[මෙය Europe’s “firewave” and global capitalism’s climate crisis යන මැයෙන් 2026 ජූලි 28 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ප්‍රංශ බලධාරීන් 250,000 කට අධික ජනගහනයක් සිටින බෝඩෝ හි සහ 850,000 ක් වෙසෙන අගනගර ප්‍රදේශයක ජනතාව ඉවත් කිරීම පිලිබඳව ක්‍රියාකාරී ව සලකා බලමින් සිටී. වසර 2,000 කට වැඩි කාලයක් තිස්සේ, ලෝකයේ වඩාත් ම කීර්තිමත් මිදි වතු කිහිපයක නිවහන් ප්‍රදේශයක් වන එම නගරයේ තුනෙන් එකකට වැඩි ප්‍රමානයක් යුනෙස්කෝව විසින් ලෝක උරුම අඩවියක් ලෙස නම් කර ඇත.
මේ සියල්ල දැන් ඝන දුමාරයෙන් වැසී ගොස් ඇති අතර, දැනටමත් ඒවා වාර්තාගත භූමි ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබේ; ඒ හේතු කොට ගෙන, යුරෝපය පුරා ලැව්ගිනි හේතුවෙන් අවතැන් වූ මුලු සංඛ්‍යාව 400,000 දක්වා ඉහල නංවමින් 200,000ක ජනතාවක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට බල කෙරී ඇත. තාපය සහ දුමාරය, දැන් එයට ම ආවේනික ගිගුරුම් සහිත වැසි ජනනය කරමින් තිබෙන අතර, ගින්න තව තවත් උග්‍ර කල හැකි අකුනු සැර ජනනය කරමින් තිබේ.
ලෝකයේ ධනවත් ම රටවල් 10න් එකක් වන හා ඒක පුද්ගල සමාජ වියදම් ඉහල ම මට්ටමක පවතින මහාද්වීපයක මෙවැන්නක් සිදුවිය හැකි වීම, ධනවාදයට එරෙහි ව පිලිතුරු දිය නොහැකි තරමේ අධිචෝදනාවකි.
මෙම වනාන්තරවල ලැව් ගිනි වර්ධනය වීමට ඉඩ සැලසී ඇත්තේත්, ඒවා මැඬ පැවැත්වීමේ උත්සාහයන් අඩපන වී ඇත්තේත්, රජයේ නොසැලකිල්ල හා අරමුදල් ප්‍රමානවත් නොවීම හේතුවෙන්, ඒවායේ කලමනාකරනය දුර්වල වීම නිසා ය. ගිනි මැඬ පැවැත්වීම සඳහා දිනපතා තම ජීවිත පරදුවට තබන ප්‍රංශ ජාතික ගිනි නිවන භටයින්ගේ සම්මේලනයේ සාමාජිකයින්ගේ ප්‍රකාශකයෙකු වාර්තාකරුවන්ට කෙලින් ම පැවසුවේ, “එය දාවිත් හා ගොලියාත් අතර සටනක්” බවයි. පිරිස් සහ උපකරනවල පවතින දැඩි හිඟය නිසා, නොවැම්බර් මාසය දක්වා ම ගින්න නිවා දැමිය නොහැකි වනු ඇති බවට යුරෝපීය නිලධාරීන් අනතුරු අඟවා තිබේ.
කම්කරුවන්, අර්බුදයට හදිසි හා දැවැන්ත ප්‍රතිචාරයක් දැක්වීමටත්, අනාගතය සඳහා මහාද්වීපයේ සූදානම වැඩි දියුනු කිරීමටත් අවශ්‍ය සම්පත් සොයා බලමින්, ඒ සඳහා සටන් කල යුතු ය. නමුත්, මෙම ව්‍යසන ඇති කරන සමාජ ක්‍රමය සමග පොරබදන්නේ නැති ව එවැනි ක්‍රියාමාර්ග ගැනීම, ගිනි කඳු බෑවුම්වල ගිනි නිවීමට දරන තැතක් බඳු දෙයකි.
