ඉදිරිදර්ශන

අධිරාජ්‍යවාදී යුද්ධයට හා ෆැසිස්ට්වාදයට පිලිතුර ලෝක සමාජවාදී විප්ලවයයි

[මෙය 2026 පෙබරවාරි 19 වැනි දා World Socialist Revolution is the answer to imperialist war and fascism
මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

තුර්කියේ ඇන්කාරා නුවර බිල්කෙන්ට් විශ්ව විද්‍යාලයේ සහ මැද පෙරදිග තාක්ෂනික විශ්ව විද්‍යාලයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගම්වල ආරාධනය පරිදි ඩේවිඩ් නෝර්ත් මාර්ගගත දේශන පැවැත්වීය. පහත පලවන්නේ පෙබරවාරි 19 දින පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනයයි.

***

කොංග්‍රසය අමතා ට්‍රම්ප් කල ෆැසිස්ට් කථාවට සමාජවාදී සමානතා පක්ෂය පිලිතුරු දෙයි

ඩිට්‍රොයිට් නගරයේ සිට ඔබට කතා කිරීමට ලැබුනු මෙම අවස්ථාව මම සාදරයෙන් පිලිගනිමි. මේ සඳහා ආරාධනා කල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගමයට ස්තුති කිරීමට මට අවසර දෙන්න.

අප මේ රැස්වීම පවත්වන්නේ ඉතා ගැඹුරු අර්බුදයක් මැද්දේ ය. ඉරානයට එරෙහි ව ඇමරිකානු හා ඊශ්‍රායල් ප්‍රහාරයක් කොයි මොහොතක හෝ සිදුවීමේ අනතුර පවතී. මීට  පැය කීපයකට පෙර නිව්යෝර්ක් ටයිම්ස් හි පලවූ වාර්තාවකට අනුව : 

“...මැද පෙරදිගට ඇමරිකානු හමුදා වේගයෙන් ඒකරාශි කිරීම, රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ හෝ යුද්ධයේ ඉහල ලංසුවල තෝරා ගැනීමකට ධවල මන්දිරයට අවස්ථාව දෙමින්, මේ සති අන්තය තරම් ඉක්මනින් ඉරානයට එරෙහි යුදමය ක්‍රියාමාර්ග ගැනීමේ විකල්පය ජනාධිපති ට්‍රම්ප්ට ලබාදෙන මට්ටම දක්වා වර්ධනය වී ඇතැයි පරිපාලනයේ හා පෙන්ටගනයේ නිලධාරීහු පැවසූහ.

සති කීපයක සිටම සීරුවෙන් තබා සිටින ඊශ්‍රායල හමුදා ඇතිවිය හැකි යුද්ධයකට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින අතර මීලඟ ඉරිදාට යොදා තිබුනු ඊශ්‍රායල ආරක්ෂක කැබිනට්ටුවේ රැස්වීම බ්‍රහස්පතින්දා [එනම් අද] දක්වා ඉදිරියට ගෙනවිත් තිබෙන බව ඊශ්‍රායල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනක් පැවසූහ. ...”

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක), එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය ඉරානයට එරෙහි ව සැලසුම් කර තිබෙන යුද්ධය හෙලා දකී. එය ජාත්‍යන්තර නීතිය විවෘත ව ම උල්ලංඝනය කිරීමකි. එය, 1945-1946 නියුරෙම්බර්ග් යුද අපරාධ නඩුවලදී නාසීන්ට එරෙහිව එල්ල කල ප්‍රධාන චෝදනාව වූ “සාමයට විරුද්ධ අපරාධ” ගනයට වැටේ. 

ෆැසිස්ට්වාදී ට්‍රම්ප් ආන්ඩුවට ඕනෑ ම අපරාධයක් කල හැකි ය. එය විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්නේ හිට්ලර්ගේ තුන්වන රයිකයේ පිලිවෙලට ය. 

පසුගිය සති හය තුල දී පමනක් ට්‍රම්ප් තන්ත්‍රය වෙනිසියුලාවට පහර දී එහි ජනාධිපති පැහැර ගත්තේ ය. කියුබාවට තෙල් ගෙන ඒමට නොහැකි වන ලෙස එහි වරායවල් අවහිර කොට එහි ජනතාව හාමත් කලේ ය. ගාසාවේ සිදුකෙරෙමින් පවතින ජන සංහාරයට ට්‍රම්ප් තන්ත්‍රය සහයෝගය දක්වයි. 

ඊලඟ දින කීපය තුල දී යුද්ධය ආරම්භ උනත් නැතත්, ඊලඟ සති කිහිපය තුල එය ආරම්භ උනත් නැතත්, ඊලඟ මාසවලදී එය ආරම්භ උනත් නැතත් එය ආරම්භ වන බව ගැන සැකයක් නැත. තානාපතිවරුන් අතර සාකච්ඡා මගින් විසඳුමකට එලඹි බව හදිසියේ ම ප්‍රකාශයට පත් කෙරුනත් එයින් ප්‍රහාරයේ කාල සටහනේ වෙනසකට වැඩි දෙයක් සිදු නොවනු ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අරමුනු — එනම් සමස්ත ග්‍රහ ලෝකය ම තම අනසකට යටත් කර ගැනීම — සාමයෙන් සිදු කල නොහැක. ඔවුන්ගේ දෘෂ්ටි කෝනයෙන් බලන විට ඉරානයට විරුද්ධ යුද්ධය, චීනයට විරුද්ධ ගැටුමට සූදානම් වීමේ අත්‍යවශ්‍ය අවධියකි. 

අධිරාජ්‍යවාදී සහ ධනපති ආන්ඩුවලට ආයාචනා කිරීමෙන් යුද්ධය නැවැත්විය නොහැක. ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙවන ලෝක යුද්ධය අබියස දී මුහුන දුන් තත්වයට සමාන තත්වයකට අද මුහුන දී සිටියි. එම සමාන කිරීම ප්‍රමානවත් නොවන්නේ අද සිදුවන යුද්ධයක ප්‍රතිවිපාක වසර 87 කට පෙර සිදු වූ යුද්ධයේ ප්‍රතිවිපාක වලට වඩා අතිශයින්ම ගොරතර වන බැවිනි.  සියලුම මනුෂ්‍ය ජීවීන් විනාශ කරන න්‍යෂ්ටික යුද්ධයකට මානව වර්ගයා මුහුන දී සිටී. 

1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ලියන ලද පහත සඳහන් වචනවලට ඉමහත් හදිසි භාවයක් ගෙන දෙන්නේ මේ තත්වය යි. “මීලඟ ඓතිහාසික යුගයේ දී සමාජවාදී විප්ලවයක් සිදු නොවුනොත් ඉමහත් විපතක්  සමස්ත මනුෂ්‍ය සංස්කෘතියටම තර්ජනය කරයි.”

අද අප පවත්වන මේ රැස්වීම එතරම් වැදගත් වන්නේ එ නිසා ය. ලියොන් ට්‍රොට්ස්කි ගේ ජීවිතය සහ ඔහු ඉෂ්ඨ කල කාර්ය භාරය පිලිබඳව ප්‍රවේසම් සහගත හැදෑරීමකට නොගොස් යමෙකුට සමාජවාදී විප්ලවය ගැන  බැරෑරුම් ව කතා කල නොහැක.

ට්‍රොට්ස්කි ගේ ජීවිතයේ ඉතාම වැදගත් වර්ෂ කීපයක් ගතවූයේ තුර්කියේ දී ය: එයිනුත් වැඩි හරිය බියුකාඩා නම් දූපතේ දී ය. වර්ෂ 1929 සහ 1930 අතර කාලයේදී  ඔහු “මගේ ජීවිතය” නම් ස්වයං චරිතාපදානය ද “රුසියානු විප්ලවයේ ඉතිහාසය” නම් ශ්‍රේෂ්ඨ කෘතිය ද ලිවීය. ජර්මනියේ දේශපාලන තත්වය විෂ්ලේෂනය කරමින්, ජර්මන් කොමියුනිස්ට් පක්ෂයේ විනාශකාරී ප්‍රතිපත්ති හිට්ලර්ගේ නාසි පක්ෂයට බලයට පැමිනීමට පාර කපන බවට අනතුරු ඇඟ වූ ශ්‍රේෂ්ඨ දේශපාලන ලියවිලි ද ඔහු ලිවී ය. අවසාන වශයෙන්,1933 ජූලි මාසයේ දී බියුකාඩාවෙන් පිට ව යාමට පෙර ඔහු හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා කැඳවුම නිකුත් කලේ ය. 

1929 ජනවාරියේ දී ස්ටැලින් විසින් නායකත්වය දෙන ලද නිලධාරිවාදී තන්ත්‍රය ලියොන් ට්‍රොට්ස්කි සෝවියට් සංගමයෙන් පිටුවහල් කලේ ය. ඊට පෙරාතු වර්ෂ පහ තුල දී ඔහු 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පිහිට වූ කම්කරු රාජ්‍යයේ නිලධාරිවාදී පරිහානියට එරෙහි ව, 1923 දී පිහිට වූ වාම විරුද්ධ පාර්ශවයේ අරගලයට නායකත්වය දුන්නේ ය. ස්ටැලින්වාදී නිලධරයේ බොරු ප්‍රචාර නොතකා,1917 දී බොල්ෂෙවික් පක්ෂය රාජ්‍ය බලය ලබා ගැනීමේ දී හා 1918 - 1921 අතර කාලයේ අධිරාජ්‍යවාදී ආක්‍රමනයේ දී සෝවියට් සංගමය ආරක්ෂා කර ගැනීමේ අරගලයේ දී ට්‍රොට්ස්කි, ලෙනින්ට සමාන කාර්ය භාරයක් ඉටුකල බව ඓතිහාසික සත්‍යයක් ලෙස පවතී. 

ට්‍රොට්ස්කි ගේ කාර්ය භාරය පිලිබඳ එම තක්සේරුව පහත සඳහන් කරුනු මත පදනම් වේ: 

බොල්ෂෙවික් වරුන් රාජ්‍ය බලය සියතට ගැනීමෙන් මුදුන් පත් වූ ඉදිරි දර්ශනය පදනම් වූයේ ට්‍රොට්ස්කි 1905 විප්ලවයේ  පාඩම් මත වර්ධනය කල නොනවතින විප්ලව න්‍යාය මත ය. රුසියාවේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය,  කම්කරු පන්තිය විසින් ධනපති පන්තිය පෙරලා දමා රාජ්‍ය බලය සියතට ගන්නා සමාජවාදී විප්ලවයක ස්වභාවය ගන්නා බව ට්‍රොට්ස්කි පෙර දුටුවේ ය. එපමනක් නොව රුසියානු විප්ලවය හුදෙක් ජාතික සිද්ධියක් නොව එහි ඉරනම ලෝක සමාජවාදී විප්ලවය සමග වෙන් කල නොහැකි ලෙස බැඳී පවතී.

