වී සඳහා සහතික මිලක් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මත ගොවීන් දහස් ගනනක් උද්ඝෝෂනයේ යෙදෙති

ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය ආන්ඩුව, ඉරාන යුද්ධයෙන් ඇති වූ ආර්ථික අර්බුදයේ බර සෘජු ව ම මහජනයා මත පැටවීමේ ප්‍රතිපලයක් ලෙස වැඩකරන ජනයා, විශේෂයෙන්ම ගම්බද ගොවීන් සහ පීඩිතයන් අතර විරෝධතාවන් අවුලුවා තිබේ. මෙම ජනයා  දැනටමත්, ආන්ඩුව ක්‍රියාවට දමා තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) රුදුරු කප්පාදුවලින් ද බැටකමින් සිටියෝ ය.

වී  කිලෝවක්  සඳහා අවම වශයෙන් රුපියල් 140 ක සහතික මිලක්, පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය මිල පහත හෙලීම සහ ඉන්ධන  සඳහා සහනාධාර කෝටාවක් යන ඉල්ලීම් මත ගම්බද දුගී ගොවීන් ආරම්භ කර ඇති අඛන්ඩ උද්ඝෝෂනය ප්‍රකාශයට පත් කරන්නේ, ආන්ඩුවට එරෙහි ව පුලුල් ව වැඩෙන මහජන වෛරයයි.

ජුනි 16දා පොලොන්නරුව දිස්තික්කයේ හිඟුරක්ගොඩ නගරයේ දී 2000ට ආසන්න ගොවීහු  උද්ඝෝෂනයේ යෙදුනහ. එදින ම ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී  පැවැති උද්ඝෝෂනයට ගොවීහු 500ක් පමන සම්බන්ධ වූහ. ජුනි 17දා අම්පාර දිස්ත්‍රික්කයේ මහවැලි සී කලාපයේ 2000ට අධික ගොවීන් දෙහිඅත්තකන්ඩිය නගරයේ දී උද්ඝෝෂනයක යෙදුන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම දෙනිය ඇත්වටුන ප්‍රදේශයේ ගොවීහු  200 පමන දෙනිය බෝධිය අසලට පැමින පොල් ගසා ආන්ඩුවට සාප කලහ. 

වී කිලෝවක මිල  රුපියල් 140ක් කරනු! පොහොර මිල අඩු කරව්! උනුත්  එකයි මුනුත් එකයි ගොවීන්ට දැන් වැටහෙනවා! ආදී සටන් පාඨ ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ  හඬ නැගූහ. ඔවුහු ආන්ඩුවට අනතුරු ඇඟවූයේ,  තම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා නොදෙන්නේ නම්, කොලඹට පැමින  දැවැන්ත උද්ඝෝෂනයක් කරන බවයි (මෙම උද්ඝෝෂන සංවිධානය කර  තිබුනේ ගොවිජන සේවා පනත යටතේ ලියාපදිංචි කර තිබෙන ප්‍රාදේශීය ගොවි සංවිධාන විසිනි. ගොවීන් විසින් ස්වාධීන ව තනා ගත් සංවිධානවලට වෙනස් ව, ජලය  බෙදා හැරීම, කන්න රැස්වීම සංවිධානය කිරීම ඇතුලු ගොවිබිමට අදාල කටයුතු රාජ්‍ය නිලධාරීන්ගේ ද සහය ඇති ව සම්බන්ධීකරනය කිරීම මෙම ගොවි සංවිධානවල මූලික කටයුත්තයි). 

17දා මාධ්‍යයට කතා  කරමින් කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත, ගොවීන්ගේ උද්ඝෝෂන හුදෙක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තැන්  කිහිපයක කෙරුන ඒවා බව සඳහන් කරමින් ඒවා හෑල්ලුවට ලක් කිරීමේ වෑයමක යෙදුනි.  කොතෙක් උද්ඝෝෂන  කලත්, යල කන්නයේ අස්වනු නෙලන තුරු ආන්ඩුව කිසි සේ ත් ම වී මිල දී නොගන්නා  බවට ඔහු ගොවීන්ට තර්ජනය ද කලේ ය. “උද්ඝෝෂන එකක් නෙමෙයි සියයක් තිබ්බත්, කොලඹ නෙමෙයි වෙන කොහේ හරි තිබ්බත්, වී අලෙවි මන්ඩලය වී ගන්නේ යල කන්නයේ ගොයම්  කැපෙන කොට” යැයි ලාල්කාන්ත පැවසී ය.

වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක් ලබා දෙන බවට දුන් මැතිවරන පොරොන්දුව ඉටු නොකිරීම ගැන ගොවීන් කරන  චෝදනාවට පිලිතුරු වශයෙන් ඔහු පැවසුවේ,  “ඒ කාලේ නිෂ්පාදන වියදම ගොඩක් වැඩියි. ඒක  තමයි ඒකට උත්තරේ” යනුවෙනි. 

දැන් නිෂ්පාදන වියදම පහත වැටී ඇති බවට ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශය පචයක් බවත් පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය, බීජ වී, ගොවි උපකරන මිල සහ සී සෑමට/ අස්වනු නෙලීමට යන වියදම විශාල ලෙස ඉහල යාම  නිසාවෙන් වී කිලෝවක් සඳහා නිෂ්පාදන වියදම රුපියල් 120 පමන වන බවත් ගොවීහු කියති. එහෙත් පුද්ගලික ව්‍යාපාරිකයන් සහ සහල් මෝල් හිමියන් ඔවුන්ගෙන් වී කිලෝ ග්‍රෑමයක් මිල දී ගනු ලබන්නේ රුපියල් 90කට ය. 

පොහොර කිලෝ ග්‍රැම් 50ක මිටියක් රුපියල් 10,500ක සහන මිලකට ලබා දෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක  අප්‍රේල් 7දා පාර්ලිමේන්තුවේ දී පැවසූවත්, එම මිලට ප්‍රමානවත් තරම් පොහොර නොලැබෙන බව ගොවීහු පැවසූහ. මේ නිසා පුද්ගලික වෙලෙන්දන්ගෙන් පොහොර මිල දී ගැනීමට ඔවුන්ට බලකෙරී තිබෙන අතර,  පොහොර මිටියක් සඳහා  රුපියල් 17,000-18,500 ක් වැනි අධික මිලක් දැරීමට තමන්ට සිදු ව ඇති බව ගොවීහූ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ)ට  කීහ. අනෙකුත් වියදම් සමග අක්කරයක වී වගාව සඳහා මේ වනවිට රුපියල් 130,000 ක් පමන අධික වියදමක්  දැරීමට ගොවීන්ට සිදු ව තිබේ.   

ගින්නෝරුව, හෙබරව ගොවියකු වන ආර්.එම්.වසන්ත සරත් කුමාර, වී ගොවින් මුහුන දී සිටින මෙම දුෂ්කර කොන්දේසි පිලිබඳව ලෝසවෙඅ සමග දීර්ඝ ව සාකච්ඡා කලේ ය. ආන්ඩුව ගැන අප්‍රසාදය පලකල කුමාර, පුද්ගලික වෙලඳුන් අසීමිත ලෙස ගොවීන්  සූරා කන බව සඳහන් කලේ ය. 

“මඩ පොහොර මිටියක් රු.15,000යි, යූරියා රු.17,000යි. කලින් යූරියා මිටියක මිල  තිබ්බෙ රු.7000ට. පුද්ගලික වෙලෙන්දෝ ගජරාමෙට ලාභ ගන්නවා. පොහොරවලට විතරක් අක්කරයකට රු.30, 000කට වඩා යනවා. ඉතින් කොහොමද ගොවිතැන් කරන්නෙ? ගොවිතැන හරියට කරගන්න බැරි ව අපි ජිවත් වෙන්නේ කොහොම ද? පුද්ගලික වෙලෙන්දන්ට ඕනැ විදිහට මිල ගනන් වෙනස් කරන්න පුලුවන් නම්  ආන්ඩුවක් මොකට ද?” යි කුමාර ප්‍රශ්න කලේ ය.

