නොවැම්බර් 19 දා, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ 2027 අයවැය පිලිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වූ කෘෂිකර්ම සහ වාරිමාර්ග ඇමති කේ.ඩී. ලාල්කාන්ත, වැඩි වැටුප් සහ දීමනා ඉල්ලා කෙරෙන වැඩවර්ජන සහ විරෝධතා හෙලා දකිමින් ආන්ඩුව වැටුප් වැඩි කිරීමක් නොකරන බවට පුනරුච්ඡාරනය කලේ ය.
ඇමති ලාල්කාන්තගේ කතාව සිදු කෙරුනේ, සතියට පෙරාතු ව, නොවැම්බර් 12දා, මුදල් ඇමැති ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 2027 අයවැයට එරෙහි ව කම්කරු විරෝධය පුපුරා ගොස් තිබෙන පසුබිමක ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පරිදි සකසා ඉදිරිපත් කල ජවිපෙ/ජාජබ ආන්ඩුවේ තුන් වැනි අයවැය, ජීවන වියදමට සරිලන සැලකිය යුතු වැටුප් වැඩි වීමක් ලබා දීම ප්‍රතික්ෂේප කල අතර, 2025 අයවැයෙන් කොටස් තුනක් වසයෙන් ලබා දෙන බවට නිවේදනය කල අවම මූලික වැටුප් වැඩි කිරීමේ අවසන් අදියර සඳහා රුපියල් බිලියන 110ක් වැය කිරීමට සිදුවීම ගැන ජනාධිපතිවරයා අවධාරනය කලේ තවත් පඩි වැඩි කිරීම් සඳහා අරමුදල් යෙදවීමට ආන්ඩුවට හැකියාවක් නැති බව කියා පෑමට ය. ඒ අතර, රුදුරු කප්පාදු අයවැයට අයිසිං තැවරීමට, රාජ්‍ය සේවකයන් අතලොස්සක් ඉලක්ක කර වැඩෙන ජීවන වියදමට අලගු තිබීමටවත් ප්‍රමානවත් නොවන සොච්චම් දීමනාවන් කීපයක් නිවේදනය කලේ ය.
අයවැය පිලිබඳ විවාදයට එක් වෙමින් ලාල්කාන්ත කලේ, දිසානායක කම්කරුවන්ට සිදු කල තර්ජනය, ඇමතිට ආවේනික වාචාල ස්වභාවයෙන් යලි වැමෑරීම ය: “කොච්චර උද්ඝෝෂනය කෙරුවත්, කොච්චර එලියට බැස්සත්, කොච්චර වැඩ නවත්තලා හිටියත් වැටුප් කොමිෂන් එක හරහා මේකට උත්තරයක් හොයනවා හැර වෙන ම උත්තර නෑ.” ඒ අනුව ඔහු සියලු ම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේ, උද්ඝෝෂන අකුලා ගෙන වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට දෙසැම්බර් 31 දක්වා කාලය තිබෙන බවත්, වැටුප් කොමිසම තම වාර්තාව 2027 ජූලි මාසය වන විට ලබා දීමට කටයුතු කරනු ඇති බවත් ය.
සරල ව ම කිව හොත්, වැඩකරන ජනයා දෙයියන්ගෙ නාමෙට වර්ජන ක්‍රියාමාර්ග අත් හැර, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් අනුව ක්‍රියාත්මක වැටුප් කොමිසම තවත් මාස අටකින් පමන නිවේදනය කරනවා යැයි කියන කවර තීන්දුවක් හෝ පිලිගැනීමට කටබලියා සිටිය යුතු ය.
ආන්ඩුවේ එම අන පිලිනොපදින වෘත්තීය සමිති “හොරිකඩයෝ” හා “අපතයෝ” ලෙස හංවඩු ගැසූ ජවිපෙ ඇමැති, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි “ස්වාධීන” සංවිධාන ගැන ඉඟි කරමින්, ඒවා “රෑට රෑට වෙන තැන්වල” දේශපාලන පක්ෂ සමඟ රහසිගත ව වැඩ කරන බවට චෝදනා කලේ ය. ඇමතිගේ ද්වේශ සහගත චෝදනාවේ සැබෑ ඉලක්කය කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වලකා ගෙන සිටින වෘත්තීය සමිති නොවේ, ඒ වෙනුවට ආන්ඩුවට එරෙහි ව සටන්කාමී වෙමින් සිටින කම්කරුවන් ය.
