[මෙය Sri Lankan government imposes “essential services” laws යන මැයෙන් 2026 පෙබරවාරි 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
වෛද්‍යවරුන්ගේ සහ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ උත්සන්න වන විරෝධතාවලට මුහුන දෙමින් සිටින ශ්‍රී ලංකා ආන්ඩුව, විදුලිය, ඉන්ධන, රෝහල් සහ තවත් අංශ 15 ක් “අත්‍යවශ්‍ය සේවා” බව ප්‍රකාශ කරමින් කුරිරු නියෝගයක් නිකුත් කර තිබේ. මෙම නියෝගය මගින්, මෙම අංශවල දස දහස් සංඛ්‍යාත සේවකයින්ගේ සියලුම වැඩවර්ජන සහ අනෙකුත් ආකාරයේ කාර්මික සහ වෘත්තීය ක්‍රියාමාර්ග මුලුමනින් පාහේ සාපරාධීකරනය කෙරේ.
ජනවාරි 28 වන දින මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරන ලද්දේ, කම්කරු පන්තියේ ප්‍රතිරෝධය තලා දැමීමේ ලේ වැකි වාර්තාවකට හිමිකම් කියන කුප්‍රකට පනතක් වන 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අදාල ව ය.
ජීවන තත්වයන් වැඩිදියුනු කිරීමට, කප්පාදුව නැවැත්වීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට දුන් ව්‍යාජ ප්‍රතිඥාවලින් පසු, 2024 නොවැම්බර් මැද භාගයේ පැවති මැතිවරනයෙන් ඉහලින් ම ජයගත් ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, මෙම පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, දැන් දහස් ගනන් කම්කරුවන්ගේ අභියෝගයකට මුහුන දී සිටී.
වැටුප් සංශෝධන, දීමනා සහ වැඩිදියුනු කල සේවා කොන්දේසි සඳහා වන ඉල්ලීම් ලබා දීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහි ව, ජනවාරි 23 වන දින, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍ය සාමාජිකයින් 20,000 ක් පමන, පැය 48 ක විරෝධතා වැඩ වර්ජනයක් පැවැත්වීය. මහජන සෞඛ්‍ය පද්ධතියේ ගැඹුරු වන අර්බුදයක් මධ්‍යයේ සිදු වූ මෙම වැඩ වර්ජනයට, පෞද්ගලික ඔසුසල්වලින් ඖෂධ ලබා ගැනීම සඳහා බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම අත්හිටුවීම ඇතුලු අඛන්ඩ කාර්මික තහනම් ද ඇතුලත් වේ.
ජනවාරි 26 වන දින, පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක්, කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට “මාරාන්තික උපවාසයක්” ආරම්භ කලේ, ආන්ඩුව තම ඉල්ලීම් දිගටම ප්‍රතික්ෂේප කල නිසා ය. රජයේ පාසල්වල ඉගැන්වීමේ රාජකාරි කටයුතුවල නියුතු මුත් ගුරු වැටුප් නොලබන පාසල් සංවර්ධන නිලධාරීන් 16,000 ක් පමන දෙනා වසර ගනනාවක් තිස්සේ, තමුන් ඉගැන්වීමේ සේවයට විධිමත් ව ඒකාබද්ධ කරන ලෙස ඉල්ලා සිටිති.
ඒ සමඟම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කරන ලද දුරදිග යන ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරන සහ පුද්ගලීකරන පියවර සම්බන්ධයෙන් ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) සේවකයින් දහස් ගනනකගේ කෝපය වර්ධනය වෙමින් පවතින අතර, අනාගත කාර්මික ක්‍රියාමාර්ග පිලිබඳ අපේක්ෂාවක් ද පවතී. ග්‍රාමීය දුප්පතුන්ට, ගොවීන්ට සහ අනෙකුත් පීඩිත ජනතාවට දැඩි ලෙස බලපාන ජාමූඅ ප්‍රහාරවලට මුහුන දෙන අනෙකුත් රාජ්‍ය අංශ සේවකයින් අතර වර්ධනය වන නොසන්සුන්තාවයන් තුල පිලිබිඹු වන්නේ ද ඒ හා සමාන උත්සුකයන් ය.
දිසානායකගේ කුරිරු අත්‍යවශ්‍ය සේවා නියෝගයේ පසුබිම මෙයයි. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ, වැඩ කිරීම ප්‍රතික්ෂේප කරන හෝ කාර්මික ක්‍රියාමාර්ගවලට සහභාගී වන සේවකයින්, නිසි ක්‍රියාදාමයකින් තොර ව සේවයෙන් පහ කිරීමට, විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් අහිමි කිරීමට, දඩ නියම කිරීමට හෝ සිරගත කිරීමට හැකි ය. අනුකූලතාවය බලාත්මක කිරීම සඳහා පොලිසිය සහ සන්නද්ධ හමුදා යෙදවීමට, මම නීතිය මඟින් ඉඩ ලබා දේ.
