සමාජවාදී සමානතා පක්ෂයේ නව වන සම්මේලනයට ඉදිරිපත් කල වාර්තාව

සමාජවාදී විප්ලවයේ දශකය පිලිබඳ තක්සේරුවක් හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයන් 

2026 අගෝස්තු 2 සිට 7 දා දක්වා පැවැත්වුනු, සමාජවාදී සමානතා පක්ෂයේ (ඇමරිකා එක්සත් ජනපදය) 9 වන ජාතික සම්මේලනයට එහි ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද ආරම්භක වාර්තාව පහත පල කරමු. “සමාජවාදී සමානතා පක්ෂය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය” නම් ඒකමතික ව සම්මත වූ පලමු යෝජනාව හඳුන්වා දෙන ලද්දේ මෙම වාර්තාවෙනි. මෙය 2026 අගෝස්තු 11 වැනි දින An assessment of the decade of socialist revolution and the tasks of the Socialist Equality Party මැයෙන් ඉංග්‍රීසි බසින් පල විය.

ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් 

1. සමාජවාදී සමානතා පක්ෂයේ නව වන සම්මේලනය රැස් වෙන්නේ, එක්සත් ජනපද සහ ලෝක දේශපාලන ඉතිහාසයේ තීරනාත්මක සන්ධිස්ථානයක—එනම්, යුද්ධය සහ ආර්ථික අර්බුදය, වේගයෙන් වර්ධනය වන සමාජ රැඩිකලීකරනයක් සමග අන්තර්ඡේදනය වන ස්ථානයක — සිට ය. 'හදිසි ප්‍රහාරක’ බෝම්බ හෙලීමේ කුරිරු උපාය මාර්ගය මත දශක තුන හමාරක් පුරා ගොඩනැගුනු ඇමරිකානු අනභිභවනීයත්වයේ ප්‍රභාව බිඳ වැටී ඇත.

2. පාලක පන්තිය ට්‍රම්ප් බලයේ පිහිටුවා තැබුවේ කතිපයාධිකාරයේ ඕනෑ එපාකම්, චාරයක් නැති පාතාලයා විසින් ඉතා හොඳින් රැක බලා ගනු ඇත යන විශ්වාසයෙනි. ඇමරිකානු දේශපාලනය පිලිබඳ වැදගත් ම සමකාලීන ග්‍රන්ථය වන “කතිපයාධිකාරය: ට්‍රම්ප් සහ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම” නම් කෘතියේ පෙරවදන පහත සඳහන් ප්‍රශ්න අසයි:

“එවැනි මනුෂ්‍යයකු රාජ්‍ය බලයේ තැබුවේ කවර සමාජ හා ආර්ථික ක්‍රියාවලීන්ගේ සංයෝගයක් විසින් ද? දශකයක් තිස්සේ වෙනත් ඕනෑ ම ඇමරිකානු දේශපාලකයෙකුගේ මුලු දේශපාලන ජීවිතයට ම තිත තබනු ඇති නින්දිත චර්යා සහ අපරාධ නොතකා ඔහු පෝෂනය කොට පවත්වා ගත්තේ කුමක් විසින් ද? සියල්ලට ම ත් වඩා, ඔහු රාජ්‍ය පාලනය කරන්නේ කවුරුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් ද? 

අවසාන ප්‍රශ්නයට පිලිතුර, කිසි ම ව්‍යාකූලත්වයකට ඉඩක් තබන්නේ නැත. ට්‍රම්ප් වනාහි, එක්සත් ජනපදය පාලනය කිරීමට පැමින සිටින, මානව ඉතිහාසයේ නොවූ විරූ ධනස්කන්ධයක් ගොඩගසාගෙන සිටින, තම අවශ්‍යතා නිසා ම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආකෘතීන්ට සම්මුති විරහිත ව සතුරු, සංගත මූල්‍ය සංස්ථාවල දේශපාලන හස්තය යි…”[1]

3. එක්සත් ජනපද ඒකාබද්ධ (සන්ධීය) රාජ්‍යය විනාශ කිරීමට තර්ජනය කරමින් සිටි වහල් තන්ත්‍රය පරාජය කිරීම සඳහා වූ අරගලයේ දී තවමත් ලාබාල ඇමරිකානු ධනේශ්වරය තමන්ට අවශ්‍ය නායකයා - ඒබ්‍රහම් ලින්කන් - ඉලිනෝයි ප්‍රාන්තයේ ප්‍රෙයරි තෘනභූමිවල පිහිටි කුඩා නගරයක් වූ ස්ප්‍රිංෆීල්ඩ් හි සිට සොයා ගත්තේ ය. 1930 ගනන්වල මහා අවපාතය මධ්‍යයේ තවමත් ඉහල නගිමින් සිටි ඇමරිකානු අධිරාජ්‍යවාදයට, ෆ්‍රෑන්ක්ලින් ඩිලානෝ රූස්වෙල්ට් තරමේ කාර්යශුරත්වය සහිත දේශපාලනඥයකු බිහි කිරීමට හැකියාව තිබුනි. නමුත් අද, ඇමරිකානු පාලක පන්තියේ අන්ත ජරාජීර්නවීමේ අශික්ෂිත ම ප්‍රකාශනය, ස්කෝසේසේ ගේ චිත්‍රපටියක චරිතයක් වැනි ජනාධිපතියකු සොයාගැනීම තුලින් ප්‍රකාශයට පත් වේ. 

4. නමුත් ට්‍රම්ප්ගේ නිව්යෝක් නගරයේ පාතාල ඉඩම් ගනුදෙනු හා ඇට්ලන්ටා නුවර කැසිනෝවල පලපුරුද්ද, ඉරානයට විරුද්ධ සාපරාධී යුද්ධයේ විනාශකාරී පලවිපාකවලට මුහුනදීමට ඔහු සූදානම් කර තිබුනේ නැත. අන්ද මන්ද ව, අපකීර්තියට පත් ව සිටින්නේ ට්‍රම්ප් පරිපාලනය පමනක් නොවේ. මේ යුද්ධය, ද්වි පක්ෂ සහයෝගය ලැබූ යුද්ධයකි. ඩිමොක්‍රටික් පක්ෂය මුල් බෝම්බ දැමීම හා ඉරාන ආන්ඩුවේ හිස ගසා දැමීම සාදරයෙන් පිලිගත්තේ ය. වෝල් ස්ට්‍රීට් ජර්නලයේ “බලය පාවිච්චි කිරීමෙන් ප්‍රතිපල ලබා ගත හැකි ය” යන අපකීර්තිමත් වචන තුල සාරාංශගත වී තිබෙන පසුගිය 35 වසරක එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වූ මූලෝපාය, දැන් කුඩු පට්ටම් වී ඇත. 

2025 දෙසැම්බර් 2 වැනි දා, ධවල මන්දිරයේ දී කැබිනට් රැස්වීමක් අතරතුර කතා කරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. වමේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ දකුනේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් බලා සිටිති. [AP Photo/Julia Demaree Nikhinson]

5. ඉරානයේ දී කුජීත වීම සමස්ත ඇමරිකානු හා ජාත්‍යන්තර දේශපාලන පද්ධතිය හරහා ම කම්පන තරංග යවනු ඇත. ආරම්භක ආර්ථික හා දේශපාලන චලනයන් දැනට ම දැනෙන්නට පටන් ගෙන තිබේ. එහි එක් ක්ෂනික ප්‍රතිපලයක් නම් පවතින්නා වූ ධනවාදය මත පදනම් වූ සමාජ ක්‍රමයේ — එනම් එහි ද්වි පක්ෂ ක්‍රමයේ, සංගත සමාගම් විසින් පාලනය කරන ජන මාධ්‍යවල, දූෂිත ශාස්ත්‍රාලවල, නිලධාරිවාදී වෘත්තීය සමිති තන්ත්‍රයේ, සහ අනන්‍යතාව උමතුවක් කරගත් ධනවත් ව්‍යාජ වමේ සහ බුද්ධිමය වශයෙන් පිරිහුනු සංස්කෘතියේ — කුනුකම හෙලිදරව් වීමයි. 

6. යුද්ධය පුලුල් ක්‍රියාවලීන්ට සම්බන්ධයක් නැති හුදෙකලා සිද්ධියක් නොවේ. මිලිටරි පරාජය, සමාජ රැඩිකලීකරනය හා දේශපාලන අර්බුදය එකට හමුවීම, අහම්බයක් හෝ අහසින් කඩා වැටුනු දෙයක් නොවේ. එය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කල්තබා දුටු, විෂ්ලේෂනය කල, ඇමරිකානු හා ලෝක ධනවාදයේ ප්‍රතිවිරෝධයන්ගේ ප්‍රතිපලයයි. ඒ නිසා මෙම සම්මේලනයේ වැඩ කටයුතු පක්ෂයේ වැඩ කටයුතු වලට මග පෙන් වූ ඉදිරි දර්ශනය පරීක්ෂාවට ලක් කිරීමකින් ආරම්භ විය යුතුය.

I. සමාජවාදී විප්ලවයේ දශකය

7. 2020 වර්ෂයේ ජනවාරි 3 දින ලෝසවෙඅ, තම අලුත් අවුරුදු ප්‍රකාශනය “සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹේ” නමින් ප්‍රකාශයට පත් කලේ ය. එතැන් පටන් ගත වූ වසර හය හමාර තුල, එම ප්‍රකාශනය, කැලැන්ඩරය දෙසට ඇඟිල්ල දික් කිරීම පමනක් තම විධික්‍රමය කරගත් කිසියම් විවේචන ශානරයක අවධානය ආකර්ශනය කර ගත්තේ ය. 

ලොව කොතැනකවත් කම්කරු රාජ්‍යයක් බිහි වී නැත; එ නිසා එම හෙඩිම නිශ්ප්‍රභ වී තිබේ. එම තර්කය, ලියවිල්ලේ ඇත්තට ම අන්තර්ගත එකම වාක්‍යයක්වත් සැලකිල්ලට නොගනී. 

8. මෙම ශානරය එහි විස්තාරිත ශාස්ත්‍රාලීය ප්‍රකාශනය ලබා ගන්නේ ජෝන් කෙලී ගේ “ලෝක ට්‍රොට්ස්කිවාදයේ සැඳෑ සමය” නම් වූ කෘතිය තුල ය. එය ට්‍රොට්ස්කිවාදය වනාහි අභාවයට යාමට නියමිත ඓතිහාසික නෂ්ඨාවශේෂයක්‍ ය යන ප්‍රවාදය ඉදිරිපත් කිරීම සඳහා සහ 2020 ඉදිරි දර්ශනය විශේෂයෙන් හෙලා දැකීම සඳහා වෙන්කල වෙලුමකි. කෙලී මෙසේ ලියයි:

“තමන් ගේ ම ආධානග්‍රාහිත්වය තුල හුලං නොවදින ලෙස සීල් තබා ගෙන හිර වී, භූමියට බැස කල යුතු ප්‍රත්‍යක්ෂමූල පර්යේෂනවලට සතුරු, සම්මත ට්‍රොට්ස්කිවාදී සංවිධාන විසිවන සියවසේ මුල් භාගයේ දී පාවිච්චි කල සටන් පාඨ හා ප්‍රතිපත්තිවලට සඳහට ම හිර වී ඒවා තුල පමනක් ම තමන් ධනේශ්වර ලෝකයට ලෙනින්වාදී ප්‍රහාරය එල්ල කරන මහජන විප්ලවවාදී පක්ෂ බවට පරිවර්තනය කරන්නා වූ යතුර ඇතැයි ඒත්තු ගෙන සිටිති…”[2] 

9. ඉහත කී ඡේදය, නව-ස්ටැලින්වාදයේ සහ ඊට සම්බන්ධිත ව ශාස්ත්‍රීය ලෝකය තුල සරුවට වැවෙන විවිධ සුලු ධනපති දේශපාලන ආකෘතීන්ගේ බුද්ධිමය හා දේශපාලන බංකොලොත්භාවය විදහා දක්වයි. චෝදනා පත්‍රයේ සෑම මූල අවයවයක් ම යථාර්ථය යටිකුරු කරයි. කෙලී ආධානග්‍රාහිත්වය ලෙස සමච්චලයට ලක් කරන්නේ, විද්‍යාත්මක විග්‍රහයක් කිරීමට හැකියාව දෙන එක ම න්‍යායික පදනම වන මාක්ස්වාදයේ ඓතිහාසික අඛන්ඩතාව ආරක්ෂා කිරීමයි. ඔහු, තමන් ම කරනවා යයි කී “ප්‍රත්‍යක්ෂමූල පර්යේෂනය” විසින්, 1945 න් පසු ලෝක ධනවාදය මුහුන දුන් ගැඹුරු ම අර්බුදය දොරකඩ දී ට්‍රොට්ස්කිවාදයේ සැඳෑ සමය ගැන  පොතක් නිපදවා ඇත. 

10. කෙලී සමච්චලයට ලක්  කරන “සටන් පාඨ සහ ප්‍රතිපත්ති” වනාහි අධිරාජ්‍යවාදී යුගයේ සමාජවාදී විප්ලවයේ මූලෝපායික හා ක්‍රියාමාර්ගික පදනම් ය. කෙලී විරෝධය පාන “ආධානග්‍රාහිත්වය” ට උදාහරන කීපයක් අපි දක්වමු :

වර්තමාන යුද්ධය වනාහී, මූලයෙන් ම ගත් කල, නිෂ්පාදන බලවේග විසින් ජාතිය හා රාජ්‍යය යන දේශපාලන ආකෘතියට එරෙහිව ගසන ලද කැරැල්ලයි. යුද්ධයේ සැබෑ, වෛෂයික වැදගත්කම වන්නේ වර්තමාන ජාතික නිෂ්පාදන මධ්‍යස්ථාන බිඳ වැටී ගෝලීය ආර්ථිකයක් විසින් එම තැන අත්පත් කර ගැනීමයි. නමුත් ආන්ඩු, අධිරාජ්‍යවාදය පිලිබඳ ප්‍රශ්නය විසඳන්නට යෝජනා කරන්නේ සමස්ත මනුෂ්‍ය වර්ගයා ගේ ම නිෂ්පාදකයන් ගේ බුද්ධිමත්, සංවිධිත සහයෝගය තුලින් නොව, ජයග්‍රාහී රටේ ධනපති පන්තිය විසින් ලෝක ආර්ථික පද්ධතිය සූරාකෑම තුලිනි. [ට්‍රොට්ස්කි, යුද්ධය සහ ජාත්‍යන්තරය, 1915]

අධිරාජ්‍යවාදය පරපෝෂිතයෙක්‍ ය යන කාරනය හෝ එය ජරපත් වෙමින් පවතින ධනවාදය බව සියල්ලට ම පෙර ප්‍රකාශිත වන්නේ, නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතිය මත පදනම් වන සෑම ඒකාධිකාරයක ම තිබෙන කුනු වී යාමට තිබෙන ප්‍රවනතාවය හැටියට ය. ඩිමොක්‍රටික-රිපබ්ලිකානු අධිරාජ්‍යවාදී ධනේශ්වරය හා ප්‍රතිගාමී-රාජාන්ඩුවාදී අධිරාජ්‍යවාදී ධනේශ්වරය යන දෙක අතර වෙනස මැකී ඇත්තේ, හරියට ම, ඒ දෙක ම පන පිටින් කුනු වෙමින් පවතින නිසා ය. අධිරාජ්‍යවාදය, හැම විට ම අංග ලක්ෂිත කරන කාරනයක් වූයේ දේශපාලන ප්‍රතිගාමීත්වයයි. [ලෙනින්, අධිරාජ්‍යවාදය හා සමාජවාදය තුල භේදය, 1916]

11. පසුගිය සියවසේ මුල් කාර්තුවේ සීමා මායිමේ සිට වර්ෂ කීපයක් එ පිටට ගොස් විප්ලවවාදී මූලෝපායේ අත්‍යවශ්‍ය පදනම ලෙස තවමත් පවතින, අපේ “න්‍යායේ එල්ලී සිටීම” යයි  කියන දෙය සුලක්ෂනය කරන තවත් ඡේද කීපයක් (කෙලීගේ විරෝධය නොතකා) උපුටා දක්වමි. 

“අධිරාජ්‍යවාදයේ යුගය වන අපේ යුගයේ දී, එනම්, මූල්‍ය ප්‍රාග්ධනයේ අධිකාරිත්වය යටතේ ලෝක ආර්ථිකයක් සහ ලෝක දේශපාලනයක් පවතින අපේ යුගයේ දී, එකදු කොමියුනිස්ට් පක්ෂයකටවත් තමන්ගේ ක්‍රියා මාර්ගය, තනිකර ම හෝ ප්‍රධාන වශයෙන් තමන් ගේ ම රටේ පවතින තත්වයන්ගෙන් හා වර්ධනයන් ගේ ප්‍රවනතාවලින් තහවුරු කර ගත නොහැකි ය. 

ජාත්‍යන්තර ක්‍රියා මාර්ගය ආරම්භ විය යුත්තේ සෘජු ව ම, එහි සියලු ම අන්තර් සම්බන්ධතා සහ ප්‍රතිවිරෝධතාවන් සමග, එනම් එහි කොටස් අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් පසමිතුරු අන්තර් රැඳියාව සහිතව සැලකිල්ලට ගන්නා ලෝක ආර්ථිකයේ හා ලෝක දේශපාලන පද්ධතියේ පවතින තත්වයන් හා ප්‍රවනතාවන් පිලිබඳ විෂ්ලේෂනයකිනි. වර්තමාන යුගයේ දී, අතීත යුගයන්ට වඩා විශාල දුරකට, නිර්ධන පන්තියේ ජාතික දිශානතිය ගලා ආ යුත්තේ ලෝක දිශානතියෙන් මිස අනෙක් අතට නොවේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය හා සියලු වර්ගවල ජාතික සමාජවාදයන් අතර පවතින මූලික හා ප්‍රාථමික වෙනස ඇත්තේ මෙතැන ය…” [ට්‍රොට්ස්කි, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කෙටුම්පත් ක්‍රියා මාර්ගය පිලිබඳ විවේචනයක්, 1928]

අර්බුද කාලයේ දී එක්සත් ජනපදයේ අධිකාරිත්වය උත්පාත  කාලවලට වඩා සම්පූර්න ලෙසත්,  වඩා විවෘත ලෙසත්, වඩා කුරිරු ලෙසත්, ක්‍රියාත්මක වනු ඇත. එක්සත් ජනපදය, තමන් මුහුන දී සිටින දුෂ්කරතා සහ රෝගාබාධ ජය ගැනීමට හා ඒවායින් මිදීමට බලාපොරොත්තු වනු ඇත්තේ — එය සිදුවන්නේ ආසියාවේ දී ද, කැනඩාවේ දී ද, දකුනු ඇමරිකාවේ දී ද, ඔස්ට්‍රේලියාවේ දී ද, නැත්නම් යුරෝපය තුල දී ම ද යන්න නොතකා, එය සිදු වන්නේ සාමයෙන් ද යුද්ධයෙන් ද යන්න නොතකා — ප්‍රාථමික වශයෙන් ම යුරෝපයේ වියදම මතිනි…” [ට්‍රොට්ස්කි, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කෙටුම්පත් ක්‍රියා මාර්ගය පිලිබඳ විවේචනයක්, 1928]

“සමාජවාදී විප්ලවය ජාතික තලයේ ඇරඹේ; ජාත්‍යන්තර තලයේ දී දිග හැරේ; ලෝක තලයේ දී  සම්පූර්න වේ. මෙ නයින්, සමාජවාදී විප්ලවය  වචනයේ අලුත් හා වඩා පුලුල් අර්ථයකින් නොනවතින විප්ලවයක් වනු ඇත; එය පරිපූර්නත්වය ලබනු ඇත්තේ අපේ සමස්ත ග්‍රහලෝකය පුරා ම නව සමාජ ක්‍රමයේ ජයග්‍රහනය තුලින් පමනකි…” [ට්‍රොට්ස්කි, “නොනවතින විප්ලවය යනු කුමක්ද?” 1930]

“ජාතික ආරක්ෂාව ගැන දෙසා බාන සෑම “සමාජවාදියකු” ම කුනු වෙන ධනවාදයට කත් අදින සුලු- ධනේශ්වර ප්‍රතිගාමියෙකි. යුද්ධ කාලයේ දී ජාතික රාජ්‍යයට ගැට ගැසී නොසිටීමටත්, යුද්ධ සිතියම දෙස නොව පන්ති අරගලයේ සිතියම දෙස සැලකිල්ලෙන් බලා සිටීමටත්, හැකියාව ඇත්තේ සාම කාලයේ දී ත් ජාතික රාජ්‍යය මත අශමනීය යුද්ධය ප්‍රකාශ කර තිබෙන පක්ෂයට පමනි. නිර්ධන පන්තික පෙරමුනු බල ඇනියට, සියලු ආකාරවල සමාජ  දේශප්‍රේමයන්ට යට නොවී සිටීමට ප්‍රතිශක්තිය ලැබෙනු ඇත්තේ අධිරාජ්‍යවාදී රාජ්‍යයේ වෛෂයික ව ප්‍රතිගාමී වන කාර්ය භාරය සම්පූර්නයෙන් අවබෝධ කර ගෙන සිටීමෙන් පමනකි. “මෙයින් අදහස් වන්නේ “ජාතික ආරක්ෂාව” පිලිබඳ දෘෂ්ටිවාදයෙනුත් එහි ප්‍රතිපත්ති වලිනුත් සැබෑ කැඩීමක් ඇති කරගත හැක්කේ ජාත්‍යන්තර නිර්ධන පන්ති විප්ලවයේ ආස්ථානයෙන් පමනක් බවයි... ” [ට්‍රොට්ස්කි, යුද්ධය හා හතරවන ජාත්‍යන්තරය, 1934]

