යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රඥයෙක් ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය “ඊලාම් දෙමල ජනතාවට හොඳ අවස්ථාවක් නිර්මානය කර ඇති බව” කියා සිටි

යාපනය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්ය කේ.ටී. ගනේෂලිංගම් ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් අධිරාජ්‍යවාදී යුද්ධය ඊලාම් දෙමල ජනතාවට නව අවස්ථා නිර්මානය කර ඇති බව කියා සිටියි.  ගනේෂලිංගම් නිරන්තරයෙන් දෙමල ජාතිකවාදය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකට ය. 

“ඇමරිකානු-ඊශ්‍රායල් යුද්ධය මගින් නිර්මානය කරන ලද අවස්ථා සහ ඊලාම් දෙමල ජනතාවගේ එක තැන පල් වීම” යන මාතෘකාව යටතේ අප්‍රේල් 19දා තිනක්කුරල් පුවත්පතේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියක ගනේෂලිංගම් මෙසේ ලිවී ය: “ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහාර ප්‍රධාන දෘෂ්ටිවාදාත්මක වෙනස්කම්වලට පමනක් නොව, ලෝක පර්යායේ ප්‍රධාන වෙනස්කම් සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවකට ද හේතු වී තිබේ. මෙම තත්වය ඊලාම් දෙමල ජනතාවට හිතකර බවත්, ඔවුන්ට අවස්ථාවන් සපයන බවටත් දැන් කතාබහට ලක්වෙමින් තිබේ.”

ඔහුට අනුව, දෙමල දේශපාලන පක්ෂ, මෙම අවස්ථාවන් ඩැහැ ගැනීම “අත්‍යවශ්‍ය” ය.

ගනේෂලිංගම්ගේ ලිපිය තිනක්කුරල් හි පල කෙරුනේ, ඇමරිකාව සිය මැද පෙරදිග සගයා වන ඊශ්‍රායලය සමග ඓතිහාසික ව පීඩිත රටක් වන ඉරානයට එරෙහි ව, ජාත්‍යන්තර නීති බිඳ දමමින් ද එරට ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් ද සාපරාධී යුද්ධය අරඹා සති හතකටත් වැඩි කාලයකට පසු ව ය. මෙම කුරිරු ප්‍රහාරවල දී, ප්‍රමුඛ ඉරාන දේශපාලන සහ හමුදා නායකයන් සිය ගනනක් මෙන් ම, ලමුන් ඇතුලු සිවිල් වැසියන් දහස් ගනනක් මිය ගොස්, තවත් දහස් ගනනක් තුවාල ලබා ඇත; තවද රෝහල්, පාසැල් ඇතුලු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වනසා තිබේ.

ඒ සමඟම, ඊශ්‍රායලය තම ව්‍යාප්තිවාදී න්‍යාය පත්‍රය අනුව ලෙබනනය තුලට යුද්ධය ගෙන යමින් දහස් ගනනක් මරා, තවත් දහස් ගනනකට තුවාල කර මිලියනයකට වැඩි ජනකායක් අවතැන් කර ඇත. 

මෙම යුද්ධය මගින් අවධාරනය කෙරෙන්නේ, තෙල්වලින් පොහොසත් මැද පෙරදිග තම අධිකාරිය ස්ථාපිත කිරීමෙන් සහ අවසානයේ රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් තම ගෝලීය ආධිපත්‍යය නැවත තහවුරු කර ගැනීමේ එක්සත් ජනපද උපාය මාර්ගය යි. එය විනාශකාරී න්‍යෂ්ටික ගින්නකින් මානව වර්ගයාට තර්ජනය කරන දිග හැරෙන ගෝලීය ගැටුමක කොටසකි.

තමන්ගේ මතට දරුනු ප්‍රතිවිපාක ගෙන එමින් තිබෙන රුදුරු යුද්ධය, ලොව පුරා සිටින කම්කරුවන්, තරුනයින් සහ පීඩිතයින් විසින් හෙලා දැකිය යුතු වේ. මේ තත්වය තුල, ලෝක යුද්ධය නැවැත්වීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීම හදිසි කර්තව්‍යයකි.