1977 දී ජනාධිපති ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සේවා නීතිය හඳුන්වා දෙන ලද්දේ, තම පරිපාලනයේ ආයෝජක-ගැති, නිදහස් වෙලඳපොල න්‍යාය පත්‍රය කෙරෙහි කම්කරුවන්ගේ විරෝධය තලා දැමීම සඳහා ය. එතැන් පටන්, අනුප්‍රාප්තික ශ්‍රී ලාංකික පරිපාලනයන් විසින් එම අරමුන සඳහා ම, මෙම කුරිරු නීතිය 100 වතාවක් පමන ක්‍රියාත්මක කර ඇත.
2022 දී රාජපක්ෂ ආන්ඩුව බලයෙන් පහ කල මහජන නැගිටීමෙන් පසු, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලයට පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාස 26 ක් තුල කම්කරුවන්ට එරෙහි ව මෙම නීතිය 32 වතාවක් භාවිතා කලේ ය—සසඳා බලන කල, සුලු කාල පරිච්ඡේදයක් තුල මෙම නීතිය වැඩි ම වාර ගනනක් යොදා ගත් අවස්ථාව එයයි. දැනටමත් එය හතර වතාවක් පනවා ඇති ජවිපෙ/ජාජබ, ඔහුගේ අඩිපාරේ ම ගමන් කරමින් සිටියි.
දිට්වා සුලි කුනාටුවෙන් පසු 2025 නොවැම්බර් 29 වන දින, ජවිපෙ/ජාජබ ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නියෝගය පනවන ලදී. මෙම ව්‍යසනය, 640 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් කල අතර 230,000 කට අධික පිරිසක් අවතැන් කරමින්, දිස්ත්‍රික්ක 25 ක මිලියන 1.4 කට වැඩි පිරිසක් පීඩාවට පත් කලේ ය.
දිට්වා සුලි කුනාටුවෙන් ඇතිවූ විනාශයට ප්‍රතිචාරයක් ලෙස ගත් බව කියන මෙම තීරනය, ආපදා කලමනාකරනයට වඩා වැඩි යමක් නියෝජනය කරයි. එය, වැටුප් කප්පාදු, රැකියා අහිමිවීම්, රාජ්‍ය සේවා විනාශ කිරීම සහ ව්‍යසනයට ආන්ඩුවේ ප්‍රමානවත් ප්‍රතිචාරයක් නොමැතිකම කෙරෙහි මහජන කෝපයට මුහුන දෙන ජවිපෙ/ජාජබ ආන්ඩුව කම්කරුවන්ගේ සියලු ප්‍රතිරෝධයන් තලා දමමින්, ජාමූඅ හි කප්පාදු පියවර නිර්දය ලෙස ක්‍රියාත්මක කරනු ඇති බවට පැහැදිලි දේශපාලන සංඥාවක් විය.
මෙම න්‍යාය පත්‍රය, මෑත සංචාරයක දී ජාමූඅ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ විසින් නැවත තහවුරු කරන ලදී. ශ්‍රී ලංකා ආන්ඩුව “මූල්‍ය හා නය තිරසාරභාවය මත අත්කර ගත් ජයග්‍රහන ආරක්ෂා කරගනු ඇති” බව ඔහු මාධ්‍ය වෙත පැවසූ අතර, ව්‍යසනය මෙම කැපවීම වෙනස් නොකරන බව පැහැදිලි කලේ ය. සුලි කුනාටු ප්‍රතිසංස්කරන වියදම්, පවතින වැඩසටහන් රාමුව තුලට අන්තර්ග්‍රහනය කර ගත යුතු බව ජාමූඅ අවධාරනය කරන විට, එයින් අදහස් කෙරෙන්නේ, වැටුප්, සේවා සහ රාජ්‍ය අංශයේ රැකියා මත තවදුරටත් පීඩනය එල්ල වන බවයි.
වියදම් කප්පාදුව, පුද්ගලීකරනය, ශ්‍රම සූරා කෑම තීව්‍ර කිරීම සහ ජාත්‍යන්තර නය සේවා සැපයීම පවත්වා ගැනීමට සහ සංගත ලාභ වැඩි කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කිරීම සඳහා භාවිත වන සුලාප වදන් වන “මූල්‍ය විනය” සහ “පාලන ප්‍රතිසංස්කරන” වෙනුවෙන් දිසානායක ආන්ඩුව දක්වන කැපවීම ජාමූඅ නිලධාරීන්ගේ ප්‍රශංසාවට ලක්විය.
