දිට්වා සුලි කුනාටුවේ බලපෑමෙන් ඇති වූ දැඩි වර්ෂාපතනයත් සමග ගංගා පිටරා ගැලීම සහ නාය යාම් හේතුවෙන්, දුම්රිය මාර්ග ද ඇතුලු රටෙහි ප්‍රධාන මහා මාර්ග සිය ගනනක් මෙන්ම, අතුරු මාර්ග අපමන සංඛ්‍යාවක් ප්‍රවාහනය සඳහා භාවිතා කිරීමට නො හැකි තත්ත්වයකට පැමින ඇත. ව්‍යසනයේ සමස්ත මරන සංඛ්‍යාව දහසකට කිට්ටු ය.
සුලිකුනාටුවෙන් වැඩි ම හානි සිදු වූ මහනුවර, බදුල්ල දිස්ත්‍රික්ක හරහා දිවෙන උඩරට දුම්රිය මාර්ගයට විශාල හානි සිදු ව, එම මාර්ගයේ දුම්රිය ධාවනය රඹුක්කනින් එපිටට දිග්ගැස්සුනු කාලයකට නතර කර දමා ඇත. එම මාර්ගය පිලිසකර කිරීම කවදා අවසන් වේ ද යන්න නිශ්චිතව කිව නොහැකි බව දුම්රිය සාමාන්‍ය අධිකාරි රවීන්ද්‍ර පද්මප්‍රිය මාධ්‍යයට සඳහන් කලේ ය.
තම ගමනාගමනය සඳහා ගාස්තුවෙන් අඩු, පහසු ප්‍රවාහන විදියක් ලෙස දුම්රිය භාවිතා කල සාමාන්‍ය මහජනතාවට, රජයේ හා පුද්ගලික අංශයේ සේවකයන්ට මෙයින් ඇති ව තිබෙන්නේ ඉමහත් අපහසුතාවකි. දැවැන්ත ජීවන වියදම් බරෙන් මැඩී සිටින ඔවුන් මතට මෙයින් තවත් බරක් පැටවී ඇත. දෛනික ව දුම්රිය භාවිතා කරන දසලක්ෂයක් පමන මගීන්ගෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමානයක්, කොලඹ-මහනුවර හා කොලඹ-බදුල්ල දුම්රිය මාර්ගය යොදාගනිමින් පැවැතුනි. ඊට බාධා පැමිනීම හා භාන්ඩ ප්‍රවාහනය අඩාලවීමෙන් සමස්ථයක් ලෙස රටේ ආර්ථිකයට ඇති කරන බලපෑම තාමත් ගනනය කර නැත.
දිට්වා ව්‍යසනය නිසා දුම්රිය මාර්ගවලට සිදු වී තිබෙන හානිය නිල ප්‍රකාශවලින් පෙන්නුම් කෙරේ. දෙසැම්බර් 3 වැනි දා පැවැති සාකච්ඡාවක දී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති අනාවරනය කලේ, සුලි කුනාටුවෙන් සිදු වූ හානි නිසා මෙරට කිලෝමීටර් 1,593ක දුම්රිය මාර්ග ජාලයෙන්, දැනට භාවිත කල හැක්කේ කිලෝමීටර් 478ක් පමනක් බවයි. එනම්, දිවයිනේ සමස්ත දුම්රිය මාර්ග ජාලයෙන් තුනෙන් දෙකක් මෙහෙයුම් හැකියාවේ නොපවතී.
ව්‍යසනයෙන් දුම්රිය මාර්ගවලට සිදු ව ඇති හානිවලින් පහත ඒවා කැපී පෙනේ:
- දෙසැම්බර් 4 වැනි දා වන විට, මුලුමනින් ම ගංවතුරට ගසා ගෙන ගිය හා නාය යාම්වලට ලක් වූ ස්ථාන ඇතුලු විනාශයට පත් ස්ථාන 159ක් උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙනිය-බදුල්ල හා පේරාදෙනිය-මාතලේ මාර්ගවල හඳුනා ගෙන තිබිනි. මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගයෙහි ඉහල ස්ථරය මුලුමනින් ම හානියට පත් වී තිබේ.
