ඉදිරිදර්ශන

ජනවාරි 23 වන දින මිනියාපොලිස් හි පැවති මහජන විරෝධතා, ඒකාධිපතිත්වයට එරෙහි සටනේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි

[මෙය The January 23 mass protests in Minneapolis mark a turning point in the fight against dictatorship යන මැයෙන් 2026 ජනවාරි 23 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

2026 ජනවාරි 23 වන දින, මිනියාපොලිස් නගර මධ්‍යයේ, දහස් ගනනක් කම්කරුවෝ, ශිෂ්‍යයෝ සහ නිවැසියෝ සංක්‍රමනික ගෙස්ටාපෝවට එරෙහි ව පෙලපාලි යති

ජනවාරි 23 වන දින මිනියාපොලිස් හි පැවති දැවැන්ත පෙලපාලි, එක්සත් ජනපදයේ පන්ති අරගලයේ වර්ධනයේ නව අවදියක් සනිටුහන් කරයි.

සිකුරාදා, මිනසෝටා හි, මිනියාපොලිස් හි 100,000 කට අධික පිරිසක්, ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සියේ (ICE) නියෝජිතයෙකු විසින් රෙනී නිකොල් ගුඩ් ඝාතනය කරනු ලැබීමටත්, නගරයේ අඛන්ඩ ඒකාබද්ධ හමුදා වාඩිලෑමටත් එරෙහි ව “සත්‍යයේ සහ නිදහසේ දිනයේ” විරෝධතාවලට එක්වීම සඳහා, ශුන්‍යයට වඩා අඩු උෂ්නත්වයක, එනම්, ෆැරන්හයිට් අංශක -30 ක (සෙල්සියස් අංශක -34 ක) සීතල නොතකා පැමිනියහ.

විරෝධතාවය, කම්කරු පන්තියේ පුලුල් ස්ථර—එනම්, සෞඛ්‍ය සේවකයින්, ගුරුවරුන්, තැපැල් සේවකයින් සහ තවත් බොහෝ දෙනෙකු—සහ බොහෝ සිසුන් සහ මධ්‍යම පන්තියේ කොටස් ආකර්ෂනය කර ගත්තේ ය. සංක්‍රමනික සහ ස්වදේශික ව-උපන් විරෝධතාකරුවෝ උරෙනුර ගැටී පෙලපාලි ගියහ.

2026 ජනවාරි 23 වන දින, මධ්‍යම රජයේ හමුදා විසින් මිනියාපොලිස් වාඩිලා ගැනීම සහ සංක්‍රමනිකයින්ට එරෙහි ප්‍රහාරවලට විරෝධය දැක්වීම සඳහා, ශුන්‍යයට වඩා අඩු උෂ්නත්වය නොතකා විරෝධතා දැක් වූ දස දහස් සංඛ්‍යාත ජනතාවගෙන් කොටසක්

ප්‍රදේශ රාශියක් හරහා ගමන් කල පෙලපාලිකරුවෝ, මිනියාපොලිස් නගර මධ්‍යය වාඩිලා ගත්හ. සෑම ගුවන් පාලමක් ම මිනිසුන්ගෙන් පිරී තිබුනි. විරෝධතාවල වීඩියෝවේ, සෑම දිශාවකට ම මිනිසුන්ගෙන් පිරී ඇති වීදි පෙනේ. ගුඩ් ඝාතනය කල අයිසීඊ නියෝජිතයාට එරෙහි ව නඩු පවරන ලෙස ඉල්ලා සිටිමින් සහ පස් හැවිරිදි ලියම් රාමොස් පැහැර ගැනීම ඇතුලු සංක්‍රමනිකයින් අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් ද, අයිසීඊ ය ප්‍රාන්තයෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ද දහස් ගනනක් ජනයා විරෝධතා පුවරු රැගෙන ගියහ. ඇතැමුන් “අපි ඇමරිකානු නාසිවාදය නවත්වමු” යනුවෙන් ප්‍රකාශ කරන බැනර් රැගෙන ගිය අතර තවත් සමහරු, කුරිරු පාලනයට සහ ඒකාධිපතිත්වයට එරෙහි ව ඇමරිකානු විප්ලවයේ පරමාදර්ශයන්ගේ පිහිට පැතූහ.

