[මෙය Sri Lankan president falsely postures as champion of “national unity” යන මැයෙන් 2026 ජනවාරි 29 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
යුද්ධයෙන් විනාශ වූ උතුරේ යාපනය දිස්ත්‍රික්කයට මෑතක දී කල සංචාරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක තම ආන්ඩුව “ජාතිවාදයෙන් තොර ජාතික සමගිය” සහ “සමෘද්ධිය” සඳහා කප්පිත්තෙකු ලෙස මවා පෑමට උත්සාහ කලේ ය. ප්‍රවේශමෙන් සංවිධානය කරන ලද මෙම සංචාරය, ජාතික නිවාස වැඩසටහනක් සහ මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කිරීම කෙරෙහි කේන්ද්‍රගත විය.
දිසානායක මෙම සංචාරය සඳහා තෝරා ගත්තේ, සෑම වසරක ම හින්දු භක්තිකයන් විසින් අලුත් අවුරුදු උදාව ලෙස සමරනු ලබන තෛපොංගල් උත්සවය සමග සමගාමී වන ජනවාරි 15 සහ 16 යන දිනයන් ය. ඔහු කයිට්ස් දූපතේ වේලනෙයි හි පැවති උත්සවයකට මෙන් ම යාපනය නගරයේ සහ අවට ප්‍රදේශවල රැස්වීම්වලට ද සහභාගී විය. ජනාධිපතිවරයා, “සුහදශීලී” නායකයෙකුගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරමින්, සෙල්ෆිවලට පෙනී සිටින, හමුදා නිලධාරීන් සමඟ ජොගින් කරන සහ පාරේ හංදියක් හංදියක් ගානේ සිටින පදිංචිකරුවන් සමඟ කතා කිරීමට නතර වන ඡායාරූප රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යවල බොහෝ සෙයින් විකාශනය විය.
මෙම, කලින් සූදානම් කල අන්තර්ක්‍රියා හරහා, පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව කෙරෙහි මහජන අවිශ්වාසය ගැඹුරින් ම පවතින උතුරු ප්‍රදේශයේ, ජනාධිපතිවරයාගේ සහ ආන්ඩුවේ ස්ථාවරය ඉහල නැංවීමට, දහස් ගනනක් ජනතාව බලමුලු ගැන්වීය.
2024 පාර්ලිමේන්තු මැතිවරනයේ දී, ජවිපෙ/ජාජබ ආසන පහක් දිනා ගත් අතර, ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) හි ආසන සංඛ්‍යාව 2020 දී හයක සිට දෙක දක්වා පහත වැටුනි; එය, දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාපිත දෙමල ධනේශ්වර පක්ෂ වන අයිටීඒකේ සහ දෙමල කොංග්‍රසය නායකත්වය දෙන දෙමල ජනතා ජාතික පෙරමුන (ටීඑන්පීඑෆ්) පසුපසට ඇද දැමී ය. මෙම ප්‍රතිඵලය පිලිබිඹු කලේ, ජවිපෙ/ජාජබ දේශපාලනය අනුමත කිරීමක් නොව, දශක ගනනාවක් තිස්සේ දෙමල දේශපාලනය ආධිපත්‍යය දැරූ සාම්ප්‍රදායික ජාතිකවාදී පක්ෂවල බිඳ වැටීමයි.
එය, 2022 දී ශ්‍රී ලංකාව විදේශ නය ගෙවීම පැහැර හැරීමෙන් පසු ගැඹුරු වූ දේශපාලන හා ආර්ථික අර්බුදයක් මධ්‍යයේ තීව්‍ර වූ, පසුගිය දශක හත තුල සිංහල බහුතරයක් වෙසෙන දකුනේ මුල් බැසගත් පක්ෂ ඇතුලු ව දිවයිනේ සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂවල පුලුල් බිඳ වැටීමක කොටසකි. දිවයින පුරා වැඩ කරන ජනතාවගේ මහජන නැගිටීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට සිදු විය.
