[මෙය US resumes bombing and blockade of Iran: Mobilize the working class against the war! මැයෙන් 2026 ජූලි 13දා පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]
එක්සත් ජනපදය ඉරානයට එරෙහි විවෘත යුද්ධය යලි අරඹා ඇත. පසු ගිය සතිය පුරා, ඉරානයේ ඉලක්ක සිය ගනනකට බෝම්බ හෙලා ඇති ඇමරිකානු හමුදා, මිලියන 90ක ජනකායක් වෙසෙන ජාතියකට එරෙහි ව නාවික බාධකයන් යලි පනවා, අවිනිශ්චිත කාලයක් සංහාරය අඛන්ඩ ව ගෙන යන බවට ප්‍රකාශ කර තිබේ. ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉරානයෙහි පැවැත්ම විනාශ කරමින්, හෝමුස් සමුද්‍ර සන්ධිය අත්පත්කර ගැනීමේ හා ලෝකයේ වඩාත් ම වැදගත් බලශක්ති කොරිඩෝව ඇමරිකානු පාලනයට ගැනීමේ ඉලක්කය සහිත, යටත් කර ගැනීමේ යුද්ධයක නව අදියරක් දැන් දිග හැරෙමින් පවතී.
ජුනි 17දා එලැඹුනු එකඟතාව යටතේ, සමුද්‍ර සන්ධිය හරහා නැව්වලට ආරක්ෂිත ව ගමන් කිරීමට දින 60ක් ලබා දීමට හිලවු ලෙස, එක්සත් ජනපදය ඉරාන වරායවලට පනවා තිබූ බාධක ඉවත් කෙරී තිබුනි. “සටන් විරාමය“ පැවතුනේ යන්තම් සති තුනක් පමනි. දල දේශීය නිශ්පාදිතයෙන් සියයට 5ක් මිලිටරි වියදම් සඳහා වෙන් කරන බවට අධිරාජ්‍යවාදී බලයන් පොරොන්දු වූ සහ රුසියාව ඇතුලතට යුක්‍රේනයෙන් ප්‍රහාර එල්ල කිරීම එම බලයන් විසින් සමරනු ලැබූ ඇන්කාරා නුවර පැවති නැටෝ සමුලුවේ අවසන් දිනය වූ ජූලි 8දා, සටන් විරාමය අවසන් වන බව ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය.
“ඉරානයෙහි සියලු ප්‍රදේශ, මුලුමනින් අංශු බවට පත් කිරීම හා විනාශ කිරීම සඳහා, දීර්ඝ කිරීමට යටත් වූ එක් වසරක කාලයක් පුරා යුද වැදීමට එක්සත් ජනපද මිලිටරිය සූදානම්. එසේ කිරීමට අවශ්‍ය කැමැත්ත හා හැකියාව එයට තිබෙනවා” යැයි පවසමින්, සිකුරාදා (ජූලි 10), ට්‍රම්ප් තර්ජනය කලේ ය. සෙනසුරාදා රාත්‍රියේ සිට, ඉරානය පුරා ඉලක්ක 300ට අධික සංඛ්‍යාවකට, අනුයාත රාත්‍රීන් තුනක් පුරා එක්සත් ජනපද හමුදා පහර දුන්හ. සාමාන්‍යයෙන්, ලෝකයේ දෛනික තෙල් සැපයුම්වලින් පහෙන් පංගුවක් පසු කර යන හෝමුස් සමුද්‍ර සන්ධිය “නැවත දැනුම් දෙන තුරු වසා දමන” බව කියමින්, ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය රැකවල් බලකාය එයට ප්‍රතිචාර දැක්වී ය.
ඉන්පසු, ඉරානය මත නාවික බාධක යලි පනවන බව සඳුදා උදෑසන නිවේදනය කල ට්‍රම්ප්, ගුවන් විදුලි වැඩසටහන්කරුවෙකු වන හියු හෙවිට් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී මෙසේ ප්‍රකාශ කලේ ය: “අද රාත්‍රීයේ අපි ඔවුන්ට දැඩි ලෙස පහර දී, හෙටත් ඔවුන්ට තවත් දැඩි ලෙස පහර දීමට සූදානම්. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කල හැකි කිසිවක් නැහැ.” ටෘත් සමාජ මාධ්‍ය මත ඔහු ලියුවේ, සමුද්‍ර සන්ධිය හරහා “ගමන් කරන සියලු තෙල් නැව්වල අඩංගු තෙල්වල වටිනාකමෙන් සියයට 20ක ප්‍රතිශතයක්, එක්සත් ජනපදයට පෙරලා ගෙවිය යුතු” බවයි.