කෙසේ වෙතත්, මහාචාර්ය ගනේෂලිංගම්ට, උත්සන්න වන විනාශය ගැන ද ගැටුමේ ඇඟවුම් ගැන ද කිසිදු කම්පාවක් හෝ විරුද්ධත්වයක් නැත. මහාචාර්ය තෙමේ, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ සාමාන්‍ය ජනතාවට එල්ල වන විනාශකාරී ප්‍රතිවිපාකවලට විරුද්ධ වන්නේ හෝ ඒවා හෙලා දකින්නේ නැත. ඊට විපරීත ව ඔහුගේ වෑයම වී ඇත්තේ දෙමල ඊලාම් ව්‍යාපෘතිය සඳහා ඇති “අවස්ථා” හඳුනා ගැනීමයි. 

දෙමල ජනතාවගේ විමුක්තිදායකයින් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින ගනේෂලිංගම් සහ දෙමල ධනේශ්වර පක්ෂ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පීඩිත රටක් වන ඉරානය යටත් කර ගැනීමට ගෙනියන විජිතකරන යුද්ධයට සහාය දක්වයි.

එක්සත් ජනපද තානාපතිනි ජුලී චුං ​​(මැද), ITAK පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ (වමේ සිට): කවීන්දිරන් කෝඩීස්වරන්, එලයතම්බි ශ්‍රීනාත්, ශානක්‍යන් රාසමානික්කම්, තුරෙයිරාසා රවිකරන්, සිවඥානම් ශ්‍රීදරන්, පී. සත්‍යලිංගම්, ඥානමුත්තු ශ්‍රීනේෂන්, කේ. එස්. කුගදාසන්. [Photo: X/Julie Chung]

ඔහුගේ අදහස් පිලිබිඹු කරන්නේ, දෙමල ශාස්ත්‍රඥයින්, බුද්ධිමතුන් සහ දෙමල ඩයස්පෝරාවේ කොටස් සහ ඉලංකෙයි අරසු කච්චි සහ දෙමල ජාතික ජනතා පෙරමුන ඇතුලු දෙමල ධනේශ්වර පක්ෂවල පුලුල් ස්ථරවල අධිරාජ්‍යගැති ස්ථාවරය යි. ඔවුහු ගෝලීය භූ දේශපාලනයේ මාරුවීම් දෙස බලන්නේ, දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේ අවස්ථා ලෙස ය.

මෙම පක්ෂ අනෙකුත් අධිරාජ්‍යවාදී අපරාධ සම්බන්ධයෙන් ද ගෙන ඇත්තේ, ඒ හා සමාන ස්ථාවරයකි. පසුගිය වසරේ ගාසා තීරයේ එක්සත් ජනපදය සහාය ඇති ව ඊශ්‍රායල අරඹා ඇති ජන සංහාරය දිගට ම සිදු වේ. මෙය අපරාධවල විරුද්ධවීම උක්ත කී දෙමල දේශපාලන පක්ෂ හා ගනේෂලිංගම් ඇතුලු ශාස්ත්‍රාලිකයන් විසින් ප්‍රතික්ෂේප කෙරුනි.

ගනේෂලිංගම් සහ මෙම පක්ෂ, සිසුන් අතර එකම ප්‍රතිගාමී දේශපාලන දැක්මක් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරමින් සිටී. මෙම අධිරාජ්‍යවාදී ගැති ස්ථාවරයන් ප්‍රතික්ෂේප කරන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

“ඇමරිකානු පාලක පන්තිය ස්වෛරී ජාතීන්ගේ මූලධර්මය බොහෝ දුරට අතුරුදහන් වී ඇති තත්වයක් නිර්මානය කර ඇත” සහ “1648 දී යෝජනා කරන ලද වෙස්ට්ෆාලියා ගිවිසුම අවසන් වූ බව සැලකිය හැකිය…” යනුවෙන් ගනේෂලිංගම් තවදුරටත් තර්ක කරයි. 