ඔහු වෙනුවට පත් වූ රනිල් වික්‍රමසිංහ, දැඩි කප්පාදු වැඩසටහනක පදනම මත හදිසි ඇප නයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) සමඟ ගිවිසුමක් අත්සන් කලේ ය. එතෙක් කිසිදා බලයට පැමින නොසිටි ජවිපෙ, 2024 මැතිවරනවල දී, තම ජාජබ පෙරමුන හරහා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ජීවන තත්වයන් වැඩිදියුනු කිරීමටත් ව්‍යාජ පොරොන්දු දෙමින් පුලුල් ව පැතිර තිබූ විරෝධය ගසා කෑවේ ය.
කෙසේ වෙතත්, මාස හයක් ඇතුලත ජවිපෙ/ජාජබ ආන්ඩුව—ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කරන ලද කුරිරු කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට පටන් ගත් අතර, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාර පුලුල් කරමින්—තියුනු මැතිවරන පසුබෑමකට ලක් විය. 2025 මැයි මාසයේ පැවති පලාත් පාලන මැතිවරනයේ දී, තම ඡන්ද ප්‍රතිශතය ජාතික වශයෙන් සියයට 18 කින් පහත වැටුනු අතර, උතුරු නැගෙනහිර ප්‍රදේශවල සැලකිය යුතු පහත වැටීමක් දක්නට ලැබුනි. රට පුරා වර්ධනය වන සමාජ විරෝධයකට මුහුන දී සිටින ආන්ඩුව, දැන් එහි විශ්වසනීයත්වය ගොඩනැගීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරමින්, දිගු කලක් තිස්සේ කල් දැමුනු පලාත් සභා මැතිවරන පැවැත්වීමට පොරොන්දු වී තිබේ.
තම ආන්ඩුව යටතේ, පසුගිය වසර තුල “වාර්ගික වශයෙන් අභිප්‍රේරනය වූ ගැටුම්වල” ඓතිහාසික පහත වැටීමක් සනිටුහන් වී ඇති බවත්, ජාතිවාදය ප්‍රවර්ධනය කරන බලවේග “දුර්වල” වී ඇති බවත් වේලනෙයි හි පැවති රැස්වීමක් අමතමින් දිසානායක කියා සිටියේ ය. ඔහුගේ පක්ෂය කෙරෙහි පැතිර යන අවිශ්වාසය පිලිගනිමින් ඔහු මෙසේ විමසී ය: “වසර එකහමාරකට පසුවත්, තවමත් ඔබට අප සැක ද?”
කොකුවිල්හි දී කතා කරමින්, “ආගමික වතාවත් සඳහා නොව, ජාතිවාදය ඇවිස්සීම සඳහා ම පෝය දිනවල (පුර පසලොස්වක පොහොය දිනවල) යාපනයට යන සමහර පුද්ගලයින් හිතාමතාම වාර්ගික ආතතීන් අවුස්සන බවට” ජනාධිපතිවරයා චෝදනා කලේ ය.
ඔහු මෙම “පුද්ගලයන්ගේ” නම් සඳහන් කලේ නැත. ඔහුගේ ප්‍රකාශ පැහැදිලි ව ම යොමු වූයේ, යාපනය නගරය ආසන්නයේ තයියඩි ගම්මානයේ ඉදිකරන ලද තිස්ස විහාරය වන්දනාමාන කිරීම සඳහා තම ආධාරකරුවන් ප්‍රකෝපකාරී ලෙස බලමුලු ගැන්වූ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී කන්ඩායම් වෙත ය. මෙම බෞද්ධ විහාරය, හමුදාවේ සහාය ඇතිව පුලුල් කරන ලද්දක් බව ඔහු වසන් කලේ ය.
කෙසේ වෙතත්, ඒ සමඟම, දෙමල ජාතිවාදී කන්ඩායම් විසින් පන්සල පුලුල් කිරීම ගසාකන බවට දිසානායක චෝදනා කලේ ය. ඔහු එහි දී සඳහන් කලේ, පන්සල සඳහා තම ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහි ව විරෝධතා දක්වන දෙමල ජනතාව ගැන ය. විරෝධතා විමර්ශනය කරන ලෙස බුද්ධි අංශවලට උපදෙස් දුන් බව ජනාධිපතිවරයා පැවසී ය.
