කොලඹ මහල් නිවාස සංකීර්නයක බදාම තට්ටුවක් හිස මත වැටී හත් හැවිරිදි දරුවෙක් මිය යයි

පසුගිය පෙබරවාරි 4 වන දා, කොලඹ මෝදර “හෙල මුතු සෙවන” අඩු ආදායම්ලාභී මහල් නිවාස සංකීර්නය ඉදිරිපිට දී, හත් හැවිරිදි දරුවෙකු වන සඳරුවන් මෝටියර් ගේ හිස මතට, ඉහල මහලකින් ගැලවුනු බදාම ස්තරයක් පතිත වීමෙන් ඇති වූ දරුනු තුවාල හේතුවෙන් ඔහු කොලඹ මහරෝහලට ඇතුලත් කරන ලදුව, ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇත.

අනතුරින් මිය ගිය සත් හැවිරිදි සඳරුවන් මෝටියර්

අනතුර සිදු ව ඇත්තේ, සඳරුවන්ගේ මිත්තනිය විසින් නිවාස සංකීර්නයේ බිම් මහලේ පවත්වාගෙන යනු ලබන කුඩා වෙලඳසැලට ඇය සමග ගොස් සිටිය දී ය. සිද්ධිය පිලිබඳව විස්තර කරමින්, සඳරුවන් ගේ මිත්තනිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්‌ට මෙසේ පැවසුවා ය: “මුනුපුරා මාත් එක්ක කඩේට ගියා. අපි දෙන්න කඩේ ඇතුලේ හිටියේ. මම කුස්සියට ගියා. මුනුපුරා පාන පත්තු කරපු ගිනිකූර විසිකරන්න එලියට ගිහින් තියෙනවා එතකොටයි මේක වෙලා තියෙන්නේ.”

තුන්වන ශ්‍රේනියේ ඉගෙනුම ලබමින් සිටි සඳරුවන් දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා විය. වැඩිමහල් සහෝදරිය නව වන ශ්‍රේනියේ ඉගෙනුම ලබන්නී ය. පියා කුලී වැඩෙහි නිරත වන අතර මව බේකරියක සේවය කරයි.

මරනය පිලිබඳව අදහස් දැක්වූ පවුලේ සමීප හිතවතියකට අනුව, මරනය සිදුකල බදාම ස්ථරය පැවති බිත්තියේ “තවත් බදාම ගැලවී” පතිත වීමට ආසන්න ය. ඇය මෙසේ කීවාය: “කොයි වෙලාවේ හරි ඔය කෑල්ලත් කාගේ හරි ඇඟට වැටෙන්න පුලුවන්. එතකොට මේ වගේ තවත් මරනයක් සිදු වෙනවා. මේකට වගකියන්න ඕන යූඩීඒ එක (නාගරික සංවර්ධන අධිකාරිය). මේ යූඩීඒ එකට දඬුවමක් දෙන්න ඕන කියල මම කියනවා. දරුව නැතිවෙන්න ඉස්සෙල්ල ඒ ගෙවල් වල මිනිස්සු යූඩීඒ එක දැනුවත් කරලා තියෙනවා. ඒගොල්ලන්ට තිබුන, මිනිස්සු ඉවත් කරලා ඒ බදාම කෑලි කඩලා දාන්න. දැන්මේ ලමයාව ආයි ගන්න පුලුවන් ද?”

අනතුර සිදු වූ ස්ථානය: සත් වන මහලේ සිට කඩා වැටුනු කොන්ක්‍රීට් තට්ටුව දරුවාගේ හිස මත සහ බිම පතිත වි කැබලිවලට බිඳී ගොස් ඇති ආකාරය

වසර තුනක කාලයක සිට, පුපුරා ඇති සිමෙන්ති බදාම තට්ටු පිලිබඳව නිවැසියන් විසින් නාගරික සංවර්ධන අධිකාරියේ (නාසංඅ) බලධාරීන්ටත්, අදාල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ටත් යලි යලිත් දැනුම් දී ඇත. එපමනක් නොව, මහල් නිවැසියන්ට නාසංඅ පවත්වන රැස්වීම් වල දී වාරගනනාවක් ම අදාල නිලධාරින් දැනුවත් කර ඇත. ඔවුන් සියලු දෙනා මේ කරුන නොසලකා හැරීම නිසා දරුවාගේ මරනය සිදුවු බවට නිවැසියෝ චෝදනා කරති.

කෙසේ නමුත්, මෙවන් නොතැකීම් සහ බලහත්කාරී වැඩකටයුතු වලට වගකිවයුතු වන්නේ නාසංඅ සේවකයන් නොව, රුදුරු පිලිවෙත් මත එය මෙහෙයවන අනුප්‍රාප්තික ධනපති ආන්ඩු ය.

