සසප/සසජාතශි කොලඹ දී පවත්වන ප්‍රසිද්ධ රැස්වීම: ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නවත්වනු!

ඉරානයට එරෙහි ව උත්සන්න කෙරෙන අධිරාජ්‍යවාදී යුද්ධය සහ ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරු පන්තිය මුහුන දෙන කර්තව්‍යයන් සාකච්ඡා කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය මාර්තු 17 වන දින සවස 4-6 දක්වා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී හදිසි ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත. රැස්වීම සූම හරහා ද සජීවී ව විකාශය කරනු ලබනු ඇති අතර ඒ සඳහා මෙතැනින් ලියාපදිංචි විය හැකියි.

ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල සමූලඝාතන යුද්ධය, ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමරිකානු අධිරාජ්‍යවාදී ධාවනයේ කොටසකි. එක්සත් ජනපදය එහි අඛන්ඩ ඓතිහාසික පරිහානිය මධ්‍යයේ සිය ලෝක ආධිපත්‍යය නැවත තහවුරු කිරීම සඳහා එහි අධිකාරවත් යුද බලය භාවිතා කරයි.

ඉරානයට එරෙහි ව නීති විරෝධී යුද්ධයක් දියත් කිරීමට පෙර, ට්‍රම්ප් පරිපාලනය ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයට පූර්න පිටුබලය දුන් අතර ජනාධිපති මධුරෝ පැහැරගෙන ගොස් යටත් වීමට බල කිරීමෙන් වෙනිසියුලාව කෙරෙහි එහි නව යටත් විජිත ආධිපත්‍යය මිලිටරිමය වශයෙන් තහවුරු කලේ ය.

ඉරානයට එරෙහි යුද්ධය එහි දෙවන සතියට පිවිසෙත් ම, ලමුන් ඇතුලු දහසකට අධික පිරිසක් ඝාතනය වී ඇති අතර, රටේ යටිතල පහසුකම් විනාශ වෙමින් පවතී. ඉරානයේ “කොන්දේසි විරහිත යටත් වීම” සමඟ යුද්ධය අවසන් වන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

මෙම යුද්ධය දියත් වී ඇත්තේ ඉරානයේ ජනතාවට එරෙහි ව පමනක් නොවේ. එය ලොව පුරා වැඩ කරන ජනතාවට එරෙහි ව මතු වෙමින් පවතින ගෝලීය යුද්ධයක කොටසකි.

එක්සත් ජනපදය ඉරානයේ අයිරිස් ඩෙනා (IRIS Dena) නෞකාව ඉන්දියානු සාගරයේ ගිල්වා, අවම වශයෙන් නාවිකයින් 140 දෙනෙකු මරා දැමීමත් සමඟ, ට්‍රම්ප් පරිපාලනය ලෝකයට ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිදු නීතියකට, සම්මුතියකට හෝ ශිෂ්ට සම්පන්න හැසිරීම් ප්‍රමිතියකට බැඳී නොමැති බවත්, එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අත්‍යවශ්‍යතාවයන්ට පමනක් බැඳී ඇති බවත්‍ ය.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩු එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට හවුල් වෙයි. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය හෙලා දැකීම කෙසේ වෙතත්, එම රටවල නම් හෝ සඳහන් නොකල මෙම ආන්ඩු, ඒ වෙනුවට, යුද්ධයෙන් වැලකී සාමය ඇති කරන ලෙස අර්ථ විරහිත ඉල්ලීම් නිකුත් කර ඇත.

ෆැසිස්ට්වාදී ට්‍රම්ප් පරිපාලනයට හෝ කිසිදු අධිරාජ්‍යවාදී බලවතෙකුට කරන ආයාචනා මගින් මෙම යුද්ධය නතර නොකෙරෙන බව සසප අවධාරනය කරයි. ඉරාන ජනතාව ආරක්ෂා කිරීම සහ යුද අපරාධකරුවන් පරාජය කිරීම සඳහා ලෝක ධනවාදයට එරෙහි ව ගෝලීය කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. මෙය සාක්ෂාත් කරගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක පදනම මත පමනි.

යුද්ධයට හේතු, එහි ගෝලීය ඇඟවුම්, ඊට සම්බන්ධ ඓතිහාසික හා න්‍යායාත්මක ගැටලු සහ සියල්ලටත් වඩා එය නැවැත්වීම සඳහා කම්කරු පන්තිය දේශපාලනික ව මැදිහත් වීමේ අවශ්‍යතාවය කථිකයින් සාකච්ඡා කරනු ඇත.

මෙම රැස්වීමට සහභාගී වී මෙම වැදගත් සාකච්ඡාවට සම්බන්ධ වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

දිනය: මාර්තු 17 වන දා අඟහරුවාදා

වේලාව: ප.ව. 4:00–6:00

ස්ථානය: මහජන පුස්තකාල ශ්‍රවනාගාරය, කොලඹ

සූම් හරහා සම්බන්ධ වීමට ලියාපදිංචියට මෙතැනින් පිවිසෙන්න.

Loading