යුද්ධයට එරෙහි සසප/සසජාතශි උද්ඝෝෂනය

“ලෝකෙ ම කම්කරුවො එකතු වුනොත් මේ යුද්ධය නතර කරන්න පුලුවන්”: මාතර නගරයේ කම්කරුවෙක්

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), පසුගිය සති අන්තයේ මාතර නගරයේ සහ අවට නිවස්නා ප්‍රදේශවල උද්ඝෝෂනයේ යෙදෙමින්, “ඉරානයට එරෙහි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන සාපරාධී යුද්ධය නවත්වනු” යන මැයෙන් එලැඹෙන මැයි මස 24 වන දින පස්වරු 3.00 මාතර තැපැල් කන්තෝරු ශ්‍රවනාගාරයේ පැවැත්වීමට නියමිත ප්‍රසිද්ධ රැස්වීම සඳහා පුලුල් සහයෝගයක් ඉල්ලා සිටියහ.

රුහුනු විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂනය

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව කම්කරු පංතිය බලමුලු ගැන්වීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කේන්ද්‍ර කර ගනිමින් ගෙන යන පුලුල් ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස මාතර නගරයෙහි මෙම රැස්වීම පැවැත් වේ.  එදින පස්වරු 12.30ට මාතර බස් නැවතුම්පොල ඉදිරිපිට දී ඉරානයට එරෙහි ඇමෙරිකානු ඊශ්‍රායල යුද්ධයට විරුද්ධ ව පිකට් උද්ඝෝෂනයක් ද සසප සහ සසජාතශි විසින් සංවිධානය කොට ඇත.

සසප සහ සසජාතශි මාතර දී මෙම රැස්වීම පවත්වන්නේ, මෙම තේමාව යටතේ ම, කොලඹ, පේරාදෙනිය සහ හැටන් හි සාර්ථක රැස්වීම් තුනක් පැවැත්වීමෙන් පසු ව වන අතර, එලැඹෙන ජුනි මස 09 දා යාපනය නගරය ආශ්‍රිත ව එ වැනි ම රැස්වීමක් පැවැත්වීමට නියමිත ය.

අනෙකුත් සෑම තැනක දී මෙන් ම මාතර දී ද සසප/සසජාතශි උද්ඝෝෂකයන්ට දැකගත හැකිවූයේ, ඉරානයට එරෙහි ව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධයට ද, එක්සත් ජනපදයේ පිටුබලය සහිත ව ඊශ්‍රායලය ගාසාව තුල ගෙන යන ජන සංහාරයට ද එරෙහි ව මහජනතාව අතර වැඩෙන විරෝධයයි. ඔවුහු සෑම දෙනා ම පාහේ ඉරානයේ සහ ගාසාවේ ජනය‌ා සම්බන්ධයෙන් සානුකම්පී වූහ.

එහි දී බොහෝ කම්කරුවෝ සහ ශිෂ්‍යයෝ යුද්ධය තම ජීවිත වලට බලපා ඇති අන්දම පැහැදිලි කිරීමට උත්සාහ කලහ. ඉන්ධන මිල ඉහල යාම හේතුවෙන්, ආහාර ද්‍රව්‍යවල සිට අනෙකුත් සෑම ද්‍රව්‍යයක ම මිල ඉහල යෑමෙන්, විශේෂයෙන්ම විදුලිය සහ ගමන් ගාස්තු වැඩි වීමෙන් තම ජීවිත වඩාත් දුෂ්කර තත්වයකට ඇද වැටී ඇති බව ඔවුහු පැවසූහ. මැද පෙරදිග කලාපය තුල රැකියාවේ නිරත ව සිටින තම පවුල්වල සාමාජිකයන්ගේ සහ නෑදෑ හිතවතුන්ගේ ජීවිත සහ රැකියා සම්බන්ධයෙන් ඔවුහු තම උත්සුකය පල කලහ.

එ මෙන් ම, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යුද්ධයේ සියලු බර තමා මත පැටවීම සම්බන්ධයෙන් ඔවුහු කෝපයෙන් කතා කලහ. 

මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ඉගෙනුම ලබන අයිෂා, ඩුබායි හි රැකියාවට ගොස් සිටින තම පියා මුහුන දී සිටින තත්වය මෙසේ විස්තර කලා ය: “යුද්ධය නිසා මගේ තාත්තට රස්සාව නැති වුනා. ඒ නිසා ගෙදරට අවශ්‍ය වියහියදම් පියවා ගන්න බැරි තත්වයකට අපි මුහුන දීල ඉන්නෙ. අපේ ඉගෙනීමේ වැඩ කටයුතු වලටත් මේක ලොකු ප්‍රශ්නයක්.” 

තම පියා ජීවිත අවදානම පවා දරාගෙන වෙනත් රැකියාවක් සොයා ගැනීමට ඩුබායි හි තවදුරටත් රැඳී සිටින බව ඇය කනගාටුවෙන් පැවසුවා ය: “එයා සල්ලි එවුවෙ නැති වුනොත් අපිට ජීවත් වෙන්න විදියක් නැති නිසා තවමත් රැකියාවක් හොය හොය ඩුබායිවල ඉන්නවා. ඉස්සරහට මොනව වේවිද කියලා මට හිතාගන්නවත් බැහැ.”

