කොලඹ සිට කිලෝමීටර් 13ක් පමන දුරින් පිහිටි මහර බන්ධනාගාරයේ රැඳවියන් දහස් ගනනක් විසින් අගෝස්තු 1 සහ 2දා සිරෙගවල් තුල දරාගත නොහැකි කොන්දේසිවලට විරෝධය පල කරමින් සහ මූලික පහසුකම් ඉල්ලා පැවැත්වූ විරෝධතාවක් මර්දනය කිරීමට ශ්‍රී ලංකා ආන්ඩුව, පොලිස් සහ හමුදා නිලධාරීන් සිය ගනනක් දිගේලි කලේ ය. එහි දී, හමුදා හා පොලිස් බලධාරීන් “තත්ත්වය යථා තත්ත්වයට පත් කල” බව ප්‍රකාශ කරමින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට කීවේ, එක් රැඳවියෙකු මියගොස් තවත් අට දෙනෙකු පමන බරපතල තුවාල ලබා ඇති බවයි.
මෙම සිදුවීම්, මාසයක් ඇතුලත ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක සිදු වූ එවැනි දෙවන ගැටුම යි. මීට පෙර මීගමුව බන්ධනාගාරයේ දින දෙකක් පුරා පැවති නොසන්සුන්තාව පොලිසිය සහ එහි කුප්‍රකට විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්) විසින් අමානුෂික ලෙස මර්දනය කරනු ලැබූ අතර, එහිදී රැඳවියන් 21 දෙනෙක් මරනයට පත් වූහ. බන්ධනාගාර නිලධාරීන් 14 දෙනෙකු ද එම ගැටුමේ දී මිය ගියහ.
අගෝස්තු 1දා පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාව මර්දනය කිරීමෙන් පසු ව, එදින සවස තවත් රැඳවියන්ගේ විරෝධතාවක් වර්ධනය වී අගෝස්තු 2 වැනිදා දක්වා දිග් ගැස්සී ගොස් තිබේ. වාර්තාවලට අනුව, මෙම නොසන්සුන්තාව හට ගෙන ඇත්තේ, විරෝධතාවට සහභාගී වූ රැඳවියන්ට බන්ධනාගාර නිලධාරීන් විසින් ඇතැම් රැඳවියන්ගේ සහාය ලබා ගනිමින් හිරිහැර කිරීම හේතුවෙනි.
මීගමුව බන්ධනාගාර කැරැල්ලෙන් පසුව සිදු කල ආකාරයට ම, රැඳවියන් භීතියට පත් කිරීම සඳහා ආන්ඩුව දැවැන්ත ආරක්ෂක බලකායක් යොදවමින් සමස්ත බන්ධනාගාරය සහ අවට ප්‍රදේශය යුද කලාපයක් බවට පරිවර්තනය කලේ ය. පොලිස් සහ එස්ටීඑෆ් නිලධාරීන් සිය ගනනක් මෙන් ම යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සෙබලු ද එහි යොදවනු ලැබූහ. තුවක්කු සවි කල සන්නද්ධ රථ බන්ධනාගාරය අවට සැරිසරන අතරේ, ගුවන් හමුදා හෙලිකොප්ටර් බන්ධනාගාරය සහ අවට ප්‍රදේශ වෙත සෝදිසි ආලෝක එල්ල කරමින් ඉහලින් පියාසර කලේ ය. අගෝස්තු 1දා රාත්‍රියේ සිට බන්ධනාගාරය ආසන්න ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබී ය. පසුදා මාර්ග බාධක ඉදිකර පොලිස් මුර සංචාර ද ක්‍රියාත්මක කරන ලදි.
