ධනපති ක්‍රමයට කත් අදින කුසල් පෙරේරා රුසියානු විප්ලවය ගැන භීතියෙන් මොර දෙයි

මාධ්‍යවේ​දියෙකු වන කුසල් පෙරේරා  ඔක්තෝබර් අග ලංකාදීප පුවත්පතේ රුසියානු විප්ලවයට සහ මාක්ස්වාදයට ගරහමින් ලිපියක් පල කලේ ය. “ලෙනින් අතහැර ඔක්තෝබර් විප්ලවය මාක්ස්ගෙන් කියැවීම” යන මාතෘකාව යටතේ පල වූ මෙම ලිපිය පෙරේරා  ලියා  ඇත්තේ මාක්ස්වාදය ගැන ද රුසියානු විප්ලවයට සම නායකත්වය දුන් ලෙනින් හා ට්‍රොට්ස්කි ගේ අරගලය පිලිබඳව ද දැනුමින් කෙලපැමිනියෙකු ලෙස මවා පාමිනි. 

රුසියානු විප්ලව​ය මාක්ස්වාදයට නොගැලපෙ​න ප්‍රයත්නයක් වූ බවට ඔහු ගොතන කුතර්ක වල අලුත් දෙයක් නැත. ඔහු තම ලිපියෙන් කර ඇත්තේ, රුසියාවේ සිදු කල යුතු ව තිබුනේ සමාජවාදී විප්ලවයක් නොව ධනපති ක්‍රමය ස්ථාපිත කිරීමක් බව තහවුරු කිරීමට විවිධ අවස්ථාවාදීන් ගෙන ගිය හා ගෙන යන ප්‍රතිගාමී ප්‍රචාර පුනරුච්චාරනය කිරීමයි. 

රුසියානු විප්ලවයට පහර ගසන, පෙරේරාගේ ලිපියේ සැබෑ අරමුන නම්, ලංකාව වැනි කල් පසු ව ධනවාදය ඇති වූ රටවල් තුල ඊනියා  ධනවාදී සංවර්ධනයකට මිස,  සමාජවාදී විප්ලවයක ක්‍රියාමාර්ගයකට සටන් කිරීමේ කිසිදු ඉඩක් නැති බව කියා පෑමයි. ලංකාවේ අධිරාජ්‍ය ගැති ධනපති පන්තිය ඇද වැටී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදයේ ගොහොරුවෙන් ගොඩ ගැනීමට තමන් වැනි දේශපාලන පරඬලුන්ට ද කාර්යයක් ඇති බව පෙරේරා  කල්පනා කර ඇත.  

රුසියානු විප්ලවය: 1917 නොවැම්බර්, කම්කරුවන් පෙට්‍රොග්‍රෑඩයේ ශීත මාලිගය තම අත්තඩංගුවට ගත් පසු

පෙරේරා, වසර තිහක යුද්ධයෙන් ලංකාවේ සිදු වූ විනාශය, ජාතික සංහිඳියාව, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලින් සිදුවෙමින් පවතින අයහපත ආදිය ගැන තම ‘විශ්ලේෂන’ ඉදිරිපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස මවා පා ගෙන සිටින පුද්ගලයෙ​කි. 

පසුගිය කාලය තුල විවිධ ආන්ඩුවලට දායකයෙකු වූ  ඔහු 2015 දී, ඒකාධිපතියෙකු ලෙස ක්‍රියාකරමින් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කර සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දියත් වූ--තම භූ දේශපාලන වුවමනාකම් මත එක්සත් ජනපදය පිටුපසින් සිට ක්‍රියාත්මක කල—තන්ත්‍ර මාරු මෙහෙයුම් ව්‍යාපාරයේ සිටියෙකි. 

ඔහුගේ ලිපිවලින් පෙන්නුම් කෙරෙන්නේ, වංචා  දූෂනවලින් තොර ඊනියා සමාජ වෙලඳපොල (Social Market) ප්‍රතිපත්ති මත පදනම් ​වූ යහපත් ධනපති ආර්ථිකයක් ඇති කල හැකි ය යන ධනපති මිථ්‍යා මතවාදයක් ප්‍රචාරය කිරීමයි. 

1980 ගනන්වල ට්‍රොට්ස්කිවාදි ලෙස පෙනී සිටීමට තැත්කල පැබ්ලෝවාදී  නව සම සමාජ පක්ෂය වටා (නසසප) කැරකෙමින් සිටි පෙරේරා, 1980 වර්ජනය පාවා දීමත් -එහි විශේෂ ක්‍රියාකලාපයක් ඉටුකලේ නසසප, හා වෘත්තීය සමිති නිලධරයයි-- හා එහි පරාජයත්, කොලඹ ආන්ඩුව 1983 සිට වර්ගවාදී යුද්ධය දියත් කිරීමත් සමග දකුනට ගිය පුද්ගලයෙකි. පෙරේරාට මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් තිබුනේ වත් ඇත්තේ වත් නැත. ධනවාදය පෙරලා දැමීමේ වෛෂයික කොන්දේසි සැකසෙන හැටි එලිපෙහෙලි කල, ධනවාදය පෙරලා දැමීමේ අරගලයේ යෙදුනු මාක්ස් ගැන පෙරේරා සඳහන් කරන්නේ, ධනපති සංවර්ධනය සිදු වී අහවරවන තුරු සමාජවාදයක් ගැන හිතන්නට වත් එපා යයි කියූ ධනවාදයේ ක්ෂමලාපයෙකු ලෙස ය. 

