[මෙය Sri Lanka’s JVP government commemorates 17 years since “victory” in racist anti-Tamil war මැයෙන් 2026 මැයි 19දා පල කල ලිපියේ පරිවර්තනයයි.]
දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත් විනාශභාග් කරමින් ද දසදහස් ගනනකගේ ජීවිත බිලි ගනිමින්ද දශක තුනකට ආසන්න කාලයක් ඇදී ගිය, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි සිවිල් යුද්ධය ලේ වැකි අවසානයකට ගෙන එමින්, ලංකාවේ රාජ්‍යය මිලිටරි ජයග්‍රහනය ප්‍රකාශයට පත් කිරීමේ 17වැනි සංවත්සරය මැයි 18දාට යෙදී තිබිනි.
ඊලඟ දිනයේ, බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසල පිහිටි, යුද්ධයේ දී මියගිය සොල්දාදුවන් දහස් ගනනකගේ නම් සටහන් කර තිබෙන කොන්ක්‍රීට් පුවරුවලින් ඉදිකල රනවිරු ස්මාරකය අභියස දී, ජනාධිපති අනුර කුමාර දිසානායක “ජාතික විජයග්‍රාහී දින සැමරුමේ” ප්‍රධානත්වය දැරී ය.
සැමරුමේ කතාව සිදුකරමින්, දිසානායක, “ත්‍රස්තවාදයෙන්” “මවුබිම”නිදහස් කරගැනීමේ දී “තම ජීවිත පූජාකල” කල “රනවිරුවන්” ලෙස මිලිටරි භටයන් යලි යලිත් උත්කර්ෂයට නැංවී ය. යුද්ධයෙහි දෙමල-විරෝධී වර්ගභේදවාදී ස්වභාවය ආවරනය කිරීමට උත්සාහ දැරූ ඔහු, මිලිටරිය සටන් වැදුනේ “බෙදුම්වාදයට” එරෙහි ව මිස කිසිදු “ජාතියකට” එරෙහි ව නො වන බව කියා සිටියේ ය. වාර්ගික යුද්ධය ගෙන ගිය, එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) විසින් නායකත්වය දුන් අනුප්‍රාප්තික ආන්ඩු සහ එයට සහයෝගය දුන් දිසානායකගේ ජවිපෙ ඇතුලු අනෙක් පක්ෂ, මෙම හේතුපාඨය යොදා ගෙන ඇත්තේ, ජනසංහාරය සාධාරනීකරනය කිරීම සඳහා ය.
යුද සමයේ ලංකාවේ ධනපති රාජ්‍යය අනුගමනය කල ජන සංහාරක විධික්රමය, දිසානායකගේ කියාපෑම මුලුමනින් කීතු කර දමයි. 2009 ජනවාරි හා මැයි අතර, යුද්ධයෙහි අවසන් අදියරවල දී, ආන්ඩුවේ හමුදා අතොරක් නැති ව සිදුකල බෝම්බ දැමීම් ද රෝහල් සහ සිවිල් පහසුකම්වලට එල්ල කල ප්‍රහාර ද මගින්, සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දමන ලද බව, එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුව ඇතුලු මානව හිමිකම් සංවිධාන නිගමනය කලේ ය. ඊටත් වඩා අධික සිවිල් ඝාතන සිදු ව තිබෙන බව ඇස්තමේන්තු කල ජාත්‍යන්තර අර්බුද කන්ඩායම (The International Crisis Group), සිවිල් වැසියන් ජීවත් වුනු ප්‍රදේශවලට හිතාමතා ම බෝම්බ හෙලනු ලැබ ඇති ආකාර පෙන්වන සාක්ෂි ඉදිරිපත් කලේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සත්‍යතාව තහවුරු කල වීඩියෝවකින් පෙන්නුම් කෙරුනේ, ලංකාවේ සොල්දාදුවන් සිරගත කිරීමට නියමිත ව සිටි දෙමල වැසියන් මරා දමන ආකාරයයි. පසුව විමර්ශන සිදු කෙරුන ද මෙම අපරාධවලට බලය දුන් හෝ ඒවා අධීක්ෂනය කල ජ්‍යෙෂ්ට මිලිටරි නිලධාරීන්ට හෝ එකදු දේශපාලන නායකයෙකුට හෝ විරුද්ධ ව අධිකරනමය දන්ඩනය පැනවීමක් සිදුකර ඇත්තේ නැත.
