[මෙය Amid growing support for Ukrainian political prisoner Bogdan Syrotiuk, the New York Times maintains its guilty silence යන මැයෙන් 2026 ජූලි 17 දින ඉංග්‍රීසි බසින් පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
අගෝස්තු 10 වන සඳුදා, යුක්‍රේනයේ පර්වොමයිස්ක්හි උසාවියක්, යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක්, යුද නීතිය යටතේ අධි රාජද්‍රෝහී චෝදනාවකට වරදකරු කර, යුද්ධයට එරෙහි ව රුසියානු සහ යුක්‍රේන කම්කරුවන්ගේ එකමුතුව සඳහා කැඳවුම් කිරීම හේතුවෙන් ඔහුට වසර 15 ක සිර දඬුවමක් නියම කලේ ය.
තීන්දුවට සැලකිය යුතු, එ මෙන් ම පුලුල් ප්‍රතිචාරයක් ලැබුනි. යුක්‍රේනය සහ රුසියාව ඇතුලු රටවල් 40 කට වැඩි ගනනක 500 කට ආසන්න පිරිසක් බොග්ඩාන් නිදහස් කිරීම සඳහා වන පෙත්සමට සහ දඬුවම නියම කිරීමෙන් පසු ලිඛිත විරෝධතා ලිපිවලට අත්සන් තබා ඇති අතර, දැන් පෙත්සමේ නම් 6,000 කට වඩා තිබේ. ඉතිහාසඥයින්, වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ විශ්‍රාමිකයන්, සාවද්‍ය දන්ඩනය අවලංගු කරන ලෙස අධිකරනයෙන් ලිඛිත ව ඉල්ලා තිබේ.
මෙම ප්‍රතිචාරය, එක්සත් ජනපදයේ ප්‍රධාන මාධ්‍ය ආයතනවල සහ විශේෂයෙන් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ නිහඬතාවයට සපුරා ම වෙනස් ය. ටයිම්ස් පුවත්පත, 2024 අප්‍රේල් 25දා ඔහු අත්අඩංගුවට ගෙන සිරගත කිරීම හෝ අගෝස්තු 10දා ඔහුට දඬුවම් නියම කිරීම හෝ යන සිදුවීම් දෙක හා සම්බන්ධ නඩුව කිසි විටෙකත් වාර්තා කර නැත.
ටයිම්ස් පුවත්පතට එය දැන නොසිටි බවට නිදහසට කරුනු ඉදිරිපත් කල නොහැක. අගෝස්තු 11 වන අඟහරුවාදා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, නඩුව ඔහුගේ පුවත්පතේ ආවරනය කරන ලෙස ඉල්ලා ටයිම්ස් පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ පිලිප් පෑන් වෙත ලිපියක් යැවී ය. හරියට ම බොග්ඩාන්ට දඬුවම් නියම කල දිනයේ, ටයිම්ස් පුවත්පත 'රුසියානු අධිකරනය රටේ එකම යුද විරෝධී පක්ෂය පාර්ලිමේන්තු මැතිවරනයට තරඟ කිරීම තහනම් කරයි' යන මාතෘකාව යටතේ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති බව නෝර්ත් පෙන්වා දුන්නේ ය. එහි 2022 සමාජ මාධ්‍ය සටහනක් සඳහා යබ්ලොකෝ පක්ෂයේ නියෝජ්‍ය සභාපති මැක්සිම් කෘග්ලොව්ට ලබා දුන් වසර හතක සිර දඬුවම ගැන සඳහන් කර ඇති මුත්, එම කාලයට වඩා දෙගුනයකටත් වඩා දීර්ඝ සිර දඬුවමක් නියම කර ඇති යුක්‍රේන ජාතිකයා පිලිබඳ කිසිවක් මෙම පුවත්පත මුද්‍රනය කර නොමැති බව නෝර්ත් පෙන්වා දුන්නේ ය.
'රුසියාවේ යුද විරෝධී දේශපාලන ක්‍රියාකාරකම් මර්දනය කිරීම පිලිබඳ පුලුල් වාර්තාකරනයක් අවශ්‍ය වන්නේ නම්—එය නිසැක ව ම එසේ ය—එ ලෙස ම, යුද විරෝධී ලිපි ප්‍රකාශයට පත් කිරීම ඇතුලු ක්‍රියාකාරකම් සඳහා යුක්‍රේන සමාජවාදියෙකුට වසර 15 ක සිර දඬුවමක් නියම කිරීම සම්බන්ධයෙන් ද ඒ හා සමාන බැරෑරුම් පරීක්ෂාවක් අවශ්‍ය වේ,' යනුවෙන් නෝර්ත් ලිවී ය.