- කටුගස්තොට දුම්රිය ස්ථානයට හානි සිදු වී ඇත. මාතලේ මාර්ගයේ හානියට පත් තැන් ගනනාවකි. මාතලේ මාර්ගයේ (පේරාදෙනියෙන් ඉහල කොටසේ) සෝදාගෙන යම් 19ක්, පස් කඳු නායයාම් 43ක්, ගස් කඩාවැටීම් 7ක්, දුම්රිය මාර්ගය මුලුමනින් විතැන්වීම් 16ක් වාර්තා වේ. පේරාදෙනිය-මාතලේ මාර්ගයෙහි සමස්ත හානිවීම් 72ක් සහ පේරාදෙනිය හා බදුල්ල අතර සමස්ත හානිවීම් 87ක් ද මේ වන විට හඳුනාගෙන ඇත.
- කොලඹ-බදුල්ල දුම්රිය මාර්ගයේ උලපනේ අතර වරකාපිටියෙ දුම්රිය ස්ථානය අසල පොලව දැවන්ත නාය යාමකට ලක් ව සෝදා ගෙන ගොස් දුම්රිය මග එල්ලෙන පාලමක් බවට පත්ව තිබේ.
- බ්‍රිතාන්‍ය විජිත සමයේ ඉදිකල, මහවැලි ගඟ හරහා ඇති පේරාදෙනිය කලුපාලම අංශක 7කින් ඇලවී ඇත. එය පිලිසකරකිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ තීන්දුවක් ගැනීමට කලක් යන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය සඳහන් කලේ ය.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුනසේන දෙසැම්බර් 5දා හිරු මාධ්‍ය නාලිකාවට සඳහන් කලේ, හානියට පත් ප්‍රදේශවල දුම්රිය කීපයක්ම සිර වී ඇති බවත්, නුවර කොලඹ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්වීමට අවුරුද්දක්වත් ගතවෙනු ඇතයි තමන් සිතන බවත් ය.
දුම්රිය මූලාශ්‍ර වෙත අවධානය යොමු කරමින්, දෙසැම්බර් 12 වැනි දා දි අයිලන්ඩ් පුවත්පත සඳහන් කලේ, දල ගනන් බැලීම් අනුව, දුම්රිය මාර්ගවලට සිදුවී ඇති හානියේ පරිමානය ඩොලර් මිලියන 300ට අධික බවයි. පිලිසකර කිරීම සඳහා ද ඒ සා විශාල ප්රමානයකින් අරමුදල් අවශ්‍ය වන බව ද වාර්තා වේ. කෙසේ වෙතත්, දේශපාලකයන්ට අවශ්‍ය පරිදි, කෙටි කලකින් දුම්රිය මාර්ගය කෙසේ හෝ පැලැස්තර දමා පිලිසකර කර ධාවනයට අවස්ථාව ලබා දුනහොත්, මෙයටත් වැඩි හානියකට දොර හරින බවත්, එබැවින් සමස්ත දුම්රිය මාර්ග පද්ධතිය ම සම්පූර්න අලුත් වැඩියාවකට බඳුන් කිරීම අවශ්‍ය බවත්, නම් සඳහන් නොකල කාර්යභාර ඉංජිනේරුවරයෙක් සඳහන් කලේ ය. විනාශයේ පරිමාව සැලකූ කල, බිලියන ගනන් මූල්‍ය ප්‍රතිපාදන හා ජාත්‍යන්තර ව ඒකාබද්ධ හා විද්‍යාත්මක වැඩපිලිවෙලකින් තොර ව, කෙටි කාලයකින් මෙම මාර්ග යථාතත්වයට පත් කිරීමේ ආන්ඩුවේ පුරෝකථනයන් යථාර්ථයක් නොවේ.
