ඉදිරිදර්ශන

ඉරානයට එරෙහි සාපරාධී එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නවත්වනු!

 [මෙය Stop the criminal US-Israeli war against Iran! යන මැයෙන් 2026 මාර්තු 02පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනය යි.]

1. පෙබරවාරි 28 වැනි දා අලුයම ආරම්භ වූ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරය, එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදුකල සාපරාධී යුද ක්‍රියාවකි. එහි ආරම්භක ප්‍රහාරයෙන් ඝාතනය වූවන් අතරට ඉරානයේ රාජ්‍ය නායක අයතුල්ලා අලි කමේනි සහ ඉරාන ආන්ඩුවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයෝ ඇතුලත් වෙති. ප්‍රහාරය සඳහා නීතිමය සාධාරනීකරනයක අංශු මාත්‍රයක් හෝ ඇත්තේ නැත. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ I වන වගන්තියේ 8 වන කොටසින් ඉල්ලා සිටින පරිදි, එක්සත් ජනපද කොංග්‍රසයෙන් කිසිදු අවසරයක් ඉල්ලා හෝ එවන් අවසරයක් ලබා දී හෝ නොමැත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ කිසිදු යෝජනාවක්, බලය යෙදවීමට අවසර දී නොමැත. ප්‍රහාරය දියත් කරන ලද්දේ, මැදිහත්කරු ලෙස ඕමානයේ සහභාගීත්වය ඇති ව එක්සත් ජනපද සහ ඉරාන සාකච්ඡාකරුවන් තවමත් සාකච්ඡාවල නියැලී සිටිය දී ය; එය මීට දින දෙකකට පෙර ජිනීවාහි දී අවසන් විය. ඉරානයට එරෙහි ප්‍රහාරය, හරියට ම, 1945-46 දී නාසි නායකයින්ගේ නියුරම්බර්ග් නඩු විභාගවලදී  “සාමයට එරෙහි අපරාධයක්” ලෙස විස්තර කරන ලද දෙය යි—එනම්, “අපරාධවල කැටිකල සමස්තය එහි අඩංගු වන බැවින්, අනෙකුත් යුද අපරාධවලට වඩා වෙනස් වන අති දැවැන්ත පරිමානයේ ජාත්‍යන්තර අපරාධයකි.”

2026 මාර්තු 1 ඉරිදා, ඉරානයේ ටෙහෙරානයට එල්ල වූ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු දුම් වලාවක් නැඟී එන ආකාරය වහලයක සිට නරඹමින් සිටින ජනතාව [AP Photo/Vahid Salemi]

2. කොල්ලකෑම සහ ආධිපත්‍ය ශිෂ්ඨාචාරමය මෙහෙවරක් ලෙස වාත්තු කිරීමට, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ 2026 පෙබරවාරි 14 වැනි දා පැවැත් වූ මියුනිච් ආරක්ෂක සමුලුව යොදා ගැනීමෙන් යාන්තම් සති දෙකකට පසු ව යුද්ධය ආරම්භ කෙරුනි:  අධිරාජ්‍යය පිලිබඳ “වරදකාරී සහ ලැජ්ජාශීලී හැඟීම්” බැහැර කරන ලෙස මියුනිච් සමුලුවේ දී යුරෝපයෙන් ඉල්ලා සිටි රූබියෝ, “මහා බටහිර අධිරාජ්‍යයන්ගේ”, එනම් කොල්ලකෑම, මර්දනය සහ සමූහ ඝාතන මත ගොඩනැගුනු යටත් විජිත ක්‍රමයේ පරිහානිය ගැන එලිපිට ම විලාප තැබී ය. අධිරාජ්‍යවාදී සාංකාව පිලිබඳ වාචාල කතාවලට පසුව පැමිනි “ශිෂ්ටාචාරය” පිලිබඳ කතාව, ම්ලේච්ඡත්වයට හුරුපුරුදු බොරු පෙරවදනක් බව සනාථ කරන සැබෑ දෙය—කෲස් මිසයිල, ගුවන් ප්‍රහාර සහ ඉරාන නගරවලට බෝම්බ හෙලීම—පැමින තිබේ.

3. ඉරානයට බෝම්බ හෙලීම, ජනතාවකට සහ ශිෂ්ටාචාරයට එරෙහි අපරාධයකි. ටෙහෙරාන්, ක්වොම් සහ ඉස්ෆහාන් වැනි නගරවලට ප්‍රහාර එල්ල වන විට, ඉලක්කය හුදෙක් “යටිතල පහසුකම්”  පමනක්  නොව, ඓතිහාසික සමාජයක සමුච්චිත බුද්ධිමය, සංස්කෘතික හා සමාජ ජීවිතයයි. මිලියන 90 ක ජාතියක් මිලිටරි ඉලක්ක බවට  සහ “පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ” සටන් පාඨවලට සිඳවීම අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ භාෂාවයි. එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර ව කම්කරු පන්තිය මෙම ප්‍රහාරයට විරුද්ධ විය යුතු ය; ප්‍රහාර වහා ම අවසන් කරන ලෙස ඉල්ලා සිටිය යුතු ය; පිලිවෙතේ මෙවලම් ලෙස සමූහ ඝාතන සහ සංස්කෘතික විනාශය සාමාන්‍යකරනය කිරීම ප්‍රතික්ෂේප කල යුතු ය. 

4. ධනේශ්වර මාධ්‍ය තුල පවා පුලුල් ව පිලිගැනෙන කාරනාව වන්නේ, එක්සත් ජනපදය ඉරානයෙන් එල්ලවන කිසිදු තර්ජනයකට මුහුන පා නොසිටි බවයි.  ඇත්ත වශයෙන් ම, 2025 ජූනි මාසයේ සිදු වූ—එක්සත් ජනපද අවි ගබඩාවේ විශාලතම සාම්ප්‍රදායික අවි භාවිතා කරමින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට පහර දුන්—දින දොලහේ යුද්ධයෙන් පසු ව, ඉරානයේ න්‍යෂ්ටික අවි ධාරිතාව “අතුගා දැමූ” බව ප්‍රකාශ කලේ, ට්‍රම්ප් ම ය. 2026 පෙබරවාරි 24 වැනි දා, රාජ්‍යයේ තත්වය පිලිබඳ ඔහුගේ දේශනයේ දී ට්‍රම්ප්  මෙය නැවත නැවතත් ප්‍රකාශ කලේ ය. දින හතරකට පසුව, ඉරානය එක්සත් ජනපදයට “ක්ෂනික තර්ජනයක්” එල්ල කරන බවට වූ ඔහුගේ ප්‍රකාශය, ආරක්ෂක බුද්ධි ඒජන්සියේ 2025 තක්සේරුවට සෘජු ව ම පටහැනි විය;  ඉරානය අන්තර් මහද්වීපික මිසයිල හැකියාව වර්ධනය කිරීමෙහිලා වසර ගනනාවක් නොවේ නම්, දශකයන් ගනනාවක් ඈතින් සිටින බව එහි නිගමනය විය. ට්‍රම්ප්ගේ ප්‍රකාශයට බුද්ධි අංශ සහාය නොදක්වන බව බුද්ධි අංශ මූලාශ්‍ර දෙකක් සීඑන්එන් වෙත පැවසීය. බුද්ධි අංශයේ මන්ත්‍රී මන්ඩල කමිටුවේ ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහල මට්ටමේ නියෝජිතයෙකු වන ජිම් හයිම්ස් පවා, දැනුවත් කිරීමෙන් පසු ව මෙසේ පැවසීය: “මැද පෙරදිග තවත් යුද්ධයක් දියත් කිරීමට මේක තමයි අවස්ථාව යන කාරනය අපට ඒත්තු ගැන්විය හැකි එකදු පිලිගත හැකි හේතුවක් අපට ඇසීමට ලැබී නැත.”

5. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) එවැනි ප්‍රහාරයක් අත ලඟ බව නැවත නැවතත් අනතුරු ඇඟවී ය. ප්‍රහාරයට දින නවයකට පෙර, පෙබරවාරි 19 වැනි දා, ජාත්‍යන්තර කමිටුව මෙසේ ප්‍රකාශ කලේ ය: “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අරමුනු—සමස්ත ග්‍රහලෝකයේ ආධිපත්‍යය—සාමකාමී ව සාක්ෂාත් කරගත නොහැක. ඉරානයට එරෙහි යුද්ධය, එක්සත් ජනපදයට, චීනය සමඟ එලඹෙන ගැටුම සඳහා තම සූදානමේ අත්‍යවශ්‍ය අදියරකි.” එය වඩාත් දුරදිග යන ඇඟවුම් පිලිබඳ අනතුරු ඇඟවීමක් සමඟ ඉදිරියට ගියේ ය: “අධිරාජ්‍යවාදී සහ ධනේශ්වර ආන්ඩුවලට ආයාචනා කිරීමෙන් යුද්ධය නතර නොවනු ඇත. ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙවන ලෝක යුද්ධය ආසන්නයේ පැවති තත්වයට සමාන තත්වයකට මුහුන දී සිටි. නමුත් සංසන්දනය ප්‍රමානවත් නොවේ, මන්ද, අද යුද්ධයේ ප්‍රතිවිපාක වසර 87 කට පෙර තිබූ ප්‍රමානයට වඩා අසීමිත ලෙස භයානක වනු ඇත. මනුෂ්‍ය වර්ගයා මුහුන දෙන්නේ, සියලු මිනිස් ජීවිත විනාශ කර දැමීමට හේතු විය හැකි න්‍යෂ්ටික ව්‍යසනයක ආසන්න අනතුරට ය.”

6. යුද්ධයක් දියත් කිරීමට ගත් තීරනය සඳහා, කිසිසේත් ම ඒත්තු ගැන්විය හැකි හේතුවක් ඉදිරිපත් කිරීම තබා, තාර්කික පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් වෑයම් නොකරයි. දින හතරකට පෙර ඔහු රාජ්‍ය තත්වය පිලිබඳ ඉතිහාසයේ දීර්ඝතම දේශනය පැවැත්වී ය; ඒ වන විටත් ඔහු යුද්ධයට අත්සන් තබා අවසන් ව තිබුනත්, එහි දී ඉරානය වෙනුවෙන් කැප කර තිබුනේ වාක්‍ය කිහිපයක් පමනි. මිලිටරිමය ශක්තිය ගොඩනැගීම ඉතා ඉහලතම මට්ටමකට—2003 ඉරාක ආක්‍රමනයෙන් පසු මැද පෙරදිග සිදු වූ ඉහල ම මට්ටමේ—පැවතුනි. ඊශ්‍රායල සහ ඇමරිකානු බුද්ධි ඒජන්සි මාස ගනනාවක් තිස්සේ සිටියේ කමේනිගේ චලනයන් නිරීක්ෂනය කරමිනි.

7. ට්‍රම්ප් යුද්ධය නිවේදනය කලේ, ඕවල් කාර්යාලයේ සිට සමස්ත රටවැසියන් අමතමින් කල දේශනයකින් වත්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යුද්ධ ප්‍රකාශ කිරීමේ බලය පවරා ඇති කොංග්‍රසය ඉදිරියේ වත් නොව, ෆ්ලොරිඩාවේ පාම් බීච් හි ඔහුගේ මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයේ සිට ඔහුගේ පෞද්ගලික සමාජ මාධ්‍ය වේදිකාව වන  ටෲත් සෝෂල් වෙත අලුයම 2:30 ට පල කරන ලද මිනිත්තු අටක වීඩියෝවකිනි. ඔහු “USA” යනුවෙන් මුද්‍රිත සුදු බේස්බෝල් තොප්පියක් පැලඳ සිටියේය. ට්‍රම්ප් කතා කරමින් සිටියේ ඇමරිකානු ජනතාවට නොව, ඔහුගේ පදනම වන, ඔහු වගා දිගා කර ඇති සහ ඔහුගේ සැබෑ දේශපාලන ඡන්ද දායකයා වන ෆැසිස්ට් ව්‍යාපාරයට ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙබරවාරි 28 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ ලිවී ය: “බොහෝ ඇමරිකානුවන් නිදා සිටිය දී, දැන් ට්‍රම්ප්, බේස්බෝල් තොප්පියක් හිස පැලඳ ගෙන,  මහ රෑ තම තීරනය ප්‍රකාශ කලේ ය. ඔහු එක්සත් ජනපදය සහ මුලු ලෝකය ම විනාශකාරී මාවතකට යොමු කර තිබේ.” ප්‍රකාශය මඟ හැර යා නොහැකි ඓතිහාසික සමාන්තරයක් ඇඳ පෙන්වීය: “අනාගත ඉතිහාසඥයින් 2026 පෙබරවාරි 28 වැනි දා ඉරානයට එල්ල කල ප්‍රහාරය සංසන්දනය කරනු ඇත්‌‌තේ, 1939 සැප්තැම්බර් 1දා හිට්ලර්ගේ පෝලන්ත ආක්‍රමනයට ය. ඒවා සමාන පරිමානයේ අපරාධ වේ.”

