මේ වන විට මෙනින්ජයිටීස් (මොලේ උන) රෝගීන් දෙසියයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත. රෝගය දෙනියාය, දියතලාව, වැලිමඩ, තෙල්දෙනිය සහ රිකිල්ලගස්කඩ යන ප්‍රදේශවල පැතිර යමින් පවතින අතර මෙහි වැඩිමනක් ගොදුරු බවට පත් ව ඇත්තේ පාසැල් සිසුන් ය.
අප්‍රේල් 15දා දකුනු පලාතේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වීමෙන් අනතුරුව මැයි පලමු සතිය වන විට එය රෝගීන් පනහකට ආසන්න මට්ටමක් දක්වා ඉහල නැග්ගේ ය. මේ හේතුවෙන් දෙනියාය ප්‍රදේශයේ පාසල් වසා දැමුනු නමුත්, දැන් ලංකාවේ අනෙක් ප්‍රදේශවලින් ද වාර්තා වෙමින් පවතී. මැයි 25 වන විට දියතලාවෙන් රෝගීන් 28 ක්, වැලිමඩින් රෝගීන් 20 ක් වාර්තා වී ඇති අතර රිකිල්ලගස්කඩ රෝහලේ රෝගීන් 25 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (ලෝසෞසං) අනුව මෙනින්ජයිටිස් යනු මොලය හා සුෂුම්නාව වටා ඇති පටක ආශ්රිත ව හටගන්නා මාරාන්තික ප්‍රදාහයකි. එය බැක්ටීරියා, වෛරස්, දිලීර සහ බොහෝ පරපෝෂිතයන් මගින් හෝ විෂබීජ නොවන හේතු මගින් ද ඇති විය හැකි ය. මරනයට හා දිගු කාලීන සංකූලතා ඇති කිරීමට ඉහල අවදානමක් ඇති තත්වයක් තුල හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. ලෝසෞසං අනුව, දිගුකාලීන ආරක්ෂාවක් ලබා දීම සඳහා එන්නත් වඩාත් ඵලදායී ක්‍රමයයි.
මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයකට අනුව, වෛරස මෙනින්ජයිටිස් තත්වයට හේතුවන එන්ටොවෛරස් මෙනින්ජයිස්ටිස් (Enteroviral Meningitis) ප්රමුඛ වසයෙන් ම ලමුන්ට ද ප්‍රතිශක්තිකරනය දුර්වල පුද්ගලයන්ට ද හානිකර ලෙස බලපානු ලබයි. එමෙන් ම සමීප ආශ්‍රිතයින් අතර ද රෝගය පැතිර යා හැක. මෙනින්ජයිටිස් රෝග ලක්ෂන වේගයෙන් වර්ධනය විය හැකි අතර උන රෝග ලක්ෂන වලට අමතර ව දරුනු හිසරදය, බෙල්ලේ වේදනාව, ඔක්කාරය, වමනය, ආලෝක සංවේදීතාව (ආලෝක භීතිකාව) ද ඇති විය හැකි ය.
අප්‍රේල් 15 දකුනු පලාතෙන් ආරම්භ වී මාසයක් ඇතුලත මධ්‍යම කඳුකරය ඇතුලු රටේ විවිධ පලාත්වලට මෙනින්ජයිටිස් ව්‍යාප්ත වෙමින් තිබීමේ කාරනය මගින්, රෝගය ව්‍යාප්ත වීම වැලක්වීමට තමන් ක්‍රියාකරන බවට පාරම්බාන ආන්ඩුවේ පල්ල යවා තිබේ.
තත්වය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය මහනුවර රෝහලේ වෛද්‍යවරයෙකුගෙන් විමසූ විට ඔහු කීවේ, හුදු නිවේදන නිකුත් කිරීමෙන් ඔබ්බට ගොස්, මෙය වලක්වා ගන්නා ආකාරය ගැන සක්‍රීය ලෙස මහජනයා දැනුවත් කිරීමේ වැඩමුලු පැවත්වීම, රෝගය වැලදුනු අය තෝරා බේරා හයි ඩිෆෙන්ස් යුනිස්ට්වලට යොමු කිරීම සහ අයිසීයූ පහසුකම් වඩා වර්ධනය කිරීම මෙහිලා අනිවාර්ය බවයි. එහෙත් කෝඩිඩ්-19 වසංගතය සමයේ දී පැවැති ආන්ඩුව මෙන්ම වත්මන් ආන්ඩුව ද මේවාට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට හෝ එවන් ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට යොමු වී නැති බව වෛද්‍යවරයා සඳහන් කලේ ය. දකුනු පලාතේ රෝගීන් වාර්තා වූ පලමු අවස්ථාවේ දී අදාල රෝගීන් හඳුනා තෝරා බේරාගෙන ඔවුන් ඇසුරු කල අය ද වෛද්‍ය පරීක්ෂනවලට යොමු කලේ නම්, මෙය අනෙක් පලාත්වලට ව්‍යාප්ත වීමෙන් වලක්වා ගත හැකි ව තිබූ බව ඔහු තවදුරටත් අවධාරනය කලේ ය.