ලාල් කාන්ත හුදෙක් වාචාල දොඩවනවා නොවේ. ජනාධිපති ද සහභාගී වූ නොවැම්බර් 7දා පැවැති ජවිපෙ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (එන්ටීයූසී) සම්මේලනයේ මූලික ම අරමුන වූයේ අයවැය තුලින් ඉස්මත්තට ගෙන ආ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේ දී එයට විරුද්ධ වන කම්කරුවන්ට එරෙහි පොලිස්කාරකමට ජවිපෙ වෘත්තීය සමිති සූදානම් කිරීමයි. එහි දී ලාල්කාන්ත කියා සිටියේ, ජවිපෙ බලයේ සිටින තාක් වැඩ වර්ජන නොකල යුතු බවයි.
දැන් පුපුරා එමින් තිබෙන විරෝධතා රැල්ල මගින් පෙන්නුම් කරන්නේ ආන්ඩුවේ තර්ජනයට කම්කරුවන් ත්‍රස්ත කල නොහැකි බවත්, ඊනියා වැටුප් කොමිසම සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු විස්වාසයක් නැති බවත් ය.
ඇත්තට ම දිසානායක විසින් මෙම වසරේ ජූලි 2දා වැටුප් කොමිසම පත් කලේමත්, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාන්ඩ හා සේවාවන් මිල අහස උසට නැගීමට එරෙහි ව කම්කරු විරෝධය පුපුරා එන තත්වයක් යටතේ ය. ජූලි මාසයේ එය පිහිටවූ තැන් සිට අයවැය ඉදිරිපත් කෙරුනු නොවැම්බර් මුල දක්වා මාස හතරක කාල සීමාවේ වැටුප් කොමිෂමේ කාර්යභාරය වී ඇත්තේ කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර මාලාවක් සූදානම් කිරීම බව දැන් පැහැදිලි ය.
දශක ගනනාවක් වෘත්තීය සමිති ව්‍යාපාරයේ මුදුනත ලැගගෙන සිටි ලාල්කාන්ත ම නොකී කාරනය වූයේ, පසුගිය ආන්ඩු විසින් ද විටින් විට අටවන ලද මෙවන් වැටුප් කොමිෂන් වල අරමුන වූයේ, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය/ප්රතිව්යූහකරනය හෝ වසා දැමීම, රාජ්‍ය රැකියා ලක්ෂ සංඛ්‍යාත ව කපා දැමීම සහ වැඩ වේගවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම බවයි.
මෙම තතු තුල, වෘත්තීය සමිති 69ක් දැනටමත් වැටුප් කොමිසමට “කරුනු ඉදිරිපත් කර ඇති” බව ලාල්කාන්ත පැවසී ය. ලොව පුරා වෘත්තීය සමිති ධනපති උපකරන බවට පරිවර්තනය වී බොහෝ කල් වන අතර, ඉන් කොටසක් වන ලංකාවේ සමිති, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට මුලුමනින් ම පක්ෂපාතී ය. මෙවන් කොමිෂන්වල ප්‍රෝඩාව හොඳින් දන්නා මෙම සමිති නිලධරය එයට “කරුනු” ඉදිරිපත් කිරීම හරහා එය යුක්ති සහගත කර ඇතිවා පමනි. ඉන් කම්කරුවන්ට වන සුගතියක් නැත.
ලාල්කාන්ත කම්කරුවන්ට කියන්නේ, කම්කරුවන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් “අයවැය සීමාව ඇතුලේ බැරි කමක්” ඇති බව යි. එහෙත්, ජවිපෙ/ජාජබ 2027 අයවැයට අනුව, රුපියල් ට්‍රිලියන 4.85ක් ද ඊට පෙර වසරේ අයවැය සඳහා රුපියල් ට්‍රිලියන 4.49 ක් වසයෙන් රජයේ ආදායමෙන් පහෙන් හතරක් නය ගෙවීමට වෙන් කර ඇත. එනම්, නය හිමියන්ට ගෙවීමට මුදල් ඇත; නමුත් කම්කරුවන්ගේ වැටුප් සඳහා මුදල් නැත. කම්කරුවන් ඇතුලු පීඩිත මහජනතාව මිරිකා බදු මුදල් ලෙස භාන්ඩාගාරයට එකතු කර ගන්නා දැවැන්ත මුදල් කන්දරාව වැය කරනු ලබන්නේ, හුදෙක් ධනපති අවශ්‍යතා වෙනුවෙන් ලබා ගත්, කම්කරුවන් කිසිසේත් වග නොකිව යුතු නය සහ පොලී ආපසු ගෙවීම සඳහා ය.