ආර්ථික හා සමාජීය ජීවිතය කෙතරම් වැරදි ලෙස කලමනාකරනය වී ඇති ද යත්, ඉතා ධනවත් ස්වල්ප දෙනෙකුගේ ලාභ අවශ්‍යතාවල ආධිපත්‍යය හේතු කොට ගෙන හානියට පත් ව ඇති දේශගුනය, තාක්‍ෂනික අතින් ලෝකයේ වඩාත් ම දියුනු ප්‍රදේශවල පවා මිලියන ගනන් ජනයා අනතුරේ හෙලමින් සිටී. ස්පාඤ්ඤය, ඉතාලිය, ග්‍රීසිය සහ එක්සත් රාජධානිය මෙන් ම ප්‍රංශයේ අනෙකුත් ප්‍රදේශවල ද තවත් ලැව්ගිනි ඇවිලෙමින් පවතින අතර, මැඩ්රිඩ්, වැලෙන්සියා සහ පැරිස්වලට ආසන්න ප්‍රදේශවලට තර්ජන එල්ල වෙමින් තිබේ. සති කිහිපයකට පෙර, උතුරු ඇමරිකාව ලැව්ගිනිවල විෂ සහිත ධූමයෙන් වැසී ගොස් තිබුනි.
ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ විද්‍යාඥයින් “ලැව්ගිනි තරංග” යන යෙදුම නිර්මානය කිරීමට පෙලඹී ඇති අතර, ලැව්ගිනි විද්‍යාව (Fire Science) පිලිබඳ මහාචාර්ය ගිලර්මෝ රයින් විසින් එය “තාප තරංගයකට සමාන ලැව් ගිනි: නගරයක, කලාපයක හෝ ජාතියක හදිසි ප්‍රතිචාරය යටපත් කරන තරමේ, ලැව්ගිනි ක්‍රියාකාරකම් අසාමාන්‍ය ලෙස ඉහල ගිය කාල පරිච්ඡේදයක්” ලෙස විස්තර කර ඇත.
මෙම සිදුවීම් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ, පොසිල ඉන්ධන විමෝචනය හරහා පෘථිවියේ සාමාන්‍ය උෂ්නත්වය ඉහල යාම හේතු කොට ගෙන ය. ඒවා දීර්ඝ හා වාර්තාගත තාප තරංගවල සහ නරක අතට හැරෙන නියඟයේ ප්‍රතිවිපාක වේ—බ්‍රිතාන්‍යය දැන් මේ වසරේ එහි සිව්වන අවස්ථාවට පිවිසෙමින් සිටී.
යුරෝපය මෙම අනතුරුවලට නිරාවරනය වීම පිලිබඳව විද්‍යාඥයින් දශක ගනනාවක් තිස්සේ අනතුරු අඟවා ඇත. නමුත්, කොවිඩ් වසංගතය අතරතුර මිනිස් දුක් වේදනා කෙරෙහි උදාසීනත්වය දැනටමත් ඔප්පු කර ඇති පාලක පන්තිය ඒවා වැලැක්වීමට කිසිවක් කර නැත.
කතිපයාධිකාරය සම්බන්ධයෙන් ගත් කල, මෙය, අනෙකුත් පුද්ගලයින්, හුදෙක් තම ජීවිත, සෞඛ්‍ය සහ බදු මගින් ගෙවනු ලබන, ව්‍යාපාරකරනයේ පිරිවැයයි. දේශගුනික විපර්යාසවල හානිය නොසලකා හරිමින් බිලියන ගනනක් උපයා ගැනීමට ජුනි මාසයේ දස දහස් ගනනක මරන සිදු වූයේ කෙසේ ද? සමහර විට ජූලි මාසයේ බෝඩෝ නගරයේ එය කීයක් වනු ඇති ද? අගෝස්තු මාසයේදී තවත් කී දෙනෙක් බිලි දෙනු ඇති ද?
