ඒකල එල්ෆීස් ලංකා ඇඟලුම් කම්හලේ කුරිරු තත්වයන් පිලිබඳව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

ජා-ඇල, ඒකල පිහිටි එල්ෆීස් ලංකා ඇඟලුම් කම්හල වසා දැමීමෙන් පසු එහි කම්කරුවෝ සහ ඔවුන්ගෙන් යැපෙන්නෝ දැඩි දුෂ්කරතාවන්ට මුහුන දී සිටිති. කලමනාකාරිත්වය මැයි 25 වන දින ගේට්ටු අගුලු දමා සේවකයින් 500 කට වැඩි පිරිසකගේ වැඩ නතර කලේ ය.

දකුනු කොරියානු හිමිකරුවෙකුට අයත් කම්හල ඔවුන්ගේ අනුදැනුමකින් තොර ව වෙනත් හිමිකරුවෙකුට මාරු කිරීම සඳහා රහසිගත ව සූදානම් වෙමින් පවතින බව දැනගත් පසු, කම්කරුවෝ පෙර සතියේ සෙමින් වැඩ කිරීමේ විරෝධතාවක නිරත වූහ. කලමනාකාරීත්වයේ ප්‍රතිචාරය වූයේ කම්හල අගුලු දැමීමයි - එය අනෙකුත් කම්හල්වල ඇඟලුම් කම්කරුවන් ඒකාබද්ධ වීමට පෙර එල්ෆීස් කම්කරුවන්ගේ ප්‍රතිරෝධය බිඳ දැමීම සඳහා ගනන් බලා ගත් පියවරකි.

ජුනි 14 වන දින, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ එල්ෆීස් කම්කරුවන් බහුල ව ජීවත් වන ඒකල, විශාකා වත්තට ගියහ. ඔවුහු “එල්ෆීස් ලංකා ඇඟලුම් සමාගම, රැකියා සුරක්ෂිතභාවය ඉල්ලා කාර්මික ක්‍රියාවන්හි නියැලුනු කම්කරුවන්ට ඇතුලුවීම තහනම් කරයි” (ජුනි 7) සහ “මහජනතාව මිලියන ගනනින් දුප්පත්කමට ඇද වැටෙද්දී මහා සමාගම් 2025/26 වර්ෂයේදී දී බිලියන ගනනින් ලාභ ඉහල නංවා ගනියි”(ජුනි 11) යන මෑත කාලීන ලෝසවෙඅ ලිපි දෙකක් කම්කරුවන් අතර බෙදා හැර සාකච්ඡා කලහ. මෙම සාකච්ඡාවල දී, දශක ගනනාවක සූරා කෑමෙන් කම්කරුවන් තුල වර්ධනය වී ඇති කෝපයේ ගැඹුර අනාවරනය විය.

ඒකල විශාකාවත්තේ පදිංචි එල්ෆීස් ඇඟලුම් කම්හලේ කම්කරුවන් සමග සාකච්ඡා කරන ලෝසවෙඅ වාර්තාකරුවෝ

වරෙක, සේවකයින් 2,000 ක් පමන කම්හලේ සිටි බව කම්කරු‌වෝ වාර්තාකරුවන්ට පැවසූහ. අඛන්ඩ වියදම් කප්පාදුව යටතේ, නිෂ්පාදනය සඳහා උප කොන්ත්‍රාත්තු ලබා දී ඇති අතර, එමඟින් ශ්‍රම බලකාය ආසන්න වශයෙන් 540ක් දක්වා අඩු කෙරී ඇත. ඒ හා සමගාමී ව කම්කරුවන්ට ලඟා විය නොහැකි මට්ටමට නිෂ්පාදන ඉලක්ක ක්‍රමානුකූල ව ඉහල දැමූ අතර, බොහෝ දෙනෙකුට ඉල්ලා අස්වීමට බල කෙරුනි. වැඩ වේගවත් කිරීමට යොදන ලද පීඩනයන්ට විරෝධය දැක් වූ වැඩ අධීක්ෂකවරුන්ගෙන් කලමනාකාරිත්වය පලි ගෙන ඇත.