ටයිම්ස් පුවත්පත එයට පිලිතුරු දුන්නේ නැත. බොග්ඩාන්ට දඬුවම් නියම කිරීමෙන් සතියකට පසු, එය, 'රුසියාව විසින් රඳවා තබාගෙන සිටින යුක්‍රේන ජාතිකයෙකුට දැනෙන 'ඉවසිය නොහැකි' බිය' යන මාතෘකාව යටතේ—මිනිත්තු නවයක ශ්‍රව්‍ය අනුවාදයක් ද සමඟ—මුල් පිටුවේ ලිපියක් ප්‍රකාශයට පත් කලේ ය. 2023 මාර්තු මාසයේ දී, වාඩි ලා ගෙන සිටි මෙලිටොපොල් හි දී අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී චෝදනා මත රුසියානු අධිකරනයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කල යුක්‍රේන බැංකු සේවකයෙකු වන ආටෙම් මර්ඩිඩ් ගැන ද එය වාර්තා කරයි.
කියෙව්, බර්ලින් සහ මොස්කව්වල මාධ්‍යවේදීන් හතර දෙනෙක් මෙම පුවත වාර්තා කලහ. ටයිම්ස් පුවත්පතට, යුක්‍රේනය තුල, කියෙව්හි, නඩු විභාග කර බොග්ඩාන් සිරගත කර සිටින නිකොලෙව් කලාපයේ සිට දිනක ගමනක දුරින් සිටින වාර්තාකරුවන් සිටී.
මර්ඩිඩ්ගේ වධහිංසා පැමිනවීමේ විස්තරය 'සත්‍යාපනය කල නොහැකි' බවට එහි ම වචනවලින් ප්‍රකාශයට පත් කෙරෙන වාර්තාවක් ටයිම්ස් පුවත්පත මුද්‍රනය කලේ ය. ඒ, එය 'දුසිම් ගනනක වාර්තා සමඟ ගැලපෙන' බව කියමින් ප්‍රකාශනය සාධාරනීකරමිනි. නමුත් බොග්ඩාන්ගේ නඩුවට එවැනි සාධාරනීකරනයක් අවශ්‍ය නොවේ: තීන්දුව, කඩදාසි මත පවතින විශේෂඥ වාර්තාවක් වන ප්‍රසිද්ධ ලේඛනයකි. රාජද්‍රෝහී ලෙස සඳහන් කරන ලෝසවෙඅ ලිපි ප්‍රකාශයට පත් කර ඇති අතර ඕනෑ ම කෙනෙකුට කියවිය හැකිය. බොග්ඩාන් සයිරොටියුක් වෙනුවෙන් ටයිම්ස් පුවත්පත එක වාක්‍යයක්වත් ලියා නැත.
මර්ඩිඩ් වාර්තාව, රුසියානු රාජ්‍යයේ ස්වභාවය හෙලිදරව් කරන සාක්ෂි ලෙස, රුසියාව විසින් යුක්‍රේන සිවිල් වැසියන් සිරගත කිරීම—ටයිම්ස් පුවත්පතට අනුව ඔවුන් අතර, 'යුක්‍රේන හිතවාදී ගීත ගායනා කිරීම, යුක්‍රේන හිතවාදී අදහස් සමාජ මාධ්‍යවල පල කිරීම සහ යුක්‍රේන බැංකු ගිනුම්වලට මුදල් මාරු කිරීම වෙනුවෙන් අත්අඩංගුවට ගත්' පුද්ගලයින් සිටිති—ඉදිරිපත් කරයි. කෙසේ වෙතත්, එම වාර්තාව ම, යුද විරෝධී ලිපි ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් තමන්ගේ ම පුරවැසියන් සිරගත කර ඔවුන් සිරගෙවල්වල රඳවා තබන, වධහිංසාවලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව (UN Committee Against Torture) 2025 අප්‍රේල් මාසයේ දී සොයා ගත් පරිදි, තදබදය සහ ආහාර හා ජලය හිඟකම සහ මැතිවරන නොමැති ව යුද නීතිය යටතේ පාලනය කරන යුක්‍රේන රාජ්‍යයේ ස්වභාවය වසන් කරයි.
යුද්ධයට අදාල චෝදනා මත රුසියානු අත්අඩංගුවේ පසුවන යුක්‍රේනයේ 2,600 ක් පමන සිවිල් වැසියන් පිලිබඳව, මානව හිමිකම් සඳහා වූ මාධ්‍ය මුලපිරීම (Media Initiative for Human Rights) උපුටා දක්වන ටයිම්ස් වාර්තාවේ සඳහන් වන අතර ඔවුන්ගෙන් '900 කට ආසන්න සංඛ්‍යාවක්' චෝදනා ලැබ හෝ වරදකරුවන් වී ඇත. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට අනුව, යුද්ධය ආරම්භ වූ දා සිට යුක්‍රේනයේ රාජද්‍රෝහීත්වය සහ සහයෝගීතා නීති යටතේ අපරාධ නඩු 20,000 ක් පමන ගොනු කර තිබේ. මෙම සංඛ්‍යා දෙක, 'පුවත්පත් වාර්තාවලින්' පාඨකයින්ට දැන ගැනීමට අවසර දී ඇති දේ පිලිබඳ මිනුමකි. යුද කාලීන නඩු පැවරීම් පිලිබඳ එක් වාර්තාවක් මුල් පිටුවේ පල කර ඇති අතර, අනෙක හීන්සැරේ අමතක කර දමා තිබේ.