ලෝක කම්කරු පන්තියට මෙය බරපතල අනතුරු ඇඟවීමක් වන අතර එය ක්‍රියාමාර්ග ගැනීමට පෙලඹවීමක් විය යුතු ය. අද වන විට පාරිසරික ව්‍යසනයන් සිදුවෙමින් පවතින්නේ, පෘථිවිය පූර්ව කාර්මික සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 1.5 ක ගෝලීය උනුසුමක් කරා ලඟා වෙමින් පවතින බැවිනි. බලධාරීන්ගේ බොහෝ අනාවැකි අනතුරු අඟවන්නේ, 2100 වන විට, ලෝකයේ ධනේශ්වර ආන්ඩු, පෘථිවිය මෙහි දෙගුනයක (සෙල්සියස් අංශක 2.8 ක) ආසන්න අගයක් කරා ගෙන යනු ඇති බවයි.
සෙල්සියස් අංශකයක දහයෙන් එකක තරමේ සෑම වැඩි වීමක් සමග ම, ප්‍රතිවිපාක—අධික තාපය හා නියඟය පමනක් නොව, ගංවතුර සහ කුනාටු ද සමග—ඝාතීය ලෙස නරක අතට හැරේ.
මෙම අධ්‍යයනයන්හි කතුවරුන් අනතුරු අඟවන පරිදි, බලපෑම වඩාත් දරුනු ලෙස බලපානු ඇත්තේ අප්‍රිකාවේ සහ දකුනු ආසියාවේ දුප්පත් ම රටවලට ය. මෙම රටවල, නවීන, තිරසාර ආර්ථිකයක අත්තිවාරම් දැමීමේ සියලු අවස්ථාවවන්ට අධිරාජ්‍යවාදය බාධා කරමින් සිටින අතර දැන් සුපිරි ධනවතුන් විසින් අධික ලෙස පොසිල ඉන්ධන භාවිතා කිරීමේ නරක ම ප්‍රතිවිපාකවලට ඔවුන්ට මුහුන දීමට සිදු ව තිබේ.
මිලියන 1.5 ක ජනතාවක් අවදානමට ලක් කර ඇති දිගුකාලීන නියඟයක් මධ්‍යයේ, පුද්ගලයින් 19 දෙනෙකු කුසගින්නෙන් මිය ගිය බව වාර්තා වීමෙන් පසු ව, මේ සතියේ උගන්ඩාව, හදිසි ආහාර බෙදා හැරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ.
එල් නිනෝ කාලගුන රටාව හා සම්බන්ධ ආන්තික කාලගුනය හේතුවෙන් 2028 වන විට ගෝලීය ආහාර ද්‍රව්‍ය මිල ගනන් සියයට 16 කින් පමන ඉහල යනු ඇතැයි, ගෝල්ඩ්මන් සැක්ස් විශ්ලේෂකයින් පුරෝකථනය කර ඇත. ආයෝජන බැංකුවක් මෙම තොරතුරු සපයන්නේ, ධනවාදය යටතේ, බලවතුන්, මිනිස් ජීවිතවලට වඩා තම කොටස් වෙලඳාමට ඇති බලපෑම ගැන වැඩි සැලකිල්ලක් දක්වන බැවිනි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, අධි අවදානම් සහිත රටවල් 22ක මිලියන 8.8ක ජනතාවක් ආරක්ෂා කිරීම වෙනුවෙන්, අවම පියවර හැටියට, ආන්ඩුවලින් ඩොලර් මිලියන 202 ක් අයැද සිටින තත්වයට පත් ව ඇත. එහෙත් ලැබී ඇත්තේ ඉන් පහෙන් එකකටත් අඩු ප්‍රමානයකි.
දේශගුනික විපර්යාසවල ප්‍රතිවිපාක, ධනවාදයේ මරනීය වේදනාවේ සියලු රෝග ලක්ෂන සමඟ බැඳී පවතී.
