ආන්ඩුවට එරෙහි කම්කරු පන්ති විරෝධතා රැල්ල මධ්‍යයේ ඉන්දියාවේ පාලක අන්ත-දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත මැතිවරනවලින් ජය ගනී

[මෙය India’s ruling far-right BJP makes gains in state elections amid wave of anti-government working class protests යන මැයෙන් 2026 මැයි 10 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

2026 මැයි 9 වන සෙනසුරාදා, ඉන්දියාවේ කල්කටා හි පැවති දිවුරුම් දීමේ උත්සවයේදී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, බටහිර බෙංගාල ප්‍රාන්තයේ අලුතින් තේරී පත් වූ මහ ඇමති සහ භාරතීය ජනතා පක්ෂ නායක සුභේන්දු අධිකාරිට සුබ පතයි. [AP Photo/Bikas Das]

මැයි 4 වන සඳුදා ප්‍රකාශයට පත් කරන ලද ඉන්දියානු ප්‍රාන්ත සහ ප්‍රාදේශීය සභා මැතිවරන පහේ ප්‍රතිඵල, ධනේශ්වර පාලනයේ ගැඹුරු වන අර්බුදයත්, විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් සහ උපාය මාර්ගයකින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමේ හදිසි අවශ්‍යතාවයත් පෙන්නුම් කරයි.

වැඩිවන සමාජ විරෝධය සහ වර්ධනය වන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුව ද, ඉන්දියාවේ පාලක හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) සංස්ථාපිත දේශපාලනයේ ප්‍රමුඛ පක්ෂය ලෙස තවදුරටත් ශක්තිමත් වීමට සමත් විය. එය ඉන්දියාවේ සිව්වන වැඩි ම ජනගහනයක් සහිත ප්‍රාන්තය වන බටහිර බෙංගාලයේ ප්‍රථම වරට බලය දිනා ගත් අතර ඇසෑම් සහ පුදුචෙරි හි සභාග මිත්‍ර පක්ෂ සමඟ බලය රඳවා ගත්තේ ය.

තමිල්නාඩුවේ, චිත්‍රපට නලු විජේ විසින් මීට වසර දෙකකට පෙර ආරම්භ කරන ලද ටීවීකේ (තමිලග වෙට්රි කලගම්—දෙමල පක්ෂයට ජය), පාර්ලිමේන්තු බහුතරයකට ආසන 10 ක් පමන අඩුවෙන් ලබා ගත් අතර, 1967 සිට ප්‍රාන්ත ආන්ඩුව ලෙස මාරුවෙන් මාරුවට බලයට පත් වූ ප්‍රතිවාදී දෙමල ප්‍රාදේශීය පක්ෂ වන ඩීඑම්කේ සහ ඒඅයිඒඩීඑම්කේ පරාජය කලේ ය.

කේරලයේ, කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් මැතිවරනයෙන් ජයගනිමින් දෙවරක් බලයේ සිටි ස්ටැලින්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) නායකත්වයෙන් යුත් වාම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනු (එල්ඩීඑෆ්) ආන්ඩුව බලයෙන් පහ කලේ ය.

පාලක පන්තිය තව තවත් දකුනට

සමස්තයක් වශයෙන් ගත් කල, මැතිවරන ප්‍රතිඵලවලින් අවධාරනය වන්නේ ධනපති පන්තිය තව තවත් දකුනට ගමන් කරමින් සිටින බවයි. ලෝක වේදිකාවේ තම කොල්ලකාරී මහා බලවතුන්ගේ අභිලාෂයන් ආක්‍රමනශීලී ලෙස ඉදිරියට ගෙන යාමටත්, තම රට තුල දී කම්කරු පන්තිය සූරාකෑම තීව්‍ර කිරීමටත් හොඳම උපාය ලෙස එය දකින්නේ, “හින්දු බලවතා” ලෙස නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ පවතින අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂයයි.