අපේ විමසුමට ලක්වන ඉහත සඳහන් ලිපියෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔහුගේ පන්ඩිතමා​නී ආටෝපයේ පවතින ඓතිහාසික විරෝධී තකතීරු ස්වභාවයයි. “මාක්ස් ගෙන් කියැවීම” යනුවෙන් පෙරේරා  සිය ලිපියට මාතෘකාව යෙදුවද, ඔහු යොදාගෙන ඇත්තේ රුසියානු විප්ලවයේ සතුරන් ඉදිරිපත් කල ප්‍රතිගාමීන්ගේ ප්‍රචාර වලින් අහුලාගත් කොටස්‍ ය. ඒ අනුව යමින් ඔහු මෙසේ කියයි: “ඔක්තෝබර් විප්ලවය කියැවීමේදී ලෙනින්ගේ වැදගත්කම ඇත්තේ ධනේශ්වර විරෝධී විප්ලවයකින් දේශපාලන බලය ගැනීමෙහි නොව, එසේ නොවන්නේ යැයි වූ මාක්ස්ගේ න්‍යායික පුරෝකථනය නිවැරැදි යැයි ප්‍රායෝගිකව සනාථ කිරීමෙහිය.” [මෙම වැකිය ඇද ඇරීම පෙරේරාගේ වගකීමකි] 

කෙසේ වතුදු, සරල භාෂාවෙන් කිවහොත්, පෙරේරා කියන්නේ කම්කරු පන්තිය රුසියාවේ බලය නොගත යුතු ව තිබුනු බවයි. සැබැවින් ම 1917න් ප​සු සියවසකට වැඩි කාල​ය තුල මෙන්ම අද දින ද රුසියානු විප්ලවයේ අවතාරය පාලක පන්තිය ඉදිරියේ හොල්මන් කරමින් තිබේ. ඊට හේතුව ඉතිහාසයේ පලමු වරට, ධනපති ක්‍රමයේ ම්ලේච්ඡත්වය​ට විකල්ප ව කම්කරු පන්තියට, පීඩිත ජනතාවන් රැලි කර ගනිමින් බලය ගැනීමට පවතින ශක්‍යතාව හා සමාජවාදය පිහිටුවීමේ ඓතිහාසික අවශ්‍යතාව ඔක්තෝබර් විප්ලවය මගින් ප්‍රදර්ශනය කිරීම​යි. 

මාක්ස්වාද විරෝධී කුතර්ක

පෙරේරාට අනුව ගැමි ජනයා විශාල වශයෙන් සිටි රුසියාවේ සමාජවාදී විප්ලවයකට අවකාශ තිබී නොමැත. ​ඔහු කියන්නේ  “දියු​නු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් උපරිම සංවර්ධනයක් අත්පත් කරගත් පසු, ඒ සංවිඥානක සමාජය විසින් මානව ඉතිහාසයෙහි පලමු වරට ඊලඟ සමාජය, දැනුවත්ව කෙරෙන සමාජ පෙරැ​ලියකින් තීන්දු කරන බව” මාක්ස් කී බවයි. 

කාල් මාක්ස්

පෙරේරාට අනුව, කාල් මාක්ස් කියා ඇත්තේ, ධනේශ්වර සංවර්ධනය පරිපුර්න වී ඒ ගැන දැනුවත්වන සමාජය, “දැන් ධනවාදය අනුව ගියා ඇති, මීට වඩා සංවර්ධනයකට යායුතු ය”යි සවිඥානක වී සමාජවාදය ගොඩනැගීමට, ධනපතියන් ද කම්කරුවන් ද ගෙඩිය පිටින් ඉදිරියට යන බවයි. ඔහුගේ ඉහත ප්‍රකාශය අමු බොරුවකි. 

කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් 1848 ලියූ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයේ ලියු මේ ප්‍රකාශ ගැන පෙරේරා නොදනී: “රදල ක්‍රමය මුලින් උපුටා දැමීමට ධනපති පන්තිය පාවිච්චි කල අවි දැන් ධනපති පන්තියට එරෙහිව එල්ලවීමට පටන් ගෙන ඇත. 

'තමනට මරනය එල්ල කරන අවි ධනපති පන්තිය නිපදවූවා පමනක් නොව, මෙම අවි තමන්ට එරෙහිව එල්ල කරන මිනිසුන් ද, එනම්, සමකාලීන කම්කරුවන්, නිර්ධනීන් බිහි කලේය.” (කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය, පි. 41, ප්‍රගති ප්‍රකාශන 1980)

කොමියුනිස්ට් ප්‍රකාශය ඊට මෙසේ ද එකතු කලේය:

ධනපති පන්තිය අන් හැම දේටමත් වැඩියෙන් නිපදවන්නේ තම මිනීවලවල් හාරන්නන්‍ ය. ධනපති පන්තියේ වැටීමත්, නිර්ධන පන්තියේ ජයග්‍රහනයත් එකසේ නොවැලැක්විය හැක්කේ ය. ( එම, පි. 48)