ආරක්ෂාව සලසන බවට කොලඹ ආන්ඩුව ලබාදුන් සහතික කිරීම් තිබිය දී ම, හමුදාවට යටත් වීමට ප්රයත්න දැරූ අය ද ඇතුලු එල්ටීටීඊ නායකයන් සංහාරය කෙරුනාහ. යුද්ධයෙන් ඉක්බිති ව, දෙමල සිවිල් වැසියන් 300,000ක් පමන මිලිටරිය විසින් පාලනය කරන නරකාදිවලට සමාන රැඳවුම් කඳවුරුවලට ගාල් කෙරුනු අතර, හිරිහැර කිරීම්, ලිංගික හිංසන හා බලහත්කාරී අතුරුදන් කිරීම් ගැන වාර්තාවන් මෙම කඳවුරුවලින් එලියට ආවේ ය. යුද්ධයෙහි අවසන් අදියරේ දී අතුරුදන් කෙරුනු සිය ආදරනීයයන් ගැන තොරතුරු ඉල්ලමින්, ඔවුන්ගේ ඥාතීහු යාපනයේ ද වෙනත් තැන්වල ද වසර ගනනාවක් තිස්සේ විරෝධතා පවත්වා තිබේ. අද දින පවා, උතුරේ හා නැගෙනහිර දෙමල මහජනයාට අයත් වන ඉඩම් අක්කර දහස් ගනනක් පවතින්නේ මිලිටරි පාලනය යටතේ ය.
යුද්ධයෙහි ලේවැකි අවසානය, එල්ටීටීඊයෙහි බෙදුම්වාදී ක්රියාමාර්ගයෙහි ආන්තික බංකොලොත්භාවය ද සනාථ කලේ ය. ලෝසවෙඅ ලියූ පරිදි: “අවසන් විග්රහයේදී එල්ටීටීඊය අත්විඳි ව්‍යසනය වනාහි, කිසිදු ප්රගතිශීලී ආර්ථික හෝ දේශපාලන තර්කනයකින් තොර--ආන්ඩුවේ පිටුබලය සහිත දෙමල විරෝධී වෙනස්කම් කිරීමට පිලිතුර, කුඩා ශ්‍රී ලංකා දිවයිනේ එක් කොනක දෙමල සුලුතරය සඳහා වාර්ගික ව පදනම් කල වෙන ම රාජ්‍යයක් නිර්මානය කිරීමේ-- ඉදිරිදර්ශනයක ප්රතිවිපාකය යි.”
“වාර්ගික සංහිඳියාව” පිලිබඳ දිසානායකගේ පූච්චානම් නොතකා, ඔහුගේ පක්ෂය, එල්ටීටීඊයට එරෙහි ව ගෙන ගිය වර්ගවාදී යුද්ධයෙහි උද්යෝගීමත් ආධාරකරුවෙක් ව සිටියේ ය. 2006 දී යුද්ධය යලි ආරම්භ කිරීම සඳහා, ශ්‍රීලනිපයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ව තල්ලු කලේ තමන් බවට උදම් ඇනීමට ද ජවිපෙ පුරුදු වී සිටියේ ය. වැඩකරන ජනයා වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට සියලු ධනේශ්වර පක්ෂ යොදාගෙන ඇති වර්ගබේදවාදී දේශපාලනය ම, දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව දැන් අඛන්ඩ ව ඉදිරියට ගෙන යයි.