දේශගුනික විපර්යාස මගින් ඇතිවන පාරිසරික විපත් ජනනය වන්නේ, ආර්ථිකයන් විසින් අවි ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීමේ දී සහ ඊලඟ මූල්‍ය පුපුරා යාමට මුහුන දීම සඳහා ශක්තීන් ගබඩා කර ගැනීමේ දී ඇති කරන විමෝචන මගිනි. එහි ප්‍රතිවිපාක—එනම් දරිද්‍රතාවය සහ යුද්ධය—මානව වර්ගයාගේ විශාල පදාසයක්, විශේෂයෙන්, නියඟ, තාප තරංග, ගංවතුර, කුනාටු සහ පුලුල් ලෙස පැතිර යන වෛරස්වලට ගොදුරු කරයි.
ඒ සමඟ ම, පාරිසරික අර්බුද, සම්පත් කොල්ලකෑම සඳහා මිලිටරි අරගලය තීව්‍ර කරන අතර කම්කරුවන්ගේ ආදායම් කප්පාදු කරයි. 2024 අධික උනුසුම හේතුවෙන් ඉන්දියාවේ කෘෂිකාර්මික, ඉදිකිරීම් සහ ප්‍රවාහන සේවකයින් සඳහා සියයට 6-10 ක වාර්ෂික වැටුප් අහිමිවීම් පිලිබඳ මෑත වාර්තාවක, එම සිදුවීම “දරිද්‍රතා ගුනකයක්” ලෙස විස්තර කලේ ය.
මෙම අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් වන ව්‍යසනයන්ගේ වත්මන් කේන්ද්‍රස්ථානය, මිලියන 140 ක ජනතාවක් වාසය කරන ජිබුටි, එරිත්‍රියාව, ඉතියෝපියාව සහ සෝමාලියව පිහිටි අප්‍රිකාවේ අඟ ලෙස හැඳින්වෙන අර්ධද්වීපය වේ—2050 වන විට මෙම ජනගහනය දෙගුන වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නියඟය සහ අනෙකුත් ආකාරයේ ආන්තික කාලගුනික තත්වයන්, ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය නිසා ඇති වූ පොහොර අර්බුදය සහ ප්‍රධාන දේශීය ගැටුම් මගින් ඇති කරන විනාශය සහ අවතැන් වීම එයට බලපායි. උග්‍ර මන්දපෝෂනයෙන් පෙලෙන ලමුන් මිලියන 5 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුලු ව, මිලියන 40 කට ආසන්න ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් තර්ජනයට ලක් ව සිටිති.
න්‍යෂ්ටික යුද්ධයේ උග්‍ර ව්‍යසනයෙන් පමනක් නොව, ගෝලීය උනුසුම හා පාරිසරික බිඳ වැටීමේ නිදන්ගත ව්‍යසනයෙන් ද, ශිෂ්ටාචාරයේ මූලික ම කොන්දේසිය වන ගෝලීය ස්වභාවික පරිසරයම අවදානමට ලක් කිරීමට තරම්, මීට පෙර පැවති කිසිදු සමාජ ක්‍රමයක් කිසිදා විනාශකාරී වී නැත.
යුද්ධය මෙන් ම, දේශගුනික අර්බුදය ද අපේ කාලයේ නිර්වචනීය ගැටලු වලින් එකක් වන අතර එය ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් විඳ දරා ගත යුතු හෝ විසඳා ගතු යුතු ගැටලුවකි. දක්ෂිනාංශික දේශපාලනඥයින් සහ ඔවුන්ගේ බොහෝ මාධ්‍ය හොරනෑ පවසන පරිදි, එය ධනවත් මධ්‍යම පන්තිය පමනක් උනන්දු වන “ජීවන රටාව” පිලිබඳ ප්‍රශ්නයක් නොව, සෑම කම්කරුවෙකුගේ ම ජීවිතය හෝ මරනය පිලිබඳ ප්‍රශ්නයකි. එ සේ ම, හරිත ව්‍යාපාරය (green movement) පවසන පරිදි, එය පුද්ගලික වගකීම පිලිබඳ ප්‍රශ්නයක් නොව, සාමූහික පන්ති අරගලය පිලිබඳ ප්‍රශ්නයකි.