ප්‍රධාන රැලියට අමතරව නගරය පුරා කුඩා විරෝධතා පැවැත්විනි. අසල්වැසි ප්‍රදේශයන්හි වීදිවල අහුමුලු විරෝධතා මධ්‍යස්ථාන බවට පත් වූ අතර, දරුවන් සිටින පවුල් ද සමග දුසිම් ගනනක සිට සිය ගනනක් දක්වා ජනතාව ඊට සහභාගී වූහ.

විරෝධතාකරුවන් “කැරලිකරුවන්” සහ “ත්‍රස්තවාදීන්” ලෙස හඳුන්වන, ට්‍රම්ප් සහ පරිපාලනයේ ෆැසිස්ට් කල්ලියේ අතොරක් නැති අපහාස මධ්‍යයේ, දැවැන්ත සහභාගීත්වයක් තිබුනි. ජෝර්ජියාවේ උසස් පාසල් සිසුන් සිය ගනනකගේ පාගමන සහ ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවල සහයෝගීතා ක්‍රියාමාර්ග ඇතුලු ව රට පුරා නගර 100 කට අධික සංඛ්‍යාවක ද විරෝධතා පැවැත්විනි.

2026 ජනවාරි 23 වන දින, මිචිගන්හි ඩෙට්‍රොයිට් හි අයිසීඊ යට එරෙහි විරෝධතාවයක්

ජනවාරි 23 විරෝධතාවල වැදගත් ම ලක්ෂනය වූයේ, හුදෙක් සහභාගීත්වය පමනක් නොව, මහා වැඩ වර්ජනයක් පිලිබඳ සංකල්පය ජනප්‍රිය කරලීමයි. ජන සමූහයන් සම්බන්ධකරගත් ක්‍රියාමාර්ගයක් සඳහා ඉල්ලීම මතු වී ඇත්තේ වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් හෝ දේශපාලනඥයින්ගෙන් නොව, පහලිනි. එක්සත් ජනපදය පුරා, වෙනත් ආකාරයක බලයක්—එනම්, කම්කරු පන්තියේ බලය—බලමුලු ගැන්විය යුතු බවට වැඩෙන අවබෝධය මගින් මෙහෙයවුනු, විරෝධාකල්පී මනෝභාවයක් ගොඩනැගෙමින් පවතී.

පසුගිය වසර 45 තුල, වෘත්තීය සමිති යාන්ත්‍රනය කම්කරු පන්තියේ සංවිධානාත්මක ප්‍රතිරෝධය මර්දනය කර ඇත. 1981 දී පැට්කෝ (ගුවන් ගමනාගමන පාලක වෘත්තීය සමිති සංවිධානයේ) වැඩ වර්ජනය තලා දැමීමෙන් පසු ව පැමිනි සෑම ප්‍රධාන අරගලයක් ම, සංගත සහ රාජ්‍යයේ අවශ්‍යතා සමඟ අනන්‍යකරනය වූ සංගතවාදී වෘත්තීය සමිති යාන්ත්‍රනයක් විසින් පාවා දී හෝ වසා දමා ඇත. මෙය සිදු වූයේ, වාර්ගික හා ස්ත්‍රී පුරුෂ භාවය ඔස්සේ සමාජ අරගලය නැවත අර්ථ දැක්වීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය විසින් හිතාමතා ම ප්‍රවර්ධනය කරගෙන යන දෘෂ්ටිවාදාත්මක ව්‍යාපාරයක් සමඟ ය. නමුත් මෙම ආඛ්‍යානය බිඳී යාමට පටන් ගෙන තිබේ.