අරමුදල් රැස් කිරීමේ දී භාරතීය ජනතා පක්ෂය සිය මැතිවරන ප්‍රතිවාදීන් සියල්ලන්ට ම වඩා දැවැන්ත ලෙස ඉදිරියට යමින් සිටී. වඩාත් වැදගත් දෙය නම්, සංගත මාධ්‍ය සහ අධිකරන සහ මැතිවරන කොමිසම ඇතුලු ඉන්දියානු රාජ්‍යයේ ආයතන, එහි වාර්ගික උසිගැන්වීම්, කම්කරු පන්තියේ විරෝධය ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සහ ඡන්දදායකයින් මර්දනය කිරීම හරහා මැතිවරන හැසිරවීම සඳහා විවෘත ව අනුබල දීමයි. ශ්‍රේෂ්ඨාධිකරනයේ අනුග්‍රහය ඇති ව, භාරතීය ජනතා පක්ෂයෙන් පිරුනු මැතිවරන කොමිසම, එහි තියුනු ලෙස තරඟකාරී විශේෂ දැඩි සංශෝධනය (එස්අයිආර්) යටතේ, ඡන්දදායක ලැයිස්තුවෙන් මිලියන ගනනක ඡන්දදායකයින්, ප්‍රධාන වශයෙන් දුප්පත් ජනතාව සහ විශාල වශයෙන් මුස්ලිම්වරුන් අත්තනෝමතික ලෙස ඉවත් කලේ ය.

ඉන්දියානු සහ ගෝලීය ප්‍රාග්ධනයේ සතුටට හේතු වන පරිදි, මෝදි ආන්ඩුව මෑත මාසවල දී ප්‍රධාන පන්ති යුද පියවර දෙකක් ක්‍රියාත්මක කර තිබේ. එය විශාල ව්‍යවසායන්හි සමූහ දොට්ට දැමීම් සඳහා සීමාවන් ඉවත් කරන, දැනටමත් සෑම තැනක ම කොන්ත්‍රාත් ශ්‍රමය භාවිතා කිරීම ප්‍රවර්ධනය කරන සහ වැඩ වර්ජනය කිරීමට කම්කරුවන්ගේ අයිතිය බෙහෙවින් සීමා කරන කම්කරු නීති “ප්‍රතිසංස්කරනය” ක්‍රියාත්මක කර ඇත. ග්‍රාමීය වැටුප් පහත හෙලීමේ ප්‍රකාශිත අරමුනින්, මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පසුගිය දශක දෙක තුල මිලියන ගනනක් අසරන ග්‍රාමීය නිවාස සඳහා අත්‍යවශ්‍ය ජීවනාලියක් සපයා දුන් “ග්‍රාමීය රැකියා පොරොන්දුව” (MGNREGA) ද අහෝසි කර ඇත.

මීට වසර දෙකකට පෙර පැවති—ඉන්දියාවේ පහල සහ වඩාත් බලවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ඩලය වන—ලෝක් සභා මැතිවරනයේ දී භාරතීය ජනතා පක්ෂය සැලකිය යුතු පසුබෑමකට ලක් විය. 2014 දී මෝදි යටතේ බලයට පත්වීමෙන් පසු ප්‍රථම වතාවට එහි සමස්ත පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ අතර, නීති සම්මත කර ගැනීම සඳහා එහි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට (එන්ඩීඒ) හවුල්කරුවන් මත යැපීමට සිදු විය.

කෙසේ වෙතත්, එතැන් සිට භාරතීය ජනතා පක්ෂය සහ එහි එන්ඩීඒ සහචරයින් මහාරාෂ්ට්‍ර, බිහාර්, දිල්ලි සහ දැන් බටහිර බෙංගාලය වැනි ප්‍රධාන ප්‍රාන්ත ඇතුලු ව ප්‍රාන්ත සභා මැතිවරන ජයග්‍රහන මාලාවක් හිමි කරගෙන ඇත.

