[මෙය German youth join the global movement against austerity and war මැයෙන් 2026 නොවැම්බර් 02 දින ඉංග්‍රීසි බසින් පල විය.]
යුරෝපය පුරා පැතිර යන තරුන විරෝධතා රැල්ල දැන් ජර්මනියට ද ලඟා වී තිබේ. ඔක්තෝබර් 31 වැනි දා සෙනසුරාදා, අධ්‍යාපනය විනාශ කිරීම, ඉහල යන ජීවන වියදම, සමාජ අසමානතාව, මිලිටරිවාදය සහ අනිවාර්ය හමුදා සේවය නැවත හඳුන්වා දීමට එරෙහි ව, නගර 30 කට අධික සංඛ්‍යාවක තරුන තරුනියෝ 120,000 කට වැඩි පිරිසක් වීදි බැස විරෝධය පල කලහ.
බර්ලින්, ස්ටුට්ගාර්ට්, අර්ෆර්ට්, නියුරම්බර්ග්, කොලෝන්, ෆ්රැන්ක්ෆර්ට්, ලයිප්සිග් සහ තවත් බොහෝ නගරවල විශාල විරෝධතා පැවැත්විනි. සහභාගී වූවන්ගෙන් බොහෝ දෙනෙක්, පලමු වරට දේශපාලන විරෝධතාවකට සහභාගී වූ පාසල් සිසුවෝ වූහ.
ඔවුන්ගේ පනිවිඩය නොවරදින සුලු විය: පාසල් ගරා වැටෙන අතර සමාජ සේවා විසුරුවා හැරේ; මිලියන ගනනක් දෙනා නිවාස හා මූලික අවශ්‍යතා සඳහා අරගල කරති; ආන්ඩුව යුරෝ බිලියන සිය ගනන් වියදම් කරමින් නැවත සන්නද්ධ වන අතර යුද්ධයේ දී සටන් කර මිය යාමට තරුනයින් සූදානම් කරයි.
මෙම වර්ධනය වන දේශපාලන සවිඤ්ඤානික බව, තමන් විසින් ම සකස් කර ගෙනැවිත් තිබූ පුවරු දහස් ගනනකින් පිලිබිඹු විය. ඒවායේ තිබූ සටන් පාඨ අතර, “බෝම්බ වෙනුවට අධ්‍යාපනය!” සහ “යුදවාදීන්ට එරෙහි ව තරුන පරපුර!” යනාදිය ද විය. ෆ්රැන්ක්ෆර්ට් හි සිසුවෙක්, “ඔබේ ක්‍රියාවන් අපේ අනාගතය විනාශ කරයි,” යනුවෙන් ප්‍රකාශ කලේ ය. තවත් පිරිසක්, “ප්‍රංශයේ ආකාරයට ම කරනු!” සහ “ඉතිහාසය අපේ පැත්තේ!” යනුවෙන් හඬ නැගූහ.
යුද්ධයට එරෙහි විරෝධය මෙහි දී විශේෂයෙන් ම කැපී පෙනුනි. සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (IYSSE) සංවිධානයේ සාමාජිකයෝ, විරෝධතාවයේ නිරත තරුන තරුනියන් බොහෝ දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වූහ. බර්ලිනයේ එකොලොස්වන ශ්‍රේනියේ සිසුවෙකු වන ජෝන් පැවසුවේ: “මට යුද්ධයට යන්න අවශ්‍ය නැහැ.”ඔහු තවදුරටත් මෙසේ ද පැවසීය: “මට විරුද්ධව සටන් කරන අය මගේ සතුරන් නොවන බවත්, සැබෑ සතුරන් වන්නේ ඔවුන්ට අන දෙන අය බවත් මම දන්නවා.”