අයිසීඊ හි ප්‍රචන්ඩ හැසිරීම ආසන්නත ම හේතුව වුව ද, මෙම විරෝධතා පුපුරා ගොස් ඇත්තේ, ඇමරිකානු සමාජයේ දැඩි හා වේගවත් වන අර්බුදයක් මධ්‍යයේ ය. එක්සත් ජනපදය, දේශපාලනික ව බිඳ වැටීමේ මට්ටමට සහ පන්ති ආතතීන්ගේ රෞද්‍රභාවය විසින් විඥානයේ ගැඹුරු වෙනස්කම් ජනනය කරන ලක්ෂ්‍යයකට ලඟා වී තිබේ. එපමනක් නොව, රාජ්‍ය ප්‍රචන්ඩත්වය පිලිබඳ ගැටලු මත කේන්ද්‍රගත වී ඇති විරෝධතා, කම්කරු පන්තිය, මිනියාපොලිස්හි පමනක් නොව රට පුරා ධනේශ්වර රාජ්‍යය සමඟ සෘජු ගැටුමක් කරා යොමු කරයි.

ජනවාරි 23 විරෝධතාවලින් මතු කෙරෙනුයේ, දැන් මෙම ව්‍යාපාරය, සවිඥානික, සම්බන්ධීකෘත කාර්මික හා දේශපාලන අරගලයක් බවට ගොඩනැගීමේ කර්තව්‍යයයි.

ට්‍රම්ප් පාලනය පසුබසින්නේ නැත. රාජ්‍ය ප්‍රචන්ඩත්වයේ නවතම උත්සන්න වීමත් සමඟ, විරෝධතාවලට පසු දින සෙනසුරාදා උදෑසන මිනියාපොලිස් හි අයිසීඊ පැහැර ගැනීමේ මෙහෙයුම් නිරීක්ෂනය කරමින් සිටි පුද්ගලයෙකු ෆෙඩරල් ඒජන්තයින් විසින් ඝාතනය කරන ලදී. බිම වැටී සිටි එම පුද්ගලයාට ඒජන්තයෝ පහර දුන්හ; අවම වශයෙන් ඔවුන්ගෙන් හත් දෙනෙකු වීඩියෝවේ දැක ගත හැකි ය; එවිට එක් ඒජන්තයෙකු නැඟිට ඔහුගේ පිස්තෝලයෙන් වෙඩි තැබීමට පටන් ගත්තේ ය.

ෆෙඩරල් හමුදා භාවිතා කිරීම සාධාරනීකරනය කිරීම සඳහා කැරලි පනත ක්‍රියාත්මක කිරීමට පරිපාලනය තර්ජනය කරන අතරතුර, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, විරෝධතාවයට පෙර දින මිනියාපොලිස් වෙත ගියේ, අයිසීඊ ආරක්ෂා කිරීමට සහ මිලිටරිය මැදිහත්කිරීමේ තර්ජනයේ සැර බාල කිරීමට ය.

11 වන ගුවන් හමුදා කොට්ඨාසයේ ක්‍රියාකාරී රාජකාරියේ නියුතු සොල්දාදුවන් 1,500 ක් පමන සූදානමින් සිටිති. අයිසීඊ වැටලීම් දිනපතා අඛන්ඩ ව සිදුවන අතර, අත්අඩංගුවට ගැනීම් වීඩියෝ කරන විරෝධතාකරුවන් “දේශීය ත්‍රස්තවාදීන්” ලෙස ලේබල් කරන බවට අයිසීඊ ඒජන්තයින් තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මතු වෙමින් තිබේ. සිව්වන සංශෝධනය අභිබවා යාමට සහ අධිකරන වරෙන්තු නොමැති ව නිවාස වැටලීමට පුලුල් බලතල තහවුරු කරමින් ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (ඩීඑච්එස්) ලේඛනයක් නිකුත් කර තිබේ.