ලෙනින් (1920 මැයි මාසයේ දී) ජනකායක් අමතමින්, වේදිකාවේ ඊලඟට ට්‍රොට්ස්කි සිටගෙන සිටී

12.  විසිවන සියවසේ පලමු කාර්තුවේ හා මුල් තුනෙන් පංගුවේ මෙම සංකල්ප, අපි විසි එක්වන සියවසේ තීරනාත්මක දෙවන කාර්තුව පටන් ගන්නා විටත් මාක්ස්වාදී මූලෝපායේ අත්තිවාරම ලෙස පවතී. වර්ෂ අනූවක් තිස්සේ ට්‍රොට්ස්කිවාදයේ අතුරුදන් වීම පුරෝකථනය කරමින් සිටින, පලමුව එහි කේඩර ද ඉන්පසු තමන් ම ද අතුරුදන් කල ස්ටැලින්වාදී ව්‍යාපාරය සමග තමන්ගේ ම දේශපාලන ඥාතිත්වයක් ඇති කෙලී, සිද්ධීන් විසින් නිරවද්‍යභාවය ඔප්පු කර තිබෙන ඉදිරි දර්ශනයක් හිමි දේශපාලන ප්‍රවනතාවයේ මලගම ගැන මරන දැන්වීම් රචනා කරයි. නමුත් ට්‍රොට්ස්කිවාදයේ න්‍යාය- ගැතිකමට එරෙහි ව කෙලී මහතා ඉදිරිපත් කරන විකල්පය, ඊට ලැබිය යුතු සාධාරන සැලකිල්ල නොදී ඒ මහතාව හෙලා නොදැකිය යුත්තේ ය. ඔහු අපට මෙසේ දැනුම් දෙයි :

“කම්කරු පන්ති දේශපාලනය,  ප්‍රතිසංස්කරනවාදී සමාජවාදයට එරෙහි ව විප්ලවවාදී සමාජවාදය වශයෙන් කාන්ඩ දෙකකට පමනක් බෙදා වෙන් කිරීම ඊටත් වඩා වැදගත් වන තුන්වන ධාරාවක්, එනම් ධනවාදයේ පරාමිතීන් තුල ම ජීවන තත්වයන් දියුනු පමුනු කිරීමේ මාර්ගයන් සොයන “සමාජ ප්‍රතිසංස්කරනවාදය”  අතහැර දමයි...”[3]

13. රෝසා ලක්සම්බර්ග්, එඩ්වඩ් බර්න්ස්ටයින්ට 1898 දී ප්‍රතිසංස්කරනය ද විප්ලවය ද හි ලියූ පිලිතුර කෙලී මහතා ප්‍රවේසමෙන් කියවා නැතැයි මම සිතමි. කෙසේ වෙතත්, 2022 දී  තම පොත එලි දැක්වූ කෙලී, සමාජ ප්‍රතිසංස්කරනය පිලිබඳ තම  දැක්මේ ස්ව-ශක්තතාව ඔප්පු කිරීම සඳහා ලතින් ඇමරිකාව ගෙනහැර දැක්වීම පුදුමාකාර ය. නමුත්, පසුගිය සියක් වසරක ඉතිහාසය විසින් තබා, පසුගිය පස් වසරේ ඉතිහාසය විසින් වත් ඔහුගේ ඉදිරි දර්ශනය, ලතින් අමෙරිකාවේ දී හෝ යුරෝපයේ දී හෝ වෙන කොතැනක දී හෝ  සනාථ කර තිබේ ද? 

14. කෙලී විසින් විප්ලවය ඓතිහාසික ලේඛනාගාරවලට තල්ලු කර දැමීමෙන් පසු ගත වූ සිවු වසර තුල, ජීවන තතු සාමකාමී ව දියුනු පමුනු කරනවා යයි ඔහු කී “ධනවාදයේ පරාමිතීන්” ඒවායේ සැබෑ අන්තර්ගතය හෙලිදරව් කර තිබේ: ඔහු සිහින ලොවක දී  දුටු, වසර කීපයකට පෙර තමන්  මහත් ප්‍රහර්ෂයට පත් කල ප්‍රජාතන්ත්‍රීයකරනය වූ ලතින් ඇමරිකාව  දෙස බලන්න: ලීමා නුවර මුදුනේ ෆුජිමෝරි ජනපති අසුන් අරා සිටී; සන්තියාගෝ නුවර පාලකයා පිනෝෂෙවාදියෙකි: බුවනෝස් අයර්ස් නුවර සිටින්නේ විදුලි කියතක් අමෝරා ගත් ජුන්ටා පාලනය අගය කරන්නෙකි —කැරකස් නුවර පාලනය කරන්නේ ඇමරිකානු කොමාන්ඩෝ සෙබලුන් විසින් රාජ්‍ය නායකයා පැහැර ගෙන ගොස් පිහිට වූ රටේ තෙල් සම්පත වෝල් වීදියට බාර දුන් තාවකාලික ආන්ඩුවකි.

15. “සමාජ ප්‍රතිසංස්කරනය සඳහා” පරමාදර්ශයන් ලෙස ඔහු හුවා දැක් වූ, ධනවාදයට ප්‍රතිසංස්කරනය වීමට තිබෙන විභවය පෙන්වීමට සාක්ෂි ලෙස ඔහු ලැයිස්තුගත කල ආඥා චක්‍රලේඛ ආදිය නිකුත් කල, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සුභ සාධක රාජ්‍යයේ ඉතිරි නෂ්ඨාවශේෂ ගලවා ඉවත් කරමින් යුරෝපය යලි සන්නද්ධ කරමින් සිටී. ට්‍රොට්ස්කිවාදය, නිරර්ථක ලෙස, කිසිදා ජයග්‍රහනය කල නොහැකි ක්‍රියා මාර්ගයක් පෙරට දමමින් සිටිතැයි කෙලී කියයි. 

16. සැලකිය යුතු තරමේ සාධාරනත්වයක් ඇති ව අපට මෙසේ පිලිතුරු දිය හැකි ය: කෙලීගේ වාදයේ සෑම තර්කාංගයක් ම — ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය කල් පවතීය යන්න, ලෝක යුද්ධයක් සිදුවීමට ඉඩක් නොමැත යන්න සහ විප්ලවවාදී යුගය කල් ඉකුත් වී ඇත යන්න ආදිය, සිදුවීම් විසින් නිෂ්ප්‍රභ කර තිබේ. පෙනෙන හැටියට, ජීවිතයේ සැඳෑ සමයේ මලහිරු රැස් පතිත වී තිබෙන්නේ හතරවන ජාත්‍යන්තරය මත නොව එහි මලගම ලියූවන්ගේ මිථ්‍යා විශ්වාසයන් මත ය. 

17. අපේ 2020 ප්‍රකාශනයේ ආරම්භක වාක්‍යය මෙසේ ය:  “නව වසරේ සම්ප්‍රාප්තිය තීව්‍ර වන පන්ති අරගලයේ හා ලෝක සමාජවාදී විප්ලවයේ දශකයක ආරම්භය සනිටුහන් කරයි” මේ වාක්‍යයේ බලාත්මක වචන වන්නේ “ආරම්භය සනිටුහන් කරයි...” යන ඒවා ය. ප්‍රකාශනය වෛෂයික තත්වය හා එහි ගමන් දිසාව අනුලක්ෂනය කලේ ය. එය අනාගත විප්ලවවාදී නැගිටීම්වල කාල සටහනක් නිකුත් කලේ නැත. අපි දශකය ආරම්භයේ දී පදනම් වූ ඉදිරි දර්ශනය ගත වූ පස් වසර තුල සනාථ වී තිබේ.

18. දශකයේ මධ්‍ය ලක්ෂයේ සිට එක් අවුරුද්දක් ඉදිරියට ලෝක තත්වය පිලිබඳ ක්‍රමානුකූල තක්සේරුවකින් නව වන ජාතික සම්මේලනය ඉදිරියේ ඇති යෝජනා සමන්විත වෙයි. 

සම්මේලනයේ යෝජනා තුල හඳුනා ගෙන තිබෙන සෑම මූලික ප්‍රවනතාවයක් ම — එනම් ; අධිරාජ්‍යවාදී යුදවාදයේ පුපුරා යාම, ලෝක ආර්ථිකයේ අර්බුදය, ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම හා ඒකාධිපති පාලනය දෙසට හැරීම, තාක්ෂනික වර්ධනය හා පුද්ගලික දේපල මත පදනම් වූ ලාභ ක්‍රමය යන දෙක අතර පුපුරන සුලු ප්‍රතිවිරෝධතාව, ධන සංකේන්ද්‍රනයේ හා සමාජ අසමානතාවයේ මට්ටම් සහ කම්කරු පන්තියේ ජාත්‍යන්තර රැඩිකලීකරනය ආදිය — 2020 ඉදිරි දර්ශන ප්‍රකාශනයේ සූත්‍රගත කිරීම් පවා ඉක්මවා යන විෂය පථයකින් හා ප්‍රවේගයකින් වර්ධනය වී තිබේ. 

II. තුන්වන ලෝක යුද්ධයේ මෙටාස්ටාසික ස්වභාවය

19. 2020 ප්‍රකාශනය, එලඹෙන දශකය පිලිබඳ තම විශ්ලේෂනයේ හරි මැද තුන්වන ලෝක යුද්ධයේ අනතුර ස්ථානගත කලේ ය. එය, එකී අනතුරේ මූලයන්, ලෝක ධනපති පද්ධතියේ කේන්ද්‍රීය ප්‍රතිවිරෝධතාවය වන නිෂ්පාදන බලවේගයන්ගේ ගෝලීය ව අන්තර් සම්බන්ධිත ස්වභාවය හා ධනපති ක්‍රමය ඓතිහාසික ව මුල් බැස තිබෙන ජාතික රාජ්‍ය රාමුව අතර ප්‍රතිවිරෝධතාව තුල හඳුනා ගත්තේ ය. වසර හය හමාරකට පසු අද, ප්‍රශ්නය, තව දුරටත් එවන් යුද්ධයක් ඇති වේ ද යන්න නොවේ. 

20. තුන්වන ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී, මෙටාස්ටාසික ස්වභාවයෙන් (සිරුරේ එක් ස්ථානයක හට ගන්නා පිලිකා සෛල සිරුරේ වෙනත් ස්ථාන වලින් මතුවීමේ ක්‍රියාවලිය) වර්ධනය වෙමින් පවතී: එය දුස්සාධ්‍ය ගෝලීය වසංගතයක් මෙන් ප්‍රසාරනය වෙමින් අලුත් ප්‍රදේශ අල්ලා ගනිමින් පෙර කල දී වෙන් ව පැවති ඝට්ටනයන් එකට හා කරමින් සහ එය යාමට නැමියාව ඇති දෙය වන ගෝලීය වහ්නි ජාලාවට ලෝක ආර්ථිකය හා සෑම ජාතික රාජ්‍යයක් ම වැඩි වැඩියෙන් සූදානම් කරවමින්  වර්ධනය වේ. එම අර්ථයෙන් ගත් කල, “ලෝක යුද්ධයක් සිදු වේද?” යන ප්‍රශ්නය වරදවා වටහා ගැනීමක් වශයෙන් හෙලිදරව් වේ. 

21. 2026 මැයි දිනයේ දී මා ප්‍රකාශ කල පරිදි “ලෝක යුද්ධය වනාහි අනාගත තර්ජනයක් නොවේ; එය වර්තමානයේ දිග හැරෙන යථාර්ථයකි...” එය, යුද පෙරමුනු සංඛ්‍යාව වැඩි වීම, සටන් භූමි එකිනෙක සමග යා වීම, ආර්ථික ජීවිතය යුද්ධයේ අවශ්‍යතා සඳහා යටත් කිරීම, රාජ්‍යය ආඥාදායකත්වය සඳහා සූදානම් කිරීම සහ ජනගහනය යුද්ධය සඳහා දෘෂ්ටිමය වශයෙන් සූදානම් කිරීම, ආදියෙන් සමන්විත විශ්ලේෂනය කල යුතු දැනට ම සිදුවන ක්‍රියාවලියකි.

22. මෙම විග්‍රහය දැන් ධනපති පන්තියේ වඩාත් ම සන්සුන් මත- ප්‍රකාශන මාධ්‍ය විසින් තහවුරු කර තිබේ. ජූලි 26 වෙනි දා ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත එහි විදේශ කටයුතු පිලිබඳ ලේඛක ගිඩියන් රෂ්මන් විසින් ලියන ලද “යුක්‍රේනය, ඉරානය හා කලාපීය යුද්ධ ලෝක යුද්ධ බවට පත් වන්නේ කෙසේද?” යන මාතෘකාවෙන් තීරු ලිපියක් පල කලේය. රෂ්මන් අත්‍යවශ්‍ය කරුනු මෙසේ ඒකරාශි කරයි: 1945 න් පසු යුරෝපයේ සිදු වූ වඩාත් ම ලේ වැකි යුද්ධය; රටවල් 12 ක් කෙලින් ම  සම්බන්ධ වූ මැද පෙරදිග යුද්ධය; උතුරු කොරියාවේ යුද සූදානම හා දකුනු කොරියාව සමග සාමකාමී ව එක්සත් වීමේ සංකල්පය උතුර විසින් ප්‍රතික්ෂේප කිරීම; තායිවානයේ සැපයුම් මාර්ග අවහිර කිරීමට චීනය කල පෙරහුරු; අප්‍රිකාවේ යුද්ධවලට බලපෑම් කරමින් මහාද්වීප දෙකක් හරහා අතිච්ඡාදනය වන (එකිනෙක බද්ධවන) කලාපීය ගැටුම්; ඇමරිකානු මූලෝපායඥයන් විසින් ඇමරිකානු “පසමිතුරන්ගේ අක්ෂය” වශයෙන් හඳුන්වන දෙය නිශ්චිත ව පැහැදිලි වීම යනාදී වශයෙනි. 

යුක්‍රේන හමුදා භටයෙක් ඛාර්කිව් ප්‍රදේශයේ සිට ඇමරිකාවෙන් සැපයුනු M777 හොවිට්සර් කාල තුවක්කුවක් රුසියානු ප්‍රදේශවලට වෙඩි තැබීමට සූදානම් කරයි [AP Photo/Evgeniy Maloletka]

23. වත්මන් ගැටුම් විසින් පූර්ව ලෝක යුද්ධ දෙකේ උපමානයන් “කීපයක් හෝ දැනටමත් සම්පූර්න කර ඇති” බව පිලිගන්නා ඔහු, උතුරු කොරියානු භටයන් යෙදවීම “ලෝක යුද්ධය කරා  පලමු පියවර” යැයි සෙලන්ස්කි කල විස්තර කිරීම උපුටා දක්වයි. ඉරාන නාවික යාත්‍රා වලට යුක්‍රේනය පහර දීම “දෙ වන පියවර” ද ගෙන තිබෙනවා යයි යමෙකුට තර්ක කල හැකි යයි ද ඔහු එකතු කරයි. විප්ලවවාදී ව්‍යාපාරය 2020 ජනවාරියේ දී සිදුකල රෝග විනිශ්චය, යුරෝපීය මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රධාන ලේඛකයකු විසින් ස්ථිර කර තිබේ. 

24. ගාසාවේ ජන සංහාරය, ඉරානයට එරෙහි යුද්ධය සහ යුක්‍රේනයේ ප්‍රසාරනය වන යුද්ධය, ගෝලීය යුද්ධයක අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධිත  පෙරමුනු ය. අධිරාජ්‍යවාදී බලවතුන් විසින් අවුලවන ලද වක්‍ර යුද්ධයක් ලෙස පටන් ගත් යුක්‍රේන යුද්ධය දැන් නේටෝව විසින් රුසියාවට එරෙහි ව කරන අප්‍රකාශිත එහෙත් ඉතාමත් ම යථාභූත යුද්ධයක් බව අවිවාදිත ය. රුසියාවට එරෙහි ඩ්‍රෝන ප්‍රහාර, දැන් එක්සත් ජනපදය හා නේටෝව විසින් කරන බව සැඟවීමට කිසිදු උත්සාහයක් නොදරා, එල්ල කරනු ලැබේ.  ජූලි 29 දා ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය වාර්තා කල පරිදි, “එක්සත් ජනපදය සහ ප්‍රංශය විසින් සපයන ලද බුද්ධි තොරතුරු, රුසියානු ගුවන් ආරක්ෂක මධ්‍යස්ථාන පිහිටි ස්ථාන සිතියම්ගත කොට ඒවා මග හරිමින් රුසියාවේ ගැඹුරු අභ්‍යන්තරයේ ඉලක්කවලට  පහර දීමට ඩ්‍රෝනවලට හැකියාව ලබා දී ඇත…”

25. දැන් රුසියාවේ යුරෝපීය ප්‍රදේශවලට ඉලක්ක කරන බව යුක්‍රේනයේ මිනිසුන් රහිත යානා බල ඇනිවල අන දෙන නිලධාරියා වන රොබට් බ්‍රොව්ඩි උපුටා දක්වමින් ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කලේ ය. මිලියන අසූවක ජනතාවක්, දල වශයෙන් රුසියානු ජනගහනයෙන් තුනෙන් දෙ පංගුවක් රටේ යුරෝපීය මහාද්වීපයට ඇතුලත් වන කොටසේ, එනම්, බටහිරින් එන ප්‍රහාරවලට ගොදුරු වන දුරින් ජීවත්වන අතර එම ප්‍රදේශය තවදුරටත් රුසියාවේ පිටුපසින් තිබෙන ආරක්ෂිත පසුකඩ ලෙස සැලකිය නොහැකි ය. “එක්සත් ජනපද සහ ප්‍රංශ බුද්ධි සේවාවන් යුක්‍රේනයේ ගැඹුරු ප්‍රහාරක ඩ්‍රෝනවලට ‘පහර දිය යුත්තේ කොතැනටදැයි දැන ගැනීමට’ උදව් කරමින් තම ඉලක්ක තෝරා ගැනීමේ හැකියාවන් වැඩි දියුනු කර ඇත...” යයි ද තව දුරටත් වාර්තා කලේ ය. 

26. රුසියාවට එරෙහි නේටෝ ප්‍රහාරවල ව්‍යසනකාරී ඇඟවුම් පැහැදිලි ය. නේටෝ රටවල් මත රුසියානු ප්‍රති ප්‍රහාරයක සම්භාවිතාව දවසක් පාසා ම වැඩි වේ. “සාමකාමී සහජීවනය” සඳහා වූ ස්ටැලින්වාදී ගුරුකුලයේ අධ්‍යාපනය ලද හිටපු පොලිස් ඒජන්තයකු වූ පූටින්, “බටහිර හවුල්කරුවන්” රුසියාව සමග ගිවිසුමකට එනු ඇත යන මහත් බලාපොරොත්තුවෙන් තමන්ගේ “විශේෂ මිලිටරි ක්‍රියාන්විතය” දියත් කරද්දී කිසි ම දෙයක් පෙර දුටුවේ නැත. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් කල් තබා අනතුරු ඇඟ වූ, ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමේ ව්‍යසනකාරී ප්‍රතිඵල අපි දැන් දකිමින් සිටිමු.

27. දැන් මහාද්වීප පහක් හරහා පැතිර යන ලෝක යුද්ධය, වර්තමාන යුගයේ ඓතිහාසික අරගලය ඉහල ම මට්ටමට ඔසවා තබයි: එනම් ගෝලීය අධිරාජ්‍යවාදී යුද්ධය සහ ලෝක විප්ලවය අතර අරගලයයි. වෙනත් වචනවලින් කිව හොත්, අධිරාජ්‍යවාදය විසින් පෘථිවිය ම යටත් කර ගෙන ප්‍රතිසංවිධානය කිරීමත්, අධිරාජ්‍යවාදය හා ලෝකය යලි බෙදීම ඇති කරන සමාජ පර්යාය පෙරලා දැමීමට  ජාත්‍යන්තර කම්කරු පන්තියේ වඩ වඩා සවිඥානික ආයාසයත් අතර අරගලයයි. 

