සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ඔන්ලයින් රැස්වීමට පුලුල් සහයෝගයක් පල කෙරෙයි

සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් “වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධතා සහ නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ සටන” මැයෙන් පෙබරවාරි 20 වෙනිදා පවත්වනු ලබන ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමට කම්කරුවන්ගේ සහාය ගොනුවෙමින් ඇත.

ජනවාරි 23 වන දින සිට, රජයේ වෛද්‍යවරුන් 20,000 ක් පමන ජනවාරි 23-24 දිනවල දින දෙකක සංකේත වැඩ වර්ජනයක් ඇතුලු ව විරෝධතා ක්‍රියාමාර්ග දියත් කර, ඔවුන්ගේ නීත්‍යානුකූල දීමනා වැඩි කරන ලෙස ඉල්ලා සිටිති. රජයේ ප්‍රතිචාරය වී ඇත්තේ විරෝධතා දක්වන වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම සහ තර්ජන එල්ල කිරීමයි. රැස්වීම පැවැත්වෙන්නේ ආන්ඩුවේ මෙම කඩාපැනීම් වලට එරෙහිවත් නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීමට අරගලය කිරීමේ ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කිරීමටයි.

යාපනයේ තරුන කාන්තාවක් ඔන්ලයින් රැස්වීමට තම සහය දෙමින්

මෙම රැස්වීම සඳහා සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සහ සමාජවාදී සමානතා සාමජිකයෝ පසුගිය දින කිහිපය තුල වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන් සහ අනෙකුත් කම්කරුවන් අතර උද්ඝෝෂනයෙහි යෙදුනාහ. එහි දී වෛද්‍යවරුන්ගේ අරගලය ට එරෙහිව ආන්ඩුවේ කඩා පැනීම හෙලා දුටු කම්කරුවෝ නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීම සඳහා සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය බවත් 20 වෙනිදා ඔන්ලයින් රැස්වීමට සහභාගිවන බවත් ප්‍රකාශ කලහ.

සිරිමාවෝ බන්ඩාරනායක ලමා රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරයෙක් සෞඛ්‍ය සේවය විනාශ කෙරෙමින් තිබෙන බවත් , ආන්ඩුවේ වැටුප් වැඩිකිරීම ප්‍රෝඩාවක් බවත් වෘත්තීය සමිති සෞඛ්‍ය සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් නොකරන බවත් පැවසීය.

“මේ අවුරුද්දේ පඩි වැඩිවීම් වලින් එක්දහස් ගනනක් විතරයි මට වැඩි වෙලා තියෙන්නේ. ජ්‍යෙෂ්ඨත්වය අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් ජීවත්වීමට මේ පඩිය කොහෙත් ම ප්‍රමානවත් නැහැ. පහුගිය දවස්වල වෘත්තිය සමිති සමඟ ආන්ඩුව කරපු කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක් විදිහට පඩි වැඩිවීම සමග දීමනා කප්පාදු කලා”.

අතිකාල වැඩ නො කලොත් ලැබෙන පඩියෙන් ජීවත් විය නොහැකි බවත් නමුත් ආන්ඩුව ඉදිරියේ දී අතිකාල දීමනා තවත් කප්පාදු කලහැකි බවත් ඔහු කීවේය.

“අපි ඉතා දුෂ්කර කොන්දේසි යටතේ වැඩකරන්නේ. ඖෂධ හිඟයි. මේ රෝහලේ MR ස්කෑන් යන්ත්‍රය කැඩිලා අවුරුදු දහයකට වැඩියි. සාමාන්‍ය ජනතාව මේ ප්‍රශ්න දන්නේ නැහැ. ඒ නිසා ඔවුන් දොස් කියන්නේ අපිට. අවුරුදු පතා අපේ වැඩ කොටස වැඩිවෙනවා. නමුත් ඒකට සරිලන වැටුපක් ලැබෙන්නේ නැහැ. බඩු මිල දරා ගන්න බැහැ”.