1983දී යුද්ධය ආරම්භ කලේ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුවයි. යුද්ධය, ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් පැන නැගීම වලක්වනු වස්, ලංකාව 1948 දී නාමික නිදහස ලද තැන් පටන්, අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙන යනු ලැබූ දෙමල-විරෝධී වාර්ගික වෙනස්කම් කිරීමේ පිලිවෙත්වල කූටප්‍රාප්තිය සනිටුහන් කලේ ය. නිදහසින් ක්ෂනික ඉක්බිත්තේ, දසලක්ෂකයක් පමන දෙමල කතා කරන වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහිමි කිරීමට 1948 එජාප ආන්ඩුව කටයුතු කලේ, දෙමල හා සිංහල කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් කෙරෙහි පැවති භීතිය හේතුවෙනි. කම්කරු පන්තිය ඉහල සටන්කාමීත්වයක් පෙන්නුම් කල සෑම තැනක දී ම, වාර්ගික බේදකරනයන් ගැඹුරු කරමින් පාලක ප්රභූව ප්‍රතිචාර දැක් වූ අතර, එහි සුවිශේෂී අවස්ථාවක් වූයේ 1956 දී හඳුන්වා දෙන ලද සිංහල පමනක් පිලිවෙත යි.
ට්රොට්ස්කිවාදීයැයි කියනු ලැබූ සම සමාජ පක්ෂය (ලසසප), 1964 දී ශ්රීලනිපය නායකත්වය දුන් ධනපති ආන්ඩුවට එක් වීමත් හරහා සිදු කල ඓතිහාසික පාවාදීම මගින්, මෙම ක්‍රියාදාමයට පහසුකම් සැලසුනි. සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍ය යාන්ත්රනයට එරෙහි ව, කම්කරුවන් එකමුතු කිරීමේ හැකියාව සතු වුනු තීරනාත්මක දේශපාලන උපකරනයක් ලෙස සැලකුනු දෙය, එම පාවාදීම මගින් දෙමල ජනයාට අහිමි කෙරුනි. සිංහලය රාජ්‍ය භාෂාව ලෙසත්, බුද්ධාගම රාජ්‍ය ආගම ලෙසත් බෞස්තීම කල 1972 ප්රතිගාමී ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට, ලසසප නායකයෙකු වූ කොල්වින් ආර්. ද සිල්වා ඍජු ව සහභාගි විය. දෙමල කම්කරුවන් සහ තරුනයන් තව දුරටත් දේශපාලනික වියෝ කිරීමට හා මංමුලාවට පත් කරන ලද්දේ, උතුරේ හා නැගෙනහිර දෙමල බෙදුම්වාදී ව්‍යාපාරයන්ගේ ඉස්මතු වීමට කොන්දේසි නිර්මානය කරමිනි.
1977න් පසු දියත් කල විවෘත-වෙලඳපොල ප්රතිව්යුහකරනය කරා මාරුවීම, 1980 මහා වැඩ වර්ජනය ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීම ද සමග තීරනාත්මක හැරුම් ලක්ෂ්‍යයන් සලකුනු කලේ ය. කම්කරු පන්තියේ හා පීඩිත මහජනයාගේ දැවෙන සමාජීය හා ප්රජාතන්ත්රවාදී අභිලාෂයන්ට ආමන්ත්රනය කිරීමට අසමත් වූ ධනේශ්වරය, 1983 දෙමල-විරෝධී සංහාරයත්, පූර්න-පරිමාන සිවිල් යුද්ධයත් තුල කූටප්රාප්ත වුනු ස්වෝත්තමවාදයට හා මර්දනයට තීරනාත්මක ව හැරී ගත්තේ ය.
ආසන්න වසයෙන් දශක තුනක් පමන ඇදී ගිය යුද්ධය මුලුල්ලේ ම, ලංකාවේ පාලක ප්රභූව පන්ති අරගලය මර්දනය කිරීමට වර්ගබේදවාදී යුද්ධය ගසා කෑවේ ය. අනුප්‍රාප්තික ධනපති ආන්ඩු හා ධනපති පක්ෂ යුද ප්රයත්නයට සහයෝගය දැක්වූ අතර, ඒවාට අනුබද්ධ වූ වෘත්තීය සමිති, දෙමල හා සිංහල කම්කරුවන්ගේ කිසිදු ඒකාබද්ධ ව්‍යාපාරයක පැනනැගීම වැලැක්වීමට ක්‍රියා කලහ.
