මෙම ලිපිය හා පින්තූර ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) එවා තිබුනේ, ගංවතුර උවදුරෙන් හානියට පත්වූ ගම්පොල නගරයේ වෙසෙන ලෝසවෙඅ පාඨකයෙකු වන දිනිති ජයවර්ධන විසිනි. මුල් ලිපියට, සුලු සංස්කරන කීපයක් පමනක් සිදු කොට පලකර ඇත.
***
නිල ගනන් හිලව්වලට අනුව අද වනවිට රටපුරා මිනිසුන් 465කට වඩා මරනයට පත් කරමින්, ලක්ෂ දහයකට වඩා අවතැන් කර ඇති “දිට්වා” සුලු කුනාටුවෙන් විනාශයට පත්ව ඇති ප්‍රදේශවලින්, මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල ප්රමුඛ ය.
1947 මහා ගංවතුරෙන් පසු බිහිසුනුම ගංවතුර විනාශය අත්දකිමින්, නොවැම්බර් 28දා ගම්පොල නගරය පසෙකින් ගලායන මහවැලි ගඟ උතුරා ගොස්, අඩි 10-15ක පමන ජලකඳක් ගම්පොල නගරය ඇතුලු ගඟ දෙපස ප්‍රදේශ ගනනාවක් ක්ෂනයෙන් ගිල ගත්තේ ය. පෙනී යන ආකාරයට ගඟ ඉහත්තාවට ඇද වැටුනු මිලිමීටර් 200කට අධික මහා වර්ෂාව මෙන්ම, පිටාර මට්ටමට ලංවෙමින් තිබූ කොත්මලේ බලාගාරයේ වාන් දොරටු හදිසියේ ම විවර කිරීමෙන් පිට වූ මහා ජලකඳ මෙම ගංවතුර තත්වයට දායක ව ඇත. ගම්පොල නගරයේ දුම්රියපොල, බස් නැවතුම ඇතුලු කඩ සාප්පු 200ක් පමන පැය 48ක් තිස්සේ ගංවතුරේ ගිලී යමින්, ඒවායේ භාන්ඩ මුලුමනින්ම විනාශ ව ඇත.
තම ඥාතීන් හා දේපල විනාශභාග ව විපතට පත් වූ ජනයා චෝදනා කරන්නේ, මොන යම් ම හෝ අනතුරු ඇඟවීමක් කර තිබුනේ නම්, ගංවතුර ගැලීමට කලින් උස් ස්ථානවලට ගොස්, අමිල මිනිස් ජීවිත මෙන්ම, අඩුම ගානේ උප්පැන්න සහතික, ඉඩම් ඔප්පු වැනි වටිනා ලියකියවිලි වත් බේරාගැනීමට හැකියාව තිබූ බවයි. එවන් කිසිදු අනතුරු ඇඟවීමක් කිරීමට ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව අසමත් වූ අතර, එනයින් මෙය, ස්වභාවික විපතකින් ඔබ්බට ගිය, ධනපති ආන්ඩුව ඇතුලු බලධාරීන් මුලුමනින්ම වගකිව යුතු ස්වභාවික ව්‍යසනයකි.
ජලය බැස යාමත් සමග ගම්පොල නගරයට ගිය මෙම ලියුම්කාරියට දැක ගත හැකිවූයේ, යුද පිටියක් සිහිගන්වන දර්ශනයකි. ගංගා ජලයෙන් විනාශ වූ ජංගම දුරකථන හා විද්‍යුත් උපකරන, රෙදි පිලි, පොත් හා ලිපිද්‍රව්‍ය, කුලුබඩු ඇතුලු පාරිභෝගික භාන්ඩ පොදි ගසා කසල ගොඩට විසි කිරීම සඳහා කඩ සාප්පු ඉදිරිපිට තබා ඇති දසුන් ද, මියගොස් ඉදුමුනු තත්වයට පත්ව ඇති සුනඛයන් ඇතුලු සතුන්ගේ දර්ශන ද, තාමත් මඩවලින් පිරී දුර්ගන්ධය හමන නගරය ද හද කකියවයි.