එක්සත් ජනපදය සමග එලැඹෙන ඕනෑ ම සටන් විරාමයක්, වැඩිදුර යුද්ධය සඳහා පෙර නිමිත්තක් වනු ඇතැයි ජුනි 15දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය කල අනතුරු ඇඟවීම, මෙම වර්ධනයන්ගෙන් සනාථ කරයි. “ යුද්ධයේ මෙම අදියර අවසන් වීම යනු යුද්ධය අවසාන වීමක් නොවේ,” යනුවෙන් අපි ලීවෙමු. “ ඉන් පසු ව එන යුද්ධයට මග පාදනු ඇත්තේ, 2026 සටන් විරාම රාමුවයි. ”
යලි ඇරඹූ ප්‍රහාරය, සිය ඉලක්කයන් කරා ලඟාවීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අපොහොසත් වීමේ නිශ්පාදිතයකි. ටෙහ්රානයේ ආන්ඩුව බිඳ වට්ටවා, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන බිඳ දමා, එහි සන්නද්ධ හමුදා දුර්වල කර හෝමුස් සමුද්‍ර සන්ධිය අත්පත් කරගැනීමට, පෙබරවාරියේ දී ට්‍රම්ප් ඉරානය මත ප්‍රහාරය දියත් කලේ ය. දවස් 136ක් ගෙවී ඇතත්, මෙම අරමුනුවලින් එකක් වත් සාක්ෂාත් කර ගෙන නැත.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ක්‍රියාකාරකම්වලට නිශ්චිත තර්කනයක් ඇත. ඉරානයේ තෙල් අපනයනවලින්, දල වසයෙන් සියයට 90ක් පමන ගලා යන්නේ කාග් දිවයින හරහා වන අතර, එය අල්ලා ගන්නා බවටත්, ඉරානය සතු බලාගාර හා මිලියන 90ක් වන ජනතාවට පානීය ජලය සම්පාදනය කරන පිරිපහදු සියල්ල විනාශ කරන බවටත්, පසුගිය සතියේ දී ට්‍රම්ප් තර්ජනය කර තිබුනි. ගුවන් ප්‍රහාර කන්ඩායම් දෙකක්, දිය ගොඩ දෙකෙන් ම පහර දෙන කන්ඩායම් දෙකක් හා ඇමරිකානු භටයින් 50,000ක් කලාපය පුරා ස්ථානගත කෙරෙයි.
යුදමය ක්‍රියාවක් වන මෙම බාධනයේ තර්කනය ආක්‍රමනය දෙසට යොමු වී තිබේ. ට්‍රම්ප් පරිපාලනය, හෝමුස් සමුද්‍ර සන්ධිය වාඩිලා ගැනීමට අදහස් කරන්නේ කෙසේ ද? දැවැන්ත පරිමානයෙන් පාබල භටයින් යෙදවීමත්, සමස්ත මැද පෙරදිග පුරා ඇමරිකානු හමුදාවන්ට දැනටමත් අත්පත් වී ඇති මරන සංඛ්‍යාවට වඩා ඉතා අධික සංඛ්‍යාවක් මරනයට පත් කිරීමත්, එවන් මෙහෙයුමකට අවශ්‍ය වනු ඇත.
තවත් අනතුරු ඇඟවීමක් කල යුතු ය. ඉරානය තම මිසයිල නිශ්පාදනය කරන පොලව යට ඇති කර්මාන්තශාලාවන්ට එරෙහි ව, පහල මට්ටමේ න්‍යෂ්ටික අවි භාවිතා කිරීම “කල හැක්කක් ද” යැයි, ට්‍රම්ප් විමසා තිබුනු බව, ජනමාධ්‍යවේදී සෙයිමර් හර්ශ් ජුනි 10දා වාර්තා කලේ ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මුහුන දෙමින් සිටින මංමුලා සහගත තත්ත්වය යටතේ, න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීම බැහැර කල නො හැක.