පෙරේරාගේ මූලික ‘තර්කය’ වනු​යේ රුසියාවේ සමාජවාදී විප්ලවයක් කිරීමට තරම් ධනේශ්වර වර්ධනයක් සිදු වී තිබුනේ නැත යන්න​යි. ඔහු මෙසේ කියයි. “මාක්ස් කියන්නා වූ එවැනි ධනේශ්වර වර්ධනයක් රුසියාවේ තබා වෙනත් කොහේවත් රජ පෙලපතක් යටතේ ඇති වන්නේ නැත. එබැවින් ලෙනින් දිගින් දිගටම පෙනී සිටි සහ ට්‍රොට්ස්කි පිලිගත් කම්කරු විප්ලවයෙන් දියු​නු කම්කරු රාජ්‍යයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ශක්තිමත් සංවිධානාත්මක කම්කරු පන්තියක් සාර් රුසියාවේ නොතිබි​න.” එහෙයින් කම්කරු පන්තිය බලය නොගත යුතුව තිබුනි.

1917 පෙබරවාරි මාසයේ දී රුසියාවේ කම්කරු පන්තිය විප්ලවයකින් නැගී සිටියේය. ගම්බද ගොවි ජනතාව ද යුද පෙරමුනේ අධිරාජ්‍යවාදී යුද්ධයේ මරනීය ගොදුරු බවට පත්වෙමින් සිටි සොල්දාදුවෝ (වැඩි දෙනා ගම්බද ජනයායි) ද සාර්ගේ කෘර පාලනයෙන් පෑගී සිටි විවිධ ජාතින් ද විප්ලවය වටා එක්වූහ. බෝල්ෂෙවික් පක්ෂය කම්කරු පන්තිය අතට බලය ගැනීමේ ක්‍රියාමාර්ගය මත මේ ජනතාව බලමුලු ගැන්වීමට සටන් කරමින් ප්‍රතිවිප්ලවවාදී බලවේගයන් පරාජය කොට, 1917 ඔක්තෝබර් විප්ලවයෙන් නිර්ධන පන්ති ආඥාදායකත්වය පිහිටුවීමට නායකත්වය දුන්නේ ය.

පෙරේරාගේ කෙලතොලු මතයට අනුව නම්, ලෙනින් සහ ට්‍රොට්ස්කි නායකත්වය දුන් බෝල්ෂෙවික් පක්ෂය කල යුතුව තිබුනේ ධනපති සංවර්ධනයට ඉඩදීමේ නාමයෙන් කම්කරු පන්තිය බලය ගැනීමෙන් වලක්වා, එහි අනිවාර්ය ප්‍රතිඵලය විය හැකිව තිබූ පරිදි, කම්කරුවන්, දුගී ගොවින් හා පීඩිත ජනතාවන් ධනේශ්වර ප්‍රතිවිප්ලවයකින් චප්පකර දැමීමට ඉඩ සැලසීමයි. 

රුසියානු විප්ලවයට පසු ට්‍රොට්ස්කි සහ ලෙනින් සෝවියට් සංගමයේ දී

විප්ලවයට පෙරාතුව සහ පසුව රුසියාව තුල සිදුවිය යුතුව තිබුනේ ධනේශ්වර සංවර්ධනයකට ඉඩ දී, පසුව දෙවන අවධියක දී සමාජවාදය කරා සංක්‍රමනය වීම යැයි කියා සිටි මෙන්ශේවික්වාදීන් ඇතුලු ප්‍රවනතා  එකල සිටියහ. ඔවුහු, ධනපතියන් සහ සාර්වාදීන් සමග එක්වී විප්ලවය වැලැක්වීමට ප්‍රතිවිප්ලවයන් ක්‍රියාත්මක කලහ. ඒවා අසාර්ථක වී විප්ලවය ජයගත් පසු, අධිරාජ්‍යවාදී බලයන් ඊට එරෙහිව දියත් කල තුන් අවුරුදු යුද්ධයේ දී මේ පක්ෂ සහ පුද්ගලයන් සිටියේ එම යුද්ධය  සමගයි. 

1920 ගනන් මැද සිට සෝවියට් සංගමය තුල පැන නැගි ස්ටැලින් ප්‍රමුඛ නිලධරය, ඉහත කී මෙන්ෂෙවික් සංකල්ප වලෙන් ගොඩගෙන “අවධි දෙකේ විප්ලවය” හා “තනි රටේ සමාජවාදය ගොඩනැගීම” නම් වූ ප්‍රති-මාක්ස්වාදී ක්‍රියාමාර්ගයන් පෙරට දැමී යැ.  ඒ අනුව, චීනයේ කොමියුනිස්ට් පක්ෂය, ධනපති ක්වොමින්ටෑන්ග් පක්ෂය සමග සන්ධානයකට ඇද දැමුනි. එහි ප්‍රතිඵලය වුයේ, 1927 කම්කරුවන්ගේ හා දුගීන්ගේ නැගිටීමේ දී ඔවුන්ට නායකත්වයක් නැතිකර, කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් ද කම්කරුවන් ද ක්වොමින්ටෑන්ග් නායක චියැන්-කායි-ෂෙක්ගේ මිනීමරු හමුදා අතින් ඝාතනයට ලක් කරවීමයි.  

