සසප/සසජාතශි මාතර රැස්වීම: “ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය, චීනයට එරෙහි යුද්ධයේ පූර්ව රංගයක්”

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) මැයි 24 වන දින මාතර තැපැල් ශ්‍රවනාගාරයේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත් වී ය. ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට සහ ලෝක යුද්ධය කරා යන ගමනට එරෙහි ව සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය රැස්වීමේ දී පැහැදිලි කෙරුනි. 

රැස්වීම පැවති දින පෙරවරුවේ, මාතර බස් නැවතුම්පොල ඉදිරිපිට මාක්ස්වාදී සාහිත්‍ය කුටියක් සංවිධානය කල සසප/සසජාතශි සාමාජිකයෝ පසු ව මාතර ප්‍රධාන තැපැල්හල ඉදිරිපිට ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට විරුද්ධ ව පිකට් උද්ඝෝෂනයක් ද පැවැත්වූහ.

2025 මැයි 24 වැනි දින මාතර ප්‍රධාන තැපැල්හල ඉදිරිපිට ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට විරුද්ධ සසප/සසජාතශි පිකට් උද්ඝෝෂනය

මාතර රැස්වීම පැවැත්වූයේ, කොලඹ, පේරාදෙනිය සහ හැටන් හි එකම තේමාව යටතේ සසප/සසජාතශි පැවැත් වූ සාර්ථක රැස්වීම් තුනකින් පසු ව ය. තවත් රැස්වීමක් ජුනි 9 වන දින යාපනයේ දී පැවැත්වීමට නියමිත ය.

රැස්වීම ගොඩනැගීම සඳහා මාසයකට ආසන්න කාලයක් මාතර දිස්ත්‍රික්කය තුල ගෙන ගිය උද්ඝෝෂනයේ දී අධිරාජ්‍යවාදී යුද්ධයේ බලපෑම සහ නරක අතට හැරෙන ආර්ථික අර්බුදය පිලිබඳව, සසප/සසජාතශි සාමාජිකයෝ, විශ්ව විද්‍යාල සිසුන්, අධ්‍යයන හා අනධ්‍යයන සේවකයින්, නිදහස් වෙලඳ කලාප සේවකයින් සහ රජයේ සේවකයින් සමඟ පුලුල් සාකච්ඡා පැවැත්වූහ.

රුහුනු විශ්ව විද්‍යාලයේ ධීවර අධ්‍යන අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු වන කිරුලු යුද්ධය නැවැත්වීමේ හදිසි අවශ්‍යතාවය අවධාරනය කලේ ය.

“යුද්ධය නැවැත්වීම අතිශයින් වැදගත් බව අපි හැම දෙනාට ම තේරෙනවා. සමාජ මාධ්‍ය සහ රූපවාහිනියේ යුද්ධය පිලිබඳ වාර්තා අපි නිරන්තරයෙන් දකිනවා. නමුත් යුද්ධයට හේතු සහ එය සැබවින් ම නැවැත්විය හැකි ආකාරය යන දෙක ම බැරෑරුම් ලෙස සාකච්ඡා කල කන්ඩායමක් අපට හමු වූ පලමු අවස්ථාව මෙයයි,” ඔහු පැවසී ය.

“යුද්ධයට හේතු මාධ්‍ය ඉදිරිපත් කරන දේට වඩා බෙහෙවින් වෙනස් බව අපිට දැන් තේරෙනව. යුද්ධය අපට සෘජු ව ම බලපානව. අපි තවමත් අපේ දෙමාපියන් මත යැපෙන තත්වයක් මැද, ඔවුන්ට බලපාන ආර්ථික අමාරුකම් අපිට බලපානව. යුද්ධය නැවැත්වීම ඉතා වැදගත් වන්නේ ඒ නිසා,” යැයි ඔහු තවදුරටත් පැවසී ය.

ඉහල යන ජීවන වියදම් තම දෛනික ජීවිතයට බලපාන ආකාරය ශිෂ්‍යයෝ පැහැදිලි කලහ. “නේවාසික ගාස්තු වැඩි වෙලා. විදුලි බිල සහ ජල බිල ඉහල ගිහිල්ලා. අපට ලැබෙන ශිෂ්‍ය ආධාරය දවල් කෑමටත් මදි” යැයි ශිෂ්‍යයෙක් පැවසී ය.