මිනියාපොලිස් හි දිග හැරෙමින් පවතින්නේ, විසම්මුතිය අපරාධකරනය කර, මිලිටරි-ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ පුලුල් කුමන්ත්‍රන වැඩපිලිවෙලක පෙරටු කාර්ය යි. මූල්‍ය කතිපයාධිකාරිය වෙනුවෙන් ක්‍රියා කරන ට්‍රම්ප්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම අත්හැර දමමින් සිටී. ඩාවෝස්හි දී ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය: “සමහර විටක ඔබට ඒකාධිපතියෙකු අවශ්‍ය වේ.” ඔහු ඉන් අදහස් කලේ පැවසූ දෙය ම ය.

ජනවාරි 23 වන දින විරෝධතා, ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහි ව කම්කරු පන්තිය තුල ව්‍යාපාරයක ආරම්භය සනිටුහන් කරයි. නමුත් මෙම බලය, ඩිමොක්‍රටික් පක්ෂයේ ආයතන හෝ වෘත්තීය සමිති නිලධරය හරහා වර්ධනය නොවනු ඇත. එය පහලින් වර්ධනය කල යුත්තේ, කම්කරුවන්ට සහ තරුනයින්ට තම සාමූහික ශක්තිය සංවිධානය කල හැකි සේවා ස්ථාන, අසල්වැසි ප්‍රදේශ සහ පාසල්වල මුල් බැසගත් නව ආකාරයේ අරගලයන් හරහා ය.

සෑම අවස්ථාවක දී ම, වෘත්තීය සමිති මෙවලම උත්සාහ කර ඇත්තේ, කෝපය මැඬ පැවැත්වීමට සහ සැබෑ මහා වැඩවර්ජන ව්‍යාපාරයක් වැලැක්වීමට ය. ජාතික ඒඑෆ්එල්-සීඅයිඕ සහ බොහෝ ප්‍රධාන වෘත්තීය සමිති ජනවාරි 23 ක්‍රියාමාර්ගය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සහයෝගය ප්‍රකාශ කලේ නැත. මිනියාපොලිස් ප්‍රාදේශීය කම්කරු සම්මේලනය ඇතුලු රාජ්‍ය සහ ප්‍රාදේශීය සම්මේලන, මෙම විරෝධතාව නාමික ව අනුමත කරමින් ම, තමන් විසින් සාකච්ඡා කරන ලද කොන්ත්‍රාත්තු වල “වර්ජන තහනම් වගන්ති” උපුටා දක්වමින් කම්කරුවන් රැකියාවේ රැඳී සිටිය යුතු බව අවධාරනය කලහ.

ටාගට් සෙන්ටර් හි පැවති විරෝධතාව අතරතුර පැවති ගෘහස්ථ රැස්වීමක දී, ඇමරිකානු ගුරු සම්මේලනයේ සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන්, සේවාවන්හි නිරත සේවකයන්ගේ ජාත්‍යන්තර සංගමයේ සභාපති ඒප්‍රිල් වෙරෙට් සහ ඇමරිකානු සන්නිවේදන සේවකයෝ හි සභාපති ක්ලෝඩ් කමිංස් ජූනියර් පැවැත් වූ කතා හිස් වාචාලකමෙන් පිරුනු නීරස ඒවා විය. මෙම කිසිදු නිලධරයෙකු වර්ජනය තම නමින් නියෝජනය කරමින් කම්කරුවන් කැඳවා නොතිබූ හෙයින්, විරෝධතාවයට ඔවුන්ගේ “සහයෝගය” තනිකර ම ව්‍යාජ විය.

බොහෝ සේවකයින් පැවසුවේ, වෘත්තීය සමිති වැඩ වර්ජනයක් කැඳවා තිබුනා නම්, සියලු දෙනා ම සහභාගි වනු ඇති බවයි. ඇත්ත වශයෙන් ම, වෘත්තීය සමිති මෙවලම වැලැක්වීමට අධිෂ්ඨාන කරගෙන සිටින්නේ මෙයයි. සහභාගී වූ බොහෝ කම්කරුවන් වෘත්තීය සමිති ලාංඡන පැලඳ සිටි නමුත්, වෘත්තීය සමිති යාන්ත්‍රනය වැඩවර්ජන ක්‍රියාමාර්ගයට පැහැදිලි ව ම විරුද්ධ වූ බැවින්, සංවිධානාත්මක නියෝජනයක් පැවතියේ නැත.

