වෘත්තීය සමිති නායකයෝ සෞඛ්‍ය සේවකයින් අතර වැඩෙන විරෝධතාව “පෙරමුනු” උගුලක පැටලවීමේ වෑයමක

ඉල්ලීම් පහක් මත ජනවාරි 24 දින සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජිඑම්ඕඒ ) කැඳවූ පැය 48 ක සංකේත වර්ජනය ඇතුලු දැන් කෙරී ගෙන යන යන විරෝධතාව ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය ආන්ඩුව මුලුමනින්ම නොතකා හැර තිබේ. මෙයින්  වර්ජක වෛද්‍යවරුන්  සහ සෞඛ්‍ය සේවකයන් අතර වැඩෙන නොසන්සුන්තාව පුලුල් අරගලයක් බවට පුපුරා යාම වැලක්වීම සඳහා, “නව පුලුල් සන්ධානයක්” ඇටවීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති වැඩට බැසගෙන සිටී. 

ජීඑම්ඕඒ  ඇතුලු සෞඛ්‍ය සේවයේ පවතින සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය (සෞවෘස), රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස), ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති ඒකාබද්ධ ව,  ජනවාරි 29 දා  ජිඑම්ඕඒ   කාර්යාලට රැස් වී මෙම “නව පුලුල් සන්ධානයේ” අරමුන ගැන මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වූහ.   

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් හෝ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) විසින් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) විසින් හෝ මෙහෙයවනු ලැබූ අතීත ආන්ඩු එකක් නෑර, සෞඛ්‍ය සේවයට අයවැය ප්‍රතිපාදන කප්පාදු කරමින් ද මෙම ක්ෂේත්‍රයේ සැලකිය යුතු සේවක හිඟයක් හිතාමතාම පවත්වා ගනිමින් ද රජයේ රෝහල්වල කටයුතු ක්‍රමානුකූල ව පෞද්ගලීකරනය කරමින්ද සෞඛ්‍ය සේවාව වත්මන් ඛේදනීය තත්වයට ඇද දැමීමේ නිරත ව තිබේ. මේ සියලු කටයුතුවල දී එක්කෝ ඒවා පිලිබඳව මුලුමනින්ම නිහඬව සිටිමින්, නැතහොත් සාමාජිකයන්ගෙන් වැඩෙන විරුද්ධත්වය පුලුල් අරගලයක් බවට පත්වීම වැලක්වීමට සීමිත වර්ජන කැඳවමින් ද මෙම සියලු වෘත්තීය සමිති මෙම පරිහානියට දායකවීමේ අපකීර්තිමත් වාර්තාවකට හිමිකම් කියයි. 

අනෙක් අතට ජීඑම්ඕඒ ඇතුලු මේ සියලුම වෘත්තීය සමිති , ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) වැඩපිලිවෙලට විවෘත ව ම සහාය ප්‍රකාශ කර තිබේ.  ජීඑම්ඕඒ, අයිඑම්එෆ් නියෝජිතයන් මුන ගැසී සාකච්ඡා කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.   

 මාධ්‍ය සාකච්ඡාවේ දී සමිති නායකයින් දැක්වූ අදහස් අනුව පැහැදිලි කෙරුනේ, මෙම ඊනියා නව සන්ධානයේ අරමුන  වන්නේ ද වෛද්‍යවරුන්ගේ සීමිත අරගලය පුලුල් අරගලයක් බවට පත්ව, ජවිපෙ/ජාජබ ආන්ඩුව අර්බුදයට යාමෙන් වලක්වා ගැනීම බවයි.  

මෙම නව කල්ලි ගැසීමේ අරමුන “කිසිසේත්ම ආන්ඩුවට විරුද්ධව කරන” එකක් නොවන බවත් “කිසිසේත්ම දේශපාලන බලය වෙනුවෙන්” කරන එකක් නොවන බව කියමින් සෞවෘස හි සභාපති රවී කුමුදේශ් මෙය නොවලහාම කීවේ ය. 

2024 වසරේ ඔක්තෝබරයේ පැවැත්වුනු මහ මැතිවරනයේදී ධනපති පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් තරඟ කල කුමුදේශ්, දිසානායක ආන්ඩුවේ අයිඑම්එෆ් න්‍යාය පත්‍රය සමග ඔහුට මූලික මතභේදයක් නැති බවත්, රුදුරු කොන්දේසි පැනවෙනු ඇති වුවත්, හදිසි අරමුදල් පතා අයිඑම්එෆ් වෙත යාමට තමන් “පුද්ගලික ව” සහයෝගය දෙන බවත් 2022 ජුනි මාසයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කල සාකච්ඡාවක දී කීවේ ය.