තම ආන්ඩුව කෙරෙහි දෙමල ජනතාවගේ විශ්වාසය සඳහා දිසානායක නැවත නැවතත් කරන ආයාචනා අවධාරනය කරන්නේ, ජවිපෙ/ජාජබ හි සිංහල ස්වෝත්තමවාදී ඉතිහාසයේ බරයි. 1965 දී ජවිපෙ මතු වූයේ, ඉන්දියානු සම්භවයක් ඇති දෙමල වතු කම්කරුවන් “ඉන්දියානු ව්‍යාප්තවාදයේ” ඒජන්තයන් ලෙස හංවඩු ගසමින්, සිංහල දේශප්‍රේමය සමඟ ඒකාබද්ධ වූ රැඩිකල්වාදයේ මුල් බැසගත් පක්ෂයක් ලෙස ය.
1983 දී මුදා හරින ලද සහ 2009 මැයි මාසයේ දී ලේ වැකි අවසානයකට පැමිනි බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව කොලඹ ආන්ඩු විසින් දශක ගනනාවක් පුරා ගෙන ගිය වාර්ගික යුද්ධයට ජවිපෙ පූර්න සහාය ලබා දුන්නේ ය. අවසාන මිලිටරි ප්‍රහාරවල දී දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියෝ ඝාතනය කරන ලදහ.
2024 ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරන ව්‍යාපාරවල දී, ජවිපෙ/ජාජබ දෙමල ඡන්දදායකයින්ට, සියලු ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව විසින් අත්පත් කරගත් සිවිල් ඉඩම් ආපසු ලබා දීම සහ දස දහස් ගනනක් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට තොරතුරු ලබා දීම යන පොරොන්දු දුන්නේ ය. එතැන් පටන් මෙම පොරොන්දු අත්හැර දමා තිබේ.
ආන්ඩුව දැන් කියා සිටින්නේ, දේශපාලන සිරකරුවන් අපරාධ චෝදනා මත වරදකරුවන් වී ඇති බැවින් ඔවුන් නිදහස් කල නොහැකි බව යි. සමහර ඉඩම් ආපසු ලබා දී ඇති මුත් වාර්තාවලට අනුව, ඇස්තමේන්තුගත අක්කර 2,600 ක් (හෙක්ටයාර 1,050 ක් පමන) තවමත් හමුදා පාලනය යටතේ පවතින බවයි. අතුරුදහන් වූවන්ගේ ඉරනම හෙලි කිරීම වෙනුවට, හුදෙක් වින්දිතයින්ගේ පවුල්වලට සීමිත වන්දි ලබා දීමට ආන්ඩුව යෝජනා කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී, ශ්‍රී ලංකාව, යුද කාලීන ම්ලේච්ඡ ක්‍රියා පිලිබඳ මොන යම් හෝ ජාත්‍යන්තර පරීක්ෂනයක් ප්‍රතික්ෂේප කර ඇති අතර, හමුදාව නිදොස් කොට නිදහස් කර ඇති දේශීය පරීක්ෂනවලට පක්ෂ ව, පූර්ව පාලන තන්ත්‍රවල ස්ථාවරය දිගට ම පවත්වා ගෙන යයි. දැඩි ලෙස සන්නද්ධ හමුදා භටයින් 100,000 ක් පමන තවමත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වාඩිලා ගෙන සිටිති.
සිවිල් යුද්ධය, පූර්ව පාලකයන්ගේ වියුක්ත “ජාතිවාදී දේශපාලනයේ” ප්‍රතිඵලයක් ලෙස නැවත නිරූපනය කිරීමට තවදුරටත් උත්සාහ කල දිසානායක, සිංහල සහ දෙමල ජන කොටස් දෙක ම බල ලෝභී දේශපාලනඥයන් විසින් හසුරුවන බව කියා සිටියේ ය.