8. මත විමසුම්, යුද්ධයට එරෙහි දැවැන්ත මහජන විරුද්ධත්වය තහවුරු කරන්නේ ය යන කාරනය, ට්‍රම්ප්ගේ ගනන් බැලීම් කෙරෙහි කිසිදු බලපෑමක් ඇති කර නැත. ප්‍රහාරයට සති කිහිපයකට පෙර පවත්වන ලද මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ මත විමසුමක දී, ඉරානයට පහර දීමට පක්ෂ ව සිටින්නේ ඇමරිකානුවන්ගෙන් සියයට 21 ක් පමනක් බවත්, සියයට 49 ක් දැඩි ලෙස විරුද්ධ වූ බවත් හෙලි විය. ප්‍රහාරය සිදු වූ දිනයේ දී පවත්වන ලද යූගොව් ක්ෂනික මත විමසුමකින් පෙනී ගියේ, එය අනුමත කර ඇත්තේ සියයට 34 ක් පමනක් බවයි— නූතන ඉතිහාසයේ එක්සත් ජනපද මිලිටරි මෙහෙයුමක් සඳහා වාර්තාවූ අඩු ම මහජන සහයෝගය වන එය, ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක්‍රමනය කිරීම සඳහා වාර්තා වූ සහයෝගයෙන් අඩකටත් වඩා අඩුය. රොයිටර්/ඉප්සෝස් මත විමසුමකින් ප්‍රහාරයට සියයට 43 ක අප්‍රසාදයක් සහ සියයට 27 ක අනුමැතියක් ඇති බව සොයා ගන්නා ලදී. සීබීඑස්/යූගොව් මත විමසුමක ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 74 ක් පැවසුවේ, ට්‍රම්ප් කිසි විටෙකත් අපේක්ෂා නොකල කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය බවයි. ක්වින්නිපියැක් මත විමසුමට අනුව ඡන්දදායකයින් 10 දෙනෙකුගෙන් 7 ක් ඉරානයට එරෙහි ව මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ වී තිබේ. මෙම සංඛ්‍යාලේඛන හෙලිකරන්නේ, ඇමරිකානු පාලක පන්තිය සහ එය විසින් පීඩාවට පත් කෙරෙන ජනගහනය අතර ඇති පරතරයේ ගැඹුරයි. යුද්ධය දියත් කරනු ලබන්නේ ඇමරිකානු ජනතාව වෙනුවෙන් නොව, ඔවුන් පැහැදිලිව ම ප්‍රකාශ කර ඇති පරිදි, ඔවුන්ගේ කැමැත්තට එරෙහි ව ය.

9. “යුද්ධය” දේශපාලන නායකයින් සහ හමුදා අන දෙන නිලධාරීන් ඉලක්ක කරගත් ඝාතනයන්ගේ ස්වරූපයක් ගෙන ඇත; සිවිල් ජීවිතවලට දරුනු හානි ඇති කල දැවැන්ත බෝම්බ ප්‍රහාර ද ඊට සමගාමී ව සිදු විය. ප්‍රාථමික ප්‍රහාරවලින් පැය කිහිපයක් ඇතුලත, ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි මිය ගිය බව තහවුරු වූ අතර, හමුදා මාන්ඩලික ප්‍රධානියා, ආරක්ෂක අමාත්‍යවරයා, විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානියා, ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සහ තවත් නිලධාරීන් 40 ක් පමන මිය ගොස් තිබේ. දකුනු ඉරානයේ මිනාබ් නගරයේ ප්‍රාථමික බාලිකා පාසලකට ප්‍රහාරයක් එල්ල විය; ඉරානය වාර්තා කලේ, පාසල් සිසුන් 150 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි. ඉරාන රෙඩ් ක්‍රෙසන්ට් පුවත්පත මුල් පැය කිහිපය තුල පමනක් 200 කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා කලේ ය. ප්‍රහාරය දිගටම පැවතුනි; “ටෙහෙරානයේ හදවතට” ප්‍රහාර එල්ල වී ඇති අතර මරන සංඛ්‍යාව ඉහල යමින් පවතී. කමේනිගේ දියනිය, මුනුබුරා, ලේලිය සහ බෑනා ඝාතනය වී ඇති බව තහවුරු කර තිබේ.

10. ඉරිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සමඟ දුරකථන සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ට්‍රම්ප්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය “සති හතරක් හෝ පහක්” යුද්ධය දිගට ම කරගෙන යාමට “අදහස්” කර ඇති බව ප්‍රකාශ කලේ ය. එමඟින් පැහැදිලි වූයේ, වොෂින්ටනය ඉරානය යටත් කර ගැනීම සඳහා අඛන්ඩ බෝම්බ හෙලීමේ ව්‍යාපාරයක් සූදානම් කරමින් සිටින බවයි. එම සම්මුඛ සාකච්ඡාවේ දී ම ට්‍රම්ප්, ඇමරිකානු සොල්දාදුවන්ගේ මරන සම්බන්ධයෙන් කිලිපොලා යන නොතැකීම පෙන්නුම් කරමින්, “අපි ජීවිත හානි අපේක්ෂා කරමු” යනුවෙන් කෙලින් ම ප්‍රකාශ කල අතර, පෙන්ටගනයේ ඇස්තමේන්තු “තරමක් වැඩි” විය හැකි බව ද පැවසී ය. මෙම ප්‍රකාශයන්, සාපරාධී යටත් කර ගැනීමේ යුද්ධයක් ක්‍රියාත්මක කිරීම සඳහා ධවල මන්දිරය ගනන් කල නොහැකි ජීවිත—සියල්ලට ම වඩා, ඉරානයේ පමනක් නොව, කලාපය පුරා සහ එක්සත් ජනපද හමුදා ජීවිත—බිලිදීමට සූදානම් බවට වන විවෘත ප්‍රකාශයකට සමාන වේ.

11. 2025 ජුනි යුද්ධයට පෙර මෙන්, සාකච්ඡා යහපත් විශ්වාසයකින් යුතු ව කර ගෙන යන බවට වන ඇමරිකානු සහතික නැවත වරක් පිලිගෙන සිටි ඉරාන නායකයින් සහ හමුදා නිලධාරීන් නවතම ප්‍රහාරය මගින් මවිතයට පත් කරනු ලැබුනි. ප්‍රහාරයට දින කිහිපයකට පෙර ඉරාන විදේශ අමාත්‍යවරයා ටෙහෙරානයෙන් ජිනීවා බලා පිටත් ව ගියේ ය. ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සාකච්ඡා පිලිබඳව කලකිරීම ප්‍රකාශ කරමින් සහ අවුල් සහගත තත්වය වෙනුවෙන් වොෂින්ටනයට දොස් පවරමින් විවරනයක් ප්‍රකාශයට පත් කලේ—තවමත්, එම රාත්‍රියේ අන්තිම පැයේ දී පවා, රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය අව්‍යාජය යන උපකල්පනය  මත ක්‍රියාත්මක වෙමිනි. මේ රටාව දැන් නොවරදින සුලු ය: එක්සත් ජනපදය මාරාන්තික ප්‍රහාරයකට සූදානම් වෙද්දී, රාජ්‍ය තාන්ත්‍රික මවාපෑමක් භාවිතා කරමින් තම විරුද්ධවාදියා ආරක්ෂිත බවට වන ව්‍යාජ හැඟීමකට ඇද දමයි. 2025 ජුනි මාසයේදී ඊශ්‍රායලය ඉරානයට පහර දුන්නේ, එක්සත් ජනපද-ඉරාන සාකච්ඡා දින කිහිපයකට පසු නැවත ආරම්භ කිරීමට නියමිත ව තිබිය දී ය. 2026 පෙබරවාරි මාසයේ දී, ජිනීවා (සමුලු) වටය අවසන් වී දින දෙකකට පසු ව ප්‍රහාරය සිදුවිය.

12. යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රතිචාරය ද ඊට නොඅඩු ලෙස පිලිකුල් සහගත ය. යුද්ධය දියත් කලේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය වුව ද—සාකච්ඡා පැවැත්වෙන අතරතුර ස්වෛරී ජාතියකට පහර දීම, එහි රාජ්‍ය නායකයා ඝාතනය කිරීම, දරුවන්ගෙන් පිරුනු පාසලකට බෝම්බ හෙලීම—බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්‍රික් මර්ස් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය හෙලා දුටුවේ ආක්‍රමනිකයන් නොව, වින්දිතයා ය. මෙම ආන්ඩු තුන “මෙම ප්‍රහාරවලට සහභාගී නොවූ” බව පමනක් පවසන E3 ප්‍රකාශය, “කලාපයේ රටවලට එල්ල කරන ඉරාන ප්‍රහාර දැඩි ලෙස හෙලාදකියි.” ස්ටාර්මර් ඉරාන තන්ත්‍රය “අතිශයින්ම පිලිකුල් සහගත” බව පවසා සිටි අතර “තවත් ප්‍රහාරවලින් වැලකී සිටින ලෙස” ඉරානයෙන් ඉල්ලා සිටියේ ය—හරියට, එහි නායකත්වයට සහ පාසල් දරුවන් මරා දැමූ හදිසි ප්‍රහාරයකට ලක් වූ ජාතියකට තමන් ආරක්ෂා කර ගැනීමට අයිතියක් නැතිවාක් මෙනි. ඊලඟ දිනය වන විට, ස්ටාර්මර් තවත් ඉදිරියට ගොස්, බ්‍රිතාන්‍ය ජෙට් යානා “ආරක්ෂක මෙහෙයුම්” සිදු කරන බවත්, බ්‍රිතාන්‍යය දැනටමත් ඉරාන ප්‍රහාරවලට බාධා කර ඇති බවත්, ඉරාන මිසයිල ස්ථානවලට පහර දීමට බ්‍රිතාන්‍ය කඳවුරු භාවිතා කිරීමට එක්සත් ජනපද ඉල්ලීම පිලිගෙන ඇති බවත් නිවේදනය කලේ ය. හරියට ම, එය සැම විටම සිදු වන ආකාරයට ම, මැදිහත් නොවන බවට වන මවාපෑම දිනෙන් දින ඉවත දමනු ලැබේ. ඉරාකයේ, ලිබියාවේ සහ යුක්‍රේනයේ වක්‍ර යුද්ධයේ දී මෙන්, යුරෝපීය බලවතුන් ඇමරිකානු මිලිටරිවාදයේ දිය සුලියට ඇද ගනිමින් තිබේ.

13. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය නිසැක ව ම බරපතල හානියක් සිදු කරගෙන ඇත. ඉරානයේ දේශපාලන හා මිලිටරි නායකත්වයේ හිස ගසා දැමීම විනාශකාරී ප්‍රහාරයකි. නමුත් ඉතිහාසය උගන්වන්නේ, යුද්ධයක ප්‍රතිඵලය, සාමාන්‍යයෙන් එහි පලමු දිනවල හෝ මාසවල ප්‍රතිඵල මත පදනම් ව විනිශ්චය කිරීම බරපතල වැරැද්දක් බවයි. 2003 ඉරාක ආක්‍රමනයේ ආරම්භක කම්පනයට සහ භීතියට පසුව දශක දෙකක කැරැල්ල, නිකායික සිවිල් යුද්ධය සහ එක්සත් ජනපදය තුල උපායමාර්ගික ව්‍යසනයක් ඇති කලේ ය. 2021 දී—ඇෆ්ගනිස්ථානයේ “සාර්ථක” ආක්‍රමනයෙන් වසර 20 කට පසුව— කාබුල් නගරය තලේබාන්වරුන්ට යටත් වීම, අධිරාජ්‍යවාදී උද්ධච්ඡ බවේ ස්මාරකයක් ලෙස පවතී. ඉරානය යනු, ඊශ්‍රායලයට වඩා 74 ගුනයකට ආසන්න භූමි ප්‍රමානයකින් විශාල, මිලියන 90 ක ජනතාවක් සිටින ජාතියකි. එහි ජනතාව, ඉරාකය සමඟ වසර අටක යුද්ධයක්, දශක ගනනාවක සම්බාධක සහ නැවත නැවතත් විදේශ ප්‍රහාර අත්විඳ ඇත. කමෙනි ඝාතනය කිරීම ඉරාන රාජ්‍යයේ වැටීමට තුඩු දෙනු ඇති බවත්, එක්සත් ජනපදය සමූහ ඝාතන මගින් පනවනු ලබන පාලන තන්ත්‍ර වෙනසක් ජනතාව විසින් කෘතඥපූර්වකව පිලිගනු ලබනු ඇතයි යන උපකල්පනය, වියට්නාම් යුද්ධයේ පටන් ඇමරිකානු මිලිටරි මදාවිය සම්බන්ධයෙන් ම (බලධාරීන් තුල) පැවති එම මිත්‍යාවම ප්‍රකාශයට පත් කිරීමකි.

14. එක්සත් ජනපදය දියත් කර ඇත්තේ නොගැනිය හැකි ආර්ථික, සමාජීය සහ දේශපාලනික ප්‍රතිවිපාක සහිත යුද්ධයකි. ඉරානයේ පලිගැනීමේ ප්‍රහාර දැනටමත් පර්සියානු ගල්ෆ් කලාපය පුරා පැතිරී ඇති අතර, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේට් සහ ජෝර්දානය යන රටවල ඇමරිකානු හමුදා කඳවුරු, සිවිල් ගුවන් තොටුපලවල් සහ යටිතල පහසුකම් වලට එය පහර දී ඇත. ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල වී ඇති අතර, නිවාස සහිත ප්‍රදේශවල සිවිල් වැසියන් මරා දමා ඇත. ලෝකයේ තෙල්වලින් ආසන්න වශයෙන් සියයට 20 ක් දිනපතා ප්‍රවාහනය කරන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිරකිරීම්වලට මුහුන දී තිබේ. තෙල් මිල ඉහල ගොස් ඇත. ගෝලීය නැව් මාර්ග කැලඹිලි සහිත ය. ගුවන් සමාගම් කලාපය පුරා ගුවන් ගමන් අවලංගු කර ඇත. ගැටුම මුලු මැද පෙරදිග ම වහ්නි ජාලාවකින් ගිල ගැනීමට තර්ජනය කරන අතර, එහි පරිමානය හෝ ප්‍රවර්තන කාලසීමාව කිසිවෙකුට පුරෝකථනය කල නොහැක. පලමු ඇමරිකානු ජීවිත හානි දැනටමත් වාර්තා වී ඇත.

