[මෙය Sri Lankan court hearing on violent 2023 assault on SEP members යන මැයෙන් 2026 පෙබරවාරි 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
2023 නොවැම්බර් 30 වන දින මොරටුව විශ්ව විද්‍යාලය අසලදී සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පැවැත්වෙන අපරාධ නඩු විභාගයේ මෑත නඩු වාරය, මොරටුව මහේස්ත්‍රාත් අධිකරනයේ දී ජනවාරි 19 වන දිනට යෙදී තිබුනි. මෙම නඩු වාරයේදී, සිද්ධියට සම්බන්ධ සාක්ෂි සහ කට උත්තර තවදුරටත් විභාග කිරීමට නියමිත විය.
පැමිනිල්ලට අනුව ප්‍රහාරය සිදුවී ඇත්තේ, සසප සාමාජිකයින් වන දේහින් වසන්ත සහ ලක්ෂ්මන් ප්‍රනාන්දු විශ්ව විද්‍යාලය අවට දේශපාලන පත්‍රිකා බෙදා හැරීමෙන් පසුව ය. සසප සාමාජිකයින් දෙදෙනා, ට්‍රොට්ස්කිවාදයේ සියවස් පූර්නය සනිටුහන් කරන, සසප (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් අමතනු ලැබීමට නියමිත සසප ප්‍රසිද්ධ රැස්වීම් ප්‍රචාරය කිරීම සඳහා පත්‍රිකා බෙදා හරිමින් සිටියහ. පත්‍රිකා සහ රැස්වීම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු (ශ්‍රීලපොප) ආන්ඩුවේ සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ දේශපාලනයට අභියෝග කලේය.
මෙම පහරදීම සිදු වූයේ දේශපාලනික වශයෙන් ආරෝපිත පරිසරයක බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පරිපාලනයට සම්බන්ධ වෘත්තීය සමිතියකට සම්බන්ධ පුද්ගලයින් ඊට සම්බන්ධ බවත් පැමිනිල්ල චෝදනා කරයි.
නඩුවේ විත්තිකරුවන් වන ඉන්දික පෙරේරා සහ සුරංග පියවර්ධන යන අය, පිලිවෙලින් පොදුජන ප්රගතිශිලී සේවක සංගමයේ (පීපීඑස්එස්) සභාපති සහ ලේකම් ලෙස අධිකරනයේදී හඳුනා ගන්නා ලදී. සිද්ධියෙන් දිනකට පසු ඔවුන් අත්අඩංගුවට ගත් අතර, පසුව, සැලකිය යුතු ඇපකරයන් සහ නිතිපතා පොලිසියට වාර්තා කිරීම ඇතුලු කොන්දේසි වලට යටත්ව ඇප මත මුදා හරින ලදී. තවමත් අධිකරනය ඉදිරියේ පවතින නඩු විභාගයේ අධිකරනමය සොයාගැනීම් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.
ජනවාරි 19 වන දින, පැමිනිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු වන දේහින් වසන්තගෙන් හරස් ප්‍රශ්න ඇසූ විත්තියේ නීතිඥවරයා, පහරදීම සසප සාමාජිකයින් සහ විශ්ව විද්‍යාල සිසුන් අතර ආරවුලක් ලෙස විස්තර කරමින්, මෙම ගැටුම, මැදිහත්වීම අතරතුර නොදැනුවත්වම සිදුවූ ශාරීරික පහරදීමක් බවට චෝදනා කලේය. හානියක් සිදුකිරීමේ පූර්ව අභිප්‍රායකින් ක්‍රියා නොකල බව, විත්තිය කියා සිටියේය.
සිදුවීම්වල මෙම අනුවාදය, සිද්ධියේදී තුවාල ලබා රෝහල් ගත කරන ලද පුද්ගලයින්ගෙන් එක් අයෙකු වූ දේහින් වසන්ත, නඩු විභාගය අතරතුර දුන් දිවුරුම් සාක්ෂි මගින් අභියෝගයට ලක් කරන ලදී. ඔහුගේ සාක්ෂි, පහරදීමට පෙර සහ අතරතුර සිදුවීම්වල අනුපිලිවෙල මෙන්ම විත්තිකරු සමඟ ඔහුගේ පූර්ව අන්තර්ක්‍රියා කෙරෙහි අවධානය යොමු කලේය.
ප්‍රහාරය පිටුපස ඇත්තේ, තම අදහස් කෙරෙහි පවතින දේශපාලනික විරුද්ධත්වය බව වසන්ත අධිකරනයට පැවසීය. ප්‍රහාරකයින් තමා දන්නා බවට සාක්ෂි දුන් ඔහු, සසප සමග ඔහුගේ සම්බන්ධතාවය සහ විශ්ව විද්‍යාලය තුල ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් පිලිබඳව ඔවුන් දන්නා බව පවසා සිටියේය. මෙම පූර්ව දැන හැඳුනුම්කම්, සිද්ධිය සිදු වූ සන්දර්භයේ කොටසක් බව ඔහු අධිකරනයට පැවසීය.
