[මෙය Brooklyn building disaster: Capitalist criminality in the heart of world finance මැයෙන් 2026 නොවැම්බර් 12 වැනි දා ඉංග්‍රීසී බසින් පල විය.]
නිව් යෝර්ක් නගරයේ බෘක්ලින් ප්‍රදේශයේ දී බදාදා (11) සිදු වූ භයානක ඛේදවාචකය—එනම් මහල් නිවාස ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් දරුවන් දෙදෙනෙකු ඇතුලු ව අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය යාම පිලිබඳ සිද්ධිය—ධනවාදී ක්රමයේ බංකොලොත්භාවය, එක්සත් ජනපද පාලක ප්රභූවේ සාපරාධීභාවය සහ කම්කරු පන්තිය සඳහා සමාජවාදී විකල්පයක අවශ්‍යතාවය පිලිබඳ ව බිඳ හෙලිය නොහැකි සාක්ෂි සපයයි.
මෙම ව්‍යසනය පිලිබඳ තොරතුරු මේ වන විට පුලුල් ලෙස ප්‍රසිද්ධියට පත් ව ඇතත්, මෙම සිදුවීම හරහා මතු වී පෙනෙන, යටින් පවතින සමාජ තත්වයන් සහ දේශපාලන සබඳතා පිලිබඳ ව සංගත මාධ්‍ය බොහෝ සෙයින් නිහඬ ය. මෙම කඩා වැටීමට ආසන්න ත ම හේතුව, යාබද හිස් ඉඩමක, ඉදිකිරීම් කම්කරුවන් විසින් තට්ටු තුනක නව ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරම් දැමීමේ කටයුතුවල නිරත ව සිටීම බව නිසැක ව ම පෙනෙන්නට තිබේ.
ගොඩනැගිලි බලපත්‍රයේ සඳහන් වූයේ, ඉදිකිරීම් සමාගම විසින්, නව ඉදිකිරීමට යාබද ව ඇති ගොඩනැගිලි ශක්තිමත් කල යුතු බවයි; නමුත්, එවැනි උත්සාහයක් ගෙන නොමැති බව ගොඩනැගිලි පරීක්ෂකවරුන් සොයා ගෙන ඇත. සමාගමට අවම දඩ මුදලක් නියම කරන ලද මුත්, කිසි විටෙකත් ශක්තිමත් කිරීමක් සිදු වී නොමැත; ඒ හේතුවෙන්, අසල්වැසි පදිංචිකරුවන් සහ එම ස්ථානයේ සේවකයින් අනතුරට ලක් කරමින් බදාදා දහවල් සිදු වූ කඩා වැටීමෙන්, අවම වශයෙන් එහි සේවකයින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.
ගෝතමිස්ට් වෙබ් අඩවියේ වාර්තාවට අනුව, බෘක්ලින්හි ෆ්ලැට්බුෂ් ප්‍රදේශයේ 2625 බෙඩ්ෆර්ඩ් මාවතේ ඉදිකිරීම් “වේගයෙන් ජනාකීර්න වෙමින් පවතින අසල්වැසි ප්‍රදේශයේ ගොඩ නැගෙන, ඒ හා සමාන බොහෝ ව්‍යාපෘති අතරින් එකකි.” ඉදිකිරීම්කරුවන්, වඩාත් ලාභදායී කුලී නිවාස ගොඩනඟන විට කම්කරු පන්තියේ අසල්වැසි පදිංචිකරුවෝ—ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සංක්‍රමනිකයෝ වෙති—අවතැන් වෙමින් සිටිති. අවම වශයෙන් විවිධ සමාගම් පහක් සමග විවිධ ආයෝජකයින් මෙම යෝජනා ක්‍රමයට සම්බන්ධ වී සිට තිබේ.
1321 ෆ්ලැට්බුෂ් මාවතේ කඩා වැටුනු ගොඩනැගිල්ල ඉඩම් හිමියෙකු වන ඔලුෆෙමි ෆලාඩේ සතු වූ අතර ඔහු අනෙකුත් දේපලවල කුලී නිවැසියන්ට කල හානිය කෙතරම් දරුනු ද යත්, නිරාවරනය වූ විදුලි රැහැන් ඇද තිබීම, දුම් අනාවරක (smoke detectors) නොමැතිකම, ජල ඇනහිටීම් සහ ඇඳ මකුනන් සහ මීයන්ගේ ආසාදන ඇතුලු උල්ලංඝනයන් සම්බන්ධයෙන් 2006 දී කෙටි කාලයක් සිරගත කරන ලදී. පුවත්පත් වාර්තා පෙන්වා දුන්නේ, 1930 ගනන්වල ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල, නගර සභාවට නොගෙවූ බදු පියවා ගැනීම සඳහා පසුගිය වසර දහය තුල අවම වශයෙන් පස් වතාවක් ආන්ඩුවේ හිඟ දේපල බදු වෙනුවෙන් රජයට හිමි නෛතික හිමිකම් පෞද්ගලික ආයෝජකයන්ට විකිනීමට (tax lien sales) යටත් වී ඇති බවයි.
