ජූලි 5-6 දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේ දී බන්ධනාගාර නිලධාරින් හා පොලිසිය සිදු කල ප්‍රහාර සාධාරනියකරනය කිරීමේ මෙහෙයුමක් ආන්ඩු ගැති මාධ්‍ය සහ විවිධාකාර සමාජ මාධ්‍ය ජාලා හරහා ක්‍රියාත්මක වෙද්දී, මීගමුවෙන් වෙනත් බන්ධනාගාරවලට මාරුකර යැවූ රැඳවියන් වධබන්ධනවලට ලක්කරමින් තිබෙන බවට මානව හිමිකම් සංවිධාන චෝදනා නගයි.
සිදුවීම් අරභයා ආන්ඩුවේ නිල කතාන්දරය කිසිදු වගවිභාගයකින් තොර ව තොරොම්බල් කරන මෙම මාධ්‍ය මෙහෙයුමේ අරමුන වී ඇත්තේ, ගැටුම සම්බන්ධයෙන් වරද මුලුමනින් ම සිරකරුවන් පිට පැටවීමයි. ආන්ඩුවේ නිල කතාව කෙටියෙන් පහත පරිදි ය: බන්ධනාගාරය තුල ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් හෙලිදරව් වීමෙන් පසු ව ප්‍රචන්ඩත්වය ඇති වූ අතර, රැඳවියන් කාර්ය මන්ඩලයට පහර දී, ආයුධ පැහැර ගෙන පැන යාමට සැලසුමක යෙදුනු අවස්ථවේ බන්ධනාගාර නිලධාරීන් “අවම බලය” පමනක් භාවිතා කරමින් ක්‍රියා කර තිබේ.
අවම බලය යෙදීමට බන්ධනාගාර නිලධාරින් හා පොලිසිය ජීව උන්ඩවලින් සිරකරුවන් වෙත මරනීය වෙඩි එල්ල කලේ නම් උපරිම බලය යෙදීමට කෙසේ ක්‍රියාකරනු ඇත් ද යන ප්‍රශ්නය කෙනෙකුට මතු වේ.
කැරල්ලෙන් මිය ගිය 28 දෙනාගෙන් 24 දෙනෙකු සඳහා විශේෂ අධිකරන මරන පරීක්ෂන කමිටුවක් විසින් සිදු කල මරන පරීක්ෂන වාර්තා අනුව අඩු ගනනේ සිරකරුවන් 14 දෙනෙකු මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙනි. මිය ගිය රැඳවියන් සංඛ්‍යාව නිල වශයෙන් 21ක් වන අතර, ඊට අමතරව තුවාල ලැබුවන් ගනනාවක් ද වෙති. තුවාල වීම නිසා පසු ව මිය ගිය අය ද ඇතුලු ව නිලධාරින් 10ක් මරනයට පත් ව තිබෙති.
වෙඩි තැබූ නිලධාරීන් මහත් විනාශයක් වලක්වා ගැනීම සඳහා ක්‍රියාකල වීරයන් සේ ඔජවඩන අතරේ, රැඳවියන් මිය ගියේ කුරිරු ප්‍රහාර වලට සහභාගි වීමේ ප්‍රතිඵලයක් ලෙස බවට යුක්ති සහගත කෙරේ.
වෙඩි ප්‍රහාරවවලින් මරනයට පත් රැඳවියන් දෙදෙනෙකු වන- මාරවිල, මුදුකටුවේ පදිංචි වයස අවුරුදු 36 වයසැති ආර්. විරාජ් ප්‍රසන්න හා 32 වියැති ඩබ්ලිව්.බී. සඳුන් ලසන්ත යන ධීවර තරුනයින් ගේ ඥාතීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කරුනු පැහැදිලි කලහ.
ඔවුන්ගේ ඥාතීන් හා අසල්වැසියන් ප්‍රකාශ කලේ වෙඩි වැදී මරනයට පත් වී හා තුවාල ලබා තිබෙන්නේ ගම්වල අහිංසක තරුනයන් ගනනාවක් බවයි. ප්‍රසන්නගේ නිවස පිහිටි පාරේ පදිංචි ක්‍රිශාන්ත නමැති තරුනයෙක් ද බරපතල තුවාල ලබා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහුගේ මව ප්‍රකාශ කලා ය.
