[මෙය, Trump follows genocidal threat against Iran with 2-week “ceasefire” මැයෙන්, 2026 අප්‍රේල් 08 දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]
“අද රෑ සමස්ත ශිෂ්ටාචාරයක් ම මිය යනු ඇත” යැයි තර්ජනය කර පැය දහයකට පසු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අඟහරුවාදා සන්ධ්‍යාවේ තම “Truth Social” සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් පල කරමින්, තමන් “ඉරානයට බෝම්බ දැමීම හා පහරදීම් සති දෙකකට නතර කරන” බව පැවසී ය. එය රඳා පවතිනු ඇත්තේ ඉරානය විසින්, හෝමුස් සමුද්‍ර සන්ධිය “පරිපූර්න, ක්ෂනික හා සුරක්ෂිත ලෙස” විවෘත කිරීම මත බව ද ඔහු තවදුරටත් ලිවී ය. තමන්ගේ මිලිටරි ඉලක්ක සියල්ල දැනට ම ජයග්‍රහනය කර අවසාන බවත් “එක්සත් ජනපදය හා ඉරානය, නිශ්චිත ගිවිසුමක් දක්වා බොහෝ දුර පැමින ඇති” බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ ය.
ඉරාන නිලධාරීන්ගේ ප්‍රකාශ ලෙස උපුටා දක්වන මාධ්‍ය වාර්තාවලට අනුව උත්තරීතර නායක අයතුල්ලා මොජ්තාබා කමනෙයි ගේ අවසාන අනුමැතිය ඇති ව, අන්තිම මිනිත්තුවේ චීන මැදිහත්වීමකට පසු ව, පකිස්ථානය විසින් යෝජනා කල “සටන් විරාමය” ඉරානය විසින් පිලිගෙන තිබේ.
ගිවිසුමේ පදනම කුමක් ද යන්න අප මෙය ලියන අවස්ථාව වන විට පැහැදිලි නැත. ට්‍රම්ප්, අඟහරුවාදා සවස, සීඑන්එන් නාලිකාවේ ඉරාන වාර්තාවට එරෙහි ව කුරිරු නිෂ්ප්‍රභ කිරීමක් පල කරමින්, “සීඑන්එන් ලෝක ප්‍රවෘත්ති වාර්තාව අමූලික වංචාවක් යයි…” පවසන සහ එම සමාගමට විරුද්ධ ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කරන පෝස්ටුවක් පල කලේ ය. බැලූ බැල්මට පෙනෙන පරිදි, ඔහු සඳහන් කරන්නේ “ඉරානය, තමන් යුද්ධය ජයගත් බව ද එක්සත් ජනපදය තමන්ගේ කරුනු දහයේ සාම යෝජනාවට එකඟ වූ බව ද පවසන හෙඩිම යටතේ සීඑන්එන් නාලිකාව පල කල වාර්තාව ගැන ය.
කෙසේ වෙතත්, අන්තිම මොහොතේ ඇති කරගත් එකඟත්වය, ට්‍රම්ප් විසින් අඩියක් පස්සට ගැනීමක් ලෙස පෙනෙනු ඇත. ඔහුගේ තර්ජන, ඉරානය බිය ගැන්වීමට අසමත් වී තිබෙන අතර එයින් ඔහුගේ ආන්ඩුව තුල දේශපාලන අර්බුදය තීව්‍ර කර ඇත.
මිලියන 93 ක ජනතාවකගේ ශිෂ්ටාචාරයක් මහ පොලොවෙන් අතුගා දමන්නට ඔහු කරන තර්ජනය — එම තර්ජනය ම යුද අපරාධයකි — සහ සමස්ත යුද්ධය ම ඓතිහාසික පරිමානයේ දේශපාලන අර්බුදයක් නිර්මානය කර ඇත.
