සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ඔන්ලයින් රැස්වීම සඳහා උද්ඝෝෂනය

පේරාදෙනිය ලමා රෝහලේ හෙදියෝ තම දුෂ්කර සේවා කොන්දේසි පෙන්වා දෙති

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) විසින් “වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධතා සහ නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ සටන” මැයෙන් පෙබරවාරි 20 වෙනිදා රාත්‍රී 8 පවත්වනු ලබන ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම ගොඩ නැගීම සඳහා දියත් ව ඇති උද්ඝෝෂනයේ දී රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයන් අතර පුලුල් සාකච්ඡාවක් සිදු කෙරමින් පවතී. 

2025 -2025 මාර්තු 17දා පේරාදෙනිය ශික්ෂන රෝහලේ දී හෙදියන්ගේ විරෝධතාව

රජයේ වෛද්‍ය නිලධාරි වර්ජනයට සහාය දෙමු! නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තිය බලමුලු ගන්වමු!” යන හිසින්, 2026 ජනවාරි 27 දා, සෞකක්‍රික  විසින් නිකුත් කෙරුනු ප්‍රකාශයේ පිටපත් බෙදා හරිම්න් සිදු කෙරුනු මෙම උද්ඝෝෂනයේ දී රජයේ  රෝහල් පද්ධතිය ඇතුලු සමස්ත මහජන සෞඛ්‍ය සේවය මුහුන දී තිබෙන  දැඩි අර්බුදකාරී තත්වයත්  වෛද්‍යවරුන්  සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් මුහුන දෙන අතිශය දුෂ්කර සේවා කොන්දේසි පිලිබඳවත් විවිධ කරුනු අනාවරනය විය.

පහත දැක්වෙන්නේ, තම දුෂ්කර සේවා කොන්දේසි පැහැදිලි කරමින්, පේරාදෙනිය සිරිමාවෝ බන්ඩාරනායක ලමා රෝහලේ වෛද්‍ය සායන වල  සේවයේ නියුතු හෙද නිලධාරිනියන් දෙදනෙකු මහජන සෞඛ්‍ය සේවයේ පිරිහීම පිලිබඳව කල පැහැදිලි කිරීමකි:

“අපි හැමදාම මේ විදිහට දුක් විඳ විඳ හිටියා ඇති. අපිට හැමදාම මෙහෙම ඉන්න බැහැ. එහෙම ඉන්න ඕනෙත් නැහැ. වැඩ ප්‍රමානය දරාගන්න බැරි තරමට වැඩි වෙලා තියෙන්නේ. ඒකට හරියන කාර්ය මන්ඩලයක් නැහැ. හිටපු කාර්ය මන්ඩලයත් අඩු වෙලා තියෙන්නේ. කොපමන හොඳින්  වැඩ කලත්  කිසි ම තෘප්තියක් නැහැ. අප කිසිම අගය කිරීමකට ලක්වන්නෙත් නැහැ. 

“අපි සේවයට එන්නේ ලොකු බරක් ඔලුවේ තියාගෙන. එලියට යන්නේ වේදනාවන්. අපේ වගකීම ඉෂ්ට කලා කියල කිසි සතුටක් දැනෙන්නේ නැහැ.  පුලුවන් තරම් අපි රෝගීන්ට ආදරෙන් සලකනවා. උදව්කරනවා. සීමාව  ඉක්මවල වැඩ කරනවා. ඒත් කිසිම සැලකිල්ලක් නැහැ. සමහර  වෙලාවට  රෝගීනුත් අපිත් එක්ක ගැටෙනවා. පුංචි දෙයකට වුනත් රෝගීන්ට දැන් තරහ එනවා . හේතුව  රෝගීනුත් ඉන්නේ අපි වගේම පීඩනයෙන්. උද්ධමනය වැඩියි.  බඩු මිල වැඩියි.  ඖෂධ නැහැ.  අපිටත් කේන්ති යනවා. අන්තිමට රෝගී සත්කාරය කරන අපිත් අසරන  වෙනවා.  රෝගීනුත් අසරන වෙනවා. ඔබ කියන එක හරි  ආන්ඩුව  රෝගීන් උසිගන්වනවා. රෝගීන් සහ සෞඛ්‍ය කම්කරුවන් එකට හප්පනව.

“ඇත්තට ම  අපි දැන් කරන්න ඕනේ හැමෝ ම එකතු වෙන එක. රෝගීන්ට මේ ඇත්ත කියන්න ඕනේ. ඖෂධ නැති එක පහසුකම් නැති එක අපේ වැරදි නිසා වෙන අඩුපාඩු නොවෙයි කියන එක රෝගීන්ට පහදලා දෙන්න ඕනේ. ඇත්තට ම ඔබ කිව්ව වගේ වෛද්‍යවරු මේ සටනෙදි ම පිටට බෙහෙත් ලියන්නෙ නැහැ. පිටට පරීක්ෂන  ලියන්නේ  නැහැ. හොඳයි “රෝහල් තුල  ඖෂධ සුලබ කරව්!”  “රෝහල් තුල සියලු පරීක්ෂන  සිදුකරව්!” කියන විදිහට උද්ඝෝෂනය කලා නම් රෝගීනුත් මේ සටනට සහභාගි වෙන්න ඉඩ තියෙනවා.”