සමිති නායකයා වැලපුනේ,  සෞඛ්‍ය සේවයේ පැන නැගී ඇති ගැටලු සාකච්ඡා කිරීමේ නමින් පවත්වන ඇස්බැන්දුම්වලට තමන් ද සම්බන්ධ කර නොගැනීම ගැනයි. “සාකච්ඡා නොකිරීම අලුත් ආන්ඩුවේ සංකල්පය වෙලා තියෙනවා”යැයි කුමුදේශ් කීවේ ය.  එවැනි සාකච්ඡා පැවත්වුනු සෑම විටක ම වාගේ  ඒවා අවසන් වී ඇත්තේ සමිති නායකයින්, ආන්ඩුවේ නායකයින්ගේ නියෝගවලට මුලුමනින් ම අවනත වීමෙනි.  

 “පෞද්ගලික රාජ්‍ය සංකල්පය යටතේ රසායනාගාර පරීක්‍ෂන විකිරන පරීක්ෂන සේවාවන් රැසක් පෞද්ගලික අංශයට දෙන්න යන” බවත්, මෙමගින් “ නිදහස් සෞඛ්‍ය සේවාවෙ පැවැත්ම බාල කරමින්... (එහි) කොටස් පෞද්ගලීකරනය කරන්න උත්සාහ කරමින් සිටින” බවත් කීවේ ය.   නිදහස් සෞඛ්‍ය සේවාවේ කප්පාදුවට අයිඑම්එෆ්හි සබඳතාවක් ඇති බව ද ඔහු කීවේ ය.   

දිසානායක ආන්ඩුවේ අයිඑම්එෆ් වැඩපිලිවෙලට සහාය දෙන බව කියන අතර ම එහි ප්‍රතිපල වසයෙන් නිදහස් සෞඛ්‍ය සේවාවට සිදුව ඇති හානිය ගැන කතා කිරීම, කුමුදේශ් වැනි වෘත්තීය සමිති නිලධරයේ වංචනික ස්වභාවය හෙලිකරයි. අනෙක් අතට, ආන්ඩුවේ අරමුන හුදෙක් සෞඛ්‍ය සේවාවේ “පැවැත්ම බාල කිරීම” නොව, මහජන සෞඛ්‍ය සේවාව මුලුමනින්ම නැතිබංග කිරීම සඳහා පසුගිය ආන්ඩු විසින් ක්‍රියාවට දැමූ පිලිවෙත එහි පරිසමාප්තියට ගෙන ඒමයි.  

2022 සිට තවදුරටත් උග්‍ර කෙරී ඇති ආර්ථික අර්බුදය හමුවේද දිගින් දිගට ම ක්‍රියාත්මක වූ අයිඑම්එෆ් කොන්දේසි ප්‍රකාර ව අයවැයෙන්, 2024, 2025, 2026 වසරවල සෞඛ්‍ය සේවය සඳහා වෙන්කර ඇති මුදල අනුපිලිවෙලින් දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 1.35, 1.62 සහ 1.6ක  තරම්  සොච්චමකි. 

දිසානායක ආන්ඩුවට සුදුහුනු ගාමින් කුමුදේශ් කීවේ, මෙය “කම්කරුවන්ගෙන් හැදිච්ච ආන්ඩුවක්” බවත් එහෙයින් සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට එයට “බයක් තිබිය නොහැකි” බවයි. මෙය සත්‍යය කනපිට පෙරලීමකි. මෙය කම්කරුවන්ගේ ආන්ඩුවක් නොව, කම්කරුවන් ඇතුලු පීඩිත ජනයා  රවටා බලයට පැමිනි ඉහල ධනපතියන්ගේ සහ අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා ඉටු කරන ආන්ඩුවකි. 