1917 අප්‍රේල් මාසයේ දී රුසියාවට ආපසු පැමිනි ලෙනින් යොදා ගත් ඉදිරි දර්ශනය එයයි. 1914 දී අධිරාජ්‍යවාදී ලෝක යුද්ධය පුපුරා යාමේ ප්‍රතිඵලයක් ලෙස ලෙනින්, රුසියාවේ පන්ති ගතිකයන් පිලිබඳ තම තක්සේරුව වෙනස් කලේ ය. නිර්ධන පංතියේ සහ ගොවි ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වය යන බොල්ෂෙවික් පක්ෂය දිගුකලක් තිස්සේ යොදා ගෙන සිටි ක්‍රියා මාර්ගය ඔහු අත්හැර දැමූ අතර සාර්වාදී තන්ත්‍රය පෙරලා දැමීම මගින් පැන නගින කර්තව්‍යය වන්නේ කම්කරු පන්තිය අතට රාජ්‍ය බලය ගැනීම බව ඔහු තර්ක කලේය. 

ලෙනින් සහ ට්‍රොට්ස්කි මොස්කව්හි රතු චතුරශ්‍රයේ දී ; 1919.

දෙවන ජාත්‍යන්තරයේ සහ එහි රුසියානු අනුගාමිකයන් වූ මෙන්ෂෙවිකයන්ගේ ප්‍රතිගාමී ක්‍රියා කලාපය ලෝක යුද්ධය විසින් හෙලිදරව් කරද්දී, 1903 සිට අවස්ථාවාදී සහ මාධ්‍යමික ප්‍රවනතාවන්ට එරෙහිව ලෙනින් කල අරගලයේ නිරවද්‍යභාවය ට්‍රොට්ස්කි අවබෝධ කර ගත්තේ ය. 

මෙලෙස බොල්ෂෙවික් පක්ෂයේ ක්‍රියාමාර්ගය වෙනස්වීම සහ ට්‍රොට්ස්කි විසින් පක්ෂ සංවිධානය පිලිබඳ ලෙනින්ගේ දූරදර්ශී මූලධර්ම පිලිගැනීම මෙම ඓතිහාසික චරිත දෙක අතර 1917 ට පෙර තිබූ පක්ෂ අභ්‍යන්තර මතභේදය අවසානයකට ගෙන ආවේය. ට්‍රොට්ස්කි සහ ඔහුගේ සම චින්තකයන් බොහොමයක් බොල්ෂෙවික් පක්ෂයට බැඳුනාහ.  1917 සැප්තැම්බරයේ දී ලෙනින් ලියූ පරිදි, ට්‍රොට්ස්කිට වඩා හොඳ වෙනත් බොල්ෂෙවිකයෙක් නොවීය.

මෙලෙස,1917 සැප්තැම්බර්-ඔක්තෝබර් වලදී ට්‍රොට්ස්කි, — සෝවියට් මිලිටරි-විප්ලවීය කමිටුවේ සභාපති හැටියට — රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ප්‍රධාන මූලෝපායිකයා හා සංවිධායකයා විය. 

1918 වසන්ත සෘතුවේ දී ට්‍රොට්ස්කි මිලිටරි කොමිසාර් සහ අලුතෙන් පිහිට වූ රතු හමුදාවේ  උත්තරීතර අන දෙන නිලධාරියා ලෙස පත් කරනු ලැබීය. ඊලඟ වර්ෂ තුන තුල දී, ට්‍රොට්ස්කි ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල් සියල්ලේ ම සහයෝගය ලැබූ ප්‍රතිවිප්ලවවාදී හමුදා වලට එරෙහි ව ඉතා ම තීරනාත්මක කාර්ය භාරය ඉෂ්ට කලේ ය. 

ලෙනින් සහ ට්‍රොට්ස්කි එක් ව, තුන්වන ජාත්‍යන්තරය පිහිටුවීමේ තීරනාත්මක කාර්ය භාරයද ඉෂ්ට කලහ. ඔවුන් දෙදෙනා 1919 සහ 1922 අතර වාර්ෂිකව පැවැත් වූ කොමින්ටර්නයේ පලමු සම්මේලන හතරේ වඩාත්ම බලපෑම් සහිත පුද්ගලයෝ වූහ. එහි දෙවන සම්මේලනය, ලෝකයේ කම්කරුවන්ට නිකුත් කල ඓතිහාසික ප්‍රකාශනය ලියන ලදේ ට්‍රොට්ස්කි විසිනි. එසේම එම සම්මේලන හතරේ වැදගත්ම කථා සියල්ල පවත්වන ලද්දේ ද ට්‍රොට්ස්කි විසිනි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස මෙම ඓතිහාසික සම්මේලන හතරේදී ස්ටැලින් එකම කථාවක් වත් පවත්වා නැත.

කොමියුනිස්ට් ජාත්‍යන්තරය (කොමින්ටර්නය) පිහිටුවීමට පදනම් කරගත් සහ එහි පලමු සම්මේලන හතරට මග පෙන්වූ දේශපාලන මූලෝපාය වූයේ ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහනය ලෝක සමාජවාදී විප්ලවයේ ආරම්භය සනිටුහන් කරනවාය යන්නයි. ඇත්ත වශයෙන්ම 1917 අප්‍රේල් මාසයේ ලෙනින් රුසියාවට ආපසු පැමිනියාට පසුව බොල්ෂෙවික් වරුන්ගේ මූලෝපායික ගනන් බැලීම් පදනම් වූයේ, සියල්ලටමත් වඩා ජාතික තත්වයන් නොව ජාත්‍යන්තර තත්වයන් පිලිබඳ තක්සේරුවක් මත ය.

ට්‍රොට්ස්කි කොමින්ටර්නයේ සම්මේලනයට පැමිනි නියෝජිතයන් හමු වීම.

මුලදී වාම විරුද්ධ පාර්ශ්වය පිහිටුවීමට තුඩු දුන් කාරනා වූයේ ආර්ථික ප්‍රතිපත්ති, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ (ආර්සීපී) නිලධාරීකරනය, පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීම ආදියයි. 1924 වනවිට වඩාත් වැදගත් ප්‍රශ්න ඉස්මත්තට පැමිනියේ ය. ලෙනින්ගේ මරනයෙන් පසු ට්‍රොට්ස්කිට විරුද්ධ ප්‍රහාර තියුනු වන්නට පටන් ගත්තේ ය. ට්‍රොට්ස්කිට විරුද්ධ ව්‍යාපාරයේ ප්‍රතිවිප්ලවවාදී හරය,1924 දෙසැම්බරයේ දී ස්ටැලින් විසින් ලියන ලද රචනාවකින් හෙලිදරව් විය. එහිදී ඔහු ප්‍රථම වරට ඔක්තෝබර් විප්ලවයේ ජාත්‍යන්තරවාදී මූලෝපායට එරෙහිව “තනි රටේ සමාජවාදය” පිලිබඳ ජාතික ස්වෝත්තමවාදී ක්‍රියා මාර්ගය ඉදිරිපත් කලේ ය. 

ගොරහැඬි ලෙස ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසය සහ ලෙනින්ගේ ලියවිලි මුසාකරනය කරමින්, ස්ටැලින්, නොනවතින විප්ලවයේ ක්‍රියා මාර්ගය හෙලා දුටු අතර සෝවියට් සංගමයේ ඉදිරි පැවැත්මට හා සමාජවාදය ගොඩනැගීමට යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ දියුනු ධනපති රටවල සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය අවශ්‍ය නොවන බවත් රුසියාව තුල සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා ප්‍රමානවත් සම්පත් තිබෙන බවත් ප්‍රකාශ කලේ ය.  

ස්ටැලින්ගේ ම වචනවලින් වරක් කී පරිදි, “සමාජවාදයේ ජයග්‍රහනය තනි රටක් තුල සිදු කල නොහැක ; එය කල හැක්කේ යුරෝපයේ ප්‍රධාන රටවල් කීපයක (බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය) ජයග්‍රහනය සිදු වී එම රටවල් යුරෝපීය එක්සත් ජනපදයක් ලෙස බද්ධ වීම තුලින් පමනකි; එසේ නොමැති ව එය කිසිසේත් ම කල නොහැක්කකි” යන ට්‍රොට්ස්කිගේ අවධාරනයට ස්ටැලින් පහර දුන්නේ ය. 

ට්‍රොට්ස්කි ගේ පහත දැක්වෙන ප්‍රකාශයට ස්ටැලින් විශේෂ සැර පරුෂභාවයකින් පහර දුන්නේය. 

“සෙසු යුරෝපීය රටවල ධනේශ්වරය බලයේ සිටිනතාක්, ආර්ථික හුදෙකලාභාවයට එරෙහි අපේ අරගලයේ දී ධනපති ලෝකය සමග යම් යම් එකඟතාවන් ඇතිකර ගැනීමට අපට බල කෙරෙනු ඇත ; එම එකඟතාවන්වලින් අපේ ආර්ථික ව්‍යාධීන් යම් තරමකට සමනය කිරීම හෝ කිසියම් පියවරක් ඉදිරියට ගැනීම පමනක් සිදුවනු ඇති අතර රුසියාවේ සමාජවාදී ආර්ථිකයේ සැබෑ ප්‍රගතියක් ලබාගැනීම කලහැක්කක් බවට පත්වනු ඇත්තේ ප්‍රධාන ධනපති රටවල නිර්ධන පන්තියේ ජයග්‍රහනය තුලින් පමනක් බව ස්ථිර වශයෙන්ම කිව හැකි ය.”

මේ වචන, නොනවතින විප්ලව න්‍යායට “අවසන් ඇනය ගසන” බව ඔහුට ම ආවේනික වංකභාවයෙන්, නරුමත්වයෙන් හා  අදූරදර්ශී ලෙස එවේලේට හරියන විසඳුම් සොයා යාමේ (උපයෝගිතාවාදී) තර්කනයෙන්, ස්ටැලින් කියා සිටියේ ය. 

ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රය ට්‍රොට්ස්කිට හා නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගයට එරෙහි ව ප්‍රහාරය දියත් කොට සියවසකට වඩා කල්ගත වී තිබේ. ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කිරීම, සෝවියට් සංගමයට “අවසන් ඇනය ගැසීම” මගින් වසර 35 කට පෙර එහි මස්තකප්‍රාප්තිය කරා ගියේය. සෝවියට් සංගමයේ සැබෑ ජයග්‍රහනයන් සහ සෝවියට් කම්කරු පන්තියේ අසාමාන්‍ය කැපකිරීම් -විශේෂයෙන් ම දෙවන ලොක යුද්ධයේ දී - තිබියදීත් සමාජවාදය කිසිදා ගොඩනැගුනේ නැත. “තනිරටේ සමාජවාදය” ක්‍රියාමාර්ගය, 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම ඇතුලු ගිනිය නොහැකි තරම් වූ දේශපාලන විනාශයන්ට මග පෑදුවේ ය.