III. වර්ෂ 1991 සහ වර්තමාන යුද්ධයේ මූලාරම්භයන්

28. වර්තමාන ලෝක ඝට්ටනය වර්ධනය වෙමින් පවතින්නේ 2022 පටන් නොවේ, 2014 පටන් ද නොවේ, 1990-91 පටන් ය. ස්ටැලින්වාදී නිලධරයේ ප්‍රතිවිප්ලවවාදී  පරිනාමයේ අවසාන ක්‍රියාව වූ තමන් විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම, බටහිර ලෝකය පුරා ම පාලක පන්තීන් විසින් 1917 දී පටන් ගත් අරගලයේ අවසන් ජයග්‍රහනය ලෙස සාදරයෙන් පිලිගන්නා ලදී. “ඉතිහාසයේ අවසානය” ප්‍රකාශයට පත්කිරීම, පතුලෙන් ම ගත් කල, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ප්‍රවාදයක් නොවේ. හොල්මන් කරමින් සිටින සමාජවාදයේ අවතාරය, අවසානයේ දී මෙල්ල කොට බැඳ දමන ලද බවත්, ඔක්තෝබර් විප්ලවය විසින් මතු කල අභියෝගය නිශ්චිත වශයෙන් ම පරාජය කොට අවසන් බවත්, දැන් විසි වන සියවස අහෝසි කිරීම කල හැකි බවත් ප්‍රකාශයට පත් කෙරුනි.

29. සෝවියට් සංගමය විසුරුවා හැරීම කෙරෙහි අධිරාජ්‍යවාදයේ ප්‍රතිචාරය වූයේ, ඔක්තෝබර් විප්ලවය කිසිදා සිදු නොවූයේ නම් ලෝකය පවතිනු ඇත්තා වූ ආකාරයට ප්‍රතිනිර්මානය කිරීමේ උත්සාහයට අඩු කිසිවක් නොවේ: එනම්, ඔක්තෝබර් විප්ලවය සහ එහි පසු කම්පන විසින් අධිරාජ්‍යවාදී පද්ධතියට අහිමි කරනු ලැබූ හෝ අත තැබීමට දුෂ්කර කරනු ලැබූ සෑම භූමියක් මත ම, සෑම සම්පතක් මත ම, සෑම ජන කොටසක් මත ම  ප්‍රාග්ධනයේ නිර්බාධිත ආධිපත්‍යය ප්‍රති-ස්ථාපනය කොට, වසර හැත්තෑ පහක් ප්‍රමාද වී හෝ, එක්සත් ජනපදය පලමු ලෝක යුද්ධයට ප්‍රවිෂ්ට වන විට තිබූ අපේක්ෂාවන් සම්පූර්න කර ගැනීමයි. එකී අපේක්ෂාවන් නම් ජනාධිපති ජොජ් හර්බට් වෝකර් බුෂ් “නව ලෝක පර්යාය” වශයෙන් විස්තර කල ඇමරිකානු හෙජමනිය යටතේ සමස්ත ග්‍රහ ලෝකය සංවිධානය කිරීම ය. 

30. පශ්චාත්-සෝවියට් අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය හැඩ ගැස් වූ ප්‍රධාන මූලෝපායික අභිප්‍රේරනයන් දෙකක් මෙයින් ගලා ආවේ ය. ඉන් පලමුවැන්න නම් සෝවියට් සංගමයේ ම භූමිය හා සම්පත් නැවත බෙදා ගැනීම යි. සෝවියට් සංගමයේ අවසානය, අති විශාල භෞමික, කාර්මික හා කම්කරු රාජ්‍යයේ රාමුව තුල ඉදිකර තිබූ සම්පත් උරුමය — අධිරාජ්‍යවාදයේ ඉතිහාසය තුල එය විසින් බෙදා හදා ගෙන නොතිබූ විශාල ම දඩයම — බෙදා ගැනීමේ හැකියාව කෙලින් ම මතු කලේ ය. ඒ මොහොතේ පටන් ලෝකය යලි  බෙදා ගැනීම, ප්‍රායෝගික වශයෙන් පැරනි සෝවියට් සංගමයේ සමස්ත වපසරිය ම — එහි භූමිය, එහි බල ශක්තිය, එහි ඛනිජ සම්පත් එහි ශ්‍රමය සහ යුරේසියාව මධ්‍යයේ එහි මූලෝපායික පිහිටීම ආදී සියල්ල අධිරාජ්‍යවාදී පාලනය යටතට පත් කිරීම සමග බැඳී පැවැත්තේ ය.

31. මෙම ඉලක්කය වර්ෂ 35 ක් තිස්සේ ඇමරිකානු හා යුරෝපීය ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය ලක්ෂ්‍යය ලෙස පැවතුනි. 1992 තරම් ඈත දී එය ආරක්ෂක සැලසුම් මාර්ගෝපදේශ නමින් උපදෙස් සංග්‍රහයක් ලෙස ලේඛනගත කරන ලදී. එය අලුත් තරගකරුවන් කිසිවෙක් යූරෝ-ආසියානු මහාද්වීපයට ඇතුල්වීම වැලැක්වීම, ඇමරිකානු ප්‍රතිපත්තියේ මුල් ම අරමුන ලෙස, නිර්වචනය කල අතර පශ්චාත් - සෝවියට් භූමි පර්යන්තය, සියල්ලට ම පෙර යුක්‍රේනය, සිය පාලනය යටතට ගැනීම ලෝක ආධිපත්‍යයට යතුර හැටියට විවෘත ව ම භූ-දේශපාලන සාහිත්‍යය තුල න්‍යායගත කරන ලදී. නේටෝව රුසියානු දේශසීමාව දක්වා ම නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීම සඳහා කල ක්‍රියාන්විත පහ[4] තුලින් — අධිරාජ්‍යවාදීන්ගේ “මානුෂික මැදිහත්වීම්” සඳහා මුල් ආකෘතිය සැපයූ, 1945ට පසු යුරෝපයේ සිදු වූ පලමු යුද්ධයෙන් යුගෝස්ලේවියාව යුදමය වශයෙන් පරාජය කොට කැබලිවලට කැඩීම සහ යුක්‍රේනය තම නැගෙනහිර ගමනේ ඉදිරි කඳවුර බවට පත් කල, 2014 යුක්‍රේන කුමන්ත්‍රනයෙන් උච්චස්ථානයට පත්  පැරනි සෝවියට් සමූහාන්ඩුවල සිදුකල වර්න-විප්ලව මාලාව තුලින් එකී න්‍යාය ක්‍රියාවට දමන ලදී.

1949 සිට නැගෙනහිර දෙසට නැටෝවේ ප්‍රසාරනය වීම පෙන්නුම් කරන සිතියමක් (ඡායාරූපය පැට්‍රික්නීල් විසිනි/සීසී බීවයි-එන්සී-එස්ඒ 4.0) [Photo by Patrickneil / CC BY-NC-SA 4.0]

32. 2022 දී පුපුරා ගිය යුද්ධය, නේටෝවේ ප්‍රකෝපකිරීම්වලට පූටින් තන්ත්‍රයේ ප්‍රතික්‍රියාවේ ප්‍රතිගාමී ස්වභාවය තිබිය දී ත්, මෙම සමස්ත ගමනේ ම මස්තකප්‍රාප්තිය විය. එහි අරමුන, — දැන් වැඩි වැඩියෙන් අවංක ලෙස, “මූලෝපායික පරාජය” “යටත් විජිත මුදා ගැනීම” ආදී වචන පාවිච්චි කරමින් බටහිර ලෝකයේ මූලෝපායික සාකච්ඡා මන්ඩප තුල පිලිගනු ලබන අරමුන — වන්නේ රුසියානු ෆෙඩරේෂනය කැබලිවලට කැඩීමයි. 

33. දෙවන මූලෝපායික අභිප්‍රේරකය, ලෝකයේ සෙසු රටවල සෝවියට් සංගමයට තිබූ තුලන බර ඉවත් කිරීම තුලින් ගලා ආවේ ය. යටත් විජිත හා ඌන සංවර්ධිත රටවල් තුල සෝවියට් ස්ටැලින්වාදී ප්‍රතිපත්තිය කිසිදා නිර්ව්‍යාජ ලෙස අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමක් නොවී ය. “තුන්වන ලෝකයේ” රටවල ස්වයං-නිර්නය සඳහා වූ ජාතික ව්‍යාපාර වලට ක්‍රෙම්ලීනය ආධාර කලේ සෝවියට් සංගමය මත අධිරාජ්‍යවාදී පීඩනය දුර්වල කිරීමේ මාර්ගයක් හැටියට ය. එය කිසිදා තම දේශසීමා වලින් එහා සමාජවාදී විප්ලවය දිරි ගන්වනවා තබා කිසි ම සහයෝගය දීමක් නොකලේ ය.

34. එතෙකුදු වුවත්, ක්‍රෙම්ලිනය නරුම ලෙස, ස්ටැලින්වාදී විදේශ ප්‍රතිපත්තියේ ඕනෑ එපාකම් වෙනුවෙන් ඔවුන් පරිහරනය කලේ ය; හැසිරුවේ ය. සෝවියට් සංගමයක් තිබීම, පැරනි යටත් විජිත ලෝකයේ ධනපති ජාතිකවාදී තන්ත්‍රයන් තට්ටුවකට ම යම් තරමක රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික හා යුදමය ආරක්ෂාවක් ලබා දුන් අතර අධිරාජ්‍යවාදය සමග වෙට්ටු දැමීමට ඔවුන්ට තිබූ අවකාශය රඳා පැවතියේ අධිරාජ්‍යවාදී කඳවුර හා ස්ටැලින්වාදී කඳවුර අතර උපාමාරු දමමින් තුලනය කර ගැනීමේ හැකියාව මත ය. සෝවියට් සංගමය අතුරුදහන්වීම ඔවුන්ට විරුද්ධ ව සෘජු අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය පාවිච්චි කිරීමට තිබූ සෑම තහංචියක් ම ඉවත් කලේ ය. 

35. සෝවියට් සංගමය විසුරුවා හැරීම දිග හැරෙද්දී ඇරඹුනු 1990 -1991 අරාබි ගල්ෆ් බොක්කේ යුද්ධය, “සදාකාලික යුද්ධය” පිලිබඳ යුගයට දොර විවෘත කලේ ය. 1990 අගොස්තුවේ දී එක්සත් ජනපදය හා හවුල් කරුවන් විසින් ඉරාකය ආක්‍රමනය කිරීමට ප්‍රතිචාර වශයෙන් කැඳවන ලද වර්කර්ස් ලීගයේ (වර්තමාන සසප යේ පෙර ගමන්කරු) විශේෂ සම්මේලනය අමතා මම මෙසේ කීවෙමි:

ඉරාකයට විරුද්ධ ව මේ ජාත්‍යන්තර කල්ලි ගැසීම, පර්ෂියන් බොක්කේ අර්බුදයේ ඓතිහාසික සාරයේ ප්‍රකාශනයකි. එය අධිරාජ්‍යවාදීන් විසින් ලෝකය අලුතින් බෙදා ගැනීමක ආරම්භය සලකුනු කරයි. පශ්චාත් යුදකාලීන යුගයේ අවසානය වනාහි පශ්චාත් යටත් විජිත යුගයේ අවසානය යි. “සමාජවාදයේ අසමර්ථය” ප්‍රකාශයට පත් කරන අතරේ අධිරාජ්‍යවාදී ධනේශ්වරය වචනයෙන් නැතත් ක්‍රියාවෙන් කරන්නේ “ස්වාධීනත්වයේ ද අසමර්ථය” ප්‍රකාශයට පත් කිරීමයි. සියලු ම ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් මුහුන දෙන ගැඹුරු වන අර්බුදය, මූලෝපායික සම්පත් සහ වෙලඳපොවල් තම පාලනය යටතට අල්ලා ගැනීමට ඔවුන්ට බල කරයි. යම් දුරකට ස්වාධීනතාවක් ලබාගත් පැරනි යටත් විජිත දැන් නැවතත් අලුතෙන් අල්ලා ගත යුතු ය. ඉරාකයට එරෙහි සාහසික ප්‍රහාරයෙන් අධිරාජ්‍යවාදීන් දැනුම් දුන්නේ දෙවන ලෝක යුද්ධයට පෙර පැවැති පසුගාමී රටවල් නිර්බාධිත ව යටත් කර ගැනීමේ ක්‍රමය යලි ස්ථාපිත කිරීමට තමන් අදහස් කරන බවයි…”[5]

“කාන්තාරයේ කුනාටුව” ක්‍රියාන්විතයේදී කුවේටයේ සිට පසු බසිමින් සිටි ඉරාක හමුදාවේ වාහන පෙලක්  “මරනයේ අධිවේගී මග” යනුවෙන් ප්‍රසිද්ධ වූ මාර්ග අංක 80 දිගේ දිස් වූ අයුරු - 1991 අප්‍රේල් 8

36. සියලු පසුකාලීන සිදුවීම් ඉහත කී විශ්ලේෂනය තහවුරු කරයි. ඉරාකය, 1990 ගනන් මුලුල්ලේ ම තොටුපොලවල් අවහිර කිරීමට හා අඛන්ඩ බෝම්බ ප්‍රහාරවලට ලක් කර, 2003 දී ආක්‍රමනය කොට විනාශ කර දමන ලදී. සෝමාලියාවට හා යුගෝස්ලෝවියාවට පහර දෙන ලදී; ඇෆ්ගනිස්ථානය විසි වසරක් තිස්සේ වාඩි ලා තබා ගන්නා ලදී; 2011 දී ලිබියාව සුන්බුන් ගොඩක් බවට පත් කරන ලදී; සිරියාව දශකයක් තිස්සේ පවතින වක්‍ර යුද්ධයක් මගින් පුලුස්සා දමමින් පවතී; යේමනය සාගතයට ඇද දමන ලදී; සුඩානය කැබලිවලට කඩා දමන ලදී; අද 2026 දී ඉරානයට විරුද්ධ ව විවෘත හා සීමා විරහිත යුද්ධයක් අරඹා තිබේ. බෝල්කන් ප්‍රදේශයේ සිට හින්දු කුෂ් කඳුවැටි දක්වා වන චාපයේ (කවයක කොටසක්) ව්‍යාප්තවන[6] දශක තුනහමාරක අඛන්ඩ යුද්ධය එක් තනි යුද ව්‍යාපෘතියක කොටස්‍ ය: ලෝකයේ තීරනාත්මක  බල ශක්ති උත්පාදන කලාපවල  අධිරාජ්‍යවාදය විසින් අත්පත් කර ගෙන සිටි නිර්බාධිත හිමිකාරත්වයට එරෙහි ව, විසිවන සියවසේ විප්ලවීය හා යටත් විජිත විරෝධී නැගීම් විසින් ඉදිකරන ලද සෑම බාධකයක් ම එක් එක් රාජ්‍යයෙන් රාජ්‍යය ගෙන ක්‍රමානුකූල ව බිඳ හෙලීම එම ව්‍යාපෘතියේ ඉලක්කය යි. 

37. ඉරානයට විරුද්ධ යුද්ධය මෙම සමස්ත තිස්පස් අවුරුදු යුද්ධ මාලාවේ මස්තකප්‍රාප්තියයි. එය ඓතිහාසික ගනුදෙනු බේරා ගැනීමක් ද වේ. උද්ධච්චකම හමුවේ නොවැලැක්විය හැකි දඬුවම ලැබෙමින් පවතී. 1991න් පසු යුගයේ යුද ජයග්‍රහනයේ උත්කෘෂ්ට ම කිරුල ලෙස සැලසුම් කලා වූ, සාකච්ඡා පැවැත්වෙද්දී රාජ්‍ය නායකයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමෙන් දියත් කල, පෙබරවාරි 28 වෙනි දා ප්‍රහාරය, කිසිම රාජ්‍යයකට සංකේන්ද්‍රිත ඇමරිකානු යුද බලයට මුහුන දීමට නොහැකි බව ප්‍රදර්ශනය කිරීම අරමුනු කර ගත්තක් විය. 

38. මාස පහකට පසු ප්‍රතිඵලය වී ඇත්තේ ප්‍රධාන ත ම මූලෝපායික පරාජයකි. ඉරානය යටත් වී නැත. ලෝකයේ පෙට්‍රෝලියම් සැපයුමෙන් පහෙන් එකක් පසු කර යා යුතු හෝමුස් සමුද්‍ර සන්ධිය අභියෝගයට ලක් වූ යුද කලාපයක් සේ පවතී. ඇමරිකානු උන්ඩ තොග මට්ටම් පහල බැස ඇත; කලාපීය යුද කඳවුරු පද්ධතියට දිගට ම ප්‍රහාර එල්ල වේ. වොෂිංටනයේ ම මූලෝපායික විශ්ලේෂකයෝ ඇමරිකාව, තම අරමුනු සාක්ෂාත් කර ගත නොහැකි ව, “මූලෝපායික ආවෘත අන්තයකට” පැමින සිටින බව පිලිගනිති. ඉරානය ආක්‍රමනය කොට ප්‍රහාරය තව දුරටත් තීව්‍ර කිරීම මගින් වර්තමාන ගැටලුව ජය ගැනීමට ට්‍රම්ප් පරිපාලනය උත්සාහ නොකරනු ඇතැයි මෙම තක්සේරුවෙන් අදහස් නොකෙරේ.

ඉරානයේ බන්ඩාර් අබ්බාස් වලට ඔබ්බෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ වානිජ නෞකා - 2026 ජූනි 30, අඟහරුවාදා. [AP Photo/Amirhosein Khorgooi]

39. ආක්‍රමනයක් පවා නොකර ලැබූ මෙම පරාජයේ වැදගත්කම පර්සියානු බොක්ක ඉක්මවා දුරදිග යයි. 1991න් ඇමරිකානු ප්‍රතිපත්තියට මග පෙන් වූ, අසීමිත යුද බලය මගින් “ඇමරිකානු සාමයක්” ඕනෑ ම රටක් මත පැටවිය හැකිය යන ඒත්තු ගැන්ම, මායාවක් බව හෙලිදරව් වී තිබේ. “සදාකාලික යුද්ධ” සංකල්පයේ මුල්කාලීන ගොදුරු වූ රටවල් හුදෙකලා, දරිද්‍රතාවයේ ගිලුනු, යුදමය වශයෙන් බිම බෑවුනු රටවල්‍ ය. ඒවාට එරෙහි ව පවා කල දශක තුන හමාරක යුද්ධයෙන් බිහි කර ඇත්තේ නව ලෝක පර්යායක් නොව සුන්බුන් ගොඩකි. මිලියන 90ක ජනගහනයක් සහිත ඉරානයට එරෙහි යුද්ධයේ දී ඉහත කී සූත්‍රය සම්පූර්නයෙන් ම කඩා වැටී තිබේ. නමුත් එකී මායාව, තම ආර්ථික ස්ථාවරයේ දිග්ගැස්සුනු පරිහානිය යුද බලයෙන් ආපසු හැරවීමට අපේක්ෂා කල පාලක පන්තියක දෘෂ්ටිවාදාත්මක ප්‍රතීකයකි (ප්‍රතීකය: බාහිර උත්තේජනයකට ශරීරය ස්වයංක්‍රීයව දක්වන ක්ෂනික ප්‍රතිචාරය - පරිවර්තක). හරියටම ඒ නිසා, ගල්ෆ් කලාපයේ දී ලද මූලෝපායික පරාජයට ඔවුන් ප්‍රතිචාර දක්වනු ඇත්තේ පසු බැසීමෙන් නොව, මෙම වාර්තාව තුල අප මැන බලන්නට උත්සාහ කරන යුද පෙරමුන ලෝක යුද්ධය දෙසට එනම් චීනය හා රුසියාව දෙසට වඩාත් නොසැලකිලිමත් ලෙස ව්‍යාප්ත කිරීමෙන් යුද්ධය තීව්‍ර කිරීමෙනි.

40. එක්සත් ජනපදය අලුත් අධිරාජ්‍යවාදී කුරුස යුද්ධයේ පෙරමුන ගත්තේ ය. නමුත් එය කිසිවිටෙකත් තනිකර ඇමරිකානු ව්‍යවසායක් නොවීය. අප කලින් සඳහන් කල 1990 වාර්තාව නිරීක්ෂනය කල පරිදි: 

“පැරනි ලෝකයේ” අධිරාජ්‍යවාදී මූලෝපායඥයින් යටත් විජිත වර්ගයේ ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීමට බුෂ් විසින් සපයන ලද අවස්ථාව සාදරයෙන් පිලිගනිති. ඇමරිකානු මැදිහත්වීම, ලෝකය යලි බෙදා ගැනීමේ ආරම්භය ලෙස දකිනු ලැබී ය. සියලු අධිරාජ්‍යවාදී රටවල්, ඉරාකයේ සිටින මිථ්‍යා දෘෂ්ටිකයාට විරුද්ධ ව අද යුගයේ කුරුස යුද්ධයට බොහෝ ආශාවෙන් සහභාගි වන්නේ එහෙයිනි. මහලු තරබාරු සොර දෙටුවන් පවා තමන්ගේ තඩි බඩවල් හකුලා ගෙන දශක ගනන් පැත්තකට දමා තිබුනු අධිරාජ්‍යවාදී හමුදා නිල ඇඳුම් ලා ගනිමින් සිටිති...”[7]

41. තිස් පස් වසරකට පසු, චීනය සමග වැඩෙමින් පවතින ගැටුම එම ඓතිහාසික සම්මිශ්‍රනයට ම අයත් වේ. චීනය, එක්සත් ජනපදයේ ප්‍රබල ආර්ථික තරගකරුවකු බවට පත් ව ඇති අතර එය වොෂිංටනයට ඉවසා දරා සිටිය නොහැක. චීනයේ අති විසල් ආර්ථික වර්ධනය එහි විප්ලවවාදී ඉතිහාසයෙන් වෙන් කල නොහැකි ය යන කාරනය විසින් ආතතිය උග්‍ර කර ඇත. 1949 විප්ලවය ම පවා, මාඕ යටතේ පසුකාලීන පරිනාමය හා 1978 දී ඇරඹි ධනපති ප්‍රතිෂ්ඨාපනය තිබිය දී ත්, සියක් වසරක අධිරාජ්‍යවාදී අංගච්ඡේදනයට තිත තබා, විදේශීය ප්‍රාග්ධනය අස්වාමික කර, රට එක්සත් කොට, ඔක්තෝබරයෙන් ආශ්වාදය ලැබූ අධිරාජ්‍ය විරෝධී රාජ්‍යයක් නිර්මානය කල, ඔක්තෝබරය විසින් විවෘත කලා වූ යුගයේ ම නිෂ්පාදනයකි. එහි සංවර්ධන ධාරිතාවය එම විප්ලවයේ සෘජු උරුමයකි.

