[මෙය Washington’s assault on Cuba and Latin America: A key front in the capitalist drive to abolish the 20th century මැයෙන් 2026 මාර්තු 18දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]
“කියුබාව අත් පත් කර ගැනීමේ ගෞරවය මට තිබෙන බව මම විශ්වාස කරනවා. එය ඉතා විශාල ගෞරවයක්” බව කියමින්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මාර්තු 16 දා, වාර්තාකරුවන් ඉදිරියේ උදම් ඇනුවේ ය. මෙය, සමස්ත දිවයින අලලාගත් විදුලි කප්පාදුව සමග සමපාත විය.
“මම එය නිදහස් කලත්, අත් කර ගත්තත්, මට එය සමග මට අවශ්‍ය ඕනෑ ම දෙයක් කල හැකි බව මම හිතනවා” යි ඔහු කීවේ, “විසල් කෙවිට” රාජ්‍යතාන්ත්‍රිකත්වයේ නිර්මාපකයා වූ තියොඩෝර් රූස්වෙල්ට් පවා ලජ්ජාවට පත් කරන මැර භාෂාවෙනි. [විසල් කෙවිට (big stick) රාජ්‍ය තාන්ත්‍රිකත්වය යනු විසල් කෙවිටක් අතැති ව මෘදු ලෙස කතා කිරීම හෙවත් මිලිටරි බලය භාවිතා කරන බවට තර්ජනය කරමින් සාමය සඳහා සාකච්ඡා කිරීමේ විදේශ ප්‍රතිපත්තියයි - පරිවර්තක]
මෙම උද්ධච්ඡ ප්‍රකාශය සිදු කෙරුනේ, එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල “ජාතික හදිසි තත්ත්වයක්” සහිත රටක් ලෙස කියුබාව නම් කරමින්, ට්‍රම්ප් විසින් ජනවාරි 29දා, එම දිවයිනට පූර්න බලශක්ති සම්බාධකයක් පැන වූ තැන් සිට හවානා පාලනය විසින් ප්‍රධාන අනුග්‍රහ මාලාවක් ප්‍රකාශ කිරීමෙන් පසුවයි.
පුද්ගලික ව්‍යාපාර ප්‍රසාරනය කරමින් හා රාජ්‍ය-පුද්ගලික හවුල්කාරකම්වලට අවසර දෙමින් දුර දිග යන ආර්ථික “ප්‍රතිසංස්කරන” නිවේදනය කිරීම; කියුබානු-ඇමරිකානු ත්‍රස්තවාදීන් සන්නද්ධ ව ඇතුලුවීම විමර්ශනය කිරීමට එෆ්බීඅයි “විශේෂඥයන්ට” දිවයිනට පැමිනීමට ආරාධනා කිරීම; එක්සත් ජනපද සංගත හා මියාමිහි පිටුවහලේ සිටින “ගුසානෝ” ධනපතියන් විවෘත ව පිලිගැනීම; සහ ඉන්ධන බාධනය හා “ආරක්ෂක සහයෝගීතාව” ගැන ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා පැවැත්වීම තහවුරු කිරීම ආදිය කියුබානු ආන්ඩුව සති කිහිපයක් ඇතුලත කර ඇත.
කියුබානු ජනාධිපති මිගෙල් ඩියස්-කැනෙල් බදාදා (මාර්තු 18) “දිනපතා පාහේ” ට්‍රම්ප් කරන තර්ජන හෙලා දැක, “යටත් නො වී ප්‍රතිරෝධය” පල කරන බවට සපථ කල ද ඔහුගේ පරිපාලනයෙහි ක්‍රියාවන් සංඥා කරන්නේ යටත් වීම යි. “එක්සත් ජනපද සමාගම් සමගත්, එක්සත් ජනපදයේ වාසය කරන කියුබානුවන් හා ඔවුන්ගේ දරු-මුනුපුරන් සමගත්, ද්‍රවශීලී වානිජ සබඳතා පැවැත්වීමට කියුබාව විවෘත” යයි එන්බීසී නිව්ස් වෙත නියෝජ්‍ය අගමැති ඔස්කාර් පෙරෙස්-ඔලීවා කීවේ ය.