රුහුනු විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ කථිකාචාර්යවරයෙකු වන තක්ෂිල ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව අර්බුදයේ බර කම්කරුවන් සහ තරුනයින් මත පටවන බවයි. “අයිඑම්එෆ් කප්පාදු සහ යුද්ධය නිසා ජීවත් වීම දුෂ්කරයි. ජීවන වියදම වැඩි වුනාට අපේ වැටුප් වැඩි වෙන්නෙ නෑ,” ඔහු පැවසී ය.

රුහුනු විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ කථිකාචාර්යවරයෙකු වන තක්ෂිල

“ශ්‍රී ලංකාව සෘජු ව ම යුධ පිටියක් නොවුනත්, යුද්ධයේ බලපෑම් දැනටමත් අප සැමට ලඟා වෙලා තියෙන්නෙ. ආන්ඩුවේ ප්‍රතිපත්ති මැතිවරන සමයේ දී පොරොන්දු වූ දෙයට සම්පූර්නයෙන් ම ප්‍රතිවිරුද්ධයි. විශ්වවිද්‍යාල තුල දැවැන්ත අඩුපාඩු තියෙනව, නමුත් වෘත්තීය සමිති තවදුරටත් මෙම කරුනු සාකච්ඡා කරන්නේවත් නෑ.”

ඔහු මෙසේ කීවේය: “ඔබ පැමින අප සමඟ යුද්ධයේ බලපෑම සාකච්ඡා කරන තුරු, කිසිවෙකු මෙම කරුනු ගැන කතා කිරීමට පැමිනියේ නෑ. මෙම සාකච්ඡා හරහා මට වැටහුනා මෙම යුද්ධය සැබවින් ම නැවැත්විය හැකි බව.” 

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ විශ්‍රාමික සේවකයෙකු වන කරුනාරත්න ද යුද්ධය හෙලා දුටුවේ ය.

“අපි දැනටමත් අපේ ජීවිතයේ වැඩි කාලයක් ගත කරල තියෙන්නෙ. නමුත් අපේ දරුවන්ට සහ මුනුබුරන්ට කුමන ආකාරයේ අනාගතයක් ද ලැබෙන්න යන්නෙ? මේ යුද්ධය නැවැත්විය යුතුයි,” ඔහු පැවසීය. “මම දැන් තියෙන ආන්ඩුවට ඡන්දය දුන්නා, නමුත් එය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සමඟ මම එකඟ නෑ. ආන්ඩුව යුද්ධෙ දි මධ්‍යස්ථ බව කියා සිටියත්, මෙම යුද්ධයට එරෙහි ව එක වචනයක්වත් කියල නෑ.”  ඔහු තවදුරටත් පැවසී ය.

පස්වරු 3.00 ට ආරම්භ වූ රැස්වීමේ මුලසුන දැරුවේ දිගුකාලීන සසප දේශපාලන කමිටු සාමාජිකයෙකු වන  රත්නසිරි මලලගම විසිනි.

අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇති ව ඉරානයට එරෙහි ව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කොට ඇති ජන සංහාරක යුද්ධය නැවැත්විය හැක්කේ සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ සහ ධනවාදය පෙරලා දැමීම දෙසට යොමු කරන ලද කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් බලමුලු ගැන්වීමෙන් පමනක් බව මලලගම පැහැදිලි කලේ ය.

ගැඹුරු වන ගෝලීය ධනවාදී බිඳ වැටීම මධ්‍යයේ, විසිවන සියවස පුරා කම්කරු පන්තිය දිනාගත් සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහනවලට එරෙහි ව අධිරාජ්‍යවාදී බලවතුන් ප්‍රහාර තීව්‍ර කරමින් සිටින බව ඔහු පැහැදිලි කලේ ය. ඉරානය, රුසියාව සහ චීනයට එරෙහි ව උත්සන්න කෙරෙන ගැටුම් ගැන සඳහන් කරමින්, මානව වර්ගයා ගෝලීය ව්‍යසනයක් කරා තල්ලු කෙරෙමින් පවතින බවට ඔහු අනතුරු ඇඟවී ය.

ශ්‍රී ලංකාවේ පනවන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩසටහනේ විනාශකාරී බලපෑම ද මලලගම පෙන්වා දුන්නේ ය. පෙබරවාරි අග දී ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භ වූ දා සිට, ඉන්ධන මිල සියයට 26 සිට 33 දක්වා, බස් ගාස්තු සියයට 12 කින් සහ දුප්පතුන්ගේ ඉන්ධන වන භූමිතෙල් මිල සියයට 30 කින්  ඉහල ගොස් ඇත. ලංකා විදුලිබල මන්ඩලය අවම වශයෙන් සියයට 13 ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා තිබේ. 