තව ද ඉරානය අවසන් ඉලක්කය නො වේ. මානව වර්ගයාට විනාශය ගෙන දීමට තර්ජනය කරමින් වර්ධනය කරන ලෝක යුද්ධයක එක් පෙරමුනක් ලෙස ඉරානය පවතී. මාර්තු මාසයේ පටන්, පුද්ගලයකන් 4,322ක් මරා දමමින් ලෙබනනයට පහර දීම, බටහිර ඉවුරේ ප්‍රචන්ඩත්වය දිගේලි කිරීම හා ගාසා තීරය තුල සංහාරය අඛන්ඩ ව ගෙන යන ඊස්රායලයේ ප්‍රහාර සමගින් එය එකට ගමන් ගනී. යුක්‍රේනය යොදාගෙන නැටෝව රුසියාවට එරෙහි ව ගෙන යන වක්‍ර යුද්ධය තීව්‍ර කරමින් පවතින අතර, චීනයට එරෙහි ව යුද වැදීමේ අවශ්‍යතාව ගැන ඇමරිකානු පාලක පන්තියේ සෑම කන්ඩායමක් ම එකමුතු වෙයි.
යුද්ධයෙහි කොල්ලකාරී අරමුනු වලට, දේශපාලන සංස්ථාපිතයේ එකදු කොටසක් වත් විරුද්ධ නැත. විවේචන පවතින්නේ එහි ප්‍රතිඵල ගැන පමනි. ජුනි මාසයේ ට්‍රම්ප් එලැඹුනු එකඟතාව, ටෙහ්රානයට වඩා වාසිදායක බව කියමින්, ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙගොල්ලන් ම හෙලා දුටුවේ ය. ජුනි 22දා වෝල් ස්ට්‍රීට් ජර්නලයේ පල කල තීරු ලිපියක් තුල, ඉරානය සමග එකඟතාව, ට්‍රම්ප් ඔහුගේ පලමු දූර කාලයේ දී ප්‍රතික්ෂේප කල, “ශමනය කිරීම වැන්නක් පිලිබිඹු කරන” බවට හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් ලීවේ, “සන්නද්ධ හමුදාවන්ට කාර්යය ඉවර කිරීමට ට්‍රම්ප් මහතා ඉඩ දිය යුතු” යයි උනන්දු කරමිනි.
එයට සමාන අනන්‍ය භාෂාවකින් ඩිමොක්‍රටික් නායකත්වය සටන් විරාම ගිවිසුමට පහර දුන්නේ ය. එය “යටත්වීමේ කලාව” බව සෙනෙට් සුලුතර නායක චක් ශූමර් කීවේ ය. ඉරිදා රූපවාහිනී වැඩසටහන්වල දී, ඩිමොක්‍රටිකයන් විවේචනය යලි ආරම්භ කලේ ය. කොනෙක්ටිකට්හි කොංග්‍රස් නියෝජිත ජිම් හයිම්ස් සීඑන්එන් පුවත් සේවයට කියා සිටියේ, “තන්ත්‍ර-භංග ප්‍රහාරයක් වනු ඇති බවට ජනාධිපති අපට පොරොන්දු වූ ප්‍රහාරයෙන් පසු ඉරාන පාලන තන්ත්‍රය මෙතෙකුදු පවතින“ බව යි.
ඩිමොක්‍රටික් පක්ෂය යනු වෝල් වීදියේ හා මිලිටරියේ පක්ෂයකි. යුද්ධය ගෙන යන්නේ කෙසේ ද යන්න අරභයා එහි නායකයන්ට පරිපාලනය සමග උපායාත්මක ගැටලු පැවතිය ද, යුද්ධයෙහි ඉලක්ක සම්බන්ධයෙන් ඔවුහු එක්සත් ය: එනම්, මැද පෙරදිග මත එක්සත් ජනපද ආධිපත්‍යය පවත්වා ගෙන යාම සහ න්‍යෂ්ටික ව සන්නද්ධ චීනය සමග ගැටුමට කරන සූදානම වේගවත් කිරීමයි. ජනතාව අතර පවතින යුද-විරෝධී මනෝගතිය මර්දනය කිරීමටත්, ට්‍රම්ප්ට ඔවුන් දක්වන විරුද්ධත්වයෙන් යුද විරෝධය ඉවත්කර තැබීමටත් ඔවුහු ක්‍රමානුකූල ව ක්‍රියාකර ඇත.