දෙනියායේ මුල් පැතිරීමට හේතුව ලෙස හඳුනාගත්තේ සිසුන් පානීය ජල මූලාශ්‍රය අපිරිසිදු වීම වන අතර අපිරිසිදු ආහාර, ජලය ඇතුලු දුර්වල සනීපාරක්ෂක තත්වය මෙම මෙනින්ජයිටීස් රෝගය පැතිර යාමට මූලික හේතුවකි. වර්ෂාවේ වර්ධනය, එලඹෙන වෙසක් සති අන්තයේ දන්සල් වැනි පොදුවේ ආහාර ගන්නා ස්ථාන වැඩි වීම මගින් රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතී.
මේ ආකාරයෙන්, ආහාර, ජලය වැනි දුර්වල සනීපාරක්ෂක පහසුකම් හේතුවෙන් ව්‍යාප්ත වන මෙම රෝගයේ සීග්‍ර ව්‍යාප්තිය පෙන්නුම් කරන්නේ, දශක හතක ධනපති පන්ති පාලනය මහජනයා ඇද දමා තිබෙන ඛේදජනක ජීවන සහ සමාජ කොන්දේසි වල ස්වභාවයයි.
ඇත්ත වසයෙන් ම, සෞඛ්‍ය අමාත්‍යාංශය කලේ, මහජනයාට සහ දන්සැල් වලට සබන් හා වතුරෙන් හොඳින් අත් සේදීම, කැස්ස හෝ කිවිසුම් යන විට ටිෂූ එකක් හෝ වැලමිටේ ඇතුලතින් මුඛය සහ නාසය ආවරනය කිරීම, රෝග ලක්ෂන ඇති පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වැලකී සිටීම සහ නිවාස සහ ගොඩනැගිලි තුල නිසි වාතාශ්‍රය සහතික කිරීම වැනි උපදෙස් ඇතුලත් අවවාදාත්මක නිවේදනයන් සහ මාර්ගෝපදේශ නිකුත් කර වසංගතය පැතිරීමේ වගකීම මහජනයාගේ කර මතට පැටවීම ය.
මීට අමතර වසයෙන්, එදා වේල පිරිමසා ගැනීමේ සුපුරුදු න්‍යාය පරිදි ම රෝගය පැතිරීම කලමනාකරනය කිරීම සඳහා ආන්ඩුව විශේෂඥ කමිටුවක් ද පත් කොට ඇත. තමන් මේ පිලිබඳව බැරෑරුම් ආකාරයෙන් සලකන්නේ යැයි මවාපෙන්වීමට, සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීහු සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා තත්වය පිලිබඳව “අනිසි බියක්” ඇති කර නොගත යුතු බවත් “තත්වය බරපතල නොවන බවත්” නිරතුරු ව ම මාධ්‍ය හමුවේ පෙනි සිටීමින් කියා පාති.
ඒ සඳහා ඔවුන් කියාපාන්නෙ මෙම රෝගය වාර්ෂික ව වාර්තා වන බවත්, දැනට පැතිරෙන රෝගී තත්වය මාරාන්තික එකක් නොවන අතර දින 5 - 7 ත් අතර කාලයක් තුල සුව වන බවත් පැතිරීම පාලනය කර ඇති බවත් ය. එහෙත් අනෙක් ප්‍රදේශ වල පැතිරීම සොයා බැලීම සඳහා සිදු කෙරෙන අහඹු පරීක්ෂන සම්බන්ධයෙන් හෝ කිසිදු තොරතුරක් නොමැත. එම තත්වය තුල තත්වය පාලනය කර ඇති බවට ආන්ඩුවේ ප්‍රකාශ මුලුමනින් ම සැක සහිත ය. “අනිසි බියක්” ඇති කර නොගත යුතු බව කියමින් ආන්ඩුව වසන් කරන්නේ මෙම යතාර්ථයයි.
ආන්ඩුව මෙසේ ගෙන යමින් සිටින්නේ, මාරාන්තික කොවිඩ් වසංගතයත් සමග ලංකාවේ ද ඇතුලු ලෝකය පුරා ධනපති ආන්ඩු ක්‍රියාවට දමා ඇති, මානව ජීවිත සම්පූර්නයෙන්ම නොතකා හරිමින් ලාභ ආරක්ෂා කිරීම සඳහා රෝග පැතිරීම සාමාන්‍යකරනය කිරීමේ පිලිවෙතයි.