දිගු කාලයක් තිස්සේ පිටුවහල් ප්‍රාග්ධනය (ස්වයං පිටුවහලේ සිටින කියුබානුවන්ගේ ප්‍රාග්ධනය - පරිවර්තක) තහනම් කරමින් ෆිදෙල් කස්ත්‍රෝ පවත්වා ගෙන ගිය පිලිවෙතේ ඓතිහාසික ආපසු හැරවීමක් මෙමගින් සනිටුහන් කෙරෙයි. ආක්‍රමන, ත්‍රස්තවාදී බෝම්බ හෙලීම් හා ඝාතන ප්‍රයත්න හරහා අර්ධ-විජිත යුගය පුනස්ථාපනය කිරීමට උත්සාහ කල එම ස්ථරවලට එරෙහි ආරක්ෂාවක් ලෙස එය සාධාරනීකරනය කෙරුනි.
එහෙත්, තන්ත්‍ර මාරුව සඳහා ධවල මන්දිරයේ විධානයන් සමහන් කිරීමට මෙයින් කිසිවක් සිදු ව නැත. අඟහරුවාදා ඕවල් කාර්යාලයේ ට්‍රම්ප් අසල වාඩි වී සිටි රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ, හවානාව ගෙන ඇති ව්‍යාපාර-ගැති පියවරයන් නොතකා හලේ ය: “ඔවුන්ට එය පිරියම් කල නොහැකියි. ඒ නිසා ඔවුන් කැපී පෙනෙන අයුරින් වෙනස් විය යුතුයි. ඊයේ ඔවුන් නිවේදනය කල දේවල් ඇති තරම් කැපී පෙනෙන්නේ නැහැ. එමගින් එය පිරියම් කරන්නේ නැහැ.”
ඩියස්-කැනෙල් ට ජනාධිපති පදවියෙන් “ඉවත් ව යාමේ මාවතක්“, කස්ත්‍රෝ පවුලට දිවයින තුල අඛන්ඩ ව වාසය කිරීමට ඉඩදීම සහ “වරාය, බලශක්තිය හා සංචාරක කර්මාන්තය” පිලිබඳ ගනුදෙනු ගැන, වෙනත් අයුරකින් කිවහොත්, යලි විජිතකරනය සඳහා සාකච්ඡාවෙන් එකඟ වන පැකේජයක් ගැන, ට්‍රම්ප්ගේ කන්ඩායම සාකච්ඡා කරමින් සිටින බව යූඑස්ඒ ටුඩේ වාර්තා කර ඇත.
එක්සත් ජනපදය විසින් කියුබාව වැටලීම, අර්ධ-ගෝලයේ සෑම රටක ම ඉරනම ඍජු ව විධානය කරමින්, එම රටවල සියලු සම්පත් ස්ව-සන්තක කරගැනීමට වොෂින්ටනයට තිබෙන අයිතිය අවධාරනය කරන, මොන්රෝ ධර්මතාවේ “ට්‍රම්ප් ආචරනය” යටතේ තල්ලු කර ගැනෙන පලල් අධිරාජ්‍යවාදී ප්‍රහාරයක කොටසකි. (1823 දී එක්සත් ජනපද ජනාධිපති ජේම්ස් මොන්රෝ විසින් බටහිර අර්ධගෝලය හෙවත් උතුරු සහ දකුණු ඇමරිකාව, තවදුරටත් යුරෝපීය යටත් විජිතකරණයට හෝ මැදිහත්වීම් සඳහා විවෘත නොවන බව ප්‍රකාශයට පත් කලේ ය. -පරිවර්තක)
ජනසංහාරක තන්ත්‍ර-මාරු මෙහෙයුම ඇමරිකානු මහජනයාට විකුනන්නේ කෙසේ ද යන්න පිලිබඳ කෙස් පැලෙන තර්කවලින් ඔබ්බේ, එයට පක්ෂ දෙකේ ම හා සංගත මාධ්‍යවල සහයෝගය ලැබේ. ඩිමොක්‍රටික් පක්ෂයේ “ප්‍රගතිශීලී” අංශයේ පුද්ගලයෙකු ලෙස සැලකෙන කොංග්‍රස් සභික රෝ කන්නා, එය අනුමත කරමින් X සමාජ මාධ්‍යයේ මෙසේ ලීවේ ය: “ඇමරිකානු හා කියුබානු ව්‍යවසායකයන්ට කියුබාව තුල ආයෝජනය කිරීමටත්, කියුබාව ආර්ථික ව ප්‍රකෘතිමත් හා නවීකරනය කිරීමටත්, ගනුදෙනුවකින් ඉඩ ලබා දෙනු ඇත.”