අවට ගම් දනව් සිය ගනනක ජනයා රෙදිපිලි ඇතුලු පාරිභෝගික භාන්ඩ මිලදී ගැනීමට එන ගම්පොල නගරය මෙයාකාරයෙන් විනාශ වී යාමෙන්, විශේෂයෙන්ම සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකිව නගරය අවටත්, තරමක් ඈතින් පිහිටි ගම්නියම්ගම්වලත් දහස් ගනන් ජනයා කියාගත නොහැකි අප්‍රමාන අපහසුතාවටත් කරදරයටත් පත්ව උදව් ඉල්ලා සිටිති.
නගරයට ආසන්නව ම පිහිටි, කුඩමාකේ පහලකොටස, ගම්පොලවෙල, කීරපනේ, බුවනකබා පාර, නිදහස් මාවත, නාවලපිටිය-ගම්පොල පාරේ මුල් කොටස, මහර, කහටපිටිය, සාලියාවෙල යනාදී නගර , අඩි 10-15ක පමන ගංවතුරේ ගිලී ගියේ ය. ගම්පොල-නුවර පාරේ පිහිටි වැලිගල්ල නගරයේ කොටසක්, ගෙලිඔය, පේරාදෙනිය නගරය, ගැටඹේ පන්සල අවට, පේරාදෙනිය උද්භිද උද්‍යානය සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කොටසක් ද ජලයෙන් යටවී ගියේ ය.
ව්‍යසනයේ තරම කියාපාමින්, 27දා රාත්‍රියේ හිටිවනම, පවුල් සියයක් පමන පදිංචිව සිටින ගම්පොල කුඩමාකේ සහ ගම්පොලවෙල නගර අඩි 12-15 අතර විශාල ජලකඳකින් වැසී ගියේ ය. අමාරුවෙන් පීනා ගෙන ගොස් සහ මහල් නිවාස තිබූ පවුල් කීපයක උඩම තට්ටුවට නැග පන බේරාගත්තේ යාන්තම් සියයකට වැඩි පිරිසක් පමනි.
මෙම හදිසි ජලකඳට හේතුව ඉහත්තාවේ ඇති කොත්මලේ ජලාශයේ වාන් ගේට්ටු කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව විවර කිරීම ද නැතිනම් වර්ෂා ජලය සමග එම පිටවාන් ජලය එකතු වී සැදුනු මහා ජලකඳ ද යන්න තවමත් පැහැදිලි නැත. බොහෝ විට මේ කාරනා දෙකම විය හැක. දරුවන්, වයසක අය හා ආබාධිත අය අත්හැර ඇඳිවතින් පමනක් පලා යාමට නිවැසියන්ට සිදු වූ අතර, මිය ගිය අයෙකුගේ ඥාතියෙකු කීවේ, මරනයට පත්වූ 60කගේ පමන මලසිරුරු “දරගොඩවල් මෙන්” ගම්පොල මහ රෝහල් මෝචරියේ හොවා තිබුනු බවයි. එලෙස රෝහලට ගෙන නොගිය, කුනු වී අඳුනාගත නොහැකි මලමිනී තැන්තැන්වල පස් කඳු, බෝක්කු සහ අබිලිගොඩවල්වල සිර වී තිබී සොයා ගැනෙමින් පවතී.
ගම්පොල රෝහලේ තබා තිබූ උක්ත මරනවලින් අඩක් පමන ඥාතීන් විසින් හඳුනාගෙන අවසන් කටයුතු සඳහා රැගෙන ගොස් තිබුනත්, ඉතිරි මරන 30ක් පමන රත්මල්කඩුව සුසාන භූමියේ සමූහ මිනීවලකට දමා වලලා දමන ආකාරය තමන් දුටු බව ගම්වාසීහු මෙම ලියුම්කාරියට සඳහන් කලෝ ය. මියගිය ඇතැම් අයගේ ඥාතීන් සඳහන් කලේ, රෝහලෙ මෘතශරීරාගාරයේ පවතින ඉඩකඩ ප්‍රමානවත් නොවීමත්, විශාල මිනී සංඛ්‍යාවක් තබා ගැනීමට තරම් ප්‍රමානවත් අධිශීතකරන පහසුකම් නැතිවීමත්, සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ හිඟකම යනාදී කරුනු නිසාත් ආපදා මල සිරුරු භාර ගැනීම 28දා සිට රෝහල් බලධාරීන් විසින් නවතා දමා ඇති බව යි.