“මෙම වැඩිවීම්, ජාමූඅ කප්පාදු පියවරයන්ට අමතර ව, වැඩ කරන ජනතාව මත දරාගත නොහැකි බරක් පටවන” බවත්, “සමස්ත දේශපාලන සංස්ථාපිතය බිය ගන්වන පුපුරන සුලු සමාජ ආතතීන් නිර්මානය කර ඇති” බවත් කතිකයා පැවසී ය.

ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන විසිනි. ඔහු ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය මානව වර්ගයා විනාශකාරී ලෝක යුද්ධයක අද්දරට ගෙනැවිත් ඇති බවට අනතුරු ඇඟවී ය.

සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන

යුද්ධය හුදෙක් ඉරානය සහ ඊශ්‍රායලය අතර කලාපීය ගැටුමක් නොව, චීනය සහ රුසියාවට එරෙහි ව යොමු කරන ලද පුලුල් අධිරාජ්‍යවාදී ප්‍රහාරයක කොටසක් බව විජේසිරිවර්ධන පැහැදිලි කලේ ය. ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදයේ සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඓතිහාසික පරිහානියේ ප්‍රතිඵලයක් ලෙස යුද්ධය තේරුම් ගත යුතු බව ඔහු අවධාරනය කලේ ය. එක්සත් ජනපද නයෙහි දැවැන්ත වර්ධනය සහ ආර්ථික පරිහානිය ගැන සඳහන් කරමින්, වොෂින්ටනය තම ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා වැඩි වැඩියෙන් මිලිටරිවාදයට සහ යුද්ධයට යොමු වෙමින් සිටින බව ඔහු පැහැදිලි කලේ ය.

“මෙම යුද්ධයේ මූලික හේතුව නායකයින්ගේ පිස්සුව නොවේ,” යැයි ඔහු පැවසී ය. “එය පැන නගින්නේ ධනේශ්වර ක්‍රමයේ ම ඓතිහාසික අර්බුදයෙන් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය මිලිටරි ප්‍රචන්ඩත්වය හරහා තම ආර්ථික පරිහානිය ආපසු හැරවීමට දරන උත්සාහයෙන්.”

ඉරානය සතු ව ඇති අතිවිශාල තෙල් හා ගෑස් සංචිත සහ ලෝකයේ බලශක්ති සැපයුම්වලින් සැලකිය යුතු කොටසක් ගමන් කරන හෝමූස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීම නිසා ඉරානය තීරනාත්මක භූ දේශපාලනික ස්ථානයක් ගන්නා බව විජේසිරිවර්ධන පැහැදිලි කලේ ය. 

ඉරානයට එරෙහි යුද්ධය, මැද පෙරදිග බලශක්ති ආනයන මත දැඩි ලෙස රඳා පවතින ආර්ථිකයක් වන චීනය සමඟ ඇති පුලුල් එක්සත් ජනපද ගැටුමෙන් වෙන් කල නොහැකි බව ඔහු අවධාරනය කලේ ය.

“ඉරානයට එරෙහි යුද්ධය, චීනය ඇමරිකානු අධිරාජ්‍යවාදයට යටත් කිරීම අරමුනු කරගත් වඩා පුලුල් ගැටුමක පූර්ව රංගයක්” බවට ඔහු අනතුරු ඇඟවී ය. “යුද්ධයේ ඊලඟ ප්‍රධාන පෙරමුන ඉන්දු-පැසිෆික් කලාපය වනු ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුලු දකුනු ආසියාව මෙම පුලුල් වන යුද ධාවනය තුල සෘජු ව ම පිහිටා තිබෙනවා.”

ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් තොරොම්බල් කෙරෙන “මධ්‍යස්ථභාවය” පිලිබඳ වංචනික ප්‍රකාශ විජේසිරිවර්ධන හෙලා දුටුවේ ය. ජනාධිපති අනුර කුමාර දිසානායක තම ආන්ඩුව “මධ්‍යස්ථ හා මානුෂීය” ස්ථාවරයක් ගෙන ඇති බව කියා සිටිය ද, ඔහු යුද්ධය ගැන කතා කිරීමේ දී එක්සත් ජනපද සහ ඊශ්‍රායල ආක්‍රමනිකයන්ගේ නම් සඳහන් කිරීම පවා ප්‍රතික්ෂේප කර ඇත. 