ඔවුන් මැසිවිලි නගනුයේ, ට්‍රම්ප් විසින් ආක්‍රමනකාරී සාපරාධී යුද්ධයක් දියත් කිරීම, රාජ්‍ය-තාන්ත්‍රික සාකච්ඡා පැවතෙද්දී රාජ්‍යයක නායකයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීම සහ ඉරාන ජාතිකයන් දහස් ගනනක් මරා දැමීම ගැන නොවේ. යුද්ධය එහි අවසාන ඉලක්ක කරා ලඟා වීමට අසමත්වීම සම්බන්ධයෙනි.
ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මැරකල්ලිවාදයේත්, තමන් නියෝජනය කරන මූල්‍ය කතිපයාධිකාරයේත් අත්‍යන්ත සාපරාධීත්වය, ට්‍රම්ප්ගේ ප්‍රකාශ තුල පිලිබිඹු වෙයි. සමස්ත රටක් විනාශ කිරීමට විවෘත ව හා යලි යලිත් කරන තර්ජනය, ජනසංහාරක ප්‍රචන්ඩත්වය සඳහා කෙරෙන තර්ජනයක් වන අතර, එසේ තර්ජනය කිරීම ම ත් යුද අපරාධයකි. හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කර යන සියලු තෙල් නෞකාවලින් සියයට 20ක් ඉල්ලීම, ගුවන් යානා රැගෙන යන නෞකාවල පිටුබලය සහිත රැකවරන කූටෝපායක භාෂාවයි.
රට තුල ද යුද්ධය ඒ සා නීති-විරෝධී වේ. යුද බලතල පනත යටතේ, හතුරුකම්වලට හමුදාවන් කැප කරන ජනාධිපතිවරයෙකුට, ඔවුන් තබා ගන්නේ ද ඉවත් කරන්නේ ද යන්න තීරනය කිරීමේ බලය ලබා ගැනීමට දවස් 60ක් පවතී. මෙම සීමාව නීති-විරෝධී යුද්ධ සඳහා ට්‍රම්ප් නිරන්තර ව භාවිතා කරමින් සිටී. අවසන් දවස ලඟාවෙද්දී, ජුනි 17 සටන් විරාමය අත්සන් තබා, හතුරුකම් “අවසන් වී” ඇතැයි කොංග්‍රසයට දැනුම් දුන් ඔහු, දවස් 60කට ඔරලෝසුව යලි සකස් කලේ, පරිපාලනයේ භාෂාවෙන් දින 60 සීමාව මලකුරක් බවට පත් කරමිනි.
විදේශවල යුද්ධය සහ රට තුල ආඥාදායකත්වය පිලිවෙත් දෙකක් නොව එකකි. මිලියන 90ක රටක් විනාශ කිරීමේ හිමිකම කියාපාන ආන්ඩුවකට, තමන්ගේ ම ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දරා සිටිය නොහැක්කේ, සියල්ලට ඉහලින් අහස උසට නගින භාන්ඩ මිල හා ඛාදනය වෙමින් පවතින ජීවන තත්ත්වයන් හරහා, ජනතාව යුද්ධයේ මිල ගෙවමින් සිටින තතු යටතේ ය.
එහෙත් මෙය, යුද්ධය නැවැත්විය හැකි බලවේගය පෙන්නුම් කරයි. එක්සත් ජනපදයේ, ඉරානයේ, සමස්ත මැද පෙරදිග හා ජාත්‍යන්තර කම්කරු පන්තියට, මෙම යුද්ධය ගැන මනාපයක් නැති අතර, එය අවසන් කිරීමේ අවශ්‍යතාව පවතී. ඉරානයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රහාරයට එරෙහි ව ලොව පුරා කම්කරුවන් බලමුලුගැන්විය යුතු වන්නේ, යුද්ධය නිශ්පන්න කරන ධනපති ක්‍රමයට එරෙහි ව යොමු කෙරුනු ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක හී තුඩ ලෙස ය.