සෝවියට් සංගමය, නිලධරය විසින් සිය කැමැත්තෙන් විසුරුවා හැරීමට පසු ව, පැරනි කොමියුනිස්ට් පක්ෂවල ප්‍රතිගාමී නටඹුන් මෙන්ම ව්‍යාජ වාමවාදී සුලු ධනේශ්වර රැඩිකලුන් හා ජාතිකවාදීන්, ස්ටැලින් තමන්ගේ වීරයා යයි හඬගා කියති. ඔවුහු,  බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වයේ සිටි ලෙනින්ගේ ලඟම සහෝදරවරුන් ඝාතනය කිරීමට නියෝග දීම පමනක් නොව 1936 -1940 අතර කාලයේ දී සිය දහස් ගනන් මාක්ස්වාදී කම්කරුවන්, බුද්ධිමතුන් සහ කලාකරුවන් සමූලඝාතනය කල ලේ වැකි ත්‍රස්තවාදය උසි ගැන්වීම සිදු කල පුද්ගලයා සමග සහෝදරත්වය ප්‍රකාශ කරති. ස්පාඤ්ඤයේ පූමයේ (POUM) නායක අන්ද්‍රෙ නින් ද අවසානයේ ට්‍රොට්ස්කිමත් ඇතුලු ව, සෝවියට් සංගමයේ දේශ සීමා වලින් එපිට සිටි සමාජවාදී නායකයන් ද ස්ටැලින්ගේ ගොදුරු බවට පත් වූවන් අතර වූහ. 

ට්‍රොට්ස්කිගේ මූලෝපායික සංකල්ප, සමස්ත ඉතිහාසය තුලින් සනාථ වී තිබේ. ඇත්ත වශයෙන් ම ධනපති ක්‍රමයේ ගෝලීය අර්බුදය පිලිබඳ ට්‍රොට්ස්කි ගේ විශ්ලේෂනය අති විශේෂ මට්ටමේ අදාලත්වයක් අත්කර ගනී.

1928 දී කසකස්ථානයේ අල්මා අටාවේ පිටුවහලේ සිටිය දී ට්‍රොට්ස්කි, කොමින්ටර්නයේ කෙටුම්පත් ක්‍රියාමාර්ගය පිලිබඳ ව විස්තරාත්මක විග්‍රහයක් ලිවී ය. එය, “තනි රටේ සමාජවාදය” ක්‍රියාමාර්ගයේ න්‍යායික හා මූලෝපායික බංකොලොත්භාවය පිලිබඳ අති ප්‍රබල විශ්ලේෂනයක් විය. එහි අඩංගු එක් තීරනාත්මක ඡේදයක දී ඔහු,  ඓතිහාසික යුගය පිලිබඳ පහත දැක්වෙන තක්සේරුව කරයි: 

“අධිරාජ්‍යවාදයේ යුගය වන අපේ යුගයේ දී - එනම් මූල්‍ය ප්‍රාග්ධනයේ අධිකාරත්වය (හෙජමනිය) යටතේ පවතින ලෝක ආර්ථිකයේ හා ලෝක දේශපාලනයේ යුගයේ දී - එකම කොමියුනිස්ට් පක්ෂයකටවත් තනිකරම හෝ ප්‍රධාන වශයෙන් තමන්ගේ රටේ පවතින වර්ධනයන්ගේ තත්වයන් හෝ ප්‍රවනතාවන්ගෙන් පටන් ගෙන තම ක්‍රියාමාර්ගය තහවුරු කරගත නොහැකිය. සෝවියට් සංගමයේ දේශසීමා තුල රාජ්‍ය බලය දරන පක්ෂයටත් එම කාරනය  සම්පූර්නයෙන්ම අදාල ය. 1914 අගෝස්තු 4 වන දින සියලු ජාතික ක්‍රියාමාර්ගවල මල බෙරය හැඬවුනි. නිර්ධන පංතියේ විප්ලවවාදී පක්ෂයට පදනම් විය හැක්කේ වර්තමාන යුගයේ - එනම් ධනවාදයේ ඉහල ම වර්ධනය හා බිඳීයාම සිදුවන යුගයේ - ස්වභාවයට ගැලපෙන ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් මත පමනකි. ජාත්‍යන්තර කොමියුනිස්ට් ක්‍රියාමාර්ගයක් කිසිම විටෙක ජාතික ක්‍රියාමාර්ග රාශියක සමස්ත එකතුව හෝ ඒවායේ පොදු ලක්ෂන එකතුකර සාදාගත් අච්චාරුවක් නොවේ. ජාත්‍යන්තර ක්‍රියාමාර්ගය කෙලින්ම පටන්ගත යුත්තේ ලෝක ආර්ථිකය හා සමස්තයක් ලෙස ගත් ලෝක දේශපාලනය - එහි සියලු අන්තර් සම්බන්ධතා ද සියලු ප්‍රතිවිරෝධයන් ද එනම් අන්‍යෝන්‍ය වශයෙන් සතුරු නමුත් අන්‍යෝන්‍ය රැඳියාව ද සහිත - පිලිබඳ විෂ්ලේෂනයකිනි. වර්තමාන යුගයේ දී, අතීත යුගයන්ට වඩා බොහෝ දුරට, නිර්ධන පන්තියේ ජාතික දිසානතිය ගලා ආ යුත්තේත් ගලා ආ හැක්කේත්  ලෝක දිසානතියකින් මිස එහි අනෙක් අතට නොවේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය හා සියලු වර්ගවල ජාතික සමාජවාදයන් අතර මූලික හා ප්‍රාථමික වෙනස ඇත්තේ මෙතැන ය.”  

ට්‍රොට්ස්කි තම භාර්යාව, නටාලියා සෙඩෝවා සහ පුත්‍රයා ලෙව් සෙඩෝෆ් සමග අල්මා අටා හිදී, 1928. [Photo: Unknown author - Троцкий Л. Д. Моя жизнь / Предисл. докт. ист. наук И. С. Розенталь. — М.: Вагриус, 2001]

ස්ටැලින්ගේ අනුමැතිය ඇති ව බුඛාරින් විසින් කෙටුම්පත් කරන ලද එම ක්‍රියාමාර්ගය, එහි ජාතිකවාදී දිසානතියේ ප්‍රතිඵලයක් හැටියට, අධිරාජ්‍යවාදී ලෝක පද්ධතියේ පරස්පර විරෝධයන්-විශේෂයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නැගීමෙහි පුපුරන සුලු ඇඟවීම්- වටහාගැනීමට අසමත් වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ කාර්ය භාරය පිලිබඳ සියුම් විශ්ලේෂනයකින් තොර ව ලෝක සමාජවාදී විප්ලවයේ අපේක්ෂාවන් නිවැරදිව සකසාගත නොහැකි බව ට්‍රොට්ස්කි උදක්ම කියා සිටියේ ය. ඔහු එක්සත් ජනපදයේ අධිකාරී කාර්ය භාරය අවධාරනය කලේ ය. කෙසේ වෙතත් එක්සත් ජනපදය අනභිභවනීය යයි මේ විශ්ලේෂනයෙන් ඔහු නිගමනය කලේ නැත. ඒ වෙනුවට, පුදුමාකාර විචක්ෂනභාවයක් ප්‍රදර්ශනය කරමින් ඔහු මෙසේ ලිවීය: 

“හරියට ම එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ශක්තිය හා එයින් පැන නගින නවතාලිය නොහැකි ප්‍රසාරනය නිසා ම, ඇයට සමස්ත ලෝකයේ ම වෙඩි බෙහෙත් තොග — එනම්, පෙරදිග හා අපරදිග අතර එදිරිවාදිකම, පැරනි යුරෝපයේ පන්ති අරගල, යටත්විජිත ජනයාගේ නැගිටීම්, සහ සියලු යුද්ධ හා විප්ලව ආදිය — තමන්ගේ ගොඩනැගිල්ලේ පවුරු පදනම් තුලට රුවා ගන්නට බලකෙරී තිබේ. එක් අතකින් මෙය උතුරු ඇමරිකානු ධනවාදය, නිරතුරු ව ම පෘථිවියේ හැම මුල්ලක ම “නීතිය හා සාමය” පවත්වා ගෙන යාම ගැන උනන්දු වන, අද යුගයේ මූලිකම ප්‍රති විප්ලවවාදී බලවේගය බවට පරිවර්තනය කර ඇත ; අනෙක් අතින් එය, දැනට ම අධිපතිවාදී,  තවමත් ප්‍රසාරනය වන ලෝක අධිරාජ්‍යවාදී බලවේගයක් ඇතුලත දැවැන්ත විප්ලවවාදී පිපිරීමක් සඳහා පදනම සකස් කරයි. 

“... අර්බුද කාලවල දී එක්සත් ජනපදයේ හෙජමනිය (අධිකාරිත්වය) උත්පාත කාලවලට වඩා සම්පූර්න ලෙසත්, විවෘත ලෙසත්, නිර්දය ලෙසත් ක්‍රියාත්මක වනු ඇත. එක්සත් ජනපදය තමන් වැටී සිටින දුෂ්කර තත්වයන් හා ආබාධයන් ජය ගැනීමට සහ ඒවායින් ගැලවීමට උත්සාහ කරනු ඇත්තේ, (එය ආසියාවේ, කැනඩාවේ, දකුනු ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ හෝ යුරෝපය තුල ම සිදුවුවත්, එය යුද්ධයෙන් හෝ සාමයෙන් සිදුවුවත්) මූලික වශයෙන් ම යුරෝපයේ වියදම මතිනි.”

වසර 98 කට පෙර ලියන ලද මේ වචන පුදුමාකාර නිරවද්‍යතාවකින් ට්‍රම්ප් පරිපාලනයේ වර්තමාන ප්‍රතිපත්ති විස්තර කරයි. මා ගිය සතියේ ලියූ ලිපියකින් උපුටා දැක්වීමට අවසර දෙන්න :

“... ට්‍රොට්ස්කි, ගැටුම් කරා යාමට අධිරාජ්‍යවාදයේ තිබෙන පොදු නැමියාව පෙර දුටුවා පමනක් නොවේ: ඔහු අපූර්ව සුවිශේෂීභාවයක් සහිත ව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී ආසක්තයන් ක්‍රියාත්මක වන භූගෝලීය මානයන් ද ඒවා ක්‍රියාත්මක වන නිර්දය ආකාරයන් ද හඳුනා ගත්තේ ය. සියවසකට පමන පසු අද, ට්‍රම්ප් කැනඩාවේ ස්වාධිපත්‍යයට තර්ජනය කරයි, පැනමා ඇල බලෙන් අල්ලා ගනී, වෙනිසියුලාව ආක්‍රමනය කරයි, ග්‍රීන්ලන්තය තමන්ට පවරා දෙන ලෙස ඩෙන්මාර්කයට බල කරයි, ඉරානයට යුදමය විනාශයක් අත්කර දෙන බවට තර්ජනය කරයි.

1934 දී ජර්මන් ෆැසිස්ට්වාදයේ නැගීම හා දෙවන ලෝක යුද්ධයේ ආගමනය සමග ට්‍රොට්ස්කි තම විශ්ලේෂනය තවදුරටත් මුවහත් කලේය : ‘ලෝකය බෙදී ඇත් ද? එය නැවත බෙදීමට අවශ්‍ය ය. ජර්මනියට, එය යුරෝපය සංවිධානය කිරීම පිලිබඳ ප්‍රශ්නයක් විය. එක්සත් ජනපදය ලෝකය සංවිධානය කල යුතුයි. ඉතිහාසය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳු විදාරනය කරා මනුෂ්‍ය වර්ගයා අභිමුඛ කරමින් සිටී.’