42. චීනය තුල ධනවාදය යලි ස්ථාපිත කිරීම, එයින් අසීමිත ලාබ ශ්‍රම කන්දරාවකට ප්‍රවේශය විවෘත වූ නිසා ඇමරිකානු ප්‍රතිපත්තිය විසින් මුල දී සාදරයෙන් භාර ගන්නා ලදී. එම සංකලනය වීම අවසානයේ දී යටත් වීම දක්වා ද අවසානයේ දී අධිරාජ්‍යවාදී ආර්ථික පීඩනය හා වාර්ගික, භාෂාමය හා ජාතිකවාදී වියවුල් ඇවිලවීම මගින් චීනය කැබලිවලට කැඩී යාම ආරම්භ කරනු ඇතැයි එය උපකල්පනය කලේ ය.

මාඕ චීන මහජන සමූහාන්ඩුව ප්‍රකාශයට පත් කරයි - 1949

43. පසුගිය වසර පහලොව තුල සමස්ත මූලෝපායික දිසානතිය ම — (ආසියාවට) “හැරීම', වෙලඳ යුද්ධය, තාක්ෂන තහංචි, QUAD (චතුර් පාර්ශ්වික සන්ධානය) සිට AUKUS (ත්‍රෛපාර්ශ්වික සන්ධානය-Australia, UK, US) දක්වා වූ යුද සන්ධාන ජාලය ආදිය දක්වා — හැඩගස්වනු ලැබුවේ එම උපකල්පනය අසමර්ථයක්‍ ය යන අවබෝධය විසිනි. නමුත් චීන ධනේශ්වර රාජ්‍යය තමන්ට පැවරුනු දෙවන ගනයේ යටත් සේවක රාජකාරිය භාර ගැනීම ප්‍රතික්ෂේප කලේය. එ නිසා ම එහි ආර්ථික නැගීම වොෂින්ටනය සැලකුවේ වෙලඳපොලක් ලෙස නොව, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු තම ගෝලීය ආධිපත්‍යයට  ධනපති අභියෝගයක් හැටියට ය. 

44. ජාතිකවාදයේ ගැලුනු චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) දේශපාලන දිසානතිය මූලික වශයෙන් ම ප්‍රතිගාමීය යන කාරනය, මෙය නිසා වෙනස් නොවේ. “චීන චරිත ලක්ෂන සහිත සමාජවාදය” යන්න ම විරෝධාභාසයකි. එහි ආර්ථික වර්ධනය කොතරම් ප්‍රබල වුවත් චීනයේ ඉරනම විසඳනු ඇත්තේ, චීන කම්කරු පන්තිය පාලක ධනපති තන්ත්‍රයට එරෙහි ව කරන අරගල අති විශාල වැඩ කොටසක් ඉෂ්ඨ කරනු ඇති ජාත්‍යන්තර පන්ති අරගලයේ ප්‍රතිඵලය විසිනි. ධනපති කතිපයාධිකාරයේ පාලනය අවසන් කොට නිර්ව්‍යාජ කම්කරු රාජ්‍යයක් චීනය තුල පිහිටුවන සමාජ විප්ලවයකින් තොර ව චීනයේ ආර්ථික වර්ධනය මෙහෙයවෙනු ඇත්තේ එක්සත් ජනපදය සමග කිසිවකින් නතර කල නොහැකි ව්‍යසනකාරී යුද්ධයක් වෙතට ය.

45. වර්තමාන තත්වයේ වඩාත් ම කැපී පෙනෙන ලක්ෂනය වනුයේ, සමහර විට, ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල නායකයන් චීනයට හා රුසියාවට විරුද්ධ යුද්ධය වැලැක්විය නොහැකි බවටත්, ඊට සූදානම් වීම ප්‍රවීන රාජ්‍ය-තාන්ත්‍රිකත්වය බවටත් වන තම ඒත්තු ගැනීම සැඟවීමට කවර හෝ උත්සාහයක් නොදැරීම ය. සීතල යුද්ධයේ උච්ඡස්ථානයේ දී පවා ප්‍රධාන රටවල රාජ්‍ය නායකයන් තමන්ගේ යුද සූදානමේ යථාර්ථය කවරක් වුවත් ප්‍රසිද්ධියේ කතා පැවැත්වූයේ යුද්ධය වැලැක්වීම ගැන ය. ජනාධිපති කෙනඩි 1963 ජූනි මස ඇමරිකන් යුනිවර්සිටි හි දී පැවැත්වූ කතාවක දී “සම්පූර්න යුද්ධයේ අර්ථයක් නැත” යයි ද න්‍යෂ්ටික යුගයේ දී, සාමය “තාර්කික මනුෂ්‍යයින්ගේ තාර්කික ඉලක්කය” විය යුතු යයි ප්‍රකාශ කලේ ය. 

46. කෙනඩිගේ සුප්‍රකට කථාව පවත්වන ලද්දේ ඔහු ගේ ම ප්‍රතිපත්ති නිසා ඇති වූ කියුබානු මිසයිල අර්බුදය සිදු වී වසරකට අඩු කාලයක් තුල හා ඔහුගේ ඝාතනයට මාස පහකට පෙර දී ය. 1962 ඔක්තෝබරයේ දී ලෝකය තාප-න්‍යෂ්ටික විනාශයේ අද්දරට ම ගෙන යාමෙන් පසු ඔහු සමහර විට එවැනි ප්‍රතිපලයක් “අර්ථ විරහිත” යයි ප්‍රකාශ කරන්නට ඇත්තේ අවංකව ම විය හැකි ය. කෙනඩිගේ නිගමනයේ මුඛ්‍ය දෝෂය, අධිරාජ්‍යවාදය හසුරුවනු ලබන්නේ (මනුෂ්‍ය වර්ගයාගේ) නොනැසී පැවත්මට ප්‍රමුඛත්වය දෙන, සදාචාරාත්මක ව සීමා කරනු ලබන තාර්කිකත්වයකින් යයි උපකල්පනය කිරීම ය. 

වර්තමාන පාලකයන් උම්මත්තකයින් මෙන් ක්‍රියා කරන බව පෙනේ නම්, ඒ ඔවුන්ගේ තීන්දු නිර්නය කරනු ලබන්නේ ප්‍රතිපල නොතකා, තම වෙලඳපොලවල් සඳහා, අමුද්‍රව්‍ය සඳහා, සහ ආයෝජන භූමි සඳහා ලෝකය යලි බෙදා ගැනීමට අවශ්‍යයෙන් ම ප්‍රචන්ඩ අරගලයක අවශ්‍යතාව මත එල්බ සිටින සංගත-මූල්‍ය කතිපයාධිකාරයන්ගේ හරයෙන් ම අතාර්කික ඕනෑ එපාකම් විසින් නිසා ය. 

47. අද, සෑම අධිරාජ්‍යවාදී අගනුවරකින් ම ඇසෙන ක්‍රියාකාරී වාක්‍යාංශය වන්නේ “යුද්ධය සඳහා සූදානම් වීම” යන්නයි. “අප සිටින්නේ යුද්ධයක නිරත වී නොවේ; නමුත් අප සිටින්නේ තවදුරටත් සාමයේ ද නොවේ...” චාන්සලර් මර්ස් ජර්මන් ජනතාව අමතමින් ප්‍රකාශ කලේ ය. මේ වචන පාවිච්චි කලේ ජර්මානු රාජ්‍යය, ආර්ථිකය හා සමාජය “අර්බුදයට ඔරොත්තු දෙන” තත්වයට පත් කිරීම සඳහා වූ යුද පියවරවල් පැකේජයක් ඔහුගේ ආන්ඩුව විසින් සම්මත කරන අවස්ථාවේ දී හා ඔහුගේ ආරක්ෂක ඇමති, 2029 යනු ජර්මනියේ “ක්‍රීග්ටුෂ්ටිග්” (යුද්ධයට සූදානම්) වර්ෂය යයි නම් කල අතරේ දී ය. බ්ලැක්රොක් සමාගමේ ජර්මන් ශාඛාවේ සුපරීක්ෂක මන්ඩලයේ හිටපු සභාපති වූ මර්ස්, කයිසර් විල්හෙල්ම් රජු මෙන් උජාරුවෙන් ඇවිදින්නේ හෝ හිට්ලර් මෙන් දොඩවන්නේ නැත. නමුත් රුසියාව සමග යුද්ධයට සූදානම් වීම සඳහා ඔහු ගත් පියවරවල් සියවසක් තරම් කාල පරාසයක දිවෙන ජර්මන් අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තියේ අරමුනුවල ඓතිහාසික අඛන්ඩතාවට සමපාත වේ.

48. හිටපු අගමැති කේ ස්ටාමර්, බ්‍රිතාන්‍යය “අපේ සන්නද්ධ හමුදාවල මධ්‍යම කාර්ය භාරය හැටියට, යුද්ධයට සූදානම් වීම දෙසට ගමන් කරමින් සිටින බව” 2025 ජූනි මාසයේ දී ප්‍රකාශයට පත් කරමින් “යුද්ධය විසින් ඉල්ලන වේගයට සරිලන වේගයකින් නව නිපැයුම් කරන බවට ද ශපථ කලේ ය. ජනාධිපති මැක්රොන්, ප්‍රංශ යුද්ධ වියදම දෙගුන කරමින් “1945න් පසු අද තරම් නිදහස තර්ජනයට ලක් වී නැත” යයි ප්‍රකාශ කරමින් පුරවැසියන්ට මෙසේ උපදෙස් දුන්නේ ය: “මේ ලෝකයේ නිදහස් ව සිටීමට නම්  (සෙස්සන්) ඔබට බිය විය යුතුයි; (සෙස්සන්) ඔබට බියවීමට නම් ඔබ බලගතු විය යුතුයි…”

වමේ සිට : ජර්මන් චාන්සලර් ෆ්‍රීඩ්රික් මර්ස්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, බ්‍රිතාන්‍ය අගමැති කේ ස්ටාමර්, සහ ඉතාලි අගමැතිනි ජෝජියා මෙලෝනි හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික යාත්‍රා ගමනාගමනය පිලිබඳ ව්‍යාපෘතියක් සාකච්ඡා කිරීමට පැරිසියේ එලිසි මාලිගයට පැමිනෙති; 2026 අප්‍රේල් 26 සිකුරාදා [AP Photo/Jeanne Accorsini]

49. ඔහු, (ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්) ජනවාරියේ සන්නද්ධ හමුදා අමතමින් තම අලුත් අවුරුදු පනිවිඩයේ මෙසේ වාර්තා කලේ ය: “අපි සූදානම්. ප්‍රංශය යලි සන්නද්ධ කිරීමේ දශකය “ප්‍රතිපල ලබා දී තිබේ.” ඉන්පසු ජූලි මාසයේ දී:

“අපේ ලේ හලමින් පවා” සටන් කිරීමට ප්‍රංශයේ සූදානම ප්‍රකාශයට පත් කලේ ය. යමෙක් මේ වචන කියවන

විට “මේ උන්මත්තක භාවය පැමිනෙන්නේ කොහි සිට ද?” “ඔවුන් තමන් ගේ ම වචනවත් විශ්වාස කරනවා ද?” තමාගෙන් ම අසනු ඇත. මේවා පුවත්පත්වලට රහසේ මුදා හරින ලද හමුදා නිල මන්ඩලවල පුද්ගලික ගනන් බැලීම් හෝ මහත් යුද ව්‍යසනයකට පසු ඉතිහාසඥයන් විසින් සකස් කල තිර රචනා නොවේ. ඒවා රාජ්‍ය නායකයන් විසින්, තමන්ගේ රටවල ජනතාවන් නොදැනුවත් ව හා ඔවුන්ගේ විරෝධය නොතකා කෙරෙන යුද්ධයකට ඔවුන් මානසික ව සූදානම් කිරීම සඳහා එම ජනතාවන් අමතා කල ප්‍රසිද්ධ කථා ය.

50. යුද-උන පැරනි අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන වලට පමනක් වැලඳී ඇති එකක් ද නොවේ. ලෝක ඝට්ටනය තියුනු වීම මගින් කලාපීය බලවතුන් ද සුලිය මැදට ඇද ගෙන ගොස් ඇත. අනෙක් සියල්ලන්ට ම වඩා තුර්කිය තදින් ම එසේ ඇදී ගිය රාජ්‍යයකි. යුරෝපීය නේටෝවේ විශාලත ම ගොඩබිම් හමුදාව  සහ වේගයෙන් ප්‍රසාරනය වන යුද අවි කර්මාන්තයක් හිමි තුර්කියේ එර්ඩොගාන් ගේ ආන්ඩුව සිරියාව තුල, ලිබියාව තුල හා දකුනු කොකේසියානු කලාපය තුල යුදමය වශයෙන් මැදිහත් වෙමින් අප්‍රිකාව දක්වා ම තම ආර්ථික හා යුදමය  හස්තය දිගුකර ඇත. දැන් එය ලෝක අර්බුදය තුල කියෙව් හා මොස්කව් අතර සම්බන්ධතා මාර්ග පවත්වා ගනිමින්  අත්‍යවශ්‍ය මැදිහත්කරුවකු ලෙස තමන්ව ම ඔසොවා තබා ගනිමින් ද  තම රට තුල  İncirlik, Konya and Kürecik ආදී නම්වලින් හැඳින්වෙන  ඊශ්‍රායල් - ඇමරිකානු ප්‍රහාර දියත් කරන හා බුද්ධි තොරතුරු රැස් කරන නේටෝ මධ්‍යස්ථාන පවත්වා ගන්නා අතරේ ම ඉරාන යුද්ධයට ද මැදිහත්කරුවකු ලෙස තම සේවය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කරමින් ද ජූලි මාසයේ නේටෝ සමුලුවට සත්කාරකත්වය ලබා දී, එහි සිට ම “තමන් හුදු සත්කාරකයෙක් පමනක් නොවේ; ප්‍රධාන මිත්‍ර රටක්” යයි ප්‍රකාශ කරමින් ද සිටියි.

51. ලෝක දේශපාලනය තුලට මෙම ඉහල යන මැදිහත්වීම පෙන්නුම් කරන්නේ ශක්තිය නොව මධ්‍යස්ථ ව සිටීමේ නොහැකියාවයි. යුද්ධයේ මෙටා- ස්ටැටික ව්‍යාප්තියේ දී ලෝකය යලි බෙදන විට, තමන්ටත් කොටසක් ලබා ගැනීම සඳහා සෑම කලාපීය ධනේශ්වර රටක් ම ඊට සම්බන්ධ වීමට කලබලයේ දිව එන්නේ, එසේ නොකලොත් තමන්ගේ රටත් බෙදා ගනු ලබනු ඇතැයි යන බිය නිසා ය. එ සේ ම අන් සෑම තැනක දී මෙන් ම බාහිර වශයෙන් යුද බලය ප්‍රක්ෂේපනය කිරීම, අභ්‍යන්තර වශයෙන් රට තුල කරන මර්දනය සමග — විපක්ෂ නායකයන් සිරගත කිරීම, කුර්දි ජනතාව දශක ගනනක් තිස්සේ මර්දනය කර තබා ගැනීම, යුද විරෝධී සහ සමාජවාදී විපක්ෂය ක්‍රමානුකූල ව වධ හිංසනයට ලක් ලක් කිරීම — ආදිය සමග බද්ධ ව පවතී. 

52. අපි 2026 ගිම්හාන සෘතුවේ දී හමුවෙද්දී, මහාද්වීප පහක යුද්ධ සිදු වෙමින් පවතී. යුරෝපයේ දී, ආසියාවේ දී, සහ වෙනිසියුලාවේ ක්‍රියාන්විතය හරහා එය කියුබාවට ව්‍යාප්ත කිරීම සඳහා කැරිබියානු කලාපය මිලිටරිකරනය කිරීම මගින් උතුරු හා දකුනු ඇමරිකාව තුල, යුද්ධය සිදු වේ. තවමත් මිලිටරි ගැටුම් කරා ගොස් නැතත්, මෙක්සිකෝව, කැනඩාව, එක්සත් ජනපදය හා ග්‍රීන්ලන්තය යුද ගැටුමක් දක්වා යා හැකි දැවැන්ත ආර්ථික හා දේශපාලනික ගැටුමක් අත් දකිමින් සිටියි. 

53. එහෙයින් තුන් වන ලෝක යුද්ධය අනාගතය පිලිබඳ කල්පිත න්‍යායයක් නොවේ. එය වර්තමානය පිලිබඳ විස්තර කිරීමකි. ඉදිරි දශකයේ හරි මැද පවතින්නේ යුද්ධයට විරුද්ධ සටනයි යන 2020 ප්‍රකාශනයේ අනතුරු ඇඟවීම සනාථ වී තිබේ. යුද්ධය, යහපත් සෞඛ්‍යයෙන් සිටින එක්සත් ජනපද ආර්ථිකය මත පැටවුනු බාධා කිරීමක් නොවේ. එය ආර්ථිකයේ ම පවතින ප්‍රතිවිරෝධතාවන්ගේ දේශපාලන ප්‍රතිපලයයි. 2020 ප්‍රකාශනය කඩා වැටීමේ වෛෂයික දර්ශකයන් හඳුනා ගත්තේ ය. වසර හය හමාරකට පසු, එකී සෑම දර්ශකයක් ම විශාලත්වයේ අනුපිලිවෙලින් නරක අතට හැරී ඇත.

IV. ආර්ථික පදනම 

54. 2020 අග වනවිට එක්සත් ජනපදයේ ජාතික නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 27.7 ක් විය. මෙය ඊට වසර පහකට පෙර තිබූ ප්‍රමානයට වඩා ට්‍රිලියන 10.73 ක් වැඩිය. පෙරාතු වසරට වඩා සාමාන්‍ය නය වැඩි වන වේගය දවසකට ඩොලර් බිලියන 8.03 කි. මෙය, පැයකට මිලියන 334 කි, දල වශයෙන් තත්පරයකට ඩොලර් 93,000 කි. 2026 ජූනි මාසය වන විට මුලු නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 39.5 ක් විය. 2026 මූල්‍ය වර්ෂය ට්‍රිලියන 40 පසු කරමින් අවසාන වනු ඇත. නය ප්‍රමානය වර්ෂ පහමාරක් තුලදී ට්‍රිලියන 12 කින් එනම් සියයට 40 කින් වැඩි වී තිබේ. සෑම මාස පහකට වරක් ම නය කන්ද දල වශයෙන් ඩොලර් ට්‍රිලියනයකින් වැඩි වේ. වගකීමෙන් යුක්ත ජාතික අය වැයක් සඳහා වූ කමිටුව, 2035 වන විට නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 53 ක් එනම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 120 ක් වනු ඇතැයි ප්‍රක්ෂේපනය කර ඇත.

55. අලෙවි කල හැකි නය (බැඳුම්කර ආදිය අලෙවි කිරීමෙන් ලබා ගන්නා නය) වල පොලී අනුපාතය වන සියයට 1.5 හැටියට ගනන් බැලූ විට, 2020 මූල්‍ය වර්ෂයේ දී සමස්ත පොලී ගෙවීම් දල වශයෙන් ඩොලර් බිලියන 345ක් විය. එතැන් පටන් ශුද්ධ පොලී ගෙවීම් ආසන්න වශයෙන් තුන් ගුනයක් වී තිබේ. අලෙවි කල හැකි නය වල සාමාන්‍ය පොලී අනුපාතය අද සියයට 3.36කි. කොන්ග්‍රසයේ අයවැය කාර්යාලය 2026 වර්ෂයේ සමස්ත රජයේ වියදම්වලින් සියයට 13.85ක් පොලී ගෙවීමට වෙන් කල යුතු යයි පුරෝකථනය කර තිබේ. 2028 මූල්‍ය වර්ෂයට මෙය සියයට 14.52ක් වනු ඇත. මේ ගනන් හිලව් දෙස බලන යමෙක් 1788 වර්ෂයේ දී ප්‍රංශ මුදල් ඇමති නෙකර්, ප්‍රංශ රජයේ නය ගැන එතරම් සිත් කරදර වූයේ මන්දැයි කල්පනා කරනු ඇත. අද ඇමෙරිකාවේ ගනන් හිලව් දෙස බලන විට එදා ප්‍රංශ සංඛ්‍යා ඉතා ම සකසුරුවම් ලෙස වියදම් කිරීමකට උදාහරනයකි. 2025 දී  ට්‍රිලියනයට ලඟා වූ වාර්ෂික පොලී ගෙවීම් 2035 වනවිට ට්‍රිලියන 1.8ක් වනු ඇත. දැන් නය පොලී වියදම, මිලිටරි වියදම ඉක්මවා යයි. මෙය අධිරාජ්‍යවාදී මූල්‍යමය පරිහානියේ සම්භාව්‍ය රෝග ලක්ෂනයකි. 