1648 වෙස්ට්ෆාලියා සාමය - ශුද්ධ රෝමානු අධිරාජ්‍යය යටතේ පැවති ජර්මානු භූමි ප්‍රදේශ අලලා ඇවිලී ගිය විනාශකාරී තිස් අවුරුදු යුද්ධය අවසාන කිරීමට සටනේ පාර්ශවකාර බලවතුන් විසින් අත්සන් කරන ලද ගිවිසුම් මාලාව- රාජ්‍ය ස්වෛරීභාවය හා අනෙකුත් රාජ්‍යයන්ගේ කටයුතුවලට මැදිහත් නොවීම සම්බන්ධ මූලධර්ම ස්ථාපිත කිරීමට උපකාරී විය. මෙම මූලධර්ම සීමිත හා ඓතිහාසික ව කොන්දේසි ගත ඒවා වුව ද, ඒවා පසු ව ධනේශ්වර විප්ලවයන් හරහා නූතන ජාතික රාජ්‍ය පද්ධතියේ සංවර්ධනය සමඟ මතු කෙරුනු මුලධර්ම සමග සම්බන්ධ විය.

කෙසේ වෙතත්, ගනේෂලිංගම්, ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම මූලධර්ම උල්ලංඝනය කිරීම බදා වැලඳ ගන්නා බව පෙනේ. ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරය නියෝජනය කරන ට්‍රම්ප් පරිපාලනය, ස්ථාපිත ජාත්‍යන්තර සම්මතයන් විනාශ කිරීම එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය නැවත තහවුරු කිරීමේ එහි ධාවනයේ කොටසක් ලෙස සලකයි. ඉරානයේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන වොෂින්ටනය, වෙනිසියුලාවට මැදිහත් වී එහි ජනාධිපති මධුරෝ පැහැර ගෙන ගිය අතර, කියුබාවට එරෙහි තර්ජන තීව්‍ර කර ඇත.

කෙසේ වෙතත්, ගනේෂලිංගම් සලකන්නේ, ජාතික ස්වෛරීභාවයට සහ ජාත්‍යන්තර නීතියට එල්ල කරන මෙම ප්‍රහාර ඊලම් දෙමල ජනතාවට අවස්ථා නිර්මානය කිරීමක් ලෙසයි! මෙම රුදුරු ආක්‍රමනය, දෙමල ජනතාවට හෝ පෘථිවියේ කිසිවෙකුට හොඳ අවස්ථා නිර්මානය කරනවා නොව, එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ගෝලීය වශයෙන් සිදු කරන විනාශයේ කොටසකි.

ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි දෙමල ප්‍රභූවේ කොටස්වලට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහායෙන්, තමන්ට වරප්‍රසාද අත්කර ගැනීම සඳහා උතුරු නැගෙනහිර වෙන ම දෙමල රාජ්‍යයක් හෝ බලය බෙදා ගැනීමේ ක්‍රමයක් ගැන ගනේෂලිංගම් නැකත් හදන්නේ, වර්ධනය වන මෙම ගෝලීය විනාශය ගැන තුට්ටුවකට මායිම් නොකරමිනි.  

ගනේෂලිංගම් තවදුරටත් මෙසේ පවසයි: “ඊලම් දෙමල ජනතාව ඉන්දියාව මත යැපෙන විදේශ රටවල් සමඟ ඔවුන්ගේ සබඳතා පවත්වා ගැනීම ගැන වඩාත් සැලකිලිමත් විය යුතු ය.” තව ද “එවැනි සබඳතා පැවැත්වීමේ දී, චීනයට අපගේ [ජාතික] ගැටලුව සම්බන්ධයෙන් සම්පූර්නයෙන් ම ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් ඇති බව සලකා ගෙන [අප] ප්‍රවේශ විය යුතු ව තිබේ.”

තවත් ලිපියක ගනේෂලිංගම් තර්ක කලේ: “2009 දී දෙමල ජනතාව මෙන් නොව [ඔහු සඳහන් කරන්නේ යුද්ධයේ අවසන් වසර ගැනයි] ඉරානය,  රුසියාව සහ චීනය වැනි ප්‍රධාන බලවතුන් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් පවත්වා ගෙන යන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ගෝලීය ආයතනවල තැනක් ලබාගෙන වාසිදායක තත්වයක සිටින බවයි”.