යුද්ධයට බලගතු ම ලෙස සහයෝගය දුන් අය අතර, ලංකාවේ මිලිටරිය එහි යුද මෙහෙයුම අවසානය දක්වා ම ගෙන යා යුතු බව අවධාරනය කල දිසානායක සහ අනෙකුත් ජවිපෙ නායකයෝ සිටගෙන සිටියහ. දෙමල සිවිල් වැසියන් දහස් ගනනකගේ මරන ඇතුලු, යුද්ධයේ යෝධ මිනිස් ජීවිත හානියට ධනපති දේශපාලන සංස්ථාපිතයේ අනෙකුත් අය ද සමගින්, ජවිපෙ නායකයෝ ද දේශපාලනික ව වගකිව යුතු ය.
මිලිටරි ඔත්තු සැපයීම් සහ යුද උපකරන සම්පාදනයෙන් මෙන් ම, දේශපාලනික හා රාජ්‍ය-තාන්ත්‍රික සහයෝගය ලබා දෙමින් ද එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර අධිරාජ්‍යවාදී බලවත්තු ද ඉන්දියාව හා ඊස්රායලය වැනි ඔවුන්ගේ සහචරයෝ ද එල්ටීටීඊයට එරෙහි කොලඹ යුද්ධයට පිටුබලය දුන්හ. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් පසු ව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර කිහිපයක දී යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින්, ලංකාවේ මිලිටරිය විසින් සිදු කෙරුනු යුද අපරාධ හා බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අල්ලාගෙන, එක්සත් ජනපදය හා බටහිර බලවත්හු චෝදනා ඉදිරිපත් කිරීමට පටන් ගත්හ.
මෙකී මුලපිරීම් ධාවනය වූයේ, පලල් භූ-දේශපාලනික ගනන් බැලීම් මගිනි, එසේ නැති ව දෙමල ජනයාට එරෙහි අපරාධ පිලිබඳ කිසියම් ම හෝ තැකීමක් මෙම බලවතුන්ට තිබූ නිසා නොවේ. එම උද්ඝෝෂනයේ ඉලක්කය වූයේ, චීනයට එරෙහි ව එක්සත් ජනපදය නායකත්වය දෙන මූලෝපායික ප්‍රහාරය සමග වඩා සමීප ව පෙලගැසෙන ලෙස, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට පීඩනය යෙදීම ය. එල්ටීටීඊයට එරෙහි යුද්ධයට චීනය දුන් සහයෝගය මෙන්ම, යුද්ධයෙන් පසු සැලකිය යුතු චීන ආයෝජන හා නය ප්‍රදානයන් හරහා, කොලඹ පාලනය බෙයිජිනය සමග සබඳතා ශක්තිමත් කරගෙන තිබුනි.
කොලඹ ආන්ඩුවේ විජයග්රහනවාදයට එරෙහිව, අධිරාජ්‍යවාදී බලවතුන් විසින් නරුම ලෙස සූරාකෑමට එරෙහිව, සහ සිංහල හා දෙමල යන දෙවර්ගයේ ම ධනපති දේශපාලනයේ ජාතිකවාදී අපසරනයන්ට එරෙහි ව, යුද්ධයට විරුද්ධ මූලධර්මාත්මක හා නො බිඳුනු අරගලයක් ගෙන ගොස් ඇති එක් දේශපාලන ප්රවනතාවක් පවතී: ඒ, ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) යි.
දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ ඍජු හා විද්‍යාත්මක ව පාදකවූ සටන් පාඨය, 1980 ගනන් අග දී ඉදිරිපත් කලේ විකොස යි. මෙම ක්රියාමාර්ගයෙහි ඉලක්කය වූයේ, සියලු ධනේශ්වර පක්ෂ විසින් ඔජ වඩන වාර්ගික හා ජාතිකවාදී බෙදීම් කපාගෙන, කලාපය පුරා කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස ඒකාබද්ධ කිරීම යි.
.
