ඉදිරිදර්ශන

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ නව මර්දනකාරී නීති පරාජය කරනු!

ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව “ත්‍රස්තවාදය” සහ “අපරාධ” මැඬලීමේ මුවාවෙන් ඔක්තෝබර් 6දා රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ ඔක්තෝබර් 20 වැනිදා සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත් කෙටුම්පත (POCB) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය. කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත් දෙක ම වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන බරපතල ප්‍රහාරයක් වන අතර, මර්දනකාරී ධනේශ්වර රාජ්‍යය තව දුරටත් ශක්තිමත් කරයි.

මෙම නීති දෙක ම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් සාමාන්‍ය තත්ත්වයක් බවට පත් කිරීමේ තර්ජනය මතු කරන අතර, සීමිත අධිකරන ආරක්ෂනයන් තව දුරටත් දුර්වල කරමින් රාජ්‍යයේ, එහි විධායකයේ සහ ආන්ඩුවේ මර්දන බලතල පුලුල් කර ශක්තිමත් කරයි.

මෙම පනත් කෙටුම්පත් දෙක ම මුලුමනින් ම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, දැනට පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) සහ අනෙකුත් සියලු ම මර්දනකාරී නීති අහෝසි කරන ලෙසත් කම්කරුවන්, තරුනයන් සහ ග්‍රාමීය දුගීන් ඉල්ලා සිටිය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ ධනවාදයට එරෙහි ව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලනික බලමුලුගැන්වීමක් අවශ්‍ය වන අතර, මෙම අරගලය පිටුපස තරුනයන් සහ ග්‍රාමීය දුගීන් රැලි කරගත යුතු ය.

මෙම දේශපාලන වැඩපිලිවෙල සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට හා ධනවාදයට එරෙහි ව සටන් කිරීම සඳහා කම්කරු පන්තිය ගත යුතු මූලෝපාය සාකච්ඡා කිරීම වෙනුවෙන් නොවැම්බර් 10 දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වෙන සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ජාත්‍යන්තර තරුන හා ශිෂ්‍යයන් (සසජාතශි) සංවිධානය කරන රැස්වීමට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

PSTA හි “ත්‍රස්තවාදී ක්‍රියා” ලැයිස්තුවට යම් යම් කරුනු සම්බන්ධයෙන් ආන්ඩුවකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට ක්‍රියා කිරීමට හෝ ක්‍රියා කිරීමෙන් වැලකී සිටීමට “අයුතු ලෙස” බල කිරීම ද ඇතුලත් වේ. අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට, අධිරාජ්‍යවාදී යුද්ධවලට සහ එම බලයන් සමඟ ඇති කරගන්නා ගිවිසුම්වලට එරෙහි ව කම්කරුවන් ගෙන යන ඕනෑ ම කාර්මික ක්‍රියාමාර්ගයක් මෙම නීතිය යටතේ “වරදක්” ලෙස සැලකිය හැකි ය. විශේෂයෙන් ම, වැඩවර්ජන හේතුවෙන් “සැලකිය යුතු ආර්ථික පාඩුවක්” සිදුවිය හැකි බැවින්, ඒවා අපරාධ ලෙස නම් කල හැකි ය.

මෙම පනත් කෙටුම්පත වරෙන්තුවකින් තොර ව අත්අඩංගුවට ගැනීමේ සහ සෝදිසි කිරීමේ බලතල ත්‍රිවිධ හමුදාවට සහ වෙරලාරක්ෂක නිලධාරීන්ට ද පුලුල් කරයි. නිශ්චිත අධිකරන ක්‍රියාපටිපාටිවලට යටත් ව විධායකය මගින් රඳවා තබා ගැනීමට ඉඩ සලසන අතර, නිශ්චිත තත්ත්වයන් යටතේ රැස්වීම් තහනම් කිරීමට පොලිසියට බලය පවරයි. වින්දිතයන්ගේ පාපොච්චාරන අධිකරන නිලධාරියෙකු ඉදිරියේ ලබා දිය හැකි බවට වන සංශෝධනය හුදු අයිසිං තැවරුමක් පමනි.