අපේක්ෂා කල පරිදි, භාරතීය ජනතා පක්ෂය සහ සංගත මාධ්‍ය අප්‍රේල්-මැයි ප්‍රාන්ත මැතිවරන ප්‍රතිඵල උපයෝගී කරගනිමින්, මෝදිට මහජන සහයෝගය ලැබෙන බවත්, ජනතාව වැඩි වැඩියෙන් හින්දුත්වය, එනම් භාරතීය ජනතා පක්ෂයේ ෆැසිස්ට්වාදී, හින්දු අධිපතිවාදී දැක්ම වැලඳ ගනිමින් සිටින බවත් ප්‍රකාශ කරයි. ඔවුන්ගේ අරමුන වන්නේ කම්කරු පන්තිය බිය ගැන්වීම සහ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවට එරෙහි විරෝධය “ප්‍රජාතන්ත්‍ර විරෝධී” ලෙස ප්‍රකාශ කිරීම, එමඟින් එය සාපරාධීකරනය සහ මර්දනය සාධාරනීකරනය කිරීමයි.

යථාර්ථය නම්, මෝදි ආන්ඩුව සමාජ ගිනි කන්දක් මුදුනේ හිඳගෙන සිටින අතර එයමත් ඒ බව හොඳින් දනී. එබැවින් ආගමික සුලුතරයන්, විශේෂයෙන් මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් එහි නිරන්තර ජාතිවාදී උසිගැන්වීම් සහ වඩ වඩාත් නිර්ලජ්ජිත ආකාරයේ වාරන ක්‍රම වෙත යොමු වේ; එමෙන්ම කම්කරු පන්තියේ වැඩවර්ජන සහ විරෝධතා මර්දනය කරයි.

මැතිවරන ව්‍යාපාරය දිග හැරෙන විට, ඉරානයට එරෙහි නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය මගින් අවුලුවන ලද ගෝලීය ඉන්ධන මිල ඉහල යාමෙන් උසිගැන්වුනු මහජන කම්කරු විරෝධය, ඉන්දියාවේ අගනුවර සහ විශාලත ම නාගරික ජන සමූහයන් කැටිගැසුනු දිල්ලිය වටා ඇති කාර්මික කලාපවල වැඩවර්ජන සහ විරෝධතා රැල්ලක ස්වරූපයෙන් පුපුරා ගියේ ය. අප්‍රේල් මැද භාගයේ විරෝධතාවල උච්චත ම අවස්ථාවේ දී, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අස්ථිර ලෙස සේවයේ යොදවා ඇති කොන්ත්‍රාත් සේවකයින් වන කම්කරුවන් දස දහස් ගනනින්, ස්ටැලින්වාදී සහ අනෙකුත් නිල වශයෙන් පිලිගත් වෘත්තීය සමිතිවල පාලනයට පිටතින් මතු වූ ව්‍යාපාරයක් තුල, දිල්ලි-කාර්මික තදාසන්න ප්‍රදේශයක් වන නොයිඩා හි වැඩ වර්ජනයක නිරත වූහ.

(නොයිඩා පිහිටා ඇති) උත්තර් ප්‍රදේශ් හි, හර්යානා සහ දිල්ලි යන භාරතීය ජනතා පක්ෂ ප්‍රාන්ත ආන්ඩු කම්කරු උද්ඝෝෂනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, ප්‍රචන්ඩත්වය, මඩ ගැසීම් සහ බොරු නඩු පැවරීම් මගිනි. දුසිම් ගනනක් කම්කරු ක්‍රියාකාරීන් සමග දහස් ගනනකට අධික කම්කරුවන් පිරිසක් බොරු චෝදනා මත සිරගත ව සිටිති.

භාරතීය ජනතා පක්ෂයේ “ශක්තිය” සම්පූර්නයෙන් ම රැඳී ඇත්තේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ දක්ෂිනාංශික ස්වභාවය සහ ඒ වෙනුවෙන් කතා කරන බව කියන පක්ෂ සහ සංවිධාන—සියල්ලටත් වඩා, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෙවත් සීපීඑම්, අනෙකුත් ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ සහ ඒවායේ වෘත්තීය සමිති අනුබද්ධයන්—පන්ති අරගලය ක්‍රමානුකූල ව මර්දනය කිරීම සමඟ ය.