ෆ්ලැට්බුෂ් හි සිදු වූ දෙය, පාලක ප්‍රභූ පැලැන්තියට ධනය රැස් කර ගැනීමේ ප්‍රධාන මාර්ගයක් ලෙස දේපල වෙලඳාම පවතින, ආරක්ෂක නීති රීති ලාභ ලැබීමට බාධාවක් ලෙස සලකනු ලබන සහ ඊට වගකිව යුතු පාර්ශවයන් කිසි විටෙකත් වග නොකියන සමාජ ක්රමයක ප්රතිඵලයකි. නිව් යෝර්ක් නගරයේ ඉදිකිරීම් සහ දේපල වෙලඳ ක්ෂේත්රය යනු, ඩොනල්ඩ් ට්‍රම්ප් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කල ස්ථානය ලෙස කුප්‍රකට ය; ඔහු මුලින් බහු-මිලියනපති ඉදිකිරීම් ව්‍යාපාරිකයෙකුගේ ආදරනීය පුත්‍රයා ලෙසත්, පසු ව දේපල වෙලඳාම් ආශ්රිත සමපේක්ෂකයෙකු සහ වංචනිකයෙකු ලෙසත් එහි කටයුතු කලේ ය.
ට්‍රම්ප් යනු, සේවක ආරක්ෂාව සම්බන්ධයෙන් නොසැලකිලිමත් වීම, ගොඩනැගිලි නීති උල්ලංඝනය කිරීම, ප්‍රාදේශීය නිලධාරීන්ට අල්ලස් දීම මෙන් ම උප කොන්ත්‍රාත්කරුවන්, සේවකයින් සහ කුලී නිවැසියන් රවටා මුදල් වංචා කිරීම වැනි දේ සාමාන්‍ය සිදුවීම් බවට පත් ව තිබූ එ වැනි වටා පිටාවක නිර්මානයකි. ඔහුට මෙම කටයුතු ෆ්ලැට්බුෂ් හි සිටි සුලු පරිමාන වංචනිකයින්ට වඩා විශාල පරිමානයකින් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ, ඔහුගේ පියාගෙන් ලැබුනු විශාල ධන උරුමය හේතුවෙනි. කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානයට සහ ඇඩොල්ෆ් හිට්ලර්ට සහාය පල කල ඔහුගේ පියා, ට්‍රම්ප්ට සිය ධනය පමනක් නොව, තමා දැරූ දේශපාලන දෘෂ්ටිකෝනය ද දායාද කර තිබුනි.
ඉදිකිරීම් කටයුතු නියාමනය කිරීම සහ ගොඩනැගිලිවල ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම දරන නගර සභාව, මේ වන විට මෙහෙයවනු ලබන්නේ ඩිමොක්රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා (ඇමරිකාවේ ප්රජාතන්ත්රවාදී සමාජවාදීන්) සංවිධානයේ සාමාජිකයෙකු වන නගරාධිපති සොහ්රාන් මම්දානි විසිනි. ෆ්ලැට්බුෂ් හි සිදුවූ ව්‍යසනය පිලිබඳ ව දැඩි කනගාටුව පල කල මම්දානි, වහා ම එම ස්ථානය වෙත පැමින, මෙම සිදුවීමට වගකිව යුතු පාර්ශවයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගත හැකි සෑම පියවරක් ම ගන්නා බවට ප්‍රතිඥා දුන්නේ ය.
මේවා නිකම් ම ප්‍රලාප පමනි. ගොඩනැගිලි පරීක්ෂකවරයා වාර්තා කල පරිදි, 1321 ෆ්ලැට්බුෂ් හි උතුරුපස බිත්තිය දුර්වල බව, නගර සභාව මාර්තු මාසය වන විට දැන සිටියේ ය. ඉදිකිරීම්කරු, කඩා වැටීමේ තර්ජනයට ලක් ව ඇති බිත්තිය ශක්තිමත් කිරීම සිදු කරන තෙක් වැඩ නතර කරන ලෙස කල නියෝගය නොසලකා හරින බව එය දැන සිටියේ ය. මෙම අවශ්‍යතා බලාත්මක කිරීමට අපොහොසත් වූ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව දැන්, තමන්ගේ ම චර්යාව බිහි කල ඛේදවාචකයක් විමර්ශනය කරමින් සිටී.