දුම්රිය මගීන් මුහුන දී ඇති දුෂ්කරතාවල එක් පැත්තක් ගැන පැහැදිලි කරමින්, රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට මීටර් 500ක දුරින් පදිංචි ජයතිලක මෙසේ සඳහන් කලේ ය: “සාමාන්‍ය ආකාරයට දුම්රිය ධාවනය වන කාලෙ, උදේ 5.30 ඉඳල දුම්රිය 7-8ක් රඹුක්කනින් පටන් අරගෙන කොලඹට ධාවනය වෙනවා. හවසට කොලඹ ඉඳන් රඹුක්කනටත් ඒ වගේම යි. කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් දසදහස් ගනනක් එම දුම්රියවල ගමන් කරනවා.”
දින ගනනාවක් දුම්රිය ගමන් නතර වී තිබීම, තමන්ගේ දරුවන් ඇතුලු පාසැල් යන ලමුන්ට මෙන්ම, ආන්ඩුවේ විභාගවලට යන ලමයින්ට ද ඉමහත් දුෂ්කරතා මතුකර ඇති බව ඔහු විස්තර කලේ ය. “විකල්ප ප්‍රවාහන මාධ්‍යවලින් ගමන් කරද්දි, දුම්රියේ වගේ පහසු ගමනක් අහිමි වෙනවා වගේ ම, ගමන් ගාස්තුත් අධිකයි. උඩරට දුම්රිය මාර්ගයට වෙලා තියෙන හානිය බරපතලයි කියල දන්නවා. මේක මහජනයාට දැරිය නො හැකි තත්ත්වයක්,” යැයි ඔහු කීවේ ය. බදාදා, රඹුක්කන සිට දුම්රිය ධාවනය ඇරඹු බව නිවේදනය වී ඇතත්, ඉන් එපිට මහජනයා මුහුන දෙන තත්වයේ වෙනසක් නැත.
පසුගිය දශක ගනනාව පුරා දුම්රිය මාර්ග පද්ධතිය, යාන්තම් පැලැස්තර දමමින් ගැට ගසා ගෙන තිබූ සැටි දිට්වා ව්‍යසනය මගින් හෙලිදරව් කරනු ලැබ ඇත. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ ඉදිකරන ලද මෙරට දුම්රිය මාර්ග පද්ධතිය, අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු, නවීන තාක්ෂනික උපාංග, සංඥා පද්ධති සඳහා අවශ්‍ය තරම් මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම සහ දැවැන්ත කාර්යමන්ඩල හිඟකමෙන් දැනටමත් පීඩා විඳිමින් තිබුන තත්වයක ය, මෙම ව්‍යසනය කඩාපාත් වූයේ.
පසුගිය ආන්ඩු විසින් දුම්රිය පද්ධතිය පරිහානියට පත්කිරීම හිතාමතාම පවත්වාගෙන ගොස් ඇත්තේ, මෙම මහජන ආයතනය පුද්ගලීකරනය කිරීමේ දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාවට දැමීමට හැකිවන ආකාරයට ය. වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව අනුයන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග ප්‍රකාරව ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව තිබෙන රාජ්‍ය ආයතන 400කට අධික ප්‍රමානය අතර දුම්රිය දෙපාර්තමේන්තුව පෙරමුනේම ඇත.
දුම්රියට මාර්ගවලට තරම්ම, රටේ මහාමාර්ග පද්ධතිය ඇතුලු අවශේෂ යටිතල ව්‍යුහයට දිට්වා සුලිකුනාටුව සිදුකර ඇත්තේ සුලුපටු පාඩුවක් නොවේ. ඉකොනොමිනෙක්ස්ට් වෙබ් අඩවියට අනුව, අයහපත් කාලගුනික තත්ත්වය හේතුවෙන්, රට පුරා මහා මාර්ග 206ක් ගමන් කල නො හැකි තත්ත්වයට පත් වී පාලම් 40ක් පමන කැඩී ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ (ආර්ඩීඒ) අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.
ඒවා වෙනුවට, තාවකාලික ව ක්ෂනික ව එකලස් කල හැකි යකඩ පාලම් ඉදිකර, පසුව ස්ථීර පාලම් ඉදිකිරීමට ආර්ඩීඒ අපේක්ෂා කරන බව ද ඔහු පවසා ඇත. එහෙත් ස්ථීර කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීමට අඩුම ගනනේ මාස 12-18 පමන කාලයක් ගතවන බවට ගනන් බලා තිබේ. 2026 වසර සඳහා යෝජනා කර ඇති අයවැයෙන් ප්‍රවාහනයට වෙන් කර තිබෙන රුපියල් බිලියන 40 හැරුනු විට, මේ අත්‍යශවශ්‍ය මාර්ග යලිගොඩනැංවීම සඳහා වෙනත් ප්‍රතිපාදන ආන්ඩුව මේ දක්වා මත් නිවේදනය කර නැත.