රුසියාවේ දේශපාලන හිංසනය පිලිබඳ ටයිම්ස් පුවත්පතේ වාර්තාකරනය අති දැවැන්ත වේ. රුසියානු බන්ධනාගාරවල රඳවා සිටින යුක්‍රේනියානුවන්—“වාඩි ලා ගෙන සිටින ප්‍රදේශවල කුරිරු රුසියානු මර්දනය ගැන යුක්‍රේනියානුවෝ කතා කරති” (2024 ඔක්තෝබර් 30), “රුසියාවේ නව ගුලාග් හි සහ දැන් මර්ඩිඩ් හි සිර වී සිටින යුක්‍රේනියානුවන්” (2025 නොවැම්බර් 29)—සහ යුද්ධය විවේචනය කිරීම වෙනුවෙන් සිරගත කර සිටින රුසියානුවන් පිලිබඳව පිලිබඳ වාර්තා මාලාවක් එම පුවත්පත ප්‍රකාශයට පත් කර ඇත. සඳුදා (17), එය, “ඡන්ද වීමසීමට සහභාගි වීම අවහිර කර ඇති සහ රුසියානුවන්ගේ අතෘප්තියට හේතුවක් වී ඇති පක්ෂයක් වන” තහනම් කරන ලද යබ්ලොකෝ පක්ෂය පිලිබඳ , සතියක් තුල එහි දෙවන වාර්තාව ප්‍රකාශයට පත් කලේ ය.
යුද්ධයේ වසර හතර හමාරක කාලය තුල, යුක්‍රේනයේ බන්ධනාගාරවල තත්වය පිලිබඳව හෝ යුක්‍රේන පුරවැසියන්ගේ දේශපාලන අදහස් නිසා ඔවුන්ට එරෙහි ව රාජද්‍රෝහී නඩු පැවරීම් පිලිබඳ වාර්තාවක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශයට පත් කර නැත. ඒ වෙනුවට එහි තීරු ලිපි රචකයින් ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, 2025 සැප්තැම්බර් 23දා තෝමස් ෆ්‍රීඩ්මන් තම සිරස්තලය තුල සඳහන් කල පරිදි, 'යුක්‍රේනියානුවන් තම ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීමට සටන් කරන තරම් ම ප්‍රල ආකාරයට' තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන ලෙසයි.
මෙම දෙබිඩි ප්‍රතිපත්තිය රුසියාව දුෂ්ටකරනය කිරීම සහ රුසියානු 'අධිකාරීවාදයට' එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටුවක් ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කිගේ ආඥාදායකත්වයට ඔජ වැඩීම අරමුනු කරගෙන දැනුවත් ව ගෙන යන යුද ප්‍රචාරක ප්‍රතිපත්තියකි. බොග්ඩාන්ගේ නඩුව එම ආඛ්‍යානය පුපුරවා හරින බැවින් ටයිම්ස් පුවත්පතට එය වාර්තා කල නොහැක.
2016 සිට ඇමරිකානු පාලක පන්තියේ ප්‍රධාන මාධ්‍ය උපකරනය වී ඇති ටයිම්ස් පුවත්පත, ඩිමොක්‍රටික් පක්ෂය සහ බුද්ධි අංශ මත කේන්ද්‍රගත වෙමින්, රුසියාව සමඟ ගැටුම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය ඉලක්කය බවට පත් කර ඇත. 2016 මැතිවරනයේ දී “රුසියානු මැදිහත්වීමක්” පිලිබඳ එහි උද්ඝෝෂනය, මොස්කව්වලට ප්‍රමානවත් තරම් සතුරු නොවීම වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දක්ෂිනාංශික ව පහර දුන් අතර, යුක්‍රේනයේ යුද්ධය සඳහා මහජන මතය සූදානම් කලේ ය. 2022 පෙබරවාරි මාසයේ සිට ටයිම්ස් පුවත්පත යුද-ප්‍රවර්ධන උද්ඝෝෂනයට නායකත්වය දී තිබේ.