පෙරේරාගේ මූඪ ප්‍රකාශ ඔහුට ම ගිලගන්නට ඉඩ දී, සමාජ විප්ලවයක කොන්දේසි සකස්වීමේ ඓතිහාසික නියාමයන් පිලිබඳව මාක්ස් ඉදිරිපත් කල ඓතිහාසික භෞතිකවාදී සංකල්පය අපි උපුටා දක්වමු: 

“සිය වර්ධනයේ නිශ්චිත අදියරක දී සමාජයේ වෛෂයික නිෂ්පාදන බලවේග, ඒවා එතෙක් සේවය සලසමින් සිටි පවතින නිෂ්පාදන සම්බන්ධතා සමඟ - නැතහොත්, එහිම නෛතික ප්‍රකාශනය වන දේපල සම්බන්ධතා සමඟ - ගැටුමට එලැඹෙයි. එම සබඳතා නිෂ්පාදන බලවේගයන්හි වර්ධනයේ රූපාකාරයන්හි සිට ඒවාට ලූ විලංගු බවට පරිවර්තනය වේ. එවිට සමාජ විප්ලවයේ අවධිය ආරම්භ වෙයි.” [ A Contribution to the Critique of Political Economy (දේශපාලන අර්ථ ශාස්ත්‍රය පිලිබද විවේචනයට ප්‍රතිපදානයක්) නමැති කෘතියේ හැඳින්වීම] 

මාක්ස්ගේ මෙම ඓතිහාසික භෞතිකවාදී දැක්ම හුදෙක් එක රටක් සම්බන්ධයෙන් කෙරෙන ප්‍රකාශයක් නොවේ. මෙම ඡේදයෙන් පසුව මාක්ස් මෙසේ ප්‍රකාශ කරයි: “සියලු නිෂ්පාදන බලවේග ඊට ඉඩ තිබෙන තාක් දුරට වර්ධනය වන තුරු කිසිදු සමාජ ක්‍රමයක් දූරීභූත වන්නේ නැත.” 

මෙම මාක්ස්ගේ පැහැදිලි කිරීම්, සමාජවාදය කරා ස්වයංක්‍රීය මාවතක් ඇතැයි කී බවට සහ කල් පසුව ධනවාදය ඇති වූ රටවල, පරිපූර්න ධනපති සංවර්ධනයක්  අත්‍යවශ්‍ය බවට කල ප්‍රකාශ ලෙස ගත් ග්‍රාම්‍ය මාක්ස්වාදීන් හා ධනපති විශ්ලේෂකයෝ සිටිති. මාක්ස් ගේ මෙම ප්‍රස්තුතයන් ඒවා තර්කාන්විත මදය උගුලුවා හැර ගිලගත් මෙන්ශ්විකයන් ඉදිරිපත්කල සාවද්‍ය, මාක්ස්වාද විරෝධී අස්ථාන පැහැදිලි කරමින් ට්‍රොට්ස්කි මෙසේ ලීවේය:  

“මාක්ස්ගේ තවත් ජනප්‍රියත්වයෙන් නො අඩු  සූත්‍රයක් වන,  ‘සියලු නිෂ්පාදන බලවේග ඊට ඉඩ තිබෙන තාක් දුරට වර්ධනය වන තුරු කිසිදු සමාජ ක්‍රමයක් දුරීභූත වන්නේ නැත.' – යන්න, ඊට ප්‍රතිකූල ලෙස, සිය ආරම්භකත්වය ගන්නේ, තනි තනි රටෙන් නොව, සාර්වත්‍රික සමාජ ව්‍යුහයන් ගේ අනුපිලිවෙල (වහල් ක්‍රමය, මධ්‍යතන යුගය, ධනවාදය) වෙතිනි. කෙසේවෙතත්, මෙන්ෂෙවිකයෝ, තනි රාජ්‍යයේ දෘෂ්ටි ආස්ථානයෙන් මෙම ප්‍රකාශය ගනිමින්, රුසියානු ධනවාදයට, යුරෝපීය හෝ ඇමරිකානු මට්ට්ම කරා ලගා වීමට තව බොහෝ දුර ගමන් කිරීමට සිදුව ඇත යන නිගමනය උකහා ගත්හ.  නමුත් නිෂ්පාදන බලවේග වර්ධනය වන්නේ රික්තකයක් තුල  නොවේ!…”(History of the Russian Revolution, Appendix 2, Socialism in a Separate Country. (රුසියානු විප්ලවයේ ඉතිහාසය, උප ග්‍රන්ථය 2,)   

රුසියානු විප්ලවය සමයේ ​දී මෙම නිශ්පාදන බලවේ​ග - නිශ්පාදන සම්බන්ධතා සමග ගැටෙන යුගයකට පැමින තිබු ආකාරය හෝ වැඩවසම් සම්බන්ධතා තිබියදී ම, කම්කරු පන්තිය,  දැවැන්ත බලවේගයක් බවට පත් ව තිබු බව පෙරේරාට දැකගත නොහැකි ය. පෙරේරා වෙනත් ලිපියක තර්ක ක​ලේ ඇමරිකා එක්සත් ජනපදයේ පවා තවමත් එවන් තත්වයක් නොමැති බවයි!  