මෙම ක්‍රියාමාර්ගය, කොලඹ පාලනයේ ස්වෝත්තමවාදය හා එල්ටීටීඊයේ බෙදුම්වාදී ජාතිකවාදයට යන සාවද්‍ය තෝරාගැනීම් දෙකට ම එරෙහි ව සියලු වාර්ගිකභේදකරනයන් කපා දමමින් කම්කරු පන්තියේ ඒකාබද්ධතාව අවධාරනය කලේ ය. මෙම නිගමනයට විප්ලවවාදී පක්ෂය එලැඹුනේ, දෙමල ජාතිය පීඩාවත් පත් කිරීම සිංහල මහජනයා තුලින් පැනනැගුනක් නොව, ලංකාවේ ධනපති පාලක පන්තියත් හා එය ගොඩනගා පවත්වා ගෙන යන වර්ගබේදවාදී රාජ්‍යයයේ ප්රතිවිපාකයක්ය යන අවබෝධයෙනි.
ශ්‍රී ලංකාවේ මිලිටරිය විසින් ගෙන ගිය යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලඝංනය කිරීම්, සසප හා විකොස, අනවරත ව හෙලිදරව් කලේ ය; උතුරින් හා නැගෙනහිරින් මිලිටරි හමුදා කොන්දේසි විරහිත ව ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටින අතරේ, එල්ටීටීඊය වැනි ධනේශ්වර ජාතිකවාදී සංවිධානවලට දෙමල මහජනයා යටත් කිරීමේ සෑම ප්රයත්නයකට ම එරෙහි ව සටන් වැදුනේ ය. මෙම මූලධර්මාත්මක ආස්ථානය හේතුවෙන්, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු හා අනෙකුත් සිංහල වර්ගවාදී බලවේග සහ එල්ටීටීඊය යන වර්ගභේදකරනයේ දෙපාර්ශවයේ ම වෛරයට සසප පාත්‍ර විනි.
කොලඹ පාලනයේ වර්ගවාදී යුද්ධය සහ එල්ටීටීඊය හා අනෙකුත් දෙමල ජාතිකවාදී පක්ෂ විසින් පෙරට දැමුනු ප්රතිගාමී දෙමල බෙදුම්වාදය යන දෙකට ම එරෙහි වූ සසප, දෙමල කම්කරුවන්ට හා ගම්බද දුගීන්ට තම අවශ්‍යතා ආරක්ෂා කරගත හැකි වන්නේ, ධනවාදයට එරෙහි පොදු අරගලයක් තුල තම සහෝදර සිංහල කම්කරුවන් සමග එකමුතුව ගොඩනගා ගැනීමෙන් පමනක් ය යන, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනය පෙරට දැමී ය. හරියට ම මෙම ක්‍රියාමාර්ගය තුල ය, ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සසප කැඳවුම මුල් බැස තිබුනේ. දෙමල මහජනයාට එරෙහි යුද්ධයට විරුද්ධ වීමෙන් තොර ව, සිංහල කතා කරන කම්කරුවන්ට ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගත නො හැකි බවට සසප තර්ක කලේ ය.
දෙමල හා සිංහල කම්කරුවන්ගේ දේශපාලන එකමුතුව, ධනපති රාජ්‍යයට දරාගත නො හැක, මන්දයත්, එවැනි එකමුතුවක් ශ්‍රම සූරාකෑම හා වාර්ගික භේදකරනය මත පදනම් වූ පද්ධතියකට තර්ජනයක් වන බැවිනි. “ජාතික එකමුතුව” හා වර්ගවාදයට විරුද්ධ වීම ගැන දිසානායක දොඩවන වාගාලාප කවරක් වුවත්, අයිඑම්එෆ්-ඇනවූ විධානය කප්පාදු පියවරයන්ට එරෙහි ව කම්කරුවන් අතර වැඩෙන අරගලවලට ජවිපෙ/ජාජබ ප්‍රතිචාර දක්වනු ඇත්තේ, දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදය නැවත ඇවිලවීම මගින් යැයි සසප අනතුරු අඟවයි. ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ධජය යටතේ, කම්කරු පන්තියේ ඒකාබද්ධතාව සඳහා සටන තමන් අතට ගැනීම හරහා වැඩකරන ජනයා මෙම න්‍යාය පත්‍රයට එරෙහි විය යුතුය.