15. මෙම යුද්ධයට සැබෑ හේතු පවතින්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන තුල නොව—ජාත්‍යන්තර පරමානුක බලශක්ති ඒජන්සියට අනුව, එය සාමකාමී එකක්ය යන කාරනයට  විරුද්ධ වන අන් කිසිදු සාක්ෂියක් නොමැත—තෙල්වල  භූ දේශපාලනය, උපායමාර්ගික සම්පත් පාලනය සඳහා අරගලය සහ ඇමරිකානු ගෝලීය ආධිපත්‍යයේ ගැඹුරු වන අර්බුදය තුල ය. සනාථ වී ඇති ආකාරයට, ඉරානය ලෝකයේ සිව්වන විශාලතම තෙල් සංචිත සහ දෙවන විශාලතම ස්වාභාවික ගෑස් සංචිත රට ලෙස ඉහලින් ම සිටී. ගෝලීය බලශක්ති පද්ධතියේ වඩාත්ම උපායමාර්ගික ව වැදගත් මුරපොලක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ උතුරු වෙරල තීරය එහි අනසක යටතේ පවතී. මෙම සම්පත් පාලනය කිරීම කෙරෙහි—සහ වඩාත් වැදගත් ලෙස, ප්‍රතිවාදීන්ට ඒවාට ප්‍රවේශ වීම වැලැක්වීමේ හැකියාව කෙරෙහි—දශක හතකට වැඩි කාලයක් මැද පෙරදිග තුල ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය අවධානය යොමු වී ඇත.

16. ඉරානය යටත් කර ගැනීමේ ධාවනය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පුලුල් ගමන් පථයෙන් වෙන් කල නොහැක. ප්‍රහාරයට පෙර පවා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කර ඇති පරිදි, වෙනිසියුලානු තෙල් අත්පත් කර ගැනීම සහ ඉරානයට පහර දීම එකම උපාය මාර්ගයක සංරචකයන් වේ: එක්සත් ජනපදය තම දෛනික තෙල් පරිභෝජනයෙන් සියයට 70 කට වඩා ආනයනය කරන චීනය සමඟ මිලිටරි ගැටුමකට සූදානම් වීම සඳහා ලෝකයේ බලශක්ති සම්පත් අත්පත් කර ගැනීමට උත්සාහ කරයි. ඉරානය චීන බලශක්ති ආනයනවලින් සියයට 10 කට වඩා වැඩි ප්‍රමානයක් දරන අතර එයට ප්‍රවේශය අහිමි වීම, චීනයේ ස්වාධීන කාර්මික පදනමට ප්‍රධාන උපායමාර්ගික පහරක් වනු ඇත. මේ අර්ථයෙන් ගත් කල, ඉරානයට එරෙහි යුද්ධය ගෝලීය ආධිපත්‍යය සඳහා වන යුද්ධයක් වන අතර එය ටෙහෙරානයට පමනක් නොව, බීජිං, මොස්කව් සහ මැද පෙරදිග බලශක්තිය මත යැපෙන යුරෝපීය අගනගරවලට එරෙහි ව බලහත්කාරකම් කිරීමේ මෙවලමක් වොෂින්ටනයට ලබා දේ. ට්‍රම්ප් පරිපාලනය ඉරානයට පමනක් නොව, එහි නාමික සහචරයින්ට ද තර්ජනය කර ඇත—යුරෝපීය භාන්ඩ සඳහා තීරුබදු පැනවීම, ග්‍රීන්ලන්තයට තර්ජනය කිරීම, වෙනිසියුලානු තෙල් පාලනය අත්පත් කර ගැනීම සහ මහා බලවතුන්ගේ තරඟකාරීත්වයේ නැගී එන යුගයේ දී, පෘථිවියේ උපායමාර්ගික ව වැදගත් වන සෑම කලාපයක් කෙරෙහි ම ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපදය තම මිලිටරි ආධිපත්‍යය භාවිතා කිරීමට අරමුනු කරන බව පෙන්වා දී තිබේ.

17. මෙම යුද්ධය සක්‍රීය කිරීමේ දී ඩිමොක්‍රටික් පක්ෂයේ කාර්යභාරය, එය ට්‍රම්ප්ගේ සහචරයෙකු බව හෙලි කරයි. ඉරානයට එරෙහි ව දැන් යොදවා ඇති සෑම ආයුධයකට ම ඔවුන් අරමුදල් සපයා ඇත. ඩොලර් බිලියන 901 ක ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත දෙසැම්බර් මාසයේ දී නියෝජිත මන්ත්‍රී මන්ඩලය සම්මත කලේ, ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්ද 115 ක් සමගිනි. සෙනෙට් සභාවේ දී, ඩිමොක්‍රටික් පක්ෂයෙන් තුනෙන් දෙකක් පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කලහ. ජනවාරි මාසයේ දී, ඩිමොක්‍රටික් පක්ෂයෙන් 149 ක් ඩොලර් බිලියන 839 ක ආරක්ෂක විසර්ජන සඳහා ඡන්දය දුන්හ. ප්‍රහාරයට පෙර සතිවල දී, 2003 ඉරාක ආක්‍රමනයෙන් පසු විශාලතම මිලිටරි ගොඩනැගීම සිදුවෙමින් තිබෙන විට, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සුලුතර නායක හකීම් ජෙෆ්‍රිස් හෝ සෙනෙට් සභාවේ සුලුතර නායක චක් ෂුමර් හෝ සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් හෝ නියෝජිත ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් (ඒඕසී) යුද්ධය වැලැක්වීම සඳහා කිසිදු බැරෑරුම් උත්සාහයක් ගත්තේ නැත. ඊට පටහැනි ව, මියුනිච් ආරක්ෂක සමුලුවේ දී ඒඕසී කලේ, ට්‍රම්ප් පාලනයේ පාලන තන්ත්‍ර මාරු කතා පුනරුච්ඡානය කිරීම යි. පෙන්සිල්වේනියාවේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික ජෝන් ෆෙටර්මන් ඉරානයට බෝම්බ හෙලීම සඳහා තම සහයෝගය පැහැදිලිවම පොරොන්දු වෙමින් නිව්ස්මැක්ස් හිදී මෙසේ ප්‍රකාශ කලේ ය: “මම සම්පූර්නයෙන්ම සහයෝගය දැක්වූයෙමි; එම මැදියම් රෑ ප්‍රහාරයට ඔල්වරසන් දුන්නෙමි.” කොංග්‍රස් මන්ඩලයේ අවසරයකින් තොර ව ඉරානයට එරෙහි ව බලය යෙදවීම තහනම් කරන යෝජනාවකට පැහැදිලි ව ම විරුද්ධ වෙමින්, ඩිමොක්‍රටික් නියෝජිත ජොෂ් ගොටයිමර් ද්විපාර්ශ්වික ප්‍රකාශයක් නිකුත් කලේ ය. ඩිමොක්‍රටික් සෙනෙට් සභික මාර්ක් වෝනර් මෙසේ ප්‍රකාශ කලේ ය: “ජනාධිපතිවරයාගේ මේසය මත සියලු විකල්ප තිබීම සුදුසු යැයි මම සිතමි.”