විත්ති පාර්ශ්වයේ ප්‍රබන්ධයට පටහැනිව, ගැටුම ඇති වීමට පෙර, විත්තිකරු, තමා සහ තවත් සසප සාමාජිකයෙකු සැලකිය යුතු දුරක් ලුහුබැඳ ආ බවට ද වසන්ත සාක්ෂි දුන්නේය. ඔවුන් ත්‍රිරෝද රථයක් භාවිතා කරමින්, කිලෝමීටරයක් පමන දුරක් තමා ලුහුබැඳ පැමිනි බවට ඔහු ප්‍රකාශ කලේය. පැමිනිල්ල විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂියේ මෙම පැතිකඩ, විත්තිකරුවන්, සුලු ආරවුලකදී මධ්‍යස්ථ මැදිහත්කරුවන් ලෙස කටයුතු කල බවට කරන ප්‍රකාශයට පටහැනි ව සිටී.
වසන්තගේ සාක්ෂියට අනුව, ඔවුන් සසප සාමාජිකයින් අල්ලාගෙන ප්‍රචන්ඩකාරී ලෙස පහරදී තිබේ. පහරදීමට ලී පොලු භාවිතා කල බවටත්, හිස ඇතුලු, සිරුරේ ඉහල කොටසට පහර දුන් බවටත් ඔහු සාක්ෂි දුන්නේය..
තමාගේ සහ තම සගයාගේ හිසට එල්ල විය හැකි මාරාන්තික පහරවල් වලින් ආරක්ෂා වීමට උත්සාහ කල ආකාරය පැහැදිලි කල වසන්ත, එසේ කිරීමේදී ඔහුගේ ඇඟිලි දෙකක අස්ථි බිඳීම් සිදු වූ බව පැවසීය. ලක්ෂ්මන් ප්‍රනාන්දුට සිදු වූ තුවාල ගැන ද විස්තර කල ඔහු, ප්‍රනාන්දුට කිහිප වතාවක් පහර දුන් බවටත්, ඔහුගේ මුහුනට, පිටට සහ බෙල්ලට තුවාල සිදුවී ඇති බවටත් සාක්ෂි දුන්නේය.
නඩු පැවරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, මෙම තුවාල වලට අදාල වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇත. විත්තිය, සිදුවීම්වල මෙම ගුනාංගීකරනය පිලිගෙන නොමැති අතර සාක්ෂි පිලිබඳ පැමිනිල්ලේ අර්ථ නිරූපනය තවදුරටත් විවාදයට බඳුන්ව තිබේ.
ප්‍රහාරයෙන් පසු, තමා සහ ප්‍රනාන්දු, මොරටුව පොලිස් ස්ථානයට පැමිනිල්ලක් ගොනු කිරීමට ගිය බව වසන්ත අධිකරනයට පැවසීය. එසේ කලේ, ඔවුන්ගේ තුවාල සහ ස්ථානයට ලඟා වීමේදී මුහුන දීමට සිදුවූ ශාරීරික දුෂ්කරතා මධ්‍යයේ බව ද ඔහු පැවසීය.
මෙම ප්‍රහාරය, හුදකලා වීදි කලහයක් නොව, විශ්ව විද්‍යාල සේවකයින් සහ සිසුන් අතර සසප සංවිධානය වීම වැලැක්වීම සඳහා දේශපාලනිකව මෙහෙයවෙන උත්සාහයක් බවට, අපගේ ලිපි සහ ප්‍රකාශ හරහා නිරන්තරයෙන් පැහැදිලි කර තිබේ. ඒවා තුල මෙම ප්‍රහාරය ස්ථානගත ව ඇත්තේ, වෘත්තීය සමිති නිලධරය සහ ආන්ඩු-ගැති වෘත්තීය සමිති, ධනේශ්වර කප්පාදුව ආරක්ෂා කිරීමටත්, පාලක පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීමටත්, සමිතිවල සාමාන්‍ය සාමාජිකයන් සහ ජාත්‍යන්තරවාදී කම්කරු පන්තික දේශපාලනය මර්දනය කිරීමටත් ක්‍රියා කරන පුලුල් රටාවක කොටසක් ලෙසට ය.
ශ්‍රීලපොපෙට සම්බන්ධ වෘත්තීය සමිති නිලධාරීන්ගේ ප්රචන්ඩත්වය, කම්කරුවන් බිය ගැන්වීමට සහ ධනේශ්වර ක්රමයටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ටත් අභියෝග කරන සමාජවාදී සහ යුද විරෝධී ව්‍යාපාරයක වර්ධනය අවහිර කිරීමට දරන උත්සාහයක් බවට සසප තර්ක කරයි.
සසප සාමාජිකයින් වන දේහින් වසන්ත සහ ලක්ෂ්මන් ප්‍රනාන්දුට එල්ල වූ ප්‍රචන්ඩකාරී කායික ප්‍රහාරය, රටවල් සමූහයක කම්කරුවන්, කලාකරුවන්, සිසුන්, ශාස්ත්රාලිකයන් සහ සංවිධානවල කනස්සල්ල සහ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට හේතුකාරක වී තිබේ.