තමා ඇතුලු ජවිපෙ සාමාජිකයන් වෘත්තීය සමිති ව්‍යාපාරය තුල සටන් කොට, “කඳුලු ගෑස්” සහ “බැටන්” ප්‍රහාර වලට ලක් ව ඇති බවට ද ඔහු පුරසාරම් දෙඩවී ය. ඇත්තට ම ජවිපෙ වෘත්තීය සමිතිවල “සටන්වල” ඉතිහාසය නම්, කම්කරු පන්තියේ අරගල ධනේශ්වර ක්‍රමයට එරෙහි ව යාමෙන් වලක්වා ඔවුන්ගේ විරුද්ධත්වය මැඬ පැවත්වීමේ ඉතිහාසයකි.
1960 ගනන්වල අග භාගයේ, මාඕවාදී-කැස්ත්‍රෝවාදී ගරිල්ලාවාදය, සිංහල ජනතාවාදය සමඟ මුසු කල සුලු-ධනේශ්වර රැඩිකල් සංවිධානයක් ලෙස බිහි වූ ජවිපෙ පදනම් වූයේ කම්කරු පන්තිය මත නොව, පීඩිත ග්‍රාමීය සිංහල තරුන ස්ථර මත ය. එය කිසිදාක කම්කරු පන්තියේ පක්ෂයක් හෝ සංවිධානයක් නොවී ය.
කම්කරු පංතිය කෙරෙහි මාරක සතුරුකමක් දැක්වූ ජවිපෙ, කම්කරු සටන් “කැඳ කෝප්ප සටන්” ලෙස ගර්හාවට ලක් කලේ ය. එය, වෘත්තීය සමිති අටවා ගනිමින් කම්කරු පංතිය තුල මැදිහත්වූයේ, තම සුලු ධනේශ්වර අවශ්‍යතාවන්ට කම්කරු පන්තිය නතු කරගැනීමේ අරමුනෙනි.
ජවිපෙ, 1980 ජූලි මහවැඩවර්ජනයට හොරිකඩකම් කරමින්, ලක්ෂයක් කම්කරුවන් රැකියා වලින් නෙරපීමට ජේ.ආර්.ජයවර්ධන ආන්ඩුවට උදවු කලේ ය. 1988-89 කාල පරිච්ඡේදයේ දී “මවුබිම බේරා ගැනීමේ” නාමයෙන් ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ව ගෙන ගිය ෆැසිස්ට් උද්ඝෝෂනයේ දී ඔවුනගේ ඊනියා වැඩවර්ජන වලට තුවක්කු බටයෙන් කම්කරුවන් දැක්කූ ජවිපෙ, එයට එරෙහි වූ වෘත්තීය සමිති නායකයින් ද ඇතුලු කම්කරුවන් සිය ගනනක් අමුුුඅමුවේ මරා දැමී ය.
ජවිපෙ/ජාජබ ආන්ඩුව “තාමත්” පංති අරගල මැඬීමට “කඳුලු ගෑස් ප්‍රහාර” සහ “බැටන් ප්‍රහාර” එල්ල කොට නොමැති බව ලාල්කාන්ත කීවේ ය. “තාම” කඳුලු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල නොකිරීම කෙසේ වෙතත්, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ වසර දෙකක පාලනයට ඇත්තේ රුදුරු මර්දන වාර්තාවකි. එය බලයට පත් වූ දා සිට පංති අරගල මැඬීමට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ), අත්‍යවශ්‍ය මහජන සේවා පනත සහ හදිසි නීති රෙගුලාසි ඇතුලු සියලු මර්දනකාරී අනපනත් යොදා ගත්තේ ය.
ජනාධිපති දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර, ඛනිජ තෙල්, විදුලිය, වරාය, දුම්රිය, තැපැල් සහ සෞඛ්‍ය අංශවල කාර්මික ක්‍රියා තහනම් කිරීමට අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි භාවිත කර ඇත. තැපැල් සේවක වැඩ වර්ජනයක් බිඳ දැමීමට සන්නද්ධ හමුදා යොදා ගැනිනි. ජවිපෙ වෘත්තීය සමිති එම වැඩ වර්ජන තහනම බලාත්මක කල අතර, එයට ගැලපෙන පරිදි අනෙකුත් සමිති ද කම්කරු පංති අරගල වලට ඇබ ගැසී ය.