රුසියානු විප්ලවයේ ලෙනින් සමග සම නායකයා වූ ලියොන් ට්‍රොට්ස්කි මාක්ස්වාදී විධික්‍රමයේ සාරය ස්වීකරනය කර ගනිමින් එවකට සිදුවෙමින් පැවති ලෝක ආර්ථිකයේ වර්ධනයන් සිය විශ්ලේෂනයට බඳුන් කලේ ය. එහි දී ඔහු නිශ්පාදන බලවේග සහ නිශ්පාද​න සම්බන්ධතා අතර අන්තර් සම්බන්ධ​ය සිය විශ්ලේෂනයේ කේන්ද්‍රයට ගෙන ආවේය. ධනවාදය ඓතිහාසිකව වර්ධනය වූයේ, ඒ ඒ ජාතික රාජ්‍යයන් තුල හුදෙකලාව ජාතික සීමාව තු​ල නිශ්පාදන බලවේ​ග වර්ධනය වීමක් ලෙස නොව, ධනපති රටවල් වල වර්ධනය වූ නිශ්පාදන බලවේග ලෝක සීමාව දක්වා වර්ධනය වීමක් ලෙසය. 

ඔහු මේ පදනම් මත, නොනවතින විපල්වයේ න්‍යාය හා ක්‍රියාමාර්ගය වර්ධනය කලේය. (බලන්න “නොනවතින විප්ලවය යනු කුමක්ද?”). 1917, රුසියානු විප්ලවය ජය ගත්තේ මේ ක්‍රියාමාර්ගික පදනම මතයි.

මාක්ස්, ධනවාදය ලෝක ක්‍රමයක් ලෙස වර්ධනය වීම  පූර්වාපේක්ෂා කරගත් ක්‍රමයක් ලෙස හඳුනා ගත්තේ ය. ඔහු “ධනපති ක්‍රමයේ මිනීවල හාරන්නා” ලෙස හැඳින් වූ කම්කරු පන්තිය, “ලෝක ඓතිහාසික පන්තියක්” බව ද එයට පැවතිය හැක්කේ ලෝක- ඓතිහාසික පන්තියක් ලෙස බව ද ලෙස ගුනාංගීකරනය කලේ ය.

විසි වන සියවස වනවිට අධිරාජ්‍යවාදී බලයන් ලෝකය තමන් අතර බෙදා ගෙන තිබූ අතර, නව වෙලඳපොලවල් හා සම්පත්, සොයා යාම, 1914 දී ජාතික සංවර්ධනයන් පිලිබඳ ක්‍රියාමාර්ග වලට මල බෙරය හඬවමින් පලමු ලෝක යුද්ධය ලෙස පුපුරා ගියේ ය.  ඒ ඒ ජාතික රාජ්‍ය සීමා තුල නිෂ්පාදන සම්බන්ධ​තා, නිෂ්පාදන බලවේග වල වර්ධනයට අගුලු බවට පත් වූ අතර ධනපති ක්‍රමය සිය ඓතිහාසික ප්‍රගතිශීලීභාවය අහිමි කර ගත්තේ ය. එය සටහන් කලේ ​යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ නව යුගයක ආරම්භය බව ලෙනින් ප්‍රකාශ කලේ ය. 

මෙම තතු තුල ලෝක ආර්ථිකයේ වර්ධනයන්ගෙ​න් හුදෙකලාව රුසියානු භූමිය තුල ගොවි ජනතාව පිලිබඳව, කම්කරු පන්තිය පිලිබඳව, ධනවාදයේ වර්ධනය පිලිබඳව කතා කිරීම අයථා එකක් විය. යුද්ධයෙන් ගැඹුරු කෙරුනු සමාජ අපායෙන් ගොඩ ඒමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීමට කම්කරු පන්තිය බලය ගත යුතු විය; නැතහොත් ප්‍රතිවිප්ලවයෙන් විනාශ විය යුතු විය. 

පලමු වන ලෝක යුද්ධයත් සමග ලොව පුරා මතු වී තිබුනේ “සමාජවාදය ද, ම්ලේචචත්වය ද” යන ප්‍රශ්නයයි. ආසන්න වසයෙන් සමාජවාදය තහවුරු කිරීමේ කොන්දේසි නොතිබියේ වුවත්, ලෝක ධනවාදයේ පරස්පර විරෝධයන් තුලින් පැන නැගුනු කම්කරු පන්තියේ විප්ලවවාදී නැගිටීම වටා අනෙකුත් පීඩිතයන් රැලිකොට සමාජවාදී විප්ලවයේ පලමු වෙඩිමුරය තැබීමට සහ දියුනු ධනපති රටවල කම්කරු පන්තිය බලය ගැනීමෙන් සමාජවාදය ගොඩනැගීමේ කොන්දේසි දිනාගැනීමට ලෙනින් හා ට්‍රොට්ස්කි නායකත්වයෙන් බෝල්ෂෙවික් පක්ෂය තීන්දු කලේ ය.  