එකී ප්‍රකාශන, ඇමරිකානු ආන්ඩුව අපරාධකාරී පාතාලය විසින් මෙහෙයවන අනීතික තන්ත්‍රයක් බව හෙලිදරව් කර ඇත.
එය, එක්සත් ජනපදය පුරාමත් ජාත්‍යන්තරවත් කම්පනය හා පිලිකුල ජනිත කර ඇත. එය ඇමරිකානු සමාජය මත ගැඹුරු ප්‍රතිඵල ඇති කරමින්, එක්සත් ජනපදය සතු ව තිබුනා යයි කියන කිසියම් ඊනියා සදාචාරාත්මක බලධාරිත්වයක් තිබුනා නම් එය ද සදහට ම, යලි අලුත්වැඩියා කල නොහැකි ලෙස, කුඩුපට්ටම් කර දමා ඇත.
වොෂින්ටනය සහ එහි මිත්‍ර පාර්ශ්ව, ඝාතන සහ ත්‍රස්ත කිරීම් මගින් තීන්දු කල හැකි වෙතැයි ඔවුන් උපකල්පනය කල යුද්ධයක් දියත් කල නමුත් ඔවුහු ඉරාන මහජනතාවගේ ප්‍රතිරෝධය බැරෑරුම් ලෙස අවතක්සේරු කලහ.
ඇමරිකානු අධිරාජ්‍යවාදය දැන් විසඳිය නොහැකි උභතෝකෝටිකයකට මුහුන දී සිටී. ප්‍රහාර වැඩිකර යුද්ධය දිග්ගැස්සීම, දිනිය නොහැකි යුද්ධයක සාපරාධීත්වයේ අපකීර්තිය ගැඹුරු කර රට තුල පුපුරනසුලු ප්‍රතිඵල ජනිත කරයි ; අනෙක් අතට පසුබැසීම පරාජයක් ලෙස ජාත්‍යන්තර ව හඳුනා ගනු ඇති අතර එය එක්සත් ජනපදය තුල දේශපාලන තත්වය තවදුරටත් අස්ථායී කරනු ඇත.
අඟහරුවාදා දවසේ සිදුවීම්, අර්බුදය කොතෙක් සුවිශේෂ වී තිබේ ද යන්න අවධාරනය කරයි. ට්‍රම්ප්ගේ නියෝග ක්‍රියාත්මක කිරීම භාර මිලිටරිය තුල, විශ්වීය වශයෙන් ම යුද අපරාධ ලෙස පිලිගනු ලබන ක්‍රියාවන් ගැන අවසානයේ දී තම කර මත වගකීම පැටවෙතැයි වර්ධනය වන අසහනයක් පවතී.
මෙම යථාර්ථය, දේශපාලන සංස්ථාපිතය තුලින් එන ප්‍රකාශ — රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන දෙකේ ම කොටස් ඇතුලත් — මගින් සටහන් වේ. කොන්ග්‍රස් නියෝජිත සේරා ජේකබ්ස් (ඩිමොක්‍රට්- කැලිෆෝනියා) “ජනාධිපතිවරයා මේ දැන් ජන සංහාර තර්ජනයක් නිකුත් කලා” යයි පවසා, ෆෙඩරල් හා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස ඒකාබද්ධ සන්නද්ධ හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිමින් දෝෂාභියෝග ඇතුලු සියලු විකල්පයන් සලකා බලන බව ද ප්‍රකාශ කලාය. කැලිෆෝනියා ප්‍රාන්තයේ ම තවත් නියෝජිතයකු වූ ටෙඩ් ලියු, කෙලින් ම හමුදා ප්‍රධානීන් අමතමින් මිලිටරි විනිශ්චය සංග්‍රහය (Uniform Code of Military Justice) හා ෆෙඩරල් නීතිය යටතේ යුද අපරාධ තහනම් බව අවධාරනය කලේ ය.