මේ වාක්‍යාංශය, එනම් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳු විදාරනය — පරන වී ගිය රූපකයක් නොවේ. එය සාක්ෂාත් වී තිබෙන විද්‍යාත්මක පුරෝකථනයකි.

දෙවන ලෝක සංග්‍රාමය අවසන් වී වසර අසූවකට පසු, එක්සත් ජනපදය තම පාලනය යටතේ, හිට්ලර් හිටියා නම් ඔහුගෙන් ඔල්වරසන් ලබනු ඇති ප්‍රතිගාමී ක්‍රියාමාර්ගයක පදනම මත ලෝකය ප්‍රතිසංවිධානය කිරීමට තමන් අදහස් කරන බව කෙලින්ම කියයි: 

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ පෙබරවාරි 14 දින මියුනිච් ආරක්ෂක සමුලුව ආමතමින් අධිරාජ්‍යවාදී යුදවාදය ද වර්ගවාදී ස්වෝත්තමවාදය ද ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ද එලිපිටම ෆැසිස්ට්වාදී ලෙස සාධාරනීකරනය කල කථාවක් පැවැත්වීය.

2026 පෙබරවාරි 14 වන සෙනසුරාදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ ජර්මනියේ මියුනිච් නුවර මියුනිච් ආරක්ෂක සමුලුව අමතයි. [AP Photo/Alex Brandon]

එම කථාව මියුනිච් නුවර දී පැවැත්වීමත්, කතුවරුන් එක්කෝ දැන නොසිටීමට තරම් මුග්ධ වූ, නැත්නම් දැන සිටියත් ඒ බව පිලිනොගැනීමට තරම් නරුම වූ උත්ප්‍රාසයක් ජනිත කරයි. මියුනිච් වනාහී 1963 සිට ම පශ්චාත් යුද්ධ කාලීන ආරක්ෂක සමුලුව පැවැත් වූ නගරය පමනක් නොවේ. එය, ඇඩොල්ෆ් හිට්ලර් තම දේශපාලන ගමන ආරම්භ කලා වූ ද,1923 දී වයිමාර් ආන්ඩුව පෙරලීමට ඔහුගේ ප්‍රථම උත්සාහය දැරුවා වූ ද, නාසි පක්ෂය තම ප්‍රථම මහජන රැලිය පැවැත් වූ ද, 1938 සැප්තැම්බරයේ දී බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය, චෙකොස්ලොවේකියාව කැබලි වලට කඩා හිට්ලර්ට බාර දුන්නා වූ ද  නගරය ද වේ. බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ පාලක පන්ති, නාසි යුද යන්ත්‍රය තම අධිරාජ්‍යයට හානියක් නොකර දිගට ම එහි අවධානය නැගෙනහිර දෙසට, එනම් සෝවියට් සංගමය දෙසට යොමුකරතැයි යන බලාපොරොත්තුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාන්ඩුවක් මෙන් මතුපිටින් පෙනෙන්නට තිබුනු රටක් ෆැසිස්ට්වාදී ආඥාදායකයාට බිල්ලට දුන්හ. මෙසේ හිට්ලර්ට රහසින් අනුග්‍රහ දැක්වීමේ ප්‍රතිඵල — මානව ඉතිහාසයේ විනාශකාරීම යුද්ධය, හොලෝකෝස්ටය, (හිට්ලර්ගේ මහා ජන සංහාර) සහ  මිලියන ගනන් ජනයා මිය යාම — ආදිය ගැන අද කවුරුත් දනිති.

රුබියෝ ෆැසිස්ට්වාදයේ අපරාධ ගැන සඳහන් නොකරයි. ඒ වෙනුවට, ඇමරිකානු රාජ්‍ය ලේකම්ට තුන්වන රයිකයේ (හිට්ලර්ගේ) වැටීම ඛේදජනක ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයකි: 

දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයට පෙරාතුව, සියවස් පහක් තිස්සේ බටහිර රටවල් ප්‍රසාරනය වෙමින් පැවතුනි — ඔවුන්ගේ මිෂනාරිවරුන්, වන්දනා කරුවන්, සොල්දාදුවන්, පදිංචි වීමට අලුත් භූමි ප්‍රදේශ සොයා යන්නන් ආදීහු බටහිර රටවලින් පිට වී සාගර තරනය කොට, අලුත් මහාද්වීප ජනාවාසකරනය කොට ලෝක ව්‍යාප්ත මහා අධිරාජ්‍ය ගොඩනැගූහ. 

නමුත්, 1945 වර්ෂයේ දී  කොලොම්බස්ගේ කාලයේ පටන් පලමු වතාවට, එය හැකිලීමට පටන්ගෙන තිබුනි. යුරෝපය නටඹුන් වී ගොසිනි. ජනගහනයෙන් අඩක් ම යකඩ තිරයක් පිටුපස ජීවත් වූහ. ඉතිරි අඩ ද ඉක්මනින්ම ඒ පාරේ ම යන්නාක් මෙන් පෙනුනි. ශ්‍රේෂ්ඨ බටහිර අධිරාජ්‍ය, දෙවියන්  විශ්වාස නොකරන කොමියුනිස්ට්වාදීන්ගේ විප්ලවවලින් ද යටත්විජිතවල  සමස්ත ප්‍රදේශ පුරා  රතුපාට දෑකැති-මිටි ධජ ඔසවන ජනතා නැගිටීම් වලින් ද තවත් දුබල කරනු ලැබ  පරිහානියේ ගිලන්  ඇඳට වැටී සිටියේ ය. 

රූබියෝගේ තර්කයේ මධ්‍යම රාමුව වන්නේ, වර්ෂ සහශ්‍ර ගනන් ආපස්සට විහිද යන තනි, ඓන්ද්‍රීය ඒකකයක් වශයෙන් ඉදිරිපත් කරන “බටහිර ශිෂ්ටාචාරය” පිලිබඳ සංකල්පයයි. ශීතල යුද්ධය ගැන කතා කරමින් “වර්ෂ දහස් ගනනක් පැවැති බටහිර ශිෂ්ටාචාරය අනතුරේ වැටී සිටියේ ය” යි රුබියෝ ප්‍රකාශ කලේ ය. “වර්ෂ 5000 කට වැඩි වාර්තාගත මානව ඉතිහාසයේ පාඩම්” රුබියෝ මතකයට කැඳවූයේ ය. “මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ශිෂ්ටාචාරය” ගැන ඔහු කතා කරයි. 

මේ ඉතිහාසය නොවේ. මිථ්‍යා ප්‍රබන්ධ කතා ය. රාජ්‍ය ලේකම් ගනන් කරන්නටවත් දන්නේ නැත. අවුරුදු 5000 ක් ආපස්සට බැලූ විට හමුවන්නේ සුමේරියානු හා ඊජිප්තූ රාජ පරම්පරාවල ඉතිහාසයයි. එම ශිෂ්ටාචාරයන් භූගෝලීය වශයෙන් මැද පෙරදිගට හා උතුරු අප්‍රිකාවට අයත් වන්නාවූ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ;ම උරුමයන්‍ ය. පැරනි ග්‍රීකයන් තමන් “බටහිරයන්” ලෙස සැලකුවේ නැත. “බටහිර ශිෂ්ටාචාරය” යනු  යුරෝපීය යටත් විජිතවාදයට සේවය කිරීම සඳහා මෑත කාලයේ නිර්මානය කරගත් සැකසහිත සංකල්පයකි.

රෝමය බිඳ වැටීමෙන් පසු සියවස් ගනනක් පුරා ම ග්‍රීක දර්ශනය, ලතින් ක්‍රිස්තියානිය යටතට පත් විය. යුරෝපය බුද්ධිමය අන්ධකාරයේ ගිලී පවතිද්දී ග්‍රීක දර්ශනය නැවත සොයා ගෙන, සංරක්ෂනය කර, පරිවර්තනය කොට, වර්ධනය කලේ අරාබි හා පර්සියානු උගතුන් විසිනි.

නවීන විද්‍යාවේ ගනිතමය පදනම් ද ඊට නොඅඩු තරමින්  පෙරදිගට නයගැති ය: වීජ ගනිතය බිහි වූයේ නවවන සියවසේ බැග්ඩෑඩ් (ඉරාකය) නුවරය, දශම ක්‍රමය පැමිනියේ ඉන්දියාවෙනි, කඩදාසි, මුද්‍රන ශිල්පය, කොම්පාසුව සහ වෙඩි බෙහෙත් පැමිනියේ චීනයෙනි. රූබියෝගේ කතාවේ දී මේ කිසිවකට පිලිගැනීමක් දෙන්නේ නැත. කිසිවකටත්, කිසිවෙකුටත් නයගැතිකමක් නැති  “බටහිර” (The West) ශිෂ්ටාචාරමය ආශ්චර්යයක් ලෙස හුවා දක්වන ලදී. 

ප්‍රතිගාමී මෙන්ම නූගත් ද වන රුබියෝ, ඇමරිකානු විප්ලවය එහි නායකයන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කාල වකවානු නැති සදාකාලික ශිෂ්ටාචාරයක, පසුගාමී සම්ප්‍රදායන්ගේ, හා යල්පිනූ ආන්ඩු ක්‍රමවල අඛන්ඩතාවක් ලෙස නොව, මනුෂ්‍ය පරිනාමයේ නව වර්ධනයක් ලෙස බව නොදනී. විප්ලවවාදී චින්තකයා ලෙස ටොම් පේන්, තම සුප්‍රකට “සාමාන්‍ය බුද්ධිය (Common Sense)” නම් පොත් පිංච තුල මෙසේ ලිවී ය : “ලෝකය අලුතෙන් පටන් ගැනීමට අපේ අතේ බලය තිබේ.”

රුබියෝ නොකියා අතහරින දේවල් ද ඔහු අඩංගු කරන දේවල් සේ ම වැදගත් හෙලිදරව් කිරීම්‍ ය. කතාවේ කිසිම තැනක ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය හෝ මානව හිමිකම්  ගැන සඳහනක් නැත.  ඇමරිකානු විප්ලවය, ප්‍රංශ විප්ලවය, හිමිකම් ප්‍රකාශනය හා නිදහස් ප්‍රකාශනය ගැන ද කීමට ඇත්තේ එයමය. 

නිදහස් ප්‍රකාශනය

මේ අතහැරීම් සිතාමතා කරන ලද ඒවාය. ප්‍රජාතන්ත්‍රවාදී විප්ලව පදනම් ව ඇත්තේ රුබියෝගේ දේශපාලනය සමග පෑහිය නොහැකි  විශ්වීය මූලධර්ම මත ය. “සියලු මනුෂ්‍යයන් සමාන ලෙස මවා ඇත” යයි නිදහස් ප්‍රකාශනය කියයි. “මිනිසා නිදහසේ ඉපිද නිදහසේ ජීවත් වන අතර අයිතිවාසිකම් අතින් සමානය” යැයි මිනිසාගේ අයිතීන් පිලිබඳ ප්‍රකාශනය කියයි. අයිතිවාසිකම් පනත (බිල් ඔෆ් රයිට්ස්) රාජ්‍ය බලයට එරෙහි ව පුද්ගලයා ආරක්ෂා කරයි.