එක්සත් ජනපදයේ ෆෙඩරල් නය - FRED [Photo: FRED]

56. එක්සත් ජනපදයේ විදේශ වෙලඳාමේ භාන්ඩ හා සේවා කොටසේ හිඟය 2020 දී ඩොලර් බිලියන 678.7ක් විය. මෙය 2025 දී ඩොලර් බිලියන 901.5ක් විය.  භාන්ඩ කොටස පමනක් ගත් විට, එහි හිඟය ඩොලර් ට්‍රිලියන 1.24කි. මෙය, විදේශීය වෙලෙඳාමේ සේවා කොටසේ තිබූ ඩොලර් බිලියන 339.5 ක අතිරික්තය නිසා පියවා අඩු කරනු ලැබී ය. සංඛ්‍යාවල වැදගත්කම වන්නේ 2020ට වඩා තුනෙන් එකකින් වැඩි වීම නොවේ: තීරු බදු ප්‍රහාරයේ ප්‍රදර්ශනාත්මක අසාර්ථකත්වයයි. ට්‍රම්ප් පරිපාලනයේ ආක්‍රමනශීලී බදු ප්‍රහාරය තිබිය දී ත් 2025 වෙලඳ හිඟය 2024 ට වඩා අඩු වී ඇත්තේ සියයට 0.2කින් පමනකි. එය ඩොලර් බිලියන 2.1කි. අවධානය ඇද ගන්නා කරුනක් වන්නේ  වෙලඳ භාන්ඩ කොටසේ  විශාල ම හිඟය තිබෙන්නේ යුරෝපා සංගමය සමග වීම ය. (ඩොලර් බිලියන 218.8) මෙය චීනය සමග තිබෙන හිඟයටත් (ඩොලර් බිලියන 202.1) වඩා වැඩි ය. මෙක්සිකෝව සමග හිඟය ඩොලර් බිලියන 196.9කි. එ සේ ම එය ඇමරිකා- යුරෝපා වෙලඳ ඝට්ටනය තීව්‍ර වීමට කෙලින් ම අදාල වන ඉලක්කමකි. 

57. 2020 මූල්‍ය වර්ෂය සඳහා වූ ඩොලර් ට්‍රිලියන 3.1ක අයවැය හිඟය අසාමාන්‍ය දෙයකි — එය වසංගතය සමයේ ගත් හදිසි පියවරවල් නිසා සිදු වූවකි. නමුත් එතැන් සිට සාමකාමී කාලයේ හිඟය ට්‍රිලියන 1.7-1.9 අතර පැවතීම දැන් සාමාන්‍ය දෙයක් වී ඇත. අයවැය හිඟය 2025 දී පැවැති ඩොලර් ට්‍රිලියන 1.7 සිට 2035 දී ට්‍රිලියන 2.6 දක්වා වැඩි වනු ඇත. එය ඉදිරි දශකයේ ඩොලර් ට්‍රිලියන 22.7 ක සමුච්චිත වැඩිවීමකි. කොන්ග්‍රස් අයවැය කාර්යාලයේ දිගුකාලීන ප්‍රක්ෂේපන අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 7.2 ක සාමාන්‍යයක් මීලඟ දශක තුන තුල පවතිනු ඇති අතර 2025 දී දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 100 ක් වූ දේශීය මහජනතාව අත තිබෙන රජයේ නය ලියවිලි වල අගය 2056 දී සියයට 175 ක් වනු ඇත.

58. රත්‍රන් මිල 2020 දී දල වශයෙන් අවුන්සයක් ඩොලර් 1770ක් විය. වසර අග දී එය ඩොලර් 1895ක් විය. 2026 ජූලි 30 වන විට එය ඩොලර් 4080කි. පසුගිය වසර තුල පමනක් සියයට 24ක වැඩි වීමකි. 2025 වසර මුල සිට පමනක් සියයට 25ක වැඩි වීමක් සටහන් කරමින් පිට පිට ම මිල වාර්තා පිහිටුවීය. 2020 පටන් රත්‍රන් මිල දෙගුන වී තිබේ. මෙය ඩොලරය හා පොදුවේ සියලු කඩදාසි වත්කම් පිලිබඳව ලෝක වෙලෙඳපොල විසින් සැකයකට ඉඩ නොතබා දෙන ලද තීන්දුවකි. 2025 වර්ෂයේ සමස්ත රත්‍රන් ඉල්ලුම, ප්‍රධාන වශයෙන්  මධ්‍යම බැංකුවලින් ඇති වූ අධික ඉල්ලුම නිසා වාර්තාගත මට්ටම්වලට ඉහල ගිය බව ලෝක රත්‍රන් කවුන්සිලය වාර්තා කලේ ය. මෙය, ඩොලරය අත්හැර යාමේ ද්‍රව්‍යමය ප්‍රකාශනයයි. 

59. ඩොලරයේ අගය අනෙකුන් ප්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂ ව 2025 දී සියයට 10කින් පහල වැටුනි. 2026 ජනවාරියේ දී පමනක් එය 1.2කින් පහල ගියේ ය. ලෝක විදේශ විනිමය සංචිතවලින් ඩොලර් වශයෙන් තබා ගෙන තිබෙන ප්‍රමානය 2020 දී දල වශයෙන් සියයට 59 සිට 2025 තුන්වන කාර්තුව වනවිට සියයට 56. 9 දක්වා පහල වැටුනි. එය 1995න් පසු වැටුනු පහල ම මට්ටමයි. එ සේ ම එය 2001 දී තිබූ උච්ඡ ත ම ස්ථානයේ සිට බොහෝ පහල ය. 2022 දී රුසියානු මධ්‍යම බැංකුව සතු ඩොලර් බිලියන 300ක වත්කම් තහනම් කිරීම, ලොව පුරා සංචිත කලමනාකරුවන් ඔවුන්ගේ අවදානම් තක්සේරු කරන ක්‍රමවේද මූලික වශයෙන් වෙනස් කිරීමට බලපෑ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වූ අතර එය, ඩොලරය අත හැර රත්‍රන් හා වෙනත් ඩොලර් නොවන වත්කම් වශයෙන් තම සංචිත තබා ගැනීමේ විවිධාංගීකරන ක්‍රියාවලිය ඉක්මන් කලේ ය. එසේම චීනය හඳුන්වා දුන් ඇමරිකානු  බැංකු පද්ධතිය හරහා නොගොස් දේශසීමා හරහා කෙරෙන අන්තර් බැංකු හුවමාරු ක්‍රමය (CBIPS) අද වනවිට රටවල් 117 ක් විසින් පාවිච්චි කරනු ලැබේ.

60. ඇමරිකානු ධනවාදයේ ආර්ථික ජරපත්වීම එහි ප්‍රධානත්වය දරන මූල්‍ය කතිපයන්ගේ පුදුම සහගත ධනවත් වීමෙන් වෙන් කල නොහැකි ය. ජනවාරි මස ප්‍රසිද්ධ කල ෆෙඩරල් රිසර්ව් බැංකුවේ දත්ත අනුව 2025 තුන්වන කාර්තුවේ දී ධනවත් ම ඇමරිකානුවන් සියයට එක විසින් ජාතික ධනයෙන් සියයට 31. 7ක් අයිති කර ගෙන සිටියහ.

ධනවත් ම සියයට 10 ට ජාතික ධනයෙන් සියයට 68කට වඩා අයත්‍ ය. ජනගහනයෙන් පහල ම අර්ධයට අයත් වන්නේ සියයට 2.5ක් පමනකි. ගෝලීය පරිමානයෙන් ගත්කල, බිලියනපතියන්ගේ ධනය 2025 දී පෙරාතු වර්ෂ පහේ සාමාන්‍ය වර්ධන වේගය මෙන් තුන් ගුනයකින් වැඩි වී වාර්තාගත ඩොලර් ට්‍රිලියන 18.3 ක් දක්වා ලඟා විය. මෙය අපේ 2020 ප්‍රකාශනය පල කිරීමෙන් පසු සියයට 81ක වැඩි වීමකි. බිලියනපතියන් සංඛ්‍යාව දැන් 3,000කට වඩා වැඩි ය. ඔවුන්ගේ ඒකාබද්ධ ධනය මුලු ලෝකයේ ම  දදේනියේ ගෝලීය එකතුවෙන් සියයට 14කි. මෙය 1990 දී සියයට 2.5ක් විය.   තිස්පස් අවුරුදු අධිරාජ්‍යවාදී යුද්ධයේ ප්‍රධාන ගාමක බලවේගය ද එහි අර්ථලාභියා ද වූ  කතිපයාධිකාරීන් යුද්ධයට සමාන්තර ව තම ධනය වැඩි කර ගෙන තිබේ.

61. සමස්තයක් වශයෙන් බලන විට මේ සංඛ්‍යා ප්‍රදර්ශනය කරන්නේ වක්‍රීය දුෂ්කරතාවක් (වෙලඳ වක්‍රය වැනි උස් පහත් වන) නොව ව්‍යුහාත්මක රෝග තත්වයකි: සෑම මාස පහකට වරක් ම ඩොලර් ට්‍රිලියනයක් අලුතෙන් නයට ගන්නා රටක්; රටේ සමස්ත අයවැය ලේඛනයෙන් හතෙන් එක් පංගුවක් නය පොලී විසින් ගිල දමන රටක්; ආරක්ෂනවාදී තීරු බදුවලට ප්‍රතික්‍රියා නොදක්වන රටක්; විදේශීය වටිනාකම මෙන්ම තම සංචිත අරමුදලක තත්වය ද පිරිහෙලා ගන්නා මුදල් ඒකකයක් තිබෙන රටක්; සියලු වටිනාකම්වල අවසාන මිනුම් දන්ඩ වන රත්‍රන් විසින්, ඩොලරයෙන් මනින සමස්ත නය ව්‍යුහය ම කෙරෙහි විශ්වාස භංගය සටහන් කල රටක් සහ මේ සියල්ල මත හිඳගෙන ජාතික ධනයේ තම කොටස වාර්තාගත ඉහලම මට්ටමට වැඩි කර ගත් කතිපයාධිකාරයක් සිටින රටක්. 

62. මෙම සංඛ්‍යා හුදෙක් ධනය බෙදී ගිය ආකාරය පෙන්නුම් කරන සංඛ්‍යා පමනක් නොවේ; එය රාජ්‍ය පාලන ආකෘතියක් ප්‍රදර්ශනය කරයි. වර්තමාන ඇමරිකානු රාජ්‍යය තම අත්‍යවශ්‍ය ගති ස්වභාවයෙන්ම කතිපයාධිකාරී වේ. ඔක්ස්ෆෑම් සංවිධානයේ “ධනපතියන්ගේ පාලනයට ප්‍රතිරෝධය දැක්වීම” යනුවෙන් උචිත ලෙස ම නම් කර තිබෙන 2026 ජනවාරි වාර්තාව, බිලියනපතියෙකුට දේශපාලන තනතුරු ලැබීමට අන් පුරවැසියකුට වඩා හාරදාස් (4000) වාරයක සම්භාවිතාවක් තිබේ යයි ප්‍රකාශ කලේ ය; 2024 එක්සත් ජනපද මැතිවරනයේ දී වියදම් කල සෑම ඩොලර් හයකින් ම එක් ඩොලරයක් පැමිනියේ බිලියනපති පවුල් සියයකිනි; ඩොලර් බිලියන 7ක් හිමි ට්‍රම්ප්ගේ කැබිනට්ටුව ඇමරිකානු ඉතිහාසයේ ධනවත් ම කැබිනට්ටුව ය; ජනාධිපතිවරයා තම පුද්ගලික ධනය එක් වසරක් තුල දී ඩොලර් බිලියනයකට වැඩියෙන් වැඩි කර ගැනීමට තම තනතුර පාවිච්චි කලේ ය. ලෝකයේ විශාලත ම මාධ්‍ය සමාගම්වලින් අඩකට වඩා ප්‍රමානයක් ද ප්‍රධාන කෘතිම බුද්ධි සමාගම් දහයෙන් අටක් ද බිලියනපතියන් විසින් පාලනය කරනු ලැබේ.[8]

තාක්ෂන කතිපයාධිකාරීන් සමග ධවල මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහය [Photo: White House]

63. රාජ්‍යය යනු ධනපති පන්තියේ පොදු කටයුතු කලමනාකරනය සඳහා තිබෙන කොමිටියක්‍ ය යන මාක්ස්ගේ විස්තර කිරීම අකුරට ම නිවැරදි බවක් අත් කර ගෙන තිබේ. එක්සත් ජනපදයේ ආන්ඩුව, සංගත මූල්‍ය වංශවතුන්ගේ සෘජු මෙවලමක් ලෙස ක්‍රියා කරන අතර ප්‍රජාතාන්ත්‍රික ආකෘතීන් විනාශ කිරීම, ආඥාදායකත්වය දෙසට සිදු වන ධාවනය සහ යුද්ධය දෙසට හැරීම කම්කරු පන්තියට එරෙහි ව ඔවුන්ගේ ධනය ආරක්ෂා කර ගැනීමේ දේශපාලන විධික්‍රමයන්‍ ය. දැන් සහ අනාගතයේ දී මෙම සංඛ්‍යාවල් වාර්තා කොට හදාරන ඉතිහාසඥයින්ට විප්ලවයක් ඇතිවීම නොවැලැක්විය හැකි බව සුපැහැදිලි වනු ඇත. ඔවුන් මෙසේ ලියනු ඇත : “මෙය කිසිවකු විසින්වත් නොදකිනු ලැබුවේ කෙසේ ද?” නමුත් සත්තකින් ම ඉතිහාසඥයන් හෝ විස්තර කථිකයන්ගේ අති මහත් බහුතරයත් එය දකින්නේ නැත. 

64. ආර්ථික අර්බුදයේ තවත් තීරනාත්මක මූල කොටසක් වන්නේ, දැනට ම ලබා ගෙන ඇති ආපසු ගෙවිය යුතු ව තිබෙන නය (debt) හා ලබාගත හැකි මූල්‍ය නය (credit) වල දැවැන්ත ප්‍රසාරනය නිසා පැන නගින ව්‍යාජ ප්‍රාග්ධනයේ වර්ධනයයි. මේ ව්‍යාජ ප්‍රාග්ධනය, දැන් පාලක පන්තිය විසින් “කෘතිම බුද්ධිය” යයි කියන දෙය වටා ගොඩ නැගී ඇති සමපේක්ෂන උමතුව (සමපේක්ෂනය - අනාගතයේ දී මිල ඉහල යතැයි සිතා දේවල් ගැනීම හා මිල පහල යතැයි සිතා දේවල් විකිනීම - පරි.) තුල සංකේන්ද්‍රනය වී පවතී. ලෝසවෙඅ කෘතිම බුද්ධිය යන වචනය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට වැඩි දියුනු කල බුද්ධිය (Augmented Intelligence) යන්න යොදා ගනී. තාක්ෂනය කෘතිම හෝ පිට සක්වල බුද්ධියක් නොවේ. එය සමුච්චිත මානව බුද්ධිමය ශ්‍රමය, භාන්ඩයක ස්වරූපයට පත් කිරීමයි.  පවතින තාක්ෂනය මාක්ස් විශ්ලේෂනය කල භාන්ඩ වන්දනාව මෙන්, මනුෂ්‍ය වර්ගයා ගේ ම සමාජමය නිෂ්පාදනය ඔවුන්ට ඉහලින් පවතින ස්වයං ක්‍රියාකාරී බලවේගයක් ලෙස පෙන්වනු ලැබේ.

65. නමුත් මෙම තාක්ෂනයේ වැදගත්කම සමපේක්ෂකයන් සොයන වාසනාවට වඩා බොහෝ දුරදිග යන කාරනයකි. පසුගිය සරත් සෘතුවේ බර්ලින් හා ලන්ඩන් හි පැවැත් වූ දේශනවල දී වර්ධනය කරන ලද පරිදි, වැඩි දියුනු කරන ලද බුද්ධිය විසින්, සජීවී මානව ශ්‍රමය —එනම් අතිරික්ත වටිනාකමේ එක ම මූලාශ්‍රය — පෙර නොවූ විරූ පරිමානයකින් නිෂ්පාදන ක්‍රියාවලියෙන් පලවා හැරීම මගින් වෛෂයික ව, ධනවාදය පදනම් වී පවතින සමස්ත වටිනාකම් පද්ධතියට ම යටින් වල කපනු ලැබේ. එය, ඓන්ද්‍රීය ප්‍රාග්ධනයේ සංයුතිය පෙර නෑසූ විරූ උච්ඡස්ථානවලට ඉහල නංවා, ලාභ අනුපාතය පහත හෙලීමට තිබෙන ප්‍රවනතාවය වේගවත් කරන අතර ගෘන්ද්රිසයේ දී මාක්ස් පෙරදුටු තත්වය කරා, එනම් හුවමාරු වටිනාකම මත පදනම් වූ නිෂ්පාදනය කඩා වැටෙන තත්වය කරා, තල්ලු කරයි. එම විස්තෘත විග්‍රහය මෙහි දී සාකච්ඡා කල නොහැකි නමුත් සමපේක්ෂන උමතුව අප විසින් දැකිය යුතු වෛෂයික රාමුව එයින් නිර්වචනය කෙරෙයි.

66. ධනවාදය යටතේ අති මහත් විමුක්තිදායක විභවයකින් යුත් බලගතු තාක්ෂනයක් සමපේක්ෂන බුබුලක් බවට පත් වී තිබේ. සමස්ත ඇමරිකානු මූල්‍ය අට්ටාලය ම රැඳී තිබෙන්නේ පුදුම කරවන තරම් පටු අත්තිවාරමක් මත, එනම්, තාක්ෂන ඒකාධිකාරීන් කීප දෙනෙක් මත ය. තිස් වසරක් තිස්සේ පිට පිට ආ මූල්‍ය බුබුලුවලින් එක්සත් ජනපද ධනවාදය ගැලවී ගත්තේ  නය ප්‍රසාරනය මගිනි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ෆිස්කල් ප්‍රතිපත්ති හා නය ලිහිල් කිරීම ආදී සම්ප්‍රදායික මෙවලම්, නය කන්ද හා ඩොලරයේ දුර්වලතාව නිසා බෙලහීන වූ තත්වයන් යටතේ  සමපේක්ෂනය ක්‍රියාත්මක වීම ය. 

මේ තත්වයන් යටතේ පාලක පන්තිය ආර්ථික අර්බුදයට තම පිලිතුර ලෙස යුද්ධය දෙසට හැරෙයි. අතිරික්ත නිෂ්පාදනයට හා අතිරික්ත සමුච්චයනයට සම්භාව්‍ය ධනපති පිලිතුර වූයේ යුද්ධයයි. ද්‍රව්‍යමය වශයෙන් ම ප්‍රාග්ධනය විනාශ කිරීම හා සම්පත් හා වෙලඳපොල ආක්‍රමන මගින් අල්ලා ගැනීමයි. මෙහි මෑත ම උදාහරනය වෙනිසියුලාවේ තෙල් ඩැහැ ගැනීම හා ජාතික ආපදා තත්වයක් යයි ප්‍රකාශ කොට කම්කරු පන්තිය මෙල්ල කිරීම ය.

67. යුද්ධ ආර්ථිකයකට සංක්‍රමනය වීම යුරෝපයේ බොහෝ දුර ගොස් ඇත. 2025 හේග් සමුලුවේ දී නේටෝ රටවල් යුද වියදම් සඳහා කලින් තිබූ (ජාතික ආදායමෙන්) සියයට දෙකේ වෙන් කිරීම සියයට පහ දක්වා වැඩි කලේ ය. මෙයින් සියයට 3.5ක් හමුදාවල අරටුව විශාල කිරීමට ය. ඉතිරි සියයට 1.5 යුද්ධයට අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය කිරීමටය. පසුගිය ජූලි මාසයේ අන්කාරා නුවර පැවැති සමුලුවේ දී සාමාජික රටවල් තම යුද වියදම් ප්‍රසාරනය සඳහා අනුකූලත්ව සැලසුම් ඉදිරිපත් කලේ ය. බෝල්ටික් රටවල් හා පෝලන්තය දැනට ම සියයට 4 සිට 5 දක්වා වියදම් කරති. 

68. ජර්මනිය තම ෆෙඩරල් සමූහාන්ඩුවේ ඉතිහාසය තුල යලි සන්නද්ධ කිරීම සඳහා වෙන් කල වැඩි ම මුදල පාර්ලිමේන්තුවේ සම්මත කලේ ය. එ සේ ම රටේ ව්‍යවස්ථාවෙන් පනවා තිබෙන යුද්ධයට නය ගැනීමේ සීමාවන් අත් හිටුවා එය සියයට 3.5 මට්ටම දක්වා ලඟා වීමට කලින් සැලසුම් කල කාල සටහනට වඩා වසර හයකට පෙර ලඟා වීමට තම කැපවීම ශපථ කරමින් යූරෝ බිලියන 200 ඉක්මවා යන යුද වියදම් ඉලක්කය කරා මග සකස් කොට යුරෝපයේ බලවත් ම සන්නද්ධ හමුදාව බවට පත්වීමේ තම අරමුන විවෘත ව ම ප්‍රකාශයට පත් කලේ ය .