විපක්ෂයේ, සියල්ලටත් වඩා, ස්ටැලින්වාදී සීපීඑම් පක්ෂයේ පරාජය

දියබත් වුනු ජාතික ධනවාදී සංවර්ධනයට මුලින් ම නායකත්වය දීමෙන් අපකීර්තියට පත් කොංග්‍රස් පක්ෂය, පසු ව 1991 සිට 2014 දක්වා, ගෝලීය ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට ඉන්දියාව පරිවර්තනය කිරීමේ ධනේශ්වරයේ තල්ලුවත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ චීන විරෝධී උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමත් වෙනුවෙන් පෙරමුන ගැනීමෙන් පසු මහ ජනතාව අතර අපකීර්තියට පත් ව ඇත. එහි ගරා වැටුනු, ඉන්දියානු ජාතික සංවර්ධන සන්ධාන (INDIA) මැතිවරන කන්ඩායමට ස්ටැලින්වාදී පක්ෂ ද ඇතුලත් ය; නමුත්, ප්‍රධාන වශයෙන් එය, දුසිම් දෙකක දක්ෂිනාංශික, කලාපීය, වාර්ගික-ජාතිවාදී සහ කුලවාදී පක්ෂ වලින් සමන්විත වන අතර, ඒවායින් බොහොමයක් ෆැසිස්ට්වාදී ශිව සේනා මෙන් මීට පෙර භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගත ව තිබූ ඒවා ය.

දකුනු ඉන්දියාවේ කේරල ප්‍රාන්තය තුල නැවත බලයට පත්වීමට කොංග්‍රස් පක්ෂයට හැකි වුව ද, සමස්ත ඉන්දියාව තුල එහි ප්‍රවේශය අඛන්ඩ ව හැකිලෙමින් පවතී. එය තමිල්නාඩුව තුල දිනා ගත්තේ ආසන 5 ක් පමනි; බටහිර බෙංගාලයේ ආසන 2 ක් පමනි; එහි, සභා ආසන 294 ටම තරඟ කල ද, එය ලබා ගත්තේ සියයට 4 කටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකි. ජාතික වශයෙන්, භාරතීය ජනතා පක්ෂය තනි ව ම 16 ක් සහ සභාග හවුල්කරුවන් සමඟ 5 ක් පාලනය කරන අතර කොංග්‍රසය ආන්ඩු නායකත්වය දෙන්නේ, ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් හතරකට පමනි; එය තවත් ප්‍රාන්ත 2 ක කනිෂ්ඨ හවුල්කරුවෙකි.

ප්‍රාන්ත මැතිවරනයෙන් පසු, ඉන්ඩියා සන්ධානය බිඳ වැටීමේ අවදානමක් පවතී. එහි කලාපීය කුලුනු දෙකක් වන තමිල්නාඩුවේ ඩීඑම්කේ සහ බටහිර බෙංගාලයේ ත්‍රිනමූල් කොංග්‍රසයට (ටීඑම්සී) බලය අහිමි විය. එපමනක් නොව, පරාජිත ඩීඑම්කේ මහ ඇමති එම්.කේ. ස්ටාලින් “පිටුපසින් පිහියෙන් අනින්නෙකු”, “අවස්ථාවාදියෙකු” “පාවා දෙන්නෙකු” ලෙස කොංග්‍රසය විස්තර කල ද, එහි ඩීඑම්කේ සගයාට, ප්‍රාන්තයේ නව ආන්ඩුව පිහිටුවීමේ දී ටීවීකේට සහාය දැක්වීමට ඉඩ දී තිබේ.

ප්‍රාන්ත මැතිවරනවල දී විශාලතම පරාජයන් අත්වූයේ වාම පෙරමුනු සගයින්ට ය.