ෆ්රෑන්ක්ෆර්ට් හි කාන්තා රැකවරන මධ්‍යස්ථානයක (women’s shelter) සේවය කරන සාරා මෙසේ පැවසුවා ය: “අප සතු ව ඇත්තේ ඉතා සුලු මුදලක්; නමුත් දැන් සමහර අවස්ථාවල කිසිදු මුදලක් ඉතිරි වෙන්නේ නැහැ; ඉදිරියට කුමක් සිදු වේ ද යන්න පිලිබඳ ව අපට කිසිදු අදහසක් නැහැ.” මීට හේතුව ලෙස සාරා පෙන්වා දුන්නේ, “ආයුධ සහ ධනවතුන් සඳහා දිගින් දිගට ම විශාල මුදලක් වැය කරන මේ නරක ප්‍රතිපත්ති” බවයි. ඇය තව දුරටත් සඳහන් කලේ, “මෙය තව දුරටත් සුබසාධන රාජ්‍යයක් ලෙස හඳුන්වන්න බැහැ,” යනුවෙනි.
මෙම ප්‍රකාශයන් මගින් පෙන්නුම් කෙරෙන්නේ, පිරිහෙන ජීවන තත්වයන් සහ යුද ධාවනය අතර පවතින සම්බන්ධය පිලිබඳ ව වර්ධනය වන අවබෝධයයි. තරුන තරුනියෝ හමුදාව, බැංකු සහ සංගත වෙනුවෙන් තම අනාගතය කැප කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටිති.
මෙම විරෝධතා මගින්, දේශපාලන අරගලය තුලට නව පරම්පරාවක පිවිසීමත්, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, පෘතුගාලය, ඇල්බේනියාව, සර්බියාව සහ වෙනත් රටවල දැනටමත් මතු ව ඇති ව්‍යාපාරයේ ජර්මනිය දක්වා ව්‍යාප්තියත් සනිටුහන් වේ.
යුරෝපය පුරා ආන්ඩු, කප්පාදු පැනවීම, ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට පහර දීම සහ මිලිටරි වියදම් සඳහා දැවැන්ත සම්පත් හරවා යැවීම සිදු කරයි. එම ධනේශ්වර අර්බුදය ම සෑම තැනක ම සිටින තරුනයින්ට දරිද්‍රතාවය, ඒකාධිපතිවාදය සහ යුද්ධයෙන් තර්ජනය කරයි.
ජර්මනියේ තුල මෙම වර්ධනය විශේෂ ඓතිහාසික වැදගත්කමක් දරයි.
ජර්මානු ෆැසිස්ට්වාදයේ අපරාධ සහ සෝවියට් සංගමයට එරෙහි නාසි සමූලඝාතන යුද්ධයෙන් දශක අටකට වැඩි කාලයකට පසු, ජර්මානු පාලක පන්තිය නැවතත් දැවැන්ත මිලිටරිකරනයක් අනුගමනය කරමින් සිටී. මර්ස්-ක්ලින්ග්බයිල් ආන්ඩුව ජර්මනිය “යුද්ධයට සූදානම්” කිරීමට, ඒකාබද්ධ සන්නද්ධ හමුදා (Bundeswehr) පුලුල් කිරීමට සහ රුසියාව සමඟ සෘජු ගැටුමකට සූදානම් වීම සඳහා තම අභිප්‍රාය ප්‍රකාශ කර තිබේ.
ජර්මනිය යුක්රේනයේ විශාල ත ම යුරෝපීය මිලිටරි ආධාරකරුවා බවට පත් ව ඇති අතර ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන විනාශකාරී ප්‍රහාරය මධ්‍යයේ දේශපාලනික ව සහ මිලිටරිමය වශයෙන් ඊශ්‍රායලයට දිගින් දිගට ම සහාය දක්වයි. බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීම නැවත ආරම්භ කිරීම, තරුන සොල්දාදුවන් තොග පිටින් මරා දමන යුද්ධ සූදානම් කිරීම සමඟ බැඳී ඇත.