69. ජනවාරියේ සිට ජර්මනියේ වයස 18 සම්පූර්න වූ සෑම කෙනෙකුට ම යුද්ධමය යෝග්‍යතාව පරීක්ෂා කරන ප්‍රශ්නාවලියක් ලැබී තිබේ. 2027 ජූලි මස සිට පලමු පිරිමි බල කාන්ඩ සඳහා වෛද්‍ය පරීක්ෂනය අනිවාර්ය වන අතර සිය කැමැත්තෙන් හමුදාවට බැඳෙන සංඛ්‍යාව ප්‍රමානවත් නොවුවහොත් බලහත්කාරයෙන් බඳවා ගැනීමට බලය දෙන පනතක් ද එදින සිට ක්‍රියාත්මක වේ. එක්සත් ජනපදයේ මීලඟ දෙසැම්බරයේ සිට වයස 18-26 අතර සෑම අයෙකු ම ස්වයංක්‍රිය ව ලියා පදිංචි කිරීම ආරම්භ වන අතර පෙර කී (ජර්මනියේ) ආකාරයේ පනතක් ද සූදානම් කෙරෙමින් පවතී. 

70. ලෝක තත්වයක් එහි වෛෂයික කාරනාවලින් පමනක් මැනගත නොහැකි ය. එම තත්වය තුල ක්‍රියාකාරී වන පන්තීන්ගේ විඥානයත් අප පරීක්ෂා කර බැලිය යුතු වේ. විදේශ සම්බන්ධතා කවුන්සිලයේ සඟරාව වන Foreign Affairs තම ප්‍රධාන ලිපියේ මාතෘකාව හා එහි කවරයේ කතාව ලෙස දක්වන්නේ “ඊලඟ යුද්ධය දිනන්නේ කවුද?” යන ප්‍රශ්නයයි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රධාන න්‍යායික සඟරාව මුලු කලාපය ම සකස් කර ඇත්තේ මහ බලවතුන් අතර යුද්ධයක් ඇති වේද යන්න ගැන නොවේ; ඊටත් අඩුවෙන්, එවැනි යුද්ධයක් වැලැක්විය හැක්කේ කෙසේ ද යන්න ගැනවත් නොවේ; එය ජයග්‍රහනය කරන්නේ කවුරුන්ද යන්න වටා ය. අවසර දී ඇති සීමාව තුල සාකච්ඡා වන්නේ ඊලඟ යුද්ධයේ පාර්ශවකරුවන් වනු ඇත්තේ කවුද, වඩා හොඳින් සූදානම් වී එය කරනු ඇත්තේ කවුද ආදිය වටා ය. එවැනි යුද්ධයක් නොකල යුතු ය යන ස්ථාවරය සාකච්ඡා කිරීමට අවසර දී නැත. පාලක පන්තිය තුන් වන ලෝක යුද්ධය තමන්ගේ ක්‍රියාකාරී සිතා ගැනීම ලෙස අභ්‍යන්තරීකරනය කර ගෙන සිටී. 

VI. කම්කරු පන්තියේ රැඩිකලීකරනය සහ නායකත්වයේ අර්බුදය

71. 1914 -1945 යුගයේ ප්‍රධාන ත ම පාඩම කෙලින් ම වර්තමාන තත්වයට අදාල වේ. ලෝක යුද්ධය සහ සමාජ විප්ලවය එක ම අර්බුදයක අන්තර්-සම්බන්ධිත අදියරයන්‍ ය. පලමුවන ලෝක යුද්ධය වසර තුනක් තුල ඉතිහාසයේ දැවැන්ත ම විප්ලවවාදී රැල්ලට උපත දුන්නේ ය. දෙවන ලෝක යුද්ධය, අධිරාජ්‍යවාදයේ හා ස්ටැලින්වාදයේ ඒකාබද්ධ ආයාසයන්වලින් පමනක් මැඬලන ලද්දා වූ 1943 -1948 වකවානුවේ විප්ලවවාදී උතික්ෂිප්තයන්ට උපත දුන්නේ ය. එසේම, නිසැක වශයෙන්ම 1950 ගනන්වල, හැට ගනන්වල හා හැත්තෑ ගනන් දක්වා ම ඇදී ගිය ශ්‍රේෂ්ඨ යටත් විජිත විරෝධී අරගල දෙවන ලෝක යුද්ධයේ හා විප්ලවීය රැල්ලේ පසු කම්පනයන්‍ ය. 

72. සම්පූර්න යුද්ධය,  1917 රුසියාවේ දී හා දෙවන ලෝක යුද්ධයේ අවසන් වසරවල හා ඉන් පසු කාලයේ සිදු වූවක් මෙන් කම්කරු පන්තියේ සමාජ හා දේශපාලන රැඩිකලීකරන ක්‍රියාවලියක් දියත් කරන සම්පූර්න බලමුලු ගැන්වීමක්  අවශ්‍ය කරවයි. වර්තමාන යුගයේ පාලකයෝ මේ ඉතිහාසය දනිති. එය සෑම ධනපති රාජ්‍යයක ම ආයතනික ස්මරනයේ තැන්පත් ව පවතී. 1914 දී ආරම්භ වූ අධිරාජ්‍යවාදී යුද්ධයේ විප්ලවීය ප්‍රතිඵල පාලක පන්තියේ මනස තුල හොල්මන් කරයි. ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය පිලිබඳව ලියමින් දක්ෂිනාංශික ඉතිහාසඥ ශෝන් මැක්මීකන් සඳහන් කල ආකාරයට : “1917 දියත් වූ දෘෂ්ටිමය (යුද්ධ) යුගය තුලින් බිහි වූ න්‍යෂ්ටික අවි මෙන්, ලෙනින්වාදය පිලිබඳ ශෝකජනක කාරනය වන්නේ එය එක්වරක් සොයා ගත්තාට පසු නැවත ආපස්සට හැරවීමට නොහැකිවීමය...”[9]

1917 විප්ලවය සමයේ පෙට්‍රොග්‍රෑඩ් සොල්දාදුවන්ගේ සෝවියට් සභාවේ සැසියක්

73. අධිරාජ්‍යවාදී යුද්ධයේ මෙටාස්ටැටික ව්‍යාප්තිය, එහි අපෝහක ප්‍රතිධ්‍රැවය (antipode),  පන්ති අරගලයේ ගෝලීය ප්‍රසාරනය තුල සොයා ගනී. එහි ප්‍රගමනය, පන්ති විඥානය පරිනතවීම විස්තර කිරීමට ට්‍රොට්ස්කි යොදා ගත් මේ යෙදුමින් විස්තර කල හැකි ය: නිල දේශපාලනයේ මතුපිටට යටින් අනුක ව මෝරන, සූරා කෑමේ, යුද්ධයේ හා රාජ්‍ය ප්‍රචන්ඩත්වයේ මිලියන සංඛ්‍යාත තනි පුද්ගල අත්දැකීම් නිහඬ ව සමුච්චයනය වී හැම ආන්ඩුවක් ම විස්මයට පත් කරමින් එහි සාමූහික ප්‍රකාශනය පුපුරා යයි. යුද්ධය, ලෝකය පෙරමුනු වලට බෙදද්දී පන්ති අරගලය ලෝකය එක්සත් කරයි.

74. 1988 අගෝස්තු 30 වන දින පැවති වර්කර්ස් ලීගයේ දහතුන් වන ජාතික සම්මේලනයේ ආරම්භක වාර්තාව තුල කම්කරු පන්තියේ ජාත්‍යන්තර ඒකාබද්ධතාව පිලිබඳ ව පුරෝකථනය කර තිබුනි:

නිර්ධනීන්ගේ අරගලයේ ඊලඟ අවධිය ජාත්‍යන්තර ගමන් පථයක් දිගේ, ආර්ථික ප්‍රවනතාවන්ගේ  වෛෂයික පීඩනය හා මාක්ස්වාදීන්ගේ බලපෑම යන මනෝබද්ධ පීඩනය යටතේ අඛන්ඩ ව පෙරට යනු ඇතැයි අපි පූර්වාපේක්ෂා කරමු;  නිර්ධනීහු ප්‍රායෝගික භාවිතයේ දී තමන් ජාත්‍යන්තර පන්තියක් හැටියට වැඩි වැඩියෙන් නිර්වචනය කර ගනු ඇති අතර මේ ඓන්ද්‍රීය ක්‍රියාවලියේ ප්‍රකාශනය  ප්‍රතිපත්ති ඉදිරිපත් කරන මාක්සීය ජාත්‍යන්තරවාදීන්  එම ක්‍රියාවලිය වගා දිගා කරනු ඇත.[10]

75. වර්ෂ 1988 දී නිෂ්පාදන ක්‍රියාවලියේ ගෝලීය ඒකාබද්ධ වීම අද තත්වය හා සසඳන විට, එහි ලදරු අවස්ථාවේ දී පසු විය. පාර-ජාතික සංගත විසින්, වඩා පැරනි සංවිධාන ආකෘතිය වූ බහුජාතික සමාගම් විස්ථාපනය කිරීම යම්තමින් ඇරඹී තිබුනි. එවක් පටන් ගත වූ දශක හතර තුල ක්‍රියාවලිය එහි තර්කානුකූල අන්තය කරා ගෙන යනු ලැබී ය. පැරනි  වර්ගයේ බහු ජාතික සමාගම් යනු විදේශ තුල ද ක්‍රියාත්මක වන ජාතික සමාගමකි. එය ජාතික වශයෙන් හඳුනා ගත හැකි සන්නාමයක් ඇති නිෂ්පාදන සහිත, විදේශීය ශාඛා ද  ඇති ඇමරිකානු, ජර්මානු හෝ ජපාන සමාගමක් විය හැක. ඒ ලෝකය දැන් නැත. නිෂ්පාදනය තනි ගෝලීය ක්‍රියාවලියක් ලෙස ප්‍රතිසංවිධානය කරන ලද අතර එම ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය තුල දී වෙලඳ භාන්ඩය සතු ව තිබූ ජාතික අනන්‍යතාවයේ සලු පිලි ගලවා දමන ලද්දේ ය.

76. ඇමරිකානු මෝටර් රථයක්, ජර්මානු බල මෙවලමක්, කොරියානු දුරකථනයක් හෝ චීන පරිගනකයක් කියා දෙයක් අද නැත. මිෂිගන් හි දී එකලස් කෙරෙන වාහනයක — නෙදර්ලන්ත ලිතෝග්‍රාෆ් යන්ත්‍ර යොදා ගෙන ජපානයේ දී  නිෂ්පාදනය කරනු ලැබූ කොම්පියුටර් බෝඩ් මත සවි කල තායිවානයේ නිෂ්පාදිත අර්ධ- සන්නායක චිප්, හොන්ඩියුරාස් හි සියුඩා ශ්වාරේස් විසින් නිපද වූ වයර් හනසු, චීනයේ පිරිපහදු කල විරල පාංශු, බැංගලෝරයේ දී හෝ සියැට්ල් හි දී ලියූ මෘදුකාංග සහ ගිනියානු බෝක්සයිට් යොදාගෙන පිරිපහදු කල ඇලුමිනියම් — අඩංගු ය. පෙර කාලයේ දී භාන්ඩයක සඳහන් කල “නිෂ්පාදිත රට” යන්න අද ආර්ථික ප්‍රබන්ධයකි. එය සඟවන්නේ පහත කියවෙන අත්‍යවශ්‍ය කාරනයයි: එනම්, සෑම සැලකියයුතු නිෂ්පාදනයක් ම අද සෑම මහාද්වීපයක ම කම්කරුවන්ගේ ඒකාබද්ධ ශ්‍රමය මූර්තිමත් වූ සංකීර්න නිෂ්පාදන ජාලයකින් සමන්විත ලෝක නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලය බවයි. 

2025 අප්‍රේල් 17දා, දකුනු චීනයේ ගුවැන්ඩොං පලාතේ, නන්ෂා දිස්ත්‍රික්කයේ, ගුවැන්ෂු වරායේ, ප්‍රවාහනය සඳහා සූදානම් කර ඇති නැව්ගත කිරීමේ බහාලුම්. [AP Photo/Ng Han Guan]

77. නිෂ්පාදනය දේශ සීමා හරහා සංවිධානය වීම, අද එක ම අන්තර්ගත ජාතික කොටසකටවත් ස්වයං පෝෂිත වෙනවා තබා සමචාරීවීමට (coherent) වත් ඉඩක් නොතබන අඛන්ඩ අන්තර්-රැඳියාවෙන් යුත් ක්‍රියාවලියක් වීම අද අති ප්‍රමුඛ කාරනයයි. ප්‍රතිපල වශයෙන් බලන විට, අද දවසේ එක ම කම්හලක් සමස්ත ග්‍රහලෝකය හරහා ම ප්‍රසාරනය වී තිබෙන්නාක් මෙනි. ගුවෑන්ඩොං හි සිටින කම්කරුවා, ස්ටුට්ගාට් හි සිටින කම්කරුවා, සාඕ පාවුලෝහි සිටින කම්කරුවා සහ ඩිට්‍රොයිට් නුවර සිටින කම්කරුවා හුදෙක් සමාන නිෂ්පාදිතයන් සමාන්තර ලෙස නිපදවනවා පමනක් නොවේ. ඔවුන් එක ම නිෂ්පාදන ක්‍රියාවලියකට, එක ම නිෂ්පාදිතයක් වෙනුවෙන් වෙනස් සේවා ස්ථාන වල සිට ශ්‍රමය එකතු කරති. 

78. ධනේශ්වරය මෙම පරිනාමනයෙන් තමන් ගේ ම නිගමනවලට එලඹ සිටී: එනම්, සමස්ත ලෝකයේ ම සම්පත්, වෙලඳපොලවල් හා සැපයුම් මාර්ග, බලහත්කාරයෙන් අත්පත් කරගත යුතු ව තිබෙන,  ජාතික අවශ්‍යතාවන් සඳහා නැති ව ම බැරි දේ බවයි. නමුත් එම පරිනාමනය ම කම්කරු පන්තිය  ප්‍රතිවිරුද්ධ දිසාවට තල්ලු කරයි. 

79. ගෝලීය සැපයුම් දාම, සන්නිවේදන පද්ධති, සමෝධානිත නිෂ්පාදන ජාල සෑම මහාද්වීපයක ම කම්කරුවන්ට තමන් මුහුන දෙන්නේ එක ම බැංකු වලට බව, එකම සංගත සමාගම් වලට බව, එක ම ආන්ඩුවලට බව යන අවබෝධය ගෙන එන ධමනි නාල වේ. 

80. මෙම එකතු වීමේ මානව පදනම, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඓතිහාසික ව පෙර නොවූ විරූ පරිමානයයි. ලෝක කම්කරු සංවිධානවල ගනන් බැලීම් වලට අනුව ගෝලීය කම්කරු හමුදාව මිනිසුන් බිලියන තුන හමාරක් පමන, එනම් ඉතිහාසයේ කිසිදා හෝ ඒකරාශි කල විශාල ත ම සමාජ බලවේගය වන අතර අද සමස්ත මනුෂ්‍ය ජනගහනයෙන් බහුතරය නගරවල ජීවත් වෙති. එය මේ සියවසේ පලමු වතාවට පසු කරනු ලැබූ ප්‍රධාන ත ම මායිම් රේඛාවකි. 

81. ආසියාවේ කාර්මික කම්කරු පන්තිය පමනක් ගතහොත්, එය 1917 දී සමස්ත ලෝකයේ ම සිටි නිර්ධනීන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි ය. බිලියන තුන් කාලක් පමන වන චීනයේ කම්කරු පන්තිය, ලෝක ඉතිහාසයේ ලොකු ම කම්කරු පන්තිය යි. ඉන්දියාවේ මහ වැඩ වර්ජනවල දී පිට පිට ම එකම දවසක දී මිලියන 200 පමන කම්කරු හමුදා බලමුලු ගන්වා තිබේ. එය මනුෂ්‍යයින් විසින් ඉතිහාසයේ කිසිදා හෝ කරන ලද විශාල ත ම සාමුහික ක්‍රියාවයි. හජාජාක නැවත නැවතත් හැරුනු ශුද්ධ වූ පවුල (Holy Family) කෘතියේ ඡේදයක් තුල මාක්ස් හා එංගල්ස්, ඓතිහාසික කර්තව්‍යය සහ  ජනස්කන්ධය අතර සම්බන්ධතාව පාලනය කරන්නා වූ නියාමය  පැහැදිලි කලහ: “ඓතිහාසික ක්‍රියාවෙහි පරිපූර්නත්වයත් සමඟ, එය ක්‍රියාත්මක වන ජන ස්කන්ධයේ ප්‍රමානය වැඩි වනු ඇත.”[11] දේශපාලන ශබ්දකෝෂයේ මේ වචනවල අන්තර්ගත විනිවිද දක්නා  නුවන අයින්ස්ටයින්ගේ E = mc²  තරම්ම වැදගත්‍ ය. 

82. මේ ප්‍රස්තුතය, ප්‍රතිලෝම ව ද කියවිය හැකි ය. වර්තමාන යුගයට එහි ඇති වැදගත්කම සම්පූර්න වශයෙන් ඉස්මතු වන්නේ එවිට ය. දැන් ක්‍රියාවට බසින ජනස්කන්ධයේ පරිමාව එය සිදුවීමට ආසන්න ඓතිහාසික ක්‍රියාවේ පරිපූර්නභාවයේ ම මිනුමකි.  නගරවල සංකේන්ද්‍රිත, ඉතිහාසයේ මෙතෙක් නිර්මානය වූ වඩාත් ම ඒකාග්‍ර නිෂ්පාදන ක්‍රියාවලියකින් එකට ගැට ගැසුනු, ලෝක යුද්ධය, ආඥාදායකත්වය හා සමජ දුක්ඛිතභාවයට එකවර මුහුන දී සිටින මිලියන තුන හමාරක සමාජ බලවේගයක් ඉතිහාසය විසින් බලමුලු ගන්වා තිබෙන්නේ නිකම් ම විරෝධය පල කිරීමකට නොවේ. එය ඉතිහාසය විසින් බලමුලු ගන්වා ඇත්තේ මීට පෙර කවදා හෝ නොකල මට්ටමේ පරිපූර්න සමාජ පරිවර්තනයක්, එනම්, —ලෝක සමාජවාදී විප්ලවය—සඳහා ය. 

83. 2020 ඉදිරි දර්ශන ලිපිය, මේ දශකයේ තීරනාත්මක ප්‍රවනතාවය ලෙස හඳුනා ගත් සමාජ රැඩිකලීකරනය පැහැදිලි වශයෙන් ම ආරම්භ වී තිබේ. ලිපිය තම ප්‍රාරම්භක ලක්ෂ්‍යය ලෙස ගත්තේ 2018-2019 වර්ෂවල ගෝලීය අරගල රැල්ලයි. එනම්, —කහ කබා (වැඩබිම්වල කම්කරුවන් අඳින අත් නැති කහපාට උඩ කබා) ව්‍යාපාරය, චිලී රටේ සිට සූඩානය දක්වා මහජන නැගිටීම් හා එක්සත් ජනපදයේ වැඩ වර්ජන යලි ඇරඹීම යනාදියෙනි. ඉන්පසු එලඹි වසර හයහමාරක කාලය  එම ඉදිරි දර්ශනයේ ගමන් පථය වඩා ප්‍රසාරිත  පරිමානයකින්  සනාථ කර තිබේ. 

84. කෝවිඩ් වසංගතයේ දී (ස්වාභාවික ව රංචු ප්‍රතිශක්තිය ලැබේ යයි කියමින්) සිතා මතා ම රෝගය බෝවීමට ඉඩ හැරීමෙන් මිලියන තිහක් මිය යන්නට ඉඩදුන් ප්‍රතිපත්තිය - ලාභය වෙනුවෙන් ජීවිත බිලි දීමේ කෲර ත ම ස්වරූපය - ලොව පුරා ම වැඩ වර්ජන රැලි මුදා හලේ ය.  ප්‍රංශ විශ්‍රාම වැටුප් අරගල, බ්‍රිතාන්‍ය වර්ජන රැලි, ඇමරිකානු මෝටර් රථ,  භාන්ඩ ප්‍රවාහන ජාල හා සෞඛ්‍ය සේවාවල වර්ජන, දකුනු යුරෝපයේ හා දකුනු ආසියාවේ මහ වැඩ වර්ජන, ගාසා ජන සංහාරයට එරෙහි වසර දෙකකට වැඩි විරෝධතා සහ “රජුන් එපා!” පෙලපාලි තුන - ඇමරිකානු ඉතිහාසයේ විශාල ත ම විරෝධතා - ව්‍යාපාරය හා ආදී සියල්ල එක ම ආරෝහන වක්‍රයකි. අසූ අවුරුදු තහංචියකින් පසු, ඇමරිකාව තුල ම සමාජවාදය යලි මතු වෙමින් පවතී. විකෘති ස්වරූපයකින් මතු වන එය, ඩිමොක්‍රටික් පක්ෂය තුල ම යලි ඔබා තබන්නට ඩිමොක්‍රටික් සෝෂලිස්ට්ස් ඔෆ් ඇමරිකා (DSA) සංවිධානය දරන ආයාස තිබිය දී ත්, කිසිදු සංවිධානමය ඇටවුමකට ස්ථිර ව ම රඳවා තැබිය නොහැකි විඥානයේ වෙනස්වීමක් ප්‍රකාශයට පත් කරයි. 