ශාස්ත්‍රාලිකයාට අනුව, මෙම තත්වයෙන් “පෙන්නුම් කෙරෙන්නේ, ජාතික නායකත්වය, උපායමාර්ගික සැලසුම්කරනය සහ ජාත්‍යන්තර සන්ධානවල තිරසර වැදගත් කමයි...” එසේ නොවුන හොත් දුබල ජන වාර්ග සහ කුඩා ජාතිහු විනාශයට මුහුන දෙති. 

මෙම තර්කවල දේශපාලන නිගමනය පැහැදිලි ය. ගනේෂලිංගම්ට අනුව, ගෝලීය අර්බුද සහ යුද්ධ මගින් නිර්මානය කරන ලද අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම සඳහා දෙමල ජාතිකවාදී සංවිධාන සහ ප්‍රභූන් ප්‍රධාන බලවතුන් සමඟ සමීප සබඳතා අපේක්ෂා කල යුතු ය. කෙසේ වතුදු, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ උපාමාරු දමමින් සිටින රුසියාව සහ චීනය සමඟ සබඳතාවලින්, ඉරානයට එක්සත් ජනපද-ඊස්‍රායල් ආක්‍රමනික ප්‍රහාරවලින් මිදීමේ විසඳුම නොලැබේ. 

දෙමල දේශපාලන බලවේගවලට  චීනයෙන් ඈත් වන ලෙස ගනේෂලිංගම් දෙන උපදෙස අර්ථභාරී ය. එය දෙමල ධනේශ්වර පක්ෂවල දිගු කාලීන ඇමරිකානු ගැති සහ ඉන්දියානු ගැති දිශානතිය පිලිබිඹු කරයි. මෙම සංවිධාන තමන්ට දේශපාලන වරප්‍රසාද ලබා ගැනීම සඳහා වොෂින්ටනයට, ප්‍රධාන බලවතුන්ට සහ නවදිල්ලියට නිරන්තරයෙන් ආයාචනා කරයි.

ඔවුන් සොයන “අවස්ථා” වනාහි, ධනවාදයේ රාමුව තුල උතුරු හා නැගෙනහිර පරිපාලනය කිරීම සඳහා වැඩි අධිකාරියක් ලබා ගැනීමකි. එවැනි විධිවිධාන දෙමල ධනේශ්වරයේ වරප්‍රසාදිත ස්ථර පොහොසත් වීමට නව මාර්ග සපයනු මිස, දෙමල කම්කරුවන් සහ දුප්පතුන් මුහුන දෙන ප්‍රශ්න එකකදු විසඳනු නැත. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) වෙන ම රාජ්‍යයක් සඳහා වූ අරගලයේ දී ඉදිරිපත් කලේ එම ධනේශ්වර ඉදිරිදර්ශනයමයි.

ගනේෂලිංගම් වැනි ශාස්ත්‍රාලිකයින් ද දෙමල ධනේශ්වර පක්ෂ  නියෝජනය කරන්නේ, දෙමල කම්කරුවන්ගේ, දුප්පත් ගොවීන්ගේ, තරුනයින්ගේ හෝ පීඩිතයන්ගේ අවශ්‍යතා නොව,  දෙමල ප්‍රභූවේ හා වරප්‍රසාද ලත් ස්ථරවල අවශ්‍යතාවන් ය.

කොලඹ පාලක පන්තිය, තමන්ගේ පැත්තෙන්, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට සහ ධනේශ්වර ඒකීය රාජ්‍යය ආරක්ෂා කිරීමට, දෙමල-විරෝධී සිංහල ස්වෝත්තමවාදය මත රැඳී සිටියි.

ක්‍රමානුකූල ව වාර්ගික වෙනස්කම් කිරීම සහ ප්‍රකෝප කිරීම් මගින් ඇවිල වූ 26 වසරක සිවිල් යුද්ධය එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් අවසන් වූයේ, දස දහස් ගනනක් සිවිල් වැසියන් ඝාතනය කිරීම සහ තවත් දහස් ගනනක් අතුරුදහන් වීම ඇතුලු දැවැන්ත විනාශයක් ද සමගිනි. ආරම්භයේ සිට ම සිංහල දේශප්‍රේමය වැලඳ ගෙන සිටි, වත්මන් පාලක ජනතා විමුක්ති පෙරමුන, මුල සිට ම යුද්ධයට සහාය දුන්නේ ය.

