ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව (ජවිපෙ/ජාජබ) යටතේ ශ්‍රී ලංකා රේගුව, “ජාතික සමගිය” ආරක්ෂා කිරීමේ වංචනික ධජය යටතේ,සම්මානලාභී ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන් ගේ පොත් දෙකක් මාර්තු අග දී අත්අඩංගුවට ගැනීම සහ ජූනි 2දා යාපනය ප්‍රදේශයේ දී තරුන රැප් ගායකයෙකු වන සංගීත්සන් ගනේශ්කුමාර්-වක්‍රාකාරයෙන් එල්ටීටීඊයට ඔජ වැඩුවේ ය යන චෝදනා නගමින්-විෂකුරු ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ අත් අංඩගුවට ගැනීමේ (දැන් ඔහුට “රාජද්‍රෝහී” චෝදනා යටතේ නඩු පැවරීමට යයි) සිදුවීම් දෙකට එරෙහි ව හඬ නැගීමට කලාකරුවෝ ඉදිරියට එමින් සිටිති.
මෙහි අප පලකරන්නේ ප්‍රවීන කවියෙකු වන දර්ශන මේදිස් හා ප්‍රකට කාටූන් ශිල්පීන් දෙදෙනෙකු වන වසන්ත විජේසිරි හා සජිත් බන්ඩාර විසින් අප වෙත එවන ලද ප්‍රකාශ යි.
ජාත්‍යන්තර සම්භාවනාවට පත් ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ සහ සම්මානලාභී සිනමාවේදියෙකු වන මාලක දේවප්‍රිය මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයට විරෝධය පලකරමින් එවූ ප්‍රකාශ අපි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මීට පල කලෙමු.
ඔබේ ප්‍රකාශ ද සමාජවාදී සමානතා පක්ෂයේ, 0773562327 යන වට්ස්ඇප් අංකය වෙත එවන ලෙස සිතන මතන බැරෑරුම් කලාකරුවන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
***
දර්ශන මේදිස් කවියාගේ ප්‍රකාශය
සංගීත්සන් ගනේශ්කුමාර් වහා නිදහස් කරනු!
උතුරේ දෙමල රැප් ගායකයෙකු වන සංගීත්සන් ගනේශ්කුමාර් (“හිප් හොප් ශැංගී”) ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් බන්ධනාගරගත කිරීම මම හෙලාදකිමි. මේ වන විට ඔහුට ඇප ලැබී ඇතත් සිය ගීත මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බෙදුම්වාදය උත්කර්ශයට නැංවී ය යන ‘රාජද්‍රෝහී’ චෝදනාව මත දන්ඩ නීති සංග්‍රහය යටතේ ඔහුට නඩු පැවරීමට නියමිත බව සැලයි. මෑත දී, උතුරේ දෙමල ලේඛකයෙකු වන ප්‍රදීපන් දීපචෙල්වන්ගේ කෘති කීපයක් ද ජාතික ආරක්ශාවට තර්ජනයකැයි සලකා රේගුවෙහි දී රාජසන්තක කෙරුනි. පූර්වයෙන්, අහ්නාෆ් ජසීම් නමැති මුස්ලිම් කවියා හට ද, ඉස්ලාම් මූලධර්මවාදය පිලිබඳ සාවද්‍ය චෝදනා මත දිගු කලක් සිරබත් කෑමට සිදු විය. උත්ප්‍රාසයට කරුනක් වනුයේ, සිංහල වර්ගවාදය වැපිරූ සහ වපුරන ‘කලාකරුවන්’ දකුනේ තව මත් නිරුපද්‍රිත ව විසීම යි!
සංගීත්සන් හා දීපචෙල්වන් දරන දේශපාලන ආස්ථාන නොතකා ඔවුන්ගේ ප්‍රකාශන නිදහස වෙනුවෙන් මා කොන්දේසි විරහිත ව පෙනී සිටිනුයේ, කලාකරුගේ පුද්ගලික මතිමතාන්තර යටපත් කරමින් සැබෑ කලාකෘතිය තුල යථාර්ථය පිලිබිඹු වන බව වටහා ගෙන සිටින බැවිනි. යම් හෙයකින්, එය එසේ නොවන්නේ නම්, එවිට සහෘද ප්‍රජාව විසින් අදාල නිර්මාන ප්‍රතික්ශෙප කෙරෙනු ඇත. අනෙක් අතට, ධනේශ්වර පර්යාය යටතේ බිහි වන කලාකෘති “රාජද්‍රෝහී” වීම නොවැලැක්විය හැකි ය. එය කලාවේ ස්වභාවය යි. එහෙයින්, සංගීත්සන් වහා නිදහස් කරන ලෙසත් දීපචෙල්වන්ගේ සාහිත්‍ය කෘති නොපමාව මුදාහරින ලෙසත් මම ආන්ඩුවට බල කර සිටිමි.
***
කාටූන් ශිල්පී වසන්ත විජේසිරි ගේ ප්‍රකාශය
ගෙවුනු කාලපරිච්ඡේදයේ දී බලපවත්නා ආන්ඩුව විසින් නිදහස් ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කරමින් තම මර්දන හස්තය පීඩිත පංතිය වෙත එල්ල කෙරුනු වඩා කැපී පෙනෙන සිදුවීම් දෙකකි, ප්‍රදීපන් දීප චෙල්වන් සහ සංගීත්ෂන් ගනේෂ්කුමාර් යනක් කලාකාමී සහෘදයන් වෙත එල්ල කෙරුනු ප්‍රහාරය. එය මෙම ආන්ඩුව බලයට ගෙන ආ කලා ක්ෂේත්‍රයේ නියැලෙන බහුතරයකගේ මුඛ බන්ධනය දැමූ සිදුවීමකි.