ඔරිගන්, පෝට්ලන්ඩ් හි වෝටෆ්‍රන්ට් පාක් දිගට “රජුන් එපා!” උද්ඝෝෂනයට ජනයා රැස් වෙති-2025 ඔක්තෝබර් 18 [AP Photo/Jenny Kane]

85. උතුරු ඇමරිකාවේ දී, සමාජ බලවේගයක් ලෙස මිය ගිය බවට ප්‍රකාශයට පත් කෙරුනු එම පන්තිය, සෑම අංශයක ම නැවතත් අරගලයට අවතීර්න වී සිටී - ඇමසෝන් (Amazon) සහ යූපීඑස් (UPS) හි ඇති වූ කැරලි මෙන් ම, මහාද්වීපික ව ඒකාබද්ධ වූ කම්කරු පන්තිය තනි බලවේගයක් ලෙස කරලියට පැමිනීම සනිටුහන් කල මැටමොරෝස් (Matamoros) හි වෘත්තීය සමිති නායකත්වයට පිටින් සාමාජිකත්වය විසින් කැඳවනු ලැබූ වැඩවර්ජන (wildcat strikes). වෘත්තීය සමිති තුල සියයට 90කට අධික ප්‍රතිශතයකින් ගිවිසුම් ප්‍රතික්ෂේප වීම සහ යූඒඩබ්ලිව් සභාපති ධුරය සඳහා වන විල් ලේමන් ගේ උද්ඝෝෂන ව්‍යාපාරයට ලැබෙන ප්‍රතිචාරය මගින්, එම වෘත්තීය සමිතිවල නිලධරවාදී පාලන තන්ත්‍රයට එරෙහි කැරැල්ලක් පෙන්නුම් කෙරේ. මෙම පිබිදීම දිග හැරෙමින් පවතින්නේ ලෝක අධිරාජ්‍යවාදයේ මර්මස්ථානයේ ම ය; ඇමරිකානු හෙජමොනිය විසින් ඔවුනගේ පැවැත්ම සඳහා යටත් ව සිටිනු ඇතැයි උපකල්පනය කරන ඒ කම්කරු පන්තිය තුල ම ය. තවද එම පිබිදීම, ආර්ථික සහ දේශපාලන අරගලය එක ම ධාරාවකට ඒකාබද්ධ කරමින් සිටී. 

86. පෘථිවියේ තරුන ම හා වැඩි ම වේගයකින් වර්ධනය වන අප්‍රිකානු කම්කරු පන්තිය, ලෝක ඓතිහාසික පරිමානයේ විප්ලවවාදී සාධකයක් ලෙස ඉස්මතු වෙමින් සිටී. නයිජීරියාවේ මහ වැඩවර්ජන, පාර්ලිමේන්තුව ආක්‍රමනය කල කෙන්යාවේ තරුන නැගිටීම් සහ දකුනු අප්‍රිකානු කම්කරු පන්තියේ වර්ජන ව්‍යාපාර විසි එක් වන සියවසේ ලෝක විප්ලවයේ හරි මැද සිටින පන්තියේ පලමු ක්‍රියාවන් ය. 

87. චීනයේ සහ රුසියාවේ කතිපයාධිකාරය විසින් තම පැවැත්ම උදෙසා යටපත්කර ගෙන සිටින ඓතිහාසික මතකය, අධිරාජ්‍යවාදී වටලෑම් හා කුපිත කිරීම් හේතුවෙන් යලි අවදි වෙමින් තිබේ. රුසියාවේ කම්කරුවන්, මංකොල්ල කන ලද සෝවියට් වත්කම් රැක ගැනීම සඳහා කරන යුද්ධයක ආබාධිත ලැයිස්තු පුරවමින් සිටිති; එහි පාලක තන්ත්‍රය ලෙනින් හෙලා දකින්නේ 1917න් ලබා ගන්නා නිගමනය කරා කම්කරු පන්තිය පැමිනෙතැයි යන බිය නිසා ය.  චීනයේ යුද වියදම්වලට සමාන මුදලක් අභ්‍යන්තර ආරක්ෂාවට වැය කිරීම පෙන්වන්නේ සීසීපීය තම ප්‍රධාන සතුරා ස්ථානගත ව සිටින  ස්ථානය හඳුනා ගන්නා ගන්නා බවයි. මේ රටවල් දෙකේ ඉදිරියේ දී මතු වීමට නියමිත ව්‍යාපාර වොෂිංටනයෙන්  සංවිධානය කරන වර්න විප්ලව නොවනු ඇති අතර ඒවා අධිරාජ්‍යවාදය හා ජාතික කතිපයාධිකාරීන් යන දෙකට ම විරුද්ධ ව එක සේ එල්ල වනු ඇති අතර එය, ස්ටැලින්වාදයට එරෙහි ව හතර වන ජාත්‍යන්තරය විසින් රැකි උරුමය තුල තමන්ට උවමනා පිලිතුරු සොයා ගනු ඇත.

88. මෙම ව්‍යාපාරය හා එහි දේශපාලන ප්‍රකාශනය අතරමැද පිහිටා ඇති බාධකය වන්නේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදයයි. නායකත්වයේ ගැටලුව ස්වයංක්‍රීය ව විසඳෙනු ඇතැයි හජාජාක කිසිවිට ප්‍රකාශ කලේ නැත. මහජන ව්‍යාපාර දේශපාලනික ව බන්ධනගත ව පවතිනු ඇත. “රජුන් එපා!” ව්‍යාපාරය ආපසු ඩිමොක්‍රටික් පක්ෂය - යුද්ධයේ පක්ෂය - තුලට ම හරවනු ලැබී ය. සමිති නිලධරය තව තවත් එලිපිට ම ෆැක්ටරි තුල යුද ආර්ථිකයේ පොලිස්කාරයා හැටියට ක්‍රියා කරනු ඇත. 

89. මිලියන ගනනක සාමාජිකත්වයක් සහිත ඒඑෆ්එල්-සීඅයිඕව ඉරාන යුද්ධය ගැන ප්‍රකාශයක් නිකුත් කර නැත. යූඒඩබ්ලියුවේ සභාපති “ප්‍රජාතන්ත්‍රවාදයේ අවි ගබඩා” ගැන දෙ වෙනි ලෝක යුද්ධයේ පැරනි අධිරාජ්‍යවාදී මිථ්‍යාව තමන්ගේ මොඩලය හැටියට තොරොම්බල් කරයි. ඔහුගේ නායකත්වය යටතේ තිබෙන නිලධාරී ඇටවුම, වර්ජන සඳහා මත විමසුම් කඩාකප්පල් කරයි; වැඩි ඡන්ද සියයට 90කටත් වැඩියෙන් සාමාජිකත්වය විසින් ප්‍රතික්ෂේප කල වර්ජන නොකිරීමේ ගිවිසුම් බලහත්කාරයෙන් සමිති මත පටවයි; විල් ලේමන්ගේ ඡන්ද ව්‍යාපාරය හා  ඔහු විසින් ගත් නීතිමය පියවර වලින් සවිස්තර ව වාර්තා කර ඇති පරිදි සාමාන්‍ය සාමාජිකත්වයේ විරෝධතා වලට, හිරිහැර කිරීම්, මුකවාඩම් බැඳීමෙන් හා ඡන්ද මගඩි වලින් පිලිතුරු දෙයි. මේවා කරන්නේ රාජ්‍යය සමග නිලධරයේ තිබෙන සන්ධානය තවදුරටත් තර්කවලින් සාමාජිකත්වයට සාධාරනීකරනය කිරීමට නොහැකි තත්වයක් ඇති ව තිබෙන බැවිනි. 

90. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය 2021 දී පිහිටුවන ලද්දේ බලය සමිති නිලධරයේ සිට කම්කරුවන් අතට මාරු කර ගැනීම සඳහා ය. 

VI. නිගමනය

91. 2020 ප්‍රකාශනය නව දශකයේ වර්ධන ප්‍රවනතාවන් තක්සේරු කලේ ය: එනම්, තුන්වන ලෝක යුද්ධයක් දෙසට අධිරාජ්‍යවාදී යුදවාදය පුපුරා යාම, ධනවාදී ලෝක ආර්ථිකයේ කඩා වැටීම, ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම හා ඒකාධිපතිත්වය දෙසට ධාවනය, විප්ලවවාදී නායකත්වයේ අර්බුදයට මුහුන දී සිටින කම්කරු පන්තියේ රැඩිකලීකරනය යන ඒවා ය. දශකයේ මධ්‍ය ලක්ෂ්‍යයේ දී එකී ප්‍රවනතාවන් සෑම එකක් ම ප්‍රකාශනයේ ම සූත්‍රගත කිරීම් අභිබවා යන බලයකින් තහවුරු වී තිබේ. 

92. වර්තමාන ඝට්ටනය, ඓතිහාසික දෘෂ්ටි කෝනයකින් බලන විට, 1914 දී ආරම්භ වූ නාට්‍යයේ තුන්වන කොටස යයි අපට විස්තර කල හැකි ය. 1917 දී ඇමරිකානු අධිරාජ්‍යවාදය යුරෝපීය යුද්ධයට අවතීර්න වූයේ තම හෙජමනිය යටතේ ග්‍රහලෝකය ප්‍රතිසංවිධානය කර ගැනීමට ය. දශක හතක් ම එම ව්‍යාපෘතිය, ඔක්තෝබර් විප්ලවය හා එහි ලෝක ඓතිහාසික ප්‍රතිපලයන් විසින් කඩාකප්පල්කර තැබුවේ ය. 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම, ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් භාර ගන්නා ලද්දේ එකී බාධකය ඉවත් කිරීමක් හා ඔක්තෝබර් විප්ලවය කිසිදා සිදු නොවූවා සේ ව්‍යාපෘතිය නැවත පටන් ගැනීමට ලැබුනු බලපත්‍රයක් වශයෙනි.

93. යුද්ධය එහි හරයෙන් ගත් කල, අධිරාජ්‍යවාදය විසින් ශත වර්ෂයක් තිස්සේ සමාජවාදී විප්ලවයට එරෙහි ව කල අරගලයේ අඛන්ඩතාව නම්, යුද්ධයට එරෙහි අරගලය එකී විප්ලවය නැවත ආරම්භ කිරීම වේ;  එසේ විය යුත්තේ ය. එය කිසිදු ජාතික රාජ්‍යයක් ආරක්ෂා කිරීමේ ස්වරූපය හෝ ප්‍රති විප්ලවවාදී ව්‍යාපාරයේ ම කොටසක් වූ “නීතිය මත පදනම් වූ පර්යාය” යලි ස්ථාපිත කිරීමේ සටනක ස්වරූපය හෝ ව්‍යාජ වාමවාදීන්ගේ බලපෑම් දැමීමේ දේශපාලනයේ ස්වරූපය හෝ ගත නොහැක්කේ ය. එයට සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගය මත ජාත්‍යන්තර කම්කරු පන්තිය ස්වාධීන ව දේශපාලනික ව බලමුලු ගැන්වීම අවශ්‍ය ය. 

94. ඉදිරි දර්ශනයක් යනු අරගලයේ ආයුධයකි. එය ප්‍රකාශයට පත් කිරීම, එය පරීක්ෂාවට ලක් කිරීම, හා එය ආරක්ෂා කිරීම නායකත්වයේ අර්බුදය විසඳීමේ ක්ෂනයන් වේ. එය සිදුවන්නේ වෛෂයික ක්‍රියාවලීන් වලින් පමනක් නොවේ; එම ක්‍රියාවලීන් තුල විප්ලවවාදී පක්ෂය සවිඥානික ව ගොඩනැගීම තුලිනි. මෙම විමර්ශනය තුල අප විශ්ලේෂනය කල ප්‍රතිරෝධයන් වඩ-වඩාත් පුපුරනසුලු ස්වභාවයක් අත්කර ගනිමින් සිටීම විප්ලවවාදී නායකත්වය සඳහා සටනට තීරනාත්මක බවක් හා කල් දැමිය නොහැකි බවක් ලබා දී තිබේ. 

95. අධිරාජ්‍යවාදී යුද්ධයේ මෙටා- ස්ටැටික ව්‍යාප්තිය හා ලෝක පන්ති අරගලය ඒකාග්‍රවීම ක්‍රියාවලි දෙකක් නොව එකකි. ප්‍රතිමල්ලව පන්ති දෙකේ දෘෂ්ටි කෝනයෙන් බලන කල, එක ම අර්බුදය, අද යුගයේ විය හැකි ප්‍රතිඵල දෙකෙන් කුමන ප්‍රතිඵලය අත්වේද යන්න තීරනය කරනු ඇත්තේ ඔවුන්ගේ ගැටුමෙනි. අනූ වසරක් තරම් ඈත දී දෙවන අධිරාජ්‍යවාදී යුද්ධයේ එලිපත්තේ දී යුගයේ සාරය හතර වෙනි ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ල තුල ට්‍රොට්ස්කි නිර්වචනය කලේ ය: මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට ඌනනය වී ඇත.

ලියොන් ට්‍රොට්ස්කි 

96. හතරවන ජාත්‍යන්තරය වනාහි ඉතිහාසයේ පක්ෂයකි. මාක්ස්වාදයේ දෘෂ්ටි කෝනයෙන් බලන විට මෙහි අර්ථය, එම පක්ෂයේ ඉදිරි දර්ශනය හා භාවිතය නිර්වචනය වී ඇත්තේත් මුල් බැස ඇත්තේත් ඓතිහාසික යුගයේ ස්වභාවය පිලිබඳ සංකල්පයක් මත බව ය. පක්ෂය ඉදිරිපිට තිබෙන කර්තව්‍යයන් නිවැරදි ව නිර්නය කර ගත හැක්කේ පක්ෂය, සමස්ත ඓතිහාසික යුගයේ ම සන්දර්භය තුල සිදුවීම් දැනුවත් ව ස්ථාපනය කර ගන්නා දුරට පමනකි. විප්ලවවාදී ව්‍යාපාරය මුහුන දෙන මූලික න්‍යායික හා දේශපාලන අභියෝගය වන්නේ, පන්ති අරගලයේ වර්ධනය යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ යුගයේ ඓතිහාසික ගමන් පථය තුල ස්ථාපනය කර ගැනීම ය.

97. 2020 ජනවාරි 3 දා ප්‍රසිද්ධියට පත්කල ඉදිරි දර්ශනය හදිසියේ පහල වූ පරිවිඥානයක් නොවේ. 2019 අගෝස්තුවේ සසප පැවැත් වූ ජාත්‍යන්තර පාසැලේ දී අපි ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය පිලිබඳ පුලුල් විමර්ශනයක් කලෙමු. එම විමර්ශනය තුල දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල අදියර පහක් හඳුනා ගන්නා ලදී. 

98. පලමු අදියරට 1923 දී ට්‍රොට්ස්කි ගේ නායකත්වය යටතේ වාම විරුද්ධ පාර්ශ්වය පිහිටුවීමේ සිට 1938 හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනය දක්වා වර්ෂ 15 ක කාලය අයත් විය. දෙවන අදියරට එතැන් පටන් 1953 හතර වෙනි ජාත්‍යන්තරයේ  ඓතිහාසික භේදය - පැබ්ලෝවාදී සංශෝධනවාදීන්ගෙන් බෙදී වෙන්වීම - දක්වා කාලය අඩංගු විය. තුන්වන අදියර ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමේ සිට 1985-86 දී කම්කරු විප්ලවවාදී පක්ෂයෙන් (කවිප) බෙදී වෙන්වීම දක්වා කාලය අයත් විය. එම කාල පරිච්ඡේදය ජාත්‍යන්තරය මත හා ඒ තුල බලපැවැත් වූ පැබ්ලෝවාදී න්‍යායේ හා දේශපාලනයේ විසකුරු බලපෑමට විරුද්ධ ව කල දිග්ගැස්සුනු අරගලයකින් නිර්වචනය විය. හතරවන අදියර 1986 පෙබරවාරියේ දී කවිප යෙන් බෙදී වෙන්වීම පරිපූර්න කිරීමේ සිට 2019 ජාත්‍යන්තර ගිම්හාන පාසල දක්වා කාලයයි. එම කාලය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ උරුමයෙන් සහ ලෝක සමාජවාදී විප්ලවයේ පුර්වගාමී අත්දැකීම් වලින් උකහා ගත් පාඩම් යලි තහවුරු කොට ගොඩනැගීම සඳහා සංකේන්ද්‍රනය විය.

99. ගිම්හාන පාසල, 2019, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ පස්වන අදියරේ ආරම්භය ලෙස හඳුනා ගත්තේ ය. නිසැක වශයෙන්ම එම වර්ෂ හඳුනාගැනීම යම් තරමක ආසන්න ගනන් බැලීමක ස්වභාවයක් ගත්තේ ය. 1923,1938, 1953, හෝ 1985-86 මෙන් තනි තීරනාත්මක සිද්ධියකින් සලකුනු කරනු ලැබූ වර්ෂයක් නොවේ. එහෙත්  2019 වසර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නව අදියරක් ලෙස හඳුනාගැනීම අත්තනෝමතික ක්‍රියාවක් නොවේ. 2019 වන විට ගෝලීය අර්බුදය අලුත් අවදියකට ප්‍රවේශ වූ බවත් එය කම්කරු පන්තියේ අරගල තුල ජාත්‍යන්තර කමිටුවේ කාර්යභාරයට ප්‍රගාඪ ලෙස බලපාන බවත් ප්‍රමානවත් තරම් පැහැදිලි වී තිබුනි.

100. 2019 සසප පාසලේ ආරම්භක වාර්තාව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ නව, පස්වන අදියරක්:

සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක හි අති විශාල වර්ධනයක් දකිනු ඇත. තිස් වසරකටත් කලින් ජාත්‍යන්තර කමිටුව පෙර දුටු  ආර්ථික ගෝලීයකරනයේ වෛෂයික ක්‍රියාවලීන් තවදුරටත් දැවැන්ත  වර්ධනයකට භාජනය වී තිබේ. සන්නිවේදනය විප්ලවීයකරනය කල නව  තාක්ෂනය සමග එකී ක්‍රියාවලීන්  වසර 25 කට පෙර පවා සිතා ගැනීමටවත් නොහැකි මට්ටමකට පන්ති අරගලය ජාත්‍යන්තරකරනය කර තිබේ. හජාජාක මේ වෛෂයික සමාජ-ආර්ථික ක්‍රියාවලියේ සවිඥානක දේශපාලන නායකත්වය ලෙස ගොඩ නැගෙනු ඇත. එය අධිරාජ්‍යවාදී යුද්ධයේ ධනපති දේශපාලනය වෙනුවට පන්ති-පාදක ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය ඉදිරිපත් කරනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ අලුත් අදියර මෙයයි.[12]

101. මෙම සම්මේලනය මුහුන දෙන අභියෝගය නම්,  හතරවන ජාත්‍යන්තරයේ පස්වන අදියරේ අන්තර් සම්බන්ධිත සංකල්ප සමග හා විප්ලවවාදී පන්ති අරගලයේ පිබිදීම සමග එකෙල්ල වන සේ පක්ෂයේ භාවිතය ඉහලට ගෙන ඒමයි.   

102. භාවිතයේ දී මේ එකෙල්ලවීම (alignment) යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?  සියල්ලට ම පෙර එයින් අදහස් කරන්නේ කම්කරු පන්තිය තුල පක්ෂය ගොඩ නැගීමයි. මෙම වාර්තාවෙන් ඉදිරිපත් කරන විශ්ලේෂනය සිදුවීම් පිලිබඳ විස්තර කථනයක් නොව සිදුවීම් තුලට මැදිහත්වීම සඳහා මාර්ගෝපදේශයකි. සෑම මහාද්වීපයක ම සිදු වෙමින් තිබෙන කම්කරු පන්තියේ රැඩිකලීකරනය නායකත්වය පිලිබඳ ප්‍රශ්නය මතු කරයි; නායකත්වය පිලිබඳ ප්‍රශ්නය නිරාකරනය කල හැක්කේ එක ම ක්‍රමයකින් පමනකි — එනම් කම්කරු පන්තියේ අරගල තුල දී ම විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම තුලින් පමනකි.