මේ මාසය මුල මියාමිහි පැවති ඇමරිකා ආරක්ෂක සමුලුවේ දී, මිලිටරීකරනය, මහා පරිමාන මර්දනය සහ ජීවන තත්ත්වයන් හා සමාජ වැඩසටහන් මත යෝධ ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුලත් පොදු ක්‍රියාමාර්ගයක් මත, ආජන්ටිනාව, ඉක්වදෝරය, පැරගුවේ රාජ්‍යය, චිලී රට හා අර්ධ-ගෝලයේ තවත් රටවලින් අන්ත-දක්ෂිනාංශික පාලන තන්ත්‍රයන් හා සගයන් එක් කිරීමට ට්‍රම්ප් පියවර ගත්තේ ය.
ෆැසිස්ට්වාදී කලාපීය නායකයන්ගේ අත්පොලසන් හඬ මධ්‍යයේ, “කියුබාව සිටින්නේ තම ජීවිතයේ අවසන් මොහොතේ” යැයි ට්‍රම්ප් ඔවුන්ට කීවේ ය.
එක්සත් ජනපදය, “මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදීන්ට” එරෙහි ව සටන් කිරීමේ නාමයෙන්, ඉක්වදෝරයට භටයන් දිගේලි කරමින් ද එම රට තුල එෆ්බීඅයි හා මිලිටරි කාර්යාල විවෘත කරමින් ද සිටී. මෙම ඒකාබද්ධ ප්‍රහාරය තුල ගොවි නිවාස ගිනි තැබීම, ගම්බද ප්‍රදේශවලට බෝම්බ දැමීම හා කම්කරුවන්ට වධ දීම සිදු වෙමින් පවතී. එපමනක් නොව, ඉක්වදෝරයේ සිට එල්ල කෙරුනු ගුවන් ප්‍රහාර මගින් තම දේශසීමාව තුල දී පුද්ගලයින් 27ක් මරා දැමීම කොලොම්බියාව හෙලා දුටුවේ ය. ඒ අතර, ඉක්වදෝර අධිකරනය රටෙහි ප්‍රධාන ධනේශ්වර විපක්ෂය වන රෆායෙල් කොරයාගේ පුරවැසි විප්ලවය පක්ෂය තහනම් කර තිබේ.
කලාපය පුරා කඳවුරු ඉදිකිරීමේ අයිතිය සුරක්ෂිත කර ගැනීමේ ද කැරීබියානු සහ පැසිෆික් ප්‍රදේශ තුල නාවික මෙහෙයුම් ප්‍රසාරනය කිරීමේ ද පෙන්ටගනයේ දක්ෂින බලකාය යෙදී සිටින අතර, එයට, මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම පිලිබඳ කිසිදු සාක්ෂියකින් තොර ව, එම චෝදනා යටතේ කරගෙන යන බෝම්බ දැමීම්, අවම වසයෙන් ධීවරයන් 157කගේ ජීවිත බිලිගැනීම ඇතුලත් ය.