මියගිය තරුනයන් දෙ දෙනා ම විවාහකයන් වන අතර, මාලු අලෙවිය ඇතුලු ධීවර කටයුතුවල නියැලී සිට ඇත. ඔවුන්ට පාසැල් යන වයසේ දරුවන් දෙ දෙනා බැගින් සිටිති. ඔවුන්ගේ මරන කෙරෙහි වෛරය හා කෝපය පල කරමින් ධීවරයින් ද ඇතුලු පවුල්වල දහස් ගනනක් ඔවුන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ බව අපට දැනගන්නට ලැබිනි.
ඔවුන්ගේ ඥාතීන් පවසන ආකාරයට මෙම තරුනයින් මුහුදුබඩ ප්‍රදේශවල තවත් තරුනයින් බොහෝ ගනනාවක් මෙන් ම මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පහසු ගොදුරු බවට පත් ව තිබේ. ආර්ථික අස්ථාවරත්වය, විරැකියාව හා අනාගතය පිලිබඳ අවිනිශ්චිතතාව හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය භාවිතයට තරුනයින් තල්ලු කර ඇත.
ප්‍රසන්න කලින් පොඩි බෝට්ටු ධීවර රැකියාවේ නිරත ව සිටියේ ය. මීට වසර 08 පමන කලින් ඔහුගේ බෝට්ටුව පෙරලීමෙන් ඇති වූ කම්පනයෙන් එම රැකියාව අත්හැර දැමූ බව ඔහුගේ මව ප්‍රකාශ කලා ය. “වාරකන් දවසක බෝට්ටුව පෙරලිලා පුතාව හොයා ගත්තේ පැය 20ට විතර පස්සේ. එදා ඉඳලා එයා රස්සාව අත හැරියා. නැත්නම් හැම දා ම රස්සාවට ගියා. හොඳ වරාය පහසුකම් මෙහෙ නෑ. ආර්ථික ප්‍රශ්න නිසා පුතා ඉගෙන ගත්තේ 9 වසරට විතරයි. වෙන රැකියාවක් කරන්න බෑ. ඒ නිසා මාලු වෙලඳාමට ගියා.”
“මේ මරනයට කව්ද වගකියන්නේ?” යැයි වේදනාවෙන් විමසූ ප්‍රසන්නගේ ලොකු අම්මා කෙනෙක්, “අපේ දරුවෝ මිනීමරලා නෑ. නමුත් මාධ්‍යවල ප්‍රචාරය කරන්නේ පාතාලේ මැරයෝ කියලා” වේදනාවෙන් කීවා ය. “ලඟ කුඩු තිබුනා කියලා අල්ලන් යනවා. බන්ධනාගාරේ පිරිලා ඉන්නේ එහෙම අල්ලන් ගිය කොල්ලන්ගෙන්. කාටවත් ඇප දීලා නෑ. නමුත්, මත්ද්‍රව්‍ය බෙදාහරින මහා පරිමාන ජාවාරම්කරුවෝ එකෙක්වත් අල්ලලා නෑ,” ඇය කෝපයෙන් සඳහන් කලා ය.
බන්ධනාගාරයේ පවතින දරුනු කොන්දේසි ඇය මෙසේ විස්තර කලා ය: “ඉඩ ප්‍රශ්නය නිසා හිරකාරයෙක් නිදාගන්නේ මරුවන් මාරුවට. ඉඩ නැති නිසා වැසිකිලියට යන තැන දක්වා කොල්ලෝ නිදනවලු. කන්න හරියට කෑම නෑ. ගෙදරින් ගෙන යන කෑම තියා ගෙන කන්න දෙන්නේ නෑ. ගෙනියපුව එ වෙලේ ම කන්න ඕනා. වැසිකිලි පහසුකම් හරියට නෑ. නාන්න නෑ. ඩෙංගු හැදිංචි අයට පැනඩෝල් පෙත්තක්වත් නෑලූ. ඇයි මෙහෙම වෙන්නේ. ඒවා ගැන එක මාධ්‍යයකින් වත් කතා නෑ. මුන්ව මරන්න තමයි ඕනා කියලා දානවා විතරයි. බන්ධනාගාර ජේලර්වරුන්ට විතරක් නෙමේනෙ දරු පවුල් ඉන්නේ.”