 පෙරේරා මේ සියල්ල නොඇසූ කන්ව තව දුරටත් රුසියාවේ පැවති තත්වය පිලිබඳ මෙසේ කියයි. “මහ නගර අත​ලොස්සක් හැරුනු විට, සමස්ත රුසියාවම වැඩවසම් සමාජයක් වූවකි. රුසියාව පුරා තාවකාලික ආන්ඩුවට එරෙහිව කැරලි ගැසුවෝ හෙම්බත්ව පැමිනි ග්‍රාමීය තරු​න සොල්දාදුවන් හා ගමෙන් නගරයට සංක්‍රම​නය වූ අසංවිධානාත්මක අවිධිමත් ක්ෂේත්‍රයේ වූ ගැමියෝය.” ඉතිහාසය නොදන්නා පෙරේරා තැත්කරන්නේ මැටිමෝලුන් ගැසූ කැරැල්ලකින් බෝල්ෂෙවිකයන් බලය ගත් බවයි. 

අසමාන සහ ඒකාබද්ධ වර්ධනයේ නියාම​ය

රුසියාවේ 19 වන සියවස වන විට විශාල වශයෙන් ගොවි ජනතාව සහ වැඩවසම් සම්බන්ධතා අරක් ගෙ​න සිටි නමු​දු එම සියවසේ අග භාගය වන වි​ට බ්‍රිතාන්‍යය, ප්‍රංශ සහ ජර්මන් ධනපතියෝ ආයෝජන සහ නය සම්පාදනය කරමින් සෑහෙන වේගයෙන් කර්මාන්ත වර්ධනය කලහ. රුසියාව තාක්ෂනය අතින් දියුනු ධනපති රටවල් වලට වඩා සෑහෙන පසුපසින් සිටිය ද  එම රටවල් වල පැවති අතිශයින් නවීන තාක්ෂනය සහිත ෆැක්ටරි සහ කාර්මික යන්ත්‍රසූත්‍ර රුසියානු කම්හල්වල  ස්ථාපිත කෙරිනි. මින් රුසියාව අනෙකුත් රටවල් පසුකර යා යුතු අතරමැදි අවධීන් ගනනාවක් පසු කොට ගියේය. ලියොන් ට්‍රොට්ස්කි, ධනවාදය ලෝක ක්‍රමයක් ලෙස වර්ධනය වීමේ නියාමය පැහැදිලි කලේ මෙම අසමාන සහ ඒකාබද්ධ වර්ධනය පිලිබඳ වෛෂයික විශ්ලේෂනයෙනි. 

ලියොන් ට්‍රොට්ස්කි 1905 රුසියානු විප්ලවයේ පාඩම් උකහා ගනිමින් නොනවතින විප්ලව න්‍යාය විස්තාරනය කිරීමට සිදු කල ප්‍රධාන න්‍යායික ප්‍රතිපදානයක් වන නොනවතින විප්ලවය: ප්‍රතිඵල සහ සක්‍යතා කෘතියේ සිංහල පරිවර්තනය (විමසීම් 0773562327 )

ගොවි ජනතාව විශාල වශයෙන් සිටි රුසියාව  මෙම වර්ධනයන් සමග කාර්මික ක්ෂේත්‍රය තුල ඇතැම් අංශවලින් දියුනු ධනපති රටවල් පවා  ඉක්මවා  ගියේ ය. 1914 දී ඇමරිකාවේ කම්කරුවන් 100 ට අඩුවෙන් යෙදූ කුඩා කම්හල් ග​නන මුලු කාර්මික කම්කරුවන්ගෙන් සියයට 35ක් පමන අලලා ගෙන තිබුනි. එහෙත් රුසියාවේ දී එය සියයට 17.8 ක් පමනක් විය. 100 සිට 1000 දක්වා කම්කරුවන් යෙදූ කම්හල් ග​නන දෙරටේ දීම ද​ල වශයෙන් සමාන සංඛ්‍යාවක් විය. එහෙත් කම්කරුවන් 1000ට වැඩියෙන් සේවයේ යෙදුනු යෝධ ව්‍යවසායයන්හි සේවය කල කම්කරුවන් සංඛ්‍යාව, ඇමරිකාවේ දී මුලු කම්කරු සංඛ්‍යාවෙන් සියයට 17.8 ක් වූ නමුත් රුසියාවේ දී එය සියයට 41.4 ක් විය. අතිශයින් ම වැදගත් කාර්මික දිස්ත්‍රික්කයන් වූ පීටස්බර්ග් හි දී එය සියයට 44.4 ක් ද මොස්කව්හිදි සියයට 57.3 ක් ද විය. (සංඛ්‍යා  ලේඛන රුසියානු විප්ලවයේ ඉතිහාසය - ලියොන් ට්‍රොට්ස්කි)

ධනවාදය මේ අයුරින් සිය  ගෝලීය වර්ධනය තුල​දී රුසියාව වැනි පසුගාමී පෙදෙස් සිය වර්ධනය තුලට ඒකාබද්ධ කරගත් අතර නොදියුනු සහ දියුනු ධනපති රටවල් තනි හුයකින් බැඳලූයේ ය. අසමාන වර්ධනය යනුවෙන් නම් කෙරෙන මෙ මගින් ඒ් ඒ් රටවල් වලට ආවේනික වූ ජාතික හුදකලාව මකා දැමුනි. 