මෙය, 1948 දී දේශපාලන බලය මාරු කිරීමෙන් පසු, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා අර්බුදකාරී කාලවල දී ක්‍රමානුකූල ව දෙමල විරෝධී වර්ගවාදය අවුලුවාලූ කොලඹ පාලක ප්‍රභූන්ගේ ප්‍රධාන වගකීම හිතාමතා ම වසන් කරයි. දෙමල ජනතාව අතර වර්ගවාදය ඇවිස්සීමේ දී දෙමල ජාතිකවාදී ප්‍රභූව ද තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේ ය.
ඒ අතර ම, ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ, දෙමල විරෝධී වාර්ගික යුද්ධයේ උද්‍යෝගිමත් ආධාරකරුවෙකු ලෙස ජවිපෙ සතු ප්‍රතිගාමී වාර්ගික වාර්තාව වසන් කිරීමට ය.
ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ ජාතිවාදය “දුර්වල” වී ඇති බවට දිසානායක කරන ප්‍රකාශය බොරුවකි. සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් වාර්ගික ආතතීන් අවුලුවාලීමට උත්සාහ කරමින් අතිශය ක්‍රියාකාරී ව සිටිති. 26 වසරක යුද්ධයේ ලේ වැකි ව්‍යසනයෙන් හැඩගැසුනු ජාතිවාදයට කම්කරුවන් සහ තරුනයින් අතර පුලුල් විරෝධයක් පවතී. ජවිපෙ, එහි පුලුල් ජාජබ පෙරමුන හරහා, මෙම හැඟීම ගසාකෑමට උත්සාහ කරන නමුත්, පක්ෂය තුල තවමත් මුල් බැස ඇත්තේ දෙමල විරෝධී ස්වෝත්තමවාදය යි.
කම්කරු පන්ති අරගල වර්ධනය වී ධනේශ්වර පාලනයට තර්ජනයක් වන විට, කම්කරු පන්තිය බෙදීමට හා දුර්වල කිරීමට ජවිපෙ නැවත වරක් වාර්ගික ආතතීන් අවුස්සනු ඇති බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවයි. දෙමල වැඩ කරන ජනතාවගේ අතිමහත් බහුතරයකගේ අවශ්‍යතා නියෝජනය නොකරන දෙමල ජාතිකවාදී පක්ෂ ඊට ප්‍රතිචාර දක්වනු ඇත්තේ, දූෂිත දෙමල ප්‍රභූන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා භේදකාරී දෙමල ජාතිකවාදයෙනි.
යාපනයේ සිට කිලෝමීටර් 10 ක් දකුනින් පිහිටි චාවකච්චේරි හි, යුද්ධයෙන් අවතැන් වූ පවුල් සඳහා එක් නිවසකට සොච්චම් රුපියල් මිලියන දෙක බැගින් වෙන් කරමින් නිවාස 2,500 ක් පමනක් ඉදිකිරීමට සැලසුම් කරන බව දිසානායක නිවේදනය කලේ ය. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, යුද්ධය අවසන් වී වසර 16ක් ගත වී ඇතත්, උතුරු හා නැගෙනහිර පලාත්වල පවුල් 19,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන්නේ නිසි නිවාස නොමැති ව ය.
උතුරු නැගෙනහිර දෙමල ජනතාව දුප්පත්කමට හා අනාරක්ෂිත තත්වයන්ට මුහුන දෙමින් සිටින අතර, දිසානායක පාලනය අයිඑම්එෆ් කප්පාදු පියවර ක්‍රියාත්මක කරන විට එය තවත් නරක අතට හැරෙනු ඇත. කප්පාදු හේතුවෙන් 2024 දී ජනගහනයෙන් තවත් සියයට 3.9 ක් දරිද්‍රතාවයට ඇද දමමින්, සමස්තය සියයට 23.4 දක්වා ඉහල ගොස් ඇති බවත්, තත්වයන් තවදුරටත් නරක අතට හැරෙමින් පවතින බවත් ලෝක බැංකුව වාර්තා කලේ ය.