ගාසාවේ සහ ඉරානයේ සිදු කෙරෙන විනාශයන් සම්බන්ධයෙන් උත්සුකවන ඇය රූපවාහිනී නාලිකා හරහා එම රටවල තත්වය නිරන්තරයෙන් නරඹන බව පැවසුවා ය:  “මම පලස්තීනය සහ ඉරානය ඇතුලේ කරන ඝාතන දැක්ක. දහස් ගනන් පොඩි ලමයි මැරිලා, මොන අපරාධයක් ද කියල හිතුන. මේ යුද්ධය නතර කරන්න විදියක් නැද්ද කියල තමයි මම හිතමින් හිටියෙ. ඔබ ඉදිරිපත් කරන වැඩපිලිවෙල මම කියවන්නම්.”

ඇලුමිනියම් ආශ්‍රිත නිපැයුම් කරන මාතර අල්කාඩෝ ආයතනයේ රැකියාවේ නියුතු කම්කරුවකු, යුද්ධය තම ආයතනයට සහ රැකියාවට බල පා ඇති ආකාරය මෙසේ පැහැදිලි කලේ ය: “අමුද්‍රව්‍යවල මිල, විශේෂයෙන්ම ඇලුමිනියම් වල මිල වැඩි වෙච්ච හින්දා ඒකේ බලපෑම අපේ ආයතනයට ගොඩක් දැනිල තියෙනව. අපේ රස්සාවල් තව කොච්චර දවසක් තියේ ද කියලා අපට කියන්න බැහැ. ඒක හින්දා මේ යුද්ධය අවසන් කරගන්න එක ඉතා ම වැදගත්.” 

යුද්ධය නතර කිරීමේ කම්කරු පංතික වැඩපිලිවෙල සාකච්ඡා කිරීමෙන් අනතුරු ව ඔහු මෙසේ කීවේ ය: “පලමුවන ලෝක යුද්ධය නතරවුනෙ රුසියානු විප්ලවය නිසා කියල අද තමයි මම දැන ගත්තෙ. ඒ අනුව, ලෝකෙ ම ඉන්න කම්කරුවො එකතු වුනොත් මේ යුද්ධයත් නවත්තන්න පුලුවන් කියල මම හිතනව.” 

රුහුනු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන දේවීන් ඔහුගේ නවාතැනේ දී උද්ඝෝෂකයන්ට මුන ගැසුනි. ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි බටපොල  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහුගේ පවුල රැකෙනුයේ, පියාගේ කුරුඳු ගොවිතැනෙනි. දේවින් මෙසේ කීවේය: “යුද්ධය කුරුඳු අපනයනයට දැනටමත් බලපාල තියෙන්නෙ. මේක තවදුර ඇවිලිල ගියොත් අපි නැත්තටම නැති වෙනව.”

අනතුරු ව ඔහු මෙසේ කීවේ ය:  “අපි යුද්ධයට විරුද්ධයි, මේ යුද්ධය නැවැත්විය යුතුයි, අපි දැක්කා යුද්දෙ ආරම්භ වෙච්ච ගමන් ම තෙල් නැති වෙච්ච ප්‍රශ්නෙ. මේක ඇදිල ගියොත් හැම දේට ම බලපාන්න පුලුවන්, යුද්ධය නවත්වන්න ඔබලා කරන කැඳවීමට මම සම්පූර්නයෙන් ම එකඟ වෙනවා. කම්කරුවො, ශිෂ්‍යයො මේ කැඳවීමට එක්විය යුතුයි.”

බැංකු සේවිකාවක් වන දීපානි ප්‍රකාශ කොට සිටියේ, තමා ජවිපෙ/ජාජබට ඡන්දය දුන් නමුත්, එම ආන්ඩුව ගෙන යන වැඩපිලිවෙල ඔවුන් ඡන්දයට කලින් පොරොන්දු වූ වැඩපිලිවෙලට සම්පූර්නයෙන්ම වෙනස් බවයි. “මම ජනතා විමුක්ති පෙරමුනට චන්දෙ දුන්නේ මේ වගේ වැඩපිලිවෙලක් අරගෙන යාවි කියලා හිතලා නෙවෙයි. ඒ ගොල්ලො දැන් කරන්නේ සම්පූර්නයෙන්ම පොරොන්දු වෙච්ච ඒවයි විරුද්ධ පැත්ත. මම ඒක හෙලා දකිනව.”

“ඒ වගේ ම ඔය සහෝදරවරු පැහැදිලි කරන විදියට ජනතා විමුක්ති පෙරමුනු ආන්ඩුවත් මේ යුද්ධයත් එක්ක ඒකාබද්ධ වෙලා කියලා මට දැන් වැටහෙනවා. යුද්ධය මේ විදියට වර්ධනය වෙවී ඉස්සරහට ගියොතින් ඒක රුපියලේ අගය පහල වැටීමට ගොඩක් බලපානවා. ඒකෙ තේරුම බඩුමිල වැඩි වෙනව, ජීවන වියදම තවතවත් ඉහල යනව කියන එක. බැංකු සේවකයෙක් විදියට මට ඒක තේරෙනව.”