සෞඛ්‍ය සේවයේ දැවෙන ප්‍රශ්වලට විසඳුම් දීම කෙසේ වෙතත් ආන්ඩුව වර්ජනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ රාජ්‍ය ත්‍රස්තය එයට එරෙහි ව යොදාගනිමිනි. රෝහල් සේවාවන්ද ඇතුලු රාජ්‍ය ආයතන 15ක් ආවරනය වන පරිදි ජනවාරි 28දා සිට ක්‍රියාත්මක වන පරිදි රුදුරු අත්‍යවශ්‍ය සේවා නියෝග පනවමින් සෞඛ්‍ය සේවකයන් ත්‍රස්ත කිරීමට ආන්ඩුව අරමුනු කර තිබේ. මෙය, ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) පුද්ගලීකරනයට එරෙහිව එහි කම්කරුවන් විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස ක්‍රියාත්මක කරන ලද විරෝධතාව මැඬලීම සඳහා කාර්මික ක්‍රියාවන් තහනම් කරමින් ඔහු ලංවිම මත පනවන ලද අත්‍යවශ්‍ය සේවා විධිවිධානවල දිගුවකි.  මාධ්‍ය සාකච්ඡාවේ දී  මෙම සෞඛ්‍ය වෘත්තීය සමිති නිලධාරීන් මෙයට එරෙහි ව වචනයක්වත් කීවේ හෝ එයට එරෙහි ව සැලකිය යුතු විරෝධතා ව්‍යාපාරයක් මේ වනතුරුත් කැඳවා නැත. 

සෞඛ්‍ය අරගල පාවා දීම සම්බන්ධයෙන් කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියන  රහෙනිස හි සභාපති සමන් රත්නප්‍රිය ද කුමුදේශ් අනුයමින්,   “නිදහස් සෞඛ්‍ය සේවයට බරපතල තර්ජනයක් එල්ලවීම” පිලිබඳව නාහෙන් අඬමින් ආන්ඩුවෙන් “සාකච්ඡා” ඉල්ලා සිටියේ ය.  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අපකීර්තිමත් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයෙහි නායකයෙකු වන රත්නප්‍රිය,  හිටපු ජනාධිපතිගේ  කම්කරු උපදේශකයා ලෙස ද සේවයේ කරමින් අයිඑම්එෆ් වැඩපිලිවෙලට මුලුමනින්ම කැපවූවේ ය. කම්කරු අරගල පාවා දීමේ වාර්තාවට තුටුපඬුරක් ලෙස 2020දී එජාප නායක වික්‍රමසිංහ ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ප්‍රදානය කර තිබුනි

රාජ්‍ය සේවකයන් විදේශ රැකියාවලට යොමු කරමින් ලංකාවට ඩොලර් ගෙන්වා ගැනීමේ වික්‍රමසිංහගේ වැඩපිලිවෙලේ කොටසක් ලෙස සෞඛ්‍ය සේවකයන් ද යැවීමේ අවශ්‍යතාව ගැන රත්නප්‍රිය අවධාරනය කලේ ය. 2022 ජූනි මස මාධ්‍ය සාකච්ඡාවකදී රත්නප්‍රිය කීවේ, මෙහි රෝහල්වල සේවක හිඟයක් තිබුනත් අපි එය කරන්නේ ඩොලර් ගේන්න. එහෙම කරන්නේ අපි රට ගැන හිතන නිසා” යනුවෙනි.  “අයිඑම්එෆ් අපෙන් ඉල්ලා සිටින දෙයට  අවනත වෙමින්, ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කල හැකියි” යනුවෙන් කුමුදේශ් මෙයට උඩගෙඩි දුන්නේ ය. 

රටේ පවතින “වර්තමාන ආර්ථික තත්වය අනුව” වර්ජක වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ඉටුකල නොහැකි බවත්, දිත්වා සුලු කුනාටුවෙන් සිදු ව ඇති  දැවැන්ත විනාශය මධ්‍යයේ ජනවාරි මාසයේ වැටුප් වැඩි කිරීම නතර නොකල බවත්, “රෝගීන් සහ සාමාජිකයන් ප්‍රාන ඇපයට තබාගෙන” වැඩවර්ජන කරමින් රජය අපහසුතාවට පත්කිරීම අසාධාරන බවත් නලින්ද ජයතිස්ස ජනවාරි 26දා කැබිනට් තීරන දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී කීවේ ය. ජයතිස්ස සඳහන් කරන සොච්චම් පඩි වැඩිවීම, ඉහල යන ජීවන වියදම හා අලගු තැබීමටවත් නොහැක. 