අයෙක් වරක් මත්ද්‍රව්‍ය ලඟ තිබී අත්අඩංගුවට ගත් විට ඔවුන් සම්බන්ධ ක්‍රියාත්මක සක්‍රීය පුනරුත්තාපන වැඩසටහනක් නොමැති තත්වයක් තුල ඔහු නැවත නැවතත් විෂම චක්‍රයක් තුල අදාල වරදට තල්ලු කෙරනවා මිස ගැලවීමක් නොමැති බව ප්‍රසන්න සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් කරන ප්‍රකාශවලින් පෙන්නුම් කරයි. එක් ඥාතියෙක් කියා සිටියේ “පොලිසියෙන් පාරේ දැක්කත් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මෙම තරුනයන් ජීප් එකට දා ගෙන පොලිසියට කුදලන් යන” බවයි.
පපුවට, උදරයට හා එක් කකුලකට වෙඩි උන්ඩ තුනක් වැදී අධික ලෙස රුධිරය වහනය වීමෙන් ප්‍රසන්න මරනයට පත් ව තිබෙන බවත්, ඔහු වෙනත් කිසිදු රෝගී තත්වයකින් පසු නොවූ බවත් මරන පරීක්ෂන වාර්තාවේ සඳහන් වූ බව ඔහුගේ බිරිඳ ප්‍රකාශ කලා ය. කවුද වෙඩි තිබ්බේ, මරනයට වගකීම කවුද භාර ගන්නේ, අනාථ වූ දරු පවුල්වලට වන්දියක් ලබා දෙනවා ද? මේ කිසිවක් ගැන කිසිදු සඳහනක් නැති බවට ඔවුහු චෝදනා කලහ.
සඳුන් ලසන්තගේ නිවස ප්‍රසන්නගේ නිවසට කිලෝ මීටරයක් පමන දුරින් පිහිටා තිබේ. ලසන්තට වයස අවුරුදු 6 ක සහ 2 ක දරුවන් දෙදෙනෙක් සිටිති. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්තේ මෑත කාලයේ දී ය. ලසන්ත බහු දින ධීවර බෝට්ටුවක රැකියාව කරමින් සිටියේ ය. මාස 2 ක පමන කාලයේ මුහුදේ රැඳී සිටිමින් කෙන්දෝ (ටූනා) මසුන් ඇල්ලීමේ නිරත මෙම ධීවරයෝ ද අතිශය දුෂ්කර ජීවන කොන්දේසිවලට මුහුන දෙති. ඉන්ධන ඇතුලු අනෙකුත් වියදම් ඉහල යෑමත්, මාලු අපනයනය කරන සමාගම් විසින් මිල පහල දැමීමත් හේතුවෙන් මෙම ධීවරයන්ට බොහෝ අවස්ථාවල දී කිසිදු මුදලක් නොමැති ව නිවෙස් බලා පැමිනීමට සිදු වේ.
“මේ ලග ගෙදරක යාලුවෙක් සමග ඉද්දි තමයි පොලීසියෙන් අරන් ගියේ. එයා ලග මත්ද්‍රව්‍ය තිබුන ද නැද්ද අපි දන්නේ නෑ. පොලීසිය දැකලා ලසන්ත දුවලා බේරෙන්න. නමුත් එලවලා අල්ල ගෙන. කලින් හිරේ ගියේ රන්ඩුවලට පැටලිලා, පොල් කඩලා ඔය වගේ දේවල්වලට. මේ පාර තමයි මත්ද්‍රව්‍යවලට දැම්මේ” ඔහුගේ ඥාතියෙක් කීවේ ය.
ලසන්තගේ ද පපුව, උදරය හා කකුල ප්‍රදේශවල දරුනු තුවාල සිදු ව අධික රුධිර වහනය වීමෙන් මරනය සිදු ව තිබේ. මරන පරීක්ෂන වාර්තා ගැන තමන්ට කිසිදු විශ්වාසයක් නැති බව ද ඔහුගේ ඥාතීහු සඳහන් කලහ. වෙඩි වැදී මියගිය අවශේෂ සිරකරුවන්ගේ සිරුරු තමන් සියැසින් දුටු බව ඥාතීහු ලෝසවෙඅට සඳහන් කලෝ ය.
මාරවිලට අවට වෙන්නප්පුව සිරිගම්පල තවත් හතර දෙනෙකු හා නාත්තන්ඩිය මරඳවැල්ලේ එක් තරුනයෙකු ද වෙඩි තැබීම් හා පහරදීම්වලින් මරනයට පත් ව තිබෙන බව ලසන්තගේ හා විරාජ්ගේ ඥාතීහු ලෝසවෙඅ ට ප්‍රකාශ කලහ.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය වසංගතය ප්‍රතිපත්තිවල අසාර්ථකත්වයේ ප්‍රතිඵලයක් නොවේ. එය ධනේශ්වර සමාජ ක්‍රමයේ ම—යුද්ධයේ, විරැකියාවේ, ඉඩම් හා ජීවනෝපායන් අහිමි කිරීමේ, සහ ජනජීවිතය ක්‍රමයෙන් විනාශ කිරීමේ—නිෂ්පාදනයකි. මෙම තත්ත්වයන් නිසා බිඳ වැටුනු මිනිසුන්ට ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ ඔවුන්ට එරෙහි ව සන්නද්ධ බලය යෙදවීමයි. මෙම රාජ්‍ය ප්‍රචන්ඩත්වය, කම්කරු පන්තිය හා දුප්පතුන් මත රාජ්‍ය පාලනය තවදුරටත් පුලුල් කිරීම සඳහා කරුනක් බවට පරිවර්තනය කර තිබේ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මන්ඩලය (එන්ඩීඩීසීබී)යේ ඇස්තමේන්තුවලට අනුව රට පුරා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 300,000කට අධික සංඛ්‍යාවක් සිටිති. රජය සතු ව ඇත්තේ එන්ඩීඩීසීබී ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් සහ පුනරුත්ථාපන කාර්යාංශයට අයත් මධ්‍යස්ථාන තුනක් පමනි. ඒවායේ මුලු ධාරිතාව ඇඳන් 1,120ක් පමන වන අතර, 2024 වසර පුරා ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ පුද්ගලයන් 3,140 දෙනෙකු පමනි. වෙනත් වචනවලින් කිවහොත්, අවශ්‍යතාව ඇති පිරිසෙන් ප්‍රතිකාර ලැබෙන්නේ සියයට 0.4කටත් අඩු ප්‍රමානයකට පමනි.
අනෙක් අතට, 2025 වසරේ පලමු මාස හත තුල පමනක් මත්ද්‍රව්‍ය චෝදනා යටතේ පුද්ගලයන් 100,000කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ආන්ඩුව පොලිසිය සහ හමුදාව යොදවා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, බන්ධනාගාර 36ක් සිය ධාරිතාවෙන් සියයට 300ක් ඉක්මවා පිරී ඇති අතර, රැඳවියන්ගෙන් සියයට 65ක්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවෝ ය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයාට ඇඳක් සොයා දීමට රජයට නොහැකි නමුත්, අත්අඩංගුවට ගත් තැනැත්තාට සිරකුටියක් සොයා දීමට එය සෑම අවස්ථාවක ම සමත් වේ.
වෛද්‍ය සේවා ක්ෂේත්‍රයේ තත්ත්වය ද එම හිතාමතා නොසලකා හැරීමේ ප්‍රතිපත්තිය ම හෙලි කරයි. මිලියන 22ක ජනගහනයක් සිටින රටක මනෝවෛද්‍යවරුන් සිටින්නේ 108 දෙනෙකු පමනි—එනම් පුද්ගලයන් 500,000කට එක් අයෙකු බැගිනි. රට පුරා සායනික මනෝවිද්‍යාඥයන් සිටින්නේ පස් දෙනෙකුටත් අඩු සංඛ්‍යාවකි.