වඩාත් මූලික වශයෙන්, ජනවාරි මාසයේ බලයට පත් වීමෙන් පසු—සහ ඊට පෙර පවා, 2025 ජුනි මාසයේ දී ඔහු නගරාධිපති ධුරයට ඩිමොක්රටික් නාම යෝජනා දිනාගත් දා සිට—මම්දානිගේ සමස්ත ප්‍රතිපත්තිය වෝල් වීදියට, සමස්තයක් ලෙස මහා ව්‍යාපාරවලට සහ විශේෂයෙන් නගරයේ ධනවත් දේපල වෙලඳාම්කරුවන්ට, ඔහුගේ “සමාජවාදය” යන වෙලඳ නාමය ඔවුන්ගේ අවශ්‍යතාවලට තර්ජනයක් නොවන බව සහතික කිරීමයි. ඇත්ත වශයෙන් ම, එය කිසි සේත් ම සමාජවාදය නොවේ; එය, පසුගිය සියවසේ ලිබරල් ප්රජාතන්ත්රවාදීන්ගේ, ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට් සිට ලින්ඩන් ජොන්සන් දක්වා වූ දක්ෂිනාංශික ධනේශ්වර දේශපාලනයයි.
මම්දානි අවස්ථා තුනක දී ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වී ඇති අතර, ඒ සෑම අවස්ථාවක දී ම ප්‍රකාශ කර ඇත්තේ, නිව් යෝර්ක් නගරයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් තමාටත් එම ෆැසිස්ට්වාදී ජනාධිපතිවරයාටත් පොදු අරමුනක් පවතින බවයි. මෙහි දී, නිව් යෝර්ක් නගරය ලෝක මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රස්ථානය ලෙසත්, වෙනත් ඕනෑ ම නගරයකට වඩා වැඩි බිලියනපතියන් සංඛ්‍යාවක් වෙසෙන ස්ථානය ලෙසත් පවත්වා ගෙන යාම ඔවුන් දෙ දෙනාගේ ම අභිලාෂයයි. මීට අමතර ව, කොටස් වෙලඳපොල, ආයෝජන බැංකුකරනය, හෙජ් අරමුදල් (hedge funds - පුද්ගලික ව කලමනාකරනය කරන, සංචිත ආයෝජන අරමුදල්) සහ දේපල වෙලඳාම් ක්ෂේත්රවල ප්රමුඛ පුද්ගලයින් සමඟ ද ඔහු නිතර සාකච්ඡා පවත්වා ඇත: මේවා සියල්ල, මූල්‍ය ප්‍රභූ පැලැන්තිය විසින් කම්කරු පන්තිය සූරා කෑමට සහ කොල්ල කෑමට යොදා ගන්නා ප්‍රධාන ක්ෂේත්‍ර වේ.
මම්දානි, අගෝස්තු 27 වන දින, නගරාධිපතිවරයා සහ බයිඩන් පරිපාලනය යටතේ වැඩ වර්ජන මැඬ පැවැත්වීමට කටයුතු කල, ආර්ථික යුක්තිය පිලිබඳ තම නියෝජ්‍ය නගරාධිපතිනිය වන ජූලී සු ඇතුලු සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ව්‍යාපාර උපදේශක සභාවක් රැස් කර, කාර්තුමය වශයෙන් හමුවී, ආර්ථික සංවර්ධනය, කර්මාන්ත වර්ධනය, යටිතල පහසුකම් සහ නියාමනය පිලිබඳ උපදෙස් දුන්නේ ය. ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය: “මෙම කවුන්සිලය නිව් යෝර්ක්හි ආර්ථිකයේ ඊලඟ පරම්පරාව—මූල්‍ය, තාක්ෂනය, ජීව විද්‍යාව සහ තවත් දේ—ගොඩනඟන පුද්ගලයින් එකතු කර, මෙම නගරය සමාගමක් ආරම්භ කිරීමට, ව්‍යාපාරයක් වර්ධනය කිරීමට සහ වෘත්තියක් ගොඩනැගීමට පෘථිවියේ හොඳම ස්ථානය බවට පත් කරන දේ දෙගුන කිරීමට අපට උපකාර කරයි.”