දශක ගනනාවක් තිස්සේ, අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂයට විරුද්ධ වීමේ නාමයෙන්—ඔවුන් ආන්ඩුව පිහිටුවා ඇති ප්‍රාන්තවල කම්කරු විරෝධී, වෙලඳපොල ගැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ සටන්කාමී කම්කරු අරගල හුදකලා කිරීම හරහා—කම්කරු පන්තිය මහා ව්‍යාපාරික කොංග්‍රස් පක්ෂයට යටත් කිරීම වෙනුවෙන්, ස්ටැලින්වාදීන් දේශපාලන සංස්ථාපිතයේ අනිවාර්ය අංගයක් ලෙස ක්‍රියා කර ඇත. .

මෙම භූමිකාවට අනුකූල ව, ස්ටැලින්වාදීන්, ඔවුන්ගේ ඉන්දියානු සන්ධාන සහචරයින් අමනාප කිරීමට බියෙන්, ඉරානයට එරෙහි සාපරාධී එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට විරුද්ධ වීම ගැන තම මැතිවරන ව්‍යාපාරය තුල කතා කලේ නැත. ඉරාන යුද්ධය ආසන්නයේ දී, මෝදි සහ නෙතන්යාහු වැඩිදියුනු කල ඊශ්‍රායල-ඉන්දියානු සන්ධානය, ගාසා සංහාරය හෝ ඉන්දු-ඇමරිකානු “ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය” පිලිබඳ ගැටලු ආමන්ත්‍රනය කලේ නැත. එහෙත් යුද්ධය ඉන්දියාවේ කම්කරුවන්ට සහ වැඩ කරන ජනතාවට වැඩෙන ආර්ථික පීඩාවක් ඇති කරයි; ගෝලීය ගිනි ජාලාවක් ඇති කිරීමට තර්ජනය කරයි; එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ ඉන්දියාවේ ප්‍රතිගාමී සන්ධානය දකුනු ආසියාවේ සහ ලෝකයේ ජනතාවට ව්‍යසනයක් ඇති කිරීමට තර්ජනය කරන ආකාරය නැවත වරක් පෙන්නුම් කරයි.

කේරලයේ, සීපීඑම් ප්‍රමුඛ එල්ඩීඑෆ් පක්ෂය ආසන 60 කට වඩා අහිමි කර ගත් අතර, 2021 දී ආසන 99 ක් වූ එය මෙවර 35 ක් දක්වා අඩු විය. බලයේ සිටි දශකය තුල, එල්ඩීඑෆ් පක්ෂය පුද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වයන්, සංගත බදු සහන සහ විශේෂ ආර්ථික කලාප ඇතුලු විවෘත ව දක්ෂිනාංශික, ආයෝජක ගැති ප්‍රතිපත්ති අනුගමනය කල අතර, සංගත කවයන්ගෙන් ප්‍රශංසාව දිනා ගත්තේ ය.

කේරලයේ සීපීඑම් නායකත්වයෙන් යුත් එල්ඩීඑෆ් ආන්ඩුව පරාජය වීමත් සමඟ, 1977 න් පසු පලමු වතාවට ඉන්දියාව තුල ස්ටැලින්වාදී නායකත්වයෙන් යුත් ප්‍රාන්ත ආන්ඩුවක් නැති ව ගොස් තිබේ.

කෙසේ වෙතත්, වඩාත් ම දේශපාලනික වශයෙන් වැදගත් ම හා භයානක ම ප්‍රතිඵලය වූයේ 1977 සිට 2011 දක්වා අඛන්ඩ ව වසර 34 ක් ආන්ඩුවට නායකත්වය දුන් බටහිර බෙංගාලයේ සීපීඑම් සහ වාමාංශික පෙරමුන අත්විඳි පරාජයයි.