මෙවන් අමානුෂික පාලනයකට හාම්පුතුන්ට ශක්තිය ලැබුනේ මෙතෙක් පැවැති ආන්ඩු සහ වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, මහා ව්‍යාපාරිකයන්ගේ පාර්ශ්වයේ සිටින බැවින් යයි කම්කරුවෝ පවසා සිටියහ. ලංකා වෙලෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්‍යූ), සාමාජික ගාස්තු ලෙස තම වැටුපෙන් මාසිකව රුපියල් 200ක් කපා ගත්ත ද තමන් වෙනුවෙන් මැදිහත් නොවන බවට බොහෝ කම්කරුවෝ දෝෂාරෝපනය කලහ.

මෙම රටාව ශ්‍රී ලංකාවේ සමස්ත ඇඟලුම් ක්ෂේත්‍රය පුරා ක්‍රියාත්මක වේ. මාස් හෝල්ඩින්ග්ස් සමාගම රැකියා 26,000ක් කපා හැරීමට සැලසුම් නිවේදනය කර ඇති අතර, වැලිඔය මිලා ෆැෂන් කම්හල අප්‍රේල් මාසයේ සිට වසා දමා ඇත. පසුගිය වසරේ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නෙක්ස්ට් මැනුෆැක්චරින් හි රැකියා 1,500 ක් පමන විනාශ විය. ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ කොඳු නාරටිය වන සහ බහුතරයක් කාන්තාවන් රැකියාවේ නිරත ඇඟලුම් කර්මාන්තය විනාශ වෙමින් පවතී.

එක් කාන්තා කම්කරුවෙක් පැවසුවේ, 1991 දී ඇය කම්හලේ සේවයට පැමිනෙන විට මාසික මූලික වැටුප රුපියල් 1,500ක් වූ නමුත්, එතැන් සිට ගත වූ වසර 35 පුරා වැඩිවුනේ සොච්චමක් පමනක් බවයි. “ඊට පස්සේ ආන්ඩුවෙන් රුපියල් 5,000ක් වැඩි කරන්න කිව්වට පස්සේ, (කලමනාකාරිත්වය) සල්ලි නැහැ කියලා ඒකත් දෙපාරකට වැඩි කරේ” යැයි ඇය පැවසුවා ය.

වැඩි වැටුප් ඉල්ලූ විට ආදායම් නොමැති බවට පාලනාධිකාරය බොරු කියන බව ද ඇය කීවා ය.

මෑතක දී සමාගම් සභාපතිවරයා කම්කරුවන් කැඳවා, “වැඩ කරන්න බැරි නම් ටාගට් දෙන්න බැරි නම් යන්න කියලා” තර්ජනය කල බව ද, “ටාගට් වැඩි කරල රක්ෂාව හැර යාමට සේවකයන් පොලඹවන්න” පාලනාධිකාරය උපායන් යෙදූ බව ද ඒ හේතුවෙන් අප්‍රේල් මස පස්දෙනෙකු පමන ඉවත් වී ගිය බවද ඇය පැවසුවා ය.

වසර 34 ක් කම්හලේ සේවය කල හේමලතා නම් කම්කරු කාන්තාවක්, කලමනාකාරීත්වය විසින් හදිසියේ ම තම රැකියාව අවසන් කල ආකාරය විස්තර කලාය. “අපේ රැකියාව නතර කිරීමට යන්නේ නම්, කලමනාකරනය මාස තුනකට පෙර අපට දැනුම් දිය යුතුයි. නමුත් අපට කිසිදු දැනුම්දීමක් ලැබුනේ නැහැ. ඔවුන් අපට සරල ව කිව්වා, ‘හෙට, අප්‍රේල් 9 සිට වැඩට එන්න එපා’ කියලා.”