සේවකයන් මුහුන දෙන දුෂ්කරතා ගැන කිසිදු වෘත්තීය සමිතියක් කතා නොකරන බවත් එකම ශ්‍රේනියේ සේවකයන් පවා සමිති විසින් භේද කරන බවත් සේවක අයිතිවාසිකම් වෙනුවෙන් ඒකාබද්ධ අරගලයක් ඔවුන් මෙම සමිති නොකරන බවත් ඔහු සඳහන් කලේ ය.

“වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ අදහසට මම එකඟයි. කම්කරුවන් ඒකාබද්ධ කිරීමේ සහ අයිතිවාසිකම් සඳහා සටන් කිරීමේ නව වැඩපිලිවෙලක් අවශ්‍යයි කියන එක මම පිලිගන්නවා. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු පන්තියත් සමග එකතු වීම සඳහා ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය සමග එකතුවීම අවශ්‍ය” බව ද ඔහු පැවසීය.

“සෞඛ්‍ය සේවකයන්ගේ අයිතීන් සහ නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීමේ වැඩපිලිවෙලක් සාකච්ඡා කරන 20 වෙනිදා ඔන්ලයින් රැස්වීමට මම සභාගි වෙනව. සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ එවැනි වැඩ අගය කරන” බව ද සඳහන් කල ඔහු රැස්වීම සඳහා ලියාපදිංචි විය.

වැටුප් ඉල්ලීම් නොදෙන බවට ජනාධිපති දිසානායක කල තර්ජනය සමස්ත කම්කරු පන්තියට කල තර්ජනයක් බව මහනුවර ජාතික රෝහලේ කාර්යාල සේවිකාවක් සඳහන් කලාය.

“වෛද්‍යවරුන්ට පමනක් කරපු තර්ජනයක් නෙවෙයි ඒක. සමස්ත වැඩකරන ජනතාව ට ම කරපු තර්ජනයක්. ජීවන වියදම අඩු කරනවා නම් පඩි වැඩි කරන්න අවශ්‍ය නැහැ. මොකද පඩි වැඩි කලා කියලා ජීවත් වෙන්න බැහැ. ජීවන වියදම හරිම වැඩියි. ජීවත්වීම් දුෂ්කරයි. මගේ මහත්තයගෙ මේ මාසේ පඩියෙන් රුපියල් 58.000 ක් කපල . ඒ ගාන නො කැපුනානම් යන්තම් හෝ පිරිමසා ගන්න තිබුන”

ජීඑම්ඕ වර්ජනය දියාරු එකක් බවත් ඒ වගේ වර්ජනවලින් සහ සෞඛ්‍ය සේවකයන් අධෛර්ය මත් වෙන බවත් එහි වාසිය ගන්නේ ආන්ඩුව බවත් ඇය පැවසුවාය.

මේ දවස්වල වෘත්තිය සමිති ඒකාබද්ධ වීම ගැන කතා කරනවා. නමුත් සාමාජිකයන් වෙනුවෙන් නෙමයි. සාමාජිකයන් ඒකාබද්ධ කරන්න ඔවුන් සූූදානම් නැහැ. අපි සටන් කරන්න ඕනේ ජීවන වියදම පහල දැමීමට හෝ ජීවන වියදමට සරිලන වැටුපක් සඳහා. එහෙම සටන් කලා නම් හැම කම්කරුවෙක්ම එකතු කරගන්න තිබුන”.

මේ වනවිට මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් ඒ නිසාම වෛද්‍යවරුන්ට ඩබල් ඩියුටි කරන්න සිද්ධ වෙලා තියෙන බවත් ඇය කීවා.”