ආන්ඩුව යුද්ධය ගැන කියමින් ඉන්ධන මිල, විදුලිය ගාස්තු නැවත නැවතත්  වැඩි කරන බවත් ඉන්ධන මිල ඉහල යාම බරපතල ලෙස බලපාන බවත් ගොවියා කීවේ ය. “ට්‍රැක්ටර්, වතුර පොම්ප, අස්වනු නෙලන යන්ත්‍ර වගේ ම වාහන කුලී  වැඩි වෙලා. නමුත් වී මිල වැඩිවෙන්නේ නැහැ. දුප්පතාට සහන සලසයි කියල හිතාගෙන  අපි මේ ආන්ඩුව පත්කර ගත්තේ. නමුත් අපි දැන් හිඟමනට වැටිලා. හැමෝ ම ගොවිතැන් කරන්නෙ අත-කර බඩු උකස් කරලා. ඒවා බේරා ගන්නත් විදියක් නෑ. හෙක්ටයාරයකට දැනට ලක්ෂ 2ක ට ආසන්න ව යන වියදම දෙගුනයක් වේවි. අපිට දැන් වී වගාවෙන් ඉවත් වෙනවා  හැර වෙන කරන්න දෙයක් නැහැ.  බඩු මිල ඉහල යන  විදිහට ජීවත් වෙන්නේ කොහොම ද කියල හිතාගන්නත් බැහැ” යැයි  කුමාර කීවේ ය.

විපක්ෂයේ පක්ෂ නැවත බලයට එන්න පොර ඇල්ලුව ද ගොවීන්ගේ ප්‍රශ්න වලට ඔවුන්ටත්  විසඳුම් නැති බවත් ඔවුන් බලයේ ඉඳිද්දී ගොවීන්ගේ ප්‍රශ්න විසඳන්න කිසිදු පියවරක් නොගත් බව ද කුමාර කීවේ ය. ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ගැන සඳහන් කරමින් ඔහු කීවේ, එයත් ජේවීපී ය වගේ ම එකක් බවයි. “රූපවාහීනී වැඩසටහන්වලට ඇවිත් ඒ ගොල්ලො ලොකු කතා කිව්වට අපේ ප්‍රශ්න විසඳන වැඩපිලිවෙලක් නැහැ. දැන් ගොවි සංවිධානත්  කරන දෙයක් නෑ. ඔක්කොම එකතු වෙලා නාමල් කරුනාරත්න වගේ නිකමුන් පත්කර ගත්තා. අපි නම් ආයෙ ඒ මෝඩකම්වලට අසුවෙන් නැහැ”,  යයි  ඔහු කීවේ ය.

ගොවීන්ගේ ප්‍රශ්න අරභයා සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කරන සමාජවාදී විසඳුම පිලිබඳ ව කතා කරමින් කුමාර කීවේ, “ඔබ පැහැදිලි කලා වගේ දුප්පත් ගොවියො ධනපති පක්ෂ සහ ගොවි සංවිධානවලින් ඉවත් වෙලා තමන්ගේ ස්වාධීන සංවිධාන හදා ගැනීම අවශ්‍යයි. ධනපති ආන්ඩු වලින් අපේ ප්‍රශ්න වලට විසඳුම් නැහැ. කම්කරුවො ගොවියො එකතු වෙලා  කම්කරුවන්ගේ ගොවියන්ගේ ආන්ඩුවක් හදා ගන්න ඕන කියන කාරනාවට මම එකඟයි” යනුවෙනි. 

වී ගොවින් පමනක් නොව, සමස්තයක් ලෙස එලවලු, අල, ලූනු, පලතුරු, බඩඉරිඟු සහ අනෙකුත් වානිජ  භෝග වගා කරන ගොවීහු ද මුහුන දී ඇත්තේ මේ  සමාන ප්‍රශ්නවලට ය.  

ලෝක බැංකුවේ සහ අයිඑම්එෆ් නියෝග යටතේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින්, විශේෂයෙන් 1977 බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන ගේ දක්ෂිනාංශික ආන්ඩුව විසින් ක්‍රියාවට දැමීම ආරම්භ කෙරුන විවෘත වෙලඳපොල ආර්ථික පිලිවෙත් මගින් කම්කරු  පන්තියට මෙන් ම, ගම්බද දුගී ගොවීන්ට එරෙහි ව  බරපතල ප්‍රහාරයක් මුදා හැරුනි. දුගී ගොවින් සඳහා වූ සහනාධාර ක්‍රමානුකූල ව කප්පාදු කෙරුන අතර,  කෘෂි කර්මාන්තය මෙන් ම, කෘෂි උපකරන සහ භෝග වෙලඳපොල ද පුද්ගලික අංශයට විවෘත කෙරුනි. අද කෘෂිකර්මාන්තය සහ වෙලඳපොල මත මුලුමනින් ම පාහේ අධිකාරිය දරන්නේ, සීඅයිසී සහ බවර් වැනි යෝධ කෘෂි සමාගම් සහ සහල් මෝල් හිමියන් විසිනි.

