“විශ්වවිද්‍යාලයට වයි ෆයි නෙට්වර්ක් එකක් නමට පමනක් තියෙනවා”: යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්

යාපනය විශ්වවිද්‍යාලය අසල සසජාතශි උද්ඝෝෂනයක්

පසුගිය සති අන්තයේ යාපනය විශ්වවිද්‍යාලයට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමග, විද්‍යා සහ ලලිත කලා පීඨවල සිසු-සිසුවියෝ, තම විෂ්වවිද්‍යාලයේ යටිතල පහසුකම්වල අප්‍රමානවත් බව, ඉහල යන ජීවන වියදම් සහ තමන් මුහුන දෙන පීඩාකාරී අධ්‍යයන කොන්දේසි ගැන පවසා සිටියහ.

විද්‍යා පීඨයේ ශිෂ්‍යයාවක් විශ්වවිද්‍යාලයේ ඩිජිටල් යටිතල පහසුකම්වල අප්‍රමානවත් බව විස්තර කලා ය. “විශ්වවිද්‍යාලයට වයි ෆයි නෙට්වර්ක් එකක් නමට පමනක් තියෙනවා. ඒකේ සිග්නල් ප්‍රමානවත් මදියි. ඒක යොදා ගෙන කිසි ම ප්‍රයෝජනවත් වැඩක් අන්තර්ජාලය හරහා කරන්න බෑ.”

මනා අන්තර්ජාල පහසුකම වර්තමානයේ උසස් අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය ම දෙයකි. විශ්වවිද්‍යාලයේ බොහෝ කටයුතු අධ්‍යයන කලමනාකරන පද්ධතිවලට සම්බන්ධ කර ඇති අතර මේ හරහා ඇගයීම්, නිබන්ධන ඇතුලු වෙනත් අධ්‍යයනයට අවශ්‍ය දේ බෙදා හරිනු ලැබේ. නමුත් සිසුන්ට මේ සඳහා අමතර ගාස්තු ගෙවමින් තම ස්මාර්ට් ජංගම දුරකතන හරහා මොබයිල් ඩේටා මත රැඳී සිටීමට සිදු ව ඇත.

ඇය වැඩි දුර පවසා සිටියේ මූලික පහසුකම් ප්‍රමානවත් නොවන බවයි. “වැසිකිලි සහ කැන්ටින්වල ධාරිතාවය ඉන්න සියලු ම ලමුන්ට ප්‍රමානවත් නෑ. මේ නිසා දවල් කෑම වේලාවට දේශන අතර කාලයේ දී මේව ආශ්‍රිත ව පෝලිම් නිර්මානය වෙනවා.”

“හොස්ටල් පහසුකම් ලබා දෙන්නේ පලමු වසර සහ හතර වැනි වසර අධ්‍යයනය කරන සිසුන්ට. නමුත් අපි බොහෝමයක් දෙනා වසර තුනක සාමාන්‍ය උපාධිය නිම කරන්නේ. මේ නිසා ඇත්තෙන් ම බහුතරයක් දෙනාට ලැබෙන්නේ පලමු වසරේ දී නවාතැන් පහසුකම් විරතයි.”

නවාතැන් ප්‍රශ්නය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුන දෙන දැවෙන ගැටලුවකි. දෙ වැනි වසරට පිවිසෙන විට තාවකාලික නවාතැනක් සොයා ගැනීම අනිවාර්ය වෙයි. නමුත් යාපනය විශ්වවිද්‍යාලය ආශ්‍රිත ව නිවාස කුලී ඉහල ය. බොහෝ විට මාසික නිවාස කුලි රුපියල් ලක්ෂය හෝ එය යන්තම් ඉක්මවයි. බොහෝ විට සිදු වන්නේ සිසුන් දහ දෙනෙකුගේ වැනි කන්ඩායමක් එකතු වී නිවසක් කුලියට ගැනීමයි.

“ඇතැම් සිසුන් බස් ගාස්තුව වශයෙන් යාමට ඒමට දිනකට රුපියල් සියයක් පමන වියදම් වන නිසා පයින් ම යාමට ඒමට පුරුදු ව සිටිනවා.”