රුබියෝ ගේ කතාවට එම ලියවිලි ගැන සඳහනක ඇතුල් කල නොහැක්කේ ඒවායේ තර්කනය, ඔහුගේ කතාවෙන් ප්‍රතික්ෂේප කරන නිගමන කරා එනම්, සියලු මනුෂ්‍යයන් අතර සමානාත්මතාවය, අයිතිවාසිකම් වල විශ්වීය ස්වභාවය හා බලය නීතියට යටත් කිරීම යන නිගමන කරා එලඹෙන බැවිනි.

නව චින්තනයට රුබියෝ ගේ වෛරය, නාසීන්ගේ වෛරයට නොදෙවෙනි වෙයි. ගොබෙල්ස්, 1933 අප්‍රේල් 1 වෙනි දා මෙසේ පැවසී ය : “1789 වර්ෂය — ප්‍රංශ විප්ලවයේ ආරම්භය සිදු වූ වර්ෂයයි — මෙතැන් සිට එය ඉතිහාසයෙන් මකා දමනු ලැබේ.”

රුබියෝගේ කතාව ධනවාදී චින්තනයේ ගැඹුරට තැන්පත් ව ඇති පුනරුද විරෝධී හා ෆැසිස්ට්වාදී අදහස් මත පදනම් වේ. 1945 දී හිට්ලර් සහ මුසෝලිනී ගේ පරාජය සමග යටපත් ව ගිය ෆැසිස්ට්වාදී චින්තනය, 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු යලි මතු වී තිබේ. රුබියෝගේ මියුනිච් කතාව ෆැසිස්ට්වාදයට සුජාතභාවය ලබා දීමකි. ලිබරල් නූතනවාදයේ ආයතන — ජාත්‍යන්තර නීතිය, බහු පාර්ශ්වික සහයෝගය, නෛතික ප්‍රතිපාදන මගින් රාජ්‍යයේ බලය සීමා කිරීම — ආදිය ඉවතට අතුගා දැමිය යුතු බාධකයන්‍ ය.  ඒවා විස්ථාපනය කල යුත්තේ ජනවාර්ගික (ethnic) හා වාර්ගික (racial) අනන්‍යතාව මත පදනම් වූ ආඥාදායකත්වයක් හා යුද්ධය මගින් බලාත්මක කෙරෙන ධූරාවලි පර්යායක් මගිනි. ගොබෙල්ස් මහත් අභිරුචියෙන් අනුමත නොකරන කිසිවක් මේ කතාවේ නැත. 

රාජ්‍ය ලේකම් විසින් “ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය උත්කර්ෂයට නැංවීම” වංචාවෙන් හා කුහකත්වයෙන් පිරුනකි. 16 වන සියවසේ දී කතෝලික පල්ලිය හොර නඩු අසා අන්‍යාගමිකයන් සියලු දෙනා මිත්‍යා ලබ්ධිකයන්, යුදෙව්වන් හා මන්ත්‍රකරුවන් හැටියට හංවඩු ගසා වධ බන්ධනයට හා ඝාතනයට ලක් කල ආකාරය, පන පිටින් පිලිස්සූ ආකාරය සඳහන් කිරීමට ඔහු අසමත්‍ ය. 

කථාවේ දී විචිත්‍රාලංකාරයට පත් කරන “මහා අධිරාජ්‍ය” ගොඩනැංවූයේ, අත්ලාන්තික් සාගරය හරහා සිදුකල වහල් වෙලඳාම ද බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දීය වෙලඳ සමාගම විසින්  මිලියන ගනනක ජනතාවක් සාගතයට ඇද දමමින් ලෝකයේ ධන ධාන්‍යයෙන් ආඪ්‍ය ප්‍රදේශයක් නිසරු ප්‍රත්‍යන්ත කොලනියක්  බවට පත්කල ක්‍රමානුකූල මංකොල්ලය ද  ඇතුලත් අප්‍රමාන වූ ප්‍රචන්ඩ ක්‍රියා මගිනි. ලියෝපෝල්ඩ් රජුගේ බෙල්ජියන් කොංගෝ අධිරාජ්‍යය ගොඩනැංවූයේ බලහත්කාරයෙන් ස්වදේශිකයන් කැලයෙන් රබර් එකතු කිරීමට යවා එදිනට නියමිත රබර් ප්‍රමානය එකතු නොකලොත් අතපය කපා දැමූ මෘගත්වය හා රටේ ජනගහනය මිලියන 10 ක පමන තක්සේරුගත සංඛ්‍යාවකින් පහත හෙලූ ජන ඝාතන මගිනි. තවත් අනන්ත උදාහරන දැක්විය හැක.

ඉතා වැදගත් පැහැදිලි කිරීමක් මෙහි දී කල යුතු ය — මෙකී ඓතිහාසික අපරාධ පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනය, රුබියෝ ගේ රාමුවෙන් ද රුබියෝගේ මිථ්‍යා ප්‍රබන්ධවල ම ප්‍රතිලෝමය වන ලිබරලුන් ගේ විවේචනවලින්ද වෙන්කර දක්වන පැහැදිලි කිරීමක් — මෙහි දී කල යුතු ය. 

වහල් වෙලඳාම, ස්වදේශික ජන සමූහ විනාශ කිරීම, ඉන්දියාව මංකොල්ලකෑම, කොංගෝවේ භීෂනය ආදිය “බටහිර ශිෂ්ටාචාරය” නමින් හඳුන්වන වියුක්තයක් විසින් නිෂ්පාදනය කරන ලද දේවල් නොවේ. ඒවා සංස්කෘතිකමය හරයකින් හෝ වාර්ගික උරුමයකින් පැන නැගි ඒවා ද නොවේ. ඒවා ඓතිහාසික ව විශේෂිත වූ නිෂ්පාදන ක්‍රමයක, එනම් ධනවාදයේ නිෂ්පාදනයි. මාක්ස් ලියූ පරිදි එය එන්නේ “හිසේ සිට දෙපතුල දක්වාමත් සියොලඟ සෑම කූපයකින්මත් රුහිරු සහ කැතකුනු ගලමිනි.”

ප්‍රාග්ධනයේ ඊනියා ප්‍රාථමික සමුච්චනය නමින් හඳුන්වන දෙය, — ගොවි ජනයාගේ දේපල ප්‍රචන්ඩ බලහත්කාරයෙන් පවරා ගැනීම, වහල් වෙලඳාම, යටත්විජිත මංකොල්ලකෑම — ආදිය ධනවාදයේ සාමාන්‍ය ගමනේ දී සිදුවූ දේවල් නොවේ. ඒවා ධනවාදයේ වර්ධනයට අවශ්‍ය වූ පූර්ව කොන්දේසියයි: මාක්ස් කැපිටාලයේ ලියූ පරිදි:

“ඇමරිකාවේ රත්‍රන් සහ රිදී සොයා ගැනීම, ස්වදේශික ජනයා ගම්බිම් වලින් සහමුලින් උදුරා වහල්භාවයට යටත් කිරීම හා පතල් තුල ම භූමදාන කිරීම, නැගෙනහිර ඉන්දීය කොල්ලය, අප්‍රිකාව අලෙවිය සඳහා කලුපාට හම් දඩයම් කිරීමට වෙන්කල භූමියක් බවට පත්කිරීම ආදිය ධනේශ්වර නිෂ්පාදන යුගයේ රෝස පැහැති හිරු උදාව සංඥා කලේය. මේ ශාන්ත සුන්දර සිද්ධි දාම ධනේශ්වර ප්‍රාථමික සමුච්චනයේ ප්‍රධාන ගාමකයන්‍ ය.

කාල් මාක්ස් (1818-1883)

රුබියෝගේ කථාව තුල දී,  ධනේශ්වර යුගයේ බලය කාලයක් අවකාශයක් නැති “බටහිර ශිෂ්ටාචාරය” නිසා සිදුවූවක් යන ඇඟවීම මගින් මේ කැත ඉතිහාසය සඟවන්නේ එම මිථ්‍යාකරනයෙන් කරුනු කීපයක් ඉටු කෙරෙන නිසා ය.

පලමු ව, එය, ධනේශ්වර ආධිපත්‍යය සදාකාලික වූ ජනවාර්ගික, වාර්ගික හා ආගමික හරයක මස්තකප්‍රාප්තිය ලෙස දැක්වීම මගින් එය ස්වාභාවිකකරනය කරයි. දෙවනු ව එය, ජන මර්දනය හා අති දුෂ්ට අපරාධ සාධාරනීකරනය කරයි. තෙවනු ව එය, සමාජයේ සමාජ-ආර්ථික පදනම් පිලිබඳව, සියල්ලටමත් වඩා පන්ති අරගලය පිලිබඳව, විද්‍යාත්මක විශ්ලේෂනය වෙනුවට වෙනත් ආදේශකයක් සපයයි. නාසි පඬියන්ගේ ප්‍රතිගාමී අතාර්කික ෆැන්ටසි පිලිබඳ ට්‍රොට්ස්කි ගේ විස්තරය, රුබියෝ ගේ ඉතිහාසය පිලිබඳ ජනවාර්ගික-වාර්ගික-ආගමික න්‍යායට වෙනස් කිරීමක් නැති ව ම යොදාගත හැකිය. “ජාතික සමාජවාදය යනු කුමක්ද?” යන ඔහුගේ 1933 රචනය තුල ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

“ජාතිය, ඉතිහාසයෙන් ඉහලට ඔසවා තැබීම සඳහා එයට වර්ගයේ (race) සහයෝගය දෙනු ලැබේ. ඉතිහාසය යනු වර්ගයෙන් (race) ප්‍රභව වන්නක් ලෙස දකිනු ලැබේ. වර්ගයන්ගේ ගුනාංග වෙනස්වන සමාජ තත්වයන් සමග සම්බන්ධයක් නැති දේ ලෙස දක්වනු ලැබේ.

‘ආර්ථික චින්තනය’ නීච විද්‍යාවක් ලෙස ප්‍රතික්ෂේප කරමින් ජාතික සමාජවාදය, ආර්ථික භෞතිකවාදයේ සිට තවත් අඩියක් පහලට ගොස් සත්ව විද්‍යා භෞතිකවාදයේ පිහිට පතයි.”

රුබියෝ පන්ති අරගලය පිලි නොගන්නා නමුත් ඔහුගේ සිත තුල එය හොල්මන් කරයි. 20 වන සියවස පිලිබඳ රුබියෝ ගේ විස්තරය පුරා ම ඇත්තේ මාක්ස්වාදයට හා සමාජවාදී විප්ලවයට විරුද්ධ අරගලයයි. මෙය, වර්තමාන පරිපාලනය, ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ අතිශය ප්‍රතිගාමී සම්ප්‍රදායයන් සමග සම්පාත කරයි.  එම සම්ප්‍රදාය වන්නේ ශීතල යුද්ධය කාලයේ සිදු කල සෑම අපරාධයක් ම — ඉරානයේ මොසාඩෙග් ගේ හා ග්වාතමාලාවේ ආබෙන්ස් ගේ ආන්ඩු පෙරලීමේ සිට වියට්නාම් යුද්ධය දක්වාත් ලතින් ඇමරිකාව අප්‍රිකාව හා ආසියාව පුරා “දෙවියන් විශ්වාස නොකරන කොමියුනිස්ට් කාරයන්ට විරුද්ධ ව බටහිර ශිෂ්ටාචාරය” ආරක්ෂා කිරීමේ නාමයෙන් සියලු මිලිටරි ආඥාදායකත්වයන්ට සහයෝගය දීම ආදී සියල්ල සාධාරනීකරනය කරන — සම්ප්‍රදායයි. එකී සම්ප්‍රදාය කොන්දේසි විරහිත ව යලි සිහි කැඳවීමෙන් සංඥාව දෙන්නේ පරිපාලනය සිදුකරන ඕනෑ ම මිලිටරි හා නීති විරෝධී රහස් මැදිහත්වීම් සුජාතකරනය සඳහා එම සාධාරනීකරනය පාවිච්චි කරන බවට ය.