එමෙන්ම පීටර්ස්බර්ග්, මොස්කව් සහ ඉවනොවෝ කියෙව් ඇතුලු නගරවල සිටි සාපේක්ෂව සංඛ්‍යාවෙන් අඩු, මිලියන 3-5 පමන ​වූ කම්කරු පන්ති​ය ජාතික ධනයෙන් හරි අඩක් නිර්මානය කලේ ය. එය මුලු මහත් කෘෂිකාර්මික අංශයම නිපද වූ ජාතික ධනයට සමාන විය. මෙම තතු පෙන්නුම් කරන්නේ රුසියාව තුල වැඩවසම් සමාජ සම්බන්ධතා සමග ධනපති සම්බන්ධතා වර්ධනය වූ ආකාරයයි.

මේ සියල්ල පිලිබඳව දෑස් වසා සිටින පෙරේරා කියන්නේ “මාක්ස් කියන්නා වූ එවැනි ධනේශ්වර වර්ධනයක් රුසියාවේ තබා වෙනත් කොහේවත් රජ පෙලපතක් යටතේ ඇති වන්නේ නැත.” නාහෙන් එහා නොදකින ධනපති පන්තියේ ඒජන්තයෙකුට පෙනෙන තරම එපමන​කි. රජකු සිටින පමනින් ධනේශ්වර වර්ධනය නවතිනවාද? එසේ නම් පලමුවෙන්ම ධනේශ්වර වර්ධනය නතර විය යුතුව පැවතුනේ බ්‍රිතාන්‍යයේ ය. පෙරේරාගේ ග්‍රාම්‍ය තර්කනය නතර වන්නේ එවන් අතාර්කික අන්තවල ය.

රුසියාවේ කම්කරු පන්තියේ ශක්තිය පැවතියේ හුදෙක් එහි සංඛ්‍යාව නිසා පමනක් නොවේ. අන් සියල්ලටමත් වඩා එය ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොටසක් විය. රුසියානු කම්කරු පන්තිය, ම්ලේච්ඡ කොන්දේසි නිර්මානය කරමින් පැවති, පලමු වන ලෝක යුද්ධයේ අවසානය සටහන් කරමින්, විප්ලවයකින් බලය ගැනීම, ලොව සිසාරා විප්ලවවාදී කම්පන හා නැගිටීම් පැතිරී යාමට තුඩු දුනි.

කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්තිය පන්නරය ගැන්වීමේ තීරනාත්මක සාධකය වූයේ, ඔවුන්ගේ අතිශයින් වැඩිදියුනු කොටස් මාක්ස්වාදයෙන් පන්නරය ගැන් වූ විප්ලවාදී පක්ෂය ලෙනින් ගේ නායකත්වයෙන් ගොඩ නගා තිබීමය.

ඔවුන්ට, මාක්ස්වාදයට එරෙහි සියලු දෘෂ්ටිවාදයන්ට එරෙහිව  අනවරත සටනක් මගින් ගොඩනැගුනු බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වය ලැබුනි. එවන් නායකත්වයක් නොතිබූ නිසා අන් රටවල කම්කරුවන්ට බලය ගැනීමට නොහැකි විය.  

ස්ටැලින්වාදය සමාජවාදය සමග අනන්‍ය කිරී​ම

පෙරේරාගේ කුතර්ක අවසානයේ දී මාක්ස්වාදය ස්ටැලින්වාදය සමග සමාන කරන පචය දෙසාබායි. “බොල්ෂෙවිකයන් බලය ගැනීමේ සිට සිවිල් යුද්ධය හරහා බලහත්කාර මධ්‍යගත පාලනයක් වෙනුවෙන් මර්දනකාරී රාජ්‍යයක් හැදීමට ලෙනින්ගේ සිට පියවර එකින් එක ගැනීමට සිදුවූයේ බලය ගැනීමට දියු​නු ශක්තිමත් කම්කරු පංතියක් නොසිටියෙනි.”

පෙරේරා සාර්වාදයේ ද, එහි පන්දම් කාර ධනපතියන් හා මෙන්ශේවිකයන් ඇතුලු අවස්ථාවාදීන්ගේ ද කම්කරු පන්තිය රුසියාවේ බලය ගැනීමෙන් පසු ඔවුන්ගේ ආධාරය ඇතිව අධිරාජ්‍යවාදීන් උසිගැන්වූ සිවිල් යුද්ධයේ ද ලේ සෝදන්නට ඉදිරිපත් වී ඔවුන්ගේ අපරාධ ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ කරමත තබන්නට තැත් කරයි. එවක සිටි පෙරේරලා ප්‍රතිවිප්ලවාදීන්ගේ කඳවුරේ අපරාධකාරයෝ වූහ.

අවධි දෙකේ විප්ලවය හා තනි රටේ සමාජවාදය ගොඩනැගීම පිලිබඳව ස්ටැලින් හා ඔහු වටා 1920 ගනන් මැද සිට ගොඩනැගුනු ස්ටැලින්වාදී නිලධරය ඉදිරිපත්කල ප්‍රතිගාමී න්‍යායන්, ලෙනින් හා ට්‍රොට්ස්කි සටන් වැදුනු ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයේ ප්‍රතිවිරුද්ධයයි. ස්ටැලින් ප්‍රමුඛ නිලධරය සිය බලය රැක ගැනීමට හා ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මැඬීමට 1930 ගනන් වල සිදු කල අපරාධ 1917 බෝල්ශ්විකයන් බලය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පෙන්වීමේ තුච්ඡ තර්කය පෙරේරා අහුලා ගෙන ඇත්තේ ධනපති ප්‍රතිගාමී ප්‍රචාරයන්ගෙනි. 