මහජනයාගේ බරපතල විරුද්ධත්වය ද නොතකා ආන්ඩුව ගෙන ඒමට වෑයම් කරන “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” සහ “සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත” වැනි නව මර්දනකාරී නීතිවල මූලික ඉලක්කය වන්නේ ද ආන්ඩු විරෝධය සාපරාධීකරනය කරමින්, කම්කරු පන්තියේ විරුද්ධත්වය තලා දැමීමයි.
ලාල්කාන්ත දාර්ශනිකයෙක් ලෙස මවා පා ගැනීමට උත්සාහ කරමින් තම සහායට කාල් මාක්ස් කැඳවා ගැනීමට තැත් කලේ මාක්ස් සහ මාක්ස්වාදය ගැන සිය අඥානකම ප්‍රදර්ශනය කරමිනි. “මිනිස්සු ඉස්සරහට උත්තර නැති ප්‍රශ්න ඇවිල්ලා නැහැ කියල මාක්ස් කියල තියෙනව.” ජවිපෙ නායකයන් ඉඳහිට මෙවැනි කතා ඇද බෑ විට ඒවා උපුටා දක්වමින් ජවිපෙ මාක්ස්වාදී යයි සහතික දුන් මාධ්‍යවේදියෝ ද සිටිති.
මාක්ස්, ලාල් කාන්ත කී ආකාරයේ කෙලතොලු කතා කියා නැත. මාක්ස් 1859 දී “දේශපාලන ආර්ථිකය පිලිබඳ විවේචනයකට ප්රතිපදානයක්” කෘතියෙහි පෙරවදනෙහි මෙසේ ලියා ඇත: “එබැවින්, මානව වර්ගයා තමන්ට විසඳිය හැකි කාර්යයන් පමනක් අනිවාර්යයෙන්ම තමන් ඉදිරියේ තබා ගනී. මන්ද, සමීප ව විමසා බැලීමේ දී, ගැටලුවක් පැන නගින්නේ එය විසඳීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය කොන්දේසි දැනටමත් පවතින විට හෝ අවම වශයෙන් ඒවා ගොඩනැගෙමින් පවතින විට පමනක් බව සැම විට ම පැහැදිලි වන බැවිනි.” මාක්ස් සැබවින් ම කීවේ කුමක්දැයි පැහැදිලි කිරීම වටී. මන්ද යත්, මාක්ස්වාදීන් ලෙස පෙනී සිටින න්‍යායාචාර්යයන් පවා මාක්ස්ගේ සංකල්පය අඥානකම නිසා හෝ දැනුවත් ව හෝ මඩකරන හෙයිනි.
මාක්ස් මෙම විප්ලවීය නිගමනය ඉදිරිපත් කලේ, මනුෂ්‍ය සමාජයේ යුගකාරක ඓතිහාසික පරිවර්තනයට තුඩු දෙන ද්‍රව්‍යමය කොන්දේසිවල වර්ධනය විශ්ලේෂනය කරමිනි. සංයුක්ත ව කිව හොත්, නිෂ්පාදන බලවේගවල වර්ධනය, එම වර්ධනය සිදු වූ නිෂ්පාදන සම්බන්ධතා තුල තව දුරටත් පවත්වා ගෙන යා නොහැකි, එම සම්බන්ධතා පෙරලා දැමීමේ කොන්දේසි නිර්මානය වීම ගැනයි. මෙය වනාහි මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදය පිලිබඳ මාහැඟි න්‍යායයි. ඔහු සිදු කලේ ඓතිහාසික විශ්ලේෂනය මගින්, ධනවාදී නිෂ්පාදන සම්බන්ධතා පෙරලා දැමිය යුතු, සමාජ විප්ලවයේ ද්‍රව්‍යමය කොන්දේසිවල වර්ධනය පෙන්වා දීම සමග සම්බන්ධ වූ විශ්ලේෂනයකි.
එය, ධනවාදය සදාකාලික ව පැවති හා පවතින ක්‍රමයක් ලෙස හුවා දැක්වූ හා දක්වන, ධනවාදයේ ක්ෂමාලපකයන්ගේ න්‍යායන් කීතු කලේ ය. මනුෂ්‍ය වර්ගයා එම ගැටලුව ගැන සවිඥානික වී එය ඉටු කල යුතු ය. ඒ සඳහා ධනවාදය තුල වර්ධනය වී ඇති විප්ලවවාදී බලවේගය කම්කරු පන්තියයි. කම්කරු පන්තිය එම කර්තව්‍ය වටහා ගනු ලබන්නේ විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය තුලිනි.