එසේම එය මග හැරිය නොහැකි විප්ලවාදී ප්‍රශ්නයකි.
ජූනි මාසයේ දී, ලෝක අසමානතා පර්යේෂනාගාරය “ගෝලීය යුක්තිය පිලිබඳ වාර්තාව” නිකුත් කලේ ය. ස්වාභාවික විද්‍යාත්මක, ආර්ථික හා සමාජ අධ්‍යයනයන් විශාල එකතුවක් මත පදනම් ව, 2100 වන විට ගෝලීය උනුසුම සෙල්සියස් අංශක 2 දක්වා සීමා කරමින් සහ ප්‍රතිවිපාකවලට මුහුන දීම සඳහා අනුවර්තනීය පියවරයන් සඳහා ආයෝජනය කරමින්, ජනගහනයෙන් අතිමහත් බහුතරයකට බෙහෙවින් ඉහල ජීවන තත්වයක් ලබා දීමේ ද්‍රව්‍යමය හැකියාවක් පවතින බව එය පෙන්නුම් කරයි.
කෙසේ වෙතත්, කතුවරුන්, ධනය මත පදනම් වන ගෝලීය බදු (wealth taxes) සියයට 20 දක්වා සහ ගෝලීය ආදායම් බදු සියයට 90 දක්වා ඉහල නැංවීමට යෝජනා කරති. මෙය එ වැනි සියලු ප්‍රතිසංස්කරනවාදී දවල් සිහින වල නිෂ්ඵලභාවය ඔප්පු කරනවා පමනි.
මෙම බදු පනවන කතිපයාධිකාරය එක සතයක්වත් අත් නොහරිනු ඇත. ඇමරිකාවේ සහ ඉන් ඔබ්බේ බහු-මිලියනපති සහ බිලියනපති සාමාජිකයින් ඔප්පු කරමින් සිටින්නේ, තම වත්කම් ක්ෂය වීමට වඩා ඒකාධිපතිත්වයක් දැකීමට ඔවුන් කැමති බවයි. ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමමින්, පොසිල ඉන්ධන නිස්සාරනය කිරීමේ ධූර්තිය දිරිමත් කරන ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙම පන්ති යථාර්ථයේ දූෂිත පුද්ගල ප්‍රතිමූර්තියයි.
සුපිරි ධනවතුන් විසින් ඒකාධිකාරීකරනය කල සමාජ ධනය සහ ඒ සමඟම මානව වර්ගයාගේ ඉරනම මෙහෙයවීමේ බලය, කම්කරු පන්තියේ අරගලය හරහා අත්පත් කර ගත යුතු ය. ග්‍රහලෝකයේ දේශගුනය දැඩි ලෙස වෙනස් කිරීමට සමාජයට ප්‍රමානවත් නිෂ්පාදන බලයක් පවතින නමුත්, විශද ව පෙනෙන පරිදි, එහි සියලු ම පුරවැසියන් පෝෂනය කිරීමට සහ ආරක්ෂා කිරීමට නොහැකි තත්වය අවසන් කල හැක්කේ, ප්‍රජාතන්ත්‍රවාදී, විද්‍යාත්මක දැනුවත් සැලසුම්කරනය හරහා ම පමනි.
මෙය ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනයයි; එම අභියෝගය දැන්, ලැව්ගිනි හේතුවෙන්, තම නිවෙස්වලින් එලවා දමනු ලබන යුරෝපයේ කම්කරුවන් සහ ධනවාදයේ දේශගුනික අර්බුදයේ ප්‍රතිඵලවලින් තර්ජනයට ලක් ව ඇති මුලු ලෝකයේ ම කම්කරුවන් විසින් බාර ගත යුතු ය.