“හැබැයි එහෙම කලා කියලා ගෙවන්නේ නැහැ. වැඩ වැඩි යුනිට් වල මාරුවීම් ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ නිසා ඉන්න වෛද්‍යවරු දැවැන්ත පීඩනයකට ලක්වෙලා ඉන්නවා. ඇත්තටම මම කරන කාර්යාල වැඩවලදීත් එදාට වඩා විශාල වැඩ කොටසක් කරන්න සිද්ධ වෙලා තියෙනවා . එක වෙලාවකට අපිටත් අපේ ජීවිත එපා වෙලා තියෙන්නෙ මේක අස්සටම කොටු වෙලා මොකක්ද මේ ජීවිතේ කියලා හිතෙනවා. ඔබ යෝජනා කරන කම්කරු පන්තියට බලය ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි වෙන විකල්පයක් දකින්නත් නැහැ.එම නිසා මම ඒ ගැන අවබෝධයක් ලබා ගන්න ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි ලේඛන කියවනවා සහ මට මතුවෙන ප්‍රශ්නවලට සෝසලිස්ම් ඒඅයි මඟින් පිලිතුරු සොයා ගන්න මම උත්සාහයක් කරනවා”. ඔන්ලයින් රැස්වීමට සහභාගී වන බව පැවසූ ඇය ඒ සඳහා ලියාපදිංචි වුවාය.

විකිරන කාර්මික ශිල්පීන්ගේ හිඟය නිසා රෝගීන්ට මුදල් ගෙවා පුද්ගලික රෝහල්වලින් එම පරීක්ෂන කරගැනීමට සිදුවන බව කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේ විකිරන කාර්මික ශිල්පියෙකු පැවසිය.

“2022 ආර්ථික අර්බුදය නිසා සෞඛ්‍ය වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් විදේශගත වීම මේ සේවක හිඟයට ප්‍රධාන හේතුවක්. කොලඹ රෝහල්වල තත්වයටත් වඩා ග්‍රාමීය රෝහල්වල තත්වය බරපතලයි. නමුත් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කෙරෙන්නේ නැහැ. හදිසි අනතුරු ඉහලයාම, වකුගඩු සහ හෘද රෝගීන් වැඩිවීම නිසා පරීක්ෂන වලට අදාල නව යන්ත්‍ර සැපයීම අත්‍යාවශ්‍ය වන නමුත් මිලදී ගැනීම් නවත්තල. .පැරනි යන්ත්‍ර නිතර අක්‍රීය වෙනවා. ආන්ඩුව වාරන පනවල මාධ්‍යවලට තොරතුරු දීම වලක්වන්න උත්සාහ කරනවා” යැයි ඔහු කිවේය.

නාස්තිය සහ දූෂනය නතර කරලා ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවන බවට පොරොන්දු දෙමින් බලයට පත් වූ ආන්ඩුව කලින් තිබුන සහනයන් පවා ජනතාවට අහිමි කරන බව ඔහු පැවසීය. “මම රෝහල් කිහිපයක සේවය කලා. අස්ථි බිඳීම් සැත්කම් වලට අවශ්‍ය ප්ලේට්, ගෙවී ගිය දනිස් ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරන ඒ කාලේ රෝගීන්ට නොමිලේ ලැබුන. දැන් ලක්ෂ ගනන් ගෙවල පිටින් ගන්න ඕන” යැයි ඔහු සඳහන් කලේ ය.

පෙරේරි පෞද්ගලික රෝහල් සේවකයෙකි. නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරනය කලොත් එයින් පිඩාවට පත් වෙන්නේ මහජනතාව බව ඔහු පැවසිය . “දැනටමත් බොහෝ මිනිසුන් ආහාර, නිවාස සහ ඇඳුම් වැනි මූලික අවශ්‍යතාවයන් සපයා ගන්න අරගල කරමින් ඉන්නේ. අපට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙවන්න වුනොත් දුප්පතුන් ට මරනය යතාර්තයක් බවට පත්වෙනවා” යැයි ඔහු සඳහන් කලේ ය.