එල්ටීටීඊය ඇතුලු දෙමල ධනේශ්වර පක්ෂ, කොලඹ පාලක ප්‍රභූවේ වාර්ගික වෙනස්කම් කිරීම්වලට හා යුද්ධයට ප්‍රතිචාර දැක්වූයේත් දැන් එසේ කරන්නේත්, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරුවන්ගේ සහාය ඉල්ලා සිටීමෙන් නොවේ. ඒ වෙනුවට,ඊට අධිරාජ්‍යවාදී බලයන්ගේ සහාය ඉල්ලා සිටින ඔවුහු, සිංහල හා දෙමල ජනයා අතර වාර්ගික භේදය පවත්වාගෙන යාමට කැමැති වෙති.

සිවිල් යුද්ධයේ සහ දශක ගනනාවක වාර්ගික දේශපාලනයේ කටුක පාඩම් සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් සහ ගම්බද දුගීන් විසින් උකහා ගත යුතු ය.

ශ්‍රී ලංකාවේ ධනපති පන්තියට දෙමල සුලුතරය මුහුන දෙන කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ගැටලුවක් විසඳිය නොහැකිවාක් මෙන් ම, වැඩ කරන ජනතාවගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලිය නොහැක. එය අධිරාජ්‍යවාදයට යටත් ව සිටින අතර, ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කිරීමට කැප වී සිටී. දෙමල ධනේශ්වරය තමන්ගේ ම අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රධාන බලවතුන් සහ ඉන්දියාව දෙස ඒ හා සමාන ව ම බලයි.

ඒ සමඟම, පාලක ප්‍රභූවේ සියලු ම කොටස් ධනේශ්වර අර්බුදයේ බර කම්කරුවන් සහ දුප්පතුන් මත පැටවීමේ දී ඔවුහු තම පන්ති සමගිය පෙන්වති. ඉරානයට එරෙහි යුද්ධය සෑම රටකට ම බලපාන ගෝලීය ආර්ථික හා දේශපාලන අර්බුදය තීව්‍ර කර ඇත. ශ්‍රී ලංකාවේ, සියලු ම ප්‍රධාන විරුද්ධ පක්ෂ අයිඑම්එෆ් හි කුරිරු කප්පාදු පියවරයන්ට අමතර ව, වැඩ කරන ජනතාව මත නව බර පැටවීමේ දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුවට සහාය වීමට සිය සූදානම සංඥා කර ඇත.

සමාජවාදී වැඩසටහනක පදනම මත ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කල හැකිවන්නේ, ගම්බද දුප්පතුන් තමන් වටා රැලි කරගත් සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත් අරගලයකින් පමනකි. දෙමල කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ මිතුරන් වන්නේ, අධිරාජ්‍යවාදී බලවතුන් හෝ ඉන්දියාව වැනි ධනේශ්වර රාජ්‍යයන් නොව, සිංහල කතා කරන කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.

එවැනි එකමුතුවක් කල හැකි දෙයක් මෙන් ම එසේ කිරීම අත්‍යවශ්‍ය වන්නක් ද වේ. මෙම විභවය, 2022 අප්‍රේල්-ජූලි මාසවල පැවති මහජන නැගිටීම අතරතුර වාර්ගික බෙදීම් කපා හරිමින් මතු වූ අතර, ප්‍රධාන සිංහල, දෙමල සහ මුස්ලිම් ධනේශ්වර පක්ෂ එම එකමුතුවට විරුද්ධ විය.

ගනේෂලිංගම් වැනි ශාස්ත්‍රඥයින් සහ දෙමල පක්ෂ විසින් ප්‍රවර්ධනය කරමින් තිබෙන අධිරාජ්‍යවාදී ගැති සහ ධනවාදී ගැති ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානාත්මතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ, දෙමල කම්කරුවන්ගෙන්, තරුනයින් හා ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

කම්කරුවන් සහ තරුනයින් මුහුන දෙන හදිසි කාර්යය වන්නේ ධනවාදයට, යුද්ධයට සහ සමාජ අසමානතාවට එරෙහි ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමයි.

Loading