සංවිධාන තහනම් කිරීම සඳහා ජනාධිපතිවරයාට පවරා ඇති බලතල සංවිධානය වීමේ නිදහසට තර්ජනයක් එල්ල කරන අතර, පුලුල් ලෙස අර්ථ දක්වා ඇති ප්‍රකාශන සහ කථන සම්බන්ධ වැරදි මාධ්‍යවේදීන්ට, දේශපාලන සංවිධානවලට සහ සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට අනතුරක් මතු කරයි.

POCB මගින් මර්දනය සඳහා තවත් මාවතක් විවෘත කරයි.

සංවිධානාත්මක අපරාධ කන්ඩායමක නිර්වචනයට, “මූල්‍යමය හෝ වෙනත් ද්‍රව්‍යමය ප්‍රතිලාභ” ලබා ගැනීම සඳහා බරපතල වැරදි සිදු කිරීමට කාලයක් පුරා එක් ව ක්‍රියා කරන පුද්ගලයන් තිදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් ඇතුලත් වේ.

ද්විවිවාහය, බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ “රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි ඉටු කිරීමට බාධා කිරීම” යනාදිය ඊට ඇතුලත් වන වැරදි කිහිපයකි. සැකකරුවන් හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීම සඳහා, “සංවිධානාත්මක අපරාධ කන්ඩායමේ දන්නා සාමාජිකයන් විසින් භාවිත කරන ඇඳුම් විලාසිතා, අත් සංඥා, භාෂාව හෝ පච්ච” වැනි විවිධ පරිවේශනීය සාක්ෂි මෙන් ම, පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ කන්ඩායම් විසින් භාවිතා කරන්නේ යැයි සැලකෙන  ස්ථානවලට කෙනෙකු ගියේ ද යනාදිය  සලකා බැලීමට අධිකරනයට අවසර ලබාදිය හැකි ය.

මෙම අපැහැදිලි සහ පලල් අර්ථයක් සහිත  සූත්‍රගත කිරීම් හා වගන්ති දේශපාලන පක්ෂ සහ විරුද්ධවාදීන්, කාර්මික ක්‍රියාමාර්ග සහ රැස්වීම්, අපරාධකාරී ක්‍රියාකාරකම් ලෙස ඉලක්ක කිරීම සඳහා  අර්ථකථනය කල හැකි ය. පනත් කෙටුම්පත යටතේ ආවරනය වන අධිකරන කටයුතුවලට අදාල තොරතුරු අධිකරනයේ පූර්ව අවසරයකින් තොර ව පල කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සංවිධානවලට සිර දඬුවම් ඇතුලු අපරාධමය දඬුවම්වලට මුහුන දීමට සිදු විය හැකි ය.

මෙම පුලුල් වැරදි කාන්ඩ සහ සාමාජිකත්වය පිලිබඳ විධිවිධාන, කම්කරුවන්, තරුනයන් සහ දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගනිමින් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ බරපතල ශක්‍යතාවක් නිර්මානය කරයි. එ වැනි සෘජු විධි විධානයක් වන්නේ “රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි ඉටු කිරීමට බාධා කිරීම” යන්නයි. එය කම්කරුවන්ගේ කාර්මික ක්‍රියාමාර්ගවලට සහ අනෙකුත් සංවිධානවල විරෝධතාවලට ද අදාල කල හැකි ය.

මෙම පනත් කෙටුම්පත PTA හි පිලිකුල් සහගත ලක්ෂනයක් වූ පොලිස් නිලධාරීන් ඉදිරියේ වින්දිතයන්ගෙන් පාපොච්චාරන ලබා ගෙන ඒවා අධිකරනවල දී ඔවුන්ට එරෙහි සාක්ෂි ලෙස භාවිත කිරීමේ ක්‍රමය යලි හඳුන්වා දෙයි.  දීර්ඝ කාලීන ව විධායකයේ අන පරිදි රඳවා තබා ගැනීම් සහ අධිකරනයේ අභිමතය සීමා කිරීම ද නව පනත් කෙටුම්පතට ඇතුලත් කර ඇත.

විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ඒවායේ ව්‍යාජ-වාම නියෝජිතයෝ මෙම මර්දනකාරී පනත් කෙටුම්පත්වලට එරෙහි ව මහජනතාව අතර වැඩෙන විරෝධය, ජවිපෙ/ජාජබ ආන්ඩුව පසුබැසීමට ආයාචනා කිරීමේ සහ බලපෑම් කිරීමේ නිෂ්ඵල උත්සාහයන්ට හරවා යැවීමට ක්‍රියා කරමින් සිටිති. ඔවුන්ගේ ප්‍රධාන අරමුන වන්නේ, මෙම පනත් කෙටුම්පත්වලට එරෙහි ව කම්කරු පන්තියයේ ස්වාධීන ක්‍රියාමාර්ග බලමුලුගැන්වීම වැලැක්වීමයි.

සමගි ජන බලවේගය (සජබ) ඔක්තෝබර් 27දා කොලඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මන්ඩල සමඟ සාකච්ඡාවක් පවත්වමින් ආන්ඩුවට බලපෑම් කිරීම සඳහා ඔවුන්ගේ සහාය ඉල්ලා සිටියේ ය. ත්‍රස්තවාදයට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහි නීති අවශ්‍ය බව සජබ නායක සජිත් ප්‍රේමදාස අවධාරනය කල නමුත්, “ඵලදායී” අධිකරන අධීක්ෂනයක් සහ විධායක බලය අනිසි ලෙස භාවිත කිරීම වැලැක්වීමේ ආරක්ෂන ක්‍රමවේද ඉල්ලා සිටියේ ය.

මර්දනකාරී නීති මගින් ශ්‍රී ලංකාවට හිමි යුරෝපා සංගමයේ GSP+ වෙලෙඳ සහන අහිමි වීමේ අවදානමක් ඇති විය හැකි බවට ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ට ද අනතුරු අඟවා තිබේ. විදේශයන්හි යුද්ධ මෙහෙයවන සහ තම රටවල් තුල කම්කරුවන්ට හා තරුනයන්ට එරෙහි ව ලේ වැකි මර්දනයන් මුදා හරින යුරෝපා සංගමයේ බලයන් සහ එක්සත් ජනපදය මානව හිමිකම් ආරක්ෂා කරනු ඇතැයි පැවසීම බොරුවකි. මෙම බලවතුන් වෙලෙඳ සහන භාවිත කරන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට නොව, චීනයට එරෙහි තම මූලෝපායික අරමුනු තුල කොලඹ පාලනය රඳවා තබා ගැනීමට ය.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ශාඛාවක් වන සජබ නායකයෝ දෙමල ජනතාවට එරෙහි එහි ලේ වැකි වාර්ගික යුද්ධයට, ම්ලේච්ඡ හදිසි නීති රෙගුලාසි සහ PTA  ක්‍රියාත්මක කිරීමට මෙන් ම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යොදා ගනිමින් කම්කරු පන්තිය මර්දනය කිරීමට ද සහාය දුන්හ. ප්‍රේමදාසට අවශ්‍ය වන්නේ,  මතුපිට වෙනස්කම් කිහිපයක් සහිත ව ආන්ඩුව මෙම මර්දනකාරී නීති ඉදිරියට ගෙන යාමයි. ජවිපෙ/ජාජබ ආන්ඩුව සමඟ ඔවුන්ට මූලික වෙනස්කම් කිසිවක් නැත.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නියමුවන් ලෙස පෙනී සිටිමින් එම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ඝෝෂාකාරී විවේචන ඉදිරිපත් කරයි. මෙම පනත් කෙටුම්පත් හකුලා ගැනීමට ආන්ඩුවට බලපෑම් කිරීම සඳහා එය නොවැම්බර් 4දා පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කලේ ය. එම විරෝධතාවේ දී කතා කල පක්ෂයේ ප්‍රකාශක වසන්ත මුදලිගේ, “එසේ නොකලහොත්, අපි මහජන ව්‍යාපාරයක් ගොඩනඟා ඔබේ ප්‍රතිපත්ති ආපසු හැරවීමට සටන් කරනවා” යැයි අනතුරු ඇඟවී ය.