කථාවේ අතිශය තර්ජනාත්මක ඡේද, පරිපාලනය විසින් සිදුකරන ඒක පාර්ශ්වික මිලිටරි මැදිහත්වීම් හා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් උත්කර්ෂයට නංවයි. ඉන්පසු ඔහු ප්‍රචන්ඩ ක්‍රියා ලැයිස්තුවක් සාඩම්බරයෙන් කියාගෙන යයි: එනම් ඉරානයට බෝම්බ දැමීම, වෙනිසියුලාවේ රාජ්‍ය නායකයා පැහැර ගෙන යාම ආදියයි. “අපේ රටවැසියන්ට එලිපිට ම තර්ජනය කරන්නවුනට ජාත්‍යන්තර  නීතියේ වියුක්තයන්ට මුවා වීමට අපි ඉඩ නොදෙමු” යයි ඔහු ප්‍රකාශ කලේ ය. තම බලය පිටස්තරයන් හරහා ලබා නොගන්නා, තම බලයට විලංගු නොලන, තම බලය තමන්ගේ පාලනයෙන් පිට පවතින පද්ධතීන්ට යටත් නොකරන, ක්‍රියාවට බැසීමට පෙර ඊට අවසර ලබා ගත යුතු නොවන, සන්ධානයක් සඳහා ඔහු කැඳවුම් කරයි. 

තවත් ඡේදයක දී රුබියෝ මෙසේ කියයි: “යුද හමුදා සටන් කරන්නේ වියුක්තයන් වෙනුවෙන් නොවේ; යුද හමුදා සටන් කරන්නේ ජාතියක් වෙනුවෙනි. යුද හමුදා සටන් කරන්නේ ජීවන දර්ශනයක් වෙනුවෙනි.” රුබියෝගේ ප්‍රකාශය රටවල්, එක්සත් ජනපදය ඇතුලු ව, වාර්ගික හා ජාතික ගෝත්‍ර බවට පත් කිරීමට සමාන ය. “හමුදා, වියුක්තයන් සඳහා සටන් කරන්නේ නැත” යන ප්‍රකාශය ගතහොත්, 1775 සිට 1783 දක්වා ඇමරිකානුවන් නිදහස සඳහා කල විප්ලවවාදී යුද්ධය ඔහු පැහැදිලි කරන්නේ කෙසේ ද? එදා ජනගහනය බලමුලු ගන්වන ලද්දේ තෝමස් ජෙෆර්සන් විසින් “නිදහස් ප්‍රකාශනය” තුල නිර්වචනය කල “ස්වයං ප්‍රත්‍යක්ෂ” හා වියුක්ත “සත්‍යයන්” වටා ය.  එක්සත් ජනපද සොල්දාදුවන් සටන් කලේ හා මිය ගියේ “සියලු මිනිසුන් සමාන ව මවා ඇත යන ප්‍රස්තුතය” වෙනුවෙන් යයි 1863 දී ගෙටිස්බර්ග් යුද පිටියේ දී ලින්කන් ප්‍රකාශ කලේ ය. 

ලින්කන් ගේ ජීවන චරිතය ලියූ කීර්තිමත් ඉතිහාසඥයකු රුබියෝගේ කථාවට ප්‍රතිචාර දක්වමින් මේ සතිය මුල දී මට මෙසේ ලියා එවීය: “යූනියන් සොල්දාදුවන් මිලියන බාගයක්, අදහසක් වෙනුවෙන් සිවිල් යුද්ධයක දී දිවි අහිමි කර ගත්හ.”

ඒබ්‍රහම් ලින්කන් [සිවිල් යුද්ධයේ ඡායාරූප, 1861-1865, ලයිබ්‍රරි ඔෆ් කොන්ග්‍රස් ඇමරිකානු ජාතික පුස්තකාලය, අභිලේඛන හා ඡායාරූප අංශය] [Photo: Civil war photographs, 1861-1865, Library of Congress, Prints and Photographs Division]

ජෙෆර්සන් විසින් සිහිකැඳ වූ “සත්‍යයන්” සහ ලින්කන් විසින් ආරක්ෂා කල “ප්‍රස්තුතයන්” පුනරුද යුගයේ භෞතිකවාදී දර්ශනය තුල මුල් බැසගත්, ප්‍රගාඪ ඓතිහාසික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයක් ගැබ් කරගත්, වියුක්තයන්‍ ය. 18 වන සියවසේ අග භාගයේ දී හා 19 වන සියවසේ සිදු වූ විප්ලවවාදී ව්‍යාපාරවලට පදනම් සකස් කලේ ඒ වියුක්තයන්‍ ය. 

ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයේ වියුක්තයන් හෙලා දකින රුබියෝ, ෆැසිස්ට්වාදයේ අතාර්කික වියුක්තයන් උත්කර්ෂයට නංවයි: “ජනතාව” ‘ජාතිය” “ජීවන දර්ශනය” ආදිය සමාජයේ ඉතිහාසය සහ සමාජ ආර්ථික ව්‍යුහය පිලිබඳ විද්‍යාත්මක අවබෝධයක් ලබාගැනීමට කිසිදු දායකත්වයක් නොදෙන වියුක්ත වචන වේ. රුබියෝගේ ෆැසිස්ට්වාදී මුග්ධ වාගාලාපය අවසානයේ දී රැස් ව සිටි පිරිස ආසනවලින් නැගිට අත්පොලසන් දීමෙන් පෙනී යන්නේ ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ප්‍රතික්ෂේප කිරීම යුරෝපීය ධනේශ්වරය විසින් ද අනුමත කරන බවයි. 

රුබියෝ ගේ කථාව අහසින් කඩා වැටුනු එකක් නොවේ. ට්‍රම්ප් පරිපාලනය අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධිත ආර්ථික හා සමාජ ක්‍රියාවලීන් ගේ ප්‍රතිඵලයකි.

1. එක්සත් ජනපදයේ ගෝලීය කාර්මික ආධිපත්‍යයේ එක දිගට සිදු වූ පරිහානිය 

2. මූර්ත (සැබෑ) ආර්ථිකය, නිෂ්පාදනය හා ශ්‍රමය අභිබවා,  මූල්‍ය වෙලඳපොල, මුල්‍ය උපකරන සහ මුල්‍ය ආයතන වල ආධිපත්‍යය විසින් ගුනාංගීකරනය කරනු ලබන මූල්‍යකරනයේ විසකුරු වර්ධනය. එනම් ලාභ උපයනු ලබන්නේ පලදායි ආයෝජන වලින් නොව, නයට මුදල් ලබා ගෙන වෙනත් මූල්‍ය කටයුතු කිරීම, කොටස් හා ව්‍යාපාර වස්තූ මිලට ගැනීම හා විකිනීම, සමාගම් පිටින්ම මිලට ගැනීම හා විකිනීම සමාගම් බද්ධ කිරීම ආදී සමපේක්ෂන කටයුතු වලිනි. 

3. නිෂ්පාදනයෙන් නොව මූල්‍ය වත්කම් කලමනාකරනයෙන් හා වෙලඳපොල උපාමාරුවලින් ධනය උපයන බහු කෝටිපති අලුත් වංශවතුන් පෙලැන්තියක් — මොවුන් බහු මිලියනපතියන් හා බිලියනපතියන්ගෙන් සමන්විත කතිපයාධිකාරයක් — බිහිවීම. මොවුන්ගේ ධනයේ උල්පත ව්‍යාජ ප්‍රාග්ධනයේ දැවැන්ත ප්‍රසාරනයයි.

4. සමාජ අසමානත්වයේ අති විශාල වර්ධනය - එක්සත් ජනපදයේ ජනගහනයෙන් ධනවත්ම සියයට 0.1 සතු ධනය ජනගහනයෙන් පහලම සියයට 50 සතු සමස්ත ධනය මෙන් පස් ගුනයක් විශාල ය.

මේ වෛෂයික ආර්ථික හා සමාජ තත්වයන්, ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම, ෆැසිස්ට්වාදය දෙසට හැරීම හා යුදවාදයේ නැගීම ආදිය යටින් පවතී. ට්‍රම්ප් පරිපාලනයේ දේශීය හා විදේශීය ප්‍රතිපත්ති මෙම අර්බුදයේ ප්‍රකාශනයයි. තම ගෝලීය ආර්ථික ස්ථානයේ තදබල ගරා වැටීම යුද්ධය මගින් ආපස්සට හැරවීමට ට්‍රම්ප් පරිපාලනය උත්සහ කරයි. දැනට ඩොලර් ට්‍රිලියන 38 ඉක්මවා ඇති යෝධ නය කන්දේ බර දැඩි සූරා කෑම හා දරිද්‍රකරනය මගින් කම්කරු පන්තිය මත පැටවීමට උත්සාහ කරයි.

ඇමරිකානු දේශපාලන පර්යාය ගමන්කර තිබෙන දුර මැන බැලීම උපදේශාත්මක වනු ඇත. ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්, 1941 “රාජ්‍යයේ තත්වය” දේශනයේ දී තම යුද ඉලක්කයන් විශ්වීය නිදහස කොටස් හතරක් හැටියට  (ඒවා වියුක්තයන්ය) — “ලෝකයේ සෑම මනුෂ්‍යයෙකුටම” භාෂනයේ නිදහස, ආගම් ඇදහීමේ නිදහස, අඟ හිඟකම් වලින් නිදහස හා බියක් නැති ව ජීවත්වීමේ නිදහස— වශයෙන් නිර්වචනය කලේ ය. මේවා බටහිර ශිෂ්ටාචාරයේ හෝ ක්‍රිස්තියානි ජනයාගේ පමනක් වරප්‍රසාද නොවේ. ඒවා “ලෝකයේ සෑම මනුෂ්‍යයෙකුට ම” උපන්ගෙයින්ම උරුම අයිතියක් බව ප්‍රකාශ කරන ලදී. යුද්ධය සාධාරනීකරනය කල හැක්කේ ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයක් ලෙස පමනක් බව රූස්වෙල්ට් වටහා ගත්තේ ය. 

රූබියෝගේ කථාව වැනි කථාවක් රූස්වෙල්ට් විසින් කිරීමට ඉඩ නොතිබුනි. ඇමරිකානු බලය, ප්‍රජාතන්ත්‍රවාදී හා විශ්වීය ආකාරයට සුජාතකරනය කිරීමට තමන්ට බලකෙරී ඇතැයි රූස්වෙල්ට් විශ්වාස කලේ ය. සෝවියට් සංගමයක් තිබීම මගින් හා සමාජවාදී විප්ලවයේ තර්ජනය මගින් එල්ල කෙරුනු පීඩනය මගින් එම බලකිරීම දිගටම පවත්වා ගත්තේ සුලුවට නොවේ. රුබියෝගේ කථාව, මෙම බැඳීම සම්පූර්නයෙන්ම අතහැර දැමීමට පාලක පන්තිය තීන්දු කල හැරවුම් ස්ථානය සලකුනු කරයි.