එවැනි ප්‍රකාශ නිකුත්වීමමත් අර්බුදයේ පරිමානය පිලිබඳ දර්ශකයකි. එසේ ම ඒවා විපක්ෂයේ පක්ෂාඝාතය හා වංචනිකත්වය ද හෙලිදරව් කරයි. ගාසාවේ ජන සංහාරයට සහාය දුන්, යුද වියදම් අනුමත කල, ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහි ව මොන යම් ම හෝ බැරෑරුම් සටනක් දියත් කිරීම ප්‍රතික්ෂේප කල, ඉරාන යුද්ධයට ජවය දුන් මේ ඩිමොක්‍රටිකයෝ ම යුද අපරාධ වැලැක්වීමට කිසිදු සංයුක්ත ක්‍රියාවක් යෝජනා නොකර දැන් යුද අපරාධ වෙන්න යනවා යයි ප්‍රකාශ නිකුත් කරති.
නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වය විසින් අඟහරුවාදා නිකුත් කල නිල ප්‍රකාශය “ඩොනල්ඩ් ට්‍රම්ප්ට හොඳට ම සිහි විකල් ව ඇති” බව ද වහා ම මන්ත්‍රී මන්ඩලය රැස් වී, ට්‍රම්ප් අපේ රට තුන්වන ලෝක මහා සංග්‍රාමයට ඇද දැමීමට පෙර සිය කැමැත්තෙන් ආරම්භ කල මැද පෙරදිග යුද්ධය නතර කිරීමට ඡන්දය ප්‍රකාශ කල යුතු බව ද ප්‍රකාශ කලේ ය.
සෙනේට් සභාවේ ඩිමොක්‍රටික් නායකයා වන චක් ෂූමර්, සෙනේටයේ අනෙක් ඩිමොක්‍රටිකයන් සමග එක් ව අඟහරුවාදා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, “මිලියන ගනන් සිවිල් වැසියන්ට ජීවත්වීමට අවශ්‍ය බලශක්ති, ජල සැපයුම් සහ වෙනත් යටිතල පහසුකම් සිතා මතා ම විනාශ කිරීම යුද අපරාධයක්” බව පිලි ගත්තේ ය. නමුත් එම ප්‍රකාශයේ ක්‍රියාකාරී වාක්‍යය පහත දැක්වෙන ආයාචනයයි : “ජනාධිපතිවරයා තම තර්ජනය ක්‍රියාත්මක නොකල යුතු ය.”
වෙනත් වචනවලින් කිවහොත් සති පහක නීති විරෝධී යුද්ධයට පසු ව, සෙනේට් ඩිමොක්‍රටිකයන් ජන සංහාරයක තර්ජනයට ප්‍රතිචාර දක්වන්නේ එය නොකරන ලෙස විනීත ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටීමෙනි.
ඩිමොක්‍රටික් පක්ෂය, මහජනතාව අතර පවතින අති මහත් විරෝධය බලමුලු ගැන්වීම ප්‍රතික්ෂේප කරන අතරේ ම ට්‍රම්ප්ගේ විචාර බුද්ධියට හා රිපබ්ලිකන්වරුන් ගේ “දේශප්‍රේමයට” ආයාචනා කරන්නේ, එවැනි බලමුලු ගැන්වීමක්, ට්‍රම්ප්ටත් වඩා ඔවුන් බියට පත් කරන වෙනත් ප්‍රශ්න මතු කරන නිසා ය.
එ පමනක් නොව, ඩිමොක්‍රටිකයෝ, (ඔවුන්ගේ ජනාධිපති) බයිඩන් යටතේ ආරම්භ වූ ගාසා ජන සංහාරයෙන් ගලා එන ඉරානයට එරෙහි යුද්ධයටත් මැද පෙරදිග එක්සත් ජනපද ආධිපත්‍යයේ මූලික අරමුනුවලටත් සහාය දක්වති.