ප්‍රාථමික ඇස්තමේන්තුවලට අනුව දිට්වා සුලිකුනාටුව මගින් දුම්රිය මාර්ග පද්ධතිය ද ඇතුලු යටිතල ව්‍යූහයට සිදු වූ විනාශය, ඩොලර් බිලියන 6-7 අතර විය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මාධ්‍යයට කීවේ ය. නය වසයෙන් ලබා දුන් සෑම ඩොලරයක් ම නැවත සූරා ගැනීමට අදිටන් කර සිටින අයිඑම්එෆ් ඇන වූ කොන්දේසි ප්‍රකාර ව වියහියදම් දැනටමත් කප්පාදු කර තිබෙන ජවිපෙ/ජාජබ ආන්ඩුව වේවා, වෙනත් කිසිදු ධනපති ආන්ඩුවක් මේසා දැවැන්ත කර්තව්‍යයක් ගැන සිතීමට පවා අසමත් ය.
ධනපති ක්‍රමය තුල, දුම්රිය මාර්ග, වරාය, විදුලිබල හා ජල පද්ධති ගොඩනැගීම හා නඩත්තුව සිදු කරනු ලබන්නේ ප්රාග්ධනයේ ලාභ අවශ්‍යතාවන්ට උවමනා ආකාරට මිස, මානව අවශ්‍යතා සැපිරීමේ උත්සුකතාවකින් නොවේ. ධනවාදය ලාභ ශ්‍රමය ආන්තික ව සූරා කෑ හැකි ආයෝජන කරන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන අතර සාමාජීය අවශ්‍යතාවලට හා සුභසාධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම සැපයීම කපා හරී; ඒවාට හිඟමන් අරමුදල් සම්පාදනය කරයි.
නිසි යටිතල පහසුකම්, හානියට ලක් වූ නිවාස, පාසල්, සෞඛ්‍ය ආයතන හා කම්කරුවන් ගොවීන් ඇතුලු හානිවලට පත් ව සිටින ජනයාගේ ජීවන කොන්දේසි ගොඩනැගීම සඳහා බිලියන ගනන් මුදල් සම්පාදනය අවශ්‍ය වේ. ආන්ඩුව ක්ෂනික අවශ්‍යතා වලට මුදල් ප්‍රමාන ද නිවාස තනාගැනීමට දෙන මුදල් පිලිබඳව ද නිවේදන හා චක්‍රලේඛ නිකුත් කර ඇත. ලංකාවේ වේවා වෙනත් රටවල වේවා අතීත අත්දැකීම් නම් බොහෝ පොරොන්දු මෙලොව එලිය දැක නැති බවයි. ඡන්ද පොරොන්දු කුනු කූඩයට දැමූ දිසානායක ආන්ඩුව ගැන කියනුම කවරේද?
වැඩිකල් යන්ට මත්තෙන් රට ගොඩනැගීමේ අරමුදලට බදු පැනවීමේ ඉඩ තිබෙන බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවයි. අයිඑම්එෆ් වැඩපිලිවෙල අකුරට ක්‍රියාවට දමන බැව් දෙසැම්බර් 5 වැනි දා ජනාධිපති පාර්ලිමේන්තුවට සහතික විය.