එවිට ලෝසවෙඅ මෙසේ අදහස් දැක්වී ය: “සංගත-මූල්‍ය කතිපයාධිකාරියට යටත් වීම පිලිබඳ මීට වඩා නිර්ලජ්ජිත පාපොච්චාරනයක් සිතා ගැනීම පවා අසීරු වේ.”
මෙම ප්‍රතිපත්තිය සඳහා දැන් මිල ගෙවමින් සිටින්නේ, බෘක්ලින් හි කම්කරුවන් සහ කුලී නිවැසියන් ය. මෙම ඉදිකිරීම්වල සේවය කිරීම, නිව් යෝර්ක් නගරයේ වඩාත් ම භයානක රැකියාව ලෙස පවතී. සාමාන්‍ය සේවකයෙකුට වඩා, නගරයේ ඉදිකිරීම් කම්කරුවන් අතර රැකියාවේ දී මිය යාමේ සම්භාවිතාව හය ගුනයකට වඩා වැඩි වේ; සංක්රමනික සහ ලතින් ඇමරිකානු කම්කරුවෝ ද විශාල සංඛ්‍යාවලින් මිය යති. සමාජ මාධ්‍ය වාර්තාවලට අනුව, බදාදා කඩා වැටීමෙන් තුවාල ලැබූ ඉදිකිරීම් කම්කරුවන් කිහිප දෙනෙක්, ICE ඒජන්තයින් (ආගමන විගමන සහ රේගු බලාත්මක කිරීමේ අංශයේ නිලධාරීන්) විසින් අල්ලා ගනු ඇතැයි යන බියෙන් එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.
මෙම ගොඩනැගිල්ල කඩා වැටීම, 2022 ජනවාරි මාසයේ දී බ්‍රොන්ක්ස් හි පිහිටි ට්වින් පාර්ක්ස් නෝර්ත් වෙස්ට් මහල් නිවාස සංකීර්නයේ ඇති වූ ගින්න සිහිගන්වයි. ගැම්බියාවෙන් සහ බටහිර අප්‍රිකාවෙන් පැමිනි සංක්රමනික ප්‍රජාවක් ජීවත් වූ එම ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නෙන්, දරුවන් අට දෙනෙක් ඇතුලු ව පුද්ගලයින් 17 දෙනෙක් මිය ගියහ. මෙම ගොඩනැගිල්ල හිමි ව තිබුනේ, වසර දෙකකට පෙර එය මිල දී ගත් පෞද්ගලික ආයෝජන සමාගම් කිහිපයක හවුල්කාරීත්වයකට ය. දුමාරය පැතිරීම වැලැක්වීම සඳහා ක්‍රියාත්මක විය යුතු, ස්වයංක්‍රීය ව වැසෙන දොරවල් නිසි පරිදි ක්‍රියාත්මක වී නොතිබුනි.
පසුගිය සතියේ නිව්යෝර්ක් නගරයේ මහල් නිවාස දෙකක ඇති වූ ගිනි ගැනීම් දෙකකින් පුද්ගලයින් 10 දෙනෙක් මිය ගියහ. නොවැම්බර් 5 වන දින බෘක්ලින්හි සන්සෙට් පාර්ක් අසල්වැසි ප්‍රදේශයේ නිවාස පේලියක් ගින්නකින් විනාශ වී හය දෙනෙක් මිය ගොස් තිබේ; ගින්න ඉතා දැඩි වූ අතර එය සෑම මහලක ම ජනේල හරහා පැතිර ගියේ ය; මෙම ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින්ට පැය තුනක්වත් අවශ්‍ය වන අතර එය ඔවුන්ගේ උත්සාහය නිරර්ථක කලේ ය. මීට පෙර, බ්‍රොන්ක්ස් හි මොට් හෙවන් අසල්වැසි ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් ඉලෙක්ට්‍රික් බයිසිකල් බැටරියක් හේතුවෙන් ඇති වූ ගින්නකින් හතර දෙනෙක් මිය ගියහ. දින හයකට පසු ෆ්ලැට්බුෂ් හි මෙන්, ශෝකය සහ “ඉමහත් කම්පාව” ගැන කතා කිරීමට මම්දානි සන්සෙට් උද්‍යානයේ පෙනී සිටියේ ය.