මෙක්සිකෝව ආක්‍රමනය කර එයට බෝම්බ දැමීම සඳහා අනවරත ව කැඳවුම් කරන ට්‍රම්ප්, පැනමා ඇල සහ ග්‍රීන්ලන්තය මිලිටරි බලයෙන් අත් පත් කරගන්නා බවට ද යලි යලිත් තර්ජනය කර තිබේ.
වෙනිසියුලාව අල්ලා ගත් භූමි ප්‍රදේශයක් ලෙස සලකමින්, එම රටට එක්සත් ජනපදයේ 51වන ප්‍රාන්තය බවට පත් විය හැකි යයි ට්‍රම්ප් මෑත දී සමාජ මාධ්‍යය තුල යෝජනා කලේ කැනඩාව පිලිබඳව කල ඒ හා සමාන ප්‍රකාශයන්ට පසුව ය. කැරකස් වෙත එල්ල කල බෝම්බ ප්‍රහාර මධ්‍යයේ, ජනාධිපති නිකොලස් මදුරෝ හා ඔහුගේ භාර්යාව පැහැර ගැනීම, වෙනිසියුලාව සීඅයිඒ වෙත ද එහි තෙල් හා ඛනිජ සම්පත් සංගත කොල්ලකෑමට ද විවෘත කර ඇත.
කලාපය තුල එක්සත් ජනපද මූලෝපායේ “කඩ ඇනය” ආජන්ටිනාව යයි ට්‍රම්ප්ගේ භාන්ඩාගාර ලේකම් ප්‍රකාශ කරද්දී, එරට ජනාධිපති හාවියර් මිලී, චීන ධීවර මෙහෙයුම්වලට විරුද්ධ වීමේ කඩතුරාව යටතේ, දකුනු අත්ලන්තික් ප්‍රදේශයේ පාලනය පෙන්ටගනයට පවරා, වසර 100ට අධික කම්කරුවන්ගේ ජයග්‍රහන අකාමකා දැමීම ඍජු ව ඉලක්ක කරමින් කම්කරු “ප්‍රතිසංස්කරන” පාර්ලිමේන්තුව තුලින් තල්ලු කරගෙන තිබෙන්නේ, එක්සත් ජනපදයේ පිටුබලය ලද අවසන් මිලිටරි ආඥාදායකත්වයේ අපරාධ ආරක්ෂා කරමිනි.
මිලීගේ පිලිවෙත් අනුයමින් ආර්ථික කම්පන ප්‍රතිකාර දැනටමත් දියත් කරමින් සිටින, ඔගස්ටෝ පිනෝචේ ආඥාදායකත්වයට විවෘත ව ආකර්ශනය වූවෙක් වන ජෝස් ඇන්ටෝනියෝ කාස්ට් වෙත චිලී රටේ මැතිවරනයෙන් තේරී පත්වීමට ට්‍රම්ප් පිටුබලය දුන්නේ, ආජන්ටිනාව, හොන්ඩුරාස් හා කොස්ටාරිකාවේ අන්ත-දක්ෂිනාංශික අපේක්ෂකයන්ට ඒ හා සමාන බලහත්කාරී අනුමැතීන් ලබා දීමෙන් පසු ව ය.
මෙය හුදෙක් භූ-දේශපාලනය පමනක් නොවේ; එය පන්ති යුද්ධයයි. 20වන සියවසේ ගමන් මාවත පුරා, ඇමරිකාවන් දෙකෙහි කම්කරුවන් දිනාගත් සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහන අතුගා දමමින්, පසුගිය සියවස පුරා මිලිටරි ආඥාදායකත්වයන් විසින් උත්සාහ කල සමාජ ප්‍රතිවිප්ලවය සම්පූර්න කිරීම මෙහි ඉලක්කයයි. රට තුල ෆැසිස්ට් පාලන තන්ත්‍රයක් ගොඩනැගීමට ට්‍රම්ප් දරන ප්‍රයත්නයන්ගෙන් මෙය වෙන් කල නොහැක.
කියුබාවට එරෙහි සාමූහික දඬුවම
දිවයිනට මිසයිලයක් හෝ එල්ල කිරීමෙන් තොර ව, කියුබා ආර්ථිකයේ ගෙල මිරිකීම, යුද්ධයට පමනක් සන්සන්දනය කල හැකි පරිමානයක ව්‍යසනයක් නිශ්පන්න කරමින් පවතී. 2026 ආරම්භයේ මදුරෝ ඉවත් කිරීමෙන් පසුව, වෙනිසියුලානු තෙල් නැව්ගත කිරීම් කපා දැමූ එක්සත් ජනපදය, කියුබාවට ඉන්ධන අපනයනය කල හොත්, ආර්ථිකයන් කොර කර දමන තීරු බදු පනවන බවට මෙක්සිකෝවට හා අනෙකුත් සම්පාදකයන්ට තර්ජනය කලේ ය. මෙක්සිකෝවේ ජනාධිපතිනි ක්ලෝඩියා ශීන්බෝම් ජනවාරියේ දී තෙල් නැව්ගත කිරීම් නතර කලා ය. බ්‍රසීලය හා කොලොම්බියාව -මෙම රටවල් දෙක ම පාලනය කරන්නේ “වාමාංශික“ නායකයන් හා ප්‍රධාන තෙල් අපනයනකරුවන් විසිනි- සම්බාධකය බිඳ දැමීම ඒ හා සමාන ව ප්‍රතික්ෂේප කර ඇත.
හුදු යටත් වීමක් නො වන මෙය, අර්ධ-ගෝලය නව-විජිතවාදී ලෙස කොටස් කර ගැනීමට වොෂින්ටනය කරන වැඩ කටයුතුවල කනිෂ්ඨ පාර්ශවකරුවන් ලෙස ස්ථානගත වීමට උත්සාහ කරන දේශීය ධනපතියන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහයෝගී වීමකි.
කියුබාව හුදකලා වීම පැහැදිලි ය. ඉක්වදෝරය කියුබානු රාජ්‍ය-තාන්ත්‍රිකයන් නෙරපා දැමී ය; නිකරගුවාව කියුබානුවන්ට ලබා දෙන වීසා රහිත සංචාරයන් කපා දැමී ය; ගුවාතමාලාව, හොන්ඩුරාස් හා ජැමෙයිකාව වැනි රටවල්, හවානා වෙත තීරනාත්මක දුර්ලභ මුදල් සම්පාදනය කරන වෛද්‍ය සහයෝගිතා ගනුදෙනු අවසන් කිරීමට කටයුතු කර තිබේ.
බොරතෙල් දවමින් ධාවනය කරන, සෝවියට්-යුගයට අයත් වයස්ගත තාප කම්හල් මත සහ ඩීසල් ජෙනරේටර් ජාලයක් මත රඳා පවතින කියුබානු විදුලිබල සැපයුම, බිඳ වැටීමට ආසන්න ලක්ෂ්‍යයක් කරා තල්ලු කෙරී පවතී. මාර්තු 16දා, සමස්ත ජාතික සැපයුම ම බිඳ වැටුනේ, දිවයින අඳුරට ඇද දමමිනි. පැය 29කට පසු ව, විදුලි බලය භාගික ව පමනක් ප්‍රතිස්ථාපනය කෙරුනි.
සිය නිවහන් ප්‍රදේශය විදුලි බලයෙන් තොර ව දවස් ගනන් ගෙවා දමා ඇති බව, මැටන්සාස්හි කම්කරු කාන්තාවක් ලෝසවෙඅ වෙත කීවා ය. පානීය ජලය සීමිත වන අතර උයන පිහන ගෑස් ඇත්තේ ම නැත. මෑත දී, දැනටමත් ගනන් නැති ජීවිතවලින් වන්දි ගන්නා සෞඛ්‍යාරක්ෂන පද්ධතිය බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, ඇයගේ සමීප ඥාතියෙක් මිය ගිය බව ඇය සිහිපත් කලා ය.