බටහිර බෙංගාලයේ මහ ඇමතිනිය ලෙස පසුගිය සතිය දක්වා සේවය කල මම්තා බැනර්ජි, 2016 ට පෙර කිසි දිනෙක ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට එක් සාමාජිකයෙකුට වඩා තෝරා පත් කර නොගත් භාරතීය ජනතා පක්ෂය මැතිවරනය සොරකම් කල බවට චෝදනා කර තිබේ. ඡන්දදායක ලැයිස්තුවෙන් තමන් බැහැර කිරීමට අභියෝග කල මිලියන 2.3 ක ජනතාවගෙන් ඉතා සුලු පිරිසකට පමනක් අවසානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දෙමින්, භාරතීය ජනතා පක්ෂය නීච හා වංචනික ව්‍යාපාරයක් දියත් කල බව අවිවාදිතය. නමුත් තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව නිරන්තරයෙන් ප්‍රචන්ඩත්වය භාවිතා කල දූෂිත, මහා ව්‍යාපාරික ගැති ආන්ඩුවක් මෙහෙය වූ බැනර්ජි සහ ඇගේ ටීඑම්සීයට එරෙහි ව පැහැදිලි මහජන විරෝධයක් ද තිබුනි.

එහෙත් ස්ටැලින්වාදීන් බැනර්ජිට එරෙහි ව විපක්ෂය පෙලගැස්වීමට හෝ, ඒ සම්බන්ධයෙන් ගත් කල, භාරතීය ජනතා පක්ෂය—20 වන සියවසේ මුල් දශකයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහි මහජන විරෝධයේ නැගී ඒම දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් තිබෙන, “වමේ” බලකොටුවක් ලෙස සැලකෙන කලාපයක් වන—බටහිර බෙංගාලය “ජයග්‍රහනය කර ගැනීමේ” දිගුකාලීන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම වැලැක්වීමට ටීඑම්සීයට ඇලී සිටි අයගේ සහයෝගය දිනා ගැනීමට සම්පූර්නයෙන් ම අසමත් බව ඔප්පු කර තිබේ.

සීපීඑම් පක්ෂය ආසන 1 ක් පමනක් දිනා ගත් අතර එහි වාමාංශික පෙරමුනේ සගයින්ට කිසිවක් දිනා ගැනීමට නොහැකි විය. සමස්තයක් වශයෙන් ගත් කල, 2021 සිට ඔවුන්ගේ මහජන ඡන්ද ප්‍රමානය ඉහල ගියේ යන්තමිනි.

බටහිර බෙංගාලයේ සීපීඑම්/වාම පෙරමුනට ලැබුනු සහයෝගයේ සිඳී යාම සොයා ගැනීමට මෙය ස්ථානය නොවේ. නමුත් කරුනු දෙකක් අවධාරනය කල යුතු ය. 2011 දී බලයෙන් වැටීමට පෙර දශකය තුල, එය ධනේශ්වර පාලනයේ කුලුනක් ලෙස තමන් හෙලිදරව් කර ගත්තේ ය. ජාතික මට්ටමින්, ස්ටැලින්වාදීහු කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලී සන්ධානය (යූපීඒ) අටවා ගැනීමේ දී සහ එයට මුක්කු ගැසීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කලහ. “මානුෂික මුහුනුවරකින් යුත් ප්‍රතිසංස්කරන” ක්‍රියාත්මක කිරීමේ මුවාවෙන්, යූපීඒ ආන්ඩුව සංගත බදු කප්පාදු, පුද්ගලීකරනය, නියාමනය ඉවත් කිරීම සහ කොන්ත්‍රාත්-ශ්‍රම රැකියා පුලුල් කිරීම ඇතුලු ආයෝජක ගැති ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගිය අතර, එය සමාජ අසමානතාවයේ දැවැන්ත වර්ධනයකට මග පෑදී ය. බුෂ් පරිපාලනය ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධ දියත් කරන විට, යූපීඒ ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ “ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයට” එලඹුනු අතර එය ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියේ මූල් ගල ලෙස පවතී.