පෙරේරා ධනපති ගැත්තෙකු ලෙස විවිධ පැතිවලට කරනම් ගැසූ අයෙකි. ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) නායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඡන්දයෙන් දිනීමෙන් උද්දාමයට පත්වූ ඔහු 2024 ඔක්තෝබර් පලමු වනදා  “ඊ​ලඟ පාර්ලිමේන්තු මැතිවරනයට පෙර -සමාජ සංවාදයකට තැබිය යු​තු ජාතික සංවර්ධනය සඳහා වන කටු සටහනකි” යනුවෙන් ලිපියක් අන්තර්ජාලයට මුදා හැරියේ ය. 

ඔහුට අනුව ලංකාවේ අර්බුදයට හේතුවී ඇත්තේ “ජාති​ක සංවර්ධනය ගැන වැදගත් සංවාදයක් මේ සමාජයේ මෙතෙක් සිදුව නැති නිසා” ය. එබැවින් කල යුත්තේ පාර්ලිමේන්තු මැතිවරනය හරහා සංවාදයක් ඇති කරගෙන “ජාතික සංවර්ධනය සඳහා තිරසාර, ප්‍රායෝගික හා ජනතාවාදී සැලසුමක් ඉදිරිපත් කරන්නාවූ දේශපාලන නායකත්වයක බහුතරයක් ඇති පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීම ය.”

ලංකාව තුල සමාජවාදී ක්‍රියාමාර්ගයට සටන් කිරීමට සිය සතුරුකම  පුනරුච්ඡාරනය කරමින් “ලාංකීය සමාජය “සමාජවාදී” පාලනයක් ගැන කතා කිරීමට තරම් ධනේශ්වර වර්ධනයකට ආසන්නව හෝ නැති බව” ද ඔහු 2024 දී ලීඩර් වෙබ් අඩවියට ලීවේ ය. ඔහු ලංකාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ජනතාවට වගකීමට බැදෙන ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් යෝජනා කරයි. මෙය අමු මායාවකි.     

කල් පසු වී ජවිපෙ/ජාජබ සමග මාට්ටුවිමට පෙරේරා දැරූ තැත වැරදි ගියේ ය. එහෙත් ඔහු ඒ සඳහා වලිකෑම අත්හැර නැත. මෙම මධ්‍යම පන්තික අවස්ථාවාදියා  ධනපති ක්‍රමය තුල තමන්ට වරප්‍රසාද තහවුරු කරගැනීමට තැත්කරන පුද්ගලයෙකි. ඒ සඳහා, සමාජවාදයට හා 1917 සමාජවාදී විප්ලවයට සතුරුකම තම ඉල්ලුම් පත්තරයේ උඩින්ම ලියා ගෙන ඇත. 

ගැඹුරු වන ලෝක අර්බුදයේ බලපෑම තුල 2022 ලංකාවේ පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදයක් පුපුරා ගියේ ය. මිලියන සංඛ්‍යාත කම්කරුවෝ දුගීහු හා තරුනයෝ තමන් මත පැට වූ නොඉවසිය හැකි බරට එරෙහිව 2022 අප්‍රේල්-ජුලි මහජන නැගිටීමකින් පිලිතුරු දුන්හ. ජවිපෙ, සමගි ජන බලවේගය හා අනෙකුත් ධනපති කන්ඩායම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වෘත්තිය සමිති නිලධරය එක්ව, එය පාර්ලිමේන්තු රාමුවට කොටුකර පාවා දුන්නේ ය.

එයින් ලබා දුන් ඉඩෙන්, බලයට පත්කර ගැනුනු ඇමරිකානු ගැති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කුරිරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමූ අතර, ගිය අවුරුද්දේ, ධනපති පන්තියේ විශ්වාසය දිනාගත් දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ බලයට පත්ව එම වැඩපිලිවෙල රුදුරු ලෙස ක්‍රියාවට දමන්නට පටන් ගෙන ඇත. 

ගෝලීය ව, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී පාලක පන්ති, ලාභ මිරිකා ගැනීමට කම්කරුවන් හා පීඩිතයන් මත නොඉවසිය හැකි බර පටවමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්  මැඬලීමේ හා යුද වැඩපිලිවෙල පෙරට ගෙන ඇත. මේ තතු තුල ලංකාවේ හා අනෙකුත් පසුගාමී රටවල ද කම්කරුවන්ගේ හා දුගීන්ගේ විප්ලවවාදී අර්බුදය  වේගයෙන් වැඩෙමින් තිබේ.

කම්කරු පන්තියට ඇති එක ම මාවත, 1917 විප්ලවයේ ජයග්‍රහනය සහතික කල නොනවතින විප්ලවයේ  ක්‍රියාමර්ගයට අවතීර්න වී සමාජවාදී විප්ලවයට සුදානම් වීමයි. සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සටන් වදින්නේ එම ක්‍රියාමාර්ගය මත ය. (සසප හා සම්බන්ධ වීමට: 0773562327)

***

රුසියානු විප්ලවය සම්බන්ධයෙන් කම්කරු මාවත විසින් පල කෙරී ඇති කෘති නාමාවලිය සඳහා මෙම සබැඳියට පිවිසෙන්න.

Loading