වසර 15ක් කර්මාන්ත ශාලාවේ සේවය කල ඌව පලාතේ කම්කරු කාන්තාවක්, ඉටුකල නොහැකි නිෂ්පාදන ඉලක්කයන් නිශ්චිත වචන වලින් විස්තර කලාය. “පැයකට කෑලි 30ක් මහන්න පුලුවන් සේවකයෙකුට හදිසියේ ම කෑලි 100ක් මහන්න බැහැ. අපගේ ඉලක්කය කෑලි 60ක් හෝ 70ක් දක්වා වැඩි කලා. අපට මහන්න පුලුවන් උපරිමය 40ක් හෝ 45ක් පමනයි.” මෙම දැඩි වැඩ බර සඳහා සේවකයින්ට අමතර ගෙවීමක් නොලැබුනි.

“වතුර බොන්නවත් වෙලාවක් නැහැ. වැසිකිලියට යන්න අවස්ථාවක් නැහැ” යැයි ඇය කීවාය. ඇගේ සැමියා දෛනික වැටුප් ලබන ඉදිකිරීම් කම්කරුවෙක් වන අතර ඔහුට සෑම දිනක ම රැකියාවක් සොයා ගත නොහැක. ඔවුනගේ පවුල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා දල වශයෙන් රුපියල් 40,000 ක් ද, ආහාර සඳහා රුපියල් 50,000 ක් ද වැය කරයි - නමුත් මස් හෝ මාලු අනුභව කල හැක්කේ දෙසතියකට වරක් පමනි - විදුලිය, ජලය සහ අනෙකුත් මූලික වියදම් මසකට රුපියල් 100,000 ඉක්මවයි.

ජනාධිපති දිසානායක ගැන සඳහන් කරමින් ඇය මෙසේ පැවසුවාය: “මැතිවරනයට පෙර ජනාධිපතිතුමා සියල්ල කරන බවට පොරොන්දු වුනා. නමුත් තවමත් කිසි දෙයක් වෙලා නෑ.” වාර්තාකරුවන් විසින් සපයන ලද ලෝසවෙඅ ලිපියක් කියවීමෙන් පසු ඇය මෙසේ නිගමනය කලා ය: “ඇත්තට ම මේ ආන්ඩුව දුප්පතුන් නොවෙයි, හාම්පුත්තු ආරක්ෂා කරන්නෙ.”

කලමනාකාරිත්වය ජා-ඇල පොලිසියට ව්‍යාජ පැමිනිලි ගොනුකොට, අරගලය, අපරාධයක් බවට පත් කිරීමට උත්සාහ කර ඇති අතර, කම්කරුවන් කිහිප දෙනෙකු අධීක්ෂකවරුන්ට තර්ජනය කල බවට චෝදනා කර ඇත. එවැන්නක් සිදු වී ඇත්නම් කම්හලේ සීසීටීවී කැමරාවල සටහන් වී තිබිය යුතු බව සඳහන් කරමින් කම්කරුවෝ චෝදනා ප්‍රතික්ෂේප කලහ.

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ නියෝජිතයෙකු මෙතෙක් තම ප්‍රශ්නය සම්බන්ධයෙන් සොයා බැලීමක් හෝ නොකිරීම සම්බන්ධයෙන් කම්කරුවෝ විරුද්ධත්වය පල කලහ. “ඒ අය කිසි ම වෙලාවක කම්කරු ගැටලු ගැන කතා කරන්නෙ නෑ. ඔවුන් එන්නෙ ඡන්දෙ ගන්න විතරයි,” කම්කරුවෙක් පැවසී ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහකල 2022 මහජන නැගිටීම තුල සෑම සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂයක් කෙරෙහි ම යොමු වූ මහජන කෝපය ප්‍රකාශයට පත් වූ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ 2024 දී බලයට පත් වූයේ එම කෝපය ගසා කමිනි. කම්කරුවන් සහ දුගීන් ජවිපෙ/ජාජබ ට ඡන්දය දුන්නේ එය වෙනස් දෙයක් නියෝජනය කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