වෘත්තීය සමිති නායකයන් සාමාජිකයන් නොතකා ක්‍රියාකරන ආකාරය ද සාකච්ඡාවට සම්බන්ධවූ තවත්  හෙදියක් විස්තර කලා ය: 

“ඔබ කිව්වා වගේ වෘත්තිය සමිතිවල කිසි ම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අපෙන් අහලා නෙමෙයි මේ කිසි ම සටන් පාඨයක් දාන්නේ.  ඒක ඇත්ත . ඒ නිසා අපි ඇත්තට ම වෘත්තීය  සමිති වලට මුදල් ගෙවන එකෙන් අයින් වෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා. අපි මේ අවුරුද්දටත් ලියුමක් දෙනවා මුදල් කපාගන්න එපා කියලා. දැන් අවුරුදු විසිපහක් විතර අපි වෘත්තිය සමිතිවලට මුදල් ගෙවනවා. කිසිම සෙතක් වෙලා නෑනේ අපිට. අපෙන් අවුරුද්දකට රුපියල් 1200ක් කපා ගන්නවා.”

සමිති නායකයන්ගේ ක්‍රියා කලාපය ගැන දිගට ම වැඩෙන විරුද්ධත්වය ගැන උදාහරන දක්වමින් හෙද සේවිකාව මෙසේ සඳහන් කලා ය: 

මම නුවරඑලියෙ වැඩ කරපු කාලෙ අපි හෙදියන්  තුන්සියයක් විතර සියලු ම වෘත්තීය සමිතිවලින් අයින් වුනා.  මට මතක විදිහට  2008  -  2010 කාලෙ  දි. 

අපි (මුරුත්තෙට්ටුවේ ආනන්ද) හාමුදුරුවන්ගේ වෘත්තිය සමිතියෙ හිටියා. අපි ඔක්කොම ඒකෙන් අයින් වුනා. හැබැයි සමහර අය වෙනත් වෘත්තිය සමිතියකට ගියා. අපි ගියේ නැහැ. දැන් අපි සමිති වලින් අයින් වෙලා මොකකටවත් යන්නේ නැහැ කියන තීරනේ  ඉන්නේ.”

ලංකාවේ මෙන් ම ලෝකයේ සෑම රටක ම පාහේ වෘත්තීය සමිති වලින් සාමාජිකත්වයෙන් ඉවත් වෙමින් සිටින බව ද  ආන්ඩුවල උපකරන විදිහට ක්‍රියාත්මක වෙමින් කම්කරු පන්තියේ සටන් පාවාදෙන වෘත්තිය සමිති නායකත්වයන්ට විරුද්ධවීම  පිලිබඳව ද සාකච්ඡා කෙරුනි. නායකත්වයන්ට විරුද්ධ වීම පමනක් ප්‍රමානවත් නැත. කම්කරුවන්ගේ අයිතීන් රැක ගැනීමේ අරගලයට අලුත් ආකාරයකට සංවිධානය විය යුතු ය. එය කල හැක්කේ කම්කරුවන්, ආන්ඩුවේ හා ධනපති පන්තියේ ඒජන්තයන් ලෙස ක්‍රියාකරන සමිති නායකයන්ගෙන් ද ඔවුන් තම බූදල් කරගෙන සිටින  වෘත්තීය සමිති වලින් ද ස්වාධීන වූ  කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් සෑම  රෝහලක ම, සෞඛ්‍ය ආයතනයක ම කම්කරු  ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමෙනි. 

එවන් ක්‍රියාකාරී කමිටු  පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය පිලිගත් හෙද නිලධාරිනියෝ දෙදෙන සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවට බැඳීමට කැමැත්ත ප්‍රකාශ කරමින් 20 වන දින පැවැත්වෙන ඔන්ලයින් රැස්වීමට  සහභාගී වීම සඳහා  ලියාපදිංචි වූහ.

වෛද්‍යවරුන් පිටතින් ඖෂධ සහ පරීක්ෂන ලබා ගැනීමට තුන්ඩු නොලිවීම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයින් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ කොටසක් ලෙස ගත් තීන්දුවකි. ඇත්ත වශයෙන් ම නම් ඔවුන් කල යුතු ව තිබුනේ ආන්ඩුව විසින් වෛද්‍යවරුන් මත එම තීන්දුවට පැට වූ වහා ම ඊට විරුද්ධ ව මුල පටන් ම සෞඛ්‍ය සේවකයන් ද රෝගීන් ඇතුලු සමස්ත මහ ජනතාව ද දැනුවත් කරමින් අරගලයක් සංවිධානය කිරීමයි. ආන්ඩුව වෛද්‍යවරුන්ට එලෙස බල කිරීම නිදහස් සෞඛ්‍ය සේවය අහෝසි කිරීමේ පියවරකි. 

ජීඑම්ඕඒ නායකයන් එසේ සටන් කිරීම මගහැර සිටියේ, එය නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමක් බව ද පෞද්ගලික සමාගම් තර කිරීමක් බව නොදන්නා නිසා නොව, ඔවුන් ද ජාමූඅ කප්පාදුව පිලිගන්නා හෙයිනි.  වෛද්‍යවරුන් අතර තම කොන්දේසි ගැන අතෘප්තිය  නැගෙන තතු තුල, ඔවුන් පිටින් එම සේවා හා ඖෂධ ලබා ගැනීමට තුන්ඩු ලිවීම නතර කරන ලෙස සාමාජිකයන්ට නියම කර ඇත්තේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන ඔවුන්ට ඇති කැක්කුමක් නිසා නොවේ. ආන්ඩුව සමග කේවල් කිරීමේ අවස්ථාවාදී වුවමනාවෙනි. 

අනෙකුත් සමිති නායකයෝ ද මෙම ප්‍රහාර දැන සිටියහ. ඔවුහු ද නිදහස් සෞඛ්‍ය සේවය ගැන කටමැත දොඩවමින් සාමාජිකයන් මුලා කිරීමේ යෙදෙන අතර, ජාමූඅ වැඩපිලිවෙලට හා ධනපති ක්‍රමයට බැඳී සිටිති.

Loading