මේ අතර, බටහිර බෙංගාලයේ, CPL/වාම පෙරමුනු රජය තොරතුරු තාක්ෂන සහ තොරතුරු තාක්ෂන-සක්‍රීය කර්මාන්තවල වැඩ වර්ජන තහනම් කලේ ය, “රෝගී” රාජ්‍ය අංශයේ ඒකක වසා දැමීය හෝ විකුනා දැමීය, බදු සහන සහ සහනාධාර ආකාරයෙන් මහා ව්‍යාපාරිකයන්ට දැවැන්ත සහන ලබා දුන්නේ ය, සහ විශේෂ ආර්ථික කලාප සහ අනෙකුත් මහා ව්‍යාපාරික ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහි ව ගොවීන්ගේ විරෝධය මැඩපැවැත්වීම සඳහා පොලිස් සහ මැර ප්‍රචන්ඩත්වය භාවිතා කලේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස, කුප්‍රකට කොමියුනිස්ට් විරෝධී වාචාලයෙකු සහ භාරතීය ජනතා පක්ෂයේ හිටපු සගයෙකු වූ බැනර්ජි, “දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු” ලෙස පෙනී සිටීමට සමත් විය.

දෙවනු ව, පසුගිය දශකයේ මැද භාගයේ සිට බටහිර බෙංගාලයේ සීපීඑම් පක්ෂය කෙතරම් දූෂිත හා දක්ෂිනාංශික වී ඇත්ද යන්න පිලිබඳ මිනුමක් ලෙස, මැරයන්ගේ ජාලයක් ඇතුලු ව, එහි අනුග්‍රහයෙන් පෝෂනය වූ පක්ෂ උපකරනයේ සැලකිය යුතු කොටසක් හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයට පලා ගියේ ය.

කම්කරු පන්තිය නව මාවතක් හෙලි පෙහෙලි කරගත යුතු ය

තමිල්නාඩුවේ දේශපාලන කැලඹීම පිලිබඳව තවත් නිරීක්ෂන කිහිපයක් අවශ්‍ය වේ. විජේ යනු සාමාන්‍ය සිනමා තරුවක් සහ දක්ෂිනාංශික ධනවාදී දේශපාලනඥයෙකි; දකුනු ඉන්දියාවේ එවැනි උදාහරන බොහෝ තිබේ. ඔහු සහ ඔහු වටා එක්රැස් වූ පැරනි DMK සහ AIADMK දේශපාලනඥයින්ගේ කන්ඩායම, මහා පරිමාන රැකියා විරහිතභාවය සහ ඌන සේවා නියුක්තිය, ජීවන වියදම් අර්බුදය, අබලන් වූ රාජ්‍ය සේවාවන් සහ සාම්ප්‍රදායික පාලක පක්ෂවල ගැඹුරට මුල් බැසගත් දූෂනය කෙරෙහි වර්ධනය වන මහජන අප්‍රසාදය ගසාකෑමට සමත් විය.

විජේ මහ ඇමති ධුරයට පත් වූ වහා ම ප්‍රකාශ කලේ, ඉවත් ව යන ඩීඑම්කේ ආන්ඩුව ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 10 ක (10 lakh crore rupees - ඩොලර් බිලියන 105 ක) සමුච්චිත නය බරකින් ප්‍රාන්ත භාන්ඩාගාරය හිස් කර ඇති බවයි. ඔහුගේ බොහෝ ජනතාවාදී මැතිවරන පොරොන්දු ප්‍රතික්ෂේප කිරීමේ අරමුනින්, පැහැදිලි ව ම ඔහුගේ ටීවීකේ ආන්ඩුව රාජ්‍යයේ මූල්‍ය තත්ත්වය විස්තර කරන ධවල පත්‍රිකාවක් නිකුත් කරන බව විජේ නිවේදනය කලේ ය.