2024 අගභාගයේ දී බලයට පත් වී දින කිහිපයක් ඇතුලත, ජනාධිපති දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව සිය මැතිවරන පොරොන්දු වේගයෙන් අතහැර දමමින්, කම්කරු අරගලවලට පහර දීමට පටන් ගත්තේ ය.
2024 දෙසැම්බර් 2 වන දින, ශ්‍රී ලංකා පොලිසිය, පාසල් සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවයක් ප්‍රචන්ඩ ලෙස විසුරුවා හැර, ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන, විරෝධතාකරුවන් දඩයම් කිරීමට පටන් ගත්තේ ය. ජල ප්‍රහාරක රථ ඉදිරියේ පෙලගැසී සිටි සිය ගනනක් පොලිසිය පැහැදිලිව ම පෙන්නුම් කලේ, කප්පාදු ප්‍රතිපත්තිවලට විරුද්ධ රාජ්‍ය අංශ සේවකයින්ගේ සියලු විරුද්ධත්වයන් තලා දැමීමට ආන්ඩුවේ ඇති සූදානමයි.
2025 මාර්තු මාසයේ දී, සාධාරන බඳවා ගැනීමේ ක්‍රියාවලීන් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත පැවති විරෝධතාවක දී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 27 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුනි. පොලිසිය විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහර දුන්නේ ය. ඉන්පසු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරනය, මෙම ශිෂ්‍යයින්ට රෝහල් චතුරශ්‍රය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු තීරනාත්මක ප්‍රදේශවල අනාගත ක්‍රියාමාර්ග ගැනීම් තහනම් කරමින් පුලුල් නියෝගයක් නිකුත් කලේ ය—එය විරෝධතා දැක්වීමේ අයිතිය මුලුමනින් පාහේ සාපරාධීකරනය කරයි.
2025 අගෝස්තු මාසයේ දී, තැපැල් සේවකයින් 17,000 ක් පමන දෙනා විසින් දියත් කරන ලද අඛන්ඩ ජාතික වැඩ වර්ජනය, ජවිපෙ/ජාජබ ආන්ඩුව හමුදාව සහ පොලිසිය මධ්‍යම තැපැල් හුවමාරුවට යොදවා තැපැල් පොදි පැහැර ගෙන බිඳ දැම්මේ ය. ජ්‍යෙෂ්ඨ ඇමතිවරු, වැඩ වර්ජනය කරන තැපැල් සේවකයින්ට එරෙහි ව අවසාන නිවේදන සහ සමූහ වශයෙන් සේවයෙන් දොට්ට දැමීමේ තර්ජන නිකුත් කලහ.
2025 සැප්තැම්බර් මාසයේදී, ආන්ඩුව විදුලිය “අත්‍යවශ්‍ය සේවාවක්” ලෙස ප්‍රකාශයට පත් කල අතර, ප්‍රතිව්‍යූහගත කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ලංවිම සේවකයින් විරෝධතා දැක්වීමෙන් පසු, සියලු කාර්මික ක්‍රියාමාර්ග තහනම් කලේ ය. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරය, 2024 දී විරෝධතා දැක්වීම හේතුවෙන් ලංවිම සේවකයින් 62 දෙනෙකුගේ වැඩ තහනම් කිරීම ඇතුලු පෙර ආන්ඩු විසින් භාවිතා කරන ලද එම පියවරයන්ගේ ම අඛන්ඩතාවයකි.
මෙම මර්දනකාරී පියවර, පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වා දෙන නව “ප්‍රති-ත්‍රස්ත” පනතක් වන ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSAT) සමඟ අනුකූල වේ. දිසානායක 2024 මැතිවරන සමයේ දී PTA අහෝසි කරන බවට පොරොන්දු වුව ද, ඔහුගේ ආන්ඩුව, ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයට විරුද්ධ වූ මුස්ලිම් තරුනයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන, රඳවා තබා ගැනීමට එය ඉක්මනින් ම භාවිතා කලේ ය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම වෙනුවට, PSAT මගින්, ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහි වැඩ වර්ජන, විරෝධතා සහ විසම්මුතිය ඇතුලත් වන පරිදි ත්‍රස්තවාදයේ නිර්වචනය පුලුල් කරන අතර, එවැනි සියලු ක්‍රියා භව්‍යාත්මක “ත්‍රස්තවාදී” ක්‍රියා ලෙස සංලක්ෂිත වේ.
මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයට මුහුන දී සිටින ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නිලධරය, අත්‍යවශ්‍ය සේවා නියෝග, නව ත්‍රස්ත විරෝධී නීති හෝ කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම්වලට එරෙහි ව ආන්ඩුව විසින් වේගවත් කරන ප්‍රහාරවලට එරෙහි ව මොන යම් හෝ තිරසාර ව්‍යාපාරයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
ජවිපෙ/ජාජබට අනුබද්ධ වෘත්තීය සමිති මාරාන්තික නිහඬතාවයක් පවත්වා ගෙන යමින්, තම සාමාජිකයින්ගේ සියලු ආන්ඩු-විරෝධී ක්‍රියාමාර්ග ක්‍රියාකාරී ලෙස අවහිර කරන අතර, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ඇතුලු විපක්ෂ පාර්ලිමේන්තු පක්ෂවලට බැඳී සිටින වෘත්තීය සමිති, සීමිත ක්‍රියාමාර්ග පමනක් කැඳවා ඇත්තේ, සැබෑ කම්කරු පන්ති විරෝධය මැඩපැවැත්වීම අරමුනු කරගනිමිනි.
ආන්ඩුවේ වාමාංශික විරුද්ධවාදියෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය, මෙම වෘත්තීය සමිති යාන්ත්‍රනය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, එහි පාවාදීම්වලට සුදු හුනු ගාන අතර කම්කරුවන් කෙලවරක් නැති සාකච්ඡා සහ පාර්ලිමේන්තුවට කරන ආයාචනාවල ආවෘත අන්තයට යොමු කරයි.
කම්කරුවන්ට මෙම ධනේශ්වර පක්ෂ හෝ ඒවාට අනුබද්ධ වෘත්තීය සමිති කිසිවක් විශ්වාස කල නොහැක. ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග සහ IMF අනවනු ලබන එහි වැඩපිලිවලට එරෙහිව සටන් කිරීම සඳහා, කම්කරුවන් සියලු අංශවල—රෝහල්, විදුලිය, පාසල්, කාර්යාල, වතු සහ සේවා ස්ථානවල—ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය වන සාමාන්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කල යුතු ය. වෛද්‍යවරුන්, විදුලිබල කම්කරුවන්, අධ්‍යාපන කම්කරුවන්, රාජ්‍ය සේවකයින්, වතු කම්කරුවන්, ග්‍රාමීය ජනතාව සහ සිසුන් යන සියලු දෙනා ම මුහුන දෙන්නේ, රැකියා, වැටුප්, රාජ්‍ය සේවාවන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මත එල්ල වන එකම ප්‍රහාරයකට ය.
ශ්‍රී ලාංකික කම්කරුවන් හුදෙකලා කොටසක් නොවේ. ජාත්‍යන්තර ව, කම්කරුවන් සටන් කරන්නේ, පොදු සතුරෙකුගේ—ගෝලීය ධනවාදයෙන් සහ එහි රාජ්‍ය ආයතනවල—එක හා සමාන ප්‍රහාරවලට එරෙහි ව ය. ඇමරිකා එක්සත් ජනපදයේ, හෙදියෝ සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයෝ, අනාරක්ෂිත කාර්ය මන්ඩල මට්ටම්, අඩු වැටුප් සහ සෞඛ්‍ය සේවා පෞද්ගලීකරනයට එරෙහි ව වැඩ වර්ජනය කරමින් සිටිති. යුරෝපයේ, ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ, කම්කරුවන් රැකියා කප්පාදු, ජීවන වියදම් ඉහල යාම සහ බැංකු සහ සමාගම් වෙනුවෙන් ක්‍රියා කරන ආන්ඩු විසින් පනවනු ලබන කප්පාදුවලට එරෙහි ව සටන් කරති.
ශ්‍රී ලංකාවේ IMF කප්පාදුවට එරෙහි සටන සාර්ථක විය හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුලුල් අරගලයක කොටසක් ලෙස පමනි. දේශ සීමා හරහා තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ සම්බන්ධ වීමෙන්, අත්දැකීම් බෙදා ගැනීමෙන් සහ සාමාන්‍ය කම්කරුවන්ගේ සංවිධාන හරහා අරගල සම්බන්ධීකරනය කිරීමෙන්, කම්කරුවන්ට, හුදකලා ජාතික සටන්, බලවත් ගෝලීය ව්‍යාපාරයක් බවට පරිවර්තනය කල හැකි ය. කම්කරුවන්ගේ ජාත්‍යන්තර එකමුතුව, මර්දනය පරාජය කිරීමට, කප්පාදු පැරදවීමට සහ ලාභය නොව, සමාජ අවශ්‍යතා මත පදනම් වූ සමාජවාදී සමාජයක් සඳහා මාවත විවෘත කර ගැනීමට අවශ්‍ය තීරනාත්මක බලවේගයයි.