එදා ම උදේ ට්‍රම්ප්ගේ තර්ජන “සදාචාරාත්මක වශයෙන් අතිශයින්ම වැරදි” සහ “දුෂ්ට” යයි ප්‍රකාශ කල ඩිමොක්‍රැටික් සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි, හවස් වන විට, සටන් විරාමයේ කොන්දේසි ගැන මෙසේ ලිවී ය: “ට්‍රම්ප්, හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය අතට දෙන්න එකඟ වෙලා වගෙයි, පේන්නෙ. ඒක ඉරානයට ඓතිහාසික ජයග්‍රහනයක්. අසමර්ථකමේ තරම අතිශය පුදුම සහගත වගේම හද කම්පා කරවන සුලුයි.”
පාලක පන්තිය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විසඳිය නොහැකි උභතෝකෝටිකයකට මුහුන දී සිටිනවා සේ ම දේශීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද සමාන්තර උභතෝකෝටිකයකට මුහුන දී සිටී.
පාලක පන්තිය, ලෝක යුද්ධය සහ සමාජ ප්‍රතිවිප්ලවය සඳහා, පවතින නීති සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව යටතේ ක්‍රියාත්මක කල නොහැකි ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම උදෙසා, ට්‍රම්ප් නමැති පුද්ගලයාගෙන් මූර්තිමත් වන දේශපාලන පාතාලය රාජ්‍ය බලයේ පිහිටුවීය ; නමුත් එම ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමේ උත්සාහය, පාලක පන්තිය වැඩියෙන් ම බියපත් කරන සමාජ බලවේග එනම් එක්සත් ජනපදය තුල පන්ති ඝට්ටනය පුපුරුවා හැර ඇත.
ධනේශ්වරයේ සියලු කන්ඩායම් පහල සිට එන එවන් ව්‍යාපාරයකට නිත්‍ය ලෙස ම විරුද්ධ වන්නේ එය හුදෙක් එක් ජනාධිපතියෙකුට පමනක් නොව ධනපති පාලනයේ අත්තිවාරම්වලට ම තර්ජනය කරන බැවිනි. පාලක පන්තියේ ප්‍රතිචාරය වනු ඇත්තේ පසුබැසීම නොව, ප්‍රහාරය හා දේශීය මර්දනය තීව්‍ර කිරීමත් ය.
ක්ෂනික වර්ධනයන් මොනවා උනත්, දේශපාලන සංස්ථාපිතයට පාලනය කල නොහැකි සේ ම ගැලවිය නොහැක්කාවූ ද ප්‍රතිඵල යුද්ධය විසින් ජනිත කරමින් තිබේ. සංගත විසින් පාලනය කරනු ලබන දේශපාලන පද්ධතියේ සාමාන්‍ය යාන්ත්‍රනයන් මගින් අර්බුදය විසඳිය නොහැක.
තීරනාත්මක ප්‍රශ්නය වන්නේ සමාජමය හා දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීම බව සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරයි. සති දෙකේ සටන් විරාමය, අතරමග දී නොකැඩුනොත්, එය උග්‍ර වන දේශපාලන අර්බුදයේ කාල පරිච්ඡේදයක් වනු ඇත. එම කාල පරිච්ඡේදය යුද්ධයටත් ට්‍රම්ප් පරිපාලනයටත් විරුද්ධ ව පුලුල් කම්කරු පන්තික විරෝධය ගොඩනැගීමට යොදා ගත යුතු වේ.
මේ අරගලය, ධනපති කතිපයාධිකාරයට ද එය විසින් ආරක්ෂා කරන ධනපති ක්‍රමයට ද එරෙහි ව කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීමෙන් වෙන් කල නොහැක. පාලක පන්තිය, මනුෂ්‍ය වර්ගයා විනාශයේ මුව විට කරා ගෙන යයි. කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය සඳහා සටන් කිරීම මගින් ප්‍රතිචාර දැක්විය යුතු වේ.