වර්ධනය වන තත්වයේ අනතුරුදායක බව රඳා පවතින්නේ පැතිරෙන රෝගය මාරාන්තික වීම හෝ නොවීම මත නොව රෝගීන් සංඛ්‍යාව ඉහල නැගීම සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට ඇති හැකියාව මත ය. මෙනින්ජයිටීස් රෝගය සඳහා වෛද්‍ය අධීක්ෂනය මත ප්‍රතිකාර අවශ්‍ය වේ. එ මෙන් ම රෝගය හඳුනා ගැනීම සඳහා රසායනාගාර පරීක්ෂන අත්‍යාවශ්‍යය. කෙසේ වෙතත් මෙම බර පැටවෙන්නේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු ගෙන ගිය දශක ගනනාවක කප්පාදුව හේතුවෙන් අඩපන කෙරී ඇති මහජන සෞඛ්‍ය පද්ධතියක් මතට ය. 2024 බලයට පත් ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග ආන්ඩුව මෙම කප්පාදුව සහ පුද්ගලිකරනය තීව්ර කල අතර එය තත්වය තවත් නරක අතට හරවා ඇත. 2025, 2026 වසරවල සෞඛ්‍ය සේවය සඳහා වෙන්කර ඇති මුදල අනුපිලිවෙලින් දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) 1.62 සහ 1.6ක සොච්චමකි. මෙය, දදේනියෙන් අඩු ම තරමින් සියයට 5ක් හෝ අයවැයෙන් වෙන් කල යුතු බවට සාමාන්‍යයෙන් පවතින රෙකමදාරුව අහලකවත් නැත.
එවන් පද්ධතියකට දරා ගත නොහැකි ආකාරයේ බර පැටවීමක් විනාශකාරී ප්‍රතිවිපාක ගනනාවකටම මග පෑදිය හැක. ඖෂධ හිඟවීමේ අනතුර නිරතුරු ව ම වාර්තා වන අතර මැයි 27දා විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ගේ ප්‍රකාශයක් පල කරමින් දිවයින පුවත්පත වාර්තා කලේ වඩා මාරාන්තික වන බැක්ටීරියාවලින් ඇතිවන මෙනින්ජයිටීස් තත්වයට ලබා දෙන පූර්ව ආරක්ෂක ඖෂධය වන මෙනින්ගොකොකල් එන්නත මාස දෙකක කාලයක් තිස්සේ රජයේ රෝහල් වල නොමැති බවයි. රෝගීන්ට රජයේ රෝහල් වල ඖෂධ හිඟයට ආන්ඩුව ලබා දී ඇති “විසඳුම” වන්නේ තමන් වියදම් කොට පෞද්ගලික වෙලඳසැල් වලින් මිල දී ගැනීමට රෝගීන්ට සැලස්වීමයි. මීට අමතරව වෛද්‍ය උපකරන හිඟය ද දිවයින පුරා රෝහල් වලට බලපා ඇත. මෙවන් තත්වයක් කිසිදු ආකාරයකින් විශාල වශයෙන් පැතිරෙන රෝගයකට මුහුන දීමට නොසෑහේ. ජවිපෙ/ජාජබ ආන්ඩුව විවිධ පූච්චානම් දොඩවමින් මහජනයාගේ ජීවිත ඇද දමා ඇත්තේ මේ සා පරිමාන අන්තරායකටය.
අනෙක් පසින් ලංකාව පුරා ධනපති පන්ති පාලනය ඇති කොට තිබෙන දුර්වල සනීපාරක්ෂක තත්වය මෙම අනතුර තවත් වැඩි කර ඇත. පාසල් තුල ලමුන් සිටින්නේ තදබදයෙන් යුතු ව වන අතර පොදු ප්‍රවාහනයේ දී ද තත්වය වෙනස් නැත. පොදු පානීය ජල මූලාශ්‍ර වල සහ ආහාර වල පිරිසිදුහාවය පිලිබඳව කිසිදු සහතිකයක් ඇත්තේ ද නැත. මෙම තතු තුල වෛරසය පැතිරීමේ වගකීම මහජනයා මතට පටවමින් සබන් වතුරෙන් අත් සේදීම ආදී යහපත් සනීපාරක්ෂක උපදෙස් නියෝජනය කරන්නේ නොගිනිය හැකි මට්ටමේ බලපෑමකි.
කෙසේ වෙතත් ධනපති ලාභ වලට බාධා පමුනුවන එවන් ප්‍රතිචාරයක් ධනපති ආන්ඩුවලට වහ කදුරු සේ ය. ආන්ඩුව කටයුතු කරමින් සිටින්නේ තමන්ගේ කප්පාදු සහ පුද්ගලීකරන වැඩපිලිවෙලට ගැලපෙන ආකාරයට මහජන සෞඛ්‍යය කප්පාදු කරමිනි. ජවිපෙ /ජාජබ ආන්ඩුව ප්‍රමුඛතාව දී තිබෙන්නේ ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රාලය ගෙන යන යුද්ධයෙන් තියුනු කෙරී ඇති ධනපති ක්රමයේ අර්බුදයේ බර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ මහජනයා මත පැටවීමයි. එහි මූලික ම අංශයක් වනුයේ සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට දරන වියදම් කප්පාදු කරමින් ඒවා පුද්ගලීකරනය කිරීමයි.