පලාලි ගුවන්තොටුපල ප්‍රතිසංස්කරනය කිරීම, ඉන්දියානු සහාය ඇති ව යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ වරාය පුලුල් කිරීම සහ යාපනයේ වෙරල තීරයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා වන යෝජනා දිසානායක නිවේදනය කලේ ය. උතුරු හා නැගෙනහිර ඇතුලු ව “විශේෂ ආර්ථික කලාප” ස්ථාපිත කිරීමට ද ආන්ඩුව අදහස් කරයි. මෙම ව්‍යාපෘතිවල අරමුන, කලාපය නව, අතිශය ලාභ ශ්‍රම වේදිකාවක් ලෙස විවෘත කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන මෙන් දෙමල ප්‍රභූන්ට ආයාචනා කිරීමයි.
නිල වශයෙන් ආරාධනා කර තිබුන ද, ජනාධිපතිවරයාගේ වැඩසටහනට සහභාගී නොවීමට තීරනය කල බව අයිටීඒකේ පක්ෂය කල්තියා නිවේදනය කලේ ය. උතුරේ ජවිපෙ/ජාජබ හි දේශපාලන පැවැත්ම ශක්තිමත් කිරීම වෙනුවෙන් තේරී පත් වූ පලාත් පාලන ආයතන නොසලකා හැරීම සඳහා ආන්ඩුව මෙම ව්‍යාපෘති ගසාකන බවට එය චෝදනා කලේ ය. යථාර්ථයේ දී, දෙමල පක්ෂ බෙදා හදා ගන්නේ, ලාභ ශ්‍රමය ඒකාබද්ධ ව සූරා කෑම සඳහා විදේශ ආයෝජන දිරිමත් කිරීමේ එක ම න්‍යාය පත්‍රය යි; වෙනසක් තිබේ නම් ඒ කොන්දේසි පමනි.
ලේ වැකි යුද්ධයෙන් සහ දශක අටකට ආසන්න ධනේශ්වර පාලනයෙන් පෙන්නුම් කෙරෙන පරිදි, දෙමල ජනතාවට තම ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම, යුද අපරාධ සඳහා යුක්තිය ඉටු කර ගැනීම හෝ වර්ගවාදී වෙනස්කම් කිරීම් අවසන් කිරීම ජවිපෙ/ජාජබ හෝ වෙනත් ධනේශ්වර පාලනයක් යටතේ කල නොහැකි බව සසප අවධාරනය කරයි. ඒ හා සමාන ව—එල්ටීටීඊය විසින් දේශනා කරනු ලබන—බෙදුම්වාදය ඇතුලු දෙමල ජාතිකවාදී පක්ෂවල වාර්ගික දේශපාලනය, වැඩ කරන ජනතාවට ඛේදජනක ආවෘත අන්තයක් බව ඔප්පු වී හමාර ය.
සසප සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ආරම්භයේ සිට ම පැහැදිලි කර ඇත්තේ, ප්‍රමාද වූ ධනේශ්වර රටවල ප්‍රතිගාමී ධනේශ්වර පන්තියට, දෙමල හෝ මුස්ලිම් සුලුතරයන්ට එරෙහි වෙනස්කම් කිරීම අවසන් කිරීම ඇතුලු කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් විසඳිය නොහැකි බවයි.
ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ මූලික න්‍යාය මත පදනම් ව, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර ව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් (කම්කරු හා ගොවි ආන්ඩුවක්) සඳහා වන සටනේ දී, ග්‍රාමීය දුප්පතුන් පෙලගස්වා ගනිමින්, වාර්ගික රේඛා කපා ගෙන, කම්කරු පන්තියේ එකමුතුකම ගොඩනගා ගන්නා මෙන් අපි ඉල්ලා සිටිමු.
ජාතිවාදී වෙනස්කම් කිරීම්වලට සහ වාර්ගික යුද්ධයට සසප/විකොස පමනක් ම නිරන්තරයෙන් විරුද්ධ වී ඇත; එමෙන්ම උතුරු නැගෙනහිරින් සන්නද්ධ හමුදා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ද සසප/විකොස ම පමනි—එය සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත දිගට ම ගෙන යන උද්ඝෝෂනයකි. එම ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමට විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය වේ. සසපට බැඳෙන ලෙස කම්කරුවන් සහ තරුනයින් ගෙන් අපි ඉල්ලා සිටිමු.