පවතින සියලු ම දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරන්නේ, හමුදා සූදානම සහ ජාතික කැපවීම වන මුත්, තරුන පරපුර දැන් මෙම පොදු එකඟතාවට අභියෝග කිරීමට පටන් ගෙන තිබේ. නිල දේශපාලන ක්ෂේත්රය තුල විරුද්ධත්වයක් නොමැති වීම, මහජනතාවගේ ආකල්ප පිලිබිඹු නොකරයි. මෙම විරෝධතා මගින්, සමාජය තුල යටපත් වී තිබූ සමාජීය හා දේශපාලනික ආතතීන් මතු කර දක්වයි.
මෙම අනතුර හඳුනාගත් ආන්ඩුව, ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් විය. විරෝධතා ආරම්භ වීමට පෙර, දේශපාලනඥයන් සහ මාධ්‍ය ආයතන විසින් අන්තවාදය සහ කෝලාහල පිලිබඳ අනතුරු ඇඟවීම් ප්‍රචාරය කරන ලදී. ජල ප්‍රහාරක රථ සහ සන්නද්ධ රථ ද ඇතුලු ව විශාල පොලිස් බලඇනි යොදවා තිබුනි. විරෝධතා බොහෝ දුරට සාමකාමී ව පැවතිය ද, නගර කිහිපයක දී ම පොලිසිය ඊට මැදිහත් වූයේ, ඉතා ආක්රමනශීලී ලෙසට ය. කොලෝන් නගරයේ දී, ඔවුහු විශාල විරෝධතා පාගමනක් නතර කර ජල ප්‍රහාර එල්ල කලහ.
පෙලපාලිවල දේශපාලන අරමුනු සමග සම්බන්ධයක් නොමැති ව ඇතැම් පෙලපාලි වල දී සිදු වූ කැරලි කෝලාහල සහ කොල්ලකෑම් වැනි සිදුවීම්, ව්‍යාපාරය අපකීර්තියට පත් කිරීම සඳහා යොදා ගෙන ඇත. ඉරිදා (01) අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ඩ්, කැලඹීම්වලට සහභාගී වූවන්ට දැඩි දඬුවම් ඉල්ලා සිටි අතර “ප්රචන්ඩ වාමාංශික කන්ඩායම්වලට” සහ සංක්රමනික පසුබිම්වලින් පැමිනි පුද්ගලයින්ට දොස් පැවරී ය.
මෙම විරෝධතා, යුද්ධයට හා කප්පාදුවට එරෙහි පුලුල් අරගලයක් දක්වා වර්ධනය වී කම්කරු පන්තිය ද ඇද ගනු ඇතැයි පාලක පන්තිය බිය වේ. එහෙත් බිය ගැන්වීමේ ව්‍යාපාරය නතර කර නැත. නොවැම්බර් 20 වන දින ජාත්‍යන්තර විරෝධතා ඇතුලු ව තවත් විරෝධතා දැනටමත් සැලසුම් කර ඇත.
තීරනාත්මක ප්රශ්නය වන්නේ, මෙම විරෝධය, තම ඉල්ලීම් දිනා ගැනීමට සමත් සවිඥානික දේශපාලන ව්‍යාපාරයක් බවට වර්ධනය කර ගන්නේ කෙසේ ද යන්නයි.
සසජාතශි (IYSSE) සහ ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය (SGP) ජර්මනිය පුරා මැදිහත් වී, “යුද්ධය වෙනුවට අධ්‍යාපනය! කප්පාදු, බලහත්කාර බඳවා ගැනීම් සහ පොලිස් රාජ්‍යයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වමු!” යන ඔවුන්ගේ ප්‍රකාශයේ පිටපත් දහස් ගනනක් බෙදා හරිමින් විරෝධතාකරුවන් සමඟ ඉදිරි මාවත සාකච්ඡා කලහ. ස්ටුට්ගාර්ට් සහ අර්ෆර්ට් හි, සසජාතශි නියෝජිතයෝ ප්‍රධාන වේදිකාවල සිට විරෝධතා ඇමතූහ.