ඉන්දියාවේ වඩාත් ම කාර්මිකකරනය වූ ප්‍රාන්තවලින් එකක් වන තමිල්නාඩුව මෑත වසරවල දී සටන්කාමී කම්කරු පන්ති අරගල රාශියකට තෝතැන්නක් වී ඇත. සෑම විට ම, සීපීඑම් නායකත්වයෙන් යුත් ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) සහ සීපීඅයි සමග පෙල ගැසුනු සමස්ත ඉන්දීය වෘත්තීය සමිති කොංග්‍රසය මෙම අරගල හුදකලා කර ඇති අතර, ඩීඑම්කේ ආන්ඩුව ඔවුන්ට එරෙහි ව පොලිසිය මුදා හැරිය ද, ඔවුන් වෙනුවෙන් මැදිහත් වන ලෙස කම්කරුවන්ට බලපෑම් කරන ලෙසට උපදෙස් දී ඇත. සීපීඑම් සහ සීපීඅයි දශකයකට වැඩි කාලයක් ඩීඑම්කේ පක්ෂයේ මැතිවරන සහචරයින් වන අතර, “සමාජ සාධාරනත්වය” සඳහා සටන් කරන්නෙකු ලෙස එහි ව්‍යාජ ප්‍රකාශයන් ඉහල නංවයි. ඔවුන් මෑතක දී අවසන් වූ ප්‍රාන්ත මැතිවරනයට ඩීඑම්කේ හි අනාගමික ප්‍රගතිශීලී සන්ධානයේ කනිෂ්ඨ හවුල්කරුවන් ලෙස කොංග්‍රස් පක්ෂය සමඟ තරඟ කලහ.

දැන් ඔවුන්ගේ කොංග්‍රස් සගයින් මෙන්, සීපීඑම් සහ සීපීඅයි ද ඩීඑම්කේ අතහැර නව ටීවීකේ ආන්ඩුවට සහාය දීමට ප්‍රතිඥා දී තිබේ, එසේ නොවුවහොත් භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ AIADMK පක්ෂයට සුලුතර ආන්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇති බවට ප්‍රකාශ කර ඇත.

ස්ටැලින්වාදීන් පැහැදිලි ව ම කම්කරු පන්තිය ආවෘත අන්තයකට ගෙන ගොස් ඇත. “භාරතීය ජනතා පක්ෂයට එරෙහිව සටන් කිරීමේ” නාමයෙන්, පන්ති අරගලය මර්දනය කර කම්කරු පන්තියේ අත් පා කොංග්‍රසයට සහ අනෙකුත් මහා ව්‍යාපාරික පක්ෂවලට බැඳ දමා තිබූ දශක තුනකට පසු, හින්දු අධිපතිවාදී අන්ත දක්ෂිනාංශය කිසිදා නොවූ විරූ ලෙස ශක්තිමත් වී ඇත.

කම්කරු පන්තිය නොනවතින විප්ලවයේ මූලෝපාය මත පදනම් වූ නව මාවතක් හෙලි පෙහෙලි කර ගත යුතු ය. ලියොන් ට්‍රොට්ස්කි විසින් ප්‍රථම වරට විස්තාරනය කරන ලද එය, 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවයටත්, එහි ස්ටැලින්වාදී පරිහානියටත් එරෙහි අරගලයට පන දුන්නේය.

ඉන්දියානු කම්කරු පන්තිය, ඉන්දියානු ධනවාදයට සහ එහි සියලු දේශපාලන නියෝජිතයින්ට එරෙහි අරගලයක දී තමන් පිටුපස සිටින ග්‍රාමීය වැඩ කරන ජනතාව බලමුලු ගැන්විය යුතු ය. ඉන්දියාවේ කම්කරුවන්ගේ සහ වැඩ කරන ජනතාවගේ මූලික සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් සාක්ෂාත් කර ගත හැකි වන අතර එය සාක්ෂාත් කර ගනු ඇත්තේ, ලෝක සමාජවාදී විප්ලවයේ වර්ධනයේ කොටසක් ලෙස කම්කරු ආන්ඩුවක් ස්ථාපිත කිරීම හරහා පමනි.

Loading