අගෝස්තු 4දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධිකරන ඇමැති හර්ෂන නානායක්කාර මෙම මර්දනය සාධාරනීකරනය කිරීමට උත්සාහ කලේය. නොසන්සුන්තාව තුල “කඩාකප්පල්කාරී ක්‍රියාවක් සහ ගිනි තැබීමක් පිලිබඳ පැහැදිලි සලකුනු” දක්නට ලැබුනු බවත්, එය “පරිශ්‍රයේ පරිපාලනය අකර්මන්‍ය කිරීම සඳහා සංවිධානාත්මක උත්සාහයක්” බවත් ඔහු කියා සිටියේය. නානායක්කාර තවදුරටත් මෙසේ පැවසී ය: “මෙයින් ඔවුන්ට පැහැදිලි අරමුනක් තිබූ බව පෙනෙනවා… කිසියම් කුමන්ත්‍රනකරුවන් සිටී නම්, ඔවුන්ට එරෙහි ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.” පොලිසිය ඊටත් ඉදිරියට ගොස් චෝදනා ලැබූ “අපරාධකරුවන්ගේ” නම් ප්‍රකාශ කලේය.
නිල පැහැදිලි කිරීම අනුව, සෙනසුරාදා සවස අමුත්තන් මුනගැසීමට දෙන කාලයේ දී රැඳවියන් සිව් දෙනෙක් වහලක් මතට නැගීමෙන් අනතුරුව විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඉන්පසුව බන්ධනාගාර නිලධාරීන් විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කර ඇත. මිනිත්තු 15කට පසුව තවත් රැඳවියන් 1,000ක් පමන ඔවුන් සමඟ එක් වූ බව කියැවේ. එහෙත් එවැනි විරෝධතාවක් මුලින් ම ඇතිවීමට හේතුව කුමක්දැයි බලධාරීන් පැහැදිලි කර නැත.
නොසන්සුන්තාව පැවති පැය කිහිපය තුල, සිරකරුවන්ගේ පවුල් සාමාජිකයෝ බන්ධනාගාර දොරටුව අවට රැස් වූහ. ඔවුන්ගෙන් ඇතැමෙක් සිය ඥාතීන් බැලීමට පස්වරුවේ පැමින තිබුන ද ඔවුන්ට ඒ සඳහා අවසර ලබා දී නොතිබුනි. බන්ධනාගාර තුල ඇති කුරිරු මර්දනයේ ඉතිහාසය දැන සිටි තවත් ඥාතීහු, බිය හේතුවෙන් එහි පැමිනියහ.
මහර සිද්ධිය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක දී සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ (සීපීආර්පී) සභාපති සහ නීතිඥ සේනක පෙරේරා පැවසුවේ, දැනට මහර බන්ධනාගාරයේ රැඳවියන් 4,400කට වැඩි පිරිසක් රඳවා සිටින නමුත්, එහි පහසුකම් ඇත්තේ පුද්ගලයන් 900ක් පමනක් සඳහා බවයි.
ජාතික මට්ටමේ දී, රැඳවියන් 42,000කට වැඩි පිරිසක් රටපුරා සිරගෙවල්වල රඳවා සිටින අතර, සමස්ත බන්ධනාගාර පද්ධතිය ම සැලසුම් කර ඇත්තේ රැඳවියන් 11,762 දෙනෙකු සඳහා පමනි.
රැඳවියන් මුහුන දෙන දුක්ඛිත තත්ත්වය පැහැදිලි කරමින් පෙරේරා පැවසුවේ, ප්‍රමානවත් වැසිකිලි පහසුකම්, වාට්ටු ඉඩකඩ හෝ පානය සඳහා ප්‍රමානවත් ජලය නොමැති ව ඔවුන් ජීවත් වන්නේ, අන්ත අසරන තත්ත්වයක බවයි. සනීපාරක්ෂක කටයුතු සඳහා පවා ප්‍රමානවත් ජලය නොමැති බැවින් ලීටර් පහේ ජල කෑන් බන්ධනාගාරය තුලට ගෙන ඒමට සිදු ව තිබේ. ඇතැම් රැඳවියන්ට දින ගනනක් නින්දක් නොලබා සිට ගෙන සිටීමට පවා සිදුවන බව ඔහු පැවසී ය.