ඔවුන්ගේ මැදිහත්වීම සැලකිය යුතු උනන්දුවක් දල්වාලීය. ආන්ඩුවේ ප්‍රතිපත්ති පමනක් නොව, ධනවාදය පිලිබඳ ව ද තරුන තරුනියන් වැඩි වැඩියෙන් ප්‍රශ්න කරන බවත්, දේශපාලන විකල්පයක් සොයමින් සිටින බවත් සාකච්ඡා මගින් අනාවරනය විය.
SGP සභාපති ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රියර්, බර්ලිනයේ දී පටිගත කරන ලද ප්‍රකාශයකින් ව්‍යාපාරයේ වැදගත්කම සාරාංශගත කලේ ය:
මෙම විරෝධතා ජාත්‍යන්තර ස්වභාවයක් ගන්නා අතර ඒවා සංවිධානය කෙරෙන්නේ, ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ය; තවද ඒවා, ධනවාදය සමඟ ගැටුමකට එලඹෙමින් සිටී. සමාජවාදී සමානතා පක්ෂය, මෙම ප්‍රශ්න පිලිබඳ ව සවිඤ්ඤානකභාවය වර්ධනය කිරීමටත්, එ මගින් මෙම ව්‍යාපාරය තුල ස්වයං-දැනුවත්භාවය වර්ධනය කිරීමටත් කැප වී ක්‍රියා කරයි.
ඔහු අන්තර් සම්බන්ධිත කාර්යයන් තුනක් හඳුනා ගත්තේ ය:
බොහෝ රටවල එකවර පැවැත්වෙන විරෝධතා හරහා මෙම ව්‍යාපාරය සැබෑ ජාත්‍යන්තර ව්‍යාපාරයක් බවට වර්ධනය විය යුතු ය. ගැටලු සෑම තැනක ම එක හා සමාන වේ; ඒ සියල්ලට ම ඇත්තේ එක ම මූලික හේතුවකි: එය නම්, ධනවාදයයි. ජාත්‍යන්තර බැංකු සහ සංගතවල බලය බිඳ දැමිය හැක්කේ අප සැම එක්වීමෙන් පමනි.
දේශපාලන ස්වාධීනත්වයේ අවශ්‍යතාව පිලිබඳ ව ඔහු මෙසේ පැහැදිලි කලේ ය:
ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව මෙම විරෝධතා සංවිධානය කිරීමට හේතුවක් තිබේ: එය නම්, ඔවුන් ප්‍රතිරෝධය සංවිධානය කරනවා වෙනුවට සැබැවින් ම කරන්නේ එය යටපත් කිරීම වීමයි. ලෙෆ්ට් පාටි පක්ෂය විසින් පිහිටුවනු ලබන ආන්ඩු, සමාජ සුබසාධන කප්පාදු කිරීම් සිදු කරන අතර රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කරයි. ජර්මානු ෆෙඩරල් කවුන්සිලයේ දී, යුරෝ ට්‍රිලියන ගනනක අවි සන්නද්ධ කිරීමේ වැඩසටහනට ඔවුහු සහාය පල කලහ. වෘත්තීය සමිති සිදු කරන්නේ ප්‍රතිරෝධය සංවිධානය කිරීම නොව, මහා පරිමාන සේවක දොට්ට දැමීම්වලට ඉඩ සැලසීමයි. එහෙත්, හුදෙක් ස්වාධීන ව සංවිධානය වීම පමනක් ප්‍රමානවත් නොවේ. මෙහි දී, දේශපාලනික වශයෙන් දැනුවත් සහ තීරනාත්මක වෙන් වීමක් අවශ්‍ය වේ.