ජවිපෙ/ජාජබ ආන්ඩුව පිහිට වූ පලමු දිනයේ ම එම බලාපොරොත්තුව සුන්කර දැමී ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇප කොන්දේසි යලි සාකච්ඡා කර මහජනතාවට සහන ලබා දෙන බවට දුන් තම මැතිවරන පොරොන්දුව අතහැර දමා ඒ වෙනුවට ම්ලේච්ඡ කප්පාදු පියවර සම්පූර්නයෙන් ම ක්‍රියාත්මක කිරීමට දිසානායක කැප විය. බදු ඉහල දැමීම, මිල සහනාධාර කපා හැරීම, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය වේගවත් කිරීම ඒ අතර විය.

ඉහත පැහැදිලි කිරීමෙන් පසු කම්කරුවෙක් මෙසේ කීවේ ය: “එහෙම ආන්ඩුවක් අපි ගැන හොයන්න එයි ද?”

ලෝසවෙඅ ලේඛනගත කර ඇති පරිදි, වැඩ වර්ජන අපරාධකරනය කිරීම සඳහා ජවිපෙ/ජාජබ අත්‍යවශ්‍ය සේවා නීති ක්‍රියාත්මක කර ඇති අතර, පුලුල් නව ත්‍රස්ත විරෝධී නීති හඳුන්වා දීමට කැස කවමින් සිටී. ජ්‍යෙෂ්ඨ ජාජබ නායකයෙකු 2024 ඔක්තෝබර් මාසයේ දී ප්‍රකාශ කලේ මෙම ආන්ඩුව යටතේ වැඩ වර්ජන “අතීතයට අයත් දෙයක්” බවට පත්වන බවයි. මෙය, රාජ්‍ය බලය සහ මැර බලය යොදා කම්කරු අරගල තලා දමන බවට කල විවෘත තර්ජනයකි.

අනෙක් අතට, සීඑම්‍යූ සමිති නිලධරය, එල්ෆීස් ලංකා කම්කරුවන්ගේ රැකියාවලට එල්ල වන ප්‍රහාරය සාකච්ඡා කිරීම සඳහා සාමාජික රැස්වීමක් හෝ කැඳවූයේ නැත. සමිතියේ ලේකම්වරයා කම්කරු ඇමති සමඟ පසුබිම් සාකච්ඡාවල නිරත වූ අතර, “ඕනෑ ම ගනුදෙනුවක් සැම විට ම වෘත්තීය සමිතිය හරහා සිදු කල යුතු” බව ප්‍රකාශ කලේ ය.

සීඑම්‍යූ හි වෙනත් නිලධාරියකු ලෝසවෙඅ ට පැවසුවේ, කොරියානු හිමිකරු වෙනත් හිමිකරුවකුට කම්හල පැවරීමට තීන්දු කර ඇති බැවින් සේවකයින් නව සමාගමකට අනුයුක්ත කෙරෙන තුරු, “පැවරුම් පනත” අනුව පැරනි සමාගම සේවකයින්ට වැටුප් ගෙවිය යුතු බවයි. ඔහුට අනුව, කම්කරු අයිතීන් විවෘතකම උල්ලංඝනය කරන හාම්පුතුන් “පනතට අනුව” වැටුප් හෝ වන්දි ගෙවන තෙක්, කම්කරුවන් තම කාර්මික ක්‍රියා නවතා බකන්නිලා සිටිය යුතු ය.

ඔහු තවදුරටත් පැවසුවේ, දන්කොටුවේ ඇඟලුම් සමාගම්කරුවෙකු එල්ෆීස් කම්හල ගැන උනන්දු වූවද “මේ සේවකයොත් එක්ක වැඩ කරන්න බැහැ කියලා” පවසමින් මිලදී ගැනීම අත්හැර දමා ඇති බවයි. සීඑම්‍යූ නායකත්වය ආන්ඩුවේ ඇමතිවරුන්ද කම්කරු දෙපාර්තමේන්තුව ද සමඟ සාකච්ඡා කරමින් නව සමාගම්කරුවකු සෙවීමේ යෙදී සිටියි.