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන නමුත් ඒ සඳහා අවස්ථාව නොලබන සිසුන් අතර වැඩෙන විරෝධතාවන්ට ඇස් බැන්දුම් පිලියමක් වශයෙන් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමානයන් සීමිත ප්‍රමානවලින් වැඩි කර ඇත්තේ එම සිසුන් ධාරිතාවයන් උචිත පරිදි විශ්විද්‍යාලවල යටිතල පහසුකම් ප්‍රසාරනය කිරීමකින් නොවේ. මේ නිසා විශ්වවිද්‍යාලවල පරිසරය අධ්‍යන කටයුතුවලට සුදුසු පරිසරයක් නොව තදබද නාගරික ප්‍රදේශවලට සමාන පරිසරයක් නිර්මානය වී ඇත.

ඇය තමන් මුහුන දෙන උග්‍ර ජල ප්‍රශ්නය ගැන කතා කලා ය:

“වතුර රැගෙන ඒමට හොස්ටල්වල ඉන්න ලමුන්ට විශාල කාලයක් වැය වෙනවා. පානීය ජලය සෑම තැනට ම නොලැබෙන නිසා බීමට හැකි ජලය ලීටර පහේ දහයේ බෝතල් වලට පුරවා ගෙන හොස්ටල්වල ඉන්න ලමයි අරන් යන්න ඕන. වසර මැද වන විට යාපනයේ ලිං සිඳී යන නිසා මේ ප්‍රශ්නය බොහෝ දෙනෙක්ට පානීය ජලය සම්බන්ධයෙන් පමනක් නොව අනික් අවශ්‍යතා සම්බන්ධයෙනුත් මුහුන දෙන්න වෙනවා. මේ කාලවල යාපනයේ අධික උනුසුමක් පවතින නිසා විජලනය නොවී සිටීම වැදගත්”

යාපනයේ ජල අර්බුදය ඓතිහාසික සහ භූගෝලීය සාධක මත රැඳුනු ගැටලුවකි. ජල හිඟයෙන් පෙලෙන ප්‍රදේශ සඳහා ජල සම්පාදනය නවීන තාක්ෂනය භාවිතා කල හැකි වුව ද මහජන අවශ්‍යතාවන්ට ඉහලින් ධනපති ලාභය ඉහලින් තබන සමාජ ක්‍රමයක් යටතේ හුදෙක් මහජන අවශ්‍යතා වෙනුවෙන් ඒ සඳහා අරමුදල් වෙන් කෙරෙන්නේ නැත. ඉරනමඩු වැවෙන් යාපන අර්ධද්වීපයට ජලය ගෙන ඒමට නල එලා ඇතත් වසර විස්සක් තිස්සේ එම ව්‍යාපෘතිය එක තැන හිර වී ඇත. අවසානය වශයෙන් මේ බර යාපනයේ පීඩිත ජනතාව සහ සිසුන් මත පටවා ඇත. වතුර බවුසරවලින් විකුනනු ලබන අතර ලීටරයක් රුපියලේ සිට රුපියල් දෙක දක්වා මිලකට අලෙවි වෙයි.

“නමුත් පරිපාලනයත් ශිෂ්‍ය සංගමයත් මේ ප්‍රශ්න ගැන කතා කිරීම නොනිල ආකාරයකින් තහනම් කරල තියෙනවා, ඒක විශ්වවිද්‍යාලයේ ප්‍රතිරූපයට හානියක් කියලා. මේ ප්‍රශ්න බලගතු විදියට මතු කලොත්, පරිපාලනය කරන්නේ විභාග සඳහා සියයට 80 පැමිනීම වැනි නීති බුරුලක් නැති ව ක්‍රියාවට දැමීම.”

කාරෙයිනගර් දූපතේ ජීවත් වන යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාමනාදන් ලලිත කලා පීඨයේ නර්තනය හදාරන ශිෂ්‍යාවක් පවසා සිටියේ “අධ්‍යාපනය ආර්ථික බරක් බවට පත් ව ඇති බවයි.”