දින කීපයක් තිස්සේ මඩගොහොරුවල සිර වී තිබීමෙන්, හඳුනාගැනීමට නොහැකි ආකාරයෙන් නරක් වී තිබෙන සහ හිස්, ඇගිලි වෙන්වූ මලසිරු අවසන් ගෞරව දැක්වීමකින් තොර ව පමනක් නොව, කිසිදු මරන පරීක්ෂනයකින් පවා තොර ව වල දමන බව දැන ගැනීමට ලැබිනි. බැකෝ යන්ත්‍ර ආධාරයෙන් ගොඩගසන මෙම මලසිරුරු, වාහනවල පටවා විවිධ ස්ථානවලට ගෙන ගොස් සාමූහිකව වලලා දැමීම සිදු කරන්නේ, සංඛ්‍යා ලේඛන ගැනීමකින් හෝ කිසිදු හඳුනාගැනීමේ ක්‍රමවේදයක් තොරව බවට ආරංචි මාර්ග පවසයි.
තවද, ආපදා සහන කන්ඩායම් වසයෙන් දැනට විදේශයන්ගෙන් පැමින සිටින ඇතැම් කන්ඩායම්වල කර්තව්‍ය වී ඇත්තේ ද නාය යාමෙන් හා ගංවතුර නිසා සුන්බුන් අතර සිර වූ මරන විධිමත් ආකාරයෙන් භූමදානය කරනවා වෙනුවට, ඒවා සොයාගත් අවස්ථාවේ ම පොලවට යට කර වලලා දැමීමයි. මරන සම්බන්ධයෙන් ආන්ඩුව අනුයන මෙම ම්ලේච්ඡ පිලිවෙත සම්බන්ධයෙන් කෝපයෙන් අදහස් දැක් වූ ඥාතියෙක් කෝපයෙන් විමසා සිටියේ, , “මැරිච්ච මනුෂ්‍යයෙකුට පෙට්ටියක්වත් අරන් දෙන්න ආන්ඩුව සල්ලි නැත්ද” යනුවෙනි. පසුගිය ඉරිදා ජාතිය අමතමින්, ආපාදවලින් මරනයට පත් වූ ජනයා ගැන කිඹුල් කඳුලු හෙලූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුවට මෙම මරන හුදු අංක පමනක් බව මෙයින් පෙන්නුම් කෙරෙයි.
ගංවතුර උවදුරට පත්වූ කුඩමාකේ සහ නාය යාම් භීතියෙන් ඇලලුනු රාහිම්මලේ සිය ගනනක් ජනයාට කිසිදු හව්හරනක් නැති තත්වයක් යටතේ ජීවිතාරක්ෂාව සඳහා දින තුනක් පමන රැඳී සිටීමට සිදුව තිබුනේ, ගම්පොල, ශ්‍රී විජයාරාම පන්සලේ බන මඩුවේ ය. මෙම ජනයාට සහ පලාතේ මෙලෙස අසරන වූ ජනයාට ප්‍රමානවත් සහන සැලසීමට ආන්ඩුව කිසිවක් කර නැත.
29දා මධ්‍යම රාත්‍රියේ දී, ඉහල කොත්මලේ ජලාශය බිඳී යෝධ ජල පහරක් ගම්බිම් යටකිරීමට යෝධ ජලප්රවාහක් ලෙස ගලා එමින් තිබේය යන කටකතාවක් සමග ඇතිවූ කලබලකාරී තත්වය, ඇති ව තිබෙන ව්‍යසනය කලමනාකරනය කිරීමට ආන්ඩුව සෑම අතින්ම අසමත්ව තිබේ යන්නට උදාහරනයකි.