තමන්ගේ පැත්තෙන්, ඩිමොක්‍රටික් පක්ෂය පසුගිය වසර පුරා ට්‍රම්ප්ට එරෙහි මහජන විරෝධය මැඬ පැවැත්වීමට, මර්දනය කිරීමට සහ හරවා යැවීමට හැකි සෑම දෙයක් ම කරමින් සිටියේ ය. ට්‍රම්ප් පරිපාලනයේ විවේචකයින් ලෙස පෙනී සිටින අතර ම, ඩිමොක්‍රටික් පක්ෂය, ට්‍රම්ප්ගේ දේශීය ප්‍රතිපත්තියේ මූලික පදනමට, විශේෂයෙන් සංක්‍රමන සහ “ජාතික ආරක්ෂාව” පිලිබඳ ගැටලු වලට එකඟ ය.

ජනවාරි 23 විරෝධතාවලට පෙර සතියේ දී, කම්කරුවන් සහ තරුනයින් විශාල පිරිසක් පෙලපාලි සඳහා සූදානම් වෙමින් සිටිය දී, ඩිමොක්‍රටික් පක්ෂය, ට්‍රම්ප් ආන්ඩුවේ අඛන්ඩ ක්‍රියාකාරිත්වය සහතික කිරීමේ කාර්යයේ යුහුසුලු විය. නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඡන්ද විමසීම් මාලාවක දී, මිනියාපොලිස් ප්‍රහාරයට නායකත්වය දුන් ආයතන වන ඩීඑච්එස් සහ අයිසීඊ සඳහා පූර්න අරමුදල් සැපයීම ඇතුලු තීරනාත්මක විසර්ජන පනත් සම්මත කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය උදව් කලේ ය.

මේ අතර, බර්නි සෑන්ඩර්ස් ඒකාධිපතිවාදය පිලිබඳ නොපැහැදිලි සහ බෙලහීන අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනය කරන බවට අනතුරු අඟවයි. නමුත් ඔහු උසාවිවලට අභියාචනා කිරීම සහ 2026 මැතිවරනය සඳහා සූදානම් වීම හැර වෙනත් දේශපාලන උපාය මූලෝපායක් ඉදිරිපත් නොකරයි—මාස 10 ක් ඇතුලත, සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් වැනි ඕනෑ ම දෙයකට සමාන තත්වයන් යටතේ මැතිවරනය පැවැත්වෙනු ඇති බවට සහතිකයක් නැත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කල පරිදි, ට්‍රම්ප් බලයට නැවත පැමිනීම, ඇමරිකානු දේශපාලනය සමාජයේ කතිපයාධිකාරී ව්‍යූහයට අනුකූල කිරීම සඳහා වූ ප්‍රචන්ඩකාරී නැවත පෙලගැස්මක් සනිටුහන් කලේය. දැන්, එම ඓතිහාසික ක්‍රියාවලියේ ම අනෙක් පැත්ත මතුවීමට පටන් ගෙන තිබේ: කම්කරු පන්තිය අරගලයට අවතීර්න වෙමින් සිටී. ජනවාරි 23 වන දින සිදුවීම්, ධනවාදයේ ස්වභාවය, රාජ්‍යයේ කාර්යභාරය සහ කම්කරු පන්තිය ඉදිරියේ දැන් මතු කර ඇති ඓතිහාසික කාර්යයන් පිලිබඳ පැහැදිලි අවබෝධයකින් සන්නද්ධ, තිරසාර හා සම්බන්ධීකෘත ප්‍රති-ප්‍රහාරයක් සඳහා පදනම විය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය සෑම වැඩබිමකම සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටු ගොඩනැගීමට ඉල්ලා සිටී. සෑම කර්මාන්ත ශාලාවක්ම, ඩිපෝවක්, ගබඩාවක්, කාර්යාලයක්, පාසලක් සහ රෝහලක්ම, සංවිධානයේ සහ දේශපාලන සාකච්ඡාවල මධ්‍යස්ථාන බවට පත් විය යුතු ය. කම්කරුවන් හදිසි රැස්වීම් පැවැත්විය යුතුය, නියෝජිතයින් තෝරා පත් කර ගත යුතුය, ඉල්ලීම් ඉදිරිපත් කල යුතුය, කර්මාන්ත හා කලාප හරහා එකට සම්බන්ධ විය යුතුය.