පසුගිය වසර කිහිපය තුල  සිය නිෂ්පාදන සඳහා සාධාරන මිලක් සහ පොහොර හා කෘෂි රසායන සහ උපකරන මිල පහත දමන ලෙස ඉල්ලා ගොවිහු දසදහස් ගනනින් අරගලවලට  පිවිසුනහ.

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව පුපුරා ගිය 2022 මහජන  අරගලයට දසදහස් ගනනක් ගොවීහු  සහභාගී වූහ. ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කෙරුන ද,  වෘත්තීය සමිති, පෙසප වැනි ව්‍යාජ වාම සංවිධාන සහ ජවිපෙ විසින් අවමංගත කොට එම නැගිටීම පාවා දීමේ ප්‍රතිපලයක් ලෙස, අධිරාජ්‍යවාදයේ සහ අයිඑම්එෆ්  ගැත්තෙකු වූ රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනාධිපති  ධුරයේ පිහිටුවාලීමට ධනපති  පන්තිය සමත් විය. වික්‍රමසිංහ අයිඑම්එෆ් කප්පාදු පිලිවෙත් නිර්දය ලෙස ක්‍රියාවට නඟමින්  ධනපති පාලක පන්තියේ අර්බුදයේ බර නිර්දය ලෙස කම්කරුවන් සහ  ගම්බද දුගීන් ඇතුලු පිඩිත ජනයා  මත පැටවී ය. 

ජවිපෙ/ජාජබ ආන්ඩු බලය අල්ලා ගත්තේ සම්ප්‍රදායික ධනපති පක්ෂ කෙරෙහි  කම්කරු පිඩිත මහ ජනතාවගේ මෙන් ම, ගම්බද දුගී ගොවීන්ගේ වෛරය ගසා කමින් සහ ඔවුන්ගේ ප්‍රශ්න විසඳන බවට බොරු පොරොන්දු දෙමිනි. දැනටමත් පැහැදිලි කර ඇති ආකාරයට දිසානායක මෙම පොරොන්දු කුනුකූඩයට දැමුවා පමනක් නොව, පූර්ව ආන්ඩුවල කප්පාදු වැඩසටහන් ඊටත් වඩා රුදුරු ලෙස ක්‍රියාවට දැමුවේ ය.

පසුගිය වසරවල ගොවීන්ගේ උද්ඝෝෂන පාලක පන්තියේ බොරු පොරොන්දු වලට යටත් කර විසුරුවා හැරීමේ දී සෙසු ගොවි සමිති මෙන් ම ජවිපෙ විසින් මෙහෙය වන සමස්ත ලංකා ගොවි සම්මේලනය ප්‍රමුඛ භූමිකාවක් ඉටු කලේ ය. දැන්  ගොවි උද්ඝෝෂන වල මුදුනට පැන ගෙන සිටින ගොවි සංවිධාන ආන්ඩුවට පීඩනය යෙදීමෙන්  හා ජනාධිපති දිසානායකට ආයාචනය කිරීමෙන්  ගොවි ගැටලු විසඳිය හැකි බවට බරපතල මිත්‍යාවක් ගොවීන් අතර වගා දිගා කරති.  කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුනාරත්න වැනි ධනපති ප්‍රභූවේ දේශපාලනඥයින් ඉවත් කර වෙනත් අය එම තනතුරුවලට පත් කරන ලෙස ඉල්ලීම  එබඳු තවත් මිත්‍යාවකි.  

ගොවීන් මුහුන දෙන අතිමූලික ගැටලු ධනපති ආන්ඩුවට ආයාචනා කර විසඳා ගත නොහැකි ය. ඒවා විසඳිය හැක්කේ ග්‍රාමීය නිෂ්පාදකයින් වන දුගී ගොවීන්, කෘෂි ව්‍යාපාරික  සමාගම්, අතරමැදියන් සහ බැංකු පද්ධතියේ ආධිපත්‍යයෙන් විමුක්ත වීමෙන් පමනි. ප්‍රධාන වතු, කෘෂි ව්‍යාපාරික සමාගම් සහ බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම එහි අත්‍යාවශ්‍ය කොටසකි. 

Loading