සීපීආර්පී කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා බන්ධනාගාර තුල පවතින වෙනස්කම් සහ දූෂිත ක්‍රියාපටිපාටි පෙන්වා දෙන අතරේ මෙසේ ද පැවසීය: “මූල්‍ය බලය සහිත මහා පරිමාන ජාවාරම්කරුවන්ට බන්ධනාගාරය තුල සුඛෝපභෝගී පහසුකම් සහ විශේෂ වරප්‍රසාද ලැබෙනවා. [එහෙත්] ගංජා කුඩා ප්‍රමානයක් හෝ හෙරොයින් කුඩා ප්‍රමානයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සාමාන්‍ය රැඳවියන්, රජයේ රස පරීක්ෂක වාර්තා පවා නොමැති ව වසර ගනනාවක් දුක් විඳිනවා.”
බන්ධනාගාරය අසල රැඳවියන්ගේ ඥාතීන් රැස්වීම “පූර්ව සැලසුම් කල” ක්‍රියාවක් බවට පොලිසිය කල ප්‍රකාශය ද ඔවුහු ප්‍රතික්ෂේප කලහ. සිය ඥාතීන්ගේ ආරක්ෂාව පිලිබඳ කනස්සල්ලට පත් ව සිටින පුද්ගලයන් එහි රැස්වීම ස්වාභාවික දෙයක් බව ඔවුහු පැවසූහ.
අගෝස්තු 2 දා ඩේලිමෝර්නිංග් පුවත්පතට අදහස් දක්වමින් සෙනක පෙරේරා නොසන්සුන්තාවට ක්ෂනික හේතුව පෙන්වා දෙමින් කියා සිටියේ, ඇතැම් “රැඳවියන් මෙම වෙනස්කම් සහගත සැලකීමට එරෙහි ව විරෝධය පල කල” බවයි. “විරෝධතාව පසුව සමනය වුනත්, ඉන් අනතුරුව රැඳවියන් කන්ඩායමක් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ඇති ව, විරෝධතාවට සහභාගී වූවන්ට තර්ජනය කරමින් හා හිරිහැර කරමින් සිටියා,” යැයි ඔහු පැවසී ය.
විරෝධතාව මර්දනය කිරීමෙන් අනතුරුව, බන්ධනාගාර බලධාරීන් රැඳවියන් 104 දෙනෙකු පමන දුම්බර, වැලිකඩ, කලුතර, බදුල්ල, පොලොන්නරුව, මඩකලපුව සහ බූස්ස ඇතුලු බන්ධනාගාර වෙත මාරු කර යවන ලදී. මෙයින්, බූස්ස, දැඩි ලෙස සීමා කරන ලද හා ස්වාධීන අධීක්ෂනයකට යටත් නැති, හමුදා පාලනය යටතේ පවතින බන්ධනාගාරයකිි. සීපීආර්පීයට අනුව, මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් පසු ව ශ්‍රී ලංකාවේ සමස්ත බන්ධනාගාර පද්ධතිය පුරා රැඳවියන්ට එරෙහි ව ක්‍රමානුකූල පලිගැනීම් සහ වධහිංසා පැමිනවීමේ බරපතල අවදානමක් පවතින බවට වාර්තා පලවෙමින් තිබිය දී මෙම මාරු කිරීම් සිදු කර ඇත.
සඳුදා රැස් වූ අමාත්‍ය මන්ඩලය, බන්ධනාගාරවල අධික තදබදය සමනය කිරීමේ අරමුනින් “සැකකරුවන් ලෙස හඳුනාගත් අය සහ වරදකරුවන් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ සිරගත කිරීම සඳහා නීත්‍යානුකූල විකල්පයක් ලෙස නිවාස අඩස්සිය හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් කිරීම කඩිනම් කිරීමට” අධිකරන අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාව වහා ම අනුමත කලේ ය.
මෙය අන් කිසිවක් නොව, රට පුරා බන්ධනාගාර පද්ධතිය තවදුරටත් පුලුල් කිරීමකි.
අනුප්‍රාප්තික ආන්ඩු විසින් රැඳවියන්ගේ ගැටුම් අමානුෂික ලෙස මර්දනය කර ඇති කුරිරු වාර්තාවක් පවතී. මෙම නොසන්සුන්තා බොහොමයක් පැන නැගී ඇත්තේ ජීවත් වීමට සුදුසු තත්ත්වයන් ඉල්ලා කරන ලද විරෝධතා හේතුවෙනි.
