වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවාගේ මරනය බරපතල ප්‍රශ්න මතු කරයි

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් මරන දඬුවම නියම වූ රැඳවියන් 12 දෙනාගෙන් එක් අයෙකු වන සුපුන් තරිඳු සුනිල්‍ රත්නගේ මරනය සම්බන්ධයෙන් බරපතල උත්සුකයන් මතු වී තිබේ.

සුපුන් තරිඳු

බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව, මැයි 11 වන දින, කොලඹ වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලේ ඉහල මහලකින් වැටීමෙන් සිරකරු බරපතල තුවාල ලැබීය. බන්ධනාගාර රෝහලට ගෙන යන ලද ඔහු ඇතුලත් කිරීමේදී මිය ගිය බව ප්‍රකාශ කෙරුනි.

පශ්චාත් මරන පරීක්ෂනයෙන් “විවෘත තීන්දුවක්” ලබා දුන්නද, වැඩිදුර පරීක්ෂන සඳහා ශරීර සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවා ඇත. බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්, බුද්ධි හා මාධ්‍ය) ඒ.සී. ගජනායක උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ විෂවීම වැනි හැකියාවන් විමර්ශනය කිරීම සඳහා ශරීර සාම්පල වැඩිදුර රසායනික විශ්ලේෂනය සඳහා යවා ඇති බවයි. අවසාන වාර්තාව ලබන සතියේ මුලදී අපේක්ෂා කෙරේ.

සම්පූර්න වාර්තාව තවමත් ඉදිරිපත් කර නොතිබුනද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසුවේ පොලිසිය “එය සියදිවි නසා ගැනීමක් බවට දැඩි ලෙස සැක කරන” බවයි. සුපුන් ගොඩනැගිල්ලෙන් පැනීම දුටු බව කියන අනෙකුත් රැඳවියන්ගේ ප්‍රකාශ ඔහු උපුටා දැක්වීය. විමර්ශකයින්ට අරගලයක හෝ අශෝභන ක්‍රියාවක කිසිදු සලකුනක් හමු නොවූ බව ඔහු පැවසීය. ගජනායක සහ වූට්ලර් යන දෙදෙනාම යෝජනා කලේ මෙම ක්‍රියාව “මරන දඬුවමෙන් ඇති වූ පෞද්ගලික ආතතිය හෝ මානසික අවපීඩනය” සමඟ සම්බන්ධ විය හැකි බවයි.

මියගිය පුද්ගලයා, අනෙකුත් සිරකරුවන් මෙන් නොව, ඔහුගේ මරන දඬුවම හේතුවෙන් නිරන්තර සෝදිසියට ලක් වූ බව වාර්තා වන බැවින්, භාරකාරත්වයේ වගකීම සහ සිරකරු ආරක්ෂාව පිලිබඳ බරපතල ප්‍රශ්න මතු වේ. සුපුන්ට දඬුවම් නියම කිරීමෙන් පසු දැඩි මානසික පීඩාවක් ඇති වූයේ නම්, අඛන්ඩ අධීක්ෂනය යටතේ මානසිකව අවදානමට ලක්විය හැකි සිරකරුවෙකු කෙරෙහි කුමන ආකාරයේ රැකවරනයක් ක්‍රියාත්මක කලේද ? සහ වැලැක්වීමේ පියවර නොතිබුනේ මන්ද?

බන්ධනාගාර බලධාරීන් හරහා ඉදිරිපත් කරන ලද සෙසු රැඳවියන්ගේ ප්‍රකාශ, මෙම පරීක්ෂනයේ ස්වාධීන සාක්ෂි ලෙස සැලකිය හැකිද? මරනය පිලිබඳ ඕනෑම පරීක්ෂනයකදී මේවා අනිවාර්යයෙන්ම පැන නගින ප්‍රශ්න වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට අදහස් දක්වමින් ඔහුගේ පවුලේ අය, ඥාතීන් සහ සෙසු ගම්වැසියන් පැවසුවේ සුපුන් සියදිවි නසා ගත් බවට කරන ප්‍රකාශය පිලිගත නොහැකි බවත් ඔහුගේ මරනය වටා ඇති තත්වයන් පිලිබඳව නිසි, ස්වාධීන පරීක්ෂනයක් ඉල්ලා සිටින බවත් ය.

2022 දී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති මහජන නැගිටීම අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී අතුකෝරල ඝාතනය සිදු විය. රට පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ ගම්බද දුගීන් සම්බන්ධ වූ මෙම නැගිටීම අතරතුර අප්‍රේල් මස මුල සිට දහස් ගනනක් ජනයා කොලඹ ගාලු මුවදොර පිටිය අත්පත් කරගෙන සිටියහ.

මැයි 9 වන දින, දහවල්, ආන්ඩුවේ සහාය ලත් මැරයන් විරෝධතා භූමිය අල්ලාගෙන සිටි ජනතාවට අමානුෂික ලෙස පහර දුන්හ. වාඩිලාගෙන සිටි ජනතාවට එල්ල කල මෙම ප්‍රහාරයට එරෙහිව වහාම රට පුරා මහජන විරෝධතා පුපුරා ගියේය.