මින් පෙර බලයට පත් ආන්ඩු වල පරිද්දෙන් ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත(PTA) හා ICCPR පනත ගොරතර ලෙස භාෂනය හා ප්‍රකාශනයේ නිදහස සීමා කරයි.
ත්‍රස්තවාදය වැලැක්වීම යන බැටලු හමට යටින් කම්කරු පන්තියට එරෙහි ත්‍රස්තවාදය ගෙන යන ආන්ඩුව ම මේ නොකියා කියන්නේ කුමක්ද? තවදුරටත් ත්‍රස්ත ක්‍රියා සිදුවන්නේ යැයි සිංහල හා දෙමල ජනයා, මහජාතිය හා සුලු ජාතිය යැයි භේද බින්න කිරීමේ තුච්ච ක්‍රියාව ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ ද අනවරත ව කෙරී ගෙන යන බවයි. අප කම්කරු පන්තිය වෙත හා කලා සහෘදයන් ආමන්ත්‍රනය කරන්නේ, මේ බියගුලු නිවට ආන්ඩුව අයිඑම්එෆ් නිර්දේශ ක්‍රියාවට දමමින් ගෙන යන මර්දන තස්ත්‍ර ක්‍රියා තඹයකට හෝ මායිම් නොකොට ධනවාදී ගැති පිලිවෙතට එරෙහි ව පෙල ගැසෙන ලෙසයි. කලාකරුවන් සියලුම සීමා බන්ධන පැනවීම්වලට එරෙහිව නැගී සිටිමින්, තමන්ගේ කලාත්මක මෙවලම් ඔස්සේ වෛෂයික සත්‍යග්‍රහනය කර, හෙලිදරව් කිරීමේ අනවරතව නිරත විය යුතුයි. දේවල් ප්‍රශ්න කිරීමෙන් ඔබ්බට යමින්, මානව සංස්කෘතියේ සමස්තය උකහා ගනිමින් සමාජයේ විප්ලවීය පරිවර්තනය දෙසට ඔවුන්ගේ කාර්යය යොමුකල යුතු ය.
***
කාටුන් ශිල්පී සජිත් බන්ඩාරගේ ප්‍රකාශය
තරුන දෙමල රැප් ගායක සංගීත්සන් ගනේශ්කුමාර් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමත්, දෙමල ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන් විසින් රචිත පොත් කිහිපයක් රේගු නිලධාරීන් විසින් රඳවා තැබීමත්, ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, කලාත්මක නිදහසට සහ ප්‍රකාශන නිදහසට එල්ල කරන බරපතල ප්‍රහාරයකි.
කලාකරුවෙකු සමාජය පිලිබඳ ප්‍රශ්න මතු කිරීම, ජනතාවගේ ජීවිත අත්දැකීම් ප්‍රකාශ කිරීම සහ පවතින සමාජ යථාර්ථය විවේචනාත්මක ව විමසා බැලීම කිසිසේත්ම අපරාධයක් නොවේ. ගීතයක්, පොතක් හෝ වෙනත් කලා නිර්මානයක් හේතුවෙන් පුද්ගලයන් අපරාධකරුවන් ලෙස සැලකීම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පටහැනි ක්‍රියාවකි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කලාකරුවෙකු අත්අඩංගුවට ගැනීම—දිගු කලක් තිස්සේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කිරීමට භාවිතා කර ඇති, සැකකරුවන් දිගු කාලයක් රඳවා තබා වධහිංසාවට පවා ලක් කල හැකි මෙම මර්දනකාරී නීතිය යටතේ—සියලු කලාකරුවන්, ලේඛකයන්, මාධ්‍යවේදීන් සහ වැඩකරන ජනතාව වෙත බිය ගැන්වීමේ පනිවිඩයක් නිකුත් කිරීමකි.
එමෙන්ම, ප්‍රදීපන් දීපචෙල්වන්ගේ පොත් රේගුව විසින් රඳවා තැබීම අදහස්, දැනුම සහ සාහිත්‍යය නිදහසේ හුවමාරු කිරීමේ අයිතියට එල්ල කරන පිලිගත නොහැකි ප්‍රහාරයකි.
කාටුන් ශිල්පියෙකු ලෙස, සංගීත්සන් ගනේශ්කුමාර් වහා ම සහ කොන්දේසි විරහිත ව නිදහස් කරන ලෙසත්, ප්‍රදීපන් දීපචෙල්වන්ගේ සියලු පොත් ප්‍රමාදයකින් තොර ව නිදහස් කරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. එ මෙන් ම, කලාත්මක නිදහස, සාහිත්‍යමය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එරෙහි සියලු මර්දනකාරී පියවර වහා ම නතර කල යුතු බව ද අවධාරනය කරමි.
වැඩිදුර කියවන්න
- ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන් ගේ කෘති රේගුවේ රඳවා ගැනීම: ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්‍රකාශනයේ නිදහසට එල්ල කල බලගතු ප්‍රහාරයක්
- අත්අඩංගුවට ගත් දෙමල රැප් ගායකයාට “රාජද්‍රෝහී” චෝදනා එල්ල කරන ලෙස නීතිපති උපදෙස් දෙයි
- සම්මානලාභි සිනමාකරු ප්‍රසන්න විතානගේ ලේඛක දීපචෙල්වම් සහ රැප්ගායක ගනේශ්කුමාර්ගේ නිදහස් භාෂනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියි
