සසප/සසජාතශි ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම: කම්කරුවන්ට සහ තරුනයන්ට 2022 මහජන නැගිටීමේ පාඩම්

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි) විසින් ජූලි 26 ඉරිදා සවස 7.00ට ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වනු ඇත. මෙ තැනින් සූම් රැස්වීමට ලියාපදිංචි වන්න.

එහි දී, වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව වර්ධනය වන කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ අරගල සඳහා 2022 මහජන නැගිටීමෙන් උකහා ගත යුතු දේශපාලන පාඩම් සාකච්ඡා කරනු ඇත.

2022 නැගිටීම පුපුරා ගියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද ම්ලේච්ඡ හා පුලුල් කප්පාදු පියවරයන්ට එරෙහි ව ය. කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි ඇමරිකානු-නේටෝ යුද්ධය මගින් තීව්‍ර කෙරුනු ආර්ථික අර්බුදයේ සම්පූර්න බර එම ආන්ඩුව වැඩකරන ජනතාවගේ උර මත පැටවී ය.

ශ්‍රී ලංකාවේ මහජන නැගිටීම, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ගෝලීය පුනර්ජීවනයේ වඩාත් පුපුරන සුලු ප්‍රකාශනය විය. එය, පාලක ප්‍රභූවේ සියලු කොටස් විසින් දිගු කලක් තිස්සේ උසිගන්වන ලද සිංහල, දෙමල සහ මුස්ලිම් වාර්ගික බෙදීම් අභිබවා, මිලියන ගනන් කම්කරුවන්, තරුනයන් සහ ග්‍රාමීය දුගීන් එක්සත් කලේ ය. කම්කරු පන්තියේ අතිවිශාල සමාජ බලය විදහා දක්වමින්, මෙම නැගිටීම ජූලි 9 වන දා ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට සහ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කලේ ය. ඔහුගේ ආන්ඩුව බිඳ වැටුනි.

කෙසේ වෙතත් තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, මෙම මහජන ව්‍යාපාරයට සහභාගි වූ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට එය අසමත් වූයේ ඇයි යන්නයි. එහි ප්‍රතිඵලය කලින් තීරනය වී තිබුනේ නැත. නැගිටීම පුරා ම එකිනෙකට ප්‍රතිවිරෝධී දේශපාලන ඉදිරිදර්ශන දෙකක් මුහුනට මුහුන ගැටුනි.

ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය (සජබ) සහ ජවිපෙ/ජාජබ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු විවිධ ව්‍යාජ වාම සංවිධාන සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ සහාය ඇති ව, “අන්තර්වාර ආන්ඩුවක්” සඳහා කැඳවුම් කරමින් මහජන ව්‍යාපාරය ධනපති පාර්ලිමේන්තු රාමුව තුලට හරවා යැවීමට ක්‍රියා කලේ ය.

මෙම සියලු බලවේගවලට සෘජු ව ම විරුද්ධ ව, සසප සිය විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට මැදිහත් විය. සෑම කම්හලක ම, සේවා ස්ථානයක ම, අසල්වැසි ප්‍රදේශයක ම සහ ග්‍රාමීය ප්‍රදේශයක ම කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එය කැඳවුම් කලේ ය.

2022 ජූලි 20 වන දා සසප ඉතා වැදගත් මූලෝපායික ආරම්භකත්වයක් ගනිමින්, එම ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගත් නියෝජිතයන් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ ව්‍යාපාරයක් ආරම්භ කලේ ය. ගම්බද දුගීන්ගේ සහයෝගය දිනා ගනිමින්, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීමේ අරමුනින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම මෙම සම්මේලනයේ අරමුන විය. එය අන්තර්වාර ආන්ඩු ඉදිරිදර්ශනය නියෝජනය කල දේශපාලන උගුලට විකල්පයක් විය.

2022 වසරේ කේන්ද්‍රීය පාඩම වන්නේ කම්කරු පන්තියට තමන් ගේ ම ස්වාධීන විප්ලවවාදී නායකත්වයක් සහ වැඩපිලිවෙලක් අවශ්‍ය බවයි. මහජන ව්‍යාපාරය පාර්ලිමේන්තු රාමුව තුලට හරවා යැවීම, රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු ව එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක, ඇමරිකානු අධිරාජ්‍යවාදයට ගැති සහ ජනතාව අතර සම්පූර්නයෙන් අපකීර්තියට පත් වී සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කිරීමට පාලක පන්තියට මග පෑදී ය. ඔහු නැගිටීම මර්දනය කිරීමට පියවර ගත් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) නියම කල ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම ආරම්භ කලේ ය.

වික්‍රමසිංහ ආන්ඩුව වැඩකරන ජනතාවගේ පුලුල් විරෝධයට මුහුන දුන් විට, පාලක පන්තිය ජවිපෙ/ජාජබ වෙත හැරුනි. සාම්ප්‍රදායික ධනපති පක්ෂ කෙරෙහි ජනතාව තුල පැවති කෝපය ගසා කමින් එය 2024 අග භාගයේ පැවති ජනාධිපති හා මහ මැතිවරනවල දී බලයට පත් විය.

අද ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව, වික්‍රමසිංහ එකඟ වූ අයිඑම්එෆ් කප්පාදු න්‍යාය පත්‍රය අඛන්ඩ ව ක්‍රියාත්මක කරමින් වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වයන් තවදුරටත් පහත හෙලමින් සිටී. කම්කරුවන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගේ අරගල බිය ගැන්වීමට හා මර්දනය කිරීමට එය පොලිස්-රාජ්‍ය ක්‍රමවේදයන් යොදා ගෙන ඇත. ඒ අතර ම, චීනයට එරෙහි ඇමරිකානු නායකත්වයෙන් යුත් යුද සූදානම සමඟ කොලඹ වඩාත් සමීප ව ඒකාග්‍ර කරමින් සිටී.

2022 නැගිටීමේ ඉතිහාසය විකෘති කිරීමේ උත්සාහයන් ද දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) සහ එයට සම්බන්ධ බලවේග ඇතුලු පාලක ප්‍රභූවේ කොටස්, මහජන ව්‍යාපාරය රාජපක්ෂ ආන්ඩුව පෙරලා දැමීම සඳහා ඇමරිකාව විසින් අනුග්‍රහය දක්වන ලද කුමන්ත්‍රනයක් ලෙස හංවඩු ගසති. ඔවුන්ගේ අරමුන වන්නේ මිලියන ගනන් ජනතාව අරගලයට තල්ලු කල ගැඹුරු සමාජ අර්බුදය වසන් කිරීම සහ රාජ්‍යයේ මර්දන බලතල ශක්තිමත් කිරීම සාධාරනීකරනය කිරීමයි.

අනෙක් අතට පෙසප කියා සිටින්නේ නැගිටීම පරාජය කරනු ලැබුවේ පාලක ප්‍රභූව සහ අධිරාජ්‍යවාදී බලවේග ඒකාබද්ධ ව ක්‍රියා කිරීම නිසා පමනක් බවයි. මෙම ආඛ්‍යානය එහි ම දේශපාලන වගකීම වසන් කරයි. ධනපති අන්තර්වාර ආන්ඩුවක් පිලිබඳ මිථ්‍යාවන් ප්‍රවර්ධනය කරමින් සහ සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට විරුද්ධ වෙමින්, පෙසප මහජන ව්‍යාපාරය මංමුලා කිරීම සහ නිෂ්ක්‍රීය කිරීම සඳහා තීරනාත්මක භූමිකාවක් ඉටු කලේ ය.

2022 පාඩම් ශ්‍රී ලංකාවට පමනක් සීමා නොවේ. ලොව පුරා කම්කරුවන් ගැඹුරු වන කප්පාදු වලට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර වලට, පෙර නොවූ විරූ සමාජ අසමානතාවට සහ වර්ධනය වෙමින් පවතින ලෝක යුද්ධයේ එක් පෙරමුනක් වන ඉරානයට එරෙහි ඇමරිකානු යුද්ධයේ උත්සන්න වීමට මුහුන දී සිටිති. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අත්දැකීම්වල, ජාත්‍යන්තර කම්කරුවන් සඳහා අත්‍යවශ්‍ය මූලෝපායික පාඩම් අන්තර්ගත වෙයි.

මෙම ප්‍රසිද්ධ  ඔන්ලයින් දේශනයේ අරමුන වන්නේ අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගැනීම සහ ඉදිරි අරගල සඳහා අවශ්‍ය විප්ලවවාදී ඉදිරිදර්ශනය සාකච්ඡා කිරීමයි. ධනවාදය විසින් නිර්මානය කරන ලද ම්ලේච්ඡත්වයට අවසානයක් සොයන කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන්, බුද්ධිමතුන්, ගෘහනියන් ඇතුලු සියලු දෙනාට මෙම වැදගත් අවස්ථාවට සහභාගි වන ලෙස සසප සහ සසජාතශි ආරාධනා කරයි.

දිනය සහ වේලාව: ජූලි 26 වැනි දා ඉරිදා සවස 7ට

මෙ තැනින් සූම් රැස්වීමට ලියාපදිංචි වන්න.

Loading