11,000ට අධික ලමුන් ද ඇතුලත් ව, “හදිසි නො වන” පටිපාටි 100,000ක පමන පොරොත්තු ලේඛනයක් වෛද්‍ය පද්ධතිය තුල පවතී. බොහෝ අවස්ථාවල දී, “හදිසි නො වන” යන්නෙහි අර්ථය වන්නේ “තවමත් මිය ගියේ නැති” බවයි.
බලශක්ති විශ්ලේෂක ජෝජ් පින්යොන් මෙසේ අනතුරු ඇඟවී ය: “ඉන්ධන සියයට 100ක් ම අතුරුදන් වුනු රටක් මම කවදාවත් දැක හෝ අධ්‍යයනය කර හෝ නැත.”
මෙම කොන්දේසි යටතේ, කුඩා නමුත් අර්ථභාරී විරෝධතා පුපුරා ගොස් තිබේ: බිඳ වැටෙමින් පවතින අධ්‍යාපනයට එරෙහි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වාඩිලා ගැනීම් සිදු කරද්දී, විදුලි බලය හා ආහාර සඳහා බල කරමින් කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවල වැසියන්, වලං හා භාජනවලින් ඝෝෂා කරන අතර, කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයක දැව භාන්ඩවලට විරෝධතාකරුවෝ ගිනි තැබූ මෑත දී මොරෝන්හි සිද්ධිය වැනි කැරලි පැන නැගුනි.
20වන සියවස අහෝසි කිරීමේ ධාවනයෙහි පෙරමුනක්
කියුබාවට එරෙහි අධිරාජ්‍යවාදී ප්‍රහාරය සතු ව නිශ්චිත පලිගන්නාසුලු ස්වභාවයක් තිබේ. වොෂින්ටනය සරල ව සංගත හා මූල්‍ය අවශ්‍යතා ලුහුබඳිමින් සිටිනවා පමනක් නො වේ; එය එක්සත් ජනපද රූකඩ පාලන තන්ත්‍ර බලයෙන් පහ කල 1959 කියුබාවේ හා 1979 ඉරානයේ විප්ලව දෙකට එරෙහි ව ඓතිහාසික පලිගැනීමේ සමගාමී උද්ඝෝෂනයක් දියත් කරමින් සිටී.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අවධාරනය කල පරිදි, කම්කරු පන්තියේ සවිඥානික නායකත්වයක් යටතේ, ධනපති දේපොල සබඳතා සමාජවාදී ව පෙරලා දැමීමක්, කියුබානු විප්ලවයෙන් නියෝජනය කලේ නැත. ඒ වෙනුවට, අවසාන විග්‍රහයේ දී 1917 රුසියානු විප්ලවය විසින් උත්තේජනය කරන ලදුව, 20වන ශතවර්ෂයේ දී ලෝකයේ බොහෝ තැන්වල බලයට පැමිනි ධනේශ්වර ජාතිකවාදී හා යටත් විජිත-විරෝධී ව්‍යාපාරවල රැඩිකල් ප්‍රභේදයක්, එක්සත් ජනපද සංගත දේපොල අස්වාමික කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරන සහ සෞඛ්‍යය හා අධ්‍යාපනය තුල සමාජීය පියවරයන් ගැනීම මගින් නියෝජනය කලේ ය.
අද දින ගෝලීය ධනවාදී අර්බුදයේ හා යුද ධාවනයේ කසය යටතේ, “20වන ශතවර්ෂය අහෝසි කර,” නග්න සූරාකෑම, විජිතවාදී යටත් කරගැනීම හා අපාලිත පොලිස්-මිලිටරි පාලනය යන 19 වන සියවසේ කොන්දේසි කරා මානව වර්ගයා ආපසු ගෙන යාමට, පාලක පන්තීන් අධිෂ්ඨානවත් වේ.