103. මේ කාර්යයේ දී ප්‍රධාන වන්නේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ (ක්‍රිකජාස) වැඩ කටයුතු පුලුල් කිරීමයි. ක්‍රියාකාරී කමිටු පලමුව, පන්ති අරගලයේ මෙවලම්: එනම් කම්කරුවන් තම ඉල්ලීම් සූත්‍රගත කිරීමට පාවිච්චි කරන සංවිධාන හැටියටත් වැඩබිම් හරහා, කර්මාන්ත හරහා සහ ජාතික දේශසීමා හරහා තම කටයුතු සම්බන්ධීකරනය කරන සංවිධාන හැටියටත් සමිති නිලධරය විසින් සෑම අරගලයකට ම සිදු කරන හුදෙකලා කිරීම බිඳ දැමීමේ ආයුධය හැටියටත් ගොඩනැගිය යුතු ය. ක්‍රියාකාරී කමිටු, දෙ වනු ව, සමිති නිලධරයට එරෙහි කැරැල්ල සංවිධානය කිරීමේ මධ්‍යස්ථාන හැටියට, එනම් සාමාන්‍ය කම්කරුවන් සංගතවාදී නිලධරයෙන් බලය උදුරා ගන්නා සහ තම සටන, තම අතට ගන්නා සංවිධාන හැටියට ගොඩනැගිය යුතු ය. තුන් වෙනු ව, ඒවා හුදෙක් ස්වයං ආරක්ෂක සංවිධාන පමනක් නොව නිර්ව්‍යාජ කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයේ හා කම්කරු බලයේ සංවිධාන පූර්වාපේක්ෂා කරන සංවිධාන ලෙස ගොඩනැගිය යුතු ය. ඒවා නිර්මානය කිරීමේ දී කම්කරුවන් හුදෙක් පවතින පර්යායට විරෝධය පල කරන්නන් නොව, රටේ සමාජ ආර්ථික හා දේශපාලන ජීවිතය ප්‍රතිසංවිධානය කරන අනාගත පාලක පන්තියේ මෙවලම්වල කලල අවස්ථාව හැටියට ගොඩනැගිය යුතු ය.

104. කම්කරු පන්තිය තුල පක්ෂය ගොඩනැගීම සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය ගොඩනැගීමෙන් වෙන්කල නොහැකි ය. එක්සත් ජනපදයේ ජනගහනයෙන් සියයට 38-39 ක් පමන, එනම් දල වශයෙන් මිලියන 340ක ජනගහනයෙන් මිලියන 128-130 අතර පමන පිරිසක් වයස 30ට අඩු අය වෙති. වයස 18ට අඩු සියයට 22ක් ද වයස 18-29 අතර පරාසයට වැටෙන සියයට 16-17 අතර පිරිසක් ද මීට අඩංගු ය. සමාජ රැඩිකලීකරන ක්‍රියාවලිය විශේෂ තීව්‍රතාවකින් සංකේන්ද්‍රනය වී තිබෙන්නේ තරුන ජනතාව අතර ය.

105. සමාජවාදය සඳහා ආකර්ෂක හැඟීම් එහි පුලුල් ම ප්‍රකාශනය ලබන්නේ තරුන තරුනියන් අතර බව, සෑම ජනමත විමසුමක් ම පාහේ සනාථ කර ඇත. එම පරම්පරාව, යුද්ධය, ආර්ථික අර්බුදය, වසංගතය හා සමාජ අසමානතාවයේ නිරන්තර වර්ධනය හැර අන් කිසිවක් අත් නොදුටු, සෞභාග්‍යය හෝ ප්‍රජාතන්ත්‍රවාදය සමග නොව ව්‍යසන සමග පමනක් ධනවාදය අනන්‍ය කරගත් පරම්පරාවකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය බහුජන ප්‍රපංචයක් වී ඇතත් මිලියන ගනන් තරුන පිරිස් විශ්ව විද්‍යාල හැර යන්නේ සූරාකනු ලැබීමේ අයිතිය ලබා ගැනීම සඳහා තම අනාගතය උගස් තැබීමට බලකරනු ලබමින් හා උසුලා ගත නොහැකි නය බර කර තබා ගෙන ය. ධනේශ්වරයේ මූලෝපායිකයන් මේ තත්වය ගැන හොඳින් ම දැනුවත්‍ ය. පක්ෂයේ ලියවිලි මීට පෙර අවධානයට ලක් කර ඇති ආකාරයට පාලක පන්තියේ චින්තන මන්ඩල හා කර්තෘ මන්ඩල පවත්නා පර්යායේ ස්ථායිතාවට මරනීය තර්ජනයක් ඒ තුල හඳුනා ගනිමින් තරුන පරපුරේ වාමගාමී ප්‍රවනතාවය දෙස නොසැඟවූ සාංකාවකින් යුතු ව උනන්දු සහගත ඇසකින් බලා සිටිති.

106.  එ පමනක් නොව යුද්ධයේ සුලිය මැදට තල්ලු කර දමන්නේ ද තරුන පිරිස ය. අධිරාජ්‍යවාදී යුද්ධයේ ගිනිදැල් විවිධ ස්ථානවලින් මතු වෙද්දී බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමේ නීති හඳුන්වා දීම න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීම වැලකිය නොහැකි ලෙස ම සිදුවනු ඇත. “සාමාන්‍ය” කාලවල පවා තරුනයන්ට නය හා අවිනිශ්චිතතාව හැර වෙන යමක් නුදුන් පාලක පන්තිය දැන් ඔවුන්ගේ ජීවිත ඉල්ලනු ඇත. අධිරාජ්‍යවාදී මිලිටරිකරනයට විරුද්ධ අරගලය සසජාතශි වැඩ කටයුතු තුල තීරනාත්මක වැදගත්කමක් අත්කර ගනී. ජීවිතය හෝ මරනය පිලිබඳ මේ අරගලයේ දී තරුන තරුනියන් යුද්ධය නතර කිරීමට හැකියාව හා ශක්තිය ඇති එක ම බලවේගය වන කම්කරු පන්තිය දෙසට හැරී ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ මූලෝපාය මත පදනම් විය යුතු වේ. 

ශිෂ්‍යයෝ මිෂිගන් විශ්ව විද්‍යාලයේ දී ගාසා ජන සංහාරයට විරුද්ධ ව පෙලපාලි දක්වති - 2024 මාර්තු 28

107. ට්‍රොට්ස්කි, සංක්‍රමනීය ක්‍රියා මාර්ගයේ දී තරුනයින්ගේ “නැවුම් උද්‍යෝගය හා ආක්‍රමනශීලී ජීව ගුනය විප්ලවවාදී ව්‍යාපාරය යලි පන ගැන්වීම සඳහා නැතුව ම බැරි මූලාංගයක්” ලෙස දිටී ය. නමුත් පක්ෂය මෙම උද්‍යෝගය, එය කොතරම් මාහැඟි වුවත් සරල ලෙස ඒ මත විශ්වාසය තබන්නේ නැත. අධ්‍යාපනික පුහුනුවකින් වියෝ වූ උද්‍යෝගය, ඒකාග්‍ර අරමුනකින් තොර විසිරුනු එකකි. සසජාතශියේ කාර්යය වන්නේ තරුන පරම්පරාවේ මෙම සහජ පෙරලිකාරිත්වය සවිඥානික විප්ලවවාදී ඒත්තු ගැන්ම කරා පරිවර්තනය කිරීමයි: ශිෂ්‍යයන්ට හා තරුන කම්කරුවන්ට න්‍යායික හා දේශපාලන අධ්‍යාපනය ලබා දී ඔවුන් මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ දැනුමෙන් හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම් වලින් සන්නද්ධ කොට ඔවුන් හතරවෙනි ජාත්‍යන්තරයේ කේඩර ලෙස පුහුනු කිරීමයි. රට පුරා විශ්ව විද්‍යාල පරිශ්‍ර තුල සසජාතශි ශාඛා පිහිටුවිය යුතු ය.  තම ලාබාල ජීවිතවල මුල් ම වර්ෂවල සිට මුහුන දුන් සමාජ තත්වයන් විසින් ධාවනය කරනු ලබන පෙරලිකාරිත්වයක් සහිත ඉහල පන්තිවල පාසල් සිසුන් අතර ද තම කටයුතු මග හැරීමට හෝ ඔවුන් ව්‍යාජ වාමවාදීන්ට හෝ හමුදාවට බැඳීමට අතහැර දැමීමට සසජාතශිට නොහැක. 

108. පක්ෂයේ වර්ධනය හුදෙක් ප්‍රමානාත්මක නොවේ. බඳවා ගැනීම්, කේඩරයට ක්‍රමානුකූල ව අධ්‍යාපනය ලබා දීම සමග සමාන්තර ව සිදු විය යුතු ය, ඇත්ත වශයෙන් ම ඒ දෙක වෙන් කල නොහැකි ය. යුද්ධය ආඥාදායකත්වය හා සමාජ අසමානතාව නිසා රැඩිකල් වූ  කම්කරුවන් හා තරුන තරුනියන් විප්ලවවාදී බලවේගයක් බවට පරිවර්තනය වන්නේ ඔවුන් හතරවෙනි ජාත්‍යන්තරය තුල සංකේන්ද්‍රනය වී තිබෙන ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ මූලෝපායික අත්දැකීම් උකහා ගන්නා දුරට පමනකි. මාක්ස්වාදී න්‍යාය පක්ෂයේ භාවිතයේ සැරසිල්ලක් නොවේ. එය එහි අත්තිවාරමයි. විප්ලවවාදී න්‍යායෙන් තොර ව විප්ලවවාදී ව්‍යාපාරයක් නැත. 

109. මෙය විශේෂ වැදගත්කමක් අත්කර ගන්නේ සමාජවාදී හැඟීම් වර්ධනය, ඩිමොක්‍රටික් සෝෂලිස්ට්ස් ඔෆ් ඇමරිකා (ඩීඑස්ඒ) ව්‍යාපාරයේ ප්‍රසාරනය තුලින් එහි ප්‍රථම හා විකෘත ප්‍රකාශනය ලබා ගන්නා තත්වයන් ඇතුලත ය. මෙම වර්ධනයේ වෛෂයික වැදගත්කම පිලිගත යුතු ය: එය කම්කරුවන් හා තරුන තරුනියන් අති විශාල පිරිසකගේ වමට හැරීම සහ දශක ගනන් පැවති සමාජවාදයට විරුද්ධ ව තහංචි දැමීමේ ප්‍රතිපත්තියේ කඩාවැටීම සලකුනු කරන හෙයිනි. එසේ පිලිගැනීම යනු ඊට අනුගත වීම නොවේ. ඩීඑස්ඒ යනු ක්‍රියා මාර්ගික වශයෙන් ද සංවිධානමය වශයෙන් ද ඩිමොක්‍රටික් පක්ෂය සමග බද්ධ වූ සුලු ධනපති සංවිධානයකි. එහි කාර්යභාරය වන්නේ කම්කරු පන්තියේ හා තරුන තරුනියන් ගේ රැඩිකලීකරනය රඳවා තබා ගෙන එය ඇමරිකානු අධිරාජ්‍යවාදයට යට කිරීම ය. සසප මෙම ප්‍රවනතාවයට හා වෙනත් සුලු ධනපති සංවිධානයන්ගේ විප්ලවවාදී සමාජවාදයෙන් පිටතට පීලි පැන්නවීම් වලට අනුගත නොවනු ඇත. කෙසේ වතුදු මේ සංවිධාන කිසිවකටත් විශේෂයෙන් ම ඩීඑස්ඒට අනාගතයක් නැත. වර්ධනය වෙමින් එන සුලි කුනාටුවලට මුහුන දීම සඳහා ඇවැසි උපකරන හෝ සූදානම ඔවුන් සතු ව නැත. අලුතින් රැඩිකලීකරනය වන කම්කරුවන් හා තරුන තරුනියන්ට, ඓතිහාසික හා පන්ති ප්‍රශ්න ඉවසිලිවන්ත ව පැහැදිලි කිරීම මගින් හා ව්‍යාජ-වමේ හා ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයට තවමත් පිලිකා කාරකයක් වී සිටින ස්ටැලින්වාදයේ නෂ්ටාවශේෂ ඇතුලු අධිරාජ්‍යවාදයේ අනෙකුත් සියලු ඒජන්තයන් ගේ දේශපාලනය සම්මුති විරහිත ව විවේචනය කිරීම මගින් ඔවුන් ට්‍රොට්ස්කිවාදයට දිනා ගැනීම සඳහා සසප සටන් කරනු ඇත.

110. තවමත් ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස සිටිය දී බ්‍රිතාන්‍යයේ සෝෂලිස්ට් ලේබර් ලීගය, පැබ්ලෝවාදී අවස්ථාවාදයට විරුද්ධ සටනට නායකත්වය දෙමින් -වසර හැටකට පමන පෙර- කල අනතුරු ඇඟවීම සසප අමතක කර නැත. එවකට ජාත්‍යන්තර කමිටුවේ ප්‍රංශ ශාඛාව වූ ඕසීඅයි සංවිධානය මාධ්‍යමිකවාදය හා අවස්ථාවාදය දෙසට ඇදී යාමට විරුද්ධ වෙමින් සෝෂලිස්ට් ලේබර් ලීගය මෙසේ අනතුරු ඇඟවී ය :

“වර්ධනයේ එවන් අදියරක දී, (එනම් කම්කරු පන්තියේ රැඩිකලීකරනයේ මුල් අදියර වල දී) විප්ලවවාදී පක්ෂයක්, විප්ලවවාදී ආකාරයට නොව, පැරනි නායකත්වයන් යටතේ කම්කරුවන් එවකට ලබා සිටි පැරනි අත්දැකීම්වලින් සීමා කර සිටින අරගලයේ පවතින තත්වයට, නොවැලැක්විය හැකි ආරම්භක ව්‍යාකූලත්වයට අනුගත වීමෙන් ප්‍රතිචාර දැක්වීමේ අනතුර සෑම විට ම පවතී…”[13]

111. එම අනතුරු ඇඟවීම්වල නිරවද්‍යතාව, ඕසීඅයි සංවිධානයේ පමනක් නොව සොෂලිස්ට් ලේබර් ලීගයේ ද පසුකාලීන පාවාදීම් වලින් ඔප්පු වී තිබේ. පක්ෂයේ ඉතිහාසය එතරම් ම තීරනාත්මක වැදගත්කමක් අත්කර ගන්නේ හරියටම මේ සන්දර්භය තුල ය. පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි ව ජාත්‍යන්තර කමිටුව කල අරගලය හරයෙන් ම කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය මේ වර්ගයේ ම සුලු ධනපති ප්‍රවනතාවන් තුල දියකර හැරීමට විරුද්ධ අරගලයක් විය. 2019 ගිම්හාන පාසලේ දී විමර්ශනය කල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ අදියරවල් පහ හුදු ශාස්ත්‍රාලික යුග-හඳුනා ගැන්මක් නොවේ. එය ලෝක සමාජවාදී විප්ලවයේ සමුච්චිත මූලෝපායික ප්‍රාග්ධනයයි. 

112. සසප ඊලඟ සම්මේලනය, ජේම්ස් පී. කැනන් එතරම් ම තීරනාත්මක කාර්ය භාරයක් ඉෂ්ඨ කල 1928 වර්ෂයේ ජාත්‍යන්තර වාම විරුද්ධ පාර්ශ්වය පිහිටුවීමේ ශත සංවත්සරය හා සමපාත වේ. මෙම ඓතිහාසික සංවත්සරය සඳහා සූදානම් වීමේ දී අවධානය නාභිගත විය යුත්තේ, නව පරපුරක් මෙම ඉතිහාසය පිලිබඳ අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීම මත ය. එය, කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අර්බුදය විසඳීමේ අනිවාර්ය පූර්ව කොන්දේසියයි. 2025 දෙසැම්බරයේ දී ලෝසවෙඅ දියත් කල සෝෂලිසම් ඒඅයි, පක්ෂ කේඩරය හා සමස්තයක් ලෙස කම්කරු පන්තිය අධ්‍යාපනික ව සන්නද්ධ කිරීමේ දී තීරනාත්මක කාර්ය භාරයක් ඉටුකරනු ඇත. 

113. මේ වාර්තාවේ දී තර්කානුකූල ව පැහැදිලි කිරීමට උත්සාහ කල පරිදි, නව වන සම්මේලනය පැවැත්වෙන්නේ පක්ෂ ඉදිරි දර්ශනය හා ඉතිහාසයේ වෛෂයික චලනය එක් ලක්ෂ්‍යයකට එකතු වන (අභිසරනය වන-converge) අවස්ථාවේ දී ය. සම්මේලනය මුහුන දෙන කර්තව්‍යය වන්නේ මෙම අභිසරනය විසින් අනිවාර්ය කරනු ලබන විප්ලවවාදී අරගලවලට පක්ෂය දේශපාලනික ව, න්‍යායික ව හා සංවිධානමය ව සූදානම් කිරීමයි.


[1]

Mehring Books, 2026, p. x

[2]

John Kelly, The Twilight of World Trotskyism (New York, Routledge, 2023), p. 97

[3]

Kelly, p. 78

[4]

නේටෝව නැගෙනහිරට ව්‍යාප්ත කිරීමේ අදියර පහ

පලමු අදියර (1999)

පෝලන්තය, හංගේරිය හා චෙක් සමූහාන්ඩුව. ක්ලින්ටන් පරිපාලනය යටතේ, ජර්මනිය එක්සත් කිරීමෙන් එපිට “නැගෙනහිර දෙසට අඟලක්වත්” නේටෝව ප්‍රසාරනය කරන්නේ නැතැයි ගොර්බචෙව්ට දුන් සහතික කිරීම සෘජු ව ම කඩමින් කලින් වෝර්සෝ ගිවිසුමේ සාමාජිකයන් වූ මේ රටවල් තුන මුලින්ම ඈඳා ගන්නා ලදී. 

දෙවන අදියර (2004)

මෙය විශාලතම තනි ඈඳා ගැනීම් වටයයි. - එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, ස්ලෝවේකියාව, ස්ලෝවේනියාව, රුමේනියාව හා බල්ගේරියාව- මෙය ප්‍රථම වතාවට නේටෝව පැරනි සෝවියට් භූමියේ මායිම දක්වා, බෝල්ටික් සමූහාන්ඩු තුන - (එස්තෝනියාව, ලැට්වියාව හා ලිතුවේනියාව) කෙලින්ම නේටෝව රුසියාවේ වයඹ දේශසීමාව බවට පත් කරමින් පුලුල් කලේ ය. 

තුන්වන අදියර (2009)

ඇල්බේනියාව හා ක්‍රෝෂියාව. නේටෝව තීරනාත්මක කාර්ය භාරය ඉටුකල 1999 බෝම්බ හෙලීම මගින් යුගෝස්ලෝවියාව කැබලිවලට කැඩීමෙන් පසු බෝල්කන් කලාපය හරහා නේටෝව නැගෙනහිරට ව්‍යප්ත කරන ලදී 

සිව්වන අදියර (2017 සහ 2020)

මොන්ටිනීග්‍රෝ (2017) හා උතුරු මැසිඩෝනියාව (2020)  ඈඳා ගැනීමෙන් පැරනි යුගෝස්ලෝවියානු භූමිය  සම්පූර්නයෙන්ම නේටෝවට අයත් වූ අතර එයින් ඒඩ්‍රියාටික් හා දකුනු බෝල්කන් කලාපයේ එහි ග්‍රහනය තහවුරු විය. 

පස්වන අදියර (2023-2024)

ෆින්ලන්තය (අප්‍රේල් 2023), ස්වීඩනය (මාර්තු 2024). යුක්‍රේන යුද්ධයට කලින් පෙන් වූ මධ්‍යස්ථභාවය කෙලින්ම කඩ කරමින් මෙය සිදු කල අතර ෆින්ලන්තය ඈඳා ගැනීම පමනක් රුසියාව සමග නේටෝ දේශසීමාව දෙගුනයකින් දිගු කලේ ය. 

[5]

David North, A Quarter Century of War: The U.S. Drive for Global Hegemony 1990-2016 (Oak Park: Mehring, 2016), p. 6

[6]

හින්දු කුෂ් වනාහි, දල වශයෙන් කිමි 800 ක් (සැතපුම් 500) දුරට මධ්‍යම හා නැගෙනහිර ඇෆ්ගනිස්ථානය හරහා පකිස්ථානය තුලට හා බටහිර දෙසින් ඉරාන දේශසීමාව දක්වා පැතිරෙන නැගෙනහිර කෙලවර කැරකෝරුම් කඳු හා එතැනින් එපිට පාමීර් සානුව හා හිමාලයානු පද්ධති දක්වා දිවෙන කඳුවැටියකි. 

[7]

A Quarter Century of War, p. 6

[8]

Resisting the Rule of the Rich: Protecting freedom from billionaire power, accessed at https://oi-files-d8-prod.s3.eu-west-2.amazonaws.com/s3fs-public/2026-01/EN%20-%20Resisting%20the%20Rule%20of%20the%20Rich.pdf

[9]

The Russian Revolution: A New History (New York: Basic Books, 2017), pp. 351-352. Cited in Why Study the Russian Revolution? (Oak Park: Mehring Books, 2017-2018), p. 327

[10]

David North, Fourth International, July-December 1988, p. 39

[11]

Accessed at https://www.marxists.org/archive/marx/works/1845/holy-family/ch06.htm

[12]

The Fourth International and the Perspective of World Socialist Revolution 1986-1995 (Mehring, 2020), pp. 30-31

[13]

Trotskyism versus Revisionism, (London: New Park, 1975) Vol. 5, pp. 113-14

Loading