ඔවුන්ගේ විදේශ අමාත්‍යාංශය නිකුත් කර ඇත්තේ ආක්‍රමනිකයා සහ වින්දිතයා එකම මට්ටමක තබන ව්‍යාජ ප්‍රකාශ පමනි. ඇත්තෙන්ම මෙය, මධ්‍යස්ථභාවයක් නොව, එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට දක්වන හවුල්කාරිත්වයකි. යුද්ධයේ බර සහ ජාමූඅ හි කප්පාදුව කම්කරු පන්තිය මත පටවන අතරතුර, ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ තම සන්ධානය ගැඹුරු කරමින් සිටී.

ධනේශ්වර ආන්ඩු, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ දේශපාලන සංස්ථාපිතයට කරන ආයාචනා මගින් අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්විය නොහැකි බව විජේසිරිවර්ධන පැහැදිලි කලේය. “නොබැඳි ස්ථාවරයක්” අනුගමනය කරන ලෙස ආන්ඩුවට උපදෙස් දෙන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) භූමිකාව ඔහු හෙලා දුටුවේ ය. පෙසප, සමූලඝාතන යුද්ධයක් දියත් කරන ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ අධිරාජ්‍යවාදී බලවතෙකු නොවන, එ මෙන් ම ඇමරිකානු යුද ධාවනයේ ප්‍රධාන ඉලක්කය වන චීනය සමාන මට්ටමක තබයි. මෙය අධිරාජ්‍ය විරෝධය නොව එහි ප්‍රතිවිරුද්ධය බව විජේසිරිවර්ධන අවධාරනය කලේ ය.

“අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්වීමට හැකියාව ඇති එක ම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය” බව ඔහු ප්‍රකාශ කලේ, ජාත්‍යන්තර සමාජවාදය සහ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට කැඳවමිනි.

ඒ සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අවයව ලෙස, සේවා ස්ථානවල සහ අසල්වැසි ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීමේ අවශ්‍යතාවය අවධාරනය කල විජේසිරිවර්ධන, එම වැඩපිලිවෙලට නායකත්වය දෙන මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එක්වන ලෙස කම්කරුවන්ට සහ තරුනයන්ට කැඳවුම් කරමින් තම කතාව අවසන් කලේ ය. 

පසුගිය දා ට්‍රම්ප් චීනයට කල සංචාරයේ දී එක්සත් ජනපදය සහ චීනය අතර එකඟතාවයක් ඇති වූයේදැ යි ප්‍රේක්ෂකයෙකු ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් විජේසිරිවර්ධන කියා සිටියේ එම සාකච්ඡා තුලින් සැබෑ එකඟතාවයක් මතු නොවූ බවයි.

“සාකච්ඡා වලින් පසු ඒකාබද්ධ නිවේදනයක්වත් නිකුත් කලේ නෑ. ඉරානයට එරෙහි එක්සත් ජනපද අවහිරතාවල ලිහිල් කිරීමක්, එක්සත් ජනපදය විසින් චීනයට එරෙහි ව තායිවානය සන්නද්ධ කිරීම නැවැත්වීමක් සහ ට්‍රම්ප්ගේ චීන විරෝධී තීරුබදුවල අඩු කිරීමක් ගැන සාකච්ඡා වුනේවත් නෑ” යැයි ඔහු පැවසී ය.

ට්‍රම්ප් බීජිං සිට ආපසු පැමින දින කිහිපයකට පසු, ඉරානයට එරෙහි නව ප්‍රහාරයක් සඳහා දැනටමත් ක්‍රියාකාරී සූදානමක යෙදී සිටින බව  ධවල මන්දිරය ප්‍රකාශ කල බවත්, ට්‍රම්ප් විසින් චීන ජනාධිපති ෂීට ලබා දී ඇති ඕනෑම පෞද්ගලික සහතිකයක් සම්පූර්නයෙන් ම නිෂ්ඵල බවත් විජේසිරිවර්ධන අවධාරනය කලේ ය.

රැස්වීම අවසානයේ, සහභාගිවූවෝ පක්ෂ අරමුදලට රුපියල් 7,500 ක් පරිත්‍යාග කලහ.

Loading