සඳරුවන්ගේ මරනය සම්බන්ධයෙන්, එම නිවාස සංකීර්නයේ මෙන්ම, අනෙකුත් නිවාස සංකීර්නයන් හි නිවැසියන් ඇතුලු කම්කරු-පීඩිත මහජනතාව අතර ඉමහත් කම්පනයක් සහ ‌කෝපයක් ජනිත කෙරුනු අතර එය ප්‍රකාශයට පත් කරමින්, දරුවාගේ අවමංගල්‍යයට 3000කට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇත. මහජන කෝපය විරෝධතාවන් ලෙස පුපුරා යාම වැලැක්වීම සඳහා 100කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා තිබුන බව ද වාර්තා වේ.

මාධ්‍යයට තොරතුරු ලබාදුනහොත්  අත්අඩංගුවට ගෙන සිරගත කරන බවට පොලීසිය තර්ජනය කල බැවින් තම නම් සහ ඡායාරූප පල නොකරන ලෙස, තොරතුරු ලබාදුන් නිවැසියෝ ලෙ‌ා්සවෙඅ වාර්තාකරුවන්ගෙන් ඉල්ලා සිටියහ. 

මෙම අඩු ආදායම්ලාභී මහල් නිවාස නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන්, එහි ජීවත්වන කම්කරු-පීඩිත මහජනතාව ගැටලු ගනනාවකට මුහුන දෙති. මහල් නිවාස වල නිසි පරිදි කසල කලමනාකරනය නොකිරීම, අප ජලය විවිධ ස්ථානවලින් කාන්දූවීම, පියගැටපෙල අත් වැටවල්  දිරාපත්ව හෝ අබලන් ව  තිබීම, මාරාන්තික අනතුරුවලට තුඩු දෙන පරිදි ඉහල මහල්වල කොන්ක්‍රීට් ස්ලැබ් ඉරිතලා තිබීම, බිත්ති පුපුරා තිබීම, මහල් 14 කට ආසන්න මෙම මහල් නිවාස සංකීර්නයේ විදුලි සෝපාන අබලන් ව හෝ ක්‍රියා විරහිත ව පැවතීම ආදිය පිලිබඳව බලධාරීන් යලියලිත් දැනුවත් කලද මෙ‌තෙක් විසදුම් ලැබී නොමැත.

නාගරික සංවර්ධන අධිකාරිය භාර වත්මන් ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ කතා කරමින්, සඳරුවන්ගේ මරනය සම්බන්ධයෙන් ගොඩනැගුන මහජන කෝපය වෙනතක හැරවීමට උත්සාහ දැරීය. පසුගිය ආන්ඩු විසින් නිසි ප්‍රමිතියෙන් තොර ව මෙම නිවාස සංකීර්න ඉදිකර ඇති බවටත්, නාසංඅ නිලධාරීන් තම වගකීම ඉටු නොකරන බවටත් ඔහු දෝෂාරෝපනය කලේ ය. 

හෙලමුතුසෙවන ඇතුලු නාසංඅ සතු අඩුආදායම්ලාභී නිවාස සංකීර්න ප්‍රතිසංස්කරනය සදහා රුපියල් මිලියන 325 මුදලක් වෙන් කර ඇති බව ද ඇමති රත්නායක ප්‍රකාශ කලේ ය. කෙසේ නමුත්, නාසංඅ විසින් පාලනය කරනු ලබන අඩුආදායම්ලාභී නිවාස සංකීර්නයන් හි සමස්ත නිවාස ඒකක සංඛ්‍යාව 15,000 කට අධික වන තතු යටතේ, මෙම ඊනියා ප්‍රතිසංස්කරනයේ දී එක් නිවසක් සඳහා වැයකල හැකි වනුයේ රුපියල් 20,000 ක් වැනි සොච්චමකි. අද පවත්නා මිල ගනන් අනුව, මෙම මුදල විධිමත් ප්‍රතිසංස්කරනයක් සඳහා අලගු තැබීමටවත් නොසෑහේ. 

2009 දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව එල්ටීටීඊ ය පරාජය කිරීමෙන් පසු ව, පෙර නොවූ විරූ සාහසිකත්වයකින් සහ වේගයතින්, කොලඹ වානිජ කේන්ද්‍රයක් කිරීමට හා ඉඩම් පුද්ගලීකරනය කිරීමට අවතීර්න විය. එහි කොටසක් ලෙස ආරම්භ කෙරුනු මෙම අඩුආදායම්ලාභී මහල් නිවාස සංකීර්න ව්‍යාපෘතීන්ගේ මූලික අරමුන වනුයේ, කොලඹ නගරයේ පැල්පත් හා මුඩුක්කු වල වාසය කල සහ මෙතෙකුදු වාසය කරන දුගී පවුල් වලට යහපත් නිවාස සම්පාදනය කිරීම නොවේ. එම පැල්පත් වසාගෙන පැවති කොලඹ නගරයේ වටිනා ඉඩම් මුදා ගෙන ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ලාභ අවශතාවන්ට නතු කර දීමයි.