සීඑම්‍යූ නිලධාරියාගේ කතාවෙන් පැහැදිලි වන්නේ, ධනපති ක්‍රමයට එරෙහි ව කම්කරුවන් ස්වාධීන ව බලමුලු ගැන්වීම වලකමින්, ධනපති හාම්පුතුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි පහසුවෙන් සූරා කෑමට ගොදුරු කරගත හැකි පරිදි ඔවුන් හීලෑ කරදීමේ කර්තව්‍යයේ සමිති නිලධරය විවෘත ව ම යෙදී සිටින බවයි. සීඑම්‍යූ ව පමනක් නොව, අනෙකුත් සියලු සමිති නිලධරයන් ජාත්‍යන්තර පරිමාන ව ම අනුගමනය කරනුයේ මෙම ප්‍රතිගාමී පිලිවෙතයි. වැඩෙන යුද්ධය හේතුවෙන්, ගෝලීය ඇඟලුම් වෙලඳපොල හැකිලෙන තතු තුල එම ක්ෂේත්‍රයේ රැකියා වඩ වඩාත් අනතුරට ලක්වෙමින් පවතී.

මෙම වසර තුල, වැලිඔය මිලා ෆැෂන් කම්හල සහ මාස් හෝල්ඩිං වැනි ඇඟලුම් සමාගම්වල කම්කරුවන් දහස් ගනනකගේ සහ පසුගිය වසරේ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නෙක්ස්ට් මැනුෆැක්චරින් කම්හලේ කම්කරුවන් 1,500 කගේ රැකියා අහිමි කෙරුනේ ද මෙම පිලිවෙත හේතුවෙනි.

කම්කරුවන් මොවුන් කෙරෙහි විශ්වාස නොතැබිය යුතු ය. හාම්පුතුන්ට සහ ආන්ඩු වලට සේවය කරන වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් සම්පූර්නයෙන්ම ස්වාධීනව, සෑම කම්හලක ම කම්කරුවන් තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය. එවැනි කමිටු, වන්දි සඳහා නොව, සෑම රැකියාවක ම කොන්දේසි විරහිත ආරක්ෂාව සඳහා සටන් කල යුතු අතර, එකම ප්‍රහාරයට මුහුන දෙන මාස් හෝල්ඩින්ග්ස්, මිලා ෆැෂන්, හෙල ක්ලෝතින් සහ අනෙකුත් සෑම කර්මාන්ත ශාලාවක ම කම්කරුවන් සමග ඒකාබද්ධ විය යුතු ය.

මෙම ප්‍රහාරය එල්ල කරන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනය වන බැවින්, එය පරාජය කල හැක්කේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුවට පමනි. ක්‍රියාකාරී කමිටුවවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) ඒ සඳහා අවශ්‍ය රාමුව සම්පාදනය කරයි.

කම්කරු පන්තියට සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වූ, එනම්, නිෂ්පාදන මාධ්‍යයන්හි පොදු අයිතිය, ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ පුද්ගලික ලාභයට වඩා මානව අවශ්‍යතා සපුරාලීම සඳහා සමස්ත නිෂ්පාදනය සහ ආර්ථිකය ගෝලීය ව ප්‍රති සංවිධානය කිරීමට කැප වූ, කම්කරු-ගොවි ආන්ඩුවක් අවශ්‍ය වේ.

මෙම ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ලෝසවෙඅ සහ සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින අතර, මෙම අරගලය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සසප සමඟ සාකච්ඡා කිරීමට ඉදිරියට එන ලෙස සියලු කම්කරුවන්ගෙන් සසප ඉල්ලා සිටී.

Loading