කථාවේ උග්‍ර කොමියුනිස්ට් විරෝධය ශීතල යුද්ධ කාලයට වඩා තියුනු පන්ති වෛරයක්  ප්‍රදර්ශනය කරන්නේ 20 වෙනි සියවසේ විප්ලවීය නැගිටිම් ජනිත කල ධනපති ක්‍රමයේ අර්බුදය නැවත පැමින ඇති බැවිනි.

රුබියෝ, ට්‍රම්ප් සහ  මියුනිච් නුවරට රැස් වූ යුරෝපීය පාලක පන්තිය, නැවත පන දෙන්නට බලාපොරොත්තු වන්නේ 1917 ඔක්තෝබර් 25 වෙනිදා ලෙනින් හා ට්‍රොට්ස්කි යටතේ බොල්ෂෙවික් පක්ෂය විසින් නායකත්වය දෙනු ලැබූ රුසියානු කම්කරු පන්තිය ඉතිහාසයේ ප්‍රථම කම්කරු රාජ්‍යය පිහිටුවමින් කුඩුපට්ටම් කර දැමූ ලෝකයටයි. ඔක්තෝබර් විප්ලවය හුදෙක් රුසියානු සිද්ධියක් පමනක් නොවීය. එය, ලෝකය සෙල වූ ඓතිහාසික භූමි කම්පාවක් විය. එය, ධනපති ක්‍රමය සදාකාලික නොවන බවත් පාලක පන්තිය පරාජය කල නොහැකි පන්තියක් නොවන බවත් කම්කරු පන්තියට රාජ්‍ය බලය සියතට ගෙන අලුත් සමාජ පර්යායක් ගොඩනැගීම ආරම්භ කල හැකි බවත් ප්‍රායෝගික ව ප්‍රදර්ශනය කලේ ය. 

එය ලොව පුරා විප්ලවවාදී අරගල රැල්ලක් — බ්‍රිතාන්‍යය, ජර්මනිය, හංගේරියාව, ඉතාලිය, චීනය හා යටත්විජිත ලෝකය පුරා — නිර්මානය කලේය.  එය, තමන් යටත්කර තැබීම ලෝක ස්වභාවය යයි  සියවස් ගනනක් තිස්සේම අසා තිබුනු මිලියන ගනන් ජනයාගේ දේශපාලන විඥානය ඔසොවා තැබීය. 

ඔක්තෝබර් විප්ලවය, 1917

ඔක්තෝබර් විප්ලවය, තුර්කියේ අධිරාජ්‍යවාදීන්ගේ ආධාර ලැබූ බලවේග වලට එරෙහි ව ප්‍රගතිශීලී ජාතික ව්‍යාපාරයට සැලකිය යුතු තරම් ආධාර කලේය. 

1920-1921 කාලයේ දී පටන් සෝවියට් රුසියාව, ඇන්කාරා ආන්ඩුවට සැලකිය යුතු ආධාර - රත්‍රන්, අවි ආයුධ හා වෙඩි බෙහෙත් උන්ඩ ආදිය - සැපයී ය. තුර්කියේ ජාතික බලවේගවලට පෙරමුනු කීපයක ම සටන් කිරීමට සිදු ව තිබූ බැවින් එම ආධාර අතිශය තීරනාත්මක විය.  සෝවියට් ආන්ඩුවේ ආධාරය නොමැති ව තුර්කියට නිදහස දිනා ගැනීමට හැකි නොවීමට ඉඩ තිබුනි. එසේ වුවත් තුර්කියේ ඇටාටර්ක් ගේ ධනපති ජාතිකවාදී තන්ත්‍රය විසින් තුර්කියේ කොමියුනිස්ට් ව්‍යාපාරය මෘග ලෙස මර්දනය කිරීම එයින් වැලකුනේ නැත. 

ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵලයක් හැටියට, අධිරාජ්‍යවාදී බලවතුන් තම ආධිපත්‍යය සාධාරනීකරනය කල දෘෂ්ටිමය රාමුව — බටහිර ජාතීන්ගේ ශිෂ්ටාචාරමය උසස්බව,  “දියුනු” ජාතීන්ට “නොදියුනු” ජනයා පාලනය කිරීමට ඇති දිව්‍යමය අයිතිය ආදී මිථ්‍යාවන් — සුන්කර දැමූ ප්‍රහාරයක් එල්ල කලේ ය. ඔවුන්ට තවමත් එයින් ගොඩ ඒමට හැකි වී නැත. 

රුබියෝගේ කථාවේ දී ආපස්සට හරවන්නට උත්සාහ කරන්නේ මෙයයි. 1945 ට පසුව බටහිර ශිෂ්ටාචාරයේ “හැකිලීම” ගැන ඔහුගේ ශෝකාලාපය, ඇත්ත වශයෙන් ම ඔක්තෝබරයේ ප්‍රතිවිපාක පිලිබඳ ශෝකාලාපයයි. “පසුගිය පරම්පරාවල් සිදු කලා යයි කියන අපරාධ සඳහා වරදට සමාව ඉල්ලීම” නවත්වන ලෙස ද ඕෂ්විට්ස් සහ ට්‍රෙබ්ලින්කාවේ ගෑස් කාමර ගැන සමාව අයැදීම නවත්වන ලෙසද රුබියෝ ඉල්ලා සිටියි. 

එසේම, රුබියෝ ඉල්ලා සිටින්නේ සමාජවාදී විප්ලවයේ තර්ජනය විසින් පාලක පන්තිය මත පනවා තිබූ සදාචාරාත්මක හා දේශපාලන සීමාවන් බිඳ දමන ලෙසයි. සුභසාධක රාජ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට දුන් සහනයන්, ජාත්‍යන්තර නීතියට අනුගත වීමට කැපවීම ආදී සියල්ල බොහෝ දුරට, විප්ලවයට ධනේශ්වරයේ ඇති බිය නිසා දුන් සහනයන්‍ ය. 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග එම තර්ජනය පහ ව ගොස් ඇතැයි ද දැන් අර කී සහන අවලංගු කල හැකි යයි ද පාලක පන්තිය නිගමනය කර තිබේ. මියුනිච් කථාව අධිරාජ්‍යවාදී යුදවාදය එලිපිට ම වැලඳ ගැනීම ද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිමානයන් ප්‍රතික්ෂේප කිරීමේ තාර්කික නිගමනය කරා ගෙන ගිය එම අවලංගු කිරීමේ දෘෂ්ටිමය ප්‍රකාශනය යි.

ප්‍රති-කොමියුනිස්ට්වාදී වාගාලාපවල සැරපරුෂ බව —   සෝවියට් සංගමය විසුරුවා හැර දශක තුනකට පසු ව — 2026 දී මෙතරමි දැඩි වීමෙන් පෙනෙන්නේ ධනවාදයේ ස්ථායිතාව පිලිබඳව බරපතල සැක සංකා පවතින බවයි. ඇමරිකානු ධනේශ්වරය, සියලු පාලක පන්තීන් අතර වැඩිපුර ම බියට පත් ව සිටින පන්තිය යයි වරක් ට්‍රොට්ස්කි සඳහන් කලේ ය. පාලක පන්තිය බියට පත් කරන්නේ, කම්කරු පන්තිය යලිත් නිර්ව්‍යාජ මාක්ස්වාදී විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් සොයාගනු ඇත යන්න හා 1930 ගනන්වලින් මෙපිට දී නොදුටු තරම් අසමානතාව, අස්ථායිතාව සහ භූ දේශපාලන ඝට්ටන ඇති කරන ධනපති ක්‍රමයේ වෛෂයික අර්බුදය, ඔක්තෝබරයට උපත දුන් විප්ලවවාදී ජවය යලිත් බිහිකරනු ඇතැයි යන්න ය. 

වෙනත් කිසි ම ඓතිහාසික චරිතයක් ලියොන් ට්‍රොට්ස්කි තරම් අධිරාජ්‍යවාදීන් බියපත් කරන්නේ නැත. ඔහුගේ වැදගත්කම 1917 ට වඩා බොහෝ දුරට — එදා ද එය අති විසල් විය — ප්‍රක්ෂේපනය වෙයි. 

නොනවතින විප්ලව න්‍යාය තුලින් ඔක්තෝබරයට මග පෙන් වූ අදටත් එහි වලංගුභාවය රඳවාගෙන සිටින මූලෝපායික සංකල්පය; එනම්, අධිරාජ්‍යවාදී යුගයේ දී පීඩිත රටවලත් වඩාත්ම දියුනු අධිරාජ්‍යවාදී රටවලත් ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් සාක්ෂාත් කරගත හැක්කේ ලෝක  විප්ලවයේ කොටසක් හැටියට කම්කරු පන්තිය විසින් බලය ගැනීමෙන්‍ ය යන අවබෝධය සැපයුවේ ට්‍රොට්ස්කි ය. “තනි රටේ සමාජවාදය” නමැති ස්ටැලින්වාදී විකෘතයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගය ආරක්ෂා කලේ ට්‍රොට්ස්කි ය. 1938 දී හතර වෙනි ජාත්‍යන්තරය පිහිටුවීම මගින් 20 වන සියවසේ අඳුරු ම කාල පරිච්ඡේදය තුලින් නිර්ව්‍යාජ මාක්ස්වාදයේ ක්‍රියාමාර්ගික අඛන්ඩතාව ස්ථාපිත කර තැබුවේ ට්‍රොට්ස්කි ය. 

ලියොන් ට්‍රොට්ස්කි

හිට්ලර් මෙන් ම චර්චිල් ඇතුලු හිට්ලර් ගේ අධිරාජ්‍යවාදී සතුරන් ද ට්‍රොට්ස්කි ගේ නම සඳහන් කල පමනින් වියරු කෝපයෙන් ප්‍රතිචාර දැක් වූ බව ප්‍රසිද්ධ කරුනකි. ඒ බව සටහන් කර ගනිමින් 1939 දී ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය: “මේ මහත්වරු විප්ලවයේ අවතාරයට පුද්ගල නාමයක් ආරෝපනය කිරීමට කැමතිය.” ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, ඔහුට පුද්ගලික ව එල්ල කරන වෛරය පිලිබිඹු කරන්නේ “ඔවුන්ගේ ම්ලේච්ඡත්වය සමාජවාදී විප්ලවය විසින් ජයගනු ඇත” යන ඔවුන් තුල පවතින භීතියයි.