රුසියාවට එරෙහි ව වඩාත් ප්‍රභල ඇමරිකානු මැදිහත්වීමක් වෙනුවෙන් බලපෑම් කරන බුද්ධි අංශවල සහ මිලිටරි සංස්ථාපිතයේ සැලකිය යුතු කොටසක මාධ්‍යවේදී ප්‍රමුඛයා එයයි. එම ස්ථරවලට ඔබ්බෙන්, ටයිම්ස් සහ ඩිමොක්‍රටික් පක්ෂය, රුසියාවට සතුරුවීම ගැඹුරින් ම දරමින් දැඩි ලෙස ම එම මතයේ එල්බී සිටින ඉහල මධ්‍යම පන්තියේ කොටස් වෙනුවෙන් කතා කරයි.
බුද්ධි අංශ සමඟ ටයිම්ස් පුවත්පතේ සම්බන්ධතාවය දශක ගනනාවක් පැරනි ය. 1977 ඔක්තෝම්බර් මාසයේ දී, ටයිම්ස් ප්‍රකාශක ආතර් හේස් සල්ස්බර්ගර්, '1950 ගනන්වල දී සීඅයිඒ සමඟ රහස්‍ය ගිවිසුමක් අත්සන් කර ඇති' බවටත්, සීඅයිඒ නිලධාරියෙකුට අනුව, එම පුවත්පත සීඅයිඒහි සේවය කරන්නන් සඳහා ආවරනයක් සපයා ඇති බවටත් කාල් බර්න්ස්ටයින්, රෝලිං ස්ටෝන් හි වාර්තා කලේ ය.
බොග්ඩාන්ට හිංසා පීඩා කිරීම සම්බන්ධයෙන් ටයිම්ස් පුවත්පතේ නිහඬතාව, මෙම භූමිකාවට සම්පූර්නයෙන්ම අනුකූල වේ. එහි අරමුන, රුසියාව සමඟ යුද්ධය උත්සන්න කිරීම සඳහා මහජන සහයෝගය රැස් කර ගැනීම අරමුනු කරගත් යුද ප්‍රචාරනය සම්පදානය කිරීම යි.
මෙම උත්සන්න වීම දැන් සිදු වෙමින් පවතී. මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින්ට අනුව, ඉරිදා (15) රාත්‍රියේ සිට යුක්‍රේනය මොස්කව් වෙත ඩ්‍රෝන යානා 600 ක් පමන දියත් කල අතර, එදිනම රාත්‍රියේ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා කියෙව් වෙත පහර දුන්නේය. බොග්ඩාන් සිරගත කරන ලද්දේ, එක්සත් ජනපද-නැටෝ යුද්ධයට විරුද්ධ වීම සහ රුසියානු ආක්‍රමනය ප්‍රතික්ෂේප කිරීම සඳහා යුක්‍රේන සහ රුසියානු කම්කරුවන්ගේ එක්සත්භවායට කැඳවුම් කිරීම හේතුවෙනි.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ සහ එය වෙනුවෙන් කතා කරන ඩිමොක්‍රටික් පක්ෂයේ කොටස්වල නිහඬතාවෙන් කම්කරුවන් පාඩම් උකහා ගත යුතුය. රුසියාව සමඟ යුද්ධයක දී වෙඩි උන්ඩ ලෙස ලෙස භාවිතා කරන යුක්‍රේන තරුනයින්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් මුලුමනින් කැපකර සිටින ඔවුහු, කතා කිරීමේ නිදහස ඇතුලු වඩාත් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පවා ආරක්ෂා කිරීම අතහැර දමා ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ගෝලීය යුද්ධයට විරුද්ධ වීමට උත්සාහ කරන කම්කරුවන් සහ තරුනයින් දේශපාලන සංස්ථාපිතයේ සෑම කන්ඩායමකින් ම සහ සෑම සංගත මාධ්‍ය හොරනෑවකින් ම ස්වාධීනව සංවිධානය විය යුතු ය. බොග්ඩාන් ආරක්ෂා කිරීමත්, යුක්‍රේනයේ සහ අනෙකුත් සෑම තැනක ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් පැවරෙන්නේ කම්කරු පන්තියටයි.
බොග්ඩාන්ගේ විත්ති පාර්ශ්වයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැප්තැම්බර් 9දා දක්වා කාලය ලබා දී ඇති අතර, 2025 වසන්තයේ දී ඔහු යුරෝපීය මානව හිමිකම් අධිකරනයේ ගොනු කරන ලද, රඳවා තබා ගැනීමට විරුද්ධ ව කෙරුනු අභියෝගය තවමත් විභාග වෙමින් පවතී.
නම් ද, wsws.org/freebogdan ට එකතු කරන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය තම පාඨකයින්ගෙන් ඉල්ලා සිටී. දඬුවම ඉවත දමා බොග්ඩාන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා, inbox@pm.mk.court.gov.ua හරහා Pervomaisk නගර දිස්ත්‍රික් අධිකරනයට සහ නිකොලෙව් අභියාචනාධිකරනයට ලියන අතර එහි පිටපත් freebogdan@wsws.org වෙත යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