18. ට්‍රම්ප් භාවිතා කරන සියලු ඉරාන විරෝධී කුරිරු ප්‍රචාරයන් ඩිමොක්‍රටික් පක්ෂය විසින් ප්‍රවර්ධනය කරයි. “ත්‍රස්තවාදයේ අංක එකේ රාජ්‍ය අනුග්‍රාහකයා” ලෙස ඉරානය විදහා පෙන්වන ඔවුහු එය පුනුරුච්චාරනය කරති. ඉරානයට කිසිදාක න්‍යෂ්ටික අවියක් නොතිබූ බව සහතික කිරීමේ අවශ්‍යතාවයේ සිට, ඉස්ලාමීය සමූහාන්ඩුව අද්විතීය ලෙස පීඩාකාරී බවට කරන ප්‍රකාශය දක්වා (ඊජිප්තුව, සෞදි අරාබිය සහ කුඩා ගල්ෆ් රාජ්‍යයන්හි ම්ලේච්ඡ එක්සත් ජනපද පිටුබලය ලත් ඒකාධිපතිත්වයන් ඇති කලාපයක) පාලන තන්ත්‍ර වෙනසක් සඳහා ගෙතූ සෑම බොරු තර්කයක්ම ඔවුහු ප්‍රතිචක්‍රීකරනය කරති. ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් කතා කරන නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, කමේනි ඝාතනය කිරීමට “පසුබිම සඳහා කොන්දේසි සැකසීමට”  නිර්මානය කරන ලද ප්‍රහාර ඇතුලු ව, යුද්ධය සඳහා මහජන මතය යුක්තිසහගත කිරීමට  ද එය සූදානම් කිරීමට ද ක්‍රියාකාරී ව සම්බන්ධ විය. දැන් යුද්ධය දියත් කර ඇති බැවින්, ඩිමොක්‍රටික් පක්ෂයේ “විරුද්ධත්වය” සම්පූර්නයෙන් ම සමන්විත වන්නේ, එයට කොංග්‍රස් අනුමැතියක් නොමැතිකම පිලිබඳ ක්‍රියා පටිපාටික පැමිනිලි වලින් මිස, යුද්ධයට ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක එක් වචනයක් හෝ ප්‍රකාශ කිරීමෙන් නොවේ. ජෙෆ්‍රිස් විසින් ම ප්‍රකාශ කලේ, “දුෂ්ඨයෙකු වන ඉරානයට ආක්‍රමනශීලී ව මුහුන දිය යුතු ය” යනුවෙනි. මෙය යුද්ධයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් නොවේ. එය ක්‍රියාත්මක කිරීමේ තීරනය වෙනුවෙන් කල ඉල්ලීමකි.

19. ඉරානයට එල්ල කරන ප්‍රහාරය, එම රටට එරෙහි ව ඇමරිකානු අධිරාජ්‍යවාදී ආක්‍රමනයේ වසර 73 ක ඉතිහාසයේ ප්‍රතිඵලයකි—එය, ඉරානයේ ප්‍රතිරෝධය දැක්වීම, අතාර්කික හෝ අප්‍රකෝපිත එකක් ලෙස ඉදිරිපත් කරන ප්‍රචාරනය විකාරයක් බවට පත් කරන ඉතිහාසයකි. 1953 දී, සීඅයිඒ සහ බ්‍රිතාන්‍ය MI6 (බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය), ඉරාන තෙල්වල බටහිර පාලනය සුරක්ෂිත කිරීම සඳහා ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදී ව තේරී පත් ව සිටි අගමැති මොහොමඩ් මොසාඩෙග් බලයෙන් පහ කලේ ය; එහි දී ටෙහෙරානයේ වීදිවල පුද්ගලයින් 300 ක් පමන මිය ගියහ. වසර 26 ක් තිස්සේ එක්සත් ජනපදය ෂා ඒකාධිපතිත්වයට අනුග්‍රහය දැක්වූ අතර, වධහිංසා සහ මර්දනය කිරීමේ ක්‍රම පිලිබඳව සවාක් රහස් පොලිසිය පුහුනු කර සන්නද්ධ කලේ ය. 1980-88 ඉරාන-ඉරාක යුද්ධයේ දී, එක්සත් ජනපදය සදාම් හුසේන්ගේ පාලනයට බුද්ධි තොරතුරු සැපයී ය; එසේ කලේ, ඉරාකය, ඉරාන සොල්දාදුවන්ට එරෙහි ව රසායනික අවි ප්‍රහාර යොමු කිරීමට භාවිතා කරන දැනුවත්ව සිටිමින් වන අතර,  එලෙස ගෑස්ප්‍රහාරවලින් මියගිය ඉරාන සොල්දාදුවන් දහස් ගනනකි. 1988 ජූලි මාසයේ දී, USS Vincennes යුද නෞකාව ඉරාන Air Flight 655 ගුවන් යානයට වෙඩි තබා බිම හෙලන ලද අතර, ලමුන් 66 දෙනෙකු ඇතුලු ව මගීන් සහ කාර්ය මන්ඩලයේ 290 දෙනෙක් මිය ගියහ; යුධ නෞකාවේ කපිතාන්වරයාට ලීජන් ඔෆ් මෙරිට් සම්මානය පිරිනමන ලදී. 2007 සිට, ඇමරිකානු අනුග්‍රහය ඇති ව ඊශ්‍රායලය, කාර් බෝම්බයක්, චුම්බක උපාංගයක් සහ දුරස්ථ පාලක මැෂින් තුවක්කුවක් භාවිතා කරමින් අවම වශයෙන් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් හත් දෙනෙකු ඝාතනය කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක් ව සංවර්ධනය කරන ලද Stuxnet සයිබර් අවිය, නටාන්ස් (න්‍යෂ්ඨික) පහසුකමේ කේන්ද්‍රාපසාරක (centrifuges) 1,000 ක් පමන විනාශ කලේය. 2020 ජනවාරි මාසයේ දී, එක්සත් ජනපදය බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ජෙනරාල් කසෙම් සොලෙයිමානි ඝාතනය කලේ ය. 2025 ජුනි මාසයේ දී, එක්සත් ජනපදය ජාත්‍යන්තර ආරක්ෂක විධිවිධාන යටතේ ක්‍රියාත්මක වූ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලී ය; එහි දී පුද්ගලයින් 1,000 කට අධික සංඛ්‍යාවක් මිය ගිය අතර විශේෂයෙන් ඉලක්ක කර තිබුනේ තම නිවෙස්වල සිටි න්‍යෂ්ටික විද්‍යාඥයින් ය. දැන්, 2026 පෙබරවාරි මාසයේ දී, එය රටේ රාජ්‍ය නායකයා ඇතුලු තවත් ඉහල නිලධාරීන් දුසිම් ගනනක් ඝාතනය කර ඇති අතර, ප්‍රාථමික පාසලකට බෝම්බ හෙලා ඇත. මේ සියල්ලෙන් පසුවත්, එක්සත් ජනපදය කෙරෙහි ඉරානයේ පසමිතුරුකම අතාර්කිකයැයි විස්තර කිරීම, විශ්ලේෂනයක් නොවේ. එය අධිරාජ්‍ය බලවතු තමන්ගේ අවශ්‍යතා සඳහා යොදාගන්නා මිථ්‍යාවකි.