මෙම ප්‍රතිචාරය සංලක්ශනය කරන්නේ ධනපති ආන්ඩු මහජනයාගේ ජීවිත සම්බන්ධයෙන් දක්වන නොතැකීමේ ආකල්පයයි. කොවිඩ්-19 වසංගතය ලෝක පරිමාන ව මෙම තර්කනයේ ව්‍යසනකාරී ස්වභාවය හෙලිදරව් කලේ ය. සෑම ධනපති ආන්ඩුවක් ම මිනිස් ජීවිතයට වඩා කොටස් වෙලඳපොලවල් සහ ධනපති සංගත වල ලාභවලට ප්‍රමුඛත්වය දී, වසංගතය නතර කිරීමේ සියලු ක්‍රියාමාර්ග අත් හලේ ය. එය වසංගතය තවමත් නොනැවතී පැතිරීමට ඉඩ හල අතර මිලියන ගනනක් ජීවිත මරනයට ඇද දැමුවේ ය. ලංකාවේ ආන්ඩුවේ ප්‍රතිචාරය ද ඊට වෙනස් නොවී ය. එවකට රාජපක්ෂ ආන්ඩුව වසංගතයේ පැතිරීම මධ්‍යයේ පාසල් සහ කම්හල් නැවත විවෘත කරමින් එය පැතිරීමට ඉඩ හැරියේ ය. ඉන් නිල සංඛ්‍යා ලේඛන වලට අනුව ආසාදන ලක්ෂ හතකට ආසන්න ව වාර්තා වූ අතර මරන 16,000ක් වාර්තා කලේ ය. දැන් ජවිපෙ/ජාජබ ආන්ඩුව ගෙන යන්නේ එම පියවරයි.
එම්වී හොන්ඩියස් නෞකාවෙන් වාර්තා වූ හන්ටා වයිරසය පැතිරීමට ද කොංගෝවේ සහ උගන්ඩාවේ වාර්හා වන එබෝලා වයිරසයේ පැතිරීමට, බංග්ලාදේශයේ සරම්ප රෝගයෙන් පසුගිය මාස දෙක ඇතුලත ලමුන් 500කට අධික ප්‍රමානයක් මරනයට පත්වීමට යනාදී සෑම ඛේදවාචකයක දී ම, ධනපති ආන්ඩු ප්‍රතිචාර දක්වමින් සිටින්නේ ඒ ආකාරයට ම ය. මෙම කොන්දේසි පෙන්නුම් කරන්නේ ධනපති ක්‍රමය තුල මහජනයාගේ මූලික අයිතියක් වන මහජන සෞඛ්‍ය ආරක්ෂාව සාක්ෂාත් කල නොහැකි බවයි.
දැනට පැතිරෙන මාරාන්තික නොවන වෛරස මෙනින්ජයිටිස් තත්වය මෙන් ම මාරාන්තික රෝග පවා පැතිරීම පාලනය කිරීමේ මූලික ම පියවරයන් වසයෙන්, රෝහල්, එවායේ මානව සහ භෞතික සම්පත් ඉහල නැංවීමටත්, සනීපාරක්ෂක පහසුකම් ඉහල නැංවීමටත් මහජන සෞඛ්‍යයට මුදල් බිලියන ගනනින් වෙන් කරන ලෙස සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව ඉල්ලා සිටී. එය කල හැක්කේ සමාජ ධනය ජාමූඅ ආදී ධනපති දඩු අඬුවෙන් මුදවා සමාජ අවශ්‍යතාවය සඳහා යෙදවීමෙන් පමනකි. ඒ සඳහා ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් අත්‍යාවශ්‍ය ය.
වැඩිදුර කියවන්න
- යුද්ධයේ බිහිසුනු ප්‍රතිවිපාක සමග වැඩෙන ආර්ථික අර්බුදය මැද, ජවිපෙ/ජාජබ ආන්ඩුව මහජනයා මත තවත් ප්‍රහාර දියත් කිරීමට සූදානම් වෙයි
- සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවේ ඔන්ලයින් රැස්වීම නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට සමාජවාදී මූලෝපායක් ඉදිරිපත් කරයි
- වසංගතය පැතිරීමට කොන්දේසි සපයමින් ආන්ඩුව සීමිත සෞඛ්‍ය ආරක්ෂන සීමා තවත් ලිහිල් කරයි