ගෝලීය මහබලවතුන්ගේ ප්‍රතිචාරය කුමක්ද? ආරක්ෂක වියදම් සඳහා ඩොලර් ට්‍රිලියන ගනන් ලොස් නැතුව වෙන්කරන ඇමරිකානු පාලක පන්තියේ වත්මන් ෆැසිස්ට්වාදී ජනාධිපති ඩොලර් මිලියන දෙකක හිඟමන් මුදලක් පොරොන්දු වී, හර්කියුලිස් යුද ගවන් යානා දෙකක් ඒවා ඇත! අනෙක් අධිරාජ්‍යවාදී රටවල් ද එලෙස ම ය. මෙම මුර්ග පිලිවෙත, ව්‍යසන වලට මුහුන දෙන අනෙකුත් රටවල් සම්බන්ධයෙන් මෙන්ම, තම රටවල කම්කරු පන්තිය සම්බන්ධයෙන් ද එකලෙස ක්‍රියාත්මක වේ.
ගෝලීය උෂ්නත්වය ඉහල යාමේ සෘජු ප්‍රතිපලයක් ලෙස ඇතිකරන දිට්වා සුලි කුනාටුව වැනි අපදාවන් නතර කිරීම සඳහා මෙන්ම, විද්‍යාවේ හා තාක්ෂනයේ නූතන ජයග්රහනයන්, ස්වාභාවික ව්‍යසනයන්ගේ හානිය අවම කර ගැනීමේ යටිතල පහසුකම් වර්ධනයට කොන්දේසි සකස්කර ගැනීමට ගෝලීය ප්රයත්නයක් අවශ්‍ය වේ. ලංකාව තුල දැන් ඇතිව තිබෙන ඩොලර් බිලියන ගනනාවක විනාශය, එවන් ගෝලීය ව සම්බන්ධීකෘත වැඩසටහනක අවශ්‍යතාව පෙන්නුම් කර තිබේ.
එහෙත්, ලාභ පිපාසිත ගෝලීය ධනවාදය, එවන් ඒකාබද්ධ, විද්‍යාත්මක වැඩපිලිවෙලකට සපුරා ම විරුද්ධ ය. විද්‍යාවේ හා තාක්ෂනයේ විප්ලවවාදී වෙනස්කම් ඇතුලු නිෂ්පාදන බලවේගවල හිමිකාරිත්වය හා අධිකාරිත්වය අත්පත් කරගෙන සිටින්නේ හා හසුරුවන්නේ, අධිරාජ්‍යවාදී රටවල් අතලොස්සක වැජඹෙන මහා ධනකුවේර කතිපයාධිකාරින් විසිනි.
- බදුබර අවසන් කරනු!
- ජීවන කොන්දේසි කපාහරින ප්‍රහාර එපා!
- විදේශ නය ගෙවීම් නතර කරනු!
- ධන කුවේරයන්ගේ ධනය අත්පත් කරගනු!
- ඒවා යටිතල පහසුකම් වර්ධනයට හා හානියට පත් ජනයාට අවශ්‍ය නිවාස ඇතුලු පහසුකම් ලබාදීමට යොදනු!
කම්කරුවන් ධනපති පන්තියේ සෑම කොටසකින් ම වෙන්ව ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගමින්, අනෙකුත් පීඩිත ජනයාගේ ද සහය ගොනුකර මේ ඉල්ලීම්වලට සටන් කිරීමට අපි යෝජනා කරමු. මෙම අරගලය, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි පලල් අරගලයක කොටසකි.
මෙම අරගලය, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක කොටසක් ලෙස, ලංකාව තුල සමාජවාදී පිලිවෙත්වලට හා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීම සමග සම්බන්ධ විය යුතුය.
වැඩිදුර කියවන්න
- දිට්වා සුලි කුනාටු ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ දැවැන්ත මානුෂීය අර්බුදයක් වැඩෙමින් පවතී
- දිට්වා සුලි කුනාටුවෙන් දිවි ගලවා ගත් ජනයා ඉල්ලා සිටින්නේ තාවකාලික පැලැස්තර විසඳුම් නොව ස්ථිර නිවාසයි
- දිට්වා කුනාටු ව්‍යසනය කෙරෙහි වැඩෙන මහජන විරුද්ධත්වය මැද, නිදහස් භාෂනය මැඩීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව හදිසි බලතල යොදාගයි
- වීඩියෝව: ශ්‍රී ලංකාවේ දිට්වා සුලි කුනාටු ව්‍යසනය සහ ආන්ඩුවේ නොතැකීම ගැන කම්කරුවෝ කතා කරති
