිරුමකින් මියගිය තරුනයාගේ මව ප්‍රශ්න කරයි
- එක් සතියක් තුල ශ්‍රී ලංකාවේ කම්කරුවන් දෙදෙනෙක් කාර්මික අනතුරුවලින් මිය යති
- නික් ඇකර් සහ රසල් ස්ක්‍රග්ස් (කනිෂ්ඨ), එක්සත් ජනපද තැපැල් කම්කරුවන්ගේ මරන පිලිබඳ කම්කරු පරීක්ෂනයක් සඳහා!