පෙසප කියන මහජන ව්‍යාපාරය යනු විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති නායකයන්ගෙන් සන්ධානයක් සඳහා ආයාචනා කිරීම හැර අන් කිසිවක් නොවේ. පක්ෂයේ වෘත්තීය සමිති අංශය වන කම්කරු අරගල මධ්‍යස්ථානය, පනත් කෙටුම්පතට “විරුද්ධ වීම” සඳහා වෘත්තීය සමිති නායකයන්ට ආරාධනා කරමින් රැස්වීම් කිහිපයක් පැවැත්වී ය. මෙය කූට උපායකි.

මෙම නිලධරයෝ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ කම්කරුවන්ගේ අරගල අවහිර කිරීමට, තම වෘත්තීය සමිති යොදා ගත්හ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ප්‍රහාර තීව්‍ර කරන ජවිපෙ/ජාජබ ආන්ඩුවේ බලය තවදුරටත් ශක්තිමත් කිරීමයි.

පෙසපෙ තර්කය වන්නේ, හදිසි නීති රෙගුලාසි, දන්ඩ නීති සංග්‍රහය සහ අනෙකුත් නියාමන නීති වැනි දැනට පවතින නීති “ත්‍රස්තවාදය” සහ වෙනත් අපරාධවලට මුහුන දීමට ප්‍රමානවත් බවයි. කෙටියෙන් කිව හොත්, ඔවුන් ආරක්ෂා කරන්නේ, කම්කරුවන්ට සහ පීඩිත ජනතාවට එරෙහි මර්දනකාරී උපකරනයක් වන ධනේශ්වර රාජ්‍යය සහ එහි ආයතනයි.

ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සහ පාලක ප්‍රභූව විසින් නියම කර ඇති ආන්ඩුවේ සහ පාලක පන්තියේ ක්‍රියාමාර්ග ආපසු හැරවීමට කිසිදු විරෝධතාවකට හෝ ආයාචනයකට නොහැකි ය. මෙම මර්දනකාරී ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ දේශපාලනික ව ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැඟීම වැලැක්වීම ඔවුන්ගේ උද්ඝෝෂනවල අරමුනයි.

වැඩකරන ජනතාවට ධනේශ්වර සහ පාර්ලිමේන්තු රාමුව තුල තම ජීවන තත්ත්වයන් සහ සමාජ කොන්දේසි ආරක්ෂා කල නොහැකි ය.

කප්පාදු තීව්‍ර කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකින් කල නොහැකි බව හොඳින් දන්නා බැවින්, අනුර කුමාර දිසානායක ආන්ඩුව මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීමට හදිසියේ ඉදිරිපත් කර තිබේ. වැඩකරන ජනතාවගේ කෝපය උච්චත ම මට්ටමකට පැමින තිබේ. ඔවුන්ට අපකීර්තියට පත් වෘත්තීය සමිති නායකයන් සහ ව්‍යාජ වාම කන්ඩායම් මත විශ්වාසය තැබිය නොහැකි ය.

මෙම පනත් කෙටුම්පත්, දැඩි අයිඑම්එෆ් කප්පාදු නියෝග තීව්‍ර කිරීමට එරෙහි ව කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව අතර වැඩෙන විරෝධය මර්දනය කිරීම සඳහා ආන්ඩුව ගන්නා සූදානමේ කොටසක් බව අපි අනතුරු අඟවමු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කරමින් ඔහුගේ ආන්ඩුව බිඳ දැමූ 2022 මහජන නැගිටීමේ අවතාරය දැන් දිසානායක ආන්ඩුව සහ පාලක ප්‍රභූව හමුවේ හොල්මන් කරයි.

කම්කරු පන්ති අරගල යලි පැන නැඟීම පිලිබඳ ව ඔවුහු බිය වෙති. තම අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා යුරෝපීය රටවල් පුරා කම්කරුවන් සහ ශිෂ්‍යයන් තම තමන්ගේ ආන්ඩුවලට සහ සංගත කතිපයාධිකාරයට එරෙහි ව අරගලවලට පිවිසීම, ශ්‍රී ලංකාව ඇතුලු ජාත්‍යන්තර පාලක ප්‍රභූව ද කැලඹීමට පත් කර තිබේ.