නිව් යෝර්ක් නගරය තුල විශේෂයෙන් උග්‍ර වුව ද, මෙවැනි සිදුවීම් ඇමරිකාවේ සෑම නගරයක ම සිදු වන අතර ශීත කාලගුනය ආරම්භ වන විට ඒවා තවත් නරක අතට හැරෙනු ඇත; සිසිර සෘතුවේ දී මිනිසුන්ට නිවෙස්වල ම රැඳී සිටීමට සිදුවන අතර ඔවුන්ට අන් කිසිදු ක්රමයක පිරිවැය දරාගත නොහැකි නම්, අවකාශ තාපක (space heaters) වැනි උනුසුම් ව තබා ගැනීමේ අනාරක්ෂිත ක්‍රම මත විශ්වාසය තැබීමට බල කෙරේ. මේ මාසයේ දැනටමත්, ඩෙට්රොයිට්, මිනියාපොලිස්-ශාන්ත පෝල්, ඩෙන්වර් සහ සියැටල් ඇතුලු උතුරු ප්‍රාන්ත පුරා නාගරික මධ්‍යස්ථානවල ගිනි ගැනීම් හේතුවෙන් නිවාස විනාශ වීම නිසා පීඩාවට පත් ව ඇත. එක්සත් ජනපද ගිනි නිවන ඒකකයට අනුව, මේ වසරේ මේ දක්වා නිවාස ගිනි ගැනීම්වලින් පුද්ගලයින් 1,555 ක් පමන මිය ගොස් ඇත.
මෙම බිඳ වැටීම සිදු වූ සතියේ දී ම, ට්‍රම්ප් පරිපාලනය මිලියන 6.3 ක ජනතාවකගේ ආහාර සහනාධාර අහෝසි කිරීමට පියවර ගත්තේ ය; පෙන්ටගනය ඉරානයට එරෙහි යුද්ධය සඳහා තවත් ඩොලර් බිලියන ගනනක මුදලක් ඉල්ලා සිටියේ ය; එ මෙන් ම ඩිමොක්රටික් පක්ෂය, යුද කටයුතු භාර ලේකම්වරයා දෝෂාභියෝගයකින් බේරා ගත්තේ ය. යුද්ධය සඳහාත්, මූල්‍ය කතිපයාධිකාරීන් තව තවත් පොහොසත් කිරීම සඳහාත් අසීමිත මුදලක් වෙන්කර තිබේ. නමුත් ආරක්ෂිත නිවාස, ආරක්ෂිත සේවා ස්ථාන හෝ ඒවා ක්‍රියාත්මක කිරීම සහතික කරන පරීක්ෂකවරුන් සඳහා කිසිදු මුදලක් වෙන් කර නැත.
කම්කරුවන්ට සහ කුලී නිවැසියන්ට, එම ව්‍යසනය පිලිබඳ විමර්ශනය, එයට හේතු වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල ආයතන සහ නිලධාරීන් අතට භාර දීමට නොහැකි ය. මෙහි දී අවශ්‍ය වන්නේ, ඉදිකිරීම්කරුවාට සහ නගර බලධාරීන්ට අයත් අවසර පත්‍ර ලිපිගොනු, පරීක්ෂන වාර්තා සහ සන්නිවේදන ලේඛන වෙත පූර්න ප්‍රවේශය සහිත ව, කම්කරුවන් සහ පදිංචිකරුවන් විසින් සිදු කරනු ලබන ස්වාධීන විමර්ශනයකි. අනතුරුදායක වැඩ කටයුතු නතර කිරීමටත්, අලුත්වැඩියා කටයුතු සිදු කරන ලෙස බල කිරීමටත් බලය ඇති කමිටු, සේවා ස්ථානවල සහ මහල් නිවාස සංකීර්නවල පිහිටුවා ගත යුතු ය.
සැමට ලබා දිය යුතු යහපත් සහ ආරක්ෂිත නිවාසයක් යනු වෙලඳ භාන්ඩයක් නොවේ; එය සමාජ අයිතියකි. මෙය තහවුරු කර ගැනීම සඳහා, කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතේ නිවාස ඉදිකිරීමට සහ අලුත්වැඩියා කිරීමට දැවැන්ත පොදු වැඩසටහනක් අවශ්‍ය වේ. මෙයට අවශ්‍ය මූල්‍ය සම්පත්, දේපල වෙලඳාම් සහ මූල්‍ය ක්ෂේත්රයේ බලවතුන් සතු ධනය කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතේ ජනසතු කිරීමෙන් මෙන් ම, දැනට යුද්ධය වෙනුවෙන් වැය කෙරෙන සම්පත් යොදා ගැනීමෙන් ලබා ගත හැකි ය. සමාජවාදී සමානතා පක්ෂය පෙනී සිටින්නේ සහ අරගල කරන්නේ මෙන්න මේ සමාජවාදී වැඩපිලිවල ක්‍රියාත්මක කිරීම වෙනුවෙනි.