මෙම ව්‍යාපාරය කම්කරුවන් දෙසට යොමු විය යුතු බව වැන්ඩ්රයර් අවධාරනය කලේ ය: “කම්කරු පන්තියට ධනවාදයට මුහුන දිය හැකි අතර තරුන පරම්පරාව ද ඒ දෙසට යොමු විය යුතු ය.”
අවසානයේ දී, ඔහු මෙසේ පැහැදිලි කලේ ය:
මෙම ව්‍යාපාරය ධනවාදයට එරෙහි, සවිඥානික ව්‍යාපාරයක් දක්වා වර්ධනය කල යුතු ය. මහජන උද්ඝෝෂන හමුවේ පාලක පන්තිය මර්දනයෙන් ප්‍රතිචාර දැක්වීම, ඔවුන් කිසිදු සහනයක් ලබා දීමට සූදානම් නැති බව පෙන්නුම් කරයි. තරුන පරපුරට ලබා දීමට ධනවාදය සතු ව ඇත්තේ ම්ලේච්ඡත්වය, ෆැසිස්ට්වාදය සහ යුද්ධය පමනි. එබැවින් මෙම ව්‍යාපාරය සමාජවාදී ඉදිරිදර්ශනයක් වෙත යොමු විය යුතු ය.
SGP සහ IYSSE යන සංවිධාන යෝජනා කරන්නේ, ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිති නිලධාරි තන්ත්රයන්ගෙන් ස්වාධීන ව, පාසල්, විශ්වවිද්‍යාල, සේවා ස්ථාන සහ අසල්වැසි ප්‍රදේශ තුල, ප්රජාතන්ත්රවාදී ව පාලනය වන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු බවයි. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) හරහා ජාත්‍යන්තර ව එක්සත් වන මෙම කමිටුවලට, යුද්ධය, ආඥාදායකත්වය සහ සමාජ විනාශයට එරෙහි ව යුරෝපය පුරා ක්‍රියාත්මක වන මහා වැඩ වර්ජනයක් ද ඇතුලු ව, පොදු අරගලයක් සූදානම් කල හැකි ය.
අවසාන වශයෙන්, මෙම අරගලය මගින්, සමාජයේ ධනය පාලනය කල යුත්තේ කවුද යන ප්රශ්නය මතු කරයි. හමුදාමය ව්‍යාප්තිය සහ මූල්‍ය කතිපයාධිකාරීන් පොහොසත් කිරීම සඳහා යොදවන සම්පත්, ඒ වෙනුවට සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා යොදාගත යුතු ය. මේ සඳහා ප්‍රධාන බැංකු සහ සංගත කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනයට යටතේ ජනසතු කිරීම ද ඇතුලත් වන සමාජවාදී ප්‍රතිපත්ති අවශ්‍ය වේ.
ඔක්තෝබර් 31 වැනි දා පැවති විරෝධතා වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි. පාලක පන්තිය විසින් තම යුද්ධයේ තුවක්කු කටට බිලි දීමට යොදාගත හැකි පිරිසක් බවට පත් කිරීමට ගිය පරම්පරාවක්, දේශපාලන ජීවිතය තුල ස්වාධීන ව මැදිහත් වීමට පටන් ගෙන තිබේ. මිලිටරිවාදයට සහ සමාජ විනාශයට එරෙහි ව ඔවුන් දක්වන විරෝධය, සමාජය තුල බලගතු ප්‍රතිරෝධී බලවේග මතු වෙමින් පවතින බව පෙන්නුම් කරයි.
දැන් අප ඉදිරියේ ඇති කාර්යය වන්නේ, වර්ධනය වෙමින් පවතින මෙම විරෝධය, කම්කරු පන්තියේ සහ තරුන තරුනියන්ගේ සවිඤ්ඤානික ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමයි.
සසජාතශි, SGP සහ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සටන් කරන්නේ මෙම ඉදිරිදර්ශනය වෙනුවෙනි.