සමස්ත සෞඛ්‍ය වියදමෙන් මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා වෙන් කර ඇත්තේ සියයට 1.6ක් පමනක් වන අතර, එම ප්‍රතිශතය 2012 සිට කිසිදු වෙනසක් නොමැති ව පවතී. මත්ද්‍රව්‍ය භාවිතය ඉහලම මට්ටමක පවතින සහ යුද්ධයේ මානසික තුවාල ගැඹුරු ම ලෙස පවතින උතුරු සහ නැගෙනහිර පලාත්වල මනෝවෛද්‍යවරු ඕස්ට්‍රේලියාවට සහ එක්සත් රාජධානියට සංක්‍රමනය වෙමින් සිටිති.
2023 ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 29 දෙනෙකු පමනක් සහභාගි වූ අවස්ථාවක සම්මත කල පුනරුත්ථාපන කාර්යාංශ පනත මගින්, මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය නිල වශයෙන් සන්නද්ධ හමුදාවට භාර දෙන ලදී.
කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථාන හමුදාව විසින් පාලනය කරන අතර, 2022 ජූනි මාසයේ දී එහි රැඳවියෙකු සොල්දාදුවන්ගේ පහරදීමෙන් මරනයට පත් විය. එක්සත් ජාතීන්ගේ ආයතන 12ක් අනිවාර්ය හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථාන සියල්ල වසා දමන ලෙස ඉල්ලා ඇත. ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය මෙම නීතිය “බලහත්කාරය භාවිතයෙන් ස්වේච්ඡා නොවන පුනරුත්ථාපනයට ඉඩ සලසන” බවට හෙලා දුටුවේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙන්වා දුන් ආකාරයට දේශපාලන විරුද්ධවාදීන් පවා මත්ද්‍රව්‍ය භාවිතාකරන්නන්ගේ කාන්ඩයට දමා දඩයම් කිරීමේ අවස්ථාව මෙ මගින් ආන්ඩුවට ලැබේ.
මත්ද්‍රව්‍යටයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා 2026 අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් (ඇමරිකානු ඩොලර් මිලියන 5ක් පමන) වෙන් කොට ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, පුද්ගලයන් 100,000ක් අත්අඩංගුවට ගැනීමේ පිරිවැය, අධික ලෙස පිරී ගිය බන්ධනාගාර පවත්වා ගෙන යාමේ වියදම සහ උතුරේ හමුදා මෙහෙයුම් පවත්වා ගෙන යාමේ වියදම් සමඟ සැසඳීමේ දී එය සොච්චමකි. වරදකරුවන් වූ සිරකරුවන්ගෙන් සියයට 57.2ක්ම දෙවැනි වරට ද එකම වරද කිරීමේ පුද්ගලයන්ගෙන් සමන්විත වන අතර, සියයට 5.2ක් එකොලොස් වතාවකට හෝ ඊට වැඩි වාර ගනනක් වරදකරුවන් වී ඇති බවත් වාර්තා වේ. බන්ධනාගාරගත කිරීමෙන් සිදුවන්නේ පුනරුත්ථාපනය නොව, කඩාවැටුනු පුද්ගලයින් නැවතත් එම බිඳවැටුනු සමාජ තත්ත්වයන් වෙත ම තල්ලු කිරීම බව මෙම සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම, වසර 26ක සිවිල් යුද්ධයේ සහ එහි මානසික විනාශකාරී ප්‍රතිවිපාකවල, තරුන විරැකියාවේ, යුද්ධයෙන් පසු මිලිටරිකරනයට ලක් වූ ජනකන්ඩායම්වල දරිද්‍රතාවයේ සහ කප්පාදු ආර්ථික ප්‍රතිපත්ති මගින් ජනිත වූ දිගුකාලීන ආර්ථික ප්‍රචන්ඩත්වයේ ඍජු ප්‍රතිඵලයකි.