මෙම ආරංචියත් සමග, ගම්පොල හතුගොඩ, කුඩමාකේ ඇතුලු පහත්බිම් ගනනාවක වෙසෙන ජනයා ද සමග මරන බියෙන් නිවෙස්වලින් එලියට පැන ජීවිතය බේරාගැනීම සඳහා දිව යාමට බලකෙරුනි. වයෝවෘද්ධ මව සමග එලෙස පන බේරා ගැනීම සඳහා දිව යාමට මෙම ලියුම්කාරියට ද බල කෙරුනි. ඇවිද ගත නොහැකි වයෝවෘද්ධ, ආබාධිත අය මෙන්ම කිරිකැටියන් තුරුලු කරගෙන තිත්ත කලුවරේ දිව යන සිය ගනන් ජනයා අතරින් හෘදයාබාධයක් වැලඳී අඩු ම ගානේ එක් අයෙකු මරනයට පත් වූ අතර, අවම වසයෙන් හතර දෙනෙකුගේ අතපය කැඩී බරපතල තුවාල සිදු විය. තවත් බොහෝ ගනනකට සුලු තුවාල සිදු විය. ජීවිත බේරීමට වැඩපිලිවෙලක් සෑදීම කෙසේ වෙතත්, අඩුම ගානේ නිවැරැදි තොරතුරු බෙදාහැරීමේ යාන්ත්රනයක්වත් ක්රියාවේ යෙදවීමට අසමත් ව ඇති ආන්ඩුව දැන්, මෙම කටකතාව පැතිරුවේයැයි කියන පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට තර්ජනය කර ඇත.
ආපදාවන්ට ලක්වූවන් අවුරුදු ගනනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී හරිහම්බ කර ගත් සියල්ල ගංවතුරෙන් විනාශ වී ඇති ආකාරය හද කම්පා කරවයි. වාහන, ශීතකරන, රෙදි සෝදන යන්ත්‍ර ඇතුලු විද්‍යුත් උපකරන, දරුවන්ගේ පොත්පත්, ඇදුම්, අධ්‍යාපනය සඳහා අසීරුවෙන් මුදල් හම්බකර මිලදී ගත් පරිඝනක, ගෘහ භාන්ඩ යනාදී සියල්ල යලි පිලිසකර කර නොහැකි ආකාරය විනාශ වී ගොසිනි. “අපි අවුරුදු ගානක් දුක්මහන්සියෙන් හම්බ කර ගත්ත හැමදේ ම නැතිවුනා. ආයේ බිංදුවේ ඉඳන් අපි නැගිටින්න ඕන. අපිට ආයේ ගොඩඒමක් නෑ”යැයි නිවස ගංවතුරට යට වූ කුඩමාකේ ගෘහනියක් කීවා ය. ඇගේ සැමියා ත්‍රීවිල් රථ රියදුරෙකි.
තම සැමියා මේසන් රැකියාවේ නිරත ගෘහනියක්, නිවසේ සියල්ල දියබත් ව ඇති ආකාරය පෙන්වමින්, “අනේ අපිට උදව් කරන්න කියන්න කියලා කාට හරි කියන්න යැයි” වේදනාවෙන් ඉල්ලා සිටියා ය. උසස්පෙල සහ සාමන්‍ය පෙල පන්තිවල අධ්‍යාපනය හදාරන ඇගේ දරුවන්ගේ පොත්පල් සියල්ල ද ගංවතුරෙන් දියබත් වූ දේවල් අතර තිබේ.
කුඩා බාබර් සාප්පුවක් පවත්වා ගෙන යන, කුඩමාකේ පදිංචි 38 හැවිරිදි චන්දනගේ ඔටිසම් තත්වය නිසා ආබාධිතව සිටි නෑනන්ඩිය (වයස අවුරුදු 34) නිවස ඇතුලට ගැලූ ගංවතුරේ ගිලී මරනයට පත්ව තිබිනි. “නැන්දම්මා (අවුරුදු 70) රාත්‍රි 12ට විතර ගෙට වතුර පිරිලා කියලා කෑ ගැහුවා. මම නැගිටිනකොට කරන්ට් එකත් නෑ. අවුරුදු 4ක් වෙන මගේ පුතා වයිෆ් ලඟ තියලා, නෑනගෙ කාමරයට ගිහින් උඩ ස්ලැබ් එකට එක්කන් යන්න හැදුවා. ඒත් වතුර වේගයෙන් පිරෙද්දිත් එයා බයවෙලා ඇඳ තදින් අල්ලන් ඉදියා. වතුර වැඩිවෙනකොට අපිට එයාව අත ඇරුනා. කලුවර නිසා මටවත් මගෙ නැන්දම්මටවත් එයාව හොයාගන්න බැරිව ගියා. ෆෝන් එකේ ටෝච් එක ගහලා හෙව්වත්, ඉක්මනින්ම ඒකෙ බැටරිය බැහලා ඒකත් ඕෆ් වුනා. කරන්න දෙයක් නැති තැන, නැන්දම්මාත්, දරුවාත්, වයිෆුත් ඇදගෙන මම උඩ ස්ලැබ් එකට නැග්ගා. උදේ වෙනකල් වතුරු බැහලා ගියේ නෑ. උදේ වෙනකොට නෑනා මැරිලා සිටියා”. බොහෝ අයගේ කතා මීට වෙනස් නැත.