නාසංඅ වෙබ් අඩවියට අනුව, 2010 වනවිට කොලඹ නගරයේ මහජනතාව ගෙන් සියයට 50 කට වැඩි ප්‍රමානයක් ජීවත් ව ඇත්තේ, නගරයේ මුලු භූමි ප්‍රමානයෙන් සියයට 9 ක ඇති පැල්පත් හා මුඩුක්කු වලින් සමන්විත වතූ වල ය. ඒවන විට මෙවැනි වතු 1499ක පවුල් 68 812 ක් ජීවත් ව සිට ඇත.

2010 සි‌ට පැවති සියලු ආන්ඩු, විවිධ නම් වලින් යුත් ව්‍යාපෘති යටතේ මෙම වැඩපිලිවෙල ඉදිරියට ගෙන ගිය අතර, මහල් ගනනාවකින් යුත් නිවාස සංකීර්නයන්හි, වර්ග අඩි 550 ක් වැනි ඉතා කුඩා වපසරියක් ඇති නිවාස ඒකක වලට මෙම දුගී ජනයා තල්ලු කෙරුනේ, ඔවුනට හුරුපුරුදු ජීවනෝපායන් ද අහිමි කරමිනි. නිවාස සංකීර්න බහුතරයක විදුලි සෝපාන අක්‍රිය වී ඇති තතු යටතේ, වියපත්වූවන්ට සහ රෝගීන්ට ඉහල මාලයන්හි ජීවත්වීම අපා දුකක් බවට පත් ව ඇත. ගොඩනැගිලිවල අඩු ප්‍රමිතිය, නඩත්තු  නොකිරීම සහ නිසි අපද්‍රව්‍ය කලමනාකරනයක් නොමැතිවීම සම්බන්ධයෙන්, නිවැසියන්ගෙන් චෝදනා සහ විරෝධතා අඛන්ඩ ව එල්ල විය. 

හෙල මුතු සෙවනේ ඉහෙල මහල් වල බිත්ති කොටස් පුපුරා ගොස් කඩා වැටීමේ අනතුර පවතින අයුරු

“හෙලමුතු සෙවන” සංකීර්නය ගොඩනගා අවසන්කර ඇත්තේ 2019 සැප්තැම්බර් මස වන අතර, වසර හයක් වැනි කෙටි කාලයක දී එහි ඉහත මාලයන්හි කොන්ක්‍රීට් බදාම තට්ටු ගැලවීගොස් හත් හැවිරිදි දරුවෙකුගේ ජීවිතය බිලි ගැනීමෙන් ධනපති ක්‍රමයේ මූලික ලක්ෂනයක් අනාවරනය කෙරෙයි: එනම්, ධනපති ලාභය වෙනුවෙන් මහජන ජීවිත පරදුවට තැබීමයි.

දුගී මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන්, ධනපති පාලක පංතියේ තුච්ඡ නොතැකීම, 2017 අප්‍රේල් 14 දා මීතොටමුල්ල කුනුකන්ද කඩා වැටී ජීවිත සීයකට අධික සංඛ්‍යාවක් බිලි ගැනීම තුල ගැඹුරින් ම ප්‍රකාශයට පත්විය. සිදු වූ ඉමහත් ජීවිත හානිය හා දේපොල විනාශය, හදිසියේ හෝ අහම්බෙන් සිදු වූ අනතුරක් නොව, දශක ගනනාවක් පුරා අනුප‍්‍රාප්තික ආන්ඩු ගෙන ගිය සමාජ ව්‍යසනකාරී වැඩපිලිවෙලක ප්‍රතිඵලයකි. කුනුකන්ද කඩා වැටීම සම්බන්ධයෙන් විශේෂඥයන් යලි යලිත් අනතුරු අඟවා තිබියදීත් අනුප්‍රාප්තික ආන්ඩු මෙම ජීවිත ආරක්ෂා කිරීමට කවර හෝ පියවරක් නොගත්තේ ය. 

ජීවිත දහස් ගනනක් බිලිගත් 2004 සුනාමියේ දී ද, මෑත සිදු වූ දිට්වා සුලි කුනාටු ව්‍යසනයේ දී ද, අනතුරු ඇඟවීම් පද්ධති නිසි පරිදි ස්ථාපනය කොට තිබුනේ නම් සහ සුරක්ෂිත ස්ථානයන් හි නිවාස සමිපාදනය කර තිබුනේ නම් මෙම ව්‍යසනයන් සෑහෙන දුරක‌ට අවම කරගත හැකි ව තිබුනි. කෝවිඩ්-19 වසංගතයේ දී ද කම්කරු-පීඩිත මහජනතාව අත්දුටුවේ, වසංගතය වේගයෙන් පැතිරෙමින් පැවතිය දී ධනපතියන්ගේ ලාභය උදෙසා කම්කරුවන් වැඩට දැක්කූ අයුරු ය. ප්‍රතිඵලය වූයේ ජීවිත දහස් ගනනක් අහිමි වීමයි.

සැබැවින්ම, සඳරුවන් ගේ මරනය, පුද්ගලික දේපොල සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය විසින් සිදුකල ඝාතනයකි.

වැඩිදුර කියවන්න

Loading