20. එපමනක් නොව, මෙය ඒ හා සමගාමී ව ඇමරිකානු ජනතාව සමඟ ද යුද්ධයක යෙදී සිටින ආන්ඩුවක් විසින් දියත් කරනු ලබන යුද්ධයකි. ට්‍රම්ප් පරිපාලනය ක්‍රමානුකූල ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් බිඳ දමමින්, සිවිල් සේවය විරේක කරමින්, දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව ෆෙඩරල් ආයතන සන්නද්ධ කරමින්, අධිකරනයට පහර දෙමින්, සමාජ වැඩසටහන් කපා දමමින් සහ විධායකය තුල පෙර නොවූ විරූ බලය සංකේන්ද්‍රනය කරගනිමින් සිටී. සංක්‍රමනිකයන් බිය ගැන්වීමට, ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමට සහ ඇමරිකානු නගර සහ ප්‍රත්‍යන්ත ප්‍රදේශ -අයිතිවාසිකම් පනත උල්ලංඝනය කරන- පොලිස් රාජ්‍ය ක්‍රමවලට යටත් කිරීමට එය අයිසීඊ සහ සීබීපී ඒජන්තයින් යොදවා ඇත. ඉරානයට එරෙහි ව මෙම සාපරාධී යුද්ධය දියත් කල එම පාලනාධිකාරිය ම තම රට තුල ඒකාධිපතිත්වයක් පැනවීමට උත්සාහ කරයි. කම්කරු පන්තිය සැබෑ වැටුප් පහත වැටීම, නිවාස අර්බුදය, රාජ්‍ය සේවාවන් බිඳ වැටීම සහ පසුගිය සියවස තුල දිනාගත් සෑම සමාජ ප්‍රතිලාභයක් ම ඛාදනයට ලක්වීම සිදුවන අතරතුර, එය පාලනය කරනු ලබන්නේ ධනය අශිෂ්ට මට්ටම් කරා ලඟා වී ඇති මූල්‍ය කතිපයාධිකාරයක අවශ්‍යතා වෙනුවෙනි. ඉරානයට එරෙහි යුද්ධය සහ ඇමරිකානු කම්කරු පන්තියට එරෙහි යුද්ධය වෙන් වූ ප්‍රපංචයන් නොවේ. ඒවා, එක ම ප්‍රහාරයක පෙරමුනු දෙකකි. විදේශයන්හි මිලිටරිවාදය සැමවිටම සේවය කර ඇත්තේ, සිය රට තුල (මහජනයාට එරෙහි) සමාජ ප්‍රතිප්‍රහාරයේ මෙවලම සහ සහායකයා ලෙසිනි.

2026 ජනවාරි 15 ​​වන දින මිනෙසොටාහි රිච්ෆීල්ඩ් හි දී, 'NOT ICE' මුහුනු ආවරනයක් පැලඳ සිටින අයෙකු ද ඇතුලුව, තම වාහන අසලින් ගමන් කරන ආගමන සහ රේගු බලාත්මක කිරීමේ (අයිසීඊ) නියෝජිතයන් පිරිසක් [AP Photo/Adam Gray]

21. එක්සත් ජනපදයේ, ඉරානයේ, යුරෝපයේ සහ ලොව පුරා කම්කරු පන්තිය මෙම සාපරාධී යුද්ධයට එරෙහි ව බලමුලු ගැන්විය යුතු ය. ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කොටසක් එය නැවැත්වීමට ක්‍රියා නොකරයි. ඉහත පෙන්වා දී ඇති පරිදි, ඩිමොක්‍රටික් පක්ෂය අධිරාජ්‍යවාදයට විරෝධකයක් නොවේ. ඩිමොක්‍රටික් පක්ෂයට සහ ධනේශ්වර රාජ්‍යයට අත පය ගැටගසා ඇති වෘත්තීය සමිති නිලධරයන් කිසිවක් නොකරනු ඇත. මෙම ආයතන වටා නැංගුරම්ලා ඇති ව්‍යාජ වාම සංවිධාන සේවය කරන්නේ මහජන විරුද්ධත්වය නැවත ධනේශ්වර දේශපාලනයේ රාමුවට කොටු කිරීමට පමනි.

22 ඉරානයට විරුද්ධ සාපරාධී යුද්ධයට එරෙහි සටනේදී සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පහත සඳහන් ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරයි:

  • ඉරානයට එරෙහි සියලුම එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් වහාම සහ කොන්දේසි විරහිතව නතර කිරීම. එක බෝම්බයක්වත්, එක ඩ්‍රෝන යානයක්වත් තවත් එපා. ඒ සමඟ, මැද පෙරදිග පුරා පුලුල් එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමන මෙහෙයුම—ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරය සහ ත්‍රස්තවාදය, අවහිර කිරීම් සහ මිලිටරි බලය හරහා මුලු කලාපයම යටත් කර ගැනීම අරමුනු කරගත් තීව්‍ර වන ප්‍රහාර ඇතුලු ව මෙම යුද්ධය දැන් නතර කල යුතු ය.

  • මැද පෙරදිගින් සියලු ම ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම සහ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ යටිතල පහසුකම් ලෙස සේවය කරන සිය ගනනක් හමුදා කඳවුරු වසා දැමීම. පර්සියානු ගල්ෆ් කලාපය පුරා—කටාර්, බහරේන්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ජෝර්දානය සහ ඉරාකය යන රටවල—ඇමරිකානු හමුදා ස්ථාපනයන්හි දැවැන්ත ජාලය පවතින්නේ ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීමට නොව, ලෝකයේ බලශක්ති සම්පත් මත ඇමරිකානු මූල්‍ය ප්‍රාග්ධනයේ බලය ප්‍රවර්ධනය කිරීමට ය.

  • නේටෝව විසුරුවා හැරීම සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දැවැන්ත මිලිටරි-බුද්ධි උපකරනය මුලුමනින්ම අහෝසි කිරීම. වසරකට ඩොලර් ට්‍රිලියන 1 කට වඩා පෙන්ටගනයට සහ බුද්ධි අංශ වෙත ‌පොම්ප කෙරෙන අතර, එය සමාජ සම්පත්, ඝාතක යාන්ත්‍රනය වෙත දැවැන්ත ලෙස හරවා යැවීමකි. මෙම සම්පත් කම්කරු පන්තියේ දැවෙන සමාජ අවශ්‍යතා: සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, නිවාස සහ බිඳ වැටෙන යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සපුරාලීම සඳහා හරවා යැවිය යුතු ය.