කරෙයිනගර් යනු යාපන අර්ධද්වීපය ආසන්නයේ පිහිටි දූපතක් වන අතර එහි සමාජ ජීවිතය කොලඹ ආන්ඩු ගෙන ගිය දශක තුනක යුද්ධයෙන් මුලුමනින් ම විනාශ වූවකි. ඉන්දියානු හමුදාව ලංකාවෙන් පිට ව යාමත් සමග ශ්‍රී ලංකා හමුදාවන් නැවතත් උතුරු නැගෙනහිර පලාත් වාඩිලාගත් 1992 වසරේ දී අතිවිශාල ජනතාවක් යාපනය අර්ධද්වීපය අත හැර වන්නියට පලා ගියහ. ඇගේ දෙමවුපියන් ද එසේ තම නිවාස සහ දේපල අතහැර දමා පලා ගිය අය අතර වෙති. දූපත පුරා දැකිය හැකි දරිද්‍රතාවත් පසුගාමීත්වයත් යුද්ධය විසින් උග්‍ර කෙරුනු කොන්දේසි ය.

අතිශයින් අබලන් මාර්ග පද්ධතියක් සහිත කාරෙයිනගර් පානීය ජල හිඟයකින් ද බැට කයි. දූපතේ ප්‍රධාන ජීවිකාවන් වන්නේ ධීවර කටයුතු සහ ගොවිතැන ය.

“මට මාසික ව විශ්වවිද්‍යාලයට යාමට සහ ඒමට රුපියල 8000ක් වැය වෙනවා. කෑමට, ඇඳුම් පැලඳුම්වලට සහ අධ්‍යාපනික ලිපි ද්‍රව්‍යවලට රුපියල් 20000ක් වැය වෙනවා. සාරි ඇඳීම අනිවාර්යයි. සාරිවලට වියදම් දරන්න බැරි නිසා මම දැන් අලුතින් සාරි ගැනීම නතර කරලයි තියෙන්නේ.”

ඇයට මෙම ආර්ථික දුෂ්කරතා දරා ගෙන දෛනික ව වෙහෙසකාරී අධ්‍යයන දින චර්යාවකට මුහුන දීමට සිදු වේ. “දේශන උදේ 8ට පටන් ගත්තා ම ඉවර වෙන්නේ සවස 5ට. ගෙදරට එන කොට රෑ 7 වෙනවා. ඊට පස්සේ ඇසයින්මන්ට් (පැවරුම්) තියෙනවා ඉවර කරන්න.”

පීඨය මුහුන දෙන තදබදකාරී පරිසරය ඇය ද විස්තර කලා ය. “දේශන ශාලා හිඟය නිසා එක් පොදු ශාලාවක එකවර දේශන පහක් පැවැත්වෙනවා. අනෙක් පන්තිවල ශබ්දයන් ද ඇසෙන නිසා අවධානය රඳවා ගන්න දුෂ්කර වෙනවා. විදුලි පංකා ක්‍රියාකාරී තත්ත්වයේ නෑ. මේ නිසා තදබදයෙන් පිරුනු මේ ශාලාව තුල වාතය ගලා යාමක් නෑ.”

“නැටුම් පුහුනු වීම් කරන්නේ සිමෙන්ති පොලොවේ. එතකොට කොන්දට සහ කකුලට අමාරුකම් එනවා. වෛද්‍යවරු කියන්නේ විවේක ගන්න කියලා. නමුත් අපිට එහෙම කරන්න පුලුවන් කමකුත් නෑ.”

“නර්තන වැඩසටහන්වලට සහභාගී වීමට නම් ඇඳුම් ආයිත්තම්වල වියදම අපි ම දරා ගත යුතු වෙනවා. බොහෝ විට එවැනි අවස්ථාවක රුපියල් 10 000ක් වැනි මුදලක් වියදම් වෙනවා. මේ මුදල දරා ගන්න බැරි නම් අවස්ථාව අහිමි ව යනවා. බොහෝ විට අධ්‍යාපන වියදම් සඳහා අම්මාගේ කනකර උකස් කරන්න වෙනවා. පහල කම්කරු පන්තික පවුලක් වන අපට මේ වියදම් දරා ගන්න බෑ. මේ නිසා මගේ අධ්‍යාපනය පවුලට බරක් වෙලා කියල නිතර ම දැනෙන්නේ. මේ නිසා සමහර වෙලාවට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නවතා දමා රැකියාවකට යොමු වෙන්න හිතෙනවා.”

ඇය පවසා සිටියේ වියදම් ආවරනය කිරීමට ඉඩ ලැබෙන විට තමන් ඉස්සන් ඇල්ලීමට යොමු වන බවයි.

Loading