“නමුත් මේ තත්ත්වය වෙනස් කරන්න පුලුවන් කියලා මම හිතුවේ නැහැ, අද වෙනකන්. ඒත් ඔය සහෝදරවරු කරන පැහැදිලි කිරීම, කම්කරු පන්තියට මේ යුද්ධය නවත්තන්න පුලුවන් කියන එක, ලෝක පරිමාන ව කරන්න ඕනේ කියන එකත් එක්ක මට වැටහීමක් ලැබුනා. ඒ වගේ ම යුද්ධයට මාලිමා ආන්ඩුව විරුද්ධ නොවී ගෙනියන වැඩපිලිවෙල මට දැන් තේරෙනවා. ඔය සහෝදරවරුන්ගේ රැස්වීමට මම සුභ පතනවා.”

කුඩා ව්‍යාපාරයක් පවත්වා ගෙන යන සුරංග ප්‍රකාශ කොට සිටියේ තමා ජවිපෙ/ජාජබ ට ඡන්දය දුන් නමුත්, දැන් එම ආන්ඩුව ගෙන යන වැඩපිලිවෙලට සම්පූර්නයෙන් ම විරුද්ධ වන බවයි. 

“නිර්මාල් රන්ජිත් දේවසිරි ඉරානයට එරෙහි ඇමරිකානු යුද්ධයේ අධිරාජ්‍යවාදී ස්වභාවය වසන් කිරීමට ඉතිහාසය අඹරයි” මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු ලිපියේ පිටපතක් ලබාදීමෙන් පසු එහි උද්ධෘතය කියැවූ ඔහු වහාම මෙසේ ප්‍රකාශ කලේය: “මේ මහාචාර්යවරයා මාලිමා ආන්ඩුව වෙනුවෙන් හැම තැන ම කතා කරා. මේගොල්ලෝ තමයි මහජනතාවගේ ඇස් වලට වැලි ගහලා මේ වැඩපිලිවෙල අරගෙන ආවේ. ඒක හින්දා මේ වගේ මහාචාර්යවරුගේ වැඩපිලිවෙලවල් එලිදරව් කරන්න ඔය සහෝදරවරු ගෙනයන වැඩපිලිවෙල ඉතා ම හොඳයි.” 

එම ලිපියේ එන පහත ඡේදය වෙත උද්ඝෝෂකයෝ අවධානය යොමු කලහ: “ප්‍රශ්නය වන්නේ, ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයක් තුලට ඇද ගෙන යමින් සිටින, එක්සත් ජනපද ආන්ඩුව  හා අන් අධිරාජ්‍යවාදී බලයන් සිදුකරන සංහාර ගැන තැති ගැන්මට හෝ භීතියට පත්වීම නො ව එය වලක්වන්නේ කෙසේ ද යන්නයි. එය කල හැකි වන්නේ, නිෂ්පාදන ක්‍රමයේ හරි මැද සිටින, එක ම විප්ලවවාදී බලවේගය වන, ජාත්‍යන්තර කම්කරු පන්තිය ලෝක සමාජවාදී විප්ලවයෙන් ධනවාදය පෙරලා දැමීමෙනි.” 

ඒ පිලිබඳව කෙරුනු සාකච්ඡාව තුල, යුද්ධය ඇති වීමට හේතුව කුමක්දැයි සුරංග විමසී ය. යුද්ධය, ධනපති ක්‍රමය ගෝලීය පරිමාන ව මුහුන දෙන අර්බුදයේ ප්‍රතිඵලයක් බවත්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කුරිරු යුද පිලිවෙත් හුදෙක් ඔහුගේ පුද්ගලික දුෂ්ටත්වයෙන් ජනනය වන්නක් නොව, එක්සත් ජනපද පාලක පංතිය මුහුන දී සිටින ගැඹුරු ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගලා එන්නක් බව සසප/සසජාතශි උද්ඝෝෂකයෝ ඔහුට පැහැදිලි කලහ. 

තීරනාත්මක කාර්යය වන්නේ යුද්ධය, ආඥාදායකත්වය සහ සමාජ අසමානතාවය ඇති කරන ධනේශ්වර ක්‍රමය අහෝසි කිරීම අරමුනු කරගත් සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමයි. මෙම අරගලයට සම්බන්ධ වී ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන ඉදිරියට ගෙන යන ලෙසත්, එහි කොටසක් ලෙස 24 දා සවස 3 ට මාතර තැපැල් ශ්‍රවනාගාරයේ පැවැත්වෙන රැස්වීමට සහ එදින දහවල් 12.30 ට මාතර බස්නැවතුම්පොල ඉදිරිපිට පවත්වන යුද-විරෝධී පිකට් උද්ඝෝෂනයට සහභාගිවන ලෙසත්, සසප සහ සසජාතශි, කම්කරුවන්, තරුනයින් සහ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටී.

Loading