ලාල්කාන්ත මෙසේ කීවේ ය: “ප්‍රශ්න විසඳුවත් තව ප්‍රශ්න එනවා.” ඔහුට වුවමනා වුයේ ආන්ඩුව වැටුප් හා දීමනා වැඩි නොකිරීම සාධාරන බව ප්‍රකාශ කිරීමයි.
කම්කරුවන්ගෙන්, ගම්බද හා නගරබද දුගීන්ගෙන් සහ එදිනෙදා පිරිමසා ගන්නා මධ්‍යම පන්තික ස්ථරයන්ගෙන් සූරා ගන්නා දැවැන්ත බදුවලින් භාන්ඩාගාරය පුරවා ගැනීම් ගැන පුරසාරම් දොඩවන ජනාධිපති දිසානායකට හා ලාල් කාන්තට ලෝස් නැති ව විදේශ නය හා පොලි ගෙවීමේ “ප්රශ්නය විසඳීමට” ඒවා වෙන් කර ගත හැක. ලංකාවේ ධනපති ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ වගකීම භාර ගෙන සිටින ජවිපෙ ධනේශ්වර ඇමතියන් ඒ සඳහා කල හැකි සෑම දෙයක් ම කරමින් සිටියි.
තම කතාව අවසානයේ දී කම්කරුවන් ගැන කතා කරමින්, “ඔබේ ප්රශ්නය අපි නියෝජනය කරනවා” යනුවෙන් ලාල්කාන්ත කල ප්‍රකාශය මුලුමනින් ම කුහක ය. ඔහු සැබවින් ම අදහස් කලේ කම්කරු පන්තිය ගැන නොවේ. අයිඑම්එෆ් කප්පාදු ක්‍රියාත්මක කරන, රාජ්‍ය ව්‍යවසාය වසා දමන, වැඩ වර්ජන තහනම් කරන, මිලිටරිය යොදවා කම්කරු අරගල බිඳ දමන ආන්ඩුවක් ඇත්තට ම නියෝජනය කරන්නේ මූල්‍ය ප්රාග්ධනයේ සහ ඒවායේ හිමිකරුවන් වන අතලොස්සක් ධනපති පන්තියේ අවශ්‍යතාවන් ය.
කම්කරුවන්, ජවිපෙ/ජාජබ වැටුප් කොමිෂන් උගුලට හසු නොවිය යුතු ය. ජවිපෙ/ජාජබ ආන්ඩුවට, වැටුප් කොමිසමට හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට තම වැටුප් ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ට ඒවා දිනා ගත නොහැක.
සමාජවාදී සමානතා පක්ෂය, නොවැම්බර් 21 දා නිකුත් කල ප්‍රකාශයේ සඳහන් වන පරිදි, “ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ සමස්තයක් ලෙස ධනේශ්වර පාලනයට එරෙහි දේශපාලන අරගලයක් අවශ්‍ය වේ. එම අරගලයේ අරමුන විය යුත්තේ සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වූ කම්කරු සහ ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීමයි. එ වැනි ආන්ඩුවක් බැංකු, ප්‍රධාන වතු සහ සමාගම් කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතට පත් කරමින්, පෞද්ගලික ලාභයට ඉහලින් වැඩකරන ජනතාවගේ සමාජීය අවශ්‍යතා තබනු ඇත.”
වැඩිදුර කියවන්න
- පාලක ජවිපෙ තම අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි විරෝධය තලා දැමීමට වෘත්තීය සමිති සූදානම් කරයි
- ශ්‍රී ලංකාවේ 2027 අයවැය වැඩ කරන ජනතාවට එරෙහි අයිඑම්එෆ් කප්පාදු තීව්ර කරයි
- ජවිපෙ/ජාජබ කප්පාදු අයවැයට එරෙහි පොදු අරගලයකට කම්කරු පන්තිය බලමුලු ගන්වනු! කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කරනු!
- ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමට වෘත්තීය සමිති පෙලගැස්වූ සැටි පලාත් කලමනාකරන සේවා නිලධාරි සංගමයේ සභාපති මතක් කරයි