මෙම කමිටු, මහජන ක්‍රියාමාර්ග සම්බන්ධීකරනය කල යුතු අතර ප්‍රහාරයට ලක්වූවන් ආරක්ෂා කරමින්, මහා වැඩ වර්ජනයකට, එනම් ආර්ථික ක්‍රියාකාරකම් සම්පූර්නයෙන් ම වසා දැමීමට අඩිතාලම දැමිය යුතු ය. මෙය මිනියාපොලිස් නගරයට පමනක් සීමා කල නොහැක. ට්‍රම්ප්ගේ ඒකාධිපතිත්වය සඳහා වූ කුමන්ත්‍රනය ජාතික වන අතර, ඊට කම්කරු පන්තියේ ප්‍රතිචාරය මුලු රට පුරා ම පැතිර යා යුතු ය. එ පමනක් නොව, එක්සත් ජනපදයේ සිදු වෙමින් පවතින දෙය, සෑම රටක ම පාලක පන්තිය ඒකාධිපතිත්වයට සහ යුද්ධයට හැරීමේ සංකේන්ද්‍රිත ප්‍රකාශනයකි.

එවැනි ගෝලීය ප්‍රතිප්‍රහාරයක් සඳහා ව්‍යුහය සහ නායකත්වය සැපයීමට ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) ස්ථාපිත කර ඇත. එය සටන් කරන්නේ, ෆැසිස්ට්වාදයට සහ ආඥාදායකත්වයට එරෙහි විරෝධය, යුද්ධය, රැකියා කප්පාදුව, උද්ධමනය සහ සමාජ කාලකන්නිභාවයට එරෙහි කම්කරු පන්තියේ අරගලය සමඟ සම්බන්ධ කිරීමට ය.

සමාජවාදී සමානතා පක්ෂය, මෙම සාකච්ඡාව සෑම සේවා ස්ථානයකට ම, පාසලකට ම සහ අසල්වැසි ප්‍රදේශයකට ම ගෙන යන ලෙස, කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටී. ඔබේ වැඩපලේ සගයන් සහ පන්ති මිතුරන් සමඟ කතා කරන්න. මහජන ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සහ සම්බන්ධීකරනය කිරීම, තොරතුරු බෙදා ගැනීම සහ අරගලයේ ඊලඟ අදියර සඳහා සූදානම් වීම සඳහා ක්‍රියාකාරී කමිටු පිහිටුවීම ආරම්භ කරන්න.

ඒකාධිපතිත්වයට එරෙහි පන්ති අරගලයේ වර්ධනය මූලික දේශපාලන ප්‍රශ්න මතු කල යුතු ය: මෙය සාපරාධී ආන්ඩුවකට එරෙහි ව පමනක් නොව, එය පිටුපස සිටින සමාජ බලවේගයන්ට ද එරෙහි ව සටනකි. සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය—අයිසීඊ, ඩීඑච්එස්, පොලිසිය, හමුදාව—පවතින්නේ ධනේශ්වර කතිපයාධිකාරයේ ධනය හා බලය ආරක්ෂා කිරීම සඳහා ය. ඒකාධිපතිත්වය, යුද්ධය සහ මර්දනය පරාජය කිරීම සඳහා, කම්කරු පන්තිය ධනේශ්වර ක්‍රමයට ම එරෙහි ව සවිඥානික අරගලයක් අරඹමින් සමාජවාදය සඳහා සටන් කල යුතු ය.

Loading