“ගෝලීය දකුන” කියුබාවේ ඇද වැටීම “අවබෝධ කරගනු ඇත්තේ, විකල්ප බල මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකාරී වීමට, රුසියාව, චීනය හා වෙනත් ඕනෑ ම කෙනෙකුට පවතින නො හැකියාවේ අවසන් සනාථ වීමක්” ලෙස බව ජේම්ස්ටවුන් පදනම නමැති එක්සත් ජනපද චින්තන පර්ෂදය ජනවාරියේ පල කල වාර්තාවක් තුල සටහන් කලේ ය.
රුසියාව හා චීනය සමගින් ලතින් ඇමරිකාවේ ඊනියා “රෝස රැල්ලේ” ආන්ඩු, කියුබාවේ ඉරනමට දක්වන ප්‍රතික්‍රියාව හෙලිදරව් කරන්නේ, ඔවුන්ගේ බංකොලොත් භාවය සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ප්‍රති-බලයක් ලෙස “ප්‍රාදේශීය ඒකාග්‍ර වීමේ” හෝ බ්‍රික්ස් වැනි සන්ධානවල ප්‍රෝඩාකාරී භාවයයි.
එහෙත්, කියුබාවට එරෙහි දුෂ්ට ප්‍රහාරය සහ ලතින් ඇමරිකාව තුල අන්ත-දක්ෂිනාංශික පාලන තන්ත්‍රවල ප්‍රති-විප්ලවවාදී අක්ෂයක් වාත්තු කිරීමට දරන ප්‍රයත්නය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙහි ශක්තියේ නොව එහි ප්‍රගාඪ දුර්වලත්වයේ සලකුනු වෙයි.
එක්සත් ජනපදයේ ආර්ථික හා මිලිටරි ආධිපත්‍යය මත රැඳී පැවතුනු පශ්චාත්-1945 ලෝක පර්යායෙහි පලල් බිඳ වැටීම ද බහුධ්‍රැවීයත්වය ඇතුලු වෙනත් ඕනෑ ම ධනවාදී පදනමක් මත එම පර්යාය යලි ගොඩනැගීමේ නො හැකියාව ද සමග කියුබාවේ මරලතෝනිය බැඳී පවතී.
ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රහාරයක් කරා
කියුබාවේ ගෙල මිරිකීම, එයට දුස්සහාය දෙන ධනේශ්වර-ජාතිකවාදී ආන්ඩුවලට කරන ආයාචනයන් මගින් නැවැත්විය නො හැකි නම්, එයට විරුද්ධ විය හැක්කේ කවර සමාජ පදනමක් මත ද?
මෙයට පිලිතුර රැඳී පවතින්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය තුලයි. කියුබාව වට කිරීම, එක්සත් ජනපදය තුල මත් ඇතුලු සෑම තැන ම කම්කරුවන්ට එල්ල කරන ප්‍රහාරයෙන් වෙන් කල නොහැක. ඉරානයට එරෙහි සාපරාධී යුද්ධය විසින් ධාවනය කරනු ලබන ඉහල තෙල් මිල ගනන්, 1970 ගනන් යලි මතකයට නංවන උද්ධමනය හා කප්පාදුව දැනට මත් අවුලවමින් පවතී. ඒ අවදියේ, ලතින් ඇමරිකාව හා ඉන් ඔබ්බේ තෙල් කම්පනය යෝධ සමාජ අරගල නිශ්පන්න කලේ ය.