ගම්පොල, සිංහපිටිය ජිනරාජ (පිරිමි) විදුහලේ කුලී නිවසක පදිංචි ව සිටි ගුරුවරියක් අවසනාවන්ත ලෙස මරනයට පත් වූයේ, අම්බුලුවා කන්දේ පැත්තක් නාය යාමෙන් හට ගත් විශාල ජලකඳට හසු වී ගසා ගෙන යාමෙනි. මෙම කන්දේ නාය යාමේ විභවය වැඩිකර ඇත්තේ, දේශපාලකයන්ගේ ඊනියා සංවර්ධන වැඩකටයුතුවලට කන්ද කැපීම හේතුවෙනි. 27දා රාත්‍රියේ සිදු වූ මෙම නාය යාමෙන්, ඇයත් පුතාත් යෝධ ජලපහරකට අසුව ගසා ගෙන ගොස් තිබුනි. පුතාගේ ජීවිතය අහම්බෙන් මෙන් බේරී ඇති නමුත්, මරනයට පත් ව සිටි ගුරුවරියගේ මල සිරුර මීටර් 200ක් පමන දුරින් පිහිටි බෝක්කු කටට සිර වී තිබී පසු දා උදෑසන හමු වී තිබිනි.
පස් කඳු කඩා වැටී සහ නාය යෑමෙන් ස්ථාන කීපයකින් විනාශ වී සම්පූර්න ගමනාගමනය ඇනහිට තිබෙන ගම්පොල-දොලොස්බාගේ පාරේ, දොලොස්බාගේ දක්වා ඇති කිලෝමීටර් 29 පුරා ම විහිදී ඇති කඳුකර ගම් නියම්ගම් සිය ගනනක දහස් ගනන් ගම්මු නායයම්, කඳු කඩා වැටීම්, ගල් පෙරලා යාම් යනාදී අනේක ව්‍යසනවලින් පීඩාවට පත්ව සිටිති. මෙයාකාරයෙන්ම නාය යාම නිසා ගම්පොල-නාවල පිටිය පාර ද, අටබාගේ-දුනුකේඋල්ල මාර්ගය ද වාහන ගමනාගමනයට වසා ඇති හෙයින්, සෞඛ්‍ය, ආහාර ඇතුලු අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීමට නගරයට ඒමට නොහැකිව දහස් ගනන් ජනයා ගම්වල සිර වී සිටිති. මෙම බොහෝ ප්‍රදේශවල විදුලි බලය මෙන්ම දුරකථන සන්නිවේදන මාර්ග මුලුමනින්ම හෝ පාර්ශවීය වසයෙන් මේ දක්වාමත් ඇනහිට තිබෙන තත්වයක් යටතේ, සිදු ව තිබෙන විනාශයේ පරිමාව තාමත් හරිහැටි දැන ගැනීමට ක්‍රමයක් නැත.
අත්‍යවශ්‍ය ආහාර, පිරිසිදු පානීය ජලය හෝ සහන කන්ඩායම් කිසිවක් මෙම පැතිවලට එන්නේ නැත. සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය මිල දී ගැනීම කටයුතු සඳහා ගම්පොල නගරය භාවිතා කරන ගඟ ඉහල කෝරලයේ වැලිකන්ද, ගල්පාය, මීතලාව ඇතුලු ප්‍රදේශවල ජනයාට එකී කටයුතු සඳහා, දැන් අතිශය දුෂ්කර හා අවධානම් මාර්ගය ඔස්සේ කිලෝමීටර් පහක්-හයක් පමන පයින් යාම් ඊම් කිරීමට බලකෙරී ඇත. එම පෙදෙස්වල ජීවත්වන මෙම ලියුම්කාරියගේ නෑදැයින් සදහන් කලේ,සැපයුම් නැති තත්වයක් යටතේ බොහෝ කඩවල සහල් ඇටයක්වත් මිලදී ගැනීමට නැති අතර, යාන්තම් හෝ ඒවා තිබෙන කඩවල සහල් ගිනි ගනන්වලට විකුනන බවයි.
