[මෙය Stop the criminal war of aggression against Iran! යන මැයෙන් 2026 මාර්තු 04 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
සඳුදා (02) සවස, ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ (එස්ජීපී) සභාපති ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රියර්, ඉරානයේ අධිරාජ්‍යවාදී ආක්‍රමනයට එරෙහිවත්, ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් වෙනුවෙනුත් පහත ප්‍රකාශය නිකුත් කරන ලදී. එහි දී, ඔහු විශේෂයෙන්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන ප්‍රහාරයට ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්‍රික් මර්ස්ගේ සහාය දැක්වීම හෙලා දකී. ඔහු ඊයේ නැවත වරක් ධවල මන්දිරයේ දී, විවෘත ව ම, ට්‍රම්ප් සහ ඔහුගේ සාපරධී පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ යුද්ධයට සිය සහයෝගීතාවය ප්‍රකාශ කලේ ය.
පලමු පැය 24 තුල වැන්ඩ්‍රියර්ගේ වීඩියෝව ෆේස්බුක් හි නැරඹුම් වාර 190,000 ක්, ටික්ටොක් හි නැරඹුම් වාර 115,000 ක් සහ අනෙකුත් වේදිකාවල තවත් නැරඹුම් වාර දහස් ගනනක් ලබා ගෙන ඇත. මෙම කාලය තුල එයට කැමත්ත පලකිරීම් (likes) 20,000 කට වඩා සහ සහාය දක්වන අදහස් 1,000 කට වඩා ලැබී ඇති අතර එය පෙන්නුම් කරන්නේ, යුද්ධය පුලුල් ලෙස ප්‍රතික්ෂේප කිරීම සහ යුද්ධයට එරෙහි ව සමාජවාදී ඉදිරිදර්ශනයක අවශ්‍යතාවය යි.
***
ට්‍රම්ප් ඉරානයට බෝම්බ දමමින් ද, දරුවන් මරා දමමින් ද, මුලු කලාපයටම ගිනි තබමින් ද සිටී. ෆ්‍රෙඩ්‍රික් මර්ස් එයට ප්‍රශංසා කරයි. මෙය ඔවුන් සැම විට ම කතා කරන බටහිර “නීති මත පදනම් වූ යුක්තිධර්මයයි.”
පෙබරවාරි 28 වන දින රාත්‍රියේ, එක්සත් ජාතීන්ගේ නියෝගයකින් හෝ කොංග්‍රස් මන්ඩලයේ අනුමැතියකින් තොර ව, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දුන්නේ ය—එය ජාත්‍යන්තර නීතිය පැහැදිලි ව ම උල්ලංඝනය කිරීමකි. ඔවුන් ඉරානයේ රාජ්‍ය නායකයාට, රජයේ නිලධාරීන් දුසිම් ගනනකට සහ බාලිකා පාසලකට පවා බෝම්බ හෙලූ අතර, ලමුන් 150 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ. මෙය යුද ඉලක්ක හරිහැටි ගනන් බලා සිදුකල ප්‍රහාරයක් නොවේ—මේ රාජ්‍ය ත්‍රස්තවාදය යි.
මර්ස් සහ යුරෝපීය ආන්ඩු කරන්නේ කුමක් ද? ඔවුන් ආක්‍රමනිකයන් හෙලා දකින්නේ නැත—ඔවුන් හෙලා දකින්නේ ඉරානයයි. ඔවුන් කඳවුරු, ගුවන් යානා සහ දේශපාලන ආවරනය ලබා දෙයි. තෙල් සඳහා මහා විනාශයක හෝ න්‍යෂ්ටික යුද්ධයක පවා අවදානමට ලක් කිරීමට, චීනය කෙරෙහි ආධිපත්‍යය සහ භූ දේශපාලනය අවදානමට ලක් කිරීමට සූදානම් පෙරමුනක මර්ස්, ජර්මනිය ට්‍රම්ප් සමඟ පෙලගස්වයි. මෙය, නාසීන් නියුරම්බර්ග්හි දී වරදකරුවන් කල එම ප්‍රධාන අපරාධය ම වන, සාමයට එරෙහි අපරාධයකට හවුල් වීම හැර අන් කිසිවක් නොවේ.
රුසියාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම උපුටා දක්වමින් ජර්මානු ආන්ඩුව යුක්‍රේන යුද්ධය උත්සන්න කිරීම සහ බිලියන ගනනක අවි බෙදා හැරීම් නැවත නැවතත් සාධාරනීකරනය කර ඇතත්, එක්සත් ජනපදය සම්බන්ධයෙන් නම් ඔවුන් එසේ නොකරනු ඇත.
මැදපෙරදිග ත්‍රස්තවාදයට ඉරානය වගකිව යුතු බවත්, එබැවින් යුද්ධය යුක්ති සහගත බවත් මර්ස් කරන ප්‍රකාශය, කිසිසේත් ම ඉක්මවා යා නොහැකි නරුමත්වයකි. ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ සිදු කරන බිහිසුනු ජන සංහාරයේ දී දහස් ගනන් කාන්තාවන් සහ ලමුන් වගවිභාගයක් නැති ව ඝාතනය කිරීම ජර්මානු ආන්ඩුව සාධාරනීකරනය කලේ ය; සහාය දුන්නේ ය. එය නිසැක ව ම ඉතිහාසයේ කලාපය තුල සිදු වූ විශාලතම ත්‍රස්ත මෙහෙයුමයි.
ඉරානයට එරෙහි යුද්ධය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීම හෝ න්‍යෂ්ටික බෝම්බයක් වැලැක්වීම සම්බන්ධ ව නොවේ. එය තෙල්වලින් පොහොසත් මැද පෙරදිග භූ දේශපාලනික අවශ්‍යතා සහ චීනයට එරෙහි යුද සූදානම සම්බන්ධ ව ය.
ඔවුන්ගේ අනුකම්පා විරහිතභාවයෙන් පෙන්නුම් කෙරෙන්නේ, පාලක පන්තිය ඕනෑ ම දෙයක් කිරීමට සූදානම් බවයි; එය මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම ම ප්‍රශ්න කරන ලෝක යුද්ධයක් කරා ගමන් කරමින් සිටී.
මහජනතාව අතර, මෙම උමතුව පුලුල් ලෙස ප්‍රතික්ෂේප වේ. එක්සත් ජනපදයේ මත විමසුම්වලින් පෙන්නුම් කර ඇත්තේ, අතිමහත් බහුතරයක් ඉරානයට එරෙහි යුද්ධයට විරුද්ධ බවයි. නමුත් මෙම විරුද්ධත්වය දේශපාලන සංස්ථාපිතය තුල කිසිදු ප්‍රකාශනයක් සොයාගෙන නැත. ජර්මනියේ ලෙෆ්ට් පක්ෂය පවා, පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමට සහ ෆෙඩරල් ආන්ඩුවේ ඉලක්කවලට සහාය දක්වයි. එය පවසන්නේ, හුදෙක් වෙනත් ක්‍රම මගින් ඉලක්ක වඩා හොඳින් සාක්ෂාත් කරගත හැකි බවයි.
සමාජවාදී සමානතා පක්ෂය පැහැදිලි ව ම මෙසේ ප්‍රකාශ කරයි:
මෙම යුද්ධය, සාමයට එරෙහි අපරාධයකි. එය ගෝලීය යුද්ධයක් සහ න්‍යෂ්ටික ව්‍යසනයක් කරා යන පියවරකි. ඉරානයට එරෙහි සියලු ම එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර වහා ම නතර කරන ලෙස අපි කියා සිටිමු. මෙම යුද්ධයට එක සතයක, එක අවුන්සයක සහයෝගයක් නොදක්වන්න. මැද පෙරදිගින් සියලු ම බටහිර හමුදා ඉවත් කර සම්බාධක අවසන් කරනු. කම්කරු පන්තියේ ජාත්‍යන්තර, සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා.
මර්ස් යුද්ධයට සහාය දීමට ඔබ විරුද්ධ නම්, ට්‍රම්ප්ට සහ මෙම අධිරාජ්‍යවාදී උමතුවට ඔබ විරුද්ධ නම්—සංවිධානය වන්න! සමාජවාදී සමානතා පක්ෂය සමග සම්බන්ධ වී යුද්ධයට එරෙහි ව සවිඥානික ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමට උදව් කරන්න.