අධිරාජ්‍යවාදී යුද්ධයට සහ සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහි පලල් අරගලයක කොටසක් ලෙස, කියුබාවට හිංසනය කිරීමට එරෙහි පන්ති ප්‍රතිචාරය සංවිධානය කල යුතු ය. කියුබානු කම්කරු පන්තියේ ම පාලක ප්‍රභූව සමග ගනුදෙනු බේරා ගැනීමට එයට ඉඩ ලබා දෙමින්, එය කුසගින්නේ තැබීම අවසන් කිරීමට, තහනම් කිරීම හා සියලු සම්බාධක ක්ෂනික ව හා කොන්දේසි විරහිත අවසන් කිරීමට, එක්සත් ජනපදයේ, කැනඩාවේ, ලතින් ඇමරිකාවේ හා ජාත්‍යන්තර ව කම්කරුවෝ විධානය කල යුතු ය.
ස්ටැලින්වාදී හා ව්‍යාජ-වාම සංවිධාන දිගු කාලයක් තිස්සේ දරා සිටින අර්ථයට අනුව, කියුබාව ආරක්ෂා කිරීම “ජාතික” ප්‍රශ්නයක් වන්නේ නැත.
“නො නවතින විප්ලවය සහ අද්‍යතන ජාතික ප්‍රශ්නය” යනුවෙන්, 1993 දී පවත්වන ලද දේශනයේ දී ඩේවිඩ් නෝර්ත් විස්තර කල පරිදි, අධිරාජ්‍යවාදය “ජාතික රාජ්‍යයට ම මරනයේ සීනුව හැඬවූ බව” ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේ ය. තව ද “අධිරාජ්‍යවාදී යුගයේ දී, මානව වර්ගයාගේ කිසිදු මූලික ගැටලුවක් ජාතික පදනමක විසඳීමේ නොහැකියාව,” දේශීය ජාතික ධනේශ්වරයක නායකත්වය යටතේ, “ජාතික විමුක්තිය” අත් පත් කරගැනීමේ ඉදිරි දර්ශනය ප්‍රතිගාමී මනෝරාජ්‍යයක් බවට පත් කලේ ය. කස්ත්‍රෝගේ සහ “ජාතික විමුක්ති” පරමාදර්ශවල වාර්තාව මෙය තහවුරු කර තිබේ: ජාතික-රාජ්‍ය රාමුව මත පදනම් වෙමින්, අධිරාජ්‍යවාදය හා ස්ටැලින්වාදය අතර තුලනය කිරීමට උත්සාහ කල සියලු දෙනා, ඔවුන් කියා පෑ ජයග්‍රහන විසිරී යද්දී එයට වන්දි ගෙවීමට කම්කරු පන්තිය අත් හැර දැම්මේ ය.
“රෝස රැල්ලේ” අනෙකුත් ආන්ඩු සමග, කියුබාවේ හා වෙනිසියුලාවේ ආන්ඩු යටත්වීමේ වර්තමාන රැල්ල, ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය ඍනාත්මක ව සනාථ කරයි: එනම්, අධිරාජ්‍යවාදී යුගයේ දී, පරිපීඩිත රටවල් මුහුන දෙන මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය කර්තව්‍යයන් කිසිවක්, ධනේශ්වර හෝ සුලු-ධනේශ්වර නායකත්වයන් යටතේ ජාතික පදනමක විසඳිය නොහැකි බව යි. කියුබාවත්, 20වන ශතවර්ෂයේ දී කම්කරුවන් විසින් දිනාගත් සියලු ජයග්‍රහනත්, ආරක්ෂා කර ගත හැකි එක ම ශක්‍ය පදනම වන්නේ, ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස බලය ගැනීම සඳහා, කම්කරු පන්තිය ස්වාධීන ව හා ජාත්‍යන්තර ව බලමුලුගැන්වීම යි.
එලඹෙන පන්ති අරගලයේ පිපිරීමට සවිඥානික සමාජවාදී නායකත්වයක් සම්පාදනය කරනු වස්, කියුබාව තුලත් සමස්ත ලතින් ඇමරිකාවේත්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ලෙස, අව්‍යාජ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම මෙහි අර්ථයයි.