ට්‍රොට්ස්කි ගේ උරුමය යටපත් කිරීම සඳහා පාලක පන්තිය විශාල සම්පත් ප්‍රමානයක් යෙදවී ය. 1940 දී ස්ටැලින් විසින් ට්‍රොට්ස්කි ඝාතනය කිරීම විසල් දේශපාලන සංහාරයක මස්තකප්‍රාප්තිය විය — මොස්කව් හොරනඩු, බොල්ෂෙවික් නායකයන් සමස්ත පරම්පරාව ම සමූලඝාතනය කිරීම ආදිය — සෝවියට් නිලධරයේ පමනක් නොව ලෝක ධනේශ්වරයේ අවශ්‍යතාව ඉෂ්ට කලේ ය. රුසියානු විප්ලවයේ ඉතිහාසය මුසාකරනය කිරීම හා ට්‍රොට්ස්කි ගේ උරුමය යටපත් කිරීම පාලක පන්තියේ දෘෂ්ටිමය අවි ගබඩාවේ කේන්ද්‍රීය අවශ්‍යතාවකි. සෝවියට් සංගමය විසුරුවා හැරීමට පසු කාලයේ පැමිනි  “කොමියුනිස්ට් වාදයේ අභාවප්‍රාප්තිය” යන ආඛ්‍යානය සමාජවාදය හා ස්ටැලින්වාදය අනන්‍ය කිරීම —ඔක්තෝබරයේ විප්ලවවාදී ක්‍රියාමාර්ගය නිලධාරිවාදී ප්‍රති විප්ලවය සමග සිතාමතාම ඒකමිතික කිරීම — මත රඳා පැවතුනි. 

රුබියෝගේ කථාව ස්ටැලින්වාදය, සමාජවාදය සමග අනන්‍ය කරන අතර පශ්චාත්-යුදකාලීන නිලධාරි තන්ත්‍රයන් ඔක්තෝබර් විප්ලවයේ ක්‍රියාමාර්ගය විනාශ කරන්නා නොව එය සාක්ෂාත් කර දෙන්නා ලෙස සලකයි. 

අධිරාජ්‍යවාදී ප්‍රචාරක යන්ත්‍ර විසින් ස්ටැලින්වාදය සමාජවාදය සමග අනන්‍ය කිරීම දේශපාලන අවශ්‍යතාවකි. ලෙනින් හා ට්‍රොට්ස්කි ගේ විප්ලවවාදී ක්‍රියාමාර්ගය හා ස්ටැලින්ගේ ප්‍රජාපීඩක ආඥාදායකත්වය අතර වෙනස පිලිගතහොත්, සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් සමාජවාදයේ නොහැකියාව ගැන කිසිවක් ඔප්පු වන්නේ නැත. එය ඔප්පු කරනු ඇත්තේ ට්‍රොට්ස්කි පුරෝකථනය කල දෙය පමනි: එනම්, ස්ටැලින්වාදී නිලධරය, කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල මිරිකා ලෝක විප්ලවය තම ජාතික අවශ්‍යතා වෙනුවෙන් බිලිදීම මගින් අවසානයේ දී කම්කරු රාජ්‍යය විනාශ කොට ධනවාදය යලි පිහිටුවන බව ය —හරියට ම සිදු වූයේ ද එය ම ය. රුබියෝ ප්‍රීතියෙන් සමරන “බටහිර ශිෂ්ටාචාරයේ විජයග්‍රහනය” ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවයේ ජයග්‍රහනයයි — නිලධරය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ උනන්දු සහගත සහයෝගය ඇති ව සිදු කල දීර්ඝ පාවා දීම් ලැයිස්තුවේ අවසාන ක්‍රියාවයි.

ඇඟවීම් ප්‍රගාඪය. 20 වන සියවසේ සමාජවාදයේ අර්බුදය, විප්ලවවාදී ක්‍රියාමාර්ගයේ අසමත්කමක් නිසා සිදුවූවක් නොව එම ක්‍රියාමාර්ගය පාවා දීම නිසා සිදුවූවක් හැටියට වටහාගත හොත්, එවිට ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ, කම්කරු බලයේ, සහ ලෝක ආර්ථිකය පුද්ගලික ලාභය සඳහා නොව සමාජ අවශ්‍යතාවේ පදනම මත සැලසුම්ගත ව ප්‍රතිසංවිධානය කිරීමේ, ක්‍රියාමාර්ගය එහි සම්පූර්න ඓතිහාසික වලංගුභාවය රඳවා ගනු ඇත.  

කම්කරු පන්තිය රුබියෝගේ කථාව එහි සැබෑ ස්වරූපයෙන් හඳුනා ගත යුතු ය: එය, ඒකපාර්ශ්වික මිලිටරි ප්‍රචන්ඩත්වය, ජාත්‍යන්තර නීතිය ප්‍රතික්ෂේප කිරීම, ජන සංක්‍රමනය ශිෂ්ටාචාරයට තර්ජනයක් සේ සැලකීම, කඩා වැටුනු අධිරාජ්‍ය ගැන කම්පා වීම, ඓතිහාසික අපරාධවලට නිර්දෝෂීභාවය ඉල්ලා සිටීම, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලව සහ ෆැසිස්ට් ව්‍යසනය ඉතිහාසයෙන් මකා දැමීම ආදිය වෙනුවෙන් පැවැත්වූ එකකි.

මිථ්‍යා කථා කොපමනකින්වත් විසඳිය නොහැකි ප්‍රශ්නයකට පාලක පන්තිය මුහුන දී සිටී. එනම් ධනපති ක්‍රමයේ වෛෂයික අර්බුදය යි — තදබල සමාජ අසමානතාව, අධිරාජ්‍යවාදී යුද්ධය පුපුරා යාම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල බිඳ වැටීම, පරිසර විනාශය — ආදිය කම්කරු පන්තිය අරගලයට තල්ලු කරයි. සෑම ප්‍රධාන ධනපති රටක් ම පිසදා ගෙන යන වර්ජන රැල්ල, ජනතා විරෝධතා, තරුනයන්ගේ වැඩෙන පෙරලිකාරීත්වය, පැරනි පක්ෂ ගැන ජනතා විශ්වාසය කඩා වැටීම — මේවා ධනවාදයේ සමනය කල නොහැකි ප්‍රතිවිරෝධතා තුලින් මතුවන විප්ලවවාදී ක්‍රියාවලියේ පලමු ප්‍රකාශනයන් වේ.

ඔක්තෝබර් විප්ලවයේ උරුමයත්  ලියොන් ට්‍රොට්ස්කි ගේ න්‍යායික උරුමයත් ඉතා හදිසි වැදගත්කමක් අත්කර ගන්නේ මේ සන්දර්භය තුල ය. හජාජාක විසින් ප්‍රකාශයට පත් කරන ලෝසවෙඅ, සියවස් කාලක පමන සිට ලෝක ධනවාදයේ අර්බුදය හා කම්කරු පන්තියේ අරගලවල දේශපාලන දිශානතිය සඳහා ස්ථිරසාර මාක්ස්වාදී විෂ්ලේෂන සපයා ඇත. එය සියලු ආකාරවල අපේක්ෂා භංගත්වයන්ට ද සංශෝධනවාදයන්ට ද විරුද්ධ ව විසිවන සියවසේ කේන්ද්‍රීය පාඩම; එනම් කම්කරු පන්තියේ අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය යි, එය විසඳීම සඳහා නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගය විසින් මග පෙන්වනු ලබන රාජ්‍ය බලය ගැනීම සඳහා සංවිධානය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගිය යුතුයි යන පාඩම අවධාරනය කලේ ය.

රුබියෝගේ මියුනිච් කථාව මරනයට නියම වී තිබෙන සමාජ පර්යායක කටහඬ යි. එය උත්කර්ෂයට නංවන “බටහිර ශිෂ්ටාචාරය” සදාකාලික සාරයක් නොව ධනපති අධිරාජ්‍යවාදයයි: — එය ප්‍රගතිශීලී විභවය සිඳීගිය, මනුෂ්‍ය වර්ගයා ම්ලේච්ඡත්වය කරා ගෙන යාමට තර්ජනය කරන පද්ධතියකි. ඊට විකල්පය වන්නේ ප්‍රතිසංස්කරනය කරගත් ධනපති ක්‍රමයක් හෝ වඩා උගත් අධිරාජ්‍යවාදයක් නොවේ. විකල්පය සමාජවාදයයි, පොදු හිමිකාරීත්වය, ප්‍රජාතන්ත්‍රවාදී සැලසුම්කරනය හා ජාත්‍යන්තර සහයෝගය මත, ඊට උනන්දුව හා ශක්තිය තිබෙන පන්තිය විසින් මෙහෙයවනු ලබන  ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමයි. 

අධිරාජ්‍යවාදීන් බියපත් වීම සාධාරනය. ඔක්තෝබරයේ අවතාරය,  ඊට උපත දුන් ප්‍රතිවිරෝධයන් තවත් තියුනු වී ඇති අද තවමත් සක්‍රිය ව පවතී. ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා විශාලය, වඩා අන්තර්- සම්බන්ධිත ය, වඩා ප්‍රබල ය. එයට නැත්තේ  කම්කරු ජනයාගේ වැඩෙන ප්‍රතිරෝධය,  සමාජ පරිවර්තනය සඳහා වන  ඒකාග්‍ර ව්‍යාපාරයකට යොමු කල හැකි සවිඥානික දෙශපාලන නායකත්වයකි.   

එම නායකත්වය ගොඩ නැගීම —සෑම රටක ම හජාජාක ශාඛා ගොඩනැගීම — අද යුගයේ තීරනාත්මක කාර්ය භාරයයි. 

ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ හි ඔහුගේ මේසයේ

1930 දී ට්‍රොට්ස්කි, බියුකාඩාහි සිට ලියූ පහත දැක්වෙන වචන උපුටා දක්වමින් මේ දේශනය නිම කිරීමට මට අවසර දෙන්න: 

“... ජාතික දේශසීමා තුල සමාජවාදී විප්ලවය සම්පූර්න කිරීමක් ගැන සිතාගත නොහැකි ය. ධනපති සමාජයේ අර්බුදයට මූලික හේතුවක් වන්නේ එය විසින් ම නිපද වූ නිෂ්පාදන බලවේග ජාතික රාජ්‍යයේ සීමා රාමු  සමග සමහන් කල නොහැකි වීමයි. එක අතකින් අධිරාජ්‍යවාදී යුද්ධයන් ද අනෙක් අතින් ධනපති යුරෝපා එක්සත් ජනපදයක මනෝරාජ්‍යය ද මෙයින් ගලා එයි. සමාජවාදී විප්ලවය ජාතික තලයේ ආරම්භ වේ, ජාත්‍යන්තර තලයේ දිග හැරේ, ලෝක තලයේ දී සම්පූර්න වේ. මෙලෙස සමාජවාදී විප්ලවය, වචනයේ වඩා අලුත්වූ ද වඩා පුලුල් වූ ද අර්ථයකින්, නොනවතින විප්ලවයක් බවට පත්වේ; එය සම්පූර්නත්වය ලබන්නේ අපේ සමස්ත ග්‍රහලෝකය පුරා ම නව සමාජයේ අවසන් ජයග්‍රහනය ලැබීමෙන් පමනකි.

ලියොන් ට්‍රොට්ස්කි දුටු සමාජවාදයේ “අවසන් ජයග්‍රහනය” සාක්ෂාත් කර ගැනීම සඳහා සටන් කිරීම ඔබේ පරම්පරාවේ වගකීම හා වරප්‍රසාදය යි.

Loading