  • ඉරානයට සහ අනෙකුත් සෑම රටකට ම එරෙහි සියලු ආකාරයේ සම්බාධක සහ ආර්ථික යුද්ධ ප්‍රතික්ෂේප කිරීම. ඖෂධ සහ අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා ප්‍රවේශය සීමා කරමින් දශක ගනනාවක් තිස්සේ ඉරාන ආර්ථිකයේ ගෙල සිර කර ඇති සම්බාධක තන්ත්‍රය, සමස්ත ජනගහනයකට එරෙහි ව යොමු කරන ලද සාමූහික දඬුවමකි. එයට වහාම තිත තැබිය යුතු ය.

  • මෙම යුද්ධයේ නිර්මාපකයින් සහ අපරාධකරුවන්ගේ සම්පූර්න වගවීම. එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් කොංග්‍රස් අනුමැතියකින් තොරව ආක්‍රමනශීලී යුද්ධයක් දියත් කිරීම අපරාධකාරී ක්‍රියාවකි. රාජ්‍ය නායකයෙකු ඝාතනය කිරීම සහ ප්‍රාථමික පාසලක් ඇතුලු සිවිල් ඉලක්කවලට බෝම්බ හෙලීම සැලසුම් කර ක්‍රියාත්මක කල ජනාධිපතිවරයාගේ සිට මිලිටරිය සහ බුද්ධි අංශ නිලධාරීන් දක්වා වගකිවයුතු සියල්ලන්ට දඬුවම් පැමිනවිය යුතු ය.

  • ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ පුලුල් කිරීම. යුද්ධයට එරෙහි සටන ඇමරිකානු රාජ්‍යයේ ෆැසිස්ට් පරිනාමයට එරෙහි සටනෙන් වෙන් කල නොහැක. කොංග්‍රස් අනුමැතියකින් තොර ව ඉරානයට බෝම්බ හෙලන එම ආන්ඩුව ම, රට තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කරමින්, අධිකරනයට පහර දෙමින්, ෆෙඩරල් ආයතන ආයුධ සන්නද්ධ කරමින් සහ විරුද්ධ මත සාපරාධීකරනය කරමින් සිටී. කම්කරු පන්තිය, මර්දනයට බිය නොවී විරෝධතා දැක්වීමට, සංවිධානය වීමට සහ පවතින ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීමට ඇති අයිතිය  ආරක්ෂා කරගත යුතු ය.

23. දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කොටසකට කරන ආයාචනා මගින් මෙම ඉල්ලීම් සාක්ෂාත් කරගත නොහැකි ය. එයට, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. සැබෑ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය මූලධර්ම හතරක් මත පදනම් විය යුතු බව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තහවුරු කර ඇත:

  • පලමුව, යුද්ධයට එරෙහි අරගලය සමාජයේ ශ්‍රේෂ්ඨ විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතු අතර, එය ජනගහනයේ සියලු ප්‍රගතිශීලී කොටස් තමන් පිටුපස එක්සත් කරගත යුතුය.

  • දෙවනුව, නව යුද විරෝධී ව්‍යාපාරය ධනවාදී විරෝධී සහ සමාජවාදී විය යුතුය, මන්ද, මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාදායකත්වය සහ මිලිටරිවාදයේ සහ යුද්ධයේ මූලික හේතුව වන ආර්ථික ක්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව,  යුද්ධයට එරෙහි බරපතල අරගලයක් තිබිය නොහැකි බැවිනි.

  • තෙවනුව, නව යුද විරෝධී ව්‍යාපාරය ධනපති පන්තියේ සියලුම දේශපාලන පක්ෂ සහ සංවිධානවලට සතුරු වන අතර, ඒවායින් මුලුමනින්ම සහ නිසැකවම ස්වාධීන විය යුතුය.

  • සිව්වනුව, නව යුද විරෝධී ව්‍යාපාරය, සියල්ලටත් වඩා, ජාත්‍යන්තර විය යුතු අතර, අධිරාජ්‍යවාදයට එරෙහි ඒකාබද්ධ ගෝලීය අරගලයක් තුල කම්කරු පන්තියේ දැවැන්ත බලය බලමුලු ගැන්විය යුතු ය.

24. ජීවිත අහිමි කරන, සම්පත් ගිලගන්නා, උද්ධමනය ඉහල නංවන සහ ඒකාධිපතිත්වය කරා යන ධාවනය වේගවත් කරන යුද්ධයකින් ඇමරිකානු කම්කරුවන්ට ලබා ගැනීමට කිසිවක් නැති අතර, සියල්ල අහිමි වීමට නියමිත ය. යුද්ධයට එරෙහි සටන, එය උත්පාදනය කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනෙන් වෙන් කල නොහැකි ය. අධිරාජ්‍යවාදය ප්‍රතිපත්තිමය තේරීමක් නොවේ; එය ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ ආර්ථිකයක් සහ එහි ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බෙදීම අතර ප්‍රතිවිරෝධතාවයේ නොවැලැක්විය හැකි නිෂ්පාදනයකි, ඒ සෑම එකක්ම දේශීය ව කම්කරු පන්තිය සූරාකෑම සහ විදේශයන්හි සම්පත් සහ වෙලඳපොලවල් කොල්ලකෑම හරහා තම අවශ්‍යතා හඹා යන පාලක පන්තියක් විසින් ආධිපත්‍යය දරනු ලැබේ. මෙම යුද්ධය නැවැත්වීමේ අරගලය යනු, මුලු මහත් ලාභ පද්ධතියට තිත තැබීමේ සහ ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස යල් පැන ගිය බෙදීම ලෝක සමාජවාදී සමූහාන්ඩුවකින් විස්ථාපනය කිරීමේ අරගලයයි, එහි දී මානව වර්ගයාගේ නිෂ්පාදන බලවේග, සියල්ලන්ගේ ම ප්‍රයෝජනය සඳහා යොදා ගනු ලැබේ.

25. මෙම යුද්ධය වහා ම අවසන් කරන ලෙස ඉල්ලා, ඔබේ කර්මාන්තශාලා, සේවා ස්ථාන, පාසල් සහ අසල්වැසි ප්‍රදේශවල රැස්වීම් කැඳවන්න. ඇමරිකානු ජනතාව මෙම යුද්ධයට විරුද්ධ බවත්, එය වහා ම අවසන් කරන ලෙස ඉල්ලා සිටින බවත් ලෝකය දැනගත යුතු ය. ආස්ථානයක් ගන්න. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව බලගතු ව්‍යාපාරයක් ගොඩනැගීමේ සටනේ දී සමාජවාදී සමානතා පක්ෂයට ඒකාබද්ධ වන්න.

Loading