කොලඹ පැවති පක්ෂ රැස්වීමකට සහභාගී වූ බව කියන, පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරයෙකු වන අතුකෝරල ආපසු යන විට, කොලඹ සිට කිලෝමීටර් 40 ක් පමන දුරින් පිහිටි නිට්ටඹුවේ සිය ගනනක් විරෝධතාකරුවන් අතර සිරවී සිටියේය. අතුකෝරලගේ ආරක්ෂක නිලධාරියෙකු පිරිසට වෙඩි තබා එක් අයෙකු මරා දමා අසල ගොඩනැගිල්ලකට පලා ගියහ. පසුව, මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මල සිරුරු සොයා ගන්නා ලදී.

මිනීමැරුම් සහ නීති විරෝධී රංචු ගැසීම ඇතුලු චෝදනා යටතේ 12 දෙනෙකු වරදකරුවන් බව අධිකරනය තීරනය කලේය. කෙසේ වෙතත්, තීන්දුව ඒකමතික නොවීය. ත්‍රිපුද්ගල මහාධිකරන විනිසුරු මඩුල්ලේ සභාපති සහන් මාපබන්ඩාර, විරුද්ධ තීන්දුවක් ලබා දෙමින්, පැමිනිල්ල “ශක්තිමත් නඩුවක් ඉදිරිපත් කර නොමැති” බව පවසමින්, “මම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කරමි” යනුවෙන් නියෝග කලේය. ඝාතනය පිලිබඳ ඇසින් දුටු සාක්ෂිකරුවන් හෝ වීඩියෝ සාක්ෂි නොමැති වුවද, අනෙකුත් විනිසුරුවරුන් අවස්ථානුකූල සාක්ෂි මත පදනම්ව විත්තිකරුවන් 12 දෙනාට මරන දඬුවම් ප්‍රකාශයට පත් කලහ.

නඩුවේ දේශපාලන ඇඟවුම් සහ ලබා දී ඇති දඬුවම්වල බරපතලකම සැලකිල්ලට ගෙන, එම තීන්දුව දැනටමත් පුලුල් විරෝධතාවක් ජනනය කර ඇත.

සුපුන්ගේ මරනය සිදුවන විට, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්, වරදකරුවන් කිරීම සහ මරන දඬුවම් පැමිනවීම යන දෙකම අභියෝගයට ලක් කරමින් අභියාචනා ගොනු කර තිබුනි.

මැයි 13 වන දින පස්‍යාල, රනවිරුගම පිහිටි සුපුන්ගේ නිවසට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ ගියහ. කොලඹ සිට කිලෝමීටර් 45 ක් පමන දුරින් පිහිටි මෙම ගම්මානය, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධයේදී තුවාල ලැබූ සහ එයට සහභාගි වූ සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා 2002 දී පිහිටුවන ලද නිවාස යෝජනා ක්‍රමයකි. ඔහුගේ පියා දිගු කලක් ඇඳේ වැතිර සිටින විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.

ශෝකයෙන් පෙලෙන අසල්වැසියන් සුපුන්ගේ ඡායාරූපය සහ ශෝක පනිවිඩ සහිත සුදු කොඩි සහ බැනර් ඔසවා තිබුනි. එදින සුපුන්ගේ දේහය ලබා ගැනීම සඳහා කොලඹ-මහනුවර මහා මාර්ගයේ සිට පවුලේ නිවසට යන මාර්ගය දිගේ ජනතාව පෙල ගැසී සිටියහ.

රජයේ පාසල් ගුරුවරියක වන සුපුන්ගේ මව අපගේ වාර්තාකරුවන්ට පැවසුවේ පශ්චාත් මරන පරීක්ෂනයෙන් සුපුන්ගේ මරනය උසකින් වැටීමෙන් ඇති වූ හිසට සිදු වූ තුවාල හේතුවෙන් සිදු වූ බවයි. කෙසේ වෙතත් ඇය නිල වාර්තාව පිලිබඳව විවෘත සැකයක් පල කලාය.

“පශ්චාත් මරන පරීක්ෂනයෙන් පසු, මගේ පුතා උසකින් වැටීමෙන් ඇති වූ හිසට සිදු වූ තුවාල හේතුවෙන් මිය ගිය බව ඔවුන් නිගමනය කලා. නමුත් ඔහු එතැනින් වැටුනු බව විශ්වාස කිරීම අපහසුයි. මරනය ගැන අපට සැකයි,” ඇය පැවසුවාය. ඇගේ සැමියා ද එම උත්සුකය පල කලේය.