සසප විසින් නිකුත් කරන ලද ප්රකාශයන්ට අනුව, 2023 නොවැම්බර් මාසයේ සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ගැඹුරු පරීක්ෂනයක් සහ වගවීමක් ඉල්ලා සිටිමින්, මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා ඇතුලු ශ්‍රී ලංකා බලධාරීන් වෙත විරෝධතා ලිපි සහ අභියාචනා යවා ඇත.
මෙම සසප ආධාරකරුවන්, දේශපාලන ප්රකාශනයේ නිදහස සහ ප්රචන්ඩත්වයට බියකින් තොරව දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීමේ අයිතිය ඇතුලු ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරනය කර ඇත. මෙම නඩුව හා සම්බන්ධ ආසන්නතම පාර්ශවයන්ට එහා යන ඇඟවුම් පවතින බවට ඔවුන් තර්ක කර තිබේ.
ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට එල්ල වූ ප්රචන්ඩ ප්‍රහාරය, සිවිල් නිදහස ආරක්ෂා කරන්නන්ගේ ජාත්‍යන්තර කනස්සල්ලට හේතු වී ඇති අතර, විශ්වවිද්‍යාල සේවකයෙකු ලෙස වසන්ත නිල වශයෙන් පැමිනිලි කර තිබියදීත්, විශ්වවිද්‍යාල පරිපාලනය ප්‍රහාරය සම්බන්ධයෙන් නිහඬව සිටී. වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුවට අනුබද්ධිත වෘත්තීය සමිති ඇතුලු විශ්වවිද්‍යාලයේ සියලුම වෘත්තීය සමිති ද එම පියවර ම අනුගමනය කරමින්, ඔවුන්ගේ ප්රජාතන්ත්ර විරෝධී ස්වභාවය හෙලිදරව් කර තිබේ.
සසප විසින් උපුටා දක්වන ලද තොරතුරුවලට අනුව, 2023 නොවැම්බර් 30 වන දින සිදුවීම් සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලය කිසිදු අභ්‍යන්තර පරීක්ෂනයක ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කර නොමැත. පොදුවේ කාහටත් ප්‍රවිෂ්ඨ විය හැකි ආකාරයේ කිසිදු සොයාගැනීමක් සිදුවී නොතිබීම, විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සහ ඒ අවට සිසුන්ගේ සහ කාර්ය මන්ඩලයේ ආරක්ෂාව සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සහතික කිරීම සඳහා විශ්ව විද්‍යාල සතු වගකීම පිලිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි.
මොරටුව මහේස්ත්‍රාත් අධිකරනයේ ක්‍රියාදාමය තුල, කරුනු පිලිබඳ මතභේදාත්මක ප්‍රශ්න, විත්තිකරුගේ ක්‍රියාමාර්ග සහ ඉදිරිපත් කරන ලද විවිධ වාර්තාවල විශ්වසනීයත්වය පරීක්ෂා කිරීම දිගටම කරගෙන යයි. පැමිනිල්ල සහ විත්තිය සාක්ෂි ඉදිරිපත් කිරීම දිගටම කරගෙන යන බැවින් තවදුරටත් විභාග කිරීම් අපේක්ෂා කෙරේ.
නීතිමය මාර්ග ඔස්සේ නඩුව ඉදිරියට ගෙන යන අතරම, මෙය හුදකලා ක්‍රියාවලියක් ලෙස නොසලකන බව සසප ප්‍රකාශ කර ඇත. අවසාන නිර්නයේදී, ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන්ගේ සහ සිසුන්ගේ පුලුල් ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් අවශ්‍ය බව එය අවධාරනය කරයි. ඒ සමගම, ප්‍රහාරයට වගකිවයුත්තන්ට, අධිකරන ක්‍රියාවලිය හරහා වගකීම පැවරිය යුතු බවට වන තම ඉල්ලීම එය නැවත නැවතත් අවධාරනය කරයි.
නඩු විභාගයෙන් පසුව, මෙම නඩුව, කම්කරුවන් සහ සිසුන් තුල දේශපාලන අයිතිවාසිකම්, කතා කිරීමේ නිදහස සහ ශ්‍රී ලංකාවේ ප්රචන්ඩත්වය පිලිබඳ චෝදනා හැසිරවීම සම්බන්ධ මූලික ප්‍රශ්න මතු කර තිබේ.
වැඩිදුර කියවන්න
- වර්ජිත අනධ්‍යන කම්කරුවන් මර්දනය කිරීම සඳහා ආන්ඩුවේ සූදානමට එරෙහිවනු! වැඩ වර්ජනය ආරක්ෂා කරනු! ජීවන වියදමට සරිලන වැටුපක් සඳහා සටන්කරනු!
- ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටු ගොඩනගමු! වැටුප් සහ අධ්‍යාපන අයිතීන් සඳහා සමාජවාදී වැඩපිලිවෙලකට සටන් වදිමු!
- ශ්‍රී ලංකාවේ සසප, තම සාමාජිකයින්ට පාලක පක්ෂයේ මැරයන් විසින් එල්ල කරන ලද ප්රචන්ඩ ප්‍රහාරය හෙලා දකී