පුද්ගලික රෝහල් වල ගාස්තු ඉතා ඉහල බවත් එම්ආර්එස් ස්කෑන් එකක් සඳහා රුපියල් 80,000 ක් සහ සීටී ස්කෑන් එකක ට රුපියල් 30,000 ට වැඩියෙන් අයකරන බවත් ඔහු පැවසිය. “දුෂ්කර කොන්දේසි යටතේ ජීවත් වෙන මිනිස්සු කොහොම ද ඒවගේ මුදලක් ගෙවන්නේ? රන් භාන්ඩ හෝ ඉඩම් උකස් කරලා ප්‍රතිකාර ලබා ගන්න එන දුප්පත් මිනිස්සු බොහෝ දෙනෙක් මට හමුවෙලා තියෙනව” යැයි ඔහු කීවේය.

“අපට ලැබෙන පඩිය ප්‍රමානවත් නැහැ. මගේ මූලික මාසික වැටුප රුපියල් 25,000 යි. වියදම අපේ ආදායමට වඩා වැඩියි. අපිත් එවැනි තත්වයක ජීවත් වෙද්දී සහ සෞඛ්‍ය වියදම් දරාගත නොහැකි තත්වයක් තුල දුප්පත් මහජනයගේ තත්වය කොහොම වෙයි ද?” ඔහු විමසීය.

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝවිද්‍යාව හදාරන පලමු වසරේ ශිෂ්‍යයාවක් වන ජනිශ්වරී ගේ පියා නැත. ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් දරන්නේ එදිනෙදා කුලී වැඩකින් මුදලක් උපයා ගන්න ඇයගේ මව විසිනි.

ඇය මෙසේ පැවසුවාය: “අපේ පවුලේ ආදායම අපට ජීවත් වෙන්නත් මදි. එවැනි තත්වයක් තුල මහජන සෞඛ්‍ය සේවය පුද්ගලීකරනය කිරීම අප වගේ දුප්පත් අයට තදින් ම බලපානවා. ආන්ඩුව ජනතාවගෙන් බදු අයකරනවා . නමුත් අනෙක් අතට මහජනයාගේ මූලික අයිතියක් වන නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරනය කරනව. සෞඛ්‍ය සේවය වෙලඳ භාන්ඩයක් නෙවෙයි. එය සෑම පුරවැසියෙකුගේම මූලික මානව හිමිකමක්. ඒවාට විරුද්ධව වන මහ ජනතාවගේ විරෝධය මර්දන නීති ගෙනල්ල මර්දනය කිරීම පිලිගන්න බැහැ. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධියි. 20 වෙනිදා ඔන්ලියින් රැස්වීමට මම සහයෝගය දෙනවා”.

මධුමිතා, එම විශ්වවිද්‍යාලයේ කලා අංශයෙන් ඉගෙනුම ලබන පලමු වසරේ ශිෂ්‍යාවකි. මහජන සෞඛ්‍ය සේවය පුද්ගලිකරනය කිරීම කම්කරු පන්තියට සහ දුප්පතුන්ට ඉමහත් ව්‍යසනයක් වියහැකි බව ඇය කීවාය. “දැනටත් රජයේ රෝහල්වලින් සියලුම සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න බැහැ. එය පුද්ගලීකරනය කලොත් අපි වගේ දුප්පත් අයගේ තත්වය තවත් දුෂ්කර වෙනවා.” ඇය පැවසුවාය.

ඇයගේ පියා ධීවරයෙකු බවත් දිට්වා සුලිකුනාටුවෙන් පසුව පවුලේ ආර්ථික තත්ත්වය් තවත් පිරිහුන බවත් ඇය ප්‍රකාශ කලාය. “අපි ජිවත් වෙන්නේ අපේ රන් ආභරන උකස් කරල. එවැනි තත්වයක් තුල අපිට සෞඛ්‍ය පහසුකම්වලටත් ගෙවන්න සිද්ධ වුනොත් එය අපට දැරිය නොහැකි බරක් වෙනවා. එවැනි තත්වයක් අපට අවශ්‍ය නැහැ. නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා පවත්වන ඔන්ලයින් රැස්වීමට මම සහයෝගය දෙන්නේ ඒ නිසයි” ඇය පැවසුවාය.

Loading