සුපුන් කැබ් සේවාවක් පවත්වාගෙන ගිය බවත්, ඔහුගේ පියාගේ අඛන්ඩ ප්‍රතිකාර හා සම්බන්ධ සැලකිය යුතු වෛද්‍ය වියදම් දරන පවුලේ ප්‍රධාන උපයන්නා ඔහු බවත් ඥාතීහු පැහැදිලි කලහ. අසල්වැසියන් ඔහුව ජනප්‍රිය හා සමාජීය වශයෙන් සම්බන්ධ වූ තරුනයෙකු ලෙස විස්තර කලහ.

“සුපුන් ගමේ හැමෝම අතර ජනප්‍රියයි. ඔහු සෑම ප්‍රජා ක්‍රියාකාරකමකටම ක්‍රියාකාරීව සහභාගී වුනා. මන්ත්‍රීවරයාගේ ඝාතනයට ඔහු සම්බන්ධ බව අපට විශ්වාස කරන්න බැහැ” යනුවෙන් එක් නිවැසියෙක් පැවසීය.

ගමේ වයෝවෘද්ධ කාන්තාවක් ආන්ඩුවේ නිහඬතාවයට සෘජුවම චෝදනා කලාය:

“මේ දරුවාගේ මරනයට ජනාධිපති දිසානායකගේ ආන්ඩුව වගකිව යුතුයි. මේ අසාධාරන මරන දඬුවම පිටුපස ආන්ඩුව ඉන්නවා කියලා මම හිතනවා. මේ දඬුවම ගැන ආන්ඩුව වචනයක්වත් කතා කරන්නේ නැහැ. අපේ ලමයාගේ මරනය ගැන ආන්ඩුව කනගාටුවවත් ප්‍රකාශ කරලා නැහැ,” යැයි ඇය පැවසුවාය.

මැයි 15 වන දින සුපුන්ගේ ගමේ සුසාන භූමියේදී ඔහුගේ දේහය මිහිදන් කරන ලදී. අවමංගල්‍ය උත්සවයට පවුලේ අය, අසල්වැසියන් සහ ආධාරකරුවන් එක්‍රැස් වූ අතර, කෝපයෙන් හා පිලිතුරු නොලැබුනු ප්‍රශ්නවලින් පිරුනු ශෝකජනක වාතාවරනයක් මධ්‍යයේ එය සිදු විය.

ප්‍රධාන මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය චූදිතයන් 12 දෙනා මිනීමරුවන් ලෙස පමනක් නිරූපනය කරන බවත්, සමහරු සුපුන්ගේ මරනය ගැන විවෘතව සතුටුවන බවත් පැමින සිටි එක් අයෙක් සඳහන් කලේය.

මරන දඬුවම පිලිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපිය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ කීවේය: “මෙම බොරුවලට එරෙහිව සටන් කිරීම සඳහා, ඔබේ ලිපිය හැකිතාක් පුලුල් ලෙස බෙදා ගත යුතුයි.”

මෙම ප්‍රකාශ මගින් පිලිබිඹු වන්නේ, නඩුව පිලිබඳ මාධ්‍ය ආවරනය සම්බන්ධයෙන් ඇතිව පවත්නා පුලුල් මහජන නොසන්සුන්තාවය සහ සුපුන්ගේ මරනය වටා ඇති තත්වයන් පිලිබඳව බැරෑරුම් පරීක්ෂනයක් නොමැති වීමයි.

සුපුන්ගේ මරනය ශ්‍රී ලංකාවේ රැඳවියන්ට සැලකීම සහ මරන දඬුවම අඛන්ඩව භාවිතා කිරීම පිලිබඳ පුලුල් උත්සුකය ද තීව්‍ර කර ඇත. නිල නොවන තහනමක් යටතේ දශක ගනනාවක් තිස්සේ මරන දඬුවම ක්‍රියාත්මක කර නොමැති වුවද, අධිකරනය දිගටම මරන දඬුවම් නියම කරයි.

ශ්‍රී ලංකාවේ දිගු කලක් පුරා, පොලිස් ස්ථානවල, බන්ධනාගාරවල සහ රැඳවුම් මධ්‍යස්ථානවල අත්අඩංගුවේ දී සිදුවන මරන, බරපතල කනස්සල්ලට හේතු වී තිබේ. එවැනි මරන සහ අපයෝජන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂන ඉල්ලා මානව හිමිකම් සංවිධානවල විරෝධතා තිබියදීත්, එම පුරුද්ද දිගටම පවතී. ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ ද එම රටාවම දැන් හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලේඛනගත කර ඇති පරිදි, තීන්දු පදනම් වූයේ බෙදුනු සාක්ෂි මත වන අතර එය පන්ති පලිගැනීමේ ක්‍රියාවකට සමාන විය - දිසානායක ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව වැඩෙන විරෝධය හමුවේ කම්කරුවන්ට සහ තරුනයින්ට හිතාමතා කෙරෙන අනතුරු ඇඟවීමකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ධනපති පන්තිය මෙම වින්දිතයින්ට පනවා ඇති මරන දඬුවම්වලට විරුද්ධ වී ඇති අතර, ඔවුන්ට එරෙහි චෝදනා ඉවත් කරන ලෙස සහ ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස කියා සිටී.

Loading