2020 නොවැම්බර් මාසයේ දී, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආන්ඩුව යටතේ, කොවිඩ්-19 වසංගතයෙන් තමන් ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂක පියවර ගන්නා ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වූ මහර බන්ධනාගාරයේම රැඳවියන් 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලද අතර තවත් දුසිම් ගනනක් තුවාල ලැබූහ.
2012දී වැලිකඩ බන්ධනාගාරයේදී ආරක්ෂක හමුදා, රැඳවියන් දුසිම් ගනනක් ඝාතනය කලෝ ය. 2011දී අනුරාධපුරයේදීත්, 2000දී කලුතරදීත් මෙවැනිම සමූහ ඝාතන සිදු විය. සෑම සිද්ධියකට ම පසු ව ම විමර්ශන කමිටු පත් කෙරුනද, ඒවා ක්‍රියාත්මක වූයේ යුක්තිය ඉටු කිරීමට නොව, යුක්තිය යටපත් කිරීමට ය.
අසරන සහ නිරායුධ රැඳවියන්ට එරෙහි ව මීගමුව බන්ධනාගාරයේ සිදු කල කුරිරු මර්දනයෙන් යන්තම් මාසයකට පසු ව, මහර බන්ධනාගාරයේ දියත් කල භීෂන ව්‍යාපාරය කම්කරු පන්තියට සහ දුගී ජනතාවට අනතුරු ඇඟවීමකි.
මහර බන්ධනාගාරයේ මර්දනය හුදකලා සිදුවීමක් හෝ හුදෙක් බන්ධනාගාරවල අධික තදබදයේ ප්‍රතිඵලයක් පමනක් නොවේ. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු ඉල්ලීම් ක්‍රියාත්මක කරන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව කම්කරුවන්ට සහ දුගී ජනතාවට එරෙහිව දියත් කරමින් සිටින පුලුල් ප්‍රහාරයේ කොටසකි.
ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරන දිසානායක ආන්ඩුව විදේශ නය ආපසු ගෙවීම අනුකම්පා විරහිත ව ක්‍රියාත්මක කරමින් මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ ආරක්ෂා කරමින් සිටී. සමාජ අර්බුදය ගැඹුරු වෙමින් විරෝධය වර්ධනය වන තරමට, ප්‍රතිරෝධය මර්දනය කිරීම සඳහා ආන්ඩුව පොලිසිය, හමුදාව සහ මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රනය මත වැඩි වැඩියෙන් රඳා පවතී.
ඒ අතර ම, මහර බන්ධනාගාරයේ නිරායුධ රැඳවියන්ට එරෙහි ව ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් හමුදා බලය ප්‍රචන්ඩ ලෙස යොදා ගැනීම, බන්ධනාගාර ප්‍රතිසංස්කරනය සහ බන්ධනාගාර වඩාත් කාර්යක්ෂම ව පරිපාලනය කිරීම පිලිබඳව ව්‍යාජ-වාම පක්ෂ වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය විසින් පල කරන ලද කනිපින්දම් ගැසීම්වල පල්ල යවා තිබේ.
රැඳවියන් අපරාධකරුවන් ලෙස හුවා දැක්වීමටත්, රාජ්‍ය ප්‍රචන්ඩත්වය සාධාරනීකරනය කිරීමටත් ආන්ඩුව දරන උත්සාහය, කම්කරුවන් මෙන් ම ගම්බද හා නාගරික දුගී ජනතාව විසින් ප්‍රතික්ෂේප කල යුතු ය.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල පවතින තත්ත්වයන්, මිලියන ගනනක් කම්කරුවන් සහ දුගී ජනතාව දරිද්‍රතාවට, අනාරක්ෂිතභාවයට සහ අහිමිභාවයට ඇද දමන එම සමාජ ක්‍රමයේම නිෂ්පාදනයකි.