දිසානායක ආන්ඩුව සහ ධනේශ්වර පාර්ලිමේන්තු පක්ෂ මෙන් ම, ව්‍යාජ වාම කන්ඩායම් සහ වෘත්තීය සමිති නිලධරය ද කම්කරුවන් සහ දුගීන් අතර වැඩෙන විරෝධය පිලිබඳ ව නොසන්සුන් වී සිටියි. 2022 මහජන නැගිටීම අතරතුර, මෙම වෘත්තීය සමිති නිලධාරීන් සහ පෙසප, අපකීර්තියට පත් පාර්ලිමේන්තු පක්ෂවල අන්තර්වාර ආන්ඩුවක් සඳහා ජවිපෙ සහ සජබ ගෙන ගිය උද්ඝෝෂනයට සහාය දුන් අතර, මහජන ව්‍යාපාරය පාර්ලිමේන්තු පාලනයේ සහ ධනේශ්වර රාමුවේ අවසන් විසඳුමක් නොමැති මාවතකට හරවා යැවීමට ක්‍රියා කලහ.

ඔවුන්ගේ වර්තමාන උද්ඝෝෂනවල දී පෙසප සහ වෘත්තීය සමිති නිලධරය යලිත් ඉටු කරන්නේ එම භූමිකාව ම වන නමුත්, මෙවර එය ජවිපෙ/ජාජබ ආන්ඩුවේ අත්තනෝමතික පාලනය තහවුරු කිරීමට මාවත සකසයි.

තම සමාජීය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ දී කම්කරු පන්තියට පාලක ප්‍රභූවේ කිසිදු කොටසක් හෝ ඔවුන්ගේ අනුගාමිකයන් කෙරෙහි මොන ම විස්වාසයක්වත් තැබිය නොහැකි ය. විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති නිලධාරිවාදය සහ පෙසප වැනි ව්‍යාජ වාම කන්ඩායම් වෙත මෙම වගකීම පැවරිය නොහැකි ය. කම්කරුවන් ම මූලිකත්වය ගත යුතු ය.

සෑම වැඩපොලක ම සහ ආයතනයක ම තමන්ගේ ම ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගත් ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එ බැවිනි. ගම්බද දුගීන්ගෙන් ද එසේ කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ධනේශ්වර පක්ෂ සහ වෘත්තීය සමිති නිලධාරින් මෙම කමිටුවලට වැද්ද නොගත යුතු ය.

මෙම කමිටු පනත් කෙටුම්පත්වල සැබෑ ස්වභාවය හෙලිදරව් කරන සාකච්ඡා සංවිධානය කල යුතු අතර, මර්දනකාරී නීති යටතේ පීඩාවට පත් වූවන් ආරක්ෂා කල යුතු ය. ඒවා ඉල්ලා අස්කර ගැනීම සඳහා සම්බන්ධීකෘත විරෝධතා සහ කාර්මික ක්‍රියාමාර්ග සූදානම් කල යුතු අතර, මෙම අරගලය අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි සටන සමඟ සම්බන්ධ කල යුතු ය.

වාර්ගික රේඛා ඔස්සේ කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීමට උත්සාහ කරන ධනේශ්වර පක්ෂ සහ වර්ගවාදී කන්ඩායම්වලට එරෙහි ව, සමාජීය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වන එහි උද්ඝෝෂනය සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් කරමින් ගෙන යා යුතු ය.

මේ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය, කප්පාදු වැඩපිලිවෙලට එරෙහි විරෝධය සහ දේශපාලන බලය සඳහා වන අරගලය සමඟ සම්බන්ධ කිරීම අවශ්‍ය වේ. කම්කරුවන්ගේ සහ ගම්බද  ජනතාවගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටුවලින් තෝරා පත් කරගන්නා නියෝජිතයන් මත පදනම් වූ කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සසප යෝජනා කරයි.

මෙම අරගලය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටන සමඟ සම්බන්ධ කල යුතු ය. ග්‍රාමීය ජනතාව සමඟ සන්ධානගත ව කම්කරු පන්තිය බලය අතට ගෙන සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල යුතු ය.

මෙම අරගලය ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය අවශ්‍ය වේ. ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) හරහා කම්කරුවන් මෙම අරගලය ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලය සමඟ සම්බන්ධ කල යුතු ය.

Loading