තෝරාගත් ආන්ඩුවේ රෝහල්වල ඉහල තාක්ෂනික සේවා (එම්ආර්අයි, ස්කෑන් ආදී) සහ රුධිර සාන්ද්‍රන. පහසුකම් ප්‍රසාරනය සඳහා රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව සේවා ලබා ගැනීමට සෞඛ්‍ය ඇමති ඉදිරිපත්කල යෝජනාවක් ජනවාරි 6 දා කැබිනට් මන්ඩලය අනුමත කලේ ය. මෙය අයිඑම්එෆ් නියෝගයක් ඉටු කිරීමකි. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් සම්පාදනය කෙරෙන බවක් අඟවා තිබුන ද එය ඇස් බැන්දුමකි. දැනටමත් වෛද්‍යවරු ආන්ඩුවේ නියෝග පරිදි, බෙහෙත් හා පරීක්ෂන අවශ්‍ය රෝගීන්ට පිටින් එම සේවා ලබාගැනීමට තුන්ඩු නිකුත් කරති. 

ආන්ඩුව මෙන්ම සමිති නායකයින්ගේ ද මූලික බිය පවතින්නේ, සෞඛ්‍ය කම්කරුවන් ඇතුලු වැඩ කරන ජනයා අතර වැඩෙමින් පවත්නා විරෝධය දැවැන්ත ආන්ඩු-විරෝධී අරගලයක් බවට පත්වීමේ ශක්‍යතාවක් දරා සිටීම ගැන ය. එවන් අරගලයකින් කම්කරුවන් වලක්වමින් වෘත්තීය සමිති ගෙනියන මෙම ද්‍රෝහී පිලිවෙත් නොවන්ට ආන්ඩුවට මේ සා රුදුරු නියෝග ක්‍රියාවන් පැනවීමට ආන්ඩුවට හැකියාවක් නොලැබෙනු ඇත. 

ලංවිම ඈවර කරමින් රජය සතු නව සමාගම් හයකට පැවරීම හරහා තම අයිතිවාසිකම් සියල්ලම අහෝසි වන බවට කම්කරුවන්ගෙන් මතුවූ නොසන්සුන්තාවය හමුවේ, සමාගම් ගොඩ නැගීමට පෙර තම ඉල්ලීම් ඉටු නොකලහොත් වැඩ වර්ජනයක් කැඳවන බවට ජනවාරි 20 වැනි දා ලංවිම වෘත්තීය සමිති නායකයින් තර්ජනය කලේය. මෙමගින්ද සමිති නිලධරය තැත් කරන්නේ ආන්ඩුවට පීඩනය දැමීම මගින් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැකි යැයි යන මිත්‍යාව වගා කිරීම සඳහායි. 

පසුගිය කාලය පුරා සෞඛ්‍ය සේවකයන්ගේ අරගල එකක් නෑර පාවාදීමේ කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියන මෙම සමිති එක්ව  අඹරන “නව පුලුල් සන්ධානය” උගුලක් මගින් තම අරගල හිරකර දැමීමට දැරෙන තැත කම්කරුවන් ඉඳුරා ම ප්‍රතික්ෂේප කල යුතුව ඇත. එමෙන්ම, අයිඑම්එෆ් වැඩපිලිවෙලට කැප වූ ආන්ඩුවට සහාය දෙන සමිති රැලිකරගත් එවන් සංවිධානයක් හරහා ආන්ඩුවට බලපෑම් කරමින් කුමන හෝ සහනයක් දිනාගත හැකිය යන මිත්‍යාව ද ඔවුන් ප්‍රතික්ෂේප කල යුතුව ඇත.  

පසුගිය දශක ගනනාව පුරාම සමාජවාදී සමානතා පක්ෂය (මෙන්ම එහි පූර්වගාමියාවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගම) සහ කම්කරු ක්‍රියාකාරී කමිටු එකමුතුව නැවත නැවතත් කම්කරුවන්ට මෙම කාරනය පැහැදිලි කර තිබේ.  

සෞඛ්‍ය සේවයේ රැකියා හා කොන්දේසි ආරක්ෂා කරගැනීම, නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගැනීම සමග මෙන්ම අයිඑම්එෆ් වැඩසටහනට එරෙහි අරගලය සමග බැඳී ඇත. නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරනු යන්න අවශේෂ කම්කරුවන්ගේ හා මහජනයාගේ කම්කරුවන්ගේ මූලික ඉල්ලීමක් විය යුතුයි.  

අයිඑම්එෆ් ගැති සමිති නිලධරය සමග මෙම සටන ඉදිරියට ගෙනයා නොහේ. සමිති නිලධරයෙන් ස්වාධීන වී සටන තමන්ගේ අතට ගත යුතු යැයි සසප අවධාරනය කරන්නේ එබැවිනි.  ඒ සඳහා සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ වෙමින් අනෙකුත් ආයතනවල කම්කරු පන්තිය වෙතට හැරීගතයුතුයි